Skip to content

පටුනට යන්න

දෙවි ඔබේ උරුමය වීමට ඔබ ඉඩහරිනවාද?

දෙවි ඔබේ උරුමය වීමට ඔබ ඉඩහරිනවාද?

දෙවි ඔබේ උරුමය වීමට ඔබ ඉඩහරිනවාද?

“නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.”—මතෙ. 6:33.

1, 2. (අ) ගලාති 6:16හි සඳහන් ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ කියන්නේ කාටද? (ආ) මතෙව් 19:28හි සඳහන් “ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස” මගින් නියෝජනය කරන්නේ කාවද?

ඊශ්‍රායෙල් යන නම ඇසෙන විට ඔබට මතක් වන්නේ කුමක්ද? ඊශ්‍රායෙල් කියා පසුව හැඳින්වූ යාකොබ්වද නැත්නම් ඔහුගෙන් පැවත ආ ජාතියවද? බයිබලයේ එම නම තවත් ආකාරයකින් භාවිත කර තිබෙනවා. ඒ, ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ ලෙසයි. ඉන් නියෝජනය වන්නේ ස්වර්ගයේ රජවරුන් හා පූජකයන් ලෙස සේවය කිරීමට අභිෂේක කර ඇති 1,44,000දෙනාවයි. (ගලා. 6:16; එළි. 7:4; 21:12) නමුත් මතෙව් 19:28හි ඊශ්‍රායෙල් යන නම තවත් විශේෂ ආකාරයකින් භාවිත කර තිබෙනවා.

2 එහි සඳහන් වන්නේ මෙසේයි. ‘සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරනවා.’ එහි සඳහන් “ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස” මගින් නියෝජනය වන්නේ පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වන අයයි.

3, 4. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තබා ඇති ආදර්ශය කුමක්ද?

3 එදා සිටි ලෙවීවරුන් හා පූජකයන්ට සමානව අද සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද දෙවිට කරන සේවය සලකන්නේ උතුම් වරප්‍රසාදයක් ලෙසයි. (ගණන්. 18:20) ඔවුන් පොළොවේ උරුමයක් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නැහැ. එළිදරව් 4:10, 11හි විස්තර කරන ලෙස ඔවුන් යේසුස් සමඟ ස්වර්ගයේ රජවරුන් සහ පූජකයන් ලෙස සේවය කිරීමට නියමිතයි.—එස. 44:28.

4 ඔවුන් පොළොවේ සිටින කාලයේදී ජීවත් විය යුත්තේ දෙවි ඔවුන්ගේ උරුමය බව ඔප්පු වන ආකාරයෙනුයි. ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම දෙය දෙවිට කරන සේවයයි. පේතෘස් එය මෙසේ කාවැද්දුවා. “ඔබේ කැඳවීමත් තෝරාගැනීමත් ස්ථිර එකක් කරගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න.” (2 පේතෘ. 1:10) ඔවුන් එය කරන්නේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තැබීමෙන් සහ ඔහුව දිගටම අනුගමනය කිරීමෙනුයි. ඔවුන්ගේ හැකියාවන් සහ ඔවුන්ට කළ හැකි දේවල් සීමා විය හැකි වුණත් දෙවිට කරන සේවය අඩු කිරීමට ඔවුන් ඒවා නිදහසට කරුණක් කරගන්නේ නැහැ. ඒ වෙනුවට දෙවිට කරන සේවයට මුල් තැන දී ඔවුන් එහි උපරිමයෙන් හවුල් වෙනවා. පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඔවුන් කදිම ආදර්ශයක්.

5. සෑම ක්‍රිස්තියානියෙකුටම දෙවිව තම උරුමය කරගන්න පුළුවන් කොහොමද? එය අභියෝගයක් වන්නේ ඇයි?

5 කෙනෙකුගේ බලාපොරොත්තුව ස්වර්ගයේ හෝ පොළොවේ ජීවත් වීම වුණත් සෑම ක්‍රිස්තියානියෙකුම ඔවුන්ගේ “ජීවිතය දෙවිට කැප කර තම වධකණුව රැගෙන” දිගටම තමා අනුව ආ යුතු බව යේසුස් පැවසුවා. (මතෙ. 16:24) පාරාදීස පොළොවක ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති මිලියන ගණනක් එසේ කරමින් සිටිනවා. දෙවිට වැඩිපුර සේවයක් කිරීමට හැකියාව තිබියදීත් ඔවුන් අඩුවෙන් සේවය කිරීමෙන් සෑහීමට පත් වන්නේ නැහැ. බොහෝදෙනෙක් ඔවුන්ගේ ජීවිත සරල කරගෙන ස්ථාවර පුරෝගාමීන් ලෙස සේවය කරනවා. සෑම වසරකම මාස කිහිපයක් හෝ පුරෝගාමි සේවය කිරීමට තවත් අය උත්සාහ කරනවා. තවත් පිරිසක් පුරෝගාමි සේවය කිරීමට නොහැකි වුණත් ඔවුන් උද්‍යෝගයෙන් සේවය කරමින් සිටිනවා. ඔවුන් හරියට යේසුස්ගේ හිස මත සුවඳ තෙල් වත් කළ මරියා හා සමානයි. ඇය කළ දේ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. ‘ඇය මට කළේ ඉතා යහපත් දෙයක්. ඇය කළේ ඇයට පුළුවන් දෙයයි.’ (මාක් 14:6-8) මේ ලෝකයේ පාලකයා සාතන් නිසා හැකි උපරිමයෙන් දෙවිට සේවය කිරීම අපට අභියෝගයක් විය හැකියි. ඒ නිසා එසේ කිරීමට දැඩි වෑයමක් දැරීමත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමත් අවශ්‍යයි. එය කළ හැකි ක්‍රම හතරක් ගැන දැන් අපි සලකා බලමු.

දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න

6. (අ) අද ලෝකයේ බොහෝදෙනෙක් ඔවුන්ගේ උරුමය ලෙස සලකන්නේ මොනවාද? (ආ) අප දාවිත්ට තිබූ ආකල්පය ඇතුව සිටීම වැදගත් වන්නේ ඇයි?

6 දෙවිගේ රාජ්‍යයට හා ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීමට යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. අද බොහෝදෙනෙක් උත්සාහ කරන්නේ තමන්ට හොඳම දේ ලබාගැනීමටයි. එවැනි අයව බයිබලයේ හඳුන්වන්නේ “දැන් ගත කරන ජීවිතය ගැන පමණක් සිතන මනුෂ්‍යයන්” ලෙසයි. (ගීතාවලිය 17:1, 13-15 කියවන්න.) දෙවිට සේවය කිරීමට ඔවුන්ට වුවමනාවක් නැහැ. වැඩිදෙනෙක් උත්සාහ කරන්නේ සැපපහසු ජීවිතයක් ගත කිරීමට හා දරුවන් ඇතිදැඩි කර ඔවුන්ට යමක් උරුම කර දීමටයි. නමුත් දාවිත් ඔවුන්ට වඩා වෙනස්. ඔහුට අවශ්‍ය වුණේ දෙවි ඉදිරියේ “හොඳ නමක්” ඇතුව සිටීමටයි. අප සෑමදෙනාම කළ යුත්තේ එය බව ඔහුගේ පුත් සලමොන්ද පැවසුවා. (දේශ. 7:1) ආසාෆ් මෙන් දාවිත්ද තේරුම්ගත්තේ ජීවිතයේ වැදගත්ම දේ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇතුව සිටීම බවයි. ඔහුගේ ජීවිතයට ප්‍රීතිය ගෙන දුන්නේ එයයි. බොහෝ ක්‍රිස්තියානීන්ද පෙන්වා තිබෙන්නේ තම ජීවිතයේ වැදගත්ම දේ දෙවිට සේවය කිරීම බවයි.

7. දෙවිගේ රාජ්‍යයට මුල් තැන දීමෙන් සහෝදරයෙක් ලැබූ ආශීර්වාද මොනවාද?

7 මධ්‍යම අප්‍රිකාවේ ජීවත් වන සහෝදර සෙන් ක්ලෝඩ් තිදරු පියෙක් මෙන්ම වැඩිමහල්ලෙක්. ඒ රටේ රැකියාවක් සොයාගැනීම ඉතා දුෂ්කර නිසා තම රැකියාව ආරක්ෂා කරගැනීමට වැඩිදෙනා නොකරන දෙයක් නැහැ. සහෝදර ක්ලෝඩ්ට සවස 6.30 සිට එළි වන තුරු මුළු සතියේම වැඩ කිරීමට සිදු වන බව ඔහුගේ රැකියා ස්ථානයේ නිෂ්පාදක කළමනාකරු ඔහුට පැවසුවා. ගෙදර අයට කෑම බීම සැපයීමට පමණක් නොව ඔවුන්ට දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාර කිරීමටත් තමන්ට වගකීමක් තිබෙන බව ඔහු කළමනාකරුට පැවසුවා. තමන්ට සභාවේ වැඩවලට සහාය වීමට තිබෙන බවද ඔහු පැවසුවා. කළමනාකරුගේ පිළිතුර වුණේ මෙයයි. “ඔයාට රැකියාවක් තියෙන එකම කොයි තරම් ලොකු දෙයක්ද! ඒක ආරක්ෂා කරගන්න නම් ඔයාට භාර්යාව, දරුවන්ව විතරක් නෙමෙයි අනික් ප්‍රශ්න හැම එකක්ම අමතක කරලා සම්පූර්ණ අවධානය රැකියාවට දෙන්න වෙනවා. ඒ නිසා ඔයාට වැදගත් ආගමද නැත්නම් රස්සාවද කියලා ඔයාම තීරණය කරන්න.” එවැනි අවස්ථාවකට මුහුණ දීමට ඔබට සිදු වුණා නම් ඔබ ගන්න තීරණය කුමක්ද? තම රැකියාව අහිමි වුණත් දෙවි තමන්ට අවශ්‍ය දේ සපයයි යන විශ්වාසය ක්ලෝඩ්ට තිබුණා. ඊළඟ දවසේ ඔහු රැස්වීමට සහභාගි වීමෙන් පසු රැකියාවට යෑමට සූදානම් වුණත් ඔහුට තවමත් රැකියාව තිබෙනවාද කියා ඔහු දැන සිටියේ නැහැ. ඒ මොහොතෙම ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණු අතර කළමනාකරුව රැකියාවෙන් ඉවත් කර ඇති බව ඔහුට දැනගන්න ලැබුණා. නමුත් සහෝදර ක්ලෝඩ්ට රැකියාව අහිමි වුණේ නැහැ.

8, 9. ලෙවීවරුන් මෙන් යෙහෝවා දෙවිව අපේ උරුමය කරගන්න පුළුවන් කොහොමද?

8 ඔබත් ඒ හා සමාන අද්දැකීමකට මුහුණ දී ඇති. ඔබට රැකියාව අහිමි වුණොත් පවුලේ අයට කෑම බීම සපයන්නේ කොහොමද කියා ඔබ කනස්සලු වෙන්න ඇති. (1 තිමෝ. 5:8) ඔබ එවැනි අභියෝගයකට මුහුණ දී තිබුණත් නැතත් යෙහෝවා දෙවිව තම උරුමය කරගෙන සිටින, ඔහුට කරන සේවයට මුල් තැන දෙන අයව දෙවි කෙදිනකවත් අත් නොහරින බව ඔබ පෞද්ගලිකව අද්දැක ඇති. ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ අවස්ථාවේදී දෙවි ඔවුන්ට අවශ්‍ය කෑම, බීම, ඇඳුම් පැළඳුම් වැනි අවශ්‍යතා සපයන බව පොරොන්දු වුණා.—මතෙ. 6:33.

9 පොරොන්දු දේශයේ උරුමයක් නොලැබූ ලෙවීවරුන් ගැන කල්පනා කර බලන්න. ඔවුන් යෙදී සිටියේ ඊශ්‍රායෙල් ජාතියව සැබෑ නමස්කාරය සඳහා යොමු කිරීමේ කාර්යයේයි. එහිදී දෙවිව තම උරුමය කරගැනීමට හා තම අවශ්‍යතා සපුරාගැනීමට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන්න ඔවුන්ට සිදු වුණා. (ගණන්. 18:20) අප ඔවුන් මෙන් දේවමාලිගාවේ සේවය නොකළත් ඔවුන් මෙන් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටීමට අපටත් හැකියි. මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟා වෙනවාත් සමඟම දෙවි අපව රැකබලා ගන්නා බවට විශ්වාසයක් ඇතුව සිටීම වෙන කවදාකටත් වඩා අත්‍යවශ්‍යයි.—එළි. 13:17.

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න

10, 11. රැකියාවක් තෝරාගැනීමේදී සමහරුන් දෙවි කෙරෙහි විශ්වාසය තබා තිබෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

10 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීමට යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. (මතෙ. 6:33) ඉන් අදහස් කරන්නේ මිනිසුන්ගේ ප්‍රමිතිවලට අනුව නොව යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට අනුව හරි වැරැද්ද කුමක්ද කියා තේරුම්ගෙන කටයුතු කිරීමයි. (යෙසායා 55:8, 9 කියවන්න.) ක්‍රිස්තියානීන් බවට පත් වීමට පෙර සමහර අය දුම්කොළ වගා කිරීමේ හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමේ කටයුතුවල හවුල් වී තිබෙනවා. තවත් අය අන් අයව යුද්ධවලට පුහුණු කිරීමේ කටයුතුවල හෝ අවිආයුධ නිෂ්පාදනයේ සහ වෙළඳාමේ නිරත වී තිබෙනවා. නමුත් දෙවිගේ ප්‍රමිති ඉගෙනගැනීමෙන් පසු ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ඒවා අත්හැර දෙවිට කැප වී බව්තීස්ම වී තිබෙනවා.—යෙසා. 2:4; 2 කොරි. 7:1; ගලා. 5:14.

11 ඇන්ඩෘ ඊට එක් උදාහරණයක්. ඔහුත් භාර්යාවත් දෙවි ගැන ඉගෙනගත් පසු ඔහුට සේවය කිරීමට තීරණය කළා. ඔහු තම රැකියාව කළේ ආශාවෙන් වුණත් ඔහු සේවය කළ ආයතනය යුධ කටයුතුවලට සම්බන්ධ නිසා ඔහු එය අත්හැරියා. එසේ කිරීමෙන් ඔහු දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දුන්නා. රැකියාවෙන් ඉවත් වන විට ඔහුට දරුවන් දෙදෙනෙක් සිටි අතර ඔහු අත තිබුණේ මාස කිහිපයක් ජීවත් වීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් පමණයි. ලෙවීවරුන්ට හා සමානව ඔහුට උරුමයක් එනම්, කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු රැකියාවක් සෙවීමට පටන්ගත්තා. ඒ කාලය ගැන ඔවුන් දැන් සිහිපත් කරන විට බයිබලයේ සඳහන් මෙම වදන් මොන තරම් සත්‍යයද කියා ඔවුන්ට තහවුරු වී තිබෙනවා. “යෙහෝවා දෙවිගේ හස්තය දිග මදි කියා ඔබ සිතනවාද?” (යෙසා. 59:1) ඇන්ඩෘ සහ ඔහුගේ භාර්යාව ජීවිත සරල කරගත් නිසා පුරෝගාමි සේවයේ හවුල් වීමට පවා ඔවුන්ට හැකි වී තිබෙනවා. සමහර අවස්ථාවලදී මුදල්, ජීවත් වීමට ස්ථානයක්, සෞඛ්‍ය තත්වය, වයසට යෑම වැනි දේවල් ගැන කනස්සල්ලක් ඇති වන බව ඔහු පිළිගන්නවා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම දෙවි ඔවුන්ට උපකාර කර තිබෙනවා. දෙවිට සේවය කිරීම මිනිසුන් හැටියට අපට ලැබිය හැකි උතුම්ම ගෞරවය බවත් ඉන් ලැබෙන ආශීර්වාද බහුල බවත් ඔවුන් පවසන්නේ දැඩි විශ්වාසයකිනුයි. *දේශ. 12:13.

12. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීම සඳහා අපට අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ පිළිබඳව ඔබ දන්නා උදාහරණ සඳහන් කරන්න.

12 යේසුස් වරක් මෙසේ පැවසුවා. “අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔබ තුළ ඇත්නම් ඔබ මේ කන්දට, ‘මෙතැනින් අතනට යන්න’ කියා කිව්වොත් එය එතැනට යයි. ඔබට කළ නොහැකි කිසිවක් නැහැ.” (මතෙ. 17:20) දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණත් ඔබ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙනවාද? ඔබට ඒ ගැන සැකයක් තිබෙනවා නම් සභාවේ සිටින අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්ගෙන් ඒ ගැන විමසන්න. දෙවි ඔවුන්ට උපකාර කළ ආකාරය දැනගැනීමෙන් දෙවි කෙරෙහි ඇති ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.

දෙවිගේ සැපයුම්වලට ස්තුතිවන්ත වන්න

13. අප දෙවිට කරන සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙනවා නම් අපට කුමක් ගැන විශ්වාසය තැබිය හැකිද?

13 යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔබට ලැබී ඇති වරප්‍රසාදය ඔබ අගය කරනවා නම් ඔබේ සියලු අවශ්‍යතා දෙවි සපයන බවට ලෙවීවරුන්ට මෙන් පූර්ණ විශ්වාසයක් ඇතුව සිටින්න ඔබටත් හැකියි. තම සතුරන්ගෙන් ආරක්ෂා වීමට දාවිත්ට ගුහාවක සැඟවීමට සිදු වුණත් දෙවි තමාට උපකාර කරන බව ඔහු විශ්වාස කළා. අප අන්ත අසරණව සිටින විටදී පවා දෙවි අපට උපකාර කරන බවට පූර්ණ විශ්වාසයක් ඇතුව සිටින්න අපටත් පුළුවන්. ආසාෆ්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ ඔහු “දෙවිගේ ශුද්ධස්ථානය වෙතට” ගිය අවස්ථාවේදියි. (ගීතා. 73:17) එලෙසම අපත් දෙවි ලබා දී ඇති සැපයුම්වලින් පෝෂණය විය යුතුයි. ඉන් අප පෙන්වන්නේ කුමන දුෂ්කරතාවකට මුහුණ දුන්නත් දෙවිට සේවය කිරීමට වූ අපගේ වරප්‍රසාදය අප අගය කරන බවයි. දෙවි අපේ උරුමය බව එමගින් අපට පෙන්විය හැකියි.

14, 15. බයිබලයේ සඳහන් ඉගැන්වීමක් ගැන අපට කලින් තිබූ අවබෝධයේ යම් වෙනසක් සිදු කරන විට අප කළ යුත්තේ කුමක්ද? ඒ ඇයි?

14 “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා” තේරුම්ගන්න දෙවි ඔබට උපකාර කරන විට ඔබ දෙවි කෙරෙහි විශ්වාසය තබනවාද? (1 කොරි. 2:10-13) පේතෘස් ඒ සම්බන්ධයෙන් අපට කදිම ආදර්ශයක්. යේසුස් යුදෙව්වන්ට මෙවැනි දෙයක් පැවසුවා. ‘ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ ශරීරය කෑමට ගන්නේවත් ඔහුගේ රුධිරය බොන්නේවත් නැත්නම් ඔබට ජීවනය හිමි වන්නේ නැත.’ එතැන සිටි බොහෝදෙනෙක් සිතුවේ ඇත්තටම යේසුස්ගේ මාංසය කා රුධිරය බීමට අවශ්‍ය බවයි. “මෙය මහ පුදුම කතාවක්. මේ වගේ දේවල් අසාගෙන ඉන්න පුළුවන් කාටද?” කියා පවසමින් බොහෝදෙනෙක් ‘තමන් කලින් අත්හැර ආ දේවලට ආපසු හැරී ගියා.’ නමුත් පේතෘස් මෙසේ පැවසුවා. “ස්වාමීනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි.”—යොහ. 6:53, 60, 66, 68.

15 යේසුස් පැවසූ දේ පේතෘස්ට සම්පූර්ණයෙන්ම තේරුණේ නැති වුණත් ජනයාට සත්‍යය හෙළි කිරීමට යෙහෝවා දෙවි යේසුස්ව යොදාගන්නා බව ඔහු විශ්වාස කළා. අද දිනත් බයිබලයේ සඳහන් සත්‍යයන් පිළිබඳ කලින් තිබූ අවබෝධයේ යම් වෙනසක් කරන විට ඊට හේතුව වටහාගැනීමට ඔබ උත්සාහ කරනවාද? (හිතෝ. 4:18) බෙරීයවරුන් ‘දෙවිගේ පණිවිඩය පිළිගත්තේ මහත් උනන්දුවකිනුයි.’ ඒ සඳහා ඔවුන් ‘දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කර බැලුවා.’ (ක්‍රියා 17:11) ඔබත් ඔවුන්ව ආදර්ශයට ගන්නවා නම් දෙවිට කරන සේවය ඔබ වඩාත් අනර්ඝ දෙයක් ලෙස සලකයි. දෙවිව ඔබේ උරුමය කරගැනීමට හැකි වීම ඔබ බෙහෙවින් අගය කරයි.

යේසුස්ගේ අනුගාමිකයෙකු සමඟ පමණක් විවාහ වන්න

16. පළමුවන කොරින්ති 7:39ට අනුව දෙවිව තම උරුමය කරගැනීමට තනිකඩ ක්‍රිස්තියානීන්ට පුළුවන් කොහොමද?

16 දෙවිව තම උරුමය කරගත හැකි තවත් ආකාරයක් වන්නේ “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” සමඟ පමණක් විවාහ වීමට දී තිබෙන ආඥාවට කීකරු වීමයි. (1 කොරි. 7:39) ඊට අකීකරු වෙනවාට වඩා තනිකඩව සිටීමට බොහෝදෙනෙක් තීරණය කර තිබෙනවා. ඔවුන්ව දෙවි හොඳින් රැකබලා ගන්නවා. තම උපකාරයට කිසිවෙකු නැහැ කියා දාවිත්ට හැඟුණු අවස්ථාවේදී ඔහු කළ දේ වාර්තා කර තිබෙන්නේ මෙසේයි. “මාගේ කනස්සල්ල ගැන නොනවත්වා ඔහුට පැවසුවෙමි. මාගේ දුක ගැන දිගින් දිගටම ඔහුට කීවෙමි. මාගේ ශක්තිය හීන වී මා මලානික වූ විට මා යා යුතු මඟ ඔබ මට පෙන්වූවෙහිය.” (ගීතා. 142:1-3) යෙරෙමියා වසර ගණනාවක් පුරා තනිකඩව දෙවිට විශ්වාසවන්තව සේවය කළා. ඔහුටත් තනිකමක් දැනෙන්න ඇති.

17. තනිකම දැනෙන විට තනිකඩ සහෝදරියක් කරන්නේ කුමක්ද?

17 ඇමරිකා එක්සත් ජනපදයේ සිටින සහෝදරියක් සුදුසු සහකරුවෙකුව හමු වන තුරු තනිකඩව සිටීමට තීරණය කර තිබෙනවා. නමුත් සාක්ෂිකාරියක් නොවන ඇගේ මවට අවශ්‍ය වුණේ ඇය කවුරුන් සමඟ හෝ විවාහ වෙනවා දකින්නයි. තම විවාහය අසාර්ථක වුණොත් මව ඊට වග කියනවාද කියා සහෝදරිය මවගෙන් ඇසුවා. තම දුවට හොඳ රැකියාවක් තිබෙන බවත් ඇය ඇගේ දේවල් හොඳින් කරගෙන යන බවත් සතුටින් සිටින බවත් දුටු විට විවාහය ගැන පසුව මව එතරම් කතා කළේ නැහැ. සමහර අවස්ථාවලදී ඇයට තනිකමක් දැනෙනවා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි කවදාවත් මාව අත්හරින්නේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි.” දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති කරගැනීමට ඇයට හැකි වුණු ආකාරය ගැන ඇය මෙසේ පවසනවා. “දෙවි සැබෑ කෙනෙක් කියලත් මම තනි වෙලා නැහැ කියලත් තේරුම්ගන්න යාච්ඤාව මට විශාල උපකාරයක්. විශ්වයේ සිටින ශ්‍රේෂ්ඨතම තැනැත්තා මට ඇහුම්කන් දෙනවා කියලා දැනෙද්දී ඒක මට ලොකු ගෞරවයක් වගේම ප්‍රීතියට හේතුවක්!” බයිබලයේ සඳහන් මෙම වදන්වල සත්‍යතාවද ඇය තේරුම්ගෙන තිබෙනවා. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.” යමක් බලාපොරොත්තු නොවී අනික් අයට උපකාර කරන්න ඇය උත්සාහ කරනවා. ඒ ගැන ඇය පවසන්නේ “කෙනෙක්ට උදව් කරන්නේ කොහොමද කියලා මම හිතනකොටත් ඒක මට ලොකු ප්‍රීතියක්” කියායි. (ක්‍රියා 20:35) ඇය යෙහෝවා දෙවිව තම උරුමය කරගෙන තිබෙන නිසා ඇය දෙවිට සේවය කරන්නේ ප්‍රීතියෙන්.

18. ඔබට දෙවිගේ උරුමය බවට පත් වෙන්න පුළුවන් කොහොමද?

18 ඔබ මුහුණ දෙමින් සිටින තත්වය කුමක් වුණත් දෙවිව ඔබේ උරුමය කරගන්න ඔබටත් හැකියි. එසේ කරනවා නම් දෙවිගේ ප්‍රීතිමත් ජනයා අතර සිටින්න ඔබටත් පුළුවන්. (2 කොරි. 6:16, 17) එවිට පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් හා සමානව යෙහෝවා දෙවිගේ උරුමය බවට පත් වීමට ඔබට හැකි වෙයි. (ද්විතීය කතාව 32:9, 10 කියවන්න.) පුරාණයේ සිටි ජාතීන් අතරින් දෙවිගේ උරුමය ලෙස ඔහු ඊශ්‍රායෙල් ජාතියව තෝරාගත් ලෙසම ඔබවත් තෝරාගන්න ඔහුට හැකි අතර ඔබවත් ඔහු ආදරයෙන් රැකබලා ගන්නා බව ස්ථිරයි.—ගීතා. 17:8.

[පාදසටහන]

ඔබේ පිළිතුර කුමක්ද?

• දෙවිගේ රාජ්‍යයට හා ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීමෙන් දෙවිව ඔබේ උරුමය කරගන්න පුළුවන් කොහොමද?

• දෙවිගේ සැපයුම්වලට ස්තුතිවන්ත වීමෙන් දෙවිව ඔබේ උරුමය කරගන්න පුළුවන් කොහොමද?

• යේසුස්ගේ අනුගාමිකයෙකු සමඟ පමණක් විවාහ වීමෙන් දෙවිව ඔබේ උරුමය කරගන්න පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිගේ සේවයට මුල් තැන දෙන විට දෙවි අපේ උරුමය බවට පත් වෙනවා

[15වන පිටුවේ පින්තූරය]

යෙරෙමියාගේ ආදර්ශය අපට දිරිගැන්වීමක්