Skip to content

පටුනට යන්න

තනිකඩභාවය හා විවාහය පිළිබඳ නැණවත් උපදෙස්

තනිකඩභාවය හා විවාහය පිළිබඳ නැණවත් උපදෙස්

තනිකඩභාවය හා විවාහය පිළිබඳ නැණවත් උපදෙස්

‘මා මේ දේවල් පවසන්නේ ඔබේ සිත වෙනතකට යොමු නොකර ස්වාමීන්ට නොකඩවා සේවය කිරීමේ ප්‍රස්තාව ලබා දීම සඳහාය.’—1 කොරි. 7:35.

1, 2. විවාහකයන් හා අවිවාහකයන් බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අධ්‍යයනය කිරීම වැදගත් ඇයි?

ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන අය ප්‍රීතිය පමණක් නොව කලකිරීම සහ කනස්සල්ලද අද්දකිනවා. ඒවාට මුහුණ දීම සඳහා දෙවිගේ මඟ පෙන්වීම් ඔවුන්ට අවශ්‍යයි. ජීවිතයේ බොහෝ කාරණාවලදීද දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍ය වෙනවා. උදාහරණයකට ක්‍රිස්තියානියෙක් තනිකඩභාවය ප්‍රීතියෙන් ගත කළත් ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ යහළුවන් ඔහුට විවාහ වන ලෙස පීඩනයක් එල්ල කළ හැකියි. තවත් අය විවාහ වීමට ආශාවෙන් සිටියත් සුදුසු සහකරුවෙක් තවමත් හමු වී නැතුව ඇති. අනික් අතට විවාහ වීමේ අරමුණින් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන අයට විවාහය තුළ ඇති වගකීම් ඉටු කිරීම සඳහා සූදානම් වීමට මඟ පෙන්වීම් අවශ්‍යයි. විවාහ වුණත් නැතත් ක්‍රිස්තියානියෙක් දුරාචාරයෙන් වැළකී සිටීම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යයි.

2 ජීවිතයේ මුහුණ දීමට සිදු වන එවැනි තත්වයන් නිසා අපේ සතුට අහිමි වීමට ඉඩ තිබෙනවා. ඊටත් වඩා බරපතළ දේ නම් එමගින් දෙවි සමඟ ඇති අපේ මිත්‍රත්වයට හානි වීමට ඉඩ තිබීමයි. පාවුල් තනිකඩ අයට සහ විවාහකයන්ට 1වෙනි කොරින්ති 7වෙනි පරිච්ඡේදයේ උපදෙස් ලබා දී තිබෙන්නේ ඒ නිසයි. ඔහුගේ ආශාව වුණේ ඒ දෙපිරිසම දෙවි ඉදිරියේ හරි දේ කරමින් මුළු හදවතින්ම ඔහුට සේවය කරනවා දැකීමයි. (1 කොරි. 7:35) එම වටිනා උපදෙස් අපටත් ඉතා ප්‍රයෝජනවත්.

පෞද්ගලික තීරණයක්

3, 4. (අ) විවාහ වන ලෙස පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් පීඩනයක් එල්ල කළොත් කුමක් සිදු විය හැකිද? (ආ) විවාහය ගැන නිසි ආකල්පයක් ඇතුව සිටීමට පාවුල්ගේ වදන් උපකාරවත් වන්නේ කොහොමද?

3 පළමු සියවසේ සිටි යුදෙව්වන් විවාහය සැලකුවේ ජීවිතයේ වැදගත් දෙයක් කියායි. අද සිටින බොහෝදෙනාට තිබෙන්නේත් එම ආකල්පයමයි. කෙනෙක් නිශ්චිත වයසකට පැමිණි විට විවාහ වන්නේ නැත්නම් ඔහුගේ පවුලේ අය සහ මිතුරන් ඒ ගැන සැලකිලිමත් වී ඒ සඳහා ඔහුව පෙලඹවීමට ඉඩ තිබෙනවා. එසේත් නැත්නම් ඔවුන් ඔහුට කෙනෙකුව යෝජනා කළ හැකියි. තවත් අය විවාහ වීමට සුදුසුයි කියා ඔවුන් සිතන දෙදෙනෙකුව මුණගස්සනවා. එසේ කිරීමෙන් ඔවුන් දෙදෙනා අපහසුතාවට පත් විය හැකි අතර ඔවුන්ගේ මිත්‍රත්වය පවා පලුදු විය හැකියි.

4 කෙනෙක් විවාහ විය යුතුයි කියා හෝ තනිකඩව සිටිය යුතුයි කියා පාවුල් පැවසුවේ නැහැ. (1 කොරි. 7:7) පාවුල් තනිකඩව දෙවිට සේවය කිරීමෙන් ප්‍රීතියක් ලැබුවත් විවාහ වීමට ආශාවෙන් සිටින අයව විවේචනය කළේ නැහැ. අද සිටින ක්‍රිස්තියානීන්ටද තමන් විවාහ වෙනවාද තනිකඩව සිටිනවාද කියා තීරණය කිරීමට අයිතියක් තිබෙනවා. කිසිවෙක් එම තීරණයට මැදිහත් නොවිය යුතුයි.

අවිවාහකයෙකු ලෙස කරන සේවය

5, 6. තනිකඩව දෙවිට සේවය කිරීම ප්‍රයෝජනවත් කියා පාවුල් පැවසුවේ ඇයි?

5 දෙවිට වැඩි සේවයක් කිරීමට තනිකඩ ක්‍රිස්තියානීන්ට අවස්ථාව තිබෙන බව පාවුල් කොරින්තිවරුන්ට පැවසූ වදන්වලින් පැහැදිලියි. (1 කොරින්ති 7:8 කියවන්න.) සමහර පූජකයන් හා ආගමික නායකයන් විවාහ නොවී සිටින නිසා විවාහ වූ අයව පහත් කර සලකනවා. නමුත් පාවුල් විවාහකයෙක් නොවුණත් තමන් විවාහකයන්ට වඩා උසස් කියා සිතුවේ නැහැ. ඔහු පැහැදිලි කළේ විවාහකයන්ට කිරීමට නොහැකි සේවයක් කිරීමට තනිකඩ අයට අවස්ථා උදා විය හැකි බවයි. ඒ කොහොමද?

6 විවාහකයෙකුට භාරගැනීමට නොහැකි පැවරුමක් තනිකඩ ක්‍රිස්තියානියෙකුට භාරගැනීමට අවස්ථාව තිබිය හැකියි. “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවනු ලැබූ නියෝජිතයෙකු ලෙස” පාවුල්ට විශේෂ පැවරුමක් භාරගැනීමට හැකි වුණේ ඒ නිසයි. (රෝම 11:13) එම පැවරුම තුළ ඔහු ලැබූ අද්දැකීම් ක්‍රියා 13 සිට 20 දක්වා පරිච්ඡේදවල විස්තර කරනවා. ශුභාරංචිය ප්‍රකාශ කර නොතිබූ ප්‍රදේශවලට ඔහු තවත් දේවසේවකයන් සමඟ ගොස් සභා බොහොමයක් පිහිටෙව්වා. අපෙන් බොහෝදෙනෙක් අද්දැක නැති දැඩි දුෂ්කරතාවලටද ඔහු මුහුණ දුන්නා. (2 කොරි. 11:23-27, 32, 33) ඒ සියල්ලම ඔහු කැමැත්තෙන් දරාගත් අතර එය ඔහුට ඉමහත් ප්‍රීතියක් ගෙන දුන්නා. (1 තෙස. 1:2-7, 9; 2:19) ඔහු විවාහ වී සිටියා නම් ඒ සියල්ල කිරීමට සමහරවිට ඔහුට හැකි වන්නේ නැහැ.

7. සහෝදරියන් දෙදෙනෙක් තනිකඩව සිටින කාලයෙන් ප්‍රයෝජන ගත්තේ කොහොමද?

7 තනිකඩව සිටින බොහෝ ක්‍රිස්තියානීන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයෙහි වැඩියෙන් හවුල් වීමට හැකි වී තිබෙනවා. බොලිවියාවේ පුරෝගාමි සේවයේ හවුල් වන තනිකඩ සහෝදරියන් දෙදෙනෙකු වූ සාරා සහ ලිම්බානියාගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන් වසර ගණනාවක් පුරා ශුභාරංචිය ප්‍රකාශ කර නොතිබූ ගමක සේවය කිරීම ආරම්භ කළා. එහි විදුලි බලය නොතිබූ නිසා “රූපවාහිනිය නැරඹීම හෝ ගුවන්විදුලියට සවන් දීම වෙනුවට බොහෝදෙනෙක් කියවීමට වැඩි නැඹුරුවාවක් දැක්වූ” බව ඔවුන් පවසනවා. එහි සිටින සමහරුන් බොහෝ කලකට පෙර මුද්‍රණය කළ අපේ පොත් පත් කියවන බව එම සහෝදරියන් පවසනවා. සෑම නිවසකම වගේ උනන්දුව දක්වන අයව හමු වන නිසා ඔවුන්ට එම ප්‍රදේශය ආවරණය කිරීමට බොහෝ කාලයක් ගත වුණා. එක් මහලු කාන්තාවක් ඔවුන්ට මෙසේ පැවසුවා. “සාක්ෂිකරුවන් මෙච්චර ඈත ඉන්න අපිවත් මුණගැහෙන්න ඇවිත් ඉන්න නිසා දැන් නම් ලෝක විනාශය අත ළඟම වෙන්න ඕන.” වැඩි කල් නොගොස් සමහරු රැස්වීම්වලට සහභාගි වීමටත් පටන්ගත්තා.

8, 9. (අ) තනිකඩව සිට දෙවිට සේවය කිරීමට ලැබීම වටිනා ප්‍රස්තාවක් බව පාවුල් පැවසුවේ ඇයි? (ආ) ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

8 යම් දුෂ්කරතා අද්දකින ප්‍රදේශවල දේශනා කිරීමෙන් විවාහකයන්ටද සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව ඇත්තයි. නමුත් තනිකඩ පුරෝගාමීන්ට භාරගත හැකි සමහර පැවරුම් විවාහ වී සිටින හෝ දරුවන් සිටින අයට භාරගැනීම දුෂ්කර විය හැකියි. පාවුල් කොරින්තිවරුන්ට ලියන විට දේශනා කිරීම සඳහා විශාල වැඩ කොටසක් තවමත් ඉතුරුව ඇති බව තේරුම්ගත්තා. තමා මෙන් සියලුදෙනාම දේවසේවයෙන් ප්‍රීතියක් ලබනවා දකින්න ඔහුට අවශ්‍ය වුණා. තනිකඩව සිට සේවය කිරීමට ලැබීම විශාල ප්‍රස්තාවක් බව ඔහු පැවසුවේ ඒ නිසයි.

9 එක්සත් ජනපදයේ සිටින පුරෝගාමි සහෝදරියක් තනිකඩභාවය ගැන තමන්ට දැනෙන ආකාරය මෙසේ ලියා එව්වා. “තනිකඩ අයට ප්‍රීතිය අද්දැකීමට නොහැකි බව සමහරුන්ට සිතුණත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් සැබෑ ප්‍රීතිය අද්දැකීමට හැකියි. තනිකඩව සිටීම පරිත්‍යාගයක් වුණත් ඒ කාලය ඥානවන්තව භාවිත කළොත් එය අනර්ඝ ත්‍යාගයක් ලෙස සැලකීමට හැකියි. දෙවි ඔහුගේ ප්‍රේමණීය සැලකිල්ල විවාහක සහ අවිවාහක යන දෙපිරිසටම එක හා සමානව පෙන්වනවා.” දැන් ඇය අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරනවා. ඔබත් තනිකඩ ක්‍රිස්තියානියෙක් නම් දෙවි ගැන ඉගැන්වීමේ කාර්යයෙහි වැඩියෙන් හවුල් වීමට ඔබට හැකිද? එසේ කළ හැකි නම් තනිකඩභාවය දෙවිගෙන් ලද අගනා ත්‍යාගයක් බව ඔබට වැටහෙයි.

විවාහ වීමට කැමැත්තෙන් සිටින අය

10, 11. විවාහ වීමට තවම කෙනෙකුව හමු වී නැති අයට දෙවි උපකාර කරන්නේ කොහොමද?

10 යම් කලක් තනිකඩව සිටීමෙන් පසු විවාහ වීමට ක්‍රිස්තියානියෙක් තීරණය කළ හැකියි. ඔහුට ඒ සඳහා මඟපෙන්වීම් අවශ්‍යයි. ඒ නිසා සුදුසු සහකරුවෙකුව සොයාගෙන ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට ඔහු දෙවිගේ මඟ පෙන්වීම් පතනවා.1 කොරින්ති 7:36 කියවන්න.

11 දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කරන කෙනෙකු සමඟ විවාහ වීම ඔබේ ආශාව නම් ඒ ගැන දෙවිට පවසන්න. (ෆිලි. 4:6, 7) බොහෝ කලක් ඒ සඳහා බලා සිටින බව ඔබට හැඟුණත් අධෛර්යය වෙන්න එපා. ඔබ සිටින තත්වය දෙවි හොඳින් දන්නවා. ඒ නිසා ඊට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපකාර ඔහු ඔබට ලබා දෙන බවට නිසැක වන්න.—හෙබ්‍රෙ. 13:6.

12. කෙනෙක් විවාහ යෝජනාවක් කළොත් ඔබ සිතා බැලිය යුත්තේ කුමක් ගැනද?

12 දෙවි සමඟ එතරම් කිට්ටු බැඳීමක් නැති හෝ දෙවිට නමස්කාර නොකරන කෙනෙක් ඔබට විවාහ යෝජනාවක් කළොත් ඔබ කරන්නේ කුමක්ද? විවාහ වීමට ඔබට දැඩි අවශ්‍යතාවක් තිබෙනවා කියා සිතන්න. ඒ අවස්ථාවේදී ඔබ වැරදි තීරණයක් ගන්නවා නම් තනිකම නිසා දැනුණු වේදනාවට වඩා වැඩි වේදනාවක් අද්දකින්න ඔබට සිදු වෙයි. ඔබ විවාහ වන පුද්ගලයා සමඟ ජීවිත කාලයටම සිටිය යුතු බව අමතක නොකරන්න. ඔබ දැන් ගන්නා තීරණය ඔබේ මුළු ජීවිතයටම බලපානවා. (1 කොරි. 7:27) ඔබට විවාහ වීමට වෙනත් කෙනෙකුව ආයි කවදාවත් ලැබෙන එකක් නැහැ කියා සිතා ඉක්මන් වී කටයුතු කරන්න එපා. එසේ කළොත් පසුව ඔබට ඒ ගැන පසුතැවෙන්න වෙයි.—1 කොරින්ති 7:39 කියවන්න.

විවාහය සඳහා සූදානම් වීම

13-15. විවාහ වීමට පෙර දෙදෙනෙක් සාකච්ඡා කළ යුතු වැදගත් දේවල් මොනවාද?

13 තනිකඩව සිට දෙවිට සේවය කිරීමට පාවුල් දිරිගැන්නුවත් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයව ඔහු විවේචනය කළේ නැහැ. විවාහ වීමෙන් පසු මුහුණ දීමට සිදු වන දේවල් ගැන හා විවාහ බැඳීම ආරක්ෂා කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් පාවුල් ලබා දුන්නා.

14 විවාහයෙන් පසු බලාපොරොත්තු වන දේවල් ගැන සාධාරණ වීමට සමහර යුවළයන්ට සිදු වෙනවා. තම බැඳීම ඉතා විශේෂ එකක් කියා ප්‍රේම සම්බන්ධයක් පවත්වන කාලයේදී දෙදෙනෙකුට සිතෙන්න පුළුවන්. එසේ හැඟෙන්නේ තමන්ට පමණක් බව ඔවුන් සිතිය හැකියි. එවැනි ආකල්ප ඇතුව විවාහ දිවියට එළඹෙන ඔවුන් කෙදිනකවත් ප්‍රශ්න ගැටලු අද්දකින්නේ නැහැ කියා සිතන්න ඉඩ තිබෙනවා. නමුත් සැබෑ ජීවිතයේ තත්වය ඊට වඩා වෙනස්. ප්‍රශ්න ගැටලු අද්දකින්නේ නැති කිසිවෙක් නැහැ. දෙදෙනා ආදරයෙන් බැඳී සිටින අවස්ථාවලදී ඔවුන්ට ප්‍රීතියක් දැනෙන බව ඇත්තයි. නමුත් විවාහ ජීවිතයේ ඇති වන ප්‍රශ්න ගැටලු විසඳාගැනීමට එය ප්‍රමාණවත් නැහැ.—1 කොරින්ති 7:28 කියවන්න. *

15 විවාහයෙන් පසු යම් වැදගත් කාරණා ගැන එකඟ නොවීම් ඇති වන විට එය බලාපොරොත්තු සුන් වීමට හෝ කලකිරීමට හේතු විය හැකියි. උදාහරණයකට මුදල් පරිහරණය, විනෝදාංශ, පදිංචිය හා දෙමාපියන්ව බැලීමට යෑම වැනි කාරණාවලදී එකඟ නොවීම් ඇති විය හැකියි. දෙදෙනාම අසම්පූර්ණ නිසා එකිනෙකාට නුරුස්නා ගතිගුණ දෙදෙනා තුළම තිබෙනවා. විවාහ වීමට පෙර ඇසුරු කරන කාලයේදී එවැනි කාරණා ගැන සාකච්ඡා කිරීම වැදගත් නැහැ කියා ඔවුන්ට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් එසේ නොකළොත් පසුව එය ගැටලුවලට මඟ පෑදිය හැකියි. ඒ නිසා විවාහ වීමට පෙර ඒ ගැන විවෘතව කතා කිරීම දෙදෙනාගේම යහපතට හේතු වෙයි.

16. ගැටලු විසඳාගන්නා ආකාරය ගැන දෙදෙනා එකඟතාවකට පැමිණිය යුත්තේ ඇයි?

16 විවාහය ප්‍රීතියෙන් ගත කිරීමට නම් ඒත් සමඟම පැවරෙන වගකීම් ඉටු කරන ආකාරය ගැන දෙදෙනා එකඟතාවකට පැමිණිය යුතුයි. දරුවන්ව පුහුණු කරන ආකාරය, දෙමාපියන් මහලු වන විට ඔවුන්ව රැකබලා ගන්නා ආකාරය වැනි දේවල් ඊට උදාහරණයි. සෑම පවුලක්ම විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. නමුත් ඒවා ඔවුන් දෙදෙනාව දුරස් කිරීමට හේතුවක් කර නොගත යුතුයි. ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගැනීමට, පහසුවෙන් විසඳාගත නොහැකි ප්‍රශ්න ඉවසා දරාගැනීමට සහ ප්‍රීතියෙන් එකට බැඳී සිටීමට බයිබලයේ මඟ පෙන්වීම් ඔවුන්ට උපකාරවත් වන බව නිසැකයි.—1 කොරි. 7:10, 11.

17. විවාහක යුවළක් ‘එදිනෙදා ජීවිතයේදී කරදර වන්නේ’ කුමන දේවල් ගැනද?

17 විවාහය සම්බන්ධයෙන් පාවුල් දුන් තවත් උපදෙස් 1වෙනි කොරින්ති 7:32-34හි සඳහන් වෙනවා. (කියවන්න.) විවාහකයන් ‘එදිනෙදා ජීවිතයේ දේවල් ගැන කරදර වන’ බව පාවුල් පැවසුවා. ඒවා නම් කෑමබීම, ඇඳුම්පැළඳුම් හා ඉඳුම්හිටුම් වැනි මූලික අවශ්‍යතාවනුයි. තම කාලය හා ශක්තියෙන් වැඩි කොටසක් දේවසේවය සඳහා වැය කිරීමට තනිකඩ සහෝදරයෙකුට හැකියාව තිබෙන්න පුළුවන්. නමුත් ඔහු විවාහ වූ පසු දේවසේවය සඳහා යෙදවූ කාලයෙන් හා ශක්තියෙන් යම් කොටසක් තම භාර්යාව වෙනුවෙන් වැය කිරීමට ඔහුට සිදු වෙනවා. භාර්යාවටත් එසේම කිරීමට සිදු වෙනවා. ඔවුන් එසේ කරන්නේ එකිනෙකාව සතුටින් තැබීමට බව යෙහෝවා දෙවි දන්නවා. කාලය හා ශක්තිය පෙර මෙන් තම සේවය වෙනුවෙන් ඔවුන්ට වැය කළ නොහැකි බවද දෙවි තේරුම්ගන්නවා.

18. විනෝද වීම හා වෙනත් කටයුතු සඳහා ගත කළ කාලය ගැන යුවළකට කිරීමට සිදු විය හැකි වෙනස්කම් මොනවාද?

18 විවාහ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා කලින් දේවසේවය සඳහා යෙදවූ කාලයෙන් යම් කාලයක් වැය කිරීමට යුවළකට සිදු වෙනවා. නමුත් දෙදෙනෙක් විවාහ වීමට පෙර විනෝද වීමට හා වෙනත් කටයුතුවල නිරත වීමට වැය කළ කාලය ගැන කුමක් කිව හැකිද? තනිකඩව සිටි කාලයේදී විනෝද වීමට හා අනික් ක්‍රියාකාරකම්වලට වැය කළ කාලයෙන්ද යම් ප්‍රමාණයක් විවාහය ශක්තිමත් කරගැනීම සඳහා ගත යුතුයි. ස්වාමිපුරුෂයා තනිකඩව සිටි කාලයේදී මිතුරන් සමඟ විනෝද වීමට ගත කළ කාලයම විවාහයෙන් පසුවත් ඒ සඳහා ගත කරනවා නම් ඔහුගේ භාර්යාවට ඒ ගැන කෙසේ හැඟෙයිද? අනික් අතට භාර්යාවද එලෙස කටයුතු කරනවා නම් ස්වාමිපුරුෂයාට කෙසේ හැඟෙයිද? දෙදෙනාටම තනිකම, අසතුට හා කලකිරීම දැනෙන්න පුළුවන්. තම විවාහ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා යුවළක් තමන්ට හැකි සියල්ල කළ යුතුයි.—එෆී. 5:31.

පවිත්‍රව සිටීම දෙවි අපේක්ෂා කරයි

19, 20. (අ) විවාහකයන් පවා අනාචාරයෙන් වැළකී සිටීමට පියවර ගත යුත්තේ ඇයි? (ආ) දෙදෙනෙක් බොහෝ කාලයකට එකිනෙකාගෙන් වෙන් වී සිටීමේ ඇති අනතුර කුමක්ද?

19 දෙවිගේ සේවකයන් සදාචාරාත්මකව පවිත්‍රව සිටීමට තමන්ට හැකි සෑම දෙයක්ම කරනවා. සමහරුන් විවාහ වන්නේ අනාචාරයට නොවැටීම සඳහායි. නමුත් අනාචාර ක්‍රියාවලින් ආරක්ෂා වීමට විවාහය එකම රැකවරණය නොවෙයි. පුරාණයේ තිබූ නුවරවල් විශාල පවුරුවලින් වට වී තිබුණා. කෙනෙක් ඒ තුළ සිටින තාක් කල් ඔහුට ආරක්ෂාව ලැබුණා. නමුත් ඒ පවුරෙන් පිටත සොරුන් සහ අපරාධකරුවන් සිටි නිසා ඉන් පිටතට යෑම ඉතා භයානක වුණා. විවාහකයන්ට දෙවි දමා තිබෙන සීමාවන්ද විශාල ආරක්ෂිත පවුරක් හා සමානයි. ඔවුන් දෙවි ලබා දී තිබෙන නීති හා සීමා තුළ ජීවත් වන තාක් කල් ඔවුන්ට දුරාචාරයෙන් වැළකී සිටීමට හැකියි.

20 දෙවි දී ඇති එම සීමාවන් ගැන 1වෙනි කොරින්ති 7:2-5හි පාවුල් සඳහන් කළා. භාර්යාවට ලිංගික සම්බන්ධකම් පැවැත්විය හැක්කේ ඇගේ ස්වාමිපුරුෂයා සමඟ පමණයි. ස්වාමිපුරුෂයාටද සම්බන්ධකම් පැවැත්විය හැක්කේ ඔහුගේ භාර්යාව සමඟ පමණයි. දෙවි පවසන්නේ විවාහය තුළ ඔවුන් අඹුසැමියන් ලෙස “එකිනෙකාගේ අවශ්‍යතා” සපුරාලිය යුතු බවයි. නමුත් යුවළක් බොහෝ කාලයක් එකිනෙකාගෙන් වෙන් වී සිටිනවා නම් ඔවුන්ගේ ලිංගික “අවශ්‍යතා” සපුරාලීමට හැකි වන්නේ නැහැ. උදාහරණයකට සමහර භාර්යාවන් සහ ස්වාමිපුරුෂයන් වෙන වෙනම නිවාඩු ගත කිරීමට පුරුදු වී සිටිනවා. තවත් සමහරුන් ඔවුන්ගේ රැකියාව නිසා බොහෝ කාලයක් තම සහකරුගෙන් වෙන් වී ජීවත් වෙනවා. විවාහ ජීවිතය කඩාකප්පල් කිරීමට සාතන්ට එවැනි අවස්ථා උපයෝගි කරගත හැකියි. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් එම අවශ්‍යතාව සපුරාලන්නේ නැත්නම් “ආශාවන් පාලනය කරගැනීමට නොහැකි වීම නිසා” ඔවුන්ගෙන් කෙනෙක් දුරාචාරයේ නියැලීමට ඉඩ තිබෙනවා. පවුලේ අයට එදිනෙදා අවශ්‍ය දේවල් සපයන අතරතුර තම විවාහ ජීවිතය රැකගන්නා ස්වාමිපුරුෂයන්ට දෙවි ආශීර්වාද කරනවා.—ගීතා. 37:25.

බයිබලයේ දී ඇති උපදෙස්වලට කීකරු වන්න

21. (අ) විවාහ වීමට හෝ තනිකඩව සිටීමට ගන්නා තීරණ එතරම් පහසු ඒවා නොවන්නේ ඇයි? (ආ) පළවෙනි කොරින්ති 7වෙනි පරිච්ඡේදයේ ඇති උපදෙස් අපට උපකාරවත් වන්නේ කොහොමද?

21 තනිකඩව සිටීමට හෝ විවාහ වීමට තීරණය කිරීම එතරම් පහසු එකක් නොවෙයි. ඔබ ඒ කුමන තීරණය ගත්තත් අසම්පූර්ණකම නිසා ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබුණත් ජීවිතයේ විවිධ අවස්ථාවලදී මුහුණ දීමට සිදු වන දේවල් නිසා අප කවුරුත් කලකිරීමට පත් වෙනවා. නමුත් පාවුල් 1වෙනි කොරින්ති 7වෙනි පරිච්ඡේදයේ දී ඇති මඟ පෙන්වීම් සිතට ගැනීමෙන් අප මෙතෙක් සාකච්ඡා කළ ගැටලුවලින් බොහොමයක් මඟහැරීමට අපට හැකියි. අප විවාහක වුණත් අවිවාහක වුණත් යෙහෝවා දෙවිව සතුටු කරන්න අපට පුළුවන්. (1 කොරින්ති 7:37, 38 කියවන්න.) අපේ ජීවිතයේ ලැබිය හැකි උතුම්ම ආශීර්වාදය නම් දෙවිගේ අනුමැතිය ලබාගැනීමයි. දැනුත් දෙවි පොරොන්දු කර තිබෙන පාරාදීස පොළොවේ ජීවත් වන විටත් අපට දෙවිගේ අනුමැතිය ලබාගත හැකියි. එදාට අප දැන් අද්දකින සෑම ප්‍රශ්න ගැටලුවකින්ම නිදහස් ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳින්න හැකි වෙයි.

[පාදසටහන]

^ 14 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ 2වෙනි පරිච්ඡේදයේ 16-19 ඡේද බලන්න.

ඔබේ පිළිතුර කුමක්ද?

• අවිවාහකයෙකුට විවාහ වීමට බල නොකළ යුත්තේ ඇයි?

• තනිකඩව සිටින කාලයේදී කළ හැකි හොඳම දේ මොකක්ද?

• විවාහ වීමට සිටින දෙදෙනෙකුට ඉදිරියේදී මුහුණ දීමට සිදු විය හැකි අභියෝගවලට සූදානම් විය හැක්කේ කොහොමද?

• විවාහකයන් අනාචාරයෙන් වැළකී සිටීමට පියවර ගත යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූර]

දෙවිට සේවය කිරීමෙන් තනිකඩව සිටින කාලයේදී ප්‍රීතිය අද්දැකීමට හැකියි

[16වන පිටුවේ පින්තූරය]

විවාහ වූ පසු සමහරුන්ට කිරීමට සිදු වන වෙනස්කම් මොනවාද?