Skip to content

පටුනට යන්න

ගැලවුම්කරුගේ පැමිණීම ඔවුන් අපේක්ෂාවෙන් සිටියා

ගැලවුම්කරුගේ පැමිණීම ඔවුන් අපේක්ෂාවෙන් සිටියා

ගැලවුම්කරුගේ පැමිණීම ඔවුන් අපේක්ෂාවෙන් සිටියා

“ජනතාව ක්‍රිස්තුස්ගේ පැමිණීම ගැන අපේක්ෂාවෙන් සිටි නිසා ඔවුහු යොහන් ගැන කල්පනා කරමින්, ‘මොහු ක්‍රිස්තුස් වෙන්න බැරිද’ කියා තර්ක කළෝය.”—ලූක් 3:15.

1. දේවදූතයෙක් එඬේරුන්ට පැවසුවේ කුමක්ද?

එඬේරුන් කිහිපදෙනෙක් බැටළුවන් බලාගනිමින් එළිමහනේ ගත කළ එක් රාත්‍රියක එක්වරම දීප්තිමත් එළියක් දිස් වුණා. ඉන් ඔවුන් බියට පත් වුණත් ඒත් සමඟම පෙනී සිටි දේවදූතයා පැවසූ දෙයට ඔවුන් හොඳ අවධානයක් දුන්නා. ඔහු පැවසුවේ මෙයයි. “බිය නොවන්න. මම ආවේ ඔබට ශුභාරංචියක් කීමටයි. ඒ ශුභාරංචිය සියලු ජාතීන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙයි. මන්ද අද දාවිත්ගේ නුවරෙහි ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා. ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි.” එම බිළිදාව අසල නගරයක ඇති ගව ඔරුවක තබා තිබෙන බවද දේවදූතයා ඔවුන්ට පැවසුවා. ඉන්පසු තවත් දේවදූතයන් විශාල සංඛ්‍යාවක් පෙනී සිට දෙවිට මෙසේ ප්‍රශංසා ගී ගැයීමට පටන්ගත්තා. “ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා! මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා!”—ලූක් 2:8-14.

2. මෙසියස් යන වචනයේ තේරුම කුමක්ද? ඇත්තටම ගැලවුම්කරු කවුද කියා ජනයාට දැනගන්න පුළුවන් කොහොමද?

2 පැමිණීමට නියමිත ගැලවුම්කරු හෙවත් මෙසියස් දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා බව එඬේරුන් දැන සිටියා. (නික්. 29:5-7) නමුත් ඉපදී සිටින එම බිළිදා දෙවි තෝරාගත් ගැලවුම්කරුද කියා තහවුරු කරගැනීමට එඬේරුන්ට සහ අනික් අයට පුළුවන් කොහොමද? ඒ සඳහා ගැලවුම්කරු ගැන ඇති අනාවැකි හොඳින් අධ්‍යයනය කිරීමත් ඔහුගේ ජීවිත කාලය තුළදී ඒවා ඉටු වන ආකාරය නිරීක්ෂණය කිරීමත් අවශ්‍යයි.

ගැලවුම්කරු පැමිණෙන තුරු ජනයා බලා සිටියේ ඇයි?

3, 4. දානියෙල් 9:24, 25හි සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

3 වසර ගණනාවකට පසු යොහන් බව්තීස්ත තම සේවය ආරම්භ කළ විට ඔහු කළ කී දේවල් නිසා සමහරු සිතුවේ ඔහු ගැලවුම්කරු කියායි. (ලූක් 3:15 කියවන්න.) නමුත් බයිබලයේ සති 70 පිළිබඳ අනාවැකියක් පළ කර තිබූ නිසා ගැලවුම්කරු පැමිණෙන කාලය තේරුම්ගැනීමට එය ඔවුන්ට උපකාරවත් වුණා. එහි සඳහන් වන්නේ මෙසේයි. ‘ඔබේ සෙනඟ වෙනුවෙන් සති හැත්තෑවක් නියම කර තිබේ. යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට නායකයා වන මෙසියස්ගේ පැමිණීම දක්වා සති හතක්ද සති හැටදෙකක්ද ගත වන බව අවබෝධ කරගන්න.’ (දානි. 9:24, 25) එම සති දින හතකින් යුත් සති නොව අවුරුදු හතකින් යුත් සති ලෙස ගණන් ගත යුතු බවට බයිබල් විශාරදයන් එකඟ වෙනවා. ඒ අනුව සතියක් යනු අවුරුදු හතක්.

4 දානියෙල් 9:25හි සඳහන් සති 69 අවුරුදු 483කට සමාන බව දෙවිගේ සෙනඟ තේරුම්ගෙන තිබෙනවා. එය ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව 455දියි. ඒ, පර්සියාවේ රජු වූ අර්තක්ෂස්තා විසින් යෙරුසලමේ තාප්ප නැවත ගොඩනැඟීමට ආඥාව නිකුත් කළ අවුරුද්දේදියි. (නෙහෙ. 2:1-8) එම අවුරුදු 483 අවසන් වුණේ ක්‍රිස්තු වර්ෂ 29 යේසුස් බව්තීස්ම වූ විටයි. යෙහෝවා දෙවි තම බලයෙන් ඔහුව ඒ අවස්ථාවේදී අභිෂේක කළ අතර ගැලවුම්කරු ඔහු බව ඉන් ඔප්පු වුණා.—මතෙ. 3:13-17. *

5. අප සලකා බලන සමහර අනාවැකි මොනවාද?

5 ගැලවුම්කරු පිළිබඳ තවත් අනාවැකි බයිබලයේ සඳහන් වෙනවා. ඉන් කිහිපයක් අපි මෙම ලිපියෙන් සලකා බලමු. ඒවා නම් ගැලවුම්කරුගේ උපත, දරුවෙකු සහ වැඩිහිටියෙකු ලෙස ඔහු ගත කළ කාලය හා දේවසේවය පිළිබඳ අනාවැකියි. ඒවා ඉටු වූ ආකාරයද අපි සලකා බලමු. එමගින් බයිබලයේ සඳහන් තොරතුරු ගැන ඇති අපේ විශ්වාසය තවත් ශක්තිමත් වන අතර බොහෝදෙනෙක් බලා සිටි ගැලවුම්කරු යේසුස් බවත් අපට තහවුරු වෙයි.

ගැලවුම්කරුගේ ජීවිතයේ මුල් අවදිය

6. උත්පත්ති 49:10හි සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

6 ගැලවුම්කරු පැමිණෙන්නේ යූදා ගෝත්‍රයෙන්. යාකොබ් මිය යෑමට පෙර ඔහු තම පුත්‍රයන්ට ආශීර්වාද කළ අතර යූදාට මෙසේ පැවසුවා. “ෂීලෝ පැමිණෙන තෙක් යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත. ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.” (උත්. 49:10) යාකොබ් යූදාට පැවසූ දේ අදාළ වන්නේ ගැලවුම්කරුට බව එවකට සිටි යුදෙව් විද්වතුන් හොඳින් දැන සිටියා. ඇත්තෙන්ම යාකොබ් පැවසූ දෙයින් අදහස් වුණේ කුමක්ද? රාජ යෂ්ටිය හා පාලකයාගේ සැරයටිය ගැන සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු රජ කෙනෙකු ගැන කතා කළ බවයි. සාමාන්‍යයෙන් රජ කෙනෙකු යෂ්ටියක් හා සැරයටියක් රැගෙන යෑමෙන් පෙන්වන්නේ තමන්ට පාලනය කිරීමට සහ අණ කිරීමට තිබෙන අයිතියයි. ඒ අනුව එම අනාවැකියෙන් පැහැදිලි වන්නේ පාලනය කිරීමට අයිතිය ඇති රජ පැමිණෙන්නේ යූදා ගෝත්‍රයෙන් බවයි. යූදා ගෝත්‍රයෙන් පැමිණි පළමුවෙනි රජ දාවිත්. අවසන් රජ වූයේ ශෙදකියායි. නමුත් ශෙදකියාගෙන් පසුව තවත් රජ කෙනෙක් පැමිණෙන බව හා ඔහුගේ රජකම සදහටම පවතින බව යාකොබ් පැවසූ අනාවැකියේ සඳහන් වුණා. ඔහුව හැඳින්නුවේ ෂීලෝ එනම්, “අයිතිය ඇති තැනැත්තා” ලෙසයි. දෙවි ශෙදකියාට පැවසුවේ පාලනය කිරීමට නීත්‍යනුකූල අයිතිය තිබෙන්නේ එම රජට බවයි. (එස. 21:26, 27) ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට පැවසූ මේ දෙයින්ද එය තහවුරු වෙනවා. “යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය ලබා දෙයි. යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.” (ලූක් 1:32, 33) යේසුස් පැමිණියේ යූදා ගෝත්‍රයට අයත් දාවිත්ගේ පෙළපතිනුයි. ශෙදකියාට පසු එම පෙළපතින් පැමිණෙන, රජ වීමට නීත්‍යනුකූල අයිතිය ඇති එකම තැනැත්තා ලෙස යෙහෝවා දෙවි නියම කළෙත් යේසුස්ව පමණයි. ඒ අනුව ෂීලෝ විය යුත්තේ යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවෙයි.—මතෙ. 1:1-3, 6; ලූක් 3:23, 31-34.

7. ගැලවුම්කරුගේ උපත පිළිබඳ අනාවැකිය ඉටු වුණේ කොහොමද?

7 ගැලවුම්කරු උපත ලබන්නේ බෙත්ලෙහෙම් නගරයේයි. ඒ ගැන මීකා මෙවැනි අනාවැකියක් පැවසුවා. “යූදාහි නගර අතරින් කුඩාම නගරය වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා! ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.” (මීකා 5:2) එම අනාවැකියට අනුව ගැලවුම්කරු උපත ලබන්නේ බෙත්ලෙහෙමෙයි. එය යූදාහි පිහිටි නගරයක් වූ අතර කාලයක් එෆ්‍රාතා කියාද එය හැඳින්නුවා. නමුත් යෝසෙප් සහ ගැබ්ගෙන සිටි මරියා ජීවත් වුණේ නාසරෙත් නගරයේයි. ඒ කාලයේදී තම තමන්ගේ උපන් ගම්වලට ගොස් ලියාපදිංචි වන ලෙස රෝම අධිරාජ්‍යයා නියෝගයක් නිකුත් කළා. ඒ සඳහා මරියාට සහ යෝසෙප්ට බෙත්ලෙහෙමට යෑමට සිදු වූ අතර අනාවැකියේ සඳහන් වූ ලෙස යේසුස් එහිදී උපත ලැබුවා.—මතෙ. 2:1, 5, 6.

8, 9. ගැලවුම්කරුගේ උපත ගැන අනාවැකියේ සඳහන් වන්නේ කුමක්ද? ඉන්පසුව සිදු වන දේ ගැන අනාවැකියේ සඳහන් වුණේ කුමක්ද?

8 තරුණියක් ගැලවුම්කරුව බිහි කරයි. (යෙසායා 7:14 කියවන්න.) එම අනාවැකිය ඉටු වූ බව මතෙව් සහ ලූක් යන දෙදෙනාම වර්තා කළා. ඔවුන් සඳහන් කළේ කන්‍යාවක් වූ මරියා දෙවිගේ බලයේ ක්‍රියාකාරීත්වයෙන් ගැබ්ගෙන පුතෙකු බිහි කළ බවයි. (මතෙ. 1:18-25; ලූක් 1:26-35) “තරුණියක්” පුත්‍රයෙකු බිහි කරන බව යෙසායා පැවසුවත් මතෙව් එය උපුටා දක්වන විට ඔහු භාවිත කළේ “තරුණිය” සඳහා යොදන ග්‍රීක වචනය නොව “කන්‍යාව” සඳහා යොදන ග්‍රීක වචනයයි. හෙබ්‍රෙව් ලියවිල්ලේ තරුණිය යන්නට යොදාගෙන ඇති හෙබ්‍රෙව් වචනයේ කන්‍යාව යන අදහසද ගැබ් වී තිබෙන බව විවාහයට පෙර රෙබෙකාව බයිබලයේ හඳුන්වා දී තිබෙන ආකාරයෙන් පැහැදිලි වෙනවා.—උත්. 24:16, 43.

9 ගැලවුම්කරුගේ උපතින් පසු දරුවන්ව ඝාතනය කරයි. ගැලවුම්කරුගේ උපතට සියවස් ගණනාවකට පෙරද ඒ හා සමාන දෙයක් සිදු වුණා. ඒ, ඊජිප්තුවේ සිටි සියලුම හෙබ්‍රෙව් ජාතික පිරිමි දරුවන්ව නයිල් ගඟට විසි කරන්න කියා පාරාවෝ අණ කළ අවස්ථාවේදියි. (නික්. 1:22) ගැලවුම්කරුගේ උපත හා සම්බන්ධ අනාවැකියක් යෙරෙමියා 31:15, 16හි සඳහන් වෙනවා. ‘තම පුත්‍රයන් වෙනුවෙන් රාකෙල් හඬා වැලපෙන’ හඬ යෙරුසලමේ උතුරු දෙසින් පිහිටි බෙන්ජමින් නගරයේ ප්‍රදේශයක් වූ රාමාහි වැසියන්ට පවා ඇසුණු බව එහි සඳහන් වෙනවා. හෙරොද් රජ බෙත්ලෙහෙමේ සිටි සියලු පිරිමි දරුවන්ව ඝාතනය කිරීමට අණ කළ අවස්ථාවේදී එම අනාවැකිය ඉටු වූ බව මතෙව් වාර්තා කරනවා.මතෙව් 2:16-18 කියවන්න.

10. හොෂෙයා 11:1හි අනාවැකිය ඉටු වුණේ කොහොමද?

10 ගැලවුම්කරුව ඊජිප්තුවෙන් කැඳවාගනියි. (හොෂෙ. 11:1) බිළිදු යේසුස්ගේ ජීවිතය හෙරොද්ගෙන් ආරක්ෂා කරගැනීමට ඊජිප්තුවට පලා යන ලෙස දේවදූතයෙක් යෝසෙප්ට සහ මරියාට පැවසුවා. ඔහු මිය ගිය පසු ඔවුන් යේසුස්වද රැගෙන නැවත ඊශ්‍රායෙලයට පැමිණියා. “ඊජිප්තුවෙන් මාගේ පුත්‍රයාව මම කැඳවාගතිමි” කියා යෙහෝවා දෙවි හොෂෙයා මාර්ගයෙන් පැවසූ අනාවැකිය එලෙස ඉටු වුණා.—මතෙ. 2:13-15.

ගැලවුම්කරු තම සේවය අරඹයි

11. ගැලවුම්කරුගේ පෙරමඟ සූදානම් කළේ කවුද?

11 පණිවිඩකරුවෙක් ගැලවුම්කරුගේ පෙරමඟ සූදානම් කරයි. ගැලවුම්කරුගේ පැමිණීමට පෙර ඔහුගේ මාර්ගය සූදානම් කිරීමට පැමිණෙන කෙනෙකු ගැන මලාකි පැවසුවා. ගැලවුම්කරුව පිළිගැනීම සඳහා ජනයාව සූදානම් කිරීම ඔහුගේ කාර්යයි. මලාකි ඔහුව හඳුන්වන්නේ අනාගතවක්තෘ එලියා ලෙසයි. (මලාකි 4:5, 6 කියවන්න.) ගැලවුම්කරු ලෙස පැමිණි යේසුස් යොහන් බව්තීස්තව එලියාට සමාන කළා. (මතෙ. 11:12-14) එමෙන්ම ගැලවුම්කරු වෙනුවෙන් මාර්ගය සූදානම් කිරීම ගැන යෙසායා පැවසූ අනාවැකියට අනුව කටයුතු කළේ යොහන් බව මාක් ඉතා කදිමට සනාථ කළා. (යෙසා. 40:3; මාක් 1:1-4) තම පෙරමඟ සූදානම් කරන්න කියා යේසුස් යොහන්ට පැවසුවේ නැහැ. ඒ සඳහා ජනයාව සූදානම් කිරීම දෙවිගේ කැමැත්ත වූ නිසා එලියා හා සමාන කාර්යයක් ඉටු කිරීමට යොහන් බව්තීස්තව තෝරාගත්තේ යෙහෝවා දෙවියි.

12. ගැලවුම්කරුට දෙවි ලබා දුන් විශේෂ කාර්යය කුමක්ද?

12 ගැලවුම්කරුට දෙවි විශේෂ කාර්යයක් පවරයි. දිනක් යේසුස් නාසරෙත්හි සිනගෝගයට පැමිණ යෙසායාගේ ලියවිල්ලේ මෙම කොටස කියෙව්වා. “යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න මාව අභිෂේක කළේය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස ලැබෙන බවත් අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවත් දේශනා කිරීමට සහ තැළී පීඩිතව සිටින අයව නිදහස් කිරීමටයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ කරුණාවේ අවුරුද්ද ගැන දේශනා කිරීමටයි.” එම අනාවැකියේ සඳහන් ලෙස සැබෑ ගැලවුම්කරු වුණේ යේසුස්. “ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ඇහෙන්න කියෙවූ එම කොටස ඔබේ ඇස් ඉදිරිපිටම දැන් ඉටු වෙනවා” කියා ඔහු පැවසුවේ ඒ නිසයි.—ලූක් 4:16-21.

13. යේසුස් ගලීලයේදී කරන සේවය ගැන යෙසායා පැවසුවේ කුමක්ද?

13 ගැලවුම්කරු ගලීලයේදී කරන සේවය ගැන පවසන අනාවැකියක්. “සෙබ්‍යූලන්,” “නෆ්තලී” සහ “බොහෝ ජාතීන් වාසය කරන ගලීල දේශය” ගැන යෙසායා මෙවැනි අනාවැකියක් පැවසුවා. “අඳුරේ සිටි ජනයා මහත් ආලෝකයක් දුටුවෝය. ඝනාන්ධකාරයෙන් වැසී ගිය දේශයේ වැසියන්ට ආලෝකය උදා විය.” (යෙසා. 9:1, 2) එය ඉටු වුණේ කොහොමද? යේසුස් තම දේවසේවය ආරම්භ කළේ ගලීල ප්‍රදේශයේ කපර්ණවුම නගරයෙනුයි. ඔහු සෙබ්‍යුලන් සහ නෆ්තලී යන ප්‍රදේශවලද දෙවි ගැන ඉගැන්නුවා. එම ප්‍රදේශවල සිටි ජනයාගේ අඳුරු ජීවිතවලට ඔහුගේ ඉගැන්වීම්වලින් ඉමහත් ආලෝකයක් ලැබුණා. (මතෙ. 4:12-16) යේසුස් කන්ද උඩ දේශනාව ඉදිරිපත් කළෙත් තම නියෝජිතයන්ව තෝරාගත්තෙත් මුල්ම ආශ්චර්යය සිදු කළෙත් ගලීලයේදියි. ඔහු නැවත නැඟිටීමෙන් පසු අනුගාමිකයන් 500කට වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියේත් එහිදියි. (මතෙ. 5:1–7:27; 28:16-20; මාක් 3:13, 14; යොහ. 2:8-11; 1 කොරි. 15:6) ‘සෙබ්‍යූලන් සහ නෆ්තලී යන පළාත්වල’ යේසුස් ශුභාරංචිය දේශනා කිරීම නිසා යෙසායා පැවසූ අනාවැකිය ඉටු වුණා. ඔහු ශුභාරංචිය ඊශ්‍රායෙලයේ වෙනත් ප්‍රදේශවලටද ගෙන ගියා.

ගැලවුම්කරු පිළිබඳ තවත් අනාවැකි

14. ගීතාවලිය 78:2හි සඳහන් වූ දේ ඉටු වුණේ කොහොමද?

14 ජනයාට ඉගැන්වීම සඳහා ගැලවුම්කරු උපමා කතන්දර යොදාගනියි. ආසාෆ් රචනා කළ ගීතිකාවක මෙසේ සඳහන් වුණා. “ඔබ හොඳින් දන්නා දෙයක් මම ඔබට කියන්නෙමි.” (ගීතා. 78:2) එම අනාවැකිය ඉටු වූ ආකාරය ගැන මතෙව් පැවසුවා. යේසුස් සෑම අවස්ථාවකදීම ජනයාට උගන්වන්න උපමා භාවිත කළා. ඔහු දේවරාජ්‍යය ගැන ඉගැන්වීම සඳහා අබ ඇටය හා මුහුන් පිළිබඳ උපමා යොදාගත් බව මතෙව් සඳහන් කරනවා. ඔහු මෙසේ පැවසුවා. “[යේසුස්] උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැත. ඔහු එසේ කළේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියන ලද, ‘මම උපමා මගින් ඔබට කතා කරන්නෙමි. බොහෝ කලකට පෙර සිට සඟවා තිබුණු දේවල් මම ප්‍රකාශ කරන්නෙමි’ යන අනාවැකිය ඉටු වීම සඳහායි.” (මතෙ. 13:31-35) යේසුස් ඉගැන්වීම සඳහා උපමා භාවිත කළ නිසා යෙහෝවා දෙවි ගැන සත්‍යය වඩාත් පැහැදිලිව අවබෝධ කරගැනීමට ජනයාට හැකි වුණා.

15. යෙසායා 53:4හි සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද?

15 ගැලවුම්කරු සුව කිරීම් කරයි. යෙසායා මෙවැනි අනාවැකියක් පැවසුවා. “ඔහු තම කර පිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝග හා දුක් වේදනාය.” (යෙසා. 53:4) පේතෘස්ගේ නැන්දම්මා අසනීප වූ අවස්ථාවේදී යේසුස් ඇයව සුව කළා. ඉන්පසු පේතෘස්ගේ නිවසට පැමිණි බොහෝදෙනෙකුවද ඔහු සුව කළා. යෙසායා පැවසූ අනාවැකිය ඉටු වූ බව පවසමින් මතෙව් මෙසේ සඳහන් කරනවා. “ඔහු තම කරපිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝගයි.” (මතෙ. 8:14-17) යේසුස් තවත් බොහෝ අවස්ථාවලදීද සුව කිරීම් කළ බව බයිබලයේ වාර්තා වෙනවා.

16. යෙසායා 53:1හි සඳහන් අනාවැකිය ඉටු වූ බව යොහන් වාර්තා කරන්නේ කොහොමද?

16 යේසුස් යහපත් දේවල් කළත් බොහෝදෙනා ඔහුව ගැලවුම්කරු ලෙස පිළිගන්නේ නැහැ. (යෙසායා 53:1 කියවන්න.) එම අනාවැකිය ඉටු වූ ආකාරය ගැන යොහන් වාර්තා කරන්නේ මෙසේයි. “ඔහු ඔවුන් ඉදිරියෙහි කොතරම් ලකුණු සිදු කළත් ඔවුහු ඔහු කෙරෙහි විශ්වාසය තැබුවේ නැත. එසේ සිදු වූයේ අනාගතවක්තෘ යෙසායා පැවසූ වචන ඉටු වීම සඳහාය. එනම්, ‘යෙහෝවා දෙවියනි, අප ඇසූ දේ කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද? යෙහෝවා දෙවිගේ මහත් බලය දකින්න සැලැස්වූවේ කාටද?’” (යොහ. 12:37, 38) යේසුස් ගැලවුම්කරු බව අවුරුදු ගණනාවකට පසුව පාවුල් ප්‍රකාශ කළ විටත් බොහෝදෙනෙක් එය පිළිගත්තේ නැහැ.—රෝම 10:16, 17.

17. ගීතාවලිය 69:4හි ඇති අනාවැකිය ඉටු වුණේ කොහොමද?

17 කිසිම හේතුවක් නැතුව ජනයා ගැලවුම්කරුට සතුරුකම් කරයි. (ගීතා. 69:4) යේසුස් මෙසේ පැවසුවා. “වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මා ඔවුන් අතරේ කළේ නැත්නම් ඔවුන් පව්කාරයන් වන්නේ නැහැ. නමුත් දැන් ඔවුන් මගේ ක්‍රියා දැක මටත් මගේ පියාණන්ටත් වෛර කරනවා. මේ දේ සිදු වී තිබෙන්නේ, ‘ඔවුන් කිසි හේතුවක් නැතුව මට වෛර කළා’ කියා ඔවුන්ගේ නීතියේ ලියා තිබෙන වචන ඉටු විය යුතු නිසයි.” (යොහ. 15:24, 25) එහි ‘නීතිය’ යන්නෙන් අදහස් කරන්නේ ඒ කාලයේදී ඔවුන් සතුව තිබූ ශුද්ධ ලියවිලියි. (යොහ. 10:34; 12:34) සුවිශේෂ වාර්තාවල සඳහන් ලෙස බොහෝදෙනා විශේෂයෙන්ම යුදෙව් ආගමික නායකයන් යේසුස්ට සතුරුකම් කළා. ඒ ගැන යේසුස් පැවසුවේ “ලෝකයේ සිටින මිනිසුන් ඔබට වෛර කරන්නේ නැහැ. නමුත් මම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියා එළිපිට ප්‍රකාශ කරන නිසා ඔවුන් මට වෛර කරනවා” කියායි.—යොහ. 7:7.

18. අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

18 ගැලවුම්කරු යේසුස් බවට පළමු සියවසේ සිටි ඔහුගේ අනුගාමිකයන්ට නම් කිසිම සැකයක් තිබුණේ නැහැ. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ගැලවුම්කරු ගැන සඳහන් සියලුම අනාවැකි යේසුස් සම්බන්ධයෙන් ඉටු වූ බව ඔවුන්ට හොඳින් අවබෝධ වුණා. (මතෙ. 16:16) අප මෙම ලිපියෙන් සාකච්ඡා කළේ යේසුස්ගේ ජීවිතයේ මුල් අවදිය හා දේවසේවය පිළිබඳ අනාවැකි ඉටු වූ ආකාරය ගැනයි. ගැලවුම්කරු පිළිබඳ තවත් අනාවැකි රාශියක් බයිබලයේ සඳහන් වෙනවා. ඒවා ගැන අප ඊළඟ ලිපියෙන් සලකා බලමු. ඒවා ඉටු වූ ආකාරය ගැන ගැඹුරින් කල්පනා කර බලනවා නම් යෙහෝවා දෙවි තෝරාගත් ගැලවුම්කරු යේසුස් බවට වූ අපේ විශ්වාසය තවත් තහවුරු වෙයි.

[පාදසටහන]

^ 4 ඡේ. “සති හැත්තෑව” පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා දානියෙල්ගේ අනාවැකිය නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

ඔබේ පිළිතුර කුමක්ද?

• යේසුස්ගේ උපත ගැන සඳහන් අනාවැකි මොනවාද?

• ගැලවුම්කරුගේ පෙරමඟ සූදානම් කළේ කවුද?

යෙසායා 53වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකි ඉටු වුණේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]