Skip to content

පටුනට යන්න

ඉතිහාසගත වූ රැස්වීමක්

ඉතිහාසගත වූ රැස්වීමක්

ඉතිහාසගත වූ රැස්වීමක්

“මේ රැස්වීම අවසානයේදී ‘මේක නම් කවදාවත් අමතක නොවන රැස්වීමක්’ කියා ඔබ පවසනවාට කිසිම සැකයක් නැහැ.” පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ස්ටීවන් ලෙට් එම රැස්වීමට පැමිණ සිටි විශාල පිරිසකගේ උනන්දුව අවදි කළේ ඉහත වචන පවසමිනුයි. එම රැස්වීම නම් වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් 126වන වරටත් පැවැත්වූ වාර්ෂික රැස්වීමයි. එය 2010 ඔක්තෝබර් 2වෙනිදා ඇමරිකාවේ නිව් ජර්සිවල පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාවේ පැවැත්වුණා. එම රැස්වීමේ සාකච්ඡා කළ විශේෂ තොරතුරු කිහිපයක් අපි සලකා බලමු.

සහෝදර ලෙට් එසකියෙල් පොතේ සඳහන් ස්වර්ගික රථය ගැන ඉතා උද්‍යෝගිමත් කතාවකින් වැඩසටහන ආරම්භ කළා. එම තේජවත් රථයෙන් නියෝජනය කරන්නේ දෙවිගේ සංවිධානයයි. එය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ යෙහෝවා දෙවියි. දේවදූතයන්ගෙන් සමන්විත ස්වර්ගික සංවිධානය විදුලි වේගයෙන් ඉදිරියට ගමන් කරන බවත් එම වේගයෙන්ම පොළොවේ තිබෙන දෙවිගේ සංවිධානයද ඉදිරියට ගමන් කරන බවත් සහෝදර ලෙට් පැවසුවා. මෑත වර්ෂවල දෙවිගේ සංවිධානය ලබා ඇති දියුණුවේ පැති කිහිපයක් ගැන ඔහු එම කතාවේදී සඳහන් කළා.

ශාඛා කාර්යාල කිහිපයක් එකට එකතු කිරීම නිසා බෙතෙල්හි සේවය කරමින් සිටි බොහෝදෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයෙහි හවුල් වීමට අවස්ථාව උදා වී තිබෙනවා. සහෝදර ලෙට් පැමිණ සිටි අයගෙන් ඉල්ලා සිටියේ පාලක මණ්ඩලයට දෙවිට විශ්වාසවන්තව සිටීමට පමණක් නොව නුවණ ඇතුව හා ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමටද අවශ්‍ය බලය ඉල්ලා යාච්ඤා කරන්න කියායි.—මතෙ. 24:45-47.

දිරිගන්වන වාර්තා සහ අද්දැකීම්

වර්ෂ 2010 ජනවාරි 12වන දින හයිටිවල ඇති වූ භූමිකම්පාව නිසා ලක්ෂ තුනකගේ පමණ ජීවිත අහිමි වුණා. ඒ ගැන ඒ රටේ ශාඛා කාර්යාලයේ සාමාජිකයෙක් වන සහෝදර ටැබ් හොන්ස්බර්ග හද දනවන වාර්තාවක් ඉදිරිපත් කළා. එම සිදුවීම ගැන ඒ රටේ පූජකයන් පැවසුවේ දෙවියන් පව්කාරයන්ව විනාශ කර යහපත් අයව බේරාගත් බවයි. නමුත් භූමිකම්පාව නිසා හිර ගෙවල්වල බිත්ති කඩා වැටීම හේතුවෙන් දහස් ගණන් අපරාධකරුවන්ට ඉන් පිටතට ඒමට හැකි වුණා. අප ජීවත් වන කාලයේ මෙතරම් භයානක දේවල් සිදු වීමට හේතුව දැනගැනීමෙන් අවංක හදවත් ඇති බොහෝදෙනෙකුට සහනයක් ලැබී තිබෙනවා. තම භාර්යාව අහිමි වූ සහෝදරයෙක් පැවසූ දෙයක් සහෝදර හොන්ස්බර්ග මෙසේ ගෙනහැර දැක්වුවා. “එයා නැති දුකට මම තාම අඬනවා. මගේ දුක කවදා අඩු වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් යෙහෝවා දෙවිගේ සෙනඟගේ ප්‍රේමය මට ලොකු සහනයක්. මට බලාපොරොත්තුවක් තියෙනවා. මගේ අධිෂ්ඨානය ඒ ගැන අනික් අයටත් කියන්නයි.”

කලක් ෆිලිපීනයේ ශාඛා කාර්යාල සාමාජිකයෙකු ලෙස සේවය කළ දැන් බෘක්ලින් බෙතෙල් සාමාජිකයෙක් වන සහෝදර මාක් සැන්ඩසන් ෆිලිපීනය ගැන වාර්තාවක් ඉදිරිපත් කළා. අවුරුදු 32ක් එකදිගට ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවේ උපරිමයක් හා ප්‍රචාරකයන්ට වඩා බොහෝ සෙයින් වැඩි බයිබල් පාඩම් සංඛ්‍යාවක් වාර්තා වූ බව ඔහු ඉතා සතුටින් පැවසුවා. ඔහු මිගෙල් නම් සහෝදරයාගේ අද්දැකීමත් පැවසුවා. ඔහුගේ මුණුපුරාව ඝාතනය කර තිබූ අතර ඔහු විශාල වෑයමක් දරා අපරාධකරුව නීතියට හසු කර දුන්නා. පසු කාලයකදී මිගෙල් සිර ගෙදර ශුභාරංචිය දේශනා කිරීමට ගිය අවස්ථාවක ඒ පුද්ගලයාව මුණගැසුණා. ඔහුව දුටු මිගෙල්ට යම් භයක් දැනුණත් මිගෙල් ඔහුට කාරුණිකව කතා කළා. පසුව ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගත් අතර දෙවිට ප්‍රේම කරන්නත් ඔහු ඉගෙනගත්තා. ඔහු දැන් බව්තීස්ම වූ ප්‍රචාරකයෙක් වන අතර මිගෙල්ගේ හොඳ යාළුවෙක්. ඔහුව හැකි ඉක්මනින් හිරෙන් නිදහස් කරගැනීමට මිගෙල් කටයුතු කරමින් සිටිනවා. *

වැඩසටහනේ ඊළඟ අංගය වුණේ ඇලෙක්ස් සහ සාරා රේයින්මුල, ඩේවිඩ් සහ ක්‍රිස්ට ෂේෆ, රොබට් සහ කෙට්ට්‍රා සිරැන්කෝ යන අය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි. පැමිණ සිටි අයගේ සිත්ගත් එම සාකච්ඡාව මෙහෙයවූයේ සේවා පාසැල් අංශයේ සහෝදර මාක් නූමා විසිනුයි. සත්‍යය තම ජීවිතයේ වැදගත්ම දේ කරගත් ආකාරය සහෝදර රේයින්මුල පැවසුවා. වයස අවුරුදු 15 සිට බොහෝ අවස්ථාවලදී තනිවම කැනඩාවේ පුරෝගාමි සේවය කළ ආකාරය ඔහු සිහිපත් කළා. දෙවි සමඟ කිට්ටු බැඳිමක් ඇති කරගැනීමට බෙතෙල් නිවසේදී වැඩි බලපෑමක් කළේ කවුද කියා ඇසූ විට දෙවිට විශ්වාසවන්ත සහෝදරයන් තුන්දෙනෙක් ගැන ඔහු පැවසුවා. ඔවුන් එක් එක් කෙනා තමාට උපකාර කළ ආකාරය ඔහු විස්තර කළා. ඔහුගේ භාර්යාව වන සාරා පැවසුවේ චීනයේ බන්ධනාගාරවල දශක ගණනාවක් සිර ගත වී සිටියත් විඳදරාගෙන කටයුතු කළ සහෝදරියක් සමඟ කළ ආශ්‍රය ඇයට හොඳ බලපෑමක් වූ බවයි. ඇය මෙන් සෑම කාරණයකදීම යාච්ඤාවෙන් දෙවිගේ උපකාරය පැතීමට තමන් ඉගෙනගත් බවත් සාරා පැවසුවා.

ඉගැන්වීම් කමිටුවට සහාය වන සහෝදර ඩේවිඩ් ෂේෆ තම මවට දෙවි කෙරෙහි තිබූ දැඩි විශ්වාසය ගැන ප්‍රශංසාත්මකව කතා කළා. යෞවනයෙක්ව සිටි කාලයේදී උපකාරික පුරෝගාමි සේවය කිරීමට සභාවේ සහෝදරයන් ඔහුට දැක්වූ සහයෝගය ගැනත් ඔහු සඳහන් කළා. ඔහුගේ භාර්යාව වන ක්‍රිස්ට පැවසුවේ බෙතෙල් නිවසේ බොහෝ කාලයක් සේවය කළ සහෝදර සහෝදරියන් සුළු කාරණාවලදී පවා විශ්වාසවන්තව කටයුතු කිරීම තමන්ට හොඳ බලපෑමක් වූ බවයි.—ලූක් 16:10.

ලේඛන කමිටුවට සහාය වන සහෝදර රොබට් සිරැන්කෝගේ ආච්චිලා දෙන්නයි සීයලා දෙන්නයි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. තම කුඩා කාලයේදී එනම්, 1950 ගණන්වලදී විශාල දිස්ත්‍රික් සමුළුවලට ඔහු සහභාගි වුණා. ඔහු රැස්වීම්වලට සහභාගි වූ සභාවට වඩා දෙවිගේ සංවිධානය මොන තරම් විශාලද කියා ඔහු ඉන් තේරුම්ගත්තා. ඔහුගේ භාර්යාව වන කෙට්ට්‍රාට කලක් පුරෝගාමි සේවය කිරීමට සිදු වුණේ සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගැසූ අය සිටි සහ වෙනත් ප්‍රශ්න රාශියක් තිබූ සභාවකයි. ඒ කාලයේදී දෙවිට විශ්වාසවන්තව සිටීමට ඇය ඉගෙනගත්තා. පසු කාලයක ඉතා ප්‍රේමණීය සහෝදර සහෝදරියන් සිටින සභාවක විශේෂ පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමට ඇයට අවස්ථාව ලැබුණා.

ඊළඟට සහෝදර මැන්ෆ්‍රඩ් ටොනැක් ඉතියෝපියාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. වර්තමානයේ එහි ප්‍රචාරකයන් 9,000කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ජීවත් වන්නේ එහි අගනුවර වන අඩිස් අබාබාවලයි. නමුත් ඒ රටේ දුර බැහැර ප්‍රදේශවල ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ සඳහා වෙනත් රටවල ජීවත් වන ඉතියෝපියානු සහෝදරයන්ට කළ ආරාධනය පිළිගත් බොහෝදෙනෙක් එහි පැමිණි අතර ඔවුන් ප්‍රකාශ කළ ශුභාරංචියට හොඳ ප්‍රතිඵල ලැබුණා.

එදින කැපීපෙනෙන අංගයක් වුණේ රුසියාවේ අපගේ සහෝදරයන් මුහුණ දී ඇති ගැටලුව සම්බන්ධයෙන් එහි ශාඛා කමිටු සාමාජිකයෙක් වන ආලිස් බර්ග්ඩාල් ඉදිරිපත් කළ වාර්තාවයි. රුසියාවේ විශේෂයෙන්ම මොස්කව් නගරයේ සිටින සාක්ෂිකරුවන් කලක සිට මුහුණ දෙන පීඩා ගැන ඔහු සඳහන් කළා. ඒ වගේම සාක්ෂිකරුවන්ට විරුද්ධව එල්ල කර ඇති චෝදනා නවයක් ගැන මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය මගින් විභාග කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ නීතික අංශයේ සේවය කරන සහෝදර ෆිලිප් බ්‍රෙම්ලි පැවසුවා. එම චෝදනා නවයට කිසිම පදනමක් නැති බව එම අධිකරණය ඒකමතිකව පිළිගත්තා. ඒ විතරක් නොවෙයි ඉන් චෝදනා කිහිපයක් පදනම් විරහිත වීමට හේතුවත් අධිකරණය විසින්ම ඉදිරිපත් කිරීම සතුටට කරුණක්. අධිකරණයේ අවසන් තීරණය ඉදිරියේදී ලැබීමට නියමිත අතර එම තීරණය අනිකුත් රටවල දෙවිගේ සෙනඟටත් මහත් පිටුවහලක් වෙයි කියා සහෝදර බ්‍රෙම්ලි පැවසුවා.

ඉන්පසු පැමිණි සහෝදර ලෙට් ඉතා සතුටුදායක නිවේදනයක් ඉදිරිපත් කළා. එනම් ප්‍රංශයේ සිටින සාක්ෂිකරුවන්ගෙන් බදු අය කිරීම පිළිබඳ නඩුව විභාග කිරීමට යුරෝපා අධිකරණය භාරගෙන ඇති බවයි. උසස් පිළිගැනීමක් තිබෙන එම අධිකරණය භාරගන්නේ නඩු අතලොස්සක් පමණයි. මෙතෙක් එම අධිකරණය මගින් සාක්ෂිකරුවන්ගේ නඩු 39ක් විභාග කර තිබෙන අතර ඉන් නඩු 37කදීම සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දු ලබා දී තිබෙනවා. වර්තමානයේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් දෙවිගේ උපකාර පතා යාච්ඤා කරන්න කියා සහෝදර ලෙට් දෙවිගේ සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටියා.

වැඩසටහනේ අවසාන වාර්තාව ඉදිරිපත් කළේ වැඩිමහල්ලන් සඳහා පවත්වන පාසැලේ උපදේශකයෙක් වන සහෝදර රිචඩ් මෝලන් විසිනුයි. එම පාසැල ගැනත් ඊට සහභාගි වූ වැඩිමහල්ලන් එය මොන තරම් අගය කරනවාද කියාත් ඔහු ඉතා උනන්දුවෙන් ප්‍රකාශ කළා.

පාලක මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරිපත් කළ තවත් තොරතුරු

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ගයි පියර්ස් ‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’ යන 2011 වාර්ෂික පදය මත පදනම් හද උණුසුම් කරවන කතාවක් ඉදිරිපත් කළා. (ශෙප. 3:12) දෙවිගේ සෙනඟට මේ කාලයේදී ප්‍රීති වීමට බොහෝ හේතු තිබෙනවා වගේම ඉතා බැරෑරුම්ව සිතා බලා කටයුතු කිරීමටද මෙය කාලයක් බව ඔහු පෙන්වා දුන්නා. දෙවිගේ මහත් දවස ඉතා ළඟයි. අද මිනිසුන් රැකවරණය පතන්නේ අසත්‍ය උගන්වන ආගම්, දේශපාලනය, ධන සම්පත් වැනි දේවලිනුයි. නමුත් සැබෑ රැකවරණය ලැබෙන්නේ දෙවිගේ නම කියා අයැදීමෙනුයි. ඉන් අදහස් කරන්නේ එම නමින් නියෝජනය කරන තැනැත්තාව හොඳින් හඳුනාගැනීම, ඔහු කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතුව සිටීම, ඔහුව විශ්වාස කිරීම සහ ඔහු කෙරෙහි නොබිඳෙන ප්‍රේමයක් ඇතුව සිටීමයි.

පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන සහෝදර ඩේවිඩ් ස්ප්ලේන් “ඔබ දෙවි මෙන් විවේක ගන්නවාද” යන මාතෘකාව යටතේ සිතා බැලීමට පොලඹවන කතාවක් ඉදිරිපත් කළා. දෙවි විවේක ගන්නවා කීමෙන් අදහස් කරන්නේ ඔහු කිසිවක් නොකර ඉන්නවා යන්න නොවෙයි. ඒ වෙනුවට පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් මේ දක්වාම “වැඩ කරමින්” සිටින බව ඔහු පැහැදිලි කළා. (යොහ. 5:17) අපටත් දෙවි මෙන් විවේක ගන්න පුළුවන් කොහොමද? එය කළ හැකි එක් ආකාරයක් වන්නේ සියලු පව්කාර ක්‍රියාවලින් හා තමන් ධර්මිෂ්ඨයි කියා පෙන්වීමෙන් වැළකී සිටීමෙනුයි. දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඔහුගේ අරමුණ මනසේ තබාගෙන ඊට දායක වීමට අපට කළ හැකි උපරිමය කිරීම අවශ්‍යයි. සමහර අවස්ථාවලදී එය අභියෝගයක් වුණත් අප දෙවිගේ සංවිධානයෙන් ලැබෙන උපදෙස් පිළිපදිමින් ඉන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමත් අවශ්‍යයි. දෙවි මෙන් විවේක ගැනීම සඳහා කළ හැකි සියල්ල කිරීමට සහෝදර ස්ප්ලේන් සියලුදෙනාවම උනන්දු කළා.

“අප බලා සිටින්නේ කුමක් ඉටු වන තුරුද?” යන තේමාවෙන් යුත් අවසන් කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ඇන්තනි මොරිස් විසිනුයි. ප්‍රේමණීය පියෙක් තම දරුවන්ව උනන්දු කරන ආකාරයෙන් ඔහු එම කතාව ඉදිරිපත් කළා. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් උනන්දුවෙන් බලා සිටින අනාවැකිවල ඉටු වීම අත ළඟ බව ඔහු මතක් කළා. ඊට “මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” යන ප්‍රකාශයත් සමඟම අසත්‍ය උගන්වන ආගම්වල විනාශය සිදු වීම යන අනාවැකියත් ඇතුළත් වෙනවා. (1 තෙස. 5:2, 3; එළි. 17:15-17) අපට අසන්න ලැබෙන ප්‍රවෘත්ති නිසා “දැන් නම් හර්–මගෙදොන් පටන් අරගෙන” යන නිගමනයට පැමිණීමට ඉක්මන් නොවන ලෙස සහෝදර මොරිස් පැවසුවා. ඒ වෙනුවට මීකා 7:7හි දිරිගන්වන ලෙස ප්‍රීතියෙන් සහ ඉවසීමෙන් යුතුව බලා සිටින්න කියා උනන්දු කළා. ඒ අතරම පාලක මණ්ඩලය සමඟ එකට එක් වී එක හමුදාවක් මෙන් ඉදිරියට ඇදෙන ලෙස ඔහු දිරිගැන්නුවා. ‘යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි, කිසි දෙයකට භය නොවන්න’ කියා ඔහු පැවසුවා.—ගීතා. 31:24.

වැඩසටහන අවසානයේදී සියලුදෙනාගේ උනන්දුවට හේතු වන නිවේදන කිහිපයක් අසන්න ලැබුණා. ඉංග්‍රීසි භාෂාව ගැන සීමිත දැනුමක් ඇති අය සඳහා සරල කරන ලද මුරටැඹ පාඩම් කලාපය ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන බව පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ජෙෆ්රි ජැක්සන් නිවේදනය කළා. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින දිස්ත්‍රික් සේවකයන්ව සහ ඔවුන්ගේ භාර්යාවන්ව හමු වී දිරිගැන්වීම සඳහා පාලක මණ්ඩලය සැලසුම් යොදා ඇති බව සහෝදර ලෙට් නිවේදනය කළා. ඒ වගේම දේවසේවා පුහුණු පාසැල මින් ඉදිරියට හඳුන්වන්නේ තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැල ලෙස බවද ඔහු දැනුම් දුන්නා. ක්‍රිස්තියානි විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලක් ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට නියමිත බවත් ඔහු නිවේදනය කළා. එමගින් දෙවිගේ සංවිධානයට වඩාත් ප්‍රයෝජනවත් ආකාරයෙන් දායක වීමට ඔවුන්ට පුහුණුව ලැබෙයි. සංචාරක සේවකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට මෙන්ම ශාඛා කමිටු සාමාජිකයන්ට සහ ඔවුන්ගේ භාර්යාවන්ට පාසැල් දෙකක් පැටසන්හි පවත්වන බවත් කලින් මෙම පාසැල්වලට සහභාගි වූ අයට නැවතත් ඒ සඳහා අවස්ථාව ලැබෙන බවත් සහෝදර ලෙට් නිවේදනය කළා.

අවුරුදු ගණනාවක් පාලක මණ්ඩලයේ සේවය කළ 97 හැවිරිදි සහෝදර ජෝන් ඊ බාර් * විසින් ඉදිරිපත් කළ හෘදයාංගම හා ආයාචනාත්මක යාච්ඤාව සමගින් එදින වැඩසටහන අවසන් වුණා. එදින රැස්වීමට සහභාගි වූ අයට නම් එය කෙදිනකවත් අමතක නොවන බවට කිසිම සැකයක් නැහැ.

[පාදසටහන්වල]

^ 7 ඡේ. වර්ෂ 2011 වාර්ෂික පොතේ 62-63 පිටු බලන්න.

^ 20 ඡේ. වර්ෂ 2010 දෙසැම්බර් 4වන දින සහෝදර බාර් ඔහුගේ භූමික ජීවිතය අවසන් කළා.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සහෝදර සහෝදරියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාව පැමිණ සිටි අයගේ සිත්ගත්තා

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඉතියෝපියාවේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට යෙහෝවා දෙවි ආශීර්වාද කර තිබෙනවා