Skip to content

පටුනට යන්න

දෙවිව දැන හඳුනා ගන්න පුරුෂයන්ට උපකාර කරන්න

දෙවිව දැන හඳුනා ගන්න පුරුෂයන්ට උපකාර කරන්න

දෙවිව දැන හඳුනා ගන්න පුරුෂයන්ට උපකාර කරන්න

“මෙතැන් පටන් ඔබ අල්ලන්නේ මිනිසුන්වයි.”—ලූක් 5:10.

1, 2. (අ) බොහෝ පුරුෂයන් යේසුස්ගෙන් ඉගෙනගැනීමට කැමති වූ බව පැවසිය හැක්කේ ඇයි? (ආ) මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ මොනවාද?

යේසුස් හා ගෝලයන් භේදයකින් තොරව සියල්ලන්ටම දේශනා කළා. වරක් ගලීලයේදී දේශනා සේවය අවසන් කර විවේකයක් ගැනීමට ඔවුන් නිස්කලංක තැනකට ගියත් බොහෝදෙනෙක් යේසුස්ව සොයාගෙන එම ස්ථානයට ආවා. එම පිරිසට ‘ස්ත්‍රීන් හා කුඩා දරුවන් හැර පුරුෂයෝ පන්දහසක් පමණ’ ඇතුළත් වුණා. (මතෙ. 14:21) තවත් අවස්ථාවක යේසුස්ගෙන් සුවය ලබාගැනීමට හා ඉගෙනගැනීමට ‘ස්ත්‍රීන් හා කුඩා දරුවන් හැර පුරුෂයන් හාරදහසක්’ ආවා. (මතෙ. 15:38) ඉන් පැහැදිලි වන්නේ බොහෝ පුරුෂයන් යේසුස්ගෙන් ඉගෙනගන්න කැමති වූ බවයි. තවත් බොහෝදෙනෙක් තමාගේ ඉගැන්වීම් පිළිගනියි කියා ඔහු දැනගෙන සිටියා. ඒ නිසා ආශ්චර්යයක් කර මසුන් විශාල ප්‍රමාණයක් අල්ලාගැනීමට සැලැස්වූ පසු යේසුස් සීමොන්ට මෙසේ පැවසුවා. “මෙතැන් පටන් ඔබ අල්ලන්නේ මිනිසුන්වයි.” (ලූක් 5:10) එම මිනිසුන් අතර පුරුෂයන් බොහෝදෙනෙක් සිටියි කියා යේසුස්ගේ ගෝලයන් තේරුම්ගත්තා.

2 එදා මෙන් අදත් බොහෝ පුරුෂයන් බයිබලය පාඩම් කිරීමට කැමැත්තක් දක්වනවා. (මතෙ. 5:3) නමුත් සමහරු බයිබල් ඉගැන්වීම් පිළිගෙන ඒ අනුව ජීවත් වෙන්න පසුබට වෙනවා. එවැනි පුරුෂයන්ට උපකාර කළ හැකි වන්නේ කෙසේද? පුරුෂයන්ට විශේෂයෙන්ම බලපාන ප්‍රශ්න ගැන යේසුස් කතා කළා. මේ ලිපියෙන් පුරුෂයන් බහුතරයකට බලපාන කාරණා තුනක් ගැන සාකච්ඡා කරනවා. ඒවා නම් (1) මුදල් උපයාගැනීම (2) අන් අය තමන් ගැන මොනවා කියයිද යන බිය (3) තමන් දක්ෂ නැහැයි කියා සිතීම යන කාරණායි.

මුදල් උපයාගැනීම

3, 4. (අ) බොහෝ පුරුෂයන් වැඩියෙන් සිතන්නේ කුමක් ගැනද? (ආ) දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට වඩා මුදල් හම්බ කිරීම ප්‍රයෝජනවත් කියා සමහරු සිතන්නේ ඇයි?

3 මෝසෙස්ට දුන් නීතිය ගැන හොඳ දැනුමක් තිබූ පුරුෂයෙක් යේසුස්ට මෙසේ පැවසුවා. “ගුරුතුමනි, ඔබ යන ඕනෑම තැනකට මමත් ඔබ අනුව එන්න කැමතියි.” එවිට යේසුස් “මනුෂ්‍ය පුත්‍රයාට තම හිස තබන්නවත් තැනක් නැහැ” කියා පැවසුවා. ඔහු යේසුස්ගේ ගෝලයෙක් වුණා කියා බයිබලයේ පවසන්නේ නැහැ. සමහරවිට තමා යේසුස්ගේ ගෝලයෙක් වුණොත් ඉන්න හිටින්න තැනක්වත් කන්න බොන්නවත් නැතුව යයි කියා ඔහු සිතුවා විය හැකියි.—මතෙ. 8:19, 20.

4 බොහෝ පුරුෂයන් සිතන්නේ බයිබලය ගැන ඉගෙනගෙන ඒ අනුව ජීවත් වෙනවාට වඩා මුදල් හම්බ කිරීම වැදගත් කියායි. ජීවත් වීමට මුදල් අවශ්‍ය නිසා දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩ නඟනවාට වඩා තම අනාගතය සුරක්ෂිත කරගැනීමට විශ්ව විද්‍යාල උපාධියක් ලබාගෙන හොඳ රැකියාවක් සොයාගැනීම හා මුදල් හම්බ කිරීම ප්‍රයෝජනවත් කියා ඔවුන් සිතනවා. ඒ වගේ අය “පවතින මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසාත් ධනය පසුපස හඹා යෑමෙන් මුළා වන නිසාත්” දිගටම බයිබලය පාඩම් කිරීමට පසුබසිනවා. (මාක් 4:18, 19) යේසුස් තම ගෝලයන්ට වඩාත් වැදගත් දේ කුමක්ද කියා පැහැදිලි කර දුන් ආකාරය අපි දැන් සලකා බලමු.

5, 6. වඩාත් වැදගත් දේ තෝරාගැනීමට අන්දෘ, පේතෘස්, යාකොබ් හා යොහන්ට උපකාර වුණේ කුමක්ද?

5 යේසුස්ගේ ගෝලයන් වන අන්දෘ සහ ඔහුගේ සහෝදර සීමොන් පේතෘස් කලින් ධීවරයන්ව සිටියා. ඒ වගේම යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් ඔවුන්ගේ පියා වූ සෙබදී සමඟ සාර්ථක ලෙස ධීවර කර්මාන්තය කරගෙන ගියා. ඔවුන්ට සේවකයන්ද සිටියා. (මාක් 1:16-20) යොහන් බව්තීස්ත යේසුස් ගැන අන්දෘ සහ යොහන්ට පැවසූ විට යේසුස් මෙසියස් බව ඔවුන් තේරුම්ගත්තා. ඒ ගැන ඔවුන් තම සහෝදරයන්ටත් කිව්වා. (යොහ. 1:29, 35-41) පසුව යේසුස් ගලීලය, යුදය හා සමාරිය යන ප්‍රදේශවල දේශනා කරන විට ඔවුන් හතරදෙනාත් යේසුස් සමඟ හවුල් වුණා. නමුත් මාස කිහිපයකට පසුව ඔවුන් නැවතත් තම ධීවර කර්මාන්තය කරගෙන ගියා. ඒ වන විට ඔවුන්ට වඩාත් වැදගත් දෙය වී තිබුණේ ඔවුන්ගේ රැකියාවයි.

6 ටික කලකට පසු අන්දෘට සහ සීමොන් පේතෘස්ට ‘මිනිසුන් අල්ලන්න’ එන්න කියා යේසුස් ආරාධනා කළා. ඔවුන් දෙදෙනා “ඒ මොහොතේම දැල් පසෙක දමා යේසුස් අනුව ගියා.” යේසුස් යාකොබ් හා යොහන්ටත් ආරාධනා කළ විට ඒ දෙදෙනාත් ‘එසැණින්ම ඔරුවෙන් බැස තම පියාගෙන් සමුගෙන ඔහු අනුව ගියා.’ (මතෙ. 4:18-22) ඔවුන් තම කර්මාන්තය අත්හැර පූර්ණකාලීනව දේවසේවයේ යෙදෙන්න ගත් තීරණය හැඟීම්වලට බර වී ක්ෂණිකව ගත් එකක්ද? නැහැ. ඊට පෙර මාස කිහිපයක්ම ඔවුන් යේසුස්ට සවන් දුන්නා. ඔහු කළ ආශ්චර්යයන් දැක්කා. සේවයටත් හරි දේ කිරීමටත් යේසුස් තුළ තිබූ උනන්දුවත් ඔහුගේ ඉගැන්වීම්වලට මිනිසුන් දැක්වූ ප්‍රතිචාරයත් ඔවුන් දැක්කා. ඒ නිසා යෙහෝවා දෙවි කෙරෙහි වූ ඔවුන්ගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වුණා. ඒ විශ්වාසය නිසයි ඔවුන්ට එවැනි තීරණයක් ගන්න හැකි වුණේ.

7. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කරන්න පුළුවන් කොහොමද?

7 බයිබලය පාඩම් කරන අයට යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසයක් ගොඩනඟා ගැනීමට උපකාර කළ හැකි වන්නේ කොහොමද? (හිතෝ. 3:5, 6) කළ හැකි එක දෙයක් වන්නේ ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන විට රාජ්‍යයට මුල් තැන දීමෙන් දෙවිගේ ආශීර්වාද ලබාගත හැකි බව ඔවුන්ට බයිබලයෙන්ම පෙන්වා දීමයි. ඒ වගේම ඔවුන්ව රැකබලා ගන්නා බවත් බයිබලයෙන්ම පෙන්විය හැකියි. (මලාකි 3:10; මතෙව් 6:33 කියවන්න.) අපේ ආදර්ශයත් ඉතා වැදගත් බව අමතක නොකරමු. අපේම අද්දැකීම් හා ප්‍රකාශනවල සඳහන් අද්දැකීම් පැවසීමෙන්ද දෙවි කෙරෙහි විශ්වාසය වැඩි කරගැනීමට ඔවුන්ට උපකාර කළ හැකියි. *

8. (අ) බයිබලය පාඩම් කරන කෙනාම දෙවි යහපත් බව රස බලා දැනගත යුත්තේ ඇයි? (ආ) ඔහුට එසේ කිරීමට උපකාර කළ හැක්කේ කෙසේද?

8 බයිබලය පාඩම් කරන කෙනෙක් දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගැනීමට නම් අන් අයගේ අද්දැකීම් දැනගැනීම පමණක් මදි. ඔහුම යෙහෝවා දෙවි යහපත් බව අද්දකින්න අවශ්‍යයි. ගීතිකාකරු පැවසුවේ “ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය” කියායි. (ගීතා. 34:8) දෙවි යහපත් බව තේරුම්ගැනීමට ශිෂ්‍යයෙකුට උපකාර කරන්නේ කොහොමද? උදාහරණයකට ආර්ථික ප්‍රශ්න තිබෙන කෙනෙක් දුම්පානය, බේබදුකම, සූදුව වැනි නරක පුරුද්දකින් ගොඩ ඒමටත් උත්සාහ කරමින් සිටිනවා කියා සිතන්න. (හිතෝ. 23:20, 21; 2 කොරි. 7:1; 1 තිමෝ. 6:10) නරක පුරුද්ද අත්හැරීමට යාච්ඤා කර උපකාර ඉල්ලන්න කියා ඔහුට උගන්වන්න. දෙවිගේ උපකාරයෙන් නරක පුරුද්ද අත්හැරිය පසු ඔහු දෙවිගේ යහපත්කම වටහාගනියි. සතිපතා බයිබලය පාඩම් කිරීමත් රැස්වීම්වලට සූදානම්ව පැමිණීමත් වැදගත් බව පෙන්නුම් කිරීමෙන් දෙවිට මුල් තැන දෙන්න කියා දිරිගන්වන්නත් පුළුවන්. ඔහුගේ වෑයමට දෙවි ලබා දෙන ආශීර්වාද ඔහු අද්දකින විට දෙවි කෙරෙහි ඇති විශ්වාසය තවත් ශක්තිමත් වෙයි. එවිට ඔහු ආර්ථික ප්‍රශ්න වැනි දේවල් ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වෙන්නෙත් නැහැ.

අන් අය තමන් ගැන මොනවා කියයිද යන බිය

9, 10. (අ) නිකදේමස් හා අරිමාතියේ උපන් යෝසෙප් තමන් යේසුස්ගේ ගෝලයන් කියා හෙළි නොකළේ ඇයි? (ආ) සමහර පුරුෂයන් යේසුස්ගේ අනුගාමිකයන් වීමට භය වෙන්නේ ඇයි?

9 යේසුස්ගේ කාලයේ සිටි නිකදේමස් හා අරිමාතියේ උපන් යෝසෙප් තමන් යේසුස්ගේ ගෝලයන් කියා හෙළි නොකළේ අන් අයට භය වූ නිසයි. (යොහ. 3:1, 2; 19:38) එදා සිටි ආගමික නායකයන් යේසුස්ව පිළිගන්නා ඕනෑම තැනැත්තෙකුව සිනගෝගයෙන් නෙරපා දැමූ නිසා ඔවුන් තුළ එවැනි භයක් ඇති වෙන්න ඇති.—යොහ. 9:22.

10 අද දින යම් පුරුෂයෙක් දෙවි ගැන හෝ බයිබලය ගැන උනන්දුවක් දැක්වුවොත් පවුලේ අය, මිතුරන් හෝ රැකියා ස්ථානයේ සිටින අය ඔහුව විවේචනය කරන්න හෝ ඔහුට ප්‍රශ්නයක් ඇති කරන්න ඉඩ තිබෙනවා. තවත් සමහර අයට තමන්ගේ ආගම වෙනස් කරනවා කියා පැවසීමම තම ජීවිතයට තර්ජනයක් විය හැකියි. ඒ වගේම හමුදාවට, දේශපාලනයට හෝ වෙනත් ඉහළ තනතුරකට සම්බන්ධ කෙනෙක් බයිබලය ගැන කතා කළොත් ඔහුගේ මිතුරන් ඔහුව කොන් කරයි. ජර්මනියේ හිටිය එක් පුරුෂයෙක් මේ වගේ දෙයක් පැවසුවා. “ඕගොල්ලෝ බයිබලය ගැන උගන්වන දේවල් හරියටම හරි. ඒත් මම ඔය ආගමට ආවොත් මගේ රැකියා ස්ථානයේ ඉන්න අය, ගමේ අය, අපිව අඳුරන අය මට එක එක දේවල් කියන්න පටන්ගනියි. ඊටපස්සේ අපි කොහොමද මිනිසුන්ට මුහුණ දෙන්නේ?”

11. අන් අය කියන දේවලට භය නොවී සිටීමට යේසුස් තම ගෝලයන්ට උපකාර කළේ කොහොමද?

11 යේසුස්ගේ ගෝලයන් පවා අන් අය මොනවා කියයිද කියා සමහර අවස්ථාවලදී සිතුවා. (මාක් 14:50, 66-72) අන් අය පීඩා කළත් භය නැතුව දිගටම සේවය කරන්න යේසුස් ඔවුන්ට උදව් කළේ කොහොමද? පීඩාවලට මුහුණ දීමට සිදු වෙන බවත් ඒවාට මුහුණ දෙන ආකාරයත් කල් ඇතුව කියා දුන්නා. “මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරයි. ඔබව කොන් කරයි. ඔවුන් ඔබට නින්දා කර ඔබ ගැන අගුණ කියමින් ඔබේ හොඳ නමට අගෞරව කරයි. ඔබට එවැනි දේවල් සිදු වුණත් ඔබ සන්තෝෂවත්” කියා ඔහු පැවසුවා. (ලූක් 6:22) ඕනෑම පීඩාවක් ‘මනුෂ්‍ය පුත්‍රයා වෙනුවෙන්’ විඳින නිසා ඒ ගැන දුක් වෙන්න අවශ්‍ය නැහැ කියාත් දෙවිගෙන් උදව් හා ශක්තිය ඉල්ලනවා නම් දෙවි කවදාවත් අත්හරින්නේ නැහැ කියාත් යේසුස් ඔවුන්ගේ බිය සැක දුරු කළා. (ලූක් 12:4-12) යේසුස් තවත් දෙයක් කළා. ඔහුගේ ඉගැන්වීම් පිළිගන්නා අයට ඔහුගේ ගෝලයන් සමඟ ආශ්‍රය කරන්නත් මිත්‍රත්වයක් පවත්වාගන්නත් උනන්දු කළා.—මාක් 10:29, 30.

12. අන් අය හිතන දේවල් ගැන බිය නොවීමට බයිබල් ශිෂ්‍යයෙකුට උපකාර කළ හැක්කේ කෙසේද?

12 අන් අය කියන දේවල් ගැන කලබල නොවී සිටීමට අපත් බයිබල් ශිෂ්‍යයාට උදව් කළ යුතුයි. (යොහ. 15:19) එය කළ හැකි එක ක්‍රමයක් වන්නේ කලින්ම ඔහුව ඒ සඳහා සූදානම් කිරීමයි. සෙසු සේවකයන් හා වෙනත් අය ඔහු ඉගෙනගන්න අලුත් දේවල් ගැන ප්‍රශ්න අහන්නත් ඔහුව කොන් කරන්නත් ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවකදී බයිබලයෙන් සරල පිළිතුරක් දීමට කල් ඇතුව බයිබල් ශිෂ්‍යයාව සූදානම් කළ හැකියි. තවත් ක්‍රමයක් වන්නේ ඔබ ඔහුට හොඳ මිතුරෙක් වන අතරම සභාවේ ඉන්න අනිත් අයවත් ඔහුට හඳුන්වා දීමයි. ඔවුන්ගේ අද්දැකීම් ශිෂ්‍යයාට ප්‍රයෝජනවත් විය හැකියි. ඒ සියල්ලටම වඩා මුළු හදින් දෙවිට යාච්ඤා කරන්නත් ශිෂ්‍යයාට උගන්වන්න. එවිට දෙවිගේ මිතුරෙක් වීමට ඔහුට හැකි වෙනවා. දෙවි ඔහුට පර්වතයක් හා බලකොටුවක් වන නිසා අන් අය ඔහුට මොනවා කිව්වත් ඔහු ගැන මොනවා සිතුවත් නොබියව ඉන්න ඔහුට ශක්තිය ලැබෙනවා.—ගීතාවලිය 94:21-23; යාකොබ් 4:8 කියවන්න.

තමන් දක්ෂ නැහැයි කියා සිතීම

13. සමහර පුරුෂයන් නමස්කාර කටයුතුවල යෙදීමට පසුබට වෙන්නේ ඇයි?

13 සමහර පුරුෂයන් හිතන්නේ සභාවේ ඉන්න අනිත් අය තරම් තමන් දක්ෂ නැහැ කියායි. සමහරවිට එතරම් හොඳින් කියවීමට හෝ තමන්ගේ හැඟීම් පහසුවෙන් ප්‍රකාශ කිරීමට නොහැකි වීම එයට හේතුව විය හැකියි. ඒ වගේම තවත් අය ලැජ්ජාශීලීයි. ඒ වගේ අයට බයිබලය පාඩම් කිරීම, රැස්වීම්වලදී උත්තර දීම හා දේශනා සේවයේ යෙදීම හුඟක් අමාරුයි. එක් සහෝදරයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “දේශනා කරන එක නම් මට හරි අමාරුයි. තරුණ කාලේදී, මම දොරක් ළඟට ගිහින් දොරට තට්ටු කරනවා වගේ බොරුවට අඟවලා, කවුරු හරි මාව දකින්න කලින් හෙමිහිට එතැනින් පිට වෙනවා. . . . දේවසේවයේ යන එක ගැන හිතනකොටම මගේ බඩ රිදෙන්න ගන්නවා.”

14. භූතයෙක් වැහුණ පිරිමි ළමයාව සුව කරන්න යේසුස්ගේ ගෝලයන්ට නොහැකි වුණේ ඇයි?

14 භූතයෙක් වැහුණ පිරිමි ළමයාව සුව කිරීමට යේසුස්ගේ ගෝලයන්ට නොහැකි වූ අවස්ථාව ගැන සලකා බලමු. එම පිරිමි ළමයාගේ පියා යේසුස් වෙත පැමිණ “ස්වාමීනි, මගේ පුතාට අනුකම්පා කරන්න. ඔහු මීමැස්මොර රෝගියෙක්. ඔහුගේ රෝගය ඉතා දරුණුයි. ඔහු නිතරම ගින්න හා වතුර සොයාගෙන ගිහින් එහි වැටෙනවා. මා ඔහුව ඔබේ ගෝලයන් වෙතට ගෙන ආවත් ඔහුව සුව කරන්න ඔවුන්ට හැකි වුණේ නැහැ” කියා පැවසුවා. ඒ අවස්ථාවේදී යේසුස්ගේ ගෝලයන්ට කෙසේ හැඟෙන්න ඇද්ද? යේසුස් දරුවාට වැහී සිටි භූතයාව දුරු කළා. පසුව ගෝලයන් “අපට ඒ භූතයාව දුරු කරන්න බැරි වුණේ ඇයි” කියා යේසුස්ගෙන් ඇසුවා. එවිට යේසුස් පිළිතුරු දුන්නේ මෙලෙසයි. “ඒ ඔබ තුළ තිබෙන විශ්වාසයේ මදිකම නිසයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔබ තුළ ඇත්නම් ඔබ මේ කන්දට, ‘මෙතැනින් අතනට යන්න’ කියා කිව්වොත් එය එතැනට යයි. ඔබට කළ නොහැකි කිසිවක් නැහැ.” (මතෙ. 17:14-20) දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා නම් කිරීමට අමාරුයි කියා සිතෙන දේවල් පවා කිරීමට දෙවි උපකාර කරනවා. අනික් අතට කෙනෙක් තමාගේම හැකියාව මත රඳා සිටිනවා නම් අසාර්ථක වීමට තිබෙන ඉඩකඩ වැඩියි.

15, 16. අන් අය මෙන් දෙවිට සේවය කරන්න තමාට බැහැ කියා සිතන ශිෂ්‍යයෙකුට උපකාර කළ හැකි වන්නේ කොහොමද?

15 පේතෘස් මෙවැනි දෙයක් ලිව්වා. “එහෙයින් මහත් බලයක් ඇති දෙවිට යටත් වී නිහතමානී වන්න. එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත. . . . ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.” (1 පේතෘ. 5:6, 7) අනිත් අය කරන තරමටම තමන්ට කළ නොහැකියි කියා බයිබල් ශිෂ්‍යයෙකුට සිතෙනවා නම් තමාගේම හැකියාවන් මත රඳා නොසිට දෙවි කෙරෙහි විශ්වාසයෙන් සිටින්න කියා ඔහුව දිරිගන්වන්න. දෙවිට ප්‍රේම කිරීමටත් ඔහුගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වීමටත් බයිබල් ශිෂ්‍යයාට උපකාර කරන්න. ඔහු ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග’ වර්ධනය කරගැනීම ඊට ඇතුළත්. (ගලා. 5:22, 23) ඒ වගේම යාච්ඤා කිරීමත් අත්‍යවශ්‍ය බව ඔහු වටහාගෙන සිටිය යුතුයි. (ෆිලි. 4:6, 7) දෙවිගේ කැමැත්ත කිරීමට දෙවි තම උපකාරය හා බලය ලබා දෙන බවත් ඔහු විශ්වාස කළ යුතුයි.—2 තිමෝති 1:7, 8 කියවන්න.

16 ඊට අමතරව සමහර අයට කියවීමේ හා කථික හැකියාව වර්ධනය කරගැනීමට උදව් අවශ්‍ය වෙයි. තවත් සමහරුන්ට කලින් කළ වැරදි නිසා දෙවි තමාව පිළිගන්නේ නැහැ කියා හැඟෙන්න පුළුවන්. කොහොමනමුත් අපි එවැනි අය සමඟ ඉවසීමෙන් හා ප්‍රේමයෙන් ක්‍රියා කළ යුතුයි. යේසුස් පැවසුවේ මෙසේයි. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”—මතෙ. 9:12.

දෙවිව දැන හඳුනා ගන්න පුරුෂයන්ට උපකාර කරන්න

17, 18. (අ) දේශනා සේවයේදී තව බොහෝ පුරුෂයන්ව හමු විය හැක්කේ කෙසේද? (ආ) ඊළඟ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ කුමක්ද?

17 සැබෑ සතුට ලැබෙන පණිවිඩයක් තිබෙන්නේ බයිබලයේ පමණයි. ඒ නිසා තවත් බොහෝ පුරුෂයන්ට බයිබලය ගැන ඉගෙනගැනීමට උපකාර කරන්න අපි කැමතියි. (2 තිමෝ. 3:16, 17) එසේනම් තවත් පුරුෂයන්ට දේශනා කරන්න අපිට පුළුවන් කොහොමද? බොහෝවිට පුරුෂයන් වැඩි වශයෙන් නිවෙස්වල සිටින්නේ සැන්දෑවරුවේ, සතිඅන්තයේ දහවල් කාලයේ හෝ නිවාඩු දිනවල නිසා එවැනි අවස්ථාවලදී දේශනා සේවයේ යෙදෙන්න අපි වෑයම් කරමු. ඒ වගේම නිවසකට ගිය විට පියා නැත්නම් ස්වාමිපුරුෂයා සමඟ කතා කළ හැකිද කියා ඔබ හමුවට පැමිණෙන කෙනාගෙන් ඇසිය හැකියි. රැකියා ස්ථානයේ සිටින පුරුෂයන්ටද සුදුසු අවස්ථාවලදී සාක්ෂි දැරිය හැකියි. සභාවේ සිටින සමහර සහෝදරියන්ගේ ස්වාමිපුරුෂයන් සාක්ෂිකරුවන්නොවෙයි. ඒ නිසා ඔවුන්ටත් සාක්ෂි දැරීමට උත්සාහ කරන්න.

18 යේසුස් මෙන් භේදයකින් තොරව සියලුදෙනාටම දේශනා කරන විට සත්‍යය සොයන අය අපේ පණිවිඩයට සවන් දෙයි. සත්‍යය දැනගැනීමට කැමති අයට අපි ඉවසිලිවන්තව උපකාර කරමු. අනික් අතට දැනටමත් සභාවේ සිටින බව්තීස්ම ලත් පුරුෂයන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ට සභාවේ වගකීම් ඉසිලීමට උපකාර කළ හැකි අන්දම අපි ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

[පාදසටහන]

^ 7 ඡේ. මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල පළ වන ජීවිත කතා බලන්න.

ඔබේ පිළිතුර කුමක්ද?

• ජීවිතයේ වඩා වැදගත් දේවල් තෝරාගැනීමට පුරුෂයන්ට උපකාර කරන්නේ කොහොමද?

• අන් අය තමන් ගැන මොනවා හිතයිද කියා බිය නොවී සිටීමට ශිෂ්‍යයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

• තමන් දක්ෂ නැහැ කියා සිතන කෙනෙකුට උපකාර කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූරය]

පුරුෂයන්ට දේශනා කිරීමට ඔබ ප්‍රස්තාවන් සොයනවාද?

[26වන පිටුවේ පින්තූරය]

පීඩාවලට මුහුණ දීමට බයිබල් ශිෂ්‍යයන්ව සූදානම් කරන්නේ කෙසේද?