Skip to content

පටුනට යන්න

දෙවිට සේවය කිරීමෙන් මා ලැබුවේ විශාල සතුටක්

දෙවිට සේවය කිරීමෙන් මා ලැබුවේ විශාල සතුටක්

දෙවිට සේවය කිරීමෙන් මා ලැබුවේ විශාල සතුටක්

ෆ්‍රෙඩ් රස්ක්

මගේ ජීවිතයේ මුල් අවදියේ මමත් ගීතාවලිය 27:10හි සඳහන් මෙම වදන්වල සත්‍යතාව අද්දැක්කා. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.”

මම හැදී වැඩුණේ එක්සත් ජනපදයේ ජොර්ජියා ප්‍රාන්තයේ අපේ සීයාගේ කපු පුළුන් ගොවිපළෙයි. ඒ 1930 ගණන්වලයි. මගේ අම්මයි අලුත උපන් මගේ මල්ලියි මැරුණ නිසා තාත්තා හිටියේ දරාගන්න බැරි දුකකිනුයි. ඒ නිසා තාත්තා මාව සීයලගේ ගෙදර නතර කරලා ඈත නගරයක රැකියාවකට ගියා. පසු කාලයක තාත්තා ළඟට මාව ගන්න හැදුවත් තාත්තාට ඒක කරන්න බැරි වුණා.

සීයාගේ ගෙදර වැඩකටයුතු බලාකියා ගත්තේ සීයාගේ දුවලයි. සීයා ආගමට ළැදි කෙනෙක් නොවුණත් මගේ නැන්දලා නම් ආගමට හරිම ළැදියි. ගුටි කන්න වෙන නිසා මමත් හැම ඉරිදාම පල්ලි ගියා. මට ආගම ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. හැබැයි පාසැල් යන්න, ක්‍රීඩා කරන්න මට ලොකු උනන්දුවක් තිබුණා.

ජීවිතය වෙනස් කළ හමු වීමක්

වර්ෂ 1941 එක් සැන්දෑවක වැඩිහිටි යුවළක් අපේ ගෙදර ආවා. එතකොට මට අවුරුදු 15යි. “මේ ඔයාගේ මාමා ටැල්මාජ් රස්ක්” කියලා මට ඔහුව හඳුන්වලා දුන්නා. මම කවදාවත් මාමව දැකලා තිබුණේ නැහැ. ඒ වුණත් ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව මම තේරුම්ගත්තා. මනුෂ්‍යයන් සඳහා දෙවිගේ අරමුණ පොළොව මත සදාකල් ජීවත් වීම බව මාමා පැහැදිලි කළා. මම පල්ලියෙන් ඉගෙනගෙන තිබුණ දේවලට වඩා ඒක හරිම වෙනස්. ඒ නිසා අපේ ගෙදර අයගෙන් වැඩිදෙනෙක් මාමා කියපු දේට කැමති වුණේ නැහැ. මාමව ඊට පස්සේ ගෙදරටවත් ගත්තේ නැහැ. ඒ වුණත් මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල් මේරි නැන්දා, බයිබලය ගැන පැහැදිලි කරලා තියෙන පොත් වගයකුයි බයිබලයකුයි මාමගෙන් ඉල්ලගත්තා.

සත්‍ය ආගම ඒකයි කියලා මේරි නැන්දා ඉක්මනටම තේරුම්ගත්තා. ඊට පස්සේ 1942දී එයා බව්තීස්ම වුණා. ඒත් එක්කම “මිනිසෙකුගේ සතුරන් වන්නේ ඔහුගේම පවුලේ සාමාජිකයන්” කියා යේසුස් පැවසූ වචන ඇය අද්දකින්න පටන්ගත්තා. (මතෙ. 10:34-36) ගෙදර අයගේ විරුද්ධවාදිකම් එන්න එන්නම වැඩි වුණා. සමාජ සේවයේ උද්‍යෝගයෙන් හවුල් වුණ තවත් නැන්දා කෙනෙක් නගරාධිපතිත් එක්ක කුමන්ත්‍රණය කරලා මාමව හිරේට දැම්මා. ඔහුට එල්ල කරපු චෝදනාව වුණේ අවසර නැතුව ගෙවල්වලට ගිහින් වෙළඳාම් කිරීමයි. එයින් ඔහු වැරදිකරු බව තීන්දු කළා.

නගරයේ උසාවියේ විනිශ්චයකරු ලෙස කටයුතු කළෙත් නගරාධිපතිමයි. ඔහු පැවසූ දෙයක් එක් පුවත්පතක මෙසේ වාර්තා වුණා. ‘මේ මිනිහා බෙදන පොත් පත් හරිම භයානකයි.’ නමුත් මගේ මාමා තමන් නිවැරදිකරු බව අභියාචනයකින් ඔප්පු කර එම නඩුව දිනුවා. ඒ වුණත් ඒ දක්වා දින දහයක් ඔහුට හිරේ ඉන්න සිද්ධ වුණා.

මේරි නැන්දා කළ උපකාර

මේරි නැන්දා බයිබලයෙන් ඉගෙනගත් දේවල් මට කියලා දෙනවාට අමතරව අසල්වාසීන්ටත් දේශනා කරන්න පටන්ගත්තා. නැන්දගෙන් පොතක් * ලබාගෙන තිබුණු පිරිමි කෙනෙක් එක්ක කළ බයිබල් පාඩමකට දවසක් මමත් ගියා. ඔහු ඒ පොත රෑ එළිවෙන කල් කියවූ බව ඔහුගේ බිරිඳ අපිට කිව්වා. ආගම ගැන මට උනන්දුවක් තිබුණේ නැතත් මම ඉගෙනගත් දේවලට මගේ හිත ඇදිලා ගියා. ඇත්තටම කියනවා නම් මේ අය දෙවිගේ සෙනඟ කියලා මට වැටහුණු ප්‍රධාන දේ බයිබල් ඉගැන්වීම් නෙවෙයි. මිනිස්සු ඒ අයට සැලකූ විදිහයි.

උදාහරණයක් මං කියන්නම්. දවසක් මමයි මේරි නැන්දයි තක්කාලි පාත්ති සුද්ද කරලා ගෙදර එන කොට මගේ අනික් නැන්දලා මේරි නැන්දගේ බයිබල් පොත් පත්, ඒ කාලයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න භාවිත කරපු තැටි සහ ඒ යන්ත්‍රය පුච්චලා තියෙනවා අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි නැන්දා කෙනෙක් මෙහෙමත් කිව්වා. “අපි මේ කරපු දේ ගැන ඔයාලා අපිට පස්සේ ස්තුති කරයි.” ඒක ඇහුවම මගේ කේන්තිය තවත් වැඩි වුණා.

මේරි නැන්දා දිගින් දිගටම සාක්ෂි දරපු නිසා 1943දී ඇයට ගෙදරින් පිට වෙන්න කියලා අනික් නැන්දලා බල කළා. දෙවිට යෙහෝවා කියා නමක් තිබෙන බව දැනගැනීමෙන් විතරක් නෙවෙයි ඔහු ප්‍රේමණීය දයාවන්ත කෙනෙක් බවත් මිනිසුන්ව නිරයක දමා වධ වේදනා දෙන්නේ නැති බවත් ඉගෙනගැනීම නිසා මට ලොකු සතුටක් දැනුණා. මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගිහිල්ලා තිබුණේ නැති වුණත් දෙවිට මේ පොළොවේ ප්‍රේමණීය සංවිධානයක් තිබෙන බව මම තේරුම්ගත්තා.

දවසක් මම වත්තේ තණ කොළ කප කප ඉන්න කොට කාර් එකක් ඇවිල්ලා නතර කළා. ඒකේ හිටිය දෙන්නෙක් මගෙන් ඇහුවා මම ෆ්‍රෙඩ්ද කියලා. එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා මම තේරුම්ගත්තා. “අපි වෙන තැනකට ගිහින් කතා කරමු” කියලා මමත් කාර් එකට ගොඩ වුණා. එයාලව එවලා තිබුණේ මේරි නැන්දයි. ඒ අයගෙන් එක් කෙනෙක් සංචාරක සේවකයෙක් වන ෂීල්ඩ් ටූට්ජින්. ඔහුගෙන් මට හුඟක් දිරිගැන්වීම් වගේම අවශ්‍ය වේලාවට බයිබලයේ මඟ පෙන්වීම්ද ලැබුණා. මමත් බයිබල් ඉගැන්වීම්වලට අනුව ක්‍රියා කරද්දී පවුලේ අය මටත් විරුද්ධ වුණා.

වර්ජීනියා ප්‍රාන්තයේ පදිංචියට ගොස් සිටි මේරි නැන්දා මට ලියුමක් එව්වා. මම යෙහෝවා දෙවිට සේවය කරන්න කැමති නම් ඇය සමඟ ඇවිත් නතර වෙන්න පුළුවන් කියලා ඒකෙ ලියලා තිබුණා. මම ඒ ගැන දෙපාරක් හිතුවේ නැහැ. වර්ෂ 1943 ඔක්තෝබර් මාසයේ එක් සිකුරාදා සන්ධ්‍යාවක මට අත්‍යවශ්‍යම දේවල් ටිකක් පෙට්ටියකට දාලා ගෙදරින් ටිකක් ඈතට වෙන්න තියෙන ගහක එල්ලුවා. පහුවදා ඒ පෙට්ටිය අරගෙන හොර රහසේම රොනෝක් නගරයට ගියා. එහෙදී එඩ්නා ෆෝල්කන්ස් කියන සහෝදරියගේ ගෙදරදි මට මේරි නැන්දාව මුණගැහුණා.

මා ලැබූ ආශීර්වාද

සහෝදරී එඩ්නා හරියට පුරාණයේ සිටි ලිදියා වගෙයි. ඇය කුලියට ගෙන තිබූ විශාල නිවසේ මේරි නැන්දටයි එඩ්නාගේ නෑනාටයි දියණියන් දෙදෙනාටයි නවාතැන් දීලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඇය මටත් එහි නවාතැන් දුන්නා. පසු කාලයකදී එඩ්නාගේ අයියගේ දියණියන් දෙදෙනා වන ග්ලැඩිස් සහ ග්‍රේස් ග්‍රෙගරි යන අය මිෂනාරීන් ලෙස සේවය කළා. සහෝදරී ග්ලැඩිස් දැන් 90 ගණන්වල පසුවන අතර තවමත් දෙවිට විශ්වාසවන්තව ජපානයේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා.

මම සහෝදරී එඩ්නාගේ නිවසේ සිටින කාලයේදී නොකඩවා රැස්වීම්වලට සහභාගි වුණා වගේම සේවය සඳහාත් හොඳ පුහුණුවක් ලැබුවා. බයිබලය අධ්‍යයනය කිරීමටත් රැස්වීම්වලට සහභාගි වීමටත් මට නිදහසක් තිබුණ නිසා යෙහෝවා දෙවිට තව තවත් ළං වීමට මට තිබූ ආශාව සන්සිඳවාගන්න මට හැකි වුණා. අවසානයේදී 1944 ජූනි 14වෙනිදා මම බව්තීස්ම වුණා. මේරි නැන්දා, ග්ලැඩිස් සහ ග්‍රේස් යන තුන්දෙනාම පුරෝගාමි සේවය පටන්ගත් අතර වර්ජීනියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ සේවය කිරීමට පැවරුම් ලැබුවා. එහි ලීස්බර්ග් නගරයේ සභාව ආරම්භ කිරීමට දායක වුණේ ඔවුන් තිදෙනායි. මමත් 1946 මුල් භාගයේදී ඒ අසළ පළාතක පුරෝගාමියෙක් ලෙස සේවය කරන්න පටන්ගත්තා. එම අවුරුද්දේ ඔහියෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නගරයේ අගෝස්තු 4-11 දක්වා පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඒ සමුළුවේදී බෘක්ලින් නගරයේ ශාඛා කාර්යාලයේ පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳ තොරතුරු ඒ කාලයේදී සංවිධානයේ පෙරමුණ ගෙන කටයුතු කළ සහෝදර නේතන් නෝර් ඉදිරිපත් කළා. එම වැඩි දියුණු කිරීම්වලට අලුතින් නේවාසික ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සහ මුද්‍රණාලය විශාල කිරීම ඇතුළත් බව ඔහු සඳහන් කළා. තරුණ සහෝදරයන් බොහෝදෙනෙකුගේ අවශ්‍යතාව තිබූ නිසා ඊට සහාය වීමට මම තීරණය කළා. ඒ සඳහා මම අයැදුම් කර මාස කිහිපයක් ඇතුළත එනම්, 1946 දෙසැම්බර් පළමුවන දින සිට සේවය ආරම්භ කිරීමට මට අවස්ථාව ලැබුණා.

ඊට අවුරුද්දකට පමණ පසු මම තැපැල් අංශයේ සේවය කරමින් සිටින විට මුද්‍රණාලයේ වැඩකටයුතු අධීක්ෂණය කළ සහෝදර මැක්ස් ලාසන් පැමිණ මාව සේවා අංශයේ සේවය කිරීමට පත් කර ඇති බව දැනුම් දුන්නා. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ වන ආකාරය ගැන සහ දෙවිගේ සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය ගැන මගේ දැනුම පුළුල් වුණේ විශේෂයෙන්ම සේවා අංශයේ වැඩකටයුතු අධීක්ෂණය කළ ටී. ජේ. සලිවන් සමඟ වැඩ කළ කාලයේදියි.

මගේ තාත්තා කීපවතාවක්ම මාව බලන්න බෙතෙල් නිවසට ආවා. ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී ඔහු ආගමට ළැදියාවක් දක්වන්න පටන්ගෙන තිබුණා. වර්ෂ 1965දී මාව බලන්න පැමිණි අවසන් අවස්ථාවේදී ඔහු මට මෙහෙම කිව්වා. “ඔයාව බලන්න මම ආයේ මෙහේ එන්නේ නැහැ. ඔයා කැමති නම් ඇවිල්ලා මාව බලලා යන්න.” ඔහු මිය යන්න පෙර අවස්ථා කීපයකදීම මම ඔහුව බලන්න ගියා. මැරුණට පස්සේ ස්වර්ගයට යනවා කියලා තාත්තාට ලොකු විශ්වාසයක් තිබුණා. මගේ ආශාව නම් තාත්තා යෙහෝවා දෙවිගේ මතකයේ ඉඳියි කියලයි. එහෙම වුණොත් තාත්තා හිතපු තැන නෙවෙයි ලස්සන පාරාදීස පොළොවක නැවත නැඟිටින්න තාත්තට අවස්ථාව ලැබෙයි.

අමතක නොවන අවස්ථා

නිව් යෝර්ක් නගරයේ 1950 ගණන්වල යැංකි ක්‍රීඩාංගණයේ පැවැත්වූ ජාත්‍යන්තර සමුළු අප කාගෙත් මතකයේ රැඳී තිබෙනවා. වර්ෂ 1958දී පැවැත්වූ සමුළුවකදී යැංකි ක්‍රීඩාංගණය සහ පෝලෝ ක්‍රීඩාංගණය රටවල් 123කින් පැමිණි 2,53,922නෙකුගෙන් පිරී තිබුණා. ඒ සමුළුවේදී සිදු වූ දෙයක් මට තාම මතකයි. සමුළු පරිපාලන කාර්යාලයේ වැඩවලට මම සහාය වෙමින් සිටින විට සහෝදර නෝර් කඩිමුඩියේ මං ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “ෆ්‍රෙඩ්, මේ ළඟ තියෙන ශාලාවට පුරෝගාමීන් රැස්වෙලා ඉන්නවා. ඒ අයට කතාවක් දෙන්න කාව හරි පත් කරන්න මට අමතක වුණා. ඔයාට පුළුවන්ද යන ගමන් හොඳ තොරතුරු ටිකක් මතක් කරගෙන ගිහින් ඒ අයව දිරිගන්වන කතාවක් දෙන්න.” මම එතනට යන්න කලින් හුඟක් යාච්ඤා කළා.

වර්ෂ 1950 ගණන්වල සහ 1960 ගණන්වල නිව් යෝර්ක් නගරයේ සභා පුදුමාකාර ලෙස වැඩි වෙන්න පටන්ගත්ත නිසා රැස්වීම් පැවැත්වීමට කුලියට ගෙන තිබූ ශාලා ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා 1970 සිට 1990 දක්වා කාලයේදී ගොඩනැඟිලි තුනක් මිල දී ගෙන නවීකරණය කළා. ඒ කාලයේදී මම සේවය කළේ ගොඩනැඟිලි ඉදි කිරීමේ කමිටුවෙයි. සභාවල වර්ධනයටත් ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය අවශ්‍යතා සපුරාගැනීමටත් ඉදි කිරීම් සාර්ථකව නිම කිරීමටත් යෙහෝවා දෙවි ආශීර්වාද කළ ආකාරය ගැන ප්‍රීතිමත් මතකයන් මගේ සිතේ තාම තිබෙනවා.

ජීවිතයේ වැදගත් සංධිස්ථානයක්

වර්ෂ 1957දී දිනක් මම බෙතෙල් නිවසේ සිට මුද්‍රණාලය දක්වා ඇති පාර දිගේ යන විට හදිස්සියේම වැස්සක් ඇද හැළෙන්න පටන්ගත්තා. ඒත් එක්කම මම දැක්කා බෙතෙල් එකට අලුතින් ඇවිත් ඉන්න ලස්සන සහෝදරියක් ඉස්සරහින් යනවා. ඇය අත කුඩයක් නැති නිසා මගේ කුඩේ යටින් යන්න මම ඇයට ආරාධනා කළා. මට මාජ්රේව මුණගැහුණේ ඒ විදිහටයි. වර්ෂ 1960 අපි විවාහ වූ දා සිට මේ දක්වා යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කරනවා. අපේ 50වෙනි විවාහ සංවත්සරය 2010 සැප්තැම්බර් මාසයේදී අපි සැමරුවා.

අපි මධුසමය ගත කර ආ සැණින්ම ගිලියද් පාසැලේ උපදේශකයෙක් ලෙස මාව පත් කරලා තියෙනවා කියලා සහෝදර නෝර් මට කිව්වා. ඒක මම ලැබූ විශාල වරප්‍රසාදයක්. වර්ෂ 1961 සිට 1965 දක්වා පැවැත්වූ පාසැල් පහට වැඩිපුරම සහභාගි වුණේ ශාඛා කාර්යාලවල කමිටු සාමාජිකයනුයි. ඔවුන්ට ශාඛා කාර්යාලවල වැඩකටයුතු මෙහෙයවීම සඳහා පුහුණුවක් ලබා දුන්නා. නමුත් 1965 සිට නැවතත් මාස පහකින් සමන්විත පුහුණුවක් විශේෂයෙන්ම මිෂනාරිවරුන්ට ලබා දීමට කටයුතු සැලසුම් කළා.

වර්ෂ 1972දී මගේ පැවරුම වෙනස් වුණා. බයිබලය පිළිබඳ අසා එවන ප්‍රශ්නවලට පිළිතුරු දෙන අංශයේ අධීක්ෂණය කිරීමට පැවරුමක් මට ලැබුණා. විවිධ ප්‍රශ්න හා විෂයන් ගැන ගැඹුරින් පර්යේෂණ කිරීමට අවස්ථාව ලැබුණු නිසා බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැනත් දෙවිගේ උසස් ප්‍රමිති ගැනත් මට තිබුණු අවබෝධය තවත් වැඩි වුණා.

ඉන්පසු 1987දී පිහිටෙවූ අලුත් අංශයක් වන රෝහල් තොරතුරු අංශයේ සේවය කිරීමට මාව පත් කළා. මගේ කාර්යය වුණේ වෛද්‍යවරුන්, විනිසුරුවන් හා වෙනත් සමාජ සේවකයන් හමු වී රුධිරය පිළිබඳව අපේ ස්ථාවරය පැහැදිලි කිරීමට වැඩිමහල්ලන්ව පුහුණු කිරීම සඳහා සම්මන්ත්‍රණ සැලසුම් කිරීමයි. නමුත් වෛද්‍යවරුන් ඔවුන්ගේ හිතුමතේට එසේත් නැත්නම් උසාවි නියෝගයක් මත දරුවන්ට රුධිරය ලබා දීම විශාල ගැටලුවක් වුණා.

රුධිරය වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම වෛද්‍යවරුන්ට යෝජනා කළත් බොහෝවිට ඔවුන් පැවසුවේ ඒවා රෝහලේ නැති බව හෝ මිල අධික බවයි. දිනක් එසේ පැවසූ ශල්‍ය වෛද්‍යවරයෙකුට මම මෙහෙම කිව්වා. “ඔයාගේ අත් දෙක පෙන්නන්න. රුධිරය ලබා දෙනවා වෙනුවට හොඳම විකල්පය ඩොක්ටර් ගාව තියෙනවා.” රුධිරය අපතේ යෑම අවම කරන්න තරම් ඔහුට දක්ෂතාව තිබෙනවා කියලා එසේ පැවසීමෙන් ඔහු තේරුම්ගත්තා.

එසේ අපේ ස්ථාවරය ගැන පසුගිය අවුරුදු විස්ස පුරා වෛද්‍යවරුන්ව හා විනිසුරුවන්ව දැනුවත් කිරීමට ගත් වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කර තිබෙනවා. ඒ නිසා ඔවුන් දැන් අපට ලොකු සහයෝගයක් දක්වනවා. රුධිරය වෙනුවට තිබෙන විකල්ප ක්‍රම සාර්ථක බව වෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන්ට තහවුරු වී තිබෙනවා. ඒ වගේම රුධිරය රහිත ශල්‍යකර්ම කිරීමට එකඟ වන බොහෝ වෛද්‍යවරුන් මෙන්ම රෝහල්ද තිබෙනවා.

වර්ෂ 1996 සිට මේ දක්වා මමයි මගේ බිරිඳයි බෘක්ලින්වල සිට කිලෝමීටර් 110ක් පමණ උතුරින් පිහිටි පැටසන්හි තිබෙන වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටිනවා. මම මෙහි සේවා අංශයේ ටික කලකට සේවය කළ අතර ඉන්පසු තවත් කෙටි කලකට ශාඛා කමිටු සාමාජිකයන්ව සහ සංචාරක සේවකයන්ව පුහුණු කිරීමේ කාර්යයේ හවුල් වුණා. පසුගිය අවුරුදු 12 පුරා මා නැවතත් බයිබලයේ ඉගැන්වීම් ගැන අසා එවන ප්‍රශ්නවලට පිළිතුරු දෙන අංශයේ සේවය කළා. දැන් එම අංශය බෘක්ලින් සිට පැටසන්වලට ගෙනැවිත් තිබෙනවා.

සැඳෑ සමයේ අභියෝග

මා දැන් 80 ගණන්වල මැද භාගයේ පසුවන නිසා බෙතෙල්හි මගේ පැවරුම ඉටු කිරීම පහසු දෙයක් නෙවෙයි. අවුරුදු දහයක් පුරා මම පිළිකාවකින් දුක් විඳිනවා. මට හිතෙන්නේ මමත් හරියට යෙහෝවා දෙවි ආයු කාලය වැඩි කළ හෙසකියා රජ වගේ කියලයි. (යෙසා. 38:5) මගේ බිරිඳගේ සෞඛ්‍ය තත්වයත් එන්න එන්නම දුර්වල වෙනවා. ඇය දරුණු අමතක වීමේ රෝගයකින් (ඇල්සයිමර්) පෙළෙනවා. ඇය ඉතා දක්ෂ දේවසේවිකාවක් වගේම තරුණ සහෝදරියන්ට මවක් වගේයි. ඇය මට මේ දක්වා විශාල සහයෝගයක් ලබා දෙමින් විශ්වාසවන්තව ඉන්නවා. ඇය දක්ෂ ගුරුවරියක් වගේම බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කරන කෙනෙක්. ඇය බයිබලය ඉගැන්වූ බොහෝදෙනෙක් ඇයට තවමත් ආදරෙයි.

මේරි නැන්දා 2010 මාර්තු මාසේ මිය යන කොට ඇයට අවුරුදු 87යි. දෙවිගේ වචනය දක්ෂ ලෙස අන් අයට ඉගැන්වූ ඇය සැබෑ නමස්කාරය වෙනුවෙන් ස්ථිරව පියවර ගැනීමට බොහෝදෙනෙකුට උපකාර කළා. පූර්ණකාලීන දේවසේවයේද අවුරුදු ගණනාවක් ඇය නියැලුණා. දෙවිගේ වචනය ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඇය මෙන් දේවසේවකයෙක් වීමට මට කළ උපකාරවලට මම ඇයට හුඟක් ස්තුතිවන්ත වෙනවා. ඇයව භූමදාන කළෙත් කලින් ඊශ්‍රායෙලයේ මිෂනාරි සේවයේ නියැලුණු ඇගේ ස්වාමිපුරුෂයාගේ සොහොන අසළයි. ඔවුන් දෙවිගේ මතකයේ සිටින බවත් දෙවි ඔවුන්ව නැවත නැඟිටුවන බවත් මට ස්ථිරයි.

මා දෙවිට සේවය කළ පසුගිය අවුරුදු 67 දෙස නැවත හැරී බලන විට දෙවිගෙන් මා ලැබූ බහුල ආශීර්වාදවලට මා ඔහුට සදා ණයගැතියි. ඇත්තෙන්ම දෙවිට සේවය කිරීමෙන් මම ජීවිතයේ විශාල සතුටක් ලැබුවා! දෙවිගේ මහත් කරුණාව ගැන ඔහුගේ පුත් යේසුස් දුන් මෙම පොරොන්දුවට උරුමකම් කියන්න මම ආශාවෙන් බලා සිටිනවා. “මගේ නාමය නිසා ගේදොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊටත් වඩා බොහෝ වැඩියෙන් ලැබෙයි. ඔවුන්ට සදාකාල ජීවනයත් උරුම වෙයි.”—මතෙ. 19:29.

[පාදසටහන]

^ 11 ඡේ. වර්ෂ 1942දී ප්‍රකාශයට පත් කළ The New World නම් එම පොත දැන් මුද්‍රණය නොකෙරේ.

[19වන පිටුවේ පින්තූරය]

සීයාගේ කපු පුළුන් ගොවිපොළේ 1928දී

[19වන පිටුවේ පින්තූරය]

මේරි නැන්දා සහ ටැල්මාජ් මාමා

[20වන පිටුවේ පින්තූරය]

මේරි, ග්ලැඩිස් සහ ග්‍රේස්

[20වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1944 ජූනි 14වෙනිදා මම බව්තීස්ම වෙමින්

[20වන පිටුවේ පින්තූරය]

බෙතෙල්හි සේවා අංශයේ සේවය කරමින්

[21වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1958 යැංකි ක්‍රීඩාංගණයේ පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී මේරි නැන්දයි මමයි

[21වන පිටුවේ පින්තූරය]

මාජ්රේ සමඟ විවාහ වූ දා

[21වන පිටුවේ පින්තූරය]

අප දෙදෙනා 2008දී