Skip to content

පටුනට යන්න

දුෂ්ට ලෝකයක සිටින “තාවකාලික පදිංචිකරුවන්”

දුෂ්ට ලෝකයක සිටින “තාවකාලික පදිංචිකරුවන්”

දුෂ්ට ලෝකයක සිටින “තාවකාලික පදිංචිකරුවන්”

‘ඔවුහු ඒ දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.’—හෙබ්‍රෙ. 11:13.

1. සාතන්ගේ ලෝකය ගැනත් සැබෑ ක්‍රිස්තියානීන් ගැනත් යේසුස් පැවසුවේ කුමක්ද?

යේසුස් තම ගෝලයන් ගැන මෙසේ පැවසුවා. ‘ඔවුන් සිටින්නේ ලෝකයේ වුණත් මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ.’ (යොහ. 17:11, 14) යේසුස් කාවැද්දුවේ “මේ සමාජයේ” දෙවියා වන සාතන්ගේ ලෝකය ගැන තම ගෝලයන්ට තිබිය යුතු ආකල්පයයි. (2 කොරි. 4:4) අද දින සැබෑ ක්‍රිස්තියානීන්ද සාතන්ගේ ලෝකය ගැන සිතන්නේ එලෙසමයි. ඔවුන්වත් බයිබලයේ හඳුන්වා තිබෙන්නේ මේ ලෝකයේ සිටින “විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්” ලෙසයි.—1 පේතෘ. 2:11.

පුරාණයේ සිටි “තාවකාලික පදිංචිකරුවන්”

2, 3. ඒනොක්, නෝවා, ආබ්‍රහම් හා සාරා “ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන්” ලෙස ජීවත් වුණා කියා පැවසිය හැක්කේ ඇයි?

2 ඈත අතීතයේ සිටම දෙවිගේ සැබෑ සේවකයන් ජීවත් වුණේ මේ ලෝකයේ මිනිසුන්ට වඩා වෙනස් ආකාරයකටයි. උදාහරණයකට ඒනොක් හා නෝවා ගැන බයිබලයේ පවසන්නේ ඔවුන් ‘සැබෑ දෙවි සමඟ දිගටම ගමන් කළා’ කියායි. (උත්. 5:22-24; 6:9) සාතන්ගේ දුෂ්ට ලෝකය දෙවි විනාශ කරන බව නොබියව ඔවුන් දේශනා කළා. (2 පේතෘස් 2:5; යූද් 14, 15 කියවන්න.) තමන් අවට සිටි අය හරි දේ නොකළත් ඔවුන් හරි දේ කළා. නෝවා ‘දෙවිව සතුටු කළා’ කියාත් ඒනොක් ‘ඔහුගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කළා’ කියාත් බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—හෙබ්‍රෙ. 11:5; උත්. 6:9.

3 ආබ්‍රහම් හා සාරාද ආදර්ශයක් තැබුවා. දෙවිගේ අණට කීකරු වූ ඔවුන් ඌර්හි පිහිටි පහසුකම්වලින් පිරුණු තම නිවස අත්හැර තමන් නොදන්නා රටකට ගොස් කූඩාරම්වල වාසය කරන්න කැමති වුණා. (උත්. 11:27, 28; 12:1) ඔවුන් ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “ආබ්‍රහම් තුළ තිබූ විශ්වාසය නිසා ඔහුව කැඳවනු ලැබූ විට තමාට උරුමයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු ස්ථානයකට පිටත්ව යෑමෙන් ඔහු තම කීකරුකම පෙන්නුම් කළේය. තමන් කොතැනට යනවාද කියා නොදැන සිටියත් ඔහු පිටත්ව ගියේය. ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසය කළේය.” (හෙබ්‍රෙ. 11:8, 9) “පොරොන්දු ඉටු වන අයුරු ඔවුන්ට දැකගැනීමට නොහැකි වුවත් ඔවුහු සියලුදෙනාම විශ්වාසයකින් කටයුතු කළ අය ලෙස මිය ගියෝය. මන්ද ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත් අතර ඒ ගැන බොහෝ සෙයින් ප්‍රීතිමත් වී තමන් ජීවත් වූ ඒ දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.”—හෙබ්‍රෙ. 11:13.

ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟවීමක්

4. පොරොන්දු වූ දේශය උරුම කර දීමට පෙර ඊශ්‍රායෙල්වරුන්ට දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

4 ආබ්‍රහම්ගෙන් පැවත ආ ඊශ්‍රායෙල් ජාතියට දේශයක් හා විශේෂ නීති මාලාවක් දෙවි ලබා දුන්නා. (උත්. 48:4; ද්වි. 6:1) එම දේශය දෙවිට අයිති බව ඔවුන් මතක තබාගත යුතු වුණා. (ලෙවී. 25:23) දේශය භුක්ති වින්දත් දෙවිගේ අණපනත්වලට ඔවුන් කීකරු විය යුතු වුණා. “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව” යෙහෝවා දෙවි පවසන දේවල් මත බවත් ඔවුන් මතක තබාගැනීම අවශ්‍ය වුණා. (ද්වි. 8:1-3) එම දේශය ඔවුන්ට දීමට පෙර දෙවි මෙසේ අනතුරු ඇඟවූයේ ඒ නිසයි. “ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට පොරොන්දු වූ දේශයට යෙහෝවා දෙවි ඔබව අනිවාර්යයෙන්ම ගෙන යයි. ඒ දේශයේ වැසියන් ඉදි කළ ඉතා විශාල අලංකාර නුවරවල් ඔබ අයිති කරගනී. හැම සැප සම්පතකින්ම පිරි ඔවුන්ගේ නිවෙස්ද ඔවුන් සෑදූ පොකුණුද ඔවුන් වගා කළ මිදිවතු හා ඔලීවවතුද දෙවි ඔබට ලබා දෙයි. එහි ඇති දේවල් භුක්ති විඳිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියි. ඔබට ඒ දේවල් ලැබෙන විට ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ යෙහෝවා දෙවි බව කිසිවිටෙකත් අමතක නොකරන්න.”—ද්වි. 6:10-12.

5. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ප්‍රතික්ෂේප කළේ ඇයි? දෙවි තෝරාගත් අලුත් ජාතිය කුමක්ද?

5 ඊශ්‍රායෙල්වරු දෙවිගේ අනතුරු ඇඟවීම සැලකුවේ නැහැ. පොරොන්දු දේශයට ගියායින් පසු ඔවුන් සැපපහසු නිවෙස්වල පදිංචි වී කා බී තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් දෙවිව අමතක කළා. නෙහෙමියාගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන් දෙවිව අමතක කර තමන් ගැනම සිතමින් ගත කළ ජීවිතය ගැන ලෙවීවරු කණ්ඩායමක් පැවසුවේ සෙනඟ “කා බී තෘප්තිමත් ජීවිතයක් ගත කළා” කියායි. ඊශ්‍රායෙල්වරුන් දෙවිට විරුද්ධව කැරලිගසමින් අනතුරු අඟවන්න යැවූ අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා. ඒ නිසා දෙවි ඔවුන්ව සතුරන් අතට පත් වීමට ඉඩහැරියා. (නෙහෙමියා 9:25-27 කියවන්න. හොෂෙ. 13:6-9) රෝම පාලනය පැවති කාලයේදී ඊශ්‍රායෙල්වරුන් දෙවි එවූ මෙසියස්වත් මරා දැමුවා. එමනිසා දෙවි ඊශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට යෙහෝවා දෙවි විසින් “දෙවිගේ ඊශ්‍රායෙල්” නමැති අලුත් ජාතිය තෝරාගත්තා.—ගලා. 6:16; මතෙ. 21:43; ක්‍රියා 7:51, 52.

‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’

6, 7. (අ) මේ ලෝකය ගැන යේසුස් තම ගෝලයන්ට පැවසුවේ කුමක්ද? (ආ) පේතෘස් පෙන්වූ ලෙස ක්‍රිස්තියානීන් දිගටම ලෝකයට සමාන නොවී සිටිය යුතු වුණේ ඇයි?

6 ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් පැවසුවේ තම ගෝලයන් සාතන්ගේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවිය යුතු බවයි. ඔහු මිය යෑමට පෙර තම ගෝලයන්ට මෙසේද පැවසුවා. “ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමානව සිටියා නම් ඔවුන් ඔබට ඇලුම් කරයි. මන්ද ලෝකයේ සිටින මිනිසුන් තමන්ගේ පැත්තේ සිටින අයට ඇලුම් කරනවා. නමුත් ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසාත් මම ඔබව ඔවුන් අතරින් තෝරාගෙන තිබෙන නිසාත් ඔවුන් ඔබට වෛර කරනවා.”—යොහ. 15:19.

7 පසු කාලයේදී ක්‍රිස්තියානීන් රෝම පාලනය තිබූ විවිධ ප්‍රදේශවලට විසිර ගියා. ඒ වුණත් ඔවුන් දිගටම මේ ලෝකයේ මිනිසුන්ගේ ජීවන රටාව ප්‍රතික්ෂේප කරමින් වෙනස්ව සිටිය යුතු වුණා. යේසුස් මිය ගොස් වසර 30කට පමණ පසු පේතෘස් ඒ ගැන සඳහන් කරමින් මෙසේ ලිව්වා. “ප්‍රේමණීය සහෝදරයෙනි, විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන් වන ඔබට මා උනන්දු කරන්නේ ඔබ තුළ නිතරම ගැටුමක් ඇති කරන ඔබේම පව්කාර ආශාවලින් දිගටම වැළකී සිටින්න කියාය. මේ සමාජයේ සිටින ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙන්න.”—1 පේතෘ. 1:1; 2:11, 12.

8. මුල් ක්‍රිස්තියානීන් ගැන එක් ඉතිහාසඥයෙක් පැවසුවේ කුමක්ද?

8 රෝම පාලනය යටතේ සිටි ක්‍රිස්තියානීන් ජීවත් වුණේ ‘තාවකාලික පදිංචිකරුවන් ලෙසයි.’ ඔවුන්ට නිතරම බොහෝ පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණා කියා එක් ඉතිහාසඥයෙක් මෙසේ ලිව්වා. “එවකට තිබූ බොරු ආගමික උත්සවවලට හවුල් නොවූ නිසා ඔවුන් දෙවිව විශ්වාස කරන්නේ නැහැ කියා ඔවුන්ට චෝදනා නැඟුවා. එමෙන්ම ඒ කාලයේ සිටි ජනයා සමඟ විනෝද වීමට මෙන්ම නුසුදුසු සිරිත් විරිත් හා දුරාචාරය ඇතුළත්ව තිබූ ඔවුන්ගේ මංගල්‍යවලට ක්‍රිස්තියානීන් හවුල් නොවූ නිසා ඔවුන්ව මුළු මිනිස් සංහතියටම වෛර කරන පිරිසක් ලෙස සැලකුවා.”

ලෝකයේ තිබෙන දේවල් උපරිම ලෙස භුක්ති විඳින්නේ නැහැ

9. අපි අන් අයට වෛර නොකරන බව පෙන්වන්නේ කුමකින්ද?

9 මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් අපත් ‘දැන් පවතින දුෂ්ට සමාජයේ’ කොටසක් නොවී සිටිනවා. (ගලා. 1:4) බොහෝදෙනාට එය වටහාගන්න බැරි නිසා ඔවුන් අපට වෛර කරන්න පෙලඹෙනවා. නමුත් අපි ඔවුන්ට වෛර කරන්නේ නැහැ. ඒ බව අපි පෙන්වන්නේ ගෙයින් ගෙට යමින් “ශුභාරංචිය” සැමට ප්‍රකාශ කිරීමෙනුයි. (මතෙ. 22:39; 24:14) ඒ ශුභාරංචිය නම් දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ළඟදීම සියලුම මිනිස් පාලනයන් විනාශ කර මේ මුළු ලෝකයම ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් පිරි පාරාදීසයක් කරන බවයි.—දානි. 2:44; 2 පේතෘ. 3:13.

10, 11. (අ) අපට ප්‍රයෝජන ගත හැකි වන්නේ කුමන දේවලින්ද? (ආ) ලෝකයේ තිබෙන දේවල් උපරිම ලෙස භුක්ති නොවිඳින්න කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

10 පවතින දුෂ්ට සමාජය ළඟදීම විනාශ වීමට නියමිතයි. එමනිසා සැප සම්පත් සොයන්නවත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නවත් මෙය කාලය නොවන බව අපි හොඳින් දන්නවා. පාවුල් පැවසුවේ ‘ඉතුරු වී තිබෙන්නේ තව කෙටි කාලයයි.’ එමනිසා දේවල් මිල දී ගන්නා අය ‘කිසිවක් අයිති නැති අය මෙන්ද මේ ලෝකයේ තිබෙන දේවල් භුක්ති විඳින අය ඒවා උපරිම ලෙස භුක්ති නොවිඳින අය මෙන්ද විය යුතුයි. මන්ද මේ ලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින් පවතී’ කියායි. (1 කොරි. 7:29-31) මේ ලෝකයේ තිබෙන නවීන තාක්ෂණය හා සන්නිවේදන මාධ්‍යයයන් වැනි සමහර දේවල් අපට ප්‍රයෝජනවත් බව ඇත්තයි. බොහෝ රටවල සිටින ජනයාට භාෂා බොහොමයකින් බයිබලය ගැන උගන්වන්න ඒවා අපිට උපකාර වෙනවා. ඒ වගේම ජීවත් වීම සඳහා මුදලක් උපයාගැනීමටත් රැකියාවක් කිරීමටත් එදිනෙදා අත්‍යවශ්‍ය දේවල් මිල දී ගැනීමටත් අපට සිදු වෙනවා. නමුත් විනාශ වීමට නියමිත මේ ලෝකයේ තිබෙන දේවලින් උපරිම ප්‍රයෝජන ගත යුතු බව ඉන් අදහස් කරන්නේ නැහැ. එයින් අදහස් වෙන්නේ මුදල්, අප සතු දේවල් හා රැකියාව අපේ ජීවිතයේ මූලික තැන නොගත යුතු බවයි.—1 තිමෝති 6:9, 10 කියවන්න.

11 අධ්‍යාපනයට වැඩි අවධානයක් දීම ලෝකයේ තිබෙන දේවල් උපරිම ලෙස භුක්ති විඳීමට ඇතුළත් තවත් දෙයක්. අද බොහෝදෙනා සිතන්නේ හොඳ රැකියාවක් කිරීමට හා බොහෝ මුදල් උපයාගැනීමට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගත යුතු බවයි. නමුත් තාවකාලික පදිංචිකරුවන් වන අපි සිතන්නේ ඔවුන් සිතන ආකාරයට නොවෙයි. සමාජයේ ඉහළ තැනක් ලැබීමේ අරමුණින් “බොහෝ දේවල් ලබාගැනීමට” අපි උත්සාහ කරන්නේ නැහැ. (යෙරෙ. 45:5; රෝම 12:16) යේසුස් අනතුරු ඇඟවූයේ “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න. මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ” කියායි. (ලූක් 12:15) එමනිසා යෞවනයෙනි ජීවිතයේ වැදගත්ම දේ යෙහෝවා දෙවිට සේවය කිරීම බව මතක තබාගන්න. තමන්ගේ මූලික අවශ්‍යතා ලබාගැනීමට පමණක් ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබාගන්නවා නම් යෙහෝවා දෙවිට පූර්ණ සේවයක් කළ හැකියි. (ලූක් 10:27) එසේ කරනවා නම් “දෙවිට මුල් තැන” දෙන්න හැකියි.—ලූක් 12:21; මතෙව් 6:19-21 කියවන්න.

‘කන්නේ බොන්නේ අඳින්නේ මොනවාද’ කියා කනස්සලු නොවන්න

12, 13. මතෙව් 6:31-33හි ඇති වදන් පිළිපැදීම ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටීමට උපකාරයක් වෙන්නේ කොහොමද?

12 ධනසම්පත් ගැන මේ ලෝකයේ සිටින අන් අය දරන අදහසට වෙනස් අදහසක් අප දැරීමත් අප අතර වෙනසට හේතුවක් වෙනවා. යේසුස් පැවසුවේ මෙසේයි. ‘කන්නේ බොන්නේ මොනවාද කියාවත් අඳින්නේ මොනවාද කියාවත් සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න. ජනයා මහත් උනන්දුවකින් හඹා යන්නේ ඒ දේවල් පසුපසයි. නමුත් ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න. එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.’ (මතෙ. 6:31-33) අපේ පියාණන් වන යෙහෝවා දෙවි අපිට අත්‍යවශ්‍ය දේ ලබාදෙන බව අපි බොහෝදෙනෙක් අද්දැක තිබෙනවා.

13 දෙවිට සේවය කරන අය ‘තමන්ට තිබෙන දේවලින් සෑහීමට පත් විය යුතුයි.’ (1 තිමෝ. 6:6) මේ ලෝකයේ වැඩිදෙනෙක් සිතන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයටයි. උදාහරණයකට තරුණයන්ගේ අදහස විවාහ වෙනවා නම් සාර්ථක ජීවිතයක් ගත කිරීමට නිවසක්, බඩුමුට්ටු, වාහනයක් සහ නවීන විද්‍යුත් උපකරණ යනාදී සියල්ල තිබිය යුතුයි කියායි. නමුත් තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වන ක්‍රිස්තියානීන් අත්‍යවශ්‍ය දේවල් හැර වෙනත් දේවල් ලබාගැනීමට වෑයම් කරන්නේ නැහැ. ඒ සියල්ලම ලබාගැනීමට කාලය හා මුදල් වැය කරමින් සිටිනවාට වඩා වැඩි කාලයක් ඔවුන් ගත කරන්නේ යෙහෝවා දෙවිට සේවය කිරීමටයි. එසේ කරන අයට පුරෝගාමීන්, බෙතෙල් සේවකයන්, සංචාරක සේවකයන් හෝ මිෂනාරිවරුන් ලෙස සේවය කිරීමට හැකි වී තිබෙනවා. ඔවුන් යෙහෝවා දෙවිට මුළු හදවතින් සේවය කිරීමට දරන වෑයම ඇත්තෙන්ම අපි අගය කරනවා.

14. යේසුස් සඳහන් කළ උපමාවෙන් අපට ගත හැකි පාඩම කුමක්ද?

14 යේසුස් එක් උපමාවක සඳහන් කළේ කෙනෙක් ‘මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසා ධනය පසුපස ගොස් එයින් මුළා වන’ බවයි. අපට එසේ සිදු වුණොත් දෙවිට අප කරන සේවය අඩපණ විය හැකියි. (මතෙ. 13:22) නමුත් අප තාවකාලික පදිංචිකරුවන් බව අවබෝධ කරගෙන සිටිනවා නම් එය සිදු නොවෙයි. දෙවිගේ රාජ්‍යයේ වැඩකටයුතුවලට හා දේවසේවයට අපේ මුළු අවධානයම යොමු කිරීමෙන් “ඇස වෙනතකට යොමු නොකර” තබාගැනීමට අපට හැකියි.—මතෙ. 6:22.

‘මේ ලෝකය නැති වී යනවා’

15. මේ ලෝකය ගැන යොහන් පැවසුවේ කුමක්ද? එය අපට බලපාන්නේ කෙසේද?

15 සාතන් පාලනය කරන මේ දුෂ්ට ලෝකය ළඟදීම විනාශ වන බව දන්න නිසා අප ජීවත් වන්නේ “විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්” ලෙසයි. (1 පේතෘ. 2:11; 2 පේතෘ. 3:7) අපේ තීරණවලින්, අපි ආශා කරන දේවලින් හා අනාගතයේදී කිරීමට සිතන දේවලින් අපි තාවකාලික පදිංචිකරුවන් බව පෙන්වනවා. යොහන් ක්‍රිස්තියානීන්ට පැවසුවේ ලෝකයටවත් එහි ඇති දේවලටවත් ඇල්මක් නොදක්වන්න කියායි. ඊට හේතුව “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය” කියා ඔහු පැහැදිලි කිරීමයි.—1 යොහ. 2:15-17.

16. දෙවි අපව ඔහුගේම සෙනඟ ලෙස තෝරාගෙන තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද?

16 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඔබ කීකරු වුණොත් ‘සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟක්’ ලෙස තෝරාගන්නවා කියායි. (නික්. 19:5) ඔවුන් දෙවිට කීකරුව සිටියදී ඔවුන්ගේ නමස්කාරය හා ජීවන රටාව අන් ජාතීන්ට වඩා වෙනස් වුණා. අදත් දෙවි සාතන්ගේ ලෝකයෙන් සෙනඟක් තෝරාගෙන තම සෙනඟ ලෙස වෙන් කරගෙන තිබෙනවා. එමනිසා බයිබලයේ අපට පවසන්නේ ‘දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා හා පව්කාර ආශාවන් ප්‍රතික්ෂේප කරන්න. පවතින මේ සමාජය තුළ හොඳ සිහිකල්පනාවෙන්, ධර්මිෂ්ඨකමින් හා දේවභක්තියෙන් ජීවත් වන්න’ කියායි. “ඒ අතරතුරේදී අපගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව ඉටු වන අවස්ථාවද ශ්‍රේෂ්ඨ දෙවි සහ අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් මහත් තේජසකින් පෙනී සිටින අවස්ථාවද පැමිණෙන තුරු අපි බලාගෙන සිටිමු. ක්‍රිස්තුස් තම ජීවිතය පූජා කළේ අප වෙනුවෙන්ය. ඔහු එසේ කළේ අධර්මිෂ්ඨ ක්‍රියාවලට වහල් වූ ජීවිතයකින් අපව නිදහස් කර තමා වෙනුවෙන්ම තෝරාගත්, යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින සෙනඟක් ලෙස අපව පවිත්‍ර කිරීම සඳහාය.” (තීත. 2:11-14) අද දින දෙවිගේ “සෙනඟ” වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන්ගේ සහයට සිටින මිලියන සංඛ්‍යාත “වෙනත් බැටළුවන්” යන අයයි.—යොහ. 10:16.

17. තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වන අභිෂේක ලත් අයට හා වෙනත් බැටළුවන්ට ප්‍රීති වීමට තිබෙන හේතු මොනවාද?

17 අභිෂේක ලත් අයගේ “ප්‍රීතිමත් බලාපොරොත්තුව” ස්වර්ගයේදී යේසුස් සමඟ පාලනයේ හවුල් වීමටයි. (එළි. 5:10) වෙනත් බැටළුවන් බලාපොරොත්තු වෙන්නේ සදහටම මේ පොළොවේ ජීවත් වීමටයි. දුෂ්ට ලෝකයක තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටියත් පාරාදීස පොළොවේදී ඔවුන්ට අලංකාර නිවාස හා පෝෂ්‍යදායී ආහාර පානවලින් අඩුවක් වෙන්නේ නැහැ. (ගීතා. 37:10, 11; යෙසා. 25:6; 65:21, 22) තමන් සතු සියල්ලම ලැබී තිබෙන්නේ “මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන” යෙහෝවා දෙවිගෙන් බව ඔවුන් සැමවිටම මතක තබාගන්නවා. (යෙසා. 54:5) තම බලාපොරොත්තුව ඉටු වූ දාට අභිෂේක ලත් අය හා වෙනත් බැටළුවන් මෙම ලෝකයේ තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වුණ එක ගැන දුක් වන්නේ නැහැ.

ඔබේ පිළිතුර කුමක්ද?

• පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වුණේ කෙසේද?

• මුල් ක්‍රිස්තියානීන් ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටියේ කොයි ආකාරයෙන්ද?

• සැබෑ ක්‍රිස්තියානීන් ලෝකයේ තිබෙන දේවල් උපරිම ලෙස භුක්ති විඳින්නේ නැහැ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වුණත් අපි ඒ ගැන දුක් නොවන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

මුල් කාලයේ සිටි ක්‍රිස්තියානීන් සැහැසියාව හා දුරාචාරය ඇතුළත් මංගල්‍යවලට සහභාගි වුණේ නැහැ