Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස්ව වධකණුවේ ඇණ ගැසුව නිශ්චිත වෙලාව පවසන්න පුළුවන්ද?

එම ප්‍රශ්නය මතු වන්නේ යේසුස්ගේ මරණය ගැන යොහන්ගේ හා මාක්ගේ වාර්තා අතර යම් වෙනසක් පෙනෙන්න තිබෙන නිසයි. මාක් මෙසේ පවසනවා. “[හේවායෝ] ඔහුව කණුවේ ඇණ ගැසුවේ තුන්වෙනි පැයේදීය.” (මාක් 15:25) නමුත් යොහන් පවසන්නේ යේසුස්ව ඇණ ගසන්න පිලාත් යුදෙව්වන්ට භාර දුන්නේ “හයවෙනි පැයේදී පමණය” කියායි. (යොහ. 19:14-16) මේ වෙනස ගැන හේතු පැහැදිලි කිරීමට බයිබල් විචාරකයන් විවිධ කරුණු ඉදිරිපත් කරනවා. කෙසේවෙතත් වාර්තා දෙක අතර වෙනසට හේතුව නිවැරදිව පැහැදිලි කිරීමට තරම් තොරතුරු බයිබලයේ සඳහන් වී නැහැ. ඒ වුණත් ඒ කාලයේ සිටි මිනිසුන් වේලාව ගණනය කළ ආකාරය සොයා බැලීම සමහරවිට උපකාරයක් විය හැකියි.

පළමු සියවසේ යුදෙව්වන් කාලය මැන්නේ අපිට වඩා වෙනස් ක්‍රමයකටයි. ඔවුන් හිරු නැඟීම සිට හිරු බැසීම දක්වා කාලය පැය 12කට බෙදුවා. (යොහ. 11:9) ඒ අනුව ‘තුන්වෙනි පැය’ උදෑසන අටත් නවයත් අතර කාලය වුණා. ‘හයවෙනි පැය’ දහවල් 11ත් 12ත් අතර කාලයයි. නමුත් අපි මතක තබාගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. හිරු නැඟීම හා හිරු බැසීම වසර පුරාම ඍතු අනුව වෙනස් වෙනවා. ඒ නිසා දවසේ ආලෝකය පවතින කාලය වෙනස් වෙනවා. යුදෙව්වන් වේලාව තීරණය කිරීමට හිරුගේ පිහිටීම නිරීක්ෂණය කළා. මේ හේතු නිසා ඔවුන් කාලය සඳහන් කළේ ආසන්න වශයෙනුයි. යම් සිදුවීමක් වාර්තා කරද්දී තුන්වෙනි, හයවෙනි හා නවවෙනි පැයේදී “පමණ” කියා ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලේ සඳහන් කර තිබෙනවා. බොහෝවිට ඉන් අදහස් කරන්නේ ඒ ආසන්න කාලයේදී ඒවා සිදු වූ බවයි. (මතෙ. 20:3, 5; ක්‍රියා 10:3, 9, 30) නමුත් යම් සිද්ධියක් විස්තර කරද්දී කාලය නිශ්චිතව සඳහන් කිරීම අවශ්‍ය වූ විට ‘පමණ’ යන වචනය භාවිත කළේ නැහැ.—යොහ. 4:52.

යේසුස් පොළොවේ සිටි අවසාන දවසේ සිදුවීම් ගැන ශුභාරංචි පොත් හතරේ වාර්තා කර තිබෙන දේවල එකඟතාවක් තිබෙනවා. පූජකයන් හා වැඩිමහල්ලන් රැස් වුණේ උදෑසන බවත් යේසුස්ව පිලාත් වෙත රැගෙන ගියේ ඉන්පසුව බවත් ලේඛකයන් හතරදෙනාම වාර්තා කරනවා. (මතෙ. 27:1; මාක් 15:1; ලූක් 22:66; යොහ. 18:28) ඒ වගේම යේසුස් වධකණුව මත සිටි හයවෙනි පැයේ සිට “නවවෙනි පැය දක්වා” කාලය මුළු පොළොවම අන්ධකාරයෙන් වැසී තිබුණු බව මතෙව්, මාක් හා ලූක් වාර්තා කරනවා.—මතෙ. 27:45, 46; මාක් 15:33, 34; ලූක් 23:44.

යේසුස්ව වධකණුවේ ඇණ ගැසූ වේලාව කුමක්ද කියා තේරුම්ගැනීමට උපකාර විය හැකි තවත් දෙයක් සලකා බලමු. වධකණුවේ ඇණ ගැසීමේ දඬුවමට කස පහර දීමත් ඇතුළත් වුණා. කස පහර දීම සමහර අවස්ථාවලදී දරුණු වූ නිසා වරදකරුවා මිය යෑමටද ඉඩ තිබුණා. යේසුස්ට වැඩි දුරක් වධකණුව රැගෙන යන්න නොහැකි වුණේ ඔහුට ඉතා දරුණු ලෙස කසයෙන් තළා තිබූ නිසයි. (ලූක් 23:26; යොහ. 19:17) වධකණුවේ ඇණ ගැසීමේ දඬුවම ආරම්භ වන්නේ කස පහර දීමට පටන්ගත් අවස්ථාවේ සිට නම් එම අවස්ථාවේ සිට ඇණ ගසන අවස්ථාව දක්වා යම් කාලයක් ගත වෙනවා. ඒ අනුව මෙම සිද්ධිය වාර්තා කරන අය කාලය ගණනය කරන්න පටන්ගන්නේ කස පහර ගසන අවස්ථාවේ සිටද නැත්නම් ඇණ ගසන අවස්ථාවේ සිටද කියා අප සලකා බැලිය යුතුයි.

යොහන් ඔහුගේ වාර්තාව ලිව්වේ අනික් ශුභාරංචි පොත් ලියා දශක ගණනාවකට පසුවයි. ඒ නිසා එම පොත් කියවීමට යොහන්ට අවස්ථාව තිබුණා. යොහන් සඳහන් කරන කාලය මාක් සඳහන් කරන කාලයට වඩා වෙනස් බව ඇත්තයි. ඉන් පැහැදිලි වෙන්නේ යොහන්, මාක්ගේ ලියවිල්ල බලාගෙන තමාගේ ලියවිල්ල නොලියූ බවයි. යොහන් හා මාක් යන දෙදෙනාම ඔවුන්ගේ පොත් ලිව්වේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන්. ඒ නිසා වාර්තා දෙක අතර වෙනසට හේතුව නිවැරදිව පැහැදිලි කිරීමට තරම් තොරතුරු බයිබලයේ සඳහන් වී නැතත් ඔවුන් දෙදෙනා ලියූ සුවිශේෂ වාර්තා විශ්වාස කිරීමට අපට හැකියි.