Skip to content

පටුනට යන්න

අන්තර්ජාලය කල්පනාවෙන් පරිහරණය කරන්න

අන්තර්ජාලය කල්පනාවෙන් පරිහරණය කරන්න

අන්තර්ජාලය කල්පනාවෙන් පරිහරණය කරන්න

වර්ෂ 1980 ගණන්වල මැද භාගයේදී සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු වුණා. “තොරතුරු සුපිරි මාවත” යන යෙදුම භාවිත කිරීම පටන්ගත්තේ ඉන් අනතුරුවයි. ඔබ ලෝකයේ කොතැනක සිටියත් වේලාව කුමක් වුණත් අවශ්‍ය ඕනෑම තොරතුරක් සැණෙකින් ලබාගැනීමේ අවස්ථාව ඔබට උදා වී තිබෙනවා. ඒ අන්තර්ජාලය නිසයි. එමගින් මුළු ලොවම ඔබේ නිවසට රැගෙන ඒමට හැකි වී තිබීම පුදුමයක් නොවෙයි.

අදහස් හුවමාරු කරගැනීමේ අප සතු හැකියාව දෙවිගෙන් ලද පුදුමාකාර දීමනාවක්. එමගින් අපගේ අදහස් මෙන්ම විවිධ තොරතුරු අන් අය සමඟ බෙදාගන්න අපට හැකියි. මුල් මිනිස් යුවළට ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගැනීමට අවශ්‍ය ඉතා පැහැදිලි, නිවැරදි තොරතුරු ලබා දීමට ඔවුන් සමඟ මුලින්ම අදහස් හුවමාරු කළේ යෙහෝවා දෙවියි. (උත්. 1:28-30) නමුත් එම දීමනාව වැරදි ලෙස භාවිත කර තිබෙන බව මිනිස් ඉතිහාසයේ මුල් අවදියේ සිදු වූ දෙයකින් පැහැදිලි වෙනවා. එය සිදු වුණේ සාතන් ඒවට අමූලික බොරු පැවසූ අවස්ථාවේදියි. සාතන් පැවසූ දේ වගවිභාගයකින් තොරව පිළිගත් ඒව එය ආදම්ට පැවසූ අතර ඔහුද එය විශ්වාස කිරීම නිසා මුළු මිනිස් වර්ගයාවම ඉතා දුක්ඛිත තත්වයකට ඇද දැමුවා.—උත්. 3:1-6; රෝම 5:12.

අද දින අන්තර්ජාලය හරහා ලැබෙන තොරතුරු ගැන කුමක් කිව හැකිද? අන්තර්ජාලය නිසා අපගේ වටිනා කාලය ඉතුරු කරගැනීමටත් වටිනා තොරතුරු සම්භාරයක් ලබාගැනීමටත් හැකි වී තිබෙනවා. නමුත් අපව නොමඟ යවන, කාලය කා දමන හා අපගේ සිතුවිලි දූෂ්‍ය කරන තොරතුරු සැපයීමටද ඊට හැකියි. ඒ නිසා අන්තර්ජාලය කල්පනාකාරීව භාවිත කළ හැකි ආකාරය ගැන අපි සලකා බලමු.

තොරතුරු සත්‍යයද අසත්‍යයද?

අන්තර්ජාලය හරහා ලැබෙන සෑම තොරතුරක්ම අපට ප්‍රයෝජනවත් කියා සිතන්න එපා. ලොව පුරා තිබෙන ලක්ෂ සංඛ්‍යාත පරිගණකවලින් ලබාගන්නා තොරතුරු අඩංගු වෙබ් අඩවිවල ඉතා ප්‍රයෝජනවත් මෙන්ම අහිතකර දේවල්ද ඇතුළත්. ඒ නිසා අප කල්පනාකාරීව තෝරා බේරාගෙන අන්තර්ජාලය භාවිත නොකළොත් අපේ මනස දූෂ්‍ය විය හැකියි.

වර්ෂ 1993දී පළ වූ සඟරාවක පරිගණකයක් ඉදිරිපිට සුනඛයන් දෙන්නෙක් කරන කතාබහක් ඇතුළත් කාටූනයක් සඳහන් වී තිබුණා. එක් සුනඛයෙක් අනික් සුනඛයාට මෙසේ පවසනවා. ‘ඔයාටත් පුළුවන් අන්තර්ජාලයට තොරතුරු ඇතුල් කරන්න. මොකද ඔයා බල්ලෙක් කියලා ඒ කවුරුත් දන්නේ නැහැනේ.’ ඈත අතීතයේ සාතන් සර්පයෙකු තුළින් ඒවට කතා කළා. ඔහු පැවසුවේ ඇයට දෙවි මෙන් විය හැකි බවයි. අදත් අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකුට තමන්ගේ නම හෙළි නොකර විද්වතෙකු ලෙස පෙනී සිටිය හැකියි. කිසිම වගකීමකින් තොරව තොරතුරු, පින්තූර හා අදහස් අන්තර්ජාලයට ඇතුල් කරන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්.

අපත් ඒව මෙන් යමක් අසන්න ලැබුණු සැණින් ඒවා විශ්වාස නොකරමු. ඒ වෙනුවට මෙවැනි ප්‍රශ්න සලකා බැලීම ප්‍රයෝජනවත්. (1) මෙම තොරතුරු ඇතුළත් කර තිබෙන්නේ කවුද? ඔහු විශ්වාස කළ හැකි පුද්ගලයෙක්ද? (2) එවැනි තොරතුරු ඇතුළත් කර ඇත්තේ ඇයි? තොරතුරු ඇතුළත් කර ඇත්තේ යම් දේකට පක්ෂවද? (3) ඔහුට එම තොරතුරු ලැබුණේ කොහෙන්ද? ඔහුට තොරතුරු ලැබුණු මූලාශ්‍ර සඳහන් කර තිබෙනවාද? (4) එම තොරතුරු කාලීන තොරතුරුද? පළමු ශතවර්ෂයේ සිටි පාවුල්, තිමෝතිට දුන් අවවාදය අදටත් ප්‍රයෝජනවත්. ඔහු පැවසුවේ මෙසේයි. “ඔබට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේවල් රැකගන්න. නමුත් ශුද්ධ දේවලට එකඟ නොවන කිසි ප්‍රයෝජනයක් නැති බොරු කතාවලින්ද පරස්පර විරෝධී මතවලින් පිරී තිබෙන බොරු ‘දැනුමෙන්ද’ අහක් වී සිටින්න.”—1 තිමෝ. 6:20.

කාලය ඉතුරු කරනවාද කා දමනවාද?

අප ඥානවන්ත ලෙස අන්තර්ජාලය භාවිත කරනවා නම් අපට කාලය, ශක්තිය හා ශ්‍රමය ඉතුරු කරගත හැකියි. නිවසේ සිටම භාණ්ඩ මිල දී ගත හැකියි. මිල ගණන් පරීක්ෂා කිරීමේ හැකියාව තිබෙන නිසා අඩු මිලට භාණ්ඩ මිල දී ගන්න අපට පුළුවන්. බැංකු කටයුතු සිදු කිරීමට, බිල්පත් ගෙවීමට, මුදල් ගනුදෙනු කිරීමට හා මුදල් යැවීමට අන්තර්ජාලය බොහෝදෙනෙකුට පහසුවක් වී තිබෙනවා. ඒ වගේම දුර ගමනක් යෑමට සූදානම් වන විට ඒ සඳහා අවශ්‍ය ටිකට් පත්, නවාතැන් වැනි දෑ කලින් වෙන් කරගැනීමටත් අවශ්‍ය දුරකථන අංක, ලිපින වැනි තොරතුරු පහසුවෙන් ලබාගැනීමටත් අන්තර්ජාලය හරහා අපට හැකියි. ලොව පුරා තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල ඔවුන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් ඉතුරු කරගැනීමට අන්තර්ජාලයේ සේවාවන් ප්‍රයෝජනයට ගන්නවා.

කොහොමනමුත් අන්තර්ජාලය භාවිත කිරීමේ භයානක පැත්තක්ද තිබෙනවා. එනම්, අපගේ වටිනා කාලය අපතේ යෑමයි. සමහර අයට එය සෙල්ලම් බඩුවක් වගෙයි. ඔවුන් එහි තිබෙන ක්‍රිඩාවල යෙදෙන්න, භාණ්ඩවල මිල ගණන් බලන්න, කතාබහ කරන්න, ලිපි හුවමාරු කරගන්න හා යම් තොරතුරු සොයන්න බොහෝ වේලාවක් ගත කරනවා. ඒ නිසා කාලයක් යන විට පවුලේ අය හා හිතවතුන් සමඟ කාලය ගත කිරීමට තිබෙන අවස්ථාව නැති විය හැකියි. ඒ විතරක් නොවෙයි නමස්කාරය හා සම්බන්ධ කටයුතුවල යෙදීමට තිබෙන කාලයත් ටිකෙන් ටික අඩු විය හැකියි. ඉන් සිදු වන්නේ ඔවුන් අන්තර්ජාලයට ඇබ්බැහි වීමයි. වර්ෂ 2010දී කොරියාවේ කළ සමීක්ෂණයකින් පැහැදිලි වුණේ එහි යෞවනයන්ගෙන් සියයට 18.4ක් අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටින බවයි. අන්තර්ජාලයට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ජර්මනියේ පර්යේෂකයන් පිරිසක් පැවසුවේ “තම පුරුෂයන් අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති බවට බොහෝ භාර්යාවන් චෝදනා කරනවා” කියායි. තම පුරුෂයා අන්තර්ජාලයට කොතරම් ඇබ්බැහි වුණාද කියනවා නම් ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් වූ බවත් ඔවුන්ගේ විවාහය දෙකඩ වූ බවත් කාන්තාවක් පැවසුවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයකට අන්තර්ජාලයට ඇබ්බැහි වූ කෙනෙකුගෙන් ලිපියක් ලැබුණා. ඔහු සමහර අවස්ථාවලදී අන්තර්ජාලයට සම්බන්ධ වී දවසකට පැය 10ක පමණ කාලයක් ඒ සඳහා වැය කර තිබෙනවා. ඔහු මෙසේ පැවසුවා. “මුලින් මම ඒක බරපතළ දෙයක් කියලා සැලකුවේ නැතත් කාලයක් යනකොට මම රැස්වීම් යන එක ටිකෙන් ටික අඩු වුණා. යාච්ඤා කරන එකත් නතර කළා.” සමහර අවස්ථාවලදී ඔහු රැස්වීම්වලට සහභාගි වුණත් ඒ සඳහා කිසිම සූදානමක් ඔහුට තිබුණේ නැහැ. රැස්වීම්වලට සහභාගි වී සිටින විටත් ඔහු කල්පනා කරමින් සිටියේ නැවතත් අන්තර්ජාලයට පිවිසෙන්නේ කොයි මොහොතේද කියායි. නමුත් එහි බරපතළකම ඔහු අවබෝධ කරගත් පසු ඉන් මිදීමට පියවර ගත්තා. ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? අන්තර්ජාලය භාවිත කළත් ඊට ඇබ්බැහි නොවීමට අප වගබලා ගත යුතු බවයි.

තොරතුරු ප්‍රයෝජනවත්ද නැද්ද?

පළමුවන තෙසලෝනික 5:21, 22හි පවසන්නේ “සෑම දෙයක්ම සෝදිසි කර බලා යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න. සියලු ආකාර දුෂ්ටකමින් වැළකී සිටින්න” කියායි. අන්තර්ජාලයේ තිබෙන තොරතුරු අප කියවන විට ඒවා යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟද කියා අප සොයා බැලිය යුතුයි. ඒවා කියවීම ක්‍රිස්තියානියෙකුට සුදුසුද කියාත් අප සලකා බැලිය යුතුයි. අන්තර්ජාලය තුළ ලිංගික හැඟීම් අවුස්සන තොරතුරු බහුලව තිබෙන නිසා අප කල්පනාකාරීව ක්‍රියා නොකළොත් පහසුවෙන්ම ඊට හසු විය හැකියි.

අප අන්තර්ජාලයෙන් නරඹන දේ සුදුසුද කියා තීරණය කිරීම සඳහා මෙවැනි ප්‍රශ්න සලකා බැලීම ප්‍රයෝජනවත්. ‘මම අන්තර්ජාලය භාවිත කරද්දී මගේ බිරිඳ හෝ දෙමාපියන් හෝ ක්‍රිස්තියානි සහෝදරයෙක් හෝ එතනට ආවොත් මම ඉක්මනින්ම ඒක වහලා දානවද?’ අප එසේ කරනවා නම් සුදුසුම දේ වන්නේ වෙනත් අය අවට සිටින වේලාවක අන්තර්ජාලයට පිවිසීමයි. අප අදහස් හුවමාරු කරගන්නා ආකාරය හා භාණ්ඩ මිල දී ගන්නා ආකාරය අන්තර්ජාලය හඳුන්වා දීමත් සමඟම වෙනස් වී තිබෙනවා. නමුත් භයානකම දේ වන්නේ ‘සිතින් අනාචාරයේ හැසිරීමට’ පොලඹවන අලුත් ක්‍රම අන්තර්ජාලය මගින් හඳුන්වා දී තිබීමයි.—මතෙ. 5:27, 28.

පණිවිඩය යවනවාද නැද්ද?

අන්තර්ජාලය හරහා පණිවිඩ ලබාගැනීමට පමණක් නොව අන් අයට තොරතුරු බෙදාහැරීමටද හැකියාව තිබෙනවා. අපට ලැබෙන තොරතුරක් අන් අයට බෙදාහැරීමට අපට නිදහස තිබුණත් ඒ තොරතුරු අන් අයට බලපාන ආකාරය ගැනත් ඒවා සත්‍යය තොරතුරු බවටත් අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අප මෙම ප්‍රශ්න සලකා බැලීම හුඟක් වැදගත්. අප යවන්නේ සත්‍යය තොරතුරුද කියා අපට ස්ථිර වෙන්න පුළුවන්ද? අපට එම තොරතුරු බෙදාහැරීමට අවසර තිබෙනවාද? * ඒවා අන් අයට මොන තරම් ප්‍රයෝජනවත්ද? ඒවා බෙදාහැරීමෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපට අවශ්‍ය අන් අයව පුදුම කරවන්නද?

අන්තර්ජාලයේ ඊ-මේල් පහසුකම අප නිසි ලෙස භාවිත කරනවා නම් අපට ඉන් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි. අන්තර්ජාලය හරහා අපට ඊ-මේල් පණිවිඩ බොහෝ ප්‍රමාණයක් ලැබෙනවා. අප ඒ සියල්ල වෙනත් අයට බෙදාහරිනවාද? සමහරවිට මෙය ඔවුන්ගේ වටිනා කාලය සොරාගැනීමක් විය හැකියි. අප වෙනත් අයට පණිවිඩයක් යවන්න කලින් ඒ ගැන සිතා බැලීම හොඳ අදහසක් නොවෙයිද? අප ඇත්තටම එවැනි පණිවිඩයක් යැවීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් මිනිසුන් ලියුම් ලියන්නේ තම පවුලේ අයට, නෑදෑයන්ට හා මිතුරන්ට තම විස්තර දැන්වීමටයි. ඊ-මේල් පණිවිඩ යැවීමේ අරමුණත් එය නොවේද? අප හරියටම නොදන්නා පණිවිඩයක් අන් අය අතරේ බෙදාහරින්නේ ඇයි?

එසේනම් අන්තර්ජාලය භාවිත කිරීම සම්බන්ධයෙන් අප කුමක් කළ යුතුද? එය භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුද? සමහර අවස්ථාවලදී එවැනි පියවරක් ගැනීමට සිදු විය හැකියි. අප කලින් සඳහන් කළ අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටි සහෝදරයා ඉන් මිදීම සඳහා කළ යුතු වුණේ එයයි. අනික් අතට අන්තර්ජාලය භාවිත කිරීම ප්‍රයෝජනවත් වුණත් ‘සිතීමේ හැකියාවද වටහාගැනීමේ හැකියාවද ආරක්ෂා වන’ ආකාරයෙන් එය භාවිත කිරීමට අප වගබලා ගත යුතුයි.—හිතෝ. 2:10, 11.

[පාදසටහන]

^ 17 ඡේ. ඡායා රූප සම්බන්ධයෙන්ද එම ප්‍රතිපත්තිය අදාළයි. අප ගන්නා පින්තූරවල සිටින අයගේ නම් හා තොරතුරු වෙනත් අයට බෙදාහැරීමට සමහරවිට අපට අයිතියක් නොතිබෙන්න පුළුවන්.

[4වන පිටුවේ පින්තූරය]

අසත්‍ය තොරතුරුවලට අසු නොවී සිටීම සඳහා ඔබට කුමක් කළ හැකිද?

[5වන පිටුවේ පින්තූරය]

යම් පණිවිඩයක් යවන්න කලින් අප සිතා බැලිය යුත්තේ කුමක්ද?