Skip to content

පටුනට යන්න

අභියෝගවලට මුහුණ දෙන විට ඔබට පිනෙහාස් මෙන් විය හැකිද?

අභියෝගවලට මුහුණ දෙන විට ඔබට පිනෙහාස් මෙන් විය හැකිද?

අභියෝගවලට මුහුණ දෙන විට ඔබට පිනෙහාස් මෙන් විය හැකිද?

වැඩිමහල්ලෙක් ලෙස සේවය කිරීමට ලැබීම ඇත්තෙන්ම වරප්‍රසාදයක්. නමුත් ඔවුන්ට අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව බයිබලයේ සඳහන් ආදර්ශවලින් පැහැදිලියි. බරපතළ වැරදි කරන අයව ‘යෙහෝවා දෙවි වෙනුවෙන් විනිශ්චය කිරීමට’ ඔවුන්ට සිදු වෙනවා. (2 ලේක. 19:6) සමහර අවස්ථාවලදී යම් වගකීමක් ලැබෙන විට එය කිරීමට තරම් හැකියාවක් තමන්ට නැහැ කියා වැඩිමහල්ලෙකුට සිතෙන්න පුළුවන්. මෝසෙස්ද පැවරුමක් ලැබුණු විට ඉතා යටහත්පහත් ලෙස දෙවිගෙන් මෙසේ ඇසුවේ ඒ නිසයි. “මා වැනි කෙනෙකුට පාරාවෝ ළඟට යා හැකිද?”—නික්. 3:11.

වැඩිමහල්ලන්ව පත් කරන්නේ දෙවිගේ බලයෙන් බව අප දන්නවා. ඒ වගේම දේවවචනය ලියැවී තිබෙන්නේද දෙවිගේ බලයෙනුයි. එමනිසා වැඩිමහල්ලන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට දේවවචනය ඔවුන්ට විශාල උපකාරයක්. එහි සඳහන් පිනෙහාස් අභියෝගවලට මුහුණ දීම සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ට කදිම ආදර්ශයක්. ඔහුගේ පියා එලියාසර් වූ අතර ඔහුගේ සීයා උත්තම පූජක ආරොන්. ඒ නිසා උත්තම පූජකයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ඔහු ඉදිරියේ තිබුණා. ඔහු අභියෝගාත්මක අවස්ථා තුනකට මුහුණ දුන් අතර ඒ සෑම අවස්ථාවකදීම ධෛර්යවත්ව, වටහාගැනීමේ හැකියාව ඇතුව හා නිතරම දෙවිගේ උපකාර ඇතුව කටයුතු කළ නිසා ඒවා සාර්ථක ලෙස ජයගත්තා.

ඔහු විගස ක්‍රියාත්මක වුණා

ඊශ්‍රායෙල්වරු මෝවබ් පාළුකරයේ කූඩාරම් ගසාගත් කාලයේ පිනෙහාස් තරුණයෙක්ව සිටියා. ඒ කාලයේ සිදු වූ දෙයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘ඊශ්‍රායෙල් පුරුෂයෝ මෝවබ් ජාතික ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදෙන්න පටන්ගත්තෝය. ඔවුන් ඒ ස්ත්‍රීන්ගේ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.’ (ගණන්. 25:1, 2) ඒ නිසා දෙවි ඔවුන්ට මාරාන්තික වසංගතයකින් පහර දුන්නා. ඊශ්‍රායෙල්වරුන් කළ පාපය හා ඔවුන් මත පැමිණි වසංගතය ගැන අසන්න ලැබුණු විට පිනෙහාස්ට කෙසේ හැඟෙන්න ඇද්ද?

ඉන්පසු සිදු වූ දේ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “සිදු වූ දේ නිසා මුළු සෙනඟම සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ හඬා වැලපෙමින් සිටියෝය. නමුත් එක්තරා ඊශ්‍රායෙල් ජාතිකයෙක් මෝසෙස් හා මුළු සෙනඟ බලා සිටියදීම මිදියන් ජාතික ස්ත්‍රියකව කඳවුරට කැඳවාගෙන ආවේය.” (ගණන්. 25:6) ඔහු සැබෑ නමස්කාරයේ මූලිකත්වය ගත් අධිපතියෙක්. තරුණයෙක්ව සිටි පිනෙහාස් දැන් කුමක් කරයිද?—ගණන්. 25:14.

ඔහු මිනිසුන්ට බිය වුණේ නැහැ. ඔහුට දෙවි කෙරෙහි ගරුබියක් තිබුණා. ස්ත්‍රියක් සමඟ කඳවුරට පැමිණි ඊශ්‍රායෙල් ජාතිකයාව දුටු විගස ඔහු හෙල්ලයක් ගෙන ඔවුන්ගේ කූඩාරමට ගොස් ඒ දෙදෙනාවම මරා දැමුවා. ඔහු ධෛර්යවත්ව ගත් තීරණය ගැන දෙවිට හැඟුණේ කොහොමද? සෙනඟ පිටට ගෙනා මාරාන්තික වසංගතය දෙවි ඒ අවස්ථාවේම නතර කළ අතර පිනෙහාස්ගෙන් පැවතෙන අය “හැමදාටම” පූජකයන් ලෙස සිටින බවට දෙවි ඔහු සමඟ ගිවිසුමක් ඇති කළා.—ගණන්. 25:7-13.

අද දින බරපතළ වැරදි කරන අය සම්බන්ධයෙන් වැඩිමහල්ලන් එසේ ක්‍රියා කරන්නේ නැහැ. නමුත් පිනෙහාස් මෙන් ඔවුන් ධෛර්යවත්ව නිවැරදි තීරණයක් ගැනීමට මැළි නොවිය යුතුයි. වැඩිමහල්ලෙක් වන සහෝදර ජෙල්යර්මගේ අද්දැකීම සලකා බලන්න. ඔහු වැඩිමහල්ලෙක් ලෙස පත් වී මාස කිහිපයකට පසු විනිශ්චය කමිටුවක සේවය කිරීමට පැවරුමක් ලැබුණා. වරද කළ පුද්ගලයා වුණේ ඔහුගේ යෞවන කාලයේදී ඔහුට බොහෝ සේ උපකාර කළ වැඩිමහල්ලෙකුයි. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “ඒක මට හුඟක් අමාරු පැවරුමක් වුණා. ඒ දවස්වල මට හරියට නින්ද ගියෙත් නැහැ. මගේ හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව හරි විනිශ්චයක් කරන්නේ කොහොමද කියලා මම හැමවෙලේම කල්පනා කළා. දවස් කිහිපයක්ම මම ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළා. සඟරා පොත් පත් කියෙව්වා.” ඒ කාරණය නිසි ලෙස හැසිරවීමට අවශ්‍ය ධෛර්යය වඩවාගැනීමටත් වරද කළ සහෝදරයාට අවශ්‍ය උපකාර ලබා දීමටත් එමගින් ඔහුට හැකි වුණා.—1 තිමෝ. 4:11, 12.

විනිශ්චයමය කාරණාවලදී ධෛර්යවත්ව නිවැරදි තීරණයක් ගන්නා විට දෙවිට විශ්වාසවන්ත අය ලෙස වැඩිමහල්ලන් සභාවට කදිම ආදර්ශයක් සපයනවා. කෙනෙක් බරපතළ වරදක් කර ඇති බව සභාවේ වෙනත් කෙනෙකුට දැනගැනීමට ලැබෙන විටත් එය වැඩිමහල්ලන්ට පවසන්න ඔහුට හෝ ඇයට ධෛර්යය තිබිය යුතුයි. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ මිතුරෙකු හෝ ඥාතියෙකු සමඟ ඇසුරු කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමෙන් අප පෙන්වන්නේ අප දෙවිට විශ්වාසවන්ත බවයි.—1 කොරි. 5:11-13.

වටහාගැනීමේ හැකියාව මහා විනාශයක් වළකයි

පිනෙහාස්ගේ ධෛර්යය තරුණ වයස නිසා ඇති වූ ක්ෂණික ආවේගයක් නොවෙයි. තවත් සිද්ධියකදී ඔහු වටහාගැනීමේ හැකියාව ඇතුව ක්‍රියා කළ ආකාරය සලකා බලන්න. රූබන්, ගාද් සහ මනස්සේ යන ගෝත්‍රවල අය යොර්දාන් ගඟ අසල පූජාසනයක් ගොඩනඟා ඇති බව අනික් ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වුණා. එය බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම සඳහා කියා සිතූ ඔවුන් ඒ ගෝත්‍ර සමඟ යුද්ධ කිරීමට සූදානම් වුණා.—යොෂු. 22:11, 12.

ඒ අවස්ථාවේදී පිනෙහාස් ක්‍රියා කළේ කොහොමද? ඔහු ඊශ්‍රායෙල්වරුන්ගේ අධිපතීන් සමඟ ගොස් පූජාසනය ඉදි කළ අයගෙන් කාරණා විමසා බැලුවා. එවිට ඔවුන් පැවසුවේ එය ඉදි කළේ ‘යෙහෝවා දෙවිට නමස්කාර කරන්න’ කියායි. වටහාගැනීමේ හැකියාව නිසා එදින මහා විනාශයක් වැළකුණා.—යොෂු. 22:13-34.

සෙසු ක්‍රිස්තියානියෙකුට විරුද්ධව තවත් ක්‍රිස්තියානියෙක් චෝදනා කරන විට හෝ අගුණ කියන විට පිනෙහාස් මෙන් ඊට ප්‍රතිචාරය දැක්වීම මොන තරම් ඥානවන්තද! අප වටහාගැනීමේ හැකියාව ඇතුව ක්‍රියා කරනවා නම් අන් අයගෙන් පළිගැනීමෙන් හෝ ඔවුන් ගැන අගුණ කීමෙන් වැළකී සිටිනවා.—හිතෝ. 19:11.

පිනෙහාස්ට මෙන් වැඩිමහල්ලන්ට වටහාගැනීමේ හැකියාව ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? අවුරුදු 10කට වැඩි කාලයක් පුරා වැඩිමහල්ලෙකු ලෙස සේවය කරන සහෝදර ජේමි පවසන දේ බලන්න. “සහෝදරයෙක් තවත් සහෝදරයෙකුගේ අඩුපාඩුවක් ගැන කතා කරන්න පටන්ගන්න කොටම මම කරන්නේ එක පැත්තක් ගන්නේ නැතුව බයිබලයේ තියෙන ප්‍රතිපත්ති පෙන්නලා දෙන්න යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලන එකයි. වෙන සභාවක වගකීම් දරන සහෝදරයෙක් එයාට සලකපු විදිහ හරි නැහැ කියලා සහෝදරියක් මට කිව්වා. ඒ සහෝදරයා මගේ හොඳ යාළුවෙක් නිසා ඒ ගැන මට කෙලින්ම එයාගෙන් අහන්න තිබුණා. ඒ වෙනුවට මම ඒ සහෝදරිය එක්ක බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කිහිපයක් ගැන කතා කළා. ඊටපස්සේ ඒ සහෝදරිය තීරණය කළා ඒ සහෝදරයාව හමු වෙලා ඒ ගැටලුව ගැන කතා කරන්න. (මතෙ. 5:23, 24) ඒත් ගැටලුව විසඳුණේ නැති නිසා මම තවත් ප්‍රතිපත්ති කිහිපයක් ඇයට පෙන්නුවා. ඇය ආයෙත් යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුට සමාව දෙන්න උත්සාහ කළා.”

එහි ප්‍රතිඵලය ගැන ජේමි මෙසේ විස්තර කරනවා. “මාස කිහිපයකට පස්සේ ඒ සහෝදරිය මාව හම්බවෙලා කිව්වා ඒ සහෝදරයා මට සලකපු විදිහ ගැන කනගාටු වුණා කියලා. දිනක් ඇය සමඟ දේවසේවයේ හවුල් වෙන්නත් ඔහු සැලසුම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු ඇයව හුඟක් අගය කරලා තිබුණා. එතනින් ප්‍රශ්නේ ඉවරයි. හැබැයි මම එක පැත්තක් අරගෙන මේ ප්‍රශ්නෙට අනවශ්‍ය විදිහට මැදි වුණා නම් මේක දුරදිග යන්න තිබුණා.” බයිබලයේද මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “නඩුවක් දමන්න ඉක්මන් නොවන්න.” (හිතෝ. 25:8) වටහාගැනීමේ හැකියාවෙන් යුතුව කටයුතු කරන වැඩිමහල්ලන් අනික් අයටත් උනන්දු කරන්නේ බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගනිමින් ගැටලු විසඳාගන්න කියායි.

ඔහු දෙවිගෙන් විමසුවා

මෙතෙක් සලකා බැලූ ලෙස පිනෙහාස් තරුණ වයසේදී පවා ධෛර්යවත්ව සහ වටහාගැනීමේ හැකියාව ඇතුව ක්‍රියා කළා. කෙසේවෙතත් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔහුට හැකි වුණේ ඔහු නිතරම දෙවිගේ උපකාර පැතූ නිසයි. එය පැහැදිලි වන සිද්ධියක් සලකා බලමු.

බෙන්ජමින් ගෝත්‍රයට අයත් පිරිසක් ලෙවී පූජකයෙකුගේ උපභාර්යාව දූෂණය කිරීම නිසා ඇය මිය ගියා. ඒ නිසා අනික් ගෝත්‍ර ඔවුන්ට විරුද්ධව යුද්ධයට සැරසුණා. (විනි. 20:1-11) එම ගෝත්‍ර දෙවිගේ උපකාර පතා යාච්ඤා කර සටනට ගියත් දෙවරක්ම ප්‍රබල පරාජයක් අද්දැක්කා. (විනි. 20:14-25) ඔවුන්ගේ යාච්ඤා නිෂ්ඵලයි කියා ඔවුන් තීරණය කළාද? බෙන්ජමින්වරු කළ පාපයට දඬුවම් දීම ඇත්තටම දෙවිගේ කැමැත්ත වුණාද?

ඒ වන විට පිනෙහාස් සේවය කරමින් සිටියේ ඊශ්‍රායෙලයේ උත්තම පූජකයා ලෙසයි. “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධව අපි නැවත වතාවක් සටන් කළ යුතුද? නැත්නම් අපි මේ සටන අත්හරින්නද?” කියා ඔහු දෙවිගෙන් විමසුවා. ඊට පිළිතුරු දුන් දෙවි බෙන්ජමින්වරුන්ව ඔවුන්ට යටත් කර දුන් අතර ඔවුන් බෙන්ජමින්වරුන්ගේ සියලු නුවරවල් ගිනිබත් කළා.—විනි. 20:27-48.

ඉන් අප ඉගෙනගන්නේ කුමක්ද? සභාවේ ඇති ගැටලුවක් විසඳන්න වැඩිමහල්ලන් මොන තරම් උනන්දුවෙන් ක්‍රියා කළත් කොතරම් දෙවිට යාච්ඤා කළත් කිසි වෙනසක් සිදු නොවන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන් යේසුස්ගේ මෙම උපදෙස මතක තබාගැනීම සුදුසුයි. “නොකඩවා ඉල්ලන්න [යාච්ඤා කරන්න]. එවිට ඔබටත් ලැබෙයි. නොකඩවා සොයන්න. එවිට ඔබටත් අවශ්‍ය දේ සම්බ වෙයි. නොකඩවා දොරට තට්ටු කරන්න. එවිට ඔබටත් එය විවෘත කරනු ලැබෙයි. “ (ලූක් 11:9) යාච්ඤාවලට පිළිතුරු ලැබීමට ප්‍රමාද වුණත් දෙවි තම නියමිත කාලයේදී ඊට පිළිතුරු දෙන බව විශ්වාස කරන්න වැඩිමහල්ලන්ට හැකියි.

මේ උදාහරණය සලකා බලන්න. අයර්ලන්තයේ සිටින සාක්ෂිකරුවන්ට නමස්කාර මධ්‍යස්ථානයක දැඩි අවශ්‍යතාවක් තිබුණා. නමුත් එහි ප්‍රාදේශීය ගොඩනැඟිලි සැලසුම් අනුමත කරන නිලධාරියා සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන සෑම සැලැස්මක්ම ප්‍රතික්ෂේප කළා. අවසානයේදී ඔවුන් සැලසුම් අනුමත කරන රටේ ප්‍රධාන නිලධාරියා හමු වීමට ගියා. පිනෙහාස් මෙන් ඔවුන්ද ඒ ගැන දෙවිට යාච්ඤා කළා. ප්‍රතිඵලය කුමක්ද?

ඒ රටේ එක් වැඩිමහල්ලෙක් මෙසේ පවසනවා. “අපි ඒ නිලධාරියාව හමු වෙන්න ඉස්සෙල්ලා හුඟක් යාච්ඤා කළා. ඔහුව මුණගැහෙන්න සති කිහිපයකට කලින් දැනුම් දෙන්න අවශ්‍ය බව අපිට දැනගන්න ලැබුණා. ඒ වුණත් එදාම ඔහුව හමු වෙලා විනාඩි පහක් කතා කරන්න අපිට අවස්ථාව ලැබුණා. අපේ ගොඩනැඟිලි සැලසුම් පිටපත් නිරීක්ෂණය කළාට පස්සේ ඔහු අපිට අවසර දුන්නා. ඊටපස්සේ ප්‍රාදේශීය නිලධාරියාද අපිට සහයෝගය දුන්නා. යාච්ඤාවට කොයි තරම් බලයක් තියෙනවාද කියලා අපි ඒකෙන් තේරුම්ගත්තා.” ඇත්තෙන්ම වැඩිමහල්ලන් දෙවිගේ උපකාර පතා කරන යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන බව ඉන් පැහැදිලියි.

පිනෙහාස් ඉතා බරපතළ වගකීම් දැරුවත් ඒවා සාර්ථකව ඉටු කිරීමට ඔහුට හැකි වුණේ ඔහු ධෛර්යවත්ව, වටහාගැනීමේ හැකියාවෙන් යුතුව සහ නිතරම දෙවිගේ උපකාර පතමින් ක්‍රියා කළ නිසයි. දෙවිගේ සෙනඟව රැකබලා ගැනීමට ඔහු ගත් වෑයම නිසා දෙවිගේ අනුමැතිය ඔහුට හිමි වුණා. ඊට අවුරුදු 1,000කට පමණ පසු දෙවිගේ බලයෙන් එස්රා වාර්තා කළ මේ දෙයින් එය පැහැදිලියි. “අතීතයේදී ඔවුන්ව අධීක්ෂණය කළේ එලියාසර්ගේ පුත් පිනෙහාස්ය. යෙහෝවා දෙවිගේ උපකාරය ඔහුට ලැබිණ.” (1 ලේක. 9:20) දෙවිගේ සෙනඟ අතර පෙරමුණ ගන්නා අය ඇතුළු දෙවිට විශ්වාසවන්ත සියලු සේවකයන් සම්බන්ධයෙනුත් එය සත්‍යයක් වේවා!