Skip to content

පටුනට යන්න

සමාදානයෙන් සිටීමට වෑයම් කරන්න

සමාදානයෙන් සිටීමට වෑයම් කරන්න

සමාදානයෙන් සිටීමට වෑයම් කරන්න

‘සමාදානයට දායක වන දේවල් කිරීමට දැඩි උත්සාහයක් දරන්න.’—රෝම 14:19.

1, 2. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සමාදානය තිබීමට හේතු මොනවාද?

අද දින එකිනෙකා සමඟ සමාදානයෙන් ජීවත් වීමට හැකි වී තිබෙන්නේ කීයෙන් කී දෙනාටද? අඩුමතරමින් එකම රටේ එකම භාෂාව කතා කරන අය අතරවත් සාමය දකින්න නැති තරම්. ඔවුන් ආගමික, දේශපාලනික වශයෙන් හා වත්පොහොසත්කම් සහ උගත්කම අතින් බෙදී සිටිනවා. නමුත් ‘සියලු ජාතීන්ගෙන්, ගෝත්‍රවලින්, ජනයාගෙන් හා සියලු භාෂා කතා කරන අයගෙන්’ සමන්විත මිලියන හතකට වඩා වැඩි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සමාදානය තිබෙනවා.—එළි. 7:9.

2 ඊට ප්‍රධාන හේතුව ඔවුන් ‘දෙවි සමඟ සමාදානය භුක්ති විඳීමයි.’ එසේ කිරීමට හැකි වී තිබෙන්නේ ඔවුන් දෙවිගේ පුත් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන නිසයි. (රෝම 5:1; එෆී. 1:7) සමාදානය, දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංගයක්. (ගලා. 5:22) ඒ අනුව දෙවිගේ සෙනඟ අතර සමාදානය තිබීමට තව හේතුවක් වන්නේ ඔහු තම බලය ඔවුන්ට ලබා දීමයි. ඔවුන් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවීමද’ ඊට තවත් හේතුවක්. (යොහ. 15:19) ඉන් අදහස් කරන්නේ මේ ලෝකයේ දේශපාලන කටයුතුවලට හෝ යුද්ධවලට ඔවුන් හවුල් නොවන බවයි. බයිබලයේ සඳහන් වන ලෙස ඔවුන් තම “කඩුවලින් නගුල්” සාදාගෙන තිබෙනවා.—යෙසා. 2:4.

3. අප අතර ඇති සමාදානය නිසා අප කටයුතු කරන්නේ කොහොමද? අප මෙම ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

3 අප ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත් වුණත් අපට විවිධ චාරිත්‍ර වාරිත්‍ර හා පෞද්ගලික අදහස් තිබුණත් අප ‘එකිනෙකාට ප්‍රේම කරනවා.’ (යොහ. 15:17) අප සහෝදර සහෝදරියන් සමඟ සමාදානයෙන් සිටිනවා කීමෙන් අදහස් කරන්නේ ඔවුන්ට හානියක් සිදු වන දේවලින් වැළකී සිටිනවා පමණක් නොව ‘අප හා සමාන විශ්වාසයක් ඇති ඔවුන්ට යහපත් දේවල් කිරීමත්’ ඊට ඇතුළත්. (ගලා. 6:10) දෙවි සහ සෙසු ක්‍රිස්තියානීන් සමඟ අප භුක්ති විඳින සමාදානය අපට වටින නිසා එය රැකගැනීම අපේ ආශාවයි. ඒ නිසා ගැටලු පැනනඟින විට එකිනෙකා සමඟ සාමය පවත්වාගන්නේ කොහොමද කියා අපි මෙම ලිපියෙන් සලකා බලමු.

වරදක් සිදු වූ විට

4. අප අතින් වරදක් සිදු වූ විට සාමය පවත්වාගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද?

4 ‘අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙනවා. යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (යාකො. 3:2) සමහර අවස්ථාවලදී අප අතර එකඟ නොවීම් හෝ වෙනත් ගැටලු ඇති විය හැකියි. නමුත් ඒවා විසඳාගෙන සභාවේ සාමය රැකගැනීම සඳහා පියවර ගැනීමට අපට හැකි විය යුතුයි. උදාහරණයකට අපේ අතින් වරදක් සිදු වී ඇති විට කළ යුතු දේ ගැන යේසුස් අපට පැවසුවා.මතෙව් 5:23, 24 කියවන්න.

5. කෙනෙක් අතින් අපට වරදක් සිදු වූ විට සාමය පවත්වාගැනීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

5 වෙනත් කෙනෙකු අතින් අපට වරදක් සිදු වී ඇති විට අප කළ යුත්තේ කුමක්ද? ඔහු හෝ ඇය අපෙන් සමාව ඉල්ලිය යුතුයි කියා අප සිතිය යුතුද? ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අමනාපයක් සිතේ තබාගන්නේ නැහැ කියා 1 කොරින්ති 13:5 සඳහන් වෙනවා. එම උපදෙසට අනුව ඒ වැරැද්ද අමතක කර ඔහුට සමාව දීමෙන් පෙන්වන්නේ අප සාමය පවත්වාගැනීමට කැමති බවයි. (කොලොස්සි 3:13 කියවන්න.) සුළු සුළු ගැටලු පැනනඟින අවස්ථාවලදී කළ හැකි හොඳම දේ එයයි. එමගින් එකිනෙකා සමඟ එක්සත්ව සිටීමට හැකි වන අතර අප කළ දේ ගැන අපට විශාල සතුටක්ද දැනෙනවා. වරද අමතක කර දැමීම අලංකාර ගුණාංගයක් කියා පුරාණ හිතෝපදේශයකද සඳහන් වන්නේ ඒ නිසයි.—හිතෝ. 19:11.

6. අපට කළ වරදක් ලෙහෙසියෙන් අමතක කිරීමට නොහැකි නම් කුමක් කළ හැකිද?

6 කෙනෙකු අපට කළ වරදක් ලෙහෙසියෙන් අමතක කිරීමට නොහැකියි කියා සිතෙනවා නම් කුමක් කළ හැකිද? ඒ ගැන වෙනත් අය සමඟ කතා කිරීම ඥානවන්ත දෙයක් නොවෙයි. එසේ කිරීමෙන් සිදු වන්නේ සභාවේ සාමයට බාධා ඇති වීමයි. එය විසඳාගන්නා ආකාරය ගැන මතෙව් 18:15හි මෙසේ සඳහන් වෙනවා. “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.” මතෙව් 18:15-17හි සඳහන් උපදෙස අදාළ වන්නේ බරපතළ වැරදි සම්බන්ධයෙන් වුණත් 15වන වගන්තියේ සඳහන් ප්‍රතිපත්තිය සුළු ගැටලු විසඳාගැනීමට පවා අදාළ කරගත හැකියි. එමනිසා කෙනෙක් සමඟ අපට යම් ගැටලුවක් ඇති විට ඔහු සමඟ කාරුණිකව කතා කර නැවත සමාදානය ඇති කරගැනීමට උත්සාහ කළ යුතුයි. *

7. ගැටලුවක් ඉක්මනින් විසඳාගත යුත්තේ ඇයි?

7 පාවුල් දුන් මේ උපදෙස සැලකිල්ලට ගන්න. “ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට කිසි ඉඩක් නොදෙන්න.” (එෆී. 4:26, 27) යේසුස්ද මෙසේ පැවසුවා. “යම් කෙනෙක් ඔබට විරුද්ධව නඩුවක් දමා ඇත්නම් ඒ නඩුවට යන්න පෙර ඔහුව හමු වී ඇති වී තිබෙන ප්‍රශ්නය ඉක්මනින් නිරවුල් කරගන්න.” (මතෙ. 5:25) අන් අය සමඟ සාමය පවත්වාගැනීමට නම් අප ප්‍රශ්න ගැටලු ඉක්මනින් විසඳාගත යුතුයි. එසේ නොකළොත් සුළු ගැටලු බරපතළ ප්‍රශ්න දක්වා දුර දිග යා හැකියි. එය හරියට පුංචි තුවාලයකට ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් එය පැසවීමට ඉඩ තිබෙනවා හා සමානයි. එමනිසා උඩඟුකම, ඊර්ෂ්‍යාව හෝ මුදලට තිබෙන තණ්හාව අනික් පුද්ගලයා සමඟ සමාදාන වීමට බාධාවක් කර නොගන්න.—යාකො. 4:1-6.

ගැටලුවට බොහෝදෙනෙක් සම්බන්ධ වන විට

8, 9. (අ) රෝමයේ සිටි ක්‍රිස්තියානීන් අතර තිබූ මතභේදය කුමක්ද? (ආ) පාවුල් ඔවුන්ව නිවැරදි කළේ කොහොමද?

8 ගැටලුවකට සභාවේ බොහෝදෙනෙක් සම්බන්ධ වන අවස්ථාද තිබිය හැකියි. එවැනි දෙයක් රෝමයේ තිබූ සභාවේද සිදු වුණා. යුදෙව් ක්‍රිස්තියානීන් හා යුදෙව් නොවන ක්‍රිස්තියානීන් අතර හෘදය සාක්ෂියට සම්බන්ධ කාරණාවක් ගැන මතභේදයක් හටගත්තා. ඔවුන්ගෙන් සමහරෙක් සත්‍ය ඉගැන්වීම් ගැන පුළුල් අවබෝධයක් නැති අය වූ අතර ශුද්ධ ලියවිල්ලේ තහනම් කර නොතිබුණත් සමහර දේවල් කිරීමට ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන් එම සභාවේ සිටි පුළුල් අවබෝධයක් ඇති අයව හෙළා දැක්කා. එහි සිටි පුළුල් අවබෝධයක් ඇති අය සිතුවේ තමන් අනික් අයට වඩා උසස් කියායි. ඒ සෑම මතභේදයකටම හේතු වුණේ කුමක්ද? ඔවුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම්.—රෝම 14:1-6.

9 දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් නීතියට තවදුරටත් කීකරු විය යුතු නැති බව පුළුල් අවබෝධයක් ඇති ක්‍රිස්තියානීන් තේරුම්ගත්තා. නමුත් එතරම් අවබෝධයක් නැති අය සිතුවේ එම නීතිය මගින් තහනම් කර තිබූ ආහාර අනුභව කිරීම නුසුදුසු බවයි. පාවුල් ඒ දෙපිරිසම නිවැරදි කළා. තමන් අනික් අයට වඩා උසස් බව නොසිතන ලෙස පුළුල් අවබෝධයක් ඇති අයට ඔහු පැවසුවා. (රෝම 14:2, 10) එසේ කිරීමෙන් සිදු වන්නේ එතරම් අවබෝධයක් නැති අය දෙවිගෙන් ඈත් වීමයි. ඔහු තවදුරටත් පැවසුවේ මෙසේයි. ‘කෑම ටිකක් නිසා දෙවි ගොඩනඟා ඇති දේවල් කඩා බිඳ නොදමන්න. මස් කෑමෙන් හෝ වයින් බීමෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් කිරීමෙන් හෝ ඔබේ සහෝදරයා තුළ තිබෙන විශ්වාසයට යම් හානියක් සිදු වේ නම් එයින් වැළකී සිටීම වඩාත් හොඳය.’ (රෝම 14:14, 15, 20, 21) එතරම් අවබෝධයක් නැති අයට පාවුල් උපදෙස් දුන්නේ ඔවුන්ට වඩා වෙනස් ආකාරයෙන් සිතන අයව විනිශ්චය නොකරන ලෙසයි. (රෝම 14:13) “තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න කියා” ඔහු සියලුදෙනාටම පැවසුවා. (රෝම 12:3) දෙපිරිසම නිවැරදි කරමින් අවසානයේදී ඔහු මෙසේ පැවසුවා. “සමාදානයට දායක වන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.”—රෝම 14:19.

10. රෝමයේ සිටි ක්‍රිස්තියානීන් අතර ඇති වුණා හා සමාන ගැටලුවක් අප අතරත් ඇති වුණොත් කුමක් කළ යුතුද?

10 පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට දුන් එම උපදෙස් ඔවුන් අදාළ කරගෙන අවශ්‍ය වෙනස්කම් කරගත් බවට කිසිම සැකයක් නැහැ. අදත් බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගැනීමෙන් සහෝදර සහෝදරියන් අතර ඇති වන මතභේද ප්‍රේමයෙන් නිරාකරණය කරගත හැකියි. රෝමයේ සිටි ක්‍රිස්තියානීන් අතර මෙන් අපේ සභාවෙත් යම් ගැටලුවක් ඇති වුණොත් ‘එකිනෙකා අතර සමාදානය පවත්වාගැනීම’ සඳහා ඊට සම්බන්ධ සියලුදෙනාම අවශ්‍ය වෙනස්කම් කරගැනීම සුදුසුයි.—මාක් 9:50.

උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හැකි අයුරු

11. ක්‍රිස්තියානියෙක් ගැටලුවක් ගැන වැඩිමහල්ලෙකුට පවසන විට ඔහු කළ යුත්තේ කුමක්ද?

11 පවුලේ සාමාජිකයෙක් සමඟ හෝ සෙසු ක්‍රිස්තියානියෙක් සමඟ තිබෙන ගැටලුවක් ගැන පැවසීමට කෙනෙක් තමන් වෙතට පැමිණෙන විට වැඩිමහල්ලෙක් ප්‍රතිචාරය දැක්විය යුත්තේ කොහොමද? “අසරණයා පිහිට පතන විට යමෙකු කන් වසාගෙන සිටින්නේ නම් ඔහු කරන කන්නලව්වලටත් පිළිතුරු නොලැබෙන්නේය” කියා හිතෝපදේශ 21:13හි සඳහන් වෙනවා. උපකාරය පතා පැමිණෙන කෙනෙකුට සවන් දෙන්නේ නැත්නම් වැඩිමහල්ලෙක්ද “කන් වසාගෙන” සිටිනවා හා සමානයි. කෙසේවෙතත් වැඩිමහල්ලෙක් කල්පනාකාරී විය යුතු පැත්තක් ගැන තවත් හිතෝපදේශයක මෙසේ සඳහන් වෙනවා. “නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ. එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.” (හිතෝ. 18:17) ගැටලුව පවසන තැනැත්තාට වැඩිමහල්ලෙක් කාරුණිකව සවන් දිය යුතු වුණත් අදාළ සියලු තොරතුරු දැනගැනීමට පෙර ඉක්මන් වී තීරණයකට එළඹීමෙන් ඔහු වැළකිය යුතුයි. අනික් පුද්ගලයා සමඟ ඔහු ගැටලුව ගැන කතා කළාද කියා විමසීමට වැඩිමහල්ලාට හැකියි. සමාදාන වීමට කළ යුතු දේ ගැන බයිබලයෙන් පෙන්වා දීමටද ඔහුට හැකියි.

12. ගැටලුවකදී එක් පාර්ශ්වයකට පමණක් සවන් දී ඉක්මන් වී පියවර ගැනීමේ අනතුර පෙන්වන උදාහරණ තුනක් සඳහන් කරන්න.

12 යම් ගැටලුවකදී එක් පාර්ශ්වයකට පමණක් සවන් දී ඉක්මන් වී පියවර ගැනීම අනතුරුදායකයි. එසේ කළ පුද්ගලයන් තුන්දෙනෙක් ගැන සලකා බලමු. යෝසෙප් තමාව දූෂණය කරන්න තැත් කළා කියා පොතිෆර්ගේ භාර්යාව පැවසූ බොරුව ඔහු විශ්වාස කළා. ඒ ගැන කෝපයට පත් වූ පොතිෆර්, යෝසෙප්ව සිරගෙට දැමුවා. (උත්. 39:19, 20) මෙෆිබොෂෙත් දාවිත්ට සතුරුකම් කරන බවට ඔහුගේ සේවකයා වන ෂීබා පැවසූ බොරුව ගැන කිසිවක් සොයා නොබලා එය විශ්වාස කළ දාවිත් එකවරම මෙසේ පැවසුවා. “මෙෆිබොෂෙත්ට අයිති සෑම දෙයක්ම අද මම ඔබට දෙනවා.” (2 සාමු. 16:4; 19:25-27) යුදෙව්වන් යෙරුසලම් නුවර නැවත ගොඩනඟන්නේ අර්තක්ෂස්තා රජට විරුද්ධව කැරලිගැසීමට බව යුදෙව්වන්ගේ සතුරන් ගෙතූ බොරුව රජ එකවර විශ්වාස කළා. එහි වැඩ නතර කරන්න කියා ඔහු අණ කළ නිසා දේවමාලිගාව ගොඩනැඟීමේ වැඩ සම්පූර්ණයෙන්ම ඇනහිටියා. (එස්රා 4:11-13, 23, 24) යම් තීරණයක් ගැනීමට පෙර සෑම දෙයක් ගැනම හොඳින් සෝදිසි කර බලන්න කියා පාවුල් තිමෝතිට දුන් උපදෙස වැඩිමහල්ලන් හොඳින් සිතට ගැනීම අවශ්‍යයි.1 තිමෝති 5:21 කියවන්න.

13, 14. (අ)දෙදෙනෙක් අතර ගැටලුවක් ඇති වී තිබෙන විට අප මතක තබාගත යුත්තේ කුමක්ද? (ආ) නිවැරදිව විනිශ්චය කිරීම සඳහා වැඩිමහල්ලන්ට උපකාරවත් වන්නේ කුමක්ද?

13 “තමාට යම් දෙයක් ගැන දැනුමක් තිබෙනවා කියා කෙනෙකු සිතූ පමණින් ඔහුට ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් තිබෙනවා කියා පැවසිය නොහැක” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1කොරි. 8:2) දෙදෙනෙක් අතර ගැටලුවක් ඇති වී තිබෙන විට ඒ ගැන සියලු තොරතුරු අප දන්නවා කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් එම ගැටලුව ගැනත් ඊට සම්බන්ධ පුද්ගලයන් ගැනත් අප නොදන්න තොරතුරුද තිබිය හැකියි. එවැනි ගැටලුවක් විනිශ්චය කිරීමේදී ඒ පිළිබඳ බොරු තොරතුරුවලින් නොමඟ නොයෑමට වැඩිමහල්ලන් වගබලා ගත යුතුයි. ඒ වගේම කෙනෙක් පොහොසත් නිසාම ඔහුව විශ්වාස කිරීමටද ඉක්මන් නොවන්න. දෙවි පත් කර ඇති විනිශ්චයකරු වන යේසුස් ‘මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරන, යමක් ඇසුණු පමණින් දඬුවම් නොකරන’ කෙනෙක්. (යෙසා. 11:3, 4) ඔහු විනිශ්චය කරන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟවයි. වැඩිමහල්ලන්ද එලෙසම විනිශ්චය කළ යුතුයි.

14 වැඩිමහල්ලන් ගැටලුවක් විනිශ්චය කිරීමට පෙර දෙවිගේ බලයේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කළ යුතුයි. දේවවචනය හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයා ඇති ප්‍රකාශන හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ට දෙවිගේ මඟ පෙන්වීම් නිරතුරුවම ලබාගත හැකියි.—මතෙ. 24:45.

දෙවි සමඟ සමාදානයෙන් සිටින්න

15. ක්‍රිස්තියානියෙක් බරපතළ වරදක් කර ඇති බව දැනගත් විට ඒ ගැන වැඩිමහල්ලන්ට පැවසිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

15 අන් අය සමඟ සමාදානයෙන් සිටින්න කියා බයිබලයේ පවසනවා. නමුත් එහි මෙසේද සඳහන් වෙනවා. “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය” (යාකො. 3:17) අප නිර්මලව එනම්, පවිත්‍රව සිටීම මුල් තැනට තැබිය යුතු බව බයිබලයේ පවසනවා. නිර්මල ජීවිතයක් ගත කිරීමට නම් හරි වැරැද්ද පිළිබඳව දෙවි ලබා දී ඇති ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම අවශ්‍යයි. එය කළ හැකි ආකාරයක් බලමු. සෙසු ක්‍රිස්තියානියෙක් බරපතළ වරදක් කර ඇති බව තවත් ක්‍රිස්තියානියෙකුට දැනගන්න ලැබුණු විට ඒ ගැන වැඩිමහල්ලන්ට හෙළි කරන්න කියා වරද කළ පුද්ගලයාට ඔහු පැවසිය යුතුයි. (1 කොරි. 6:9, 10; යාකො. 5:14-16) ඔහු එසේ නොකළොත් එය දැනගත් සහෝදරයා ඒ ගැන වැඩිමහල්ලන්ට දැනුම් දිය යුතුයි. නමුත් වරද කළ තැනැත්තා සමඟ සාමය පවත්වාගැනීමට අවශ්‍ය නිසා ඔහු එසේ නොකරනවා නම් ඔහු කරන්නෙත් වරදක්.—ලෙවී. 5:1; හිතෝපදේශ 29:24 කියවන්න.

16. යේහු ගත් ක්‍රියාමාර්ගයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

16 පුරුද්දක් ලෙස පව් කරන අය සමඟ සමාදානය පවත්වාගන්නවාට වඩා වැදගත්ම දේ වන්නේ දෙවි ඉදිරියේ හරි දේ කිරීමයි. යේහු ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. ආහබ් රජුගේ පවුලේ අයට දඬුවම් කරන්න දෙවි ඔහුව යැව්වා. එවිට ආහබ්ගේ සහ යෙසබෙල්ගේ පුත්‍රයා වන දුෂ්ට යෙහෝරම් රජ යේහු වෙතට පැමිණ මෙසේ ඇසුවා. “යේහු, ඔබ අපේ මිත්‍රයෙක් නේද?” එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. “ඔබේ මව වන යෙසබෙල් මේ තරම් වේශ්‍යාකම් හා මන්ත්‍ර ගුරුකම් කරද්දී මම කොහොමද ඔබ සමඟ මිතුරුකම් පවත්වන්නේ?” (2 රාජා. 9:22) ඉන්පසු යේහු, ඔහුගේ හදවත පසාරු කරගෙන යන්න ඊතලයක් විද්දා. යේහු ගත් ක්‍රියාමාර්ගය හා සමානව පසුතැවිලි නොවී දිගටම පව් කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට වැඩිමහල්ලන්ද පියවර ගැනීම අවශ්‍යයි. ඔවුන් සමඟ සාමය පවත්වාගැනීමට අවශ්‍ය නිසා දිගටම සභාවේ සිටීමට ඔවුන්ට ඉඩහරින්න වැඩිමහල්ලන්ට බැහැ. ඔවුන් එසේ කරන්නේ දෙවි සමඟ දිගටම සමාදානයෙන් කටයුතු කිරීමට සභාවේ අයට උපකාර කිරීමටයි.—1 කොරි. 5:1, 2, 11-13.

17. සාමය පවත්වාගැනීම සඳහා අප සියලුදෙනා කළ යුත්තේ කුමක්ද?

17 බොහෝවිට අප එකිනෙකා අතර ඇති වන ගැටලු බරපතළ ඒවා නොවෙයි. ඒ නිසා සුදුසුම දේ වන්නේ ඒවා අමතක කර දැමීමයි. ඒ ගැන එක් හිතෝපදේශයක මෙසේ සඳහන් වෙනවා. “වරදක් අමතක කර දමන තැනැත්තා ප්‍රේමණීය අයෙකි. නමුත් වරදක් ගැන හැම තැනම කතා කරන්නා කිට්ටු මිත්‍රයන්ව වෙන් කරයි.” (හිතෝ. 17:9) අප එම උපදෙස පිළිපදිනවා නම් සභාවේ සාමය රැකෙන අතර දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයද ආරක්ෂා වෙයි.—මතෙ. 6:14, 15.

සාමකාමී අයට දෙවි ආශීර්වාද කරයි

18, 19. අප සාමය පවත්වාගැනීමට දරන වෑයමට දෙවි ආශීර්වාද කරන්නේ කොහොමද?

18 සාමය පවත්වාගැනීමට අප දරන වෑයමට දෙවි ආශීර්වාද කරනවා. අප දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වන නිසා ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳිනවා. එය සභාවේ සාමයටද දායක වෙනවා. අප සෙසු ක්‍රිස්තියානීන් සමඟ සාමයෙන් කටයුතු කරන විට “සමාදානයේ ශුභාරංචිය” ගැන ප්‍රකාශ කරන ජනයා සමඟද සාමයෙන් සිටීමට අපට හැකි වෙනවා. (එෆී. 6:15) ඒ වගේම ‘සියලුදෙනා සමඟ මෘදුකමින් කටයුතු කිරීමටත් නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමටත්’ අපට හැකි වෙනවා.—2 තිමෝ. 2:24.

19 සමාදානයෙන් සිටීමට වෑයම් කිරීම අපේ අනාගතයටද ප්‍රයෝජනවත්. ඒ කොහොමද? ධර්මිෂ්ඨයන් සහ අධර්මිෂ්ඨයන් යන දෙපිරිසම දෙවි නැවත නැඟිටුවන බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 24:15) විවිධ ගතිගුණ හා මතිමතාන්තර දරන අය ඔවුන් අතර සිටිය හැකියි. ඔවුන් ලෝකයේ විවිධ ප්‍රදේශවල හා විවිධ කාලවකවානුවල ජීවත් වූ සහ මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටි අය විය හැකියි. (ලූක් 11:50, 51) එකිනෙකා සමඟ සාමයෙන් කටයුතු කිරීමට ඔවුන්ටත් ඉගැන්වීමට අපට ලැබී තිබෙන්නේ මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද! ඒ නිසා එකිනෙකා සමඟ සාමයෙන් ජීවත් වීමට අප දැන් දරන වෑයම ඇත්තෙන්ම වටිනවා.

[පාදසටහන]

^ 6 ඡේ. නින්දා කිරීම සහ වංචා කිරීම වැනි බරපතළ වැරදි සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන බයිබලයේ තවත් මඟ පෙන්වීම් සපයා තිබෙනවා. ඒ සඳහා 1999 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ 17-22 පිටු බලන්න.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• අප අතින් වරදක් සිදු වූ විට සාමය පවත්වාගැනීම සඳහා කුමක් කළ හැකිද?

• කෙනෙකු අතින් අපට වරදක් සිදු වූ විට සාමය පවත්වාගැනීම සඳහා කුමක් කළ හැකිද?

• දෙදෙනෙක් අතර ගැටලුවක් ඇති වී තිබෙන විට අප මතක තබාගත යුත්තේ කුමක්ද?

• පුරුද්දක් ලෙස පව් කරන අය සමඟ සමාදානය පවත්වාගන්නවාට වඩා හරි දේ කිරීම වැදගත් ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූර]

අන් අයට කැමැත්තෙන්ම සමාව දෙන අයට දෙවි ප්‍රේම කරනවා