Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

බයිබලය කියවද්දී ප්‍රශ්නයක් මතු වෙන විට හෝ පෞද්ගලික ගැටලුවක් සම්බන්ධයෙන් උපදෙසක් අවශ්‍ය වෙන විට මම කළ යුත්තේ කුමක්ද?

“සැඟවුණු නිධානයක්” සොයන්නාක් මෙන් වටහාගැනීමේ හැකියාව සහ අවබෝධය දිගටම ලබාගන්නා ලෙස හිතෝපදේශ 2:1-5හි අපට උනන්දු කර තිබෙනවා. ඉන් අදහස් කරන්නේ අප බයිබලය කියවන විට මතු වන ප්‍රශ්නවලට පිළිතුරු සහ අපගේ පෞද්ගලික ගැටලුවලට විසඳුම් සෙවීමේදී පර්යේෂණ කිරීම සඳහා මහත් වෑයමක් දැරීම අවශ්‍ය බවයි. එය කරන්නේ කොහොමද?

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දී ඇති ප්‍රකාශන භාවිත කරමින් “පර්යේෂණ කළ යුතු අන්දම” ගැන සේවා පාසැල් පොතේ 33-38 දක්වා පිටුවල පැහැදිලි කර තිබෙනවා. (මතෙ. 24:45) මුරටැඹ ප්‍රකාශන සූචිය භාවිත කරන ආකාරය ගැන එහි 36වන පිටුවේ විස්තර කර තිබෙනවා. එය විෂය සූචිය සහ බයිබල් පද සූචිය ලෙස කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. ඒ නිසා වචනයක් හෝ බයිබල් වගන්තියක් ගැන පර්යේෂණ කරන විට ඊට අදාළ මූලාශ්‍ර රාශියක් ඔබට එහි දැකගත හැකියි. ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා ඉවසීමෙන් පර්යේෂණ කරන්න. ඔබ නිරත වී සිටින්නේ “සැඟවුණු නිධානයක්” සෙවීම හා සමාන කාර්යයක නිසා ඊට කාලය හා ශ්‍රමය වැය වන බව මතක තබාගන්න.

සමහර විෂයන් සහ බයිබල් වගන්ති ගැන අපේ ප්‍රකාශනවල විස්තර සපයා නැති බව ඇත්තයි. විස්තර සපයා තිබෙන බයිබල් වගන්තිවල වුණත් සමහරවිට ඔබට මතු වී තිබෙන ප්‍රශ්නය ගැන සඳහන් කර නොතිබෙන්න පුළුවන්. ඒ වගේම බයිබලයේ සඳහන් සමහර සිද්ධීන්වලට අදාළ සෑම තොරතුරක්ම සවිස්තරාත්මකව සඳහන් වී නොතිබෙන්න පුළුවන්. ඒ නිසා එවැනි සිද්ධීන්ට අදාළව පැනනඟින සෑම ප්‍රශ්නයකටම ක්ෂණික පිළිතුරු සොයාගැනීමට අපහසු විය හැකියි. එවැනි අවස්ථාවලදී ඊට පිළිතුරු අනුමාන කිරීමෙන් අප වැළකිය යුතුයි. එමෙන්ම කෙනෙකුගේ විශ්වාසය ශක්තිමත් කිරීමට දායක නොවන, කාලය කා දමන ප්‍රශ්න ගැන වාද කිරීමෙන්ද වළකිමු. (1 තිමෝ. 1:4; 2 තිමෝ. 2:23; තීත. 3:9) අපේ ප්‍රකාශනවල විස්තර සපයා නැති එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීමට ශාඛා කාර්යාලයටවත් ලෝක මූලස්ථානයටවත් හැකියාවක් නැහැ. කෙසේවෙතත් අපේ ජීවිතයේ සෑම පැත්තකටම අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලයේ සඳහන් වෙනවා. අවංක හදවතක් තිබෙන කෙනෙකුට බයිබලයේ කර්තෘ වන දෙවිව විශ්වාස කිරීමට එහි සඳහන් තොරතුරු ප්‍රමාණවත්.—යෙහෝවාට ළං වන්න නමැති පොතේ 185-187 දක්වා පිටු බලන්න.

ඔබට පෞද්ගලිකව බලපාන කාරණයක් පිළිබඳ තොරතුරු සෙවීමට ඔබට හැකි සියල්ල කළ පසුත් අදාළ මඟ පෙන්වීම නොලැබුණොත් කුමක් කළ හැකිද? ඔබේ සභාවේ සිටින වැඩිමහල්ලෙකුගෙන් හෝ අද්දැකීම් ලත් ක්‍රිස්තියානියෙකුගෙන් උපකාර ලබාගත හැකියි. බයිබලය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් හා බොහෝ අද්දැකීම් ඔවුන් සතුයි. ඔවුන් ඔබ ගැන දන්නා නිසා හොඳින් සිතා බලා දෙන උපදෙස් ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඔබේ ගැටලුව ගැන සඳහන් කරමින් දෙවිට යාච්ඤා කිරීමටද අමතක නොකරන්න. දෙවි ‘ප්‍රඥාව හා වටහාගැනීමේ හැකියාව ලබා දෙන’ නිසා ඔබේ සිතුවිලි නිසි ලෙස හසුරුවන්න දෙවිගේ බලය ඉල්ලන්න.—හිතෝ. 2:6; ලූක් 11:13.