Skip to content

පටුනට යන්න

දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවනය හා සමාදානය

දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවනය හා සමාදානය

දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවනය හා සමාදානය

‘තම ආශාවන්ට යටත් නොවී දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවත් වන්න.’—රෝම 8:4.

1, 2. (අ) රිය පදවන විට අවධානය වෙනතකට යොමු කළොත් කුමක් විය හැකිද? (ආ) නමස්කාරයේදී අපේ අවධානය වෙනතකට යොමු කිරීමෙන් සිදු විය හැකි අනතුර කුමක්ද?

කෙනෙක් රිය පදවන විට අවධානය වෙනතකට යොමු කිරීමෙන් අනතුරක් සිදු විය හැකියි. උදාහරණයකට රිය පදවන අතරතුර ජංගම දුරකථනය පාවිච්චි කිරීමෙන් අවධානය වෙනස් වීම නිසා මාර්ග සංඥා නොපෙනෙන්න හෝ ඒවා නොසලකාහරින්න හෝ ඉඩ තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස බරපතළ අනතුරක් සිදු විය හැකියි.

2 එවැනි දෙයක් දෙවි සමඟ තිබෙන අපේ බැඳීමටත් සිදු විය හැකියි. දෙවිට කරන නමස්කාරයේදී අපි අවධානය වෙනතකට යොමු කළොත් නැවක් මුහුදුබත් වෙනවා වගේ අපේ විශ්වාසයත් විනාශ විය හැකි බව පාවුල් පැවසුවා. (1 තිමෝ. 1:18, 19) ඔහු මෙසේද පැවසුවා. “කෙනෙක් තම මනස වැරදි ආශාවන්ට යොමු කළොත් එය ඔහුගේ මරණයට මඟ පාදයි. නමුත් කෙනෙක් තම මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කළොත් එයින් ඔහුට ජීවනය හා සමාදානය හිමි වෙයි.” (රෝම 8:6) එසේනම් ‘වැරදි ආශාවලට’ ඉඩ නොදී අපේ මනස ආරක්ෂා කරගන්නේ කොහොමද? අනික් අතට “දෙවි ප්‍රිය කරන දේවලට” පූර්ණ අවධානයක් යොමු කරන්නේ කොහොමද?

‘දෙවි ඉදිරියේ නිදොස්ව සිටීම’

3, 4. (අ) පාවුල් කළ පොරබැදීම කුමක්ද? (ආ) ඔහුගේ අද්දැකීම අපට උපකාරයක් වන්නේ කොහොමද?

3 හරි දේ කිරීමට ඇති කැමැත්ත හා වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාව අතර තමන්ට පොරබැදීමක් කිරීමට සිදු වන බව පාවුල් වරක් පැවසුවා. (රෝම 7:21-23 කියවන්න.) එතරම් අවබෝධයෙන් කටයුතු කළ, “ජාතීන්ට අයත් මිනිසුන්” වෙතට යැවූ නියෝජිතයෙක් වූ ඔහු එවැනි දෙයක් පැවසුවේ ඇයි?—රෝම 1:1; 11:13.

4 ඔහු එම පොරබැදීම ගැන සඳහන් කළේ නිදහසට කරුණක් හැටියට නෙවෙයි. ඒ වෙනුවට දෙවි ඉදිරියේ හරි දේ කිරීම අමාරු දෙයක් වුණත් කරන්න බැරි දෙයක් නෙවෙයි කියා කාවද්දන්නයි. පාවුල් මෙසේද පැවසුවා. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.” (රෝම 3:23) පාවුල්ට මෙන් අපටත් වැරදි ආශාවන් ඇති වෙනවා. ඒ නිසා පාවුල් කළ පොරබැදීම අපට හොඳින් තේරෙනවා. ඒ වගේම දෙවිගෙන් අපව දුරස් කරන, ‘ජීවනය කරා යන පාර’ අවහිර කරන බොහෝ දේවල්ද තිබෙනවා. (මතෙ. 7:14) නමුත් පාවුල් මෙන් එම බාධක ජය ගන්න අපටත් පුළුවන්.

5. තම පොරබැදීමෙන් ජය ගන්න පාවුල්ට හැකි වුණේ කොහොමද?

5 පාවුල් සහනයක් ලැබුවේ කොහොමද? ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගන්නේය.” (රෝම 7:24, 25) ඉන්පසු ඔහු කතා කළේ “ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින” අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. (රෝම 8:1, 2 කියවන්න.) දෙවි තම බලය මගින් ඔවුන්ව ඔහුගේ පුත්‍රයන් ලෙස පිළිගන්නා අතර ඔවුන්ව ‘ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන’ අය බවටත් පත් කළා. (රෝම 8:14-17) දෙවිගේ බලයේ උපකාරය හා යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි තිබෙන විශ්වාසය නිසා පාවුල්ට මෙන් අනික් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටද තම තමන්ගේ පොරබැදීම්වලින් ජය ගන්න හැකි වී තිබෙනවා. “නීතියක් සේ ක්‍රියා කරන පාපයේ හා මරණයේ ග්‍රහණයෙන්” ඔවුන් නිදහස් වී සිටින අතර දෙවි ඔවුන්ව සලකන්නේ නිදොස් අය ලෙසයි.

6. පාවුල් පැවසූ දේවල් දෙවිගේ සෑම සේවකයෙක්ටම වැදගත් වෙන්නේ ඇයි?

6 දෙවිගේ බලය ගැනත් යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම ගැනත් පාවුල් පැවසූ දේවල් අභිෂේක ලත් අයට වගේම වෙනත් බැටළුවන්ටත් ප්‍රයෝජනවත් වෙනවා. ඔහු ඒ දේවල් ලිව්වේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් නිසා අප ඒවා හොඳින් තේරුම්ගෙන ඒ උපදෙස්වලට කීකරු වීම ඉතා වැදගත්.

පව්කාර ස්වභාවයට වහල් නොවිය යුතු බව දෙවි පෙන්නුම් කළ’ ආකාරය

7, 8. (අ) මෝසෙස්ට දුන් නීතිය මගින් ඉටු නොවුණේ කුමක්ද? (ආ) දෙවිගේ බලය හා යේසුස්ගේ ජීවිත පූජාව මගින් දෙවි කළේ කුමක්ද?

7 පාවුල් රෝම 7වන පරිච්ඡේදයේ පව්කාර ස්වභාවයට වහල් වීම ගැන සඳහන් කළා. නමුත් රෝම 8වන පරිච්ඡේදයේ දෙවිගේ බලයට කළ හැකි දේ ගැන ඔහු විස්තර කළා. දෙවිගේ බලය මගින් අපේ පව්කාර ආශාවන් පරාජය කළ හැකි බවත් දෙවිගේ කැමැත්ත කර ඔහුගේ අනුමැතිය දිනාගත හැකි බවත් එහි සඳහන් වෙනවා. ඒ වගේම මෝසෙස්ට දුන් නීතියෙන් ඉටු කරගත නොහැකි දෙයක් දෙවිගේ බලය හා යේසුස්ගේ ජීවිත පූජාව මගින් ඉටු කරගත් ආකාරය ගැනත් ඔහු එහි විස්තර කළා.

8 මෝසෙස්ට දුන් නීතියේ සියලුම අණපනත් රකින්න ජනයාට නොහැකි වූ නිසා ඔවුන් පව්කාරයන් බව නීතිය මගින් පැහැදිලිව හෙළි කළා. ඒ වගේම ඊශ්‍රායෙල්හි උත්තම පූජකයාත් අසම්පූර්ණ මිනිසෙක් නිසා තවත් කෙනෙකුගේ පාපය ඉවත් කිරීමට තරම් අවශ්‍ය පූජාවක් ඔහුට ඔප්පු කරන්න බැරි වුණා. පාපය ඉවත් කිරීමටවත් වැරදි ආශාවන් නැති කිරීමටවත් එම ‘නීතියට හැකි වුණේ නැහැ.’ ඒ නිසා දෙවි කළේ කුමක්ද? ‘දෙවි තම පුත්‍රයාව එවා’ ඔහුගේ ජීවිත පූජාව මගින් ‘මිනිසාගේ පාපය නැති කර දැමීමට පියවර ගත්තා.’ දෙවි එසේ කිරීමෙන් පෙන්නුම් කළේ මිනිසුන් තවදුරටත් තම පව්කාර ස්වභාවයට වහල් නොවිය යුතු බවයි. එම පූජාව කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සලකන්නේ ධර්මිෂ්ඨ අය ලෙසයි. ඒ නිසා ‘තම ආශාවන්ට යටත් නොවී දිගටම දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවත් වන්න’ කියා පාවුල් ඔවුන්ට උනන්දු කළා. (රෝම 8:3, 4 කියවන්න.) එසේ ඔවුන් මරණය දක්වාම විශ්වාසවන්තව සිටියොත් ඔවුන්ට “ජීවනය නමැති ඔටුන්න” ලැබෙනවා.—එළි. 2:10.

9. ‘පාපයේ හා මරණයේ ග්‍රහණය’ ගැන කතා කරද්දී පාවුල් එය “නීතියකට” සමාන කළේ ඇයි?

9 ‘දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයට යටත් වීම’ පාවුල් සමාන කළේ ‘නීතියකටයි.’ ඒ වගේම ඔහු ‘පාපයේ හා මරණයේ ග්‍රහණය’ සමාන කළෙත් ‘නීතියකටයි.’ (රෝම 8:2) පාවුල් මෙහි නීතිය යන වචනය භාවිත කරන්නේ මෝසෙස්ට දුන් නීතිය හා සමාන අණපනත් ලැයිස්තුවකට නෙවෙයි. එක් පොතක සඳහන් වන ආකාරයට එම වචනය භාවිත කළේ කෙනෙක් හොඳ දෙයකට හෝ නරක දෙයකට ඔහුගේ මනස යොමු කරන විට මනසේ ඇති වන සිතුවිලි ඔහුව පාලනය කරන නීතියක් බවට පත් වෙනවා කියා විස්තර කිරීමටයි.

10. පාපයේ හා මරණයේ ග්‍රහණයට අප හසු වී සිටින්නේ කොහොමද?

10 අපි සියලුදෙනා පාපයේ හා මරණයේ ග්‍රහණයට හසු වී සිටිනවා. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.” (රෝම 5:12) එම හේතුව නිසා අපි ස්වභාවයෙන්ම නැඹුරු වන්නේ ‘පව්කාර ආශාවන්ට’ අනුව ක්‍රියා කිරීමටයි. එහි අවසන් ප්‍රතිඵලය මරණයයි. එම ආශාවන්ට අනුව ජීවත් වන අයට ‘දේවරාජ්‍යය උරුම නොවන බවත්’ පාවුල් පැවසුවා. (ගලා. 5:19-21; රෝම 8:4) එවැනි අය වේශ්‍යාකම, රූප වන්දනාව හා භූතවාදය වැනි දේවල යෙදෙනවා. අනික් අතට එතරම් බරපතළයි කියා නොසිතන ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද හා කුඩුකේඩුකම වැනි දේවල් ගැන කුමක් කිව හැකිද? බොහෝදෙනා ඒවා සලකන්නේ කා අතිනුත් සිදු වන පොඩි පොඩි වැරදි කියායි. නමුත් පාවුල් එවැනි දේවල්ද ඇතුළත් කරන්නේ ‘පව්කාර ආශාවන්වලටයි.’ එමනිසා පව්කාර ආශාවන්ට එරෙහිව අපි දිගටම සටන් කළ යුතුයි.

11, 12. අපව පාපයෙන් හා මරණයෙන් නිදහස් කිරීමට දෙවි කළේ කුමක්ද? දෙවිගේ අනුමැතිය දිනාගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

11 අපව පාපයෙන් හා මරණයෙන් මුදවාගැනීමට පියවර ගැනීම ගැන අපි දෙවිට මොන තරම් ස්තුතිවන්ත වෙනවාද! යේසුස් මෙසේ පැවසුවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහ. 3:16-18) දෙවිට ප්‍රේම කරන බවත් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන බවත් අප ජීවත් වන ආකාරයෙන් පෙන්වනවා නම් පාපයෙන් හා මරණයෙන් නිදහස් වීමේ ප්‍රස්තාව අපට උදා වෙනවා. එසේනම් පාවුල් මෙන් අපත් “දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!”

12 උදාහරණයකට බරපතළ රෝගයකින් පෙළෙන කෙනෙක් ගැන සිතන්න. සුවය ලැබීමට නම් ඔහු වෛද්‍යවරයෙක්ව මුණගැසීම පමණක් ප්‍රමාණවත් නැහැ. වෛද්‍ය උපදෙස් දිගටම පිළිපැදීමත් අවශ්‍යයි. ඒ හා සමානව පාපයෙන් හා මරණයෙන් නිදහස් වීමට යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තැබීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් පවත්වාගැනීම හා දිගටම ඔහුගේ බලයෙන් ලැබෙන මඟ පෙන්වීමට අනුව ජීවත් වීමත් අත්‍යවශ්‍යයි. එමගින් දෙවිගේ අනුමැතිය දිනාගැනීමට අපට හැකියි.

දෙවිගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වන්නේ කොහොමද?

13. දෙවිගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වීමට ඇතුළත් වන්නේ කුමක්ද?

13 දෙවිගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වීමට නම් අපි බයිබලය ගැඹුරට අධ්‍යයනය කරමින් එහි ඇති කාරණා වටහාගෙන දේවසේවකයෙක් ලෙස දිනපතා දියුණුවක් ලැබිය යුතුයි. (1 තිමෝ. 4:15) අපි පව්කාරයන් වුණත් ‘දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව දිගටම ජීවත් වීමට’ උත්සාහ කරනවා නම් දෙවි ඒ ගැන සතුටු වෙනවා.—ගලා. 5:16.

14. තම පව්කාර ආශාවන්ට ඉඩ දෙන අය ක්‍රියා කරන්නේ කොහොමද?

14 රෝම 8:5 කියවන්න. අපි හරි දේ කරන්න කැමති වුණත් අසම්පූර්ණකම හේතුවෙන් අප තුළ ඇති වන පව්කාර ආශාවන් නිසා අපේ අතින් බොහෝවිට සිදු වන්නේ වැරදි දේවලුයි. පාවුල් තම වැරදි ආශාවන්ට එරෙහිව දැඩි සටනක් කළේ ඒ නිසයි. නමුත් අද සිටින බොහෝදෙනෙක් තමන්ගේ වැරදි ආශාවන් පාලනය කරගන්න කිසිම වෑයමක් දරන්නේ නැහැ. ඔවුන් තමන් කරන දේවල් ගැන දෙවි සතුටු වෙනවාද කියා සොයා බලන්නෙවත් දෙවිගෙන් උපකාර පතන්නෙවත් නැහැ. එවැනි අය තමන්ව පාලනය කිරීමට වැරදි ආශාවන්ට ඉඩ දෙනවා. ඊට හේතුව ඔවුන්ගේ මනස් වැරදි දේවලට යොමු වී තිබීමයි. අනික් අතට දෙවි ප්‍රිය කරන දේවල් කිරීමට උත්සාහ කරන අය දෙවිගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙනවා.

15, 16. (අ) අප මනස යොමු කරන දේවල් අපට බලපාන්නේ කෙසේද? (ආ) අද සිටින බොහෝදෙනා සිතන්නේ කුමන දේවල් ගැනද?

15 රෝම 8:6 කියවන්න. කෙනෙක් හරි දෙයක් හෝ වැරදි දෙයක් කිරීමට පෙලඹෙන්නේ තම මනස යොමු කරන දේවලට අනුවයි. ඔහු තම පව්කාර ආශාවන්ට පමණක් මනස යොමු කරනවා නම් අවසානයේදී ඔහු එම ආශාවන් ඉටු කරගැනීමට උත්සාහ කරනවා.

16 අද බොහෝදෙනා මනස යොමු කරන්නේ කුමන දේවලටද කියා යොහන් විස්තර කරනවා. “මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත් තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත් තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත් පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.” (1 යොහ. 2:16) අනාචාරයේ යෙදීම මෙන්ම තනතුරු ලැබීමට, ප්‍රසිද්ධ වීමට හා ධන සම්පත් රැස් කිරීමට තිබෙන දැඩි ආශාව යොහන් සඳහන් කළ දේවලට ඇතුළත් වෙනවා. අද තිබෙන පොත් පත්, සඟරා, චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන් හා අන්තර්ජාලය වැනි දේවල් එම ආශාවන් තව තවත් පෝෂණය කරනවා. නමුත් පාවුල් පැවසුවේ ‘මෙවැනි ආශාවන් කෙනෙකුගේ මරණයට මඟ පාදන’ බවයි. අපත් ඒ ආශාවන්ට හසු වුණොත් දෙවි සමඟ තිබෙන අපේ බැඳීම විනාශ වෙනවා. අවසානයේදී අපට සදාකාල ජීවනයද අහිමි වීමට ඉඩ තිබෙනවා. ඊට හේතුව කුමක්ද? “කෙනෙක් වැරදි ආශාවන්ට තම මනස යොමු කළොත් ඔහු දෙවිගේ සතුරෙක් වෙයි. මන්ද එවැනි ආශාවන් දෙවිගේ නීතියට විරුද්ධය. ඒවා කිසි ලෙසකින්වත් දෙවිගේ නීතියට එකඟ නැත. එහෙයින් තම වැරදි ආශාවන්වල බලපෑමට හසු වන අයට දෙවිව සතුටු කළ නොහැක.”—රෝම 8:7, 8.

17, 18. අපේ මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කර තිබෙන බව පෙන්වන්නේ කොහොමද? ඉන් ලැබෙන ආශීර්වාද මොනවාද?

17 අපේ මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කළොත් එයින් අපට “ජීවනය හා සමාදානය” හිමි වෙයි. ඉන් අදහස් කරන්නේ දැන් අපට දෙවි සමඟ සමාදානය හා මනසේ සාමය අද්දැකීමේ ප්‍රස්තාව ලැබෙන අතර අනාගතයේදී සදාකාල ජීවනයත් ලැබෙන බවයි. අපේ “මනස දෙවි ප්‍රිය කරන දේවලට” යොමු කර තිබෙන බව පෙන්වන්නේ කොහොමද? සෑමවිටම දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීමෙන්. එසේ ජීවත් වෙනවා නම් දෙවි සිතන විදිහට සිතන්න අප පුරුදු වෙනවා. එමෙන්ම වැරදි කිරීමට පෙලඹීමක් ඇති වන අවස්ථාවලදී ‘දෙවිගේ නීතියට එකඟව’ කළ යුත්තේ කුමක්ද කියා අප දන්නවා. දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව තීරණ ගැනීමටත් අප තුළ මහත් ඕනෑකමක් ඇති වන අතර දෙවිව සතුටු කරන ආකාරයේ තීරණ ගැනීමටත් හැකි වෙයි.

18 දෙවි ප්‍රිය කරන දේවලට අපේ මනස යොමු කරමු. දිනපතා යාච්ඤා කිරීම, බයිබලය කියවා ගැඹුරින් අධ්‍යයනය කිරීම, නිතිපතා රැස්වීම්වලට සහභාගි වීම හා දේවසේවයේ නියැලීම වැනි දේවලට මුල් තැන දෙමු. (1 පේතෘ. 1:13) අපව පාලනය කිරීමට අපේ වැරදි ආශාවන්ට ඉඩ නොදී දෙවි සිතන ආකාරයට සිතන්නත් ඔහුගේ බලයේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරන්නත් අපි පුරුදු විය යුතුයි. අප එසේ කරනවා නම් සදාකාල ජීවනය හා සමාදානය ඇතුළු තව බොහෝ ආශීර්වාද භුක්ති විඳිය හැකියි.—ගලා. 6:7, 8.

ඔබට විස්තර කළ හැකිද?

• මෝසෙස්ට දුන් නීතිය මගින් ඉටු නොවුණේ කුමක්ද? ඒ නිසා දෙවි කළේ කුමක්ද?

• ‘පාපයේ හා මරණයේ ග්‍රහණය’ අප තුළ නීතියක් සේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපව ඉන් නිදහස් කිරීමට දෙවි කළේ කුමක්ද?

• අපේ මනස “දෙවි ප්‍රිය කරන දේවලට” යොමු කර තිබෙන බව පෙන්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12, 13වන පිටුවල පින්තූර]

ඔබ ක්‍රියා කරන්නේ ඔබේ ආශාවන්ට අනුවද නැතහොත් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද?