Skip to content

පටුනට යන්න

පවුලේ නමස්කාරය හා පෞද්ගලික අධ්‍යයනය සඳහා යෝජනා

පවුලේ නමස්කාරය හා පෞද්ගලික අධ්‍යයනය සඳහා යෝජනා

පවුලේ නමස්කාරය හා පෞද්ගලික අධ්‍යයනය සඳහා යෝජනා

වර්ෂ 2009 සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වල වෙනසක් සිදු කළා. එනම් සතියේ දින දෙකක් තුළ පැවැත්වූ රැස්වීම් එක් දිනක පැවැත්වීමට සැලසුම් කිරීමයි. එහි අරමුණ වුණේ කලින් රැස්වීම් පැවැත්වූ දිනය පවුලේ නමස්කාරය හෝ පෞද්ගලික අධ්‍යයනය සඳහා යොදාගැනීමට සියලුදෙනාව දිරිගැන්වීමයි. එම නව සැලැස්මෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගනිමින් සිටිනවාද?

පවුලේ නමස්කාරය හෝ පෞද්ගලික අධ්‍යයනය සඳහා තෝරාගන්නේ කුමක්ද කියා සමහරුන් කල්පනා කරනවා. එය පාලක මණ්ඩලය තීරණය කරන්නේ නැහැ. එක් එක් පවුලේ හා පුද්ගලයාගේ තත්වයන් වෙනස් නිසා පවුලේ නමස්කාරය සඳහා කළ යුත්තේ කුමක්ද කියා තීරණය කිරීම එක් එක් කෙනා සතු දෙයක්.

සමහර අය පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ දවසේදී රැස්වීම්වලට සූදානම් වෙනවා. නමුත් ඒ සඳහා පමණක් එය සීමා කළ යුතු නැහැ. තවත් අය බයිබලය හෝ ඒ මත පදනම් ප්‍රකාශන කියවීමට, සාකච්ඡා කිරීමට මෙන්ම දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා බයිබලයේ ඇති සිද්ධීන් රඟ දැක්වීමට එය අවස්ථාවක් කරගන්නවා. සෑම සතියකම ප්‍රශ්නෝත්තර ක්‍රමයට එම සාකච්ඡාව කළ යුතු නැහැ. සාකච්ඡාව අතරතුර පවුලේ සියලුදෙනා අතර මිත්‍රශීලී ස්වභාවයක් තිබෙන විට සාකච්ඡාවට උනන්දුවෙන් සහභාගි වීමටත් විවෘතව අදහස් හුවමාරු කරගැනීමටත් අවස්ථාව ලැබෙනවා. එවැනි අවස්ථාවලදී නිර්මාණශීලී අදහස් ඉදිරිපත් වන නිසා එය සියලුදෙනාටම සතුටක් ගෙන දෙන මතකයේ රැඳෙන සාකච්ඡාවක් වෙයි.

තිදරු පියෙක් ඔවුන්ගේ පවුලේ නමස්කාරය ගැන මෙසේ පවසනවා. “අපි කරන සාකච්ඡා බොහෝදුරට පදනම් වෙන්නේ බයිබල් කියවීමේ කොටසේ තියෙන තොරතුරු මතයි. අපි අදාළ බයිබල් පරිච්ඡේද කලින්ම කියවනවා. අපේ දරුවන් ඒකෙන් හොයාගත්ත කරුණු ගවේෂණය කරලා ඒක පවුලේ සාකච්ඡාවේදී ඉදිරිපත් කරනවා. අපේ පොඩි පුතා මයිකල් (අවුරුදු 7යි) හුඟක් වේලාවට කරන්නේ ඒ කොටසට අදාළ චිත්‍රයක් අඳින එක නැත්නම් ඡේදයක් ලියන එකයි. ඩේවිඩ් සහ කාට්ලින් (අවුරුදු 13යි, 15යි) කරන්නේ කියවපු සිද්ධිය බලා සිටි කෙනෙක් විදිහට ඒ ගැන තොරතුරු ලියන එකයි. දවසක් කාට්ලින් පාරාවෝගේ රොටි සාදන්නා සහ කුසලාන දරන්නා දුටු සිහිනය යොසෙප් තේරුම් කර දෙන ආකාරය දකින හිරකාරයෙක් විදිහට පොඩි විස්තරයක් ලිව්වා.”—උත්පත්ති 40වන පරිච්ඡේදය.

එක් පවුලකට ප්‍රයෝජනවත් තොරතුරු තවත් පවුලකට ප්‍රයෝජනවත් නොවිය හැකියි. ඔබේ පවුලේ නමස්කාරයේදී හෝ පෞද්ගලික අධ්‍යයනයේදී ක්‍රියාත්මක කළ හැකි තවත් යෝජනා මෙහි ඇති කොටුවේ සඳහන් වෙනවා. ඒ හා සමාන තවත් බොහෝ ක්‍රම තිබෙනවා.

[6, 7වන පිටුවල කොටුව⁄පින්තූරය]

යෞවන දරුවන් සිටින පවුල් සඳහා

• යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොත සාකච්ඡා කරන්න.

• බයිබලයේ සඳහන් චරිත බෙදාගෙන කියවන්න. (1996 මැයි 15 මුරටැඹ කලාපයේ 14වන පිටුවේ 17-18 ඡේද බලන්න.)

• කෙටි හා දීර්ඝ කාලීන ඉලක්ක ගැන සාකච්ඡා කරන්න.

• විටින් විට බයිබලය මත පදනම් වීඩියෝ දර්ශන නරඹන්න.

මුරටැඹ පොදු කලාපයේ පළ වන “යොවුන් ඔබට” නමැති කොටස සාකච්ඡා කරන්න.

දරුවන් නැති විවාහකයන් සඳහා

• පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ 1, 3, 11-16වන පරිච්ඡේද සාකච්ඡා කරන්න.

• බයිබල් කියවීමේ කොටසේ කරුණු ගවේෂණය කර සොයාගත් තොරතුරු සාකච්ඡා කරන්න.

මුරටැඹ පාඩමට හෝ සභා බයිබල් පාඩමට සූදානම් වන්න.

• සේවය වැඩි කළ හැකි ක්‍රම ගැන සාකච්ඡා කරන්න.

තනිකඩ සහෝදර සහෝදරියන් හෝ සාක්ෂිකරුවන් නොවන සාමාජිකයන් සිටින පවුල් සඳහා

• අලුතින් මුදාහරින ප්‍රකාශන අධ්‍යයනය කරන්න.

• මෙම වසරේ හා පසුගිය වසරවල වාර්ෂික පොත් කියවන්න.

• නිවැසියන් වැඩිපුර අසන ප්‍රශ්නවලට පිළිතුරු ගවේෂණය කරන්න.

• ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාර ගැන සූදානම් වන්න.

කුඩා දරුවන් සිටින පවුල් සඳහා

• බයිබලයේ සඳහන් සිද්ධීන් රඟ දක්වන්න.

• තොරතුරු මතකයෙන් පවසන්න. (පිබිදෙව්! සඟරාවේ 30 සහ 31වන පිටුවල ඇති තොරතුරු ඊට උදාහරණයක්.)

• විටින් විට බයිබල් චරිත රඟ දක්වන්න. (2011 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 11වන පිටුවේ ඇති “වෑයම වටිනවා” යන ලිපිය බලන්න.)

මුරටැඹ කලාපයේ පළ වන “ඔබේ දරුවන්ට උගන්වන්න” නමැති ලිපිය සාකච්ඡා කරන්න.