Skip to content

පටුනට යන්න

ඔවුන්ට ගැලවුම්කරුව හමු වුණා

ඔවුන්ට ගැලවුම්කරුව හමු වුණා

ඔවුන්ට ගැලවුම්කරුව හමු වුණා

“අපට මෙසියස්ව [හෙවත් ගැලවුම්කරුව] හමු වුණා.”—යොහ. 1:41.

1. “අපට මෙසියස්ව හමු වුණා” කියා අන්දෘ පැවසීමට පෙර සිදු වුණේ කුමක්ද?

යොහන් බව්තීස්ත ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් සමඟ සිටි අවස්ථාවක යේසුස් ඔවුන් වෙතට එනවා දැක, “මේ සිටින්නේ දෙවිගේ බැටළු පැටවා” කියා යොහන් පැවසුවා. ඔහුගේ ගෝලයන් දෙදෙනා වන අන්දෘ හා යොහන් එවෙලේම යේසුස් පසු පස ගිය අතර ඔවුන් එදා දවසම ගත කළේ ඔහු සමඟයි. පසුව අන්දෘ ඔහුගේ සහෝදරයා වන සීමොන් පේතෘස්ව සොයාගෙන ගොස් “අපට මෙසියස්ව හමු වුණා” කියා ඉතා උද්‍යෝගයෙන් පැවසුවා.—යොහ 1:35-41.

2. ගැලවුම්කරු ගැන තිබෙන අනාවැකි අධ්‍යයනය කිරීම අපට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

2 අන්දෘ, පේතෘස් සහ තවත් අය ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමෙන් පොරොන්දු කරන ලද ගැලවුම්කරු යේසුස් බව තහවුරු කරගත්තා. අපත් එය තහවුරු කරගැනීම සඳහා අනාවැකි කිහිපයක් මෙම ලිපියෙන් සලකා බලමු. දේවවචනය කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි කරගැනීමටත් යෙහෝවා දෙවි තෝරාගත් ගැලවුම්කරු යේසුස් බව තහවුරු කරගැනීමටත් ඒවා අපට උපකාරවත් වෙයි.

‘බලන්න! ඔබේ රජ එන්නේය’

3. යේසුස් රජෙකු ලෙස යෙරුසලමට ඇතුල් වන විට ඉටු වුණේ කුමන අනාවැකිද?

3 ගැලවුම්කරු රජෙකු ලෙස යෙරුසලමට අතුල් වෙයි. සෙකරියා මෙවැනි අනාවැකියක් පැවසුවා. “සියොන් දියණිය, ප්‍රීතියෙන් ඉපිල යන්න. යෙරුසලම් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න. මන්ද ඔබේ රජ බූරුවෙකු පිට නැඟී ඔබ වෙතට එන්නේය. ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි. ඔහු සතුරන්ගෙන් ජය ලබා ඔබ වෙතට එන්නේය.” (සෙක 9:9) එක් බයිබල් ලේඛකයෙක් මෙසේ සඳහන් කළා. “යෙහෝවා දෙවිගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!” (ගීතා 118:26) තමා පැමිණෙන විට ජනයා ක්‍රියා කළ යුතු ආකාරය ගැන යේසුස් ඔවුන්ට පවසා තිබුණේ නැහැ. නමුත් සෙකරියා පැවසූ අනාවැකිය ඉටු වීමක් ලෙස යේසුස් යෙරුසලමට ඇතුල් වන විට විශාල පිරිසක් ප්‍රීති ඝෝෂා නැඟුවා. මෙම බයිබල් වාර්තාව කියවන විට ජනයා ප්‍රීති ඝෝෂා නඟන ආකාරය ඔබේ සිතේ මැවෙනවාද?—මතෙව් 21:4-9 කියවන්න.

4. ගීතාවලිය 118:22, 23හි සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

4 බොහෝදෙනෙක් යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළි නොගත්තත් දෙවි ඔහුව අනර්ඝ කෙනෙක් ලෙස සලකයි. බොහෝ ජනයා යේසුස්ට වෛර කළ අතර ඔහු කිසි වැදගැම්මකට නැති කෙනෙකු ලෙස සැලකුවා. ඔවුන්ට යේසුස් ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. (යෙසා 53:3; මාක් 9:12) නමුත් බයිබලයේ පවසන්නේ ‘ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල ප්‍රධාන ගල වී ඇත. එය යෙහෝවා දෙවි විසින් කළ මහත් ක්‍රියාවක්’ බවයි. (ගීතා. 118:22, 23) යේසුස් තම විරුද්ධවාදීන්ට කතා කළ එක් අවස්ථාවක එම අනාවැකිය ගැන සඳහන් කළා. පේතෘස්ද එම අනාවැකිය යේසුස්ට හා ක්‍රිස්තියානි සභාවට අදාළ කළා. ඔහු සභාව ගොඩනැඟිල්ලකට සමාන කළා. ගොඩනැඟිල්ලක අත්තිවාරමට තිබෙන්නේ එක ප්‍රධාන ගලයි. ඒ හා සමානව ක්‍රිස්තියානි සභාව නමැති ගොඩනැඟිල්ලේ ප්‍රධාන ගල යේසුස් බව පේතෘස් පෙන්වා දුන්නා. බොහෝදෙනෙක් යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළි නොගත්තත් “දෙවි ඔහුව අනර්ඝ කෙනෙකු ලෙස තෝරාගෙන” තිබෙනවා.—1 පේතෘ. 2:4-6; මාක් 12:10, 11; ක්‍රියා 4:8-11.

ගෝලයෙක් පාවා දෙයි, අනික් අය අත්හැර යයි

5, 6. යේසුස්ව පාවා දෙන ආකාරය ගැන අනාවැකිවල පවසා තිබුණේ කුමක්ද? ඒවා ඉටු වුණේ කොහොමද?

5 මිතුරෙක් වගේ සිටින කෙනෙක් ගැලවුම්කරුව පාවා දෙයි. දාවිත් මෙවැනි අනාවැකියක් පැවසුවා. “මා සමඟ හිඳ මගේම කෑම කෑ, මා විශ්වාස කළ මගේම මිත්‍රයා මට ද්‍රෝහි වී ක්‍රියා කළේය.” (ගීතා. 41:9) ඒ කාලයේදී එකට එකතු වී කෑම වේලක් ගැනීමෙන් පෙන්නුවේ ඔවුන් අතර මිත්‍රත්වයක් තිබෙන බවයි. (උත්. 31:54) එම අනාවැකියට අනුව ගැලවුම්කරුට සතුරුකම් කරන්නේ ඔහුගේ මිත්‍රයෙක්. යේසුස් ඒ ගැන තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “මම කතා කරන්නේ ඔබ සියලුදෙනා ගැන නොවෙයි. මා තෝරාගත් අය කවුද කියා මම දන්නවා. ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේත් ඉටු විය යුතුයි. එහි පවසන්නේ, ‘මගේම කෑම කෑ තැනැත්තා මට ද්‍රෝහි වී ක්‍රියා කළේය’ කියායි.” (යොහ. 13:18) යේසුස් පැවසුවේ යූදස් ඉස්කාරියොත් ගැනයි. ඔහු යේසුස්ව පාවා දුන් විට දාවිත් පැවසූ අනාවැකිය ඉටු වුණා.

6 ගැලවුම්කරුව රිදී කාසි 30කට පාවා දෙයි. එය දාසයෙකුට ගෙවන කුලියයි. යේසුස්ව රිදී කාසි 30කට පාවා දෙන බව සෙකරියා 11:12, 13හි සඳහන් වෙනවා. නමුත් මතෙව් එය වාර්තා කරන්නේ යෙරෙමියා පැවසූ අනාවැකිය ඉටු වුණා කියායි. ඒ ඇයි? මතෙව්ගේ කාලයේදී තිබූ පොත් එකතුවකට සෙකරියා පොතද ඇතුළත් වී තිබුණත් මුලින්ම තිබෙන්නෙ ඇත්තේ යෙරෙමියා පොත විය හැකියි. යෙරෙමියා පැවසූ අනාවැකිය ඉටු වුණා කියා මතෙව් වාර්තා කළේ ඒ නිසා විය හැකියි. යූදස් තමන්ට ලැබුණු රිදී කාසි 30 දේවමාලිගාව තුළට විසි කර ‘එතැනින් අහක්ව ගොස් එල්ලී මැරුණු’ බවද මතෙව් වාර්තා කරනවා.—මතෙ. 26:14-16; 27:3-10

7. සෙකරියා 13:7හි සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

7 ගැලවුම්කරුගේ ගෝලයන් ඔහුව අත්හැර යයි. සෙකරියා මෙසේ පැවසුවා. “එඬේරාට පහර දෙන්න. එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත.” (සෙක. 13:7) ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් මාසයේ 14වෙනිදා යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “අද රාත්‍රියේ මට සිදු වන දේ නිසා ඔබ සැමදෙනාම මාව අත්හැර යනවා. මන්ද ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත’ කියා ලියා තිබෙනවා.” යේසුස්ගේ ගෝලයන් සියලුදෙනාම ඔහුව අත්හැර පලා ගිය බවට මතෙව් කළ වාර්තාවෙන් එම අනාවැකිය ඉටු වූ බව පැහැදිලියි.—මතෙ. 26:31, 56.

චෝදනා කිරීම සහ පහර දීම

8. යෙසායා 53:8හි සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

8 බොරු චෝදනාවක් මත ගැලවුම්කරුව මරණයට පත් කරයි. (යෙසායා 53:8 කියවන්න.) නීසාන් මාසයේ 14වනදා යුදෙව් මන්ත්‍රණ සභාවේ සියලුම සාමාජිකයන් රැස් වූ අතර ඔවුන් යේසුස්ව රෝම ආණ්ඩුකාරයා වන පොන්තියුස් පිලාත් වෙතට ගෙන ගියා. යේසුස්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු පිලාත් පැවසුවේ ඔහු නිර්දෝෂ පුද්ගලයෙක් බවයි. නමුත් යේසුස්ව නිදහස් කරන්නද කියා ඔහු ජනයාගෙන් ඇසූ විට ඔවුන් මහ හඬින් “ඔහුව කණුවක ඇණ ගසා මරන්න” කියා මොරගැසුවා. යේසුස් වෙනුවට අපරාධකාරයෙක් වූ බරබ්බස්ව නිදහස් කරන්න කියා ජනයා ඉල්ලා සිටියා. ඔවුන්ව සතුටු කිරීමට අවශ්‍ය නිසා ඔහු බරබ්බස්ව නිදහස් කළ අතර යේසුස්ට කසයෙන් තළා කණුවක ඇණ ගසා මරණයට පත් කිරීමට නියෝග කළා. එලෙස එම අනාවැකිය ඉටු වුණා.—මාක් 15:1-15.

9. ගීතාවලිය 35:11හි සඳහන් වදන් යේසුස්ගේ කාලයේදී ඉටු වුණේ කොහොමද?

9 ගැලවුම්කරුට විරුද්ධව බොරු සාක්ෂි දෙයි. “බොරු සාක්ෂිකරුවෝ ඉදිරිපත් වී මා නොදන්නා දේ මාගෙන් අසති” කියා දාවිත් පැවසුවා. (ගීතා 35:11) එම වදන් එලෙසම ඉටු වූ බව මතෙව් පැවසූ මේ දෙයින් පැහැදිලියි. “නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද ඔහුට විරුද්ධව බොරු සාක්ෂි සෙවූහ.” (මතෙ 26:59) බොහෝදෙනෙක් ගැලවුම්කරුට විරුද්ධව බොරු සාක්ෂි දුන්නත් ඔවුන්ගේ සාක්ෂි අතර කිසිම එකඟතාවක් නැති බව බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 14:56) යේසුස්ව මරණයට පත් කිරීමට ඔහුගේ විරුද්ධවාදීන්ට අවශ්‍ය වූ නිසා ඔහු ගැන ඉදිරිපත් කළ බොරු සාක්ෂි ඔවුන් හෙළා දැක්කේ නැහැ.

10. යෙසායා 53:7හි වදන් ඉටු වුණේ කොහොමද?

10 ගැලවුම්කරුට කොතරම් චෝදනා කළත් ඔහු නිහඬව සිටියි. “ඔහුට මොන තරම් හිංසා පීඩා කළත් ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය. මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය. ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය” කියා යෙසායා පැවසුවා. (යෙසා 53:7) යේසුස්ට ‘නායක පූජකයන් හා වැඩිමහල්ලන් චෝදනා කළත් ඔහු කිසි පිළිතුරක් දුන්නේ නැහැ.’ එවිට පිලාත් මෙසේ ඇසුවා. “ඔබට විරුද්ධව ඔවුන් කොපමණ චෝදනා නඟනවාද කියා ඔබට ඇසෙනවාද?” නමුත් යේසුස් “එක වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එහෙයින් ආණ්ඩුකාරයා බොහෝ සෙයින් පුදුම විය.” (මතෙ 27:12-14) යේසුස් කිසිවිටෙක තම විරුද්ධවාදීන්ට අපහාස කළේ නැහැ.—රෝම 12:17-21; 1පේතෘ 2:23.

11. යෙසායා 50:6 සහ මීකා 5:1හි සඳහන් අනාවැකි ඉටු වුණේ කොහොමද?

11 ගැලවුම්කරුට පහර දෙයි. යෙසායා මෙවැනි අනාවැකියක් පැවසුවා. “මට පහර දෙන අයට මගේ පිට තළන්නත් මගේ රැවුල් ගස් උගුලා දමන්නත් මම ඉඩ දුන්නෙමි. මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.” (යෙසා. 50:6) මීකාද මෙවැනි අනාවැකියක් පැවසුවා. “ඔහු ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුගේ කම්මුලට සැරයටියෙන් පහර දෙන්නේය.” (මීකා 5:1) යේසුස් සම්බන්ධයෙන් එම අනාවැකි ඉටු වූ ආකාරය මාක් මෙසේ සඳහන් කළා. “සමහරු ඔහුට කෙළ ගසන්න පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, ‘ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න’ කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.” සොල්දාදුවන් යේසුස්ගේ හිසට බට දණ්ඩකින් පහර දී ඔහුගේ මුහුණට කෙළ ගසා ඔහු ඉදිරියේ දණ නමා වැඳ වැටුණු බවද මාක් වාර්තා කරනවා.—මාක් 14:65; 15:19.

යේසුස් මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියා

12. ගීතාවලිය 22:16 සහ යෙසායා 53:12හි සඳහන් අනාවැකි ඉටු වුණේ කොහොමද?

12 ගැලවුම්කරු වද කණුවක මිය යයි. දාවිත් මෙවැනි අනාවැකියක් පැවසුවා. “අපරාධකරුවෝ එකතු වී මාව කොටු කරගෙන සිටිති. සිංහයෙකු මෙන් ඔවුහු මාගේ අත් පා හපා කති.” (ගීතා. 22:16) උදෑසන 9ට පමණ යේසුස්ගේ අත් පා කණුවකට තබා ඇණ ගැසූ බව සඳහන් කරමින් එම අනාවැකිය ඉටු වූ ආකාරය මාක් පැහැදිලි කළා. (මාක් 15:25) යේසුස් ‘තම දිවි පුදන බවත් පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලබන බවත්’ යෙසායා පැවසුවා. (යෙසා. 53:12) එම අනාවැකිය ඉටු වූ බව මතෙව් සඳහන් කරන මේ දෙයින් පැහැදිලියි. “කොල්ලකරුවන් දෙදෙනෙකුව ඔහුගේ දෙපැත්තේ කණුවල එල්ලන ලදි.”—මතෙ. 27:38.

13. ගීතාවලිය 22:7, 8හි සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

13 ගැලවුම්කරුට මිනිසුන් අවමන් කරයි. (ගීතාවලිය 22:7, 8 කියවන්න.) යේසුස් වද කණුවේ වේදනා විඳිමින් සිටින අවස්ථාවේදී පවා මිනිසුන් ඔහුට අවමන් කළා. මතෙව් ඒ ගැන මෙසේ වාර්තා කරනවා. “මඟ යන එන අය තම හිස් වනවනා ඔහුට නින්දා කරමින්, ‘දේවමාලිගාව කඩා දමා දවස් තුනකින් ගොඩනඟන බව ඔබ පැවසුවා නේද? ඉතින්, ඇයි බැරි ඔතනින් ගැලවෙන්න. ඔබ දෙවිගේ පුත්‍රයෙක් නම් වධකණුවෙන් බහින්න’ කියා කීවෝය.” එමෙන්ම නායක පූජකයන්, නීතිය පිටපත් කරන්නන් හා වැඩිමහල්ලන් එකතු වී ඔහුට කවටකම් කරමින් මෙසේ පැවසුවා. “ඔහු අනුන්ව ගලවාගත්තා. නමුත් තමන්ව ගලවාගන්න ඔහුට බැහැ. ඔහු ඊශ්‍රායෙලයෙහි රජු නේද? ඉතින් ඔහු දැන් වධකණුවෙන් බැස ආවොත් නම් අපි අනිවාර්යයෙන්ම ඔහුව විශ්වාස කරනවා. ‘මම දෙවිගේ පුත්‍රයා’ කියා ඔහු කිව්වා නේද? ඔහුට දෙවි ගැන මහත් විශ්වාසයක් තිබෙනවා. ඉතින් දෙවි කැමති නම් දෙවිට පුළුවන්නේ ඔහුව බේරාගන්න.” (මතෙ. 27:39-43) යේසුස් කොතරම් නින්දා අපහාස වින්දත් ඔහු කිසිම වැරදි දෙයක් පැවසුවේ නැහැ. ඔහු ඇත්තෙන්ම අපට හොඳ ආදර්ශයක්.

14, 15. ගැලවුම්කරුගේ වස්ත්‍ර සඳහා දාදු දමන බවටත් ඔහුට ඇඹුල් වයින් බොන්න දෙන බවටත් පවසා තිබූ අනාවැකි ඉටු වුණේ කොහොමද?

14 ගැලවුම්කරුගේ වස්ත්‍ර බෙදාගැනීමට දාදු දමයි. දාවිත් මෙසේ පැවසුවා. “ඔවුහු මාගේ පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගත්තෝය. මාගේ ඇඳුම් සඳහා දාදු දැමුවෝය.” (ගීතා. 22:18) ඇත්තෙන්ම සිදු වුණේ එයයි. යේසුස්ව වද කණුවේ ඇණ ගැසීමෙන් පසු රෝම සොල්දාදුවන් දාදු දමා ඔහුගේ වස්ත්‍ර බෙදාගත්තා.—මතෙ. 27:35; යොහන් 19:23, 24 කියවන්න.

15 ගැලවුම්කරුට ඇඹුල් වයින් හා තිත්ත යමක් බොන්න දෙයි. “ඔවුන් මට කන්න දුන්නේ විෂ පලා ජාතියකි. මා පිපාසයෙන් සිටි විට ඔවුන් මට පොවන්න උත්සාහ කළේ ඇඹුල් වයින්ය” කියා අනාවැකියක පවසා තිබුණා. (ගීතා. 69:21) එම අනාවැකිය ඉටු වූ බව මතෙව්ගේ මෙම වාර්තාවෙන් පැහැදිලියි. ‘තිත්ත යමක් මිශ්‍ර කළ වයින් ඔහුට බොන්න දුන්හ. නමුත් ඔහුට එහි රස දැනුණු විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පසුව ඔවුන්ගෙන් එක් කෙනෙක් ඉක්මනින් දුව ගොස් ස්පොන්ජියක් හා සමාන දෙයක් ගෙන එය ඇඹුල් වයින්වල පොඟවා බට දණ්ඩක ගසා ඔහුට බොන්න දුන්නේය.’—මතෙ. 27:34, 48.

16. ගීතාවලිය 22:1හි සඳහන් දේ ඉටු වුණේ කොහොමද?

16 දෙවි ගැලවුම්කරුව අත්හැර ඇති බවක් දකින්න ලැබෙයි. (ගීතාවලිය 22:1 කියවන්න.) නවවන පැයේදී යේසුස් මහත් හඬින් මෙසේ පැවසූ බව මාක් වාර්තා කරනවා. “‘ඒලී, ඒලී, ලාමා සබක්තානි?’ ඔහු පැවසූ දෙයෙහි අර්ථය නම්, ‘මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි’ යන්නයි.” (මාක් 15:34) දෙවි තමාව අත්හැරියා කියා යේසුස් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ පියාණන් කෙරෙහි තමාට තිබූ විශ්වාසය අඩු වූ බව නොවෙයි. තමන් මරණයට මුහුණ දෙන විට තම සතුරන්ගෙන් දෙවි තමාව ආරක්ෂා නොකරන බව යේසුස් දැන සිටියා. සෑම අවස්ථාවකදීම දෙවිට පක්ෂපාතව සිටින බව ඔප්පු කිරීමට යේසුස්ට මෙය කදිම ප්‍රස්තාවක් වුණා. යේසුස් ඉහත සඳහන් වදන් පැවසූ අවස්ථාවේදී ගීතාවලිය 22:1හි සඳහන් අනාවැකිය ඉටු වුණා.

17. සෙකරියා 12:10 සහ ගීතාවලිය 34:20හි සඳහන් දේ ඉටු වුණේ කොහොමද?

17 සතුරන් ගැලවුම්කරුට හෙල්ලයෙන් තුවාල කරයි. ඔහුගේ එක ඇටයක්වත් නොබිඳෙයි. හෙල්ලයෙන් තුවාල කළ තැනැත්තා දෙස යෙරුසලමේ ජනයා බලා සිටින බවට සෙකරියා අනාවැකියක් පැවසුවා. (සෙක 12:10) දෙවි ඔහුගේ ‘සෑම ඇටකටුවක්ම ආරක්ෂා කරන බවත් ඉන් එකක්වත් බිඳෙන්න ඉඩ නොහරින බවත්’ ගීතාවලිය 34:20හි පවසනවා. එය ඉටු වූ බව යොහන්ගේ මෙම වාර්තාවෙන් පැහැදිලියි. “හේවායෙක් හෙල්ලයකින් ඔහුගේ ළයට පහළින් පිහිටි පෙදෙසට ඇන්නේය. එවිට එතැනින් ලේත් වතුරත් පිටතට ආවේය. මේ සෑම දෙයක්ම වාර්තා කරන්නේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විසිනි. ඔහුගේ සාක්ෂිය සැබෑය.” ඔහු මෙසේද පැවසුවා. “ඇත්තෙන්ම ඒ දේවල් සිදු වූ විට, ‘ඔහුගේ එක ඇටයක්වත් බිඳිනු නොලබන්නේය’ කියා ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ ඉටු විය. ශුද්ධ ලියවිල්ලේ තවත් ස්ථානයක, ‘ඔවුන් තම හෙල්ලයෙන් තුවාල කළ තැනැත්තා දෙස බලන’ බවද සඳහන් වී තිබේ.”—යොහ. 19:33-37.

18. ගැලවුම්කරුව තැන්පත් කරන්නේ ධනවතුන් සමඟයි කියා පවසා තිබූ අනාවැකිය ඉටු වුණේ කොහොමද?

18 ගැලවුම්කරුව තැන්පත් කරන්නේ ධනවතුන් සමඟයි. (යෙසායා 53:5, 8, 9 කියවන්න.) නීසාන් 14වනදා සැන්දෑවේදී “අරිමාතිය නම් නුවරේ විසූ ධනවතෙකු වූ යෝසෙප්” යේසුස්ගේ ශරීරය භාරගැනීමට පිලාත්ගෙන් අවසර ඉල්ලුවා. මතෙව් ඒ පිළිබඳව මෙසේ වාර්තා කරනවා. “දේහය ගෙන පිරිසිදු අනර්ඝ ලිනන් රෙදිවලින් එතූ යෝසෙප්, පර්වතයක කපා තිබුණු ඔහුටම අයත් අලුත් සොහොන් ගෙයක එය තැන්පත් කළේය. ඉන්පසු ඔහු එහි දොරකඩ වැසෙන සේ විශාල ගලක් පෙරළා තබා ගියේය.”—මතෙ. 27:57-60.

අපේ රජ වන ගැලවුම්කරුට ප්‍රශංසා කරමු

19. ගීතාවලිය 16:10හි සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

19 යෙහෝවා දෙවි ගැලවුම්කරුව නැවත නැඟිටුවයි. “ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත” කියා දාවිත් පැවසුවා. (ගීතා. 16:10) නීසාන් 16වනදා ස්ත්‍රීන් කිහිපදෙනෙක් යේසුස්ව තැන්පත් කර තිබූ සොහොන් ගෙට පැමිණියා. නමුත් එහි දේවදුතයෙක් සිටිනවා දුටු විට ඔවුන් මොන තරම් පුදුමයට පත් වෙන්න ඇද්ද! දේවදූතයා ඔවුන්ට මෙසේ පැවසුවා. “පුදුම වෙන්න එපා. ඔබ සොයන්නේ කණුවක ඇණ ගසා මරා දැමූ නාසරෙත් නුවරේ යේසුස්ව කියා මම දන්නවා. ඔහුව මරණයෙන් නැඟිටුවා තිබෙනවා. මේ බලන්න, ඔවුන් ඔහුව තැන්පත් කළේ මෙම ස්ථානයේයි! ඔහු දැන් මෙහෙ නැහැ.” (මාක් 16:6) පසුව ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමේ මහත් ජන සමූහයක් අමතමින් ගීතාවලිය 16වන පරිච්ඡේදයේ සඳහන් දාවිත්ගේ අනාවැකියක් පේතෘස් පැවසුවා. ඔහු දාවිත් ගැන පැවසුවේ මෙසේයි. “ඔහු ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.” (ක්‍රියා 2:29-31) දෙවි තම ප්‍රේමණීය පුත්‍රයාගේ ශරීරය කුණු වීමට ඉඩ නොහැර ඔහුව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටෙව්වා.—1 පේතෘ. 3:18.

20. ගැලවුම්කරුගේ පාලනය ගැන පවසා ඇති අනාවැකි මොනවාද?

20 යේසුස් තම පුත්‍රයා බව යෙහෝවා දෙවිම පවසයි. (ගීතාවලිය 2:7; මතෙව් 3:17 කියවන්න.) යේසුස් යෙරුසලමට ඇතුල් වූ විට සෙනඟ ඔහු ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් ප්‍රශංසා කළා. අපත් යේසුස් හා ඔහුගේ රාජ්‍යය ගැන ජනයාට පැවසීමෙන් ඔහුට ප්‍රශංසා කරනවා. (මාක් 11:7-10) “නිහතමානී අය වෙනුවෙන්ද ධර්මිෂ්ඨකම සහ සත්‍යය වෙනුවෙන්ද” යේසුස් ක්‍රියා කරන විට ඔහු තම සියලු සතුරන්ව විනාශ කරයි. (ගීතා. 2:8, 9; 45:1-6) ඉන්පසුව ඔහු මුළු පොළොව පාලනය කිරීමට පටන්ගන්නා විට සෑම කෙනෙක්ම සමාදානයෙන් ජීවත් වෙයි. ඔවුන්ට ලැබෙන්නේ කිසිම දෙයකින් අඩුවක් නැති ජීවිතයක්. (ගීතා. 72:1, 3, 12, 16; යෙසා. 9:6, 7) යේසුස් දැනටමත් ස්වර්ගයෙහි පාලනය ආරම්භ කර තිබෙනවා. යෙහෝවා දෙවි ගැනත් ස්වර්ගයේ පිහිටුවා ඇති රාජ්‍යය ගැනත් ජනයාට දැන්වීම සඳහා අපට ලැබී තිබෙන්නේ මොන තරම් විශිෂ්ට වරප්‍රසාදයක්ද!

ඔබේ පිළිතුර කුමක්ද?

• යේසුස්ව පාවා දෙන බවට සහ ඔහුගේ ගෝලයන් ඔහුව අත්හැර යන බවට වූ අනාවැකි ඉටු වුණේ කොහොමද?

• යේසුස්ගේ මරණය ගැන පවසා තිබූ අනාවැකි ඉටු වුණේ කොහොමද?

• ගැලවුම්කරු යේසුස්ම බව ස්ථිරව පවසන්න ඔබට පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

යේසුස් රජෙකු ලෙස යෙරුසලමට ඇතුල් වූ අවස්ථාවේදී ඉටු වූ අනාවැකි මොනවාද?

[15වන පිටුවේ පින්තූර]

යේසුස් අපේ පාප නිසා මිය ගියත් ඔහු දැන් ස්වර්ගයේ රජු ලෙස පාලනය කරයි