Skip to content

පටුනට යන්න

මම සදහටම ආබාධිතයෙක් නෙවෙයි

මම සදහටම ආබාධිතයෙක් නෙවෙයි

මම සදහටම ආබාධිතයෙක් නෙවෙයි

සාරා වැන් ඩ මොන්ඩ්

“ඔයාගේ හිනාව හරිම ලස්සනයි. කොහොමද ඔයා ඔය තරම් සතුටෙන් ඉන්නේ” කියලා ගොඩක් අය මගෙන් අහනවා. මං එතකොට කියනවා “මම ආබාධිත බව ඇත්තයි. ඒත් හැමදාම මෙහෙම ඉන්නේ නෑ” කියලා.

මං ඉපදුණේ 1974දී ප්‍රංශයෙයි. ඉපදිලා ටික දවසකින් මට මොළේ ආබාධයක් තියෙන බව වෛද්‍යවරු සොයාගත්තා. ඒ නිසා අත පය හරියට හසුරුවන්නත් පැහැදිලිව කතා කරන්නත් බැරි වුණා. මීමැස්මොරය හැදෙන්නත් නිතර නිතර ලෙඩ වෙන්නත් පටන්ගත්තා.

මට වයස අවුරුදු දෙකේදී අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඊට අවුරුදු දෙකකට පස්සේ අම්මවයි මාවයි දාලා තාත්තා යන්න ගියා. අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් නිසා නිතරම මාව රැස්වීම්වලට අරං ගියා. එහෙදී මම දැනගත්තා යෙහෝවා දෙවි මට කොච්චර ආදරේද මං ගැන කොච්චර සැලකිලිමත්ද කියලා. අම්මත් මට හුඟක් ආදරේ නිසා අපි තනි වුණත් මට ආරක්ෂාවක් තියෙනවා කියලා මට හැඟුණා.

යෙහෝවා දෙවිට යාච්ඤා කරන විදිහත් අම්මා මට ඉගැන්නුවා. කෙනෙකුට කතා කරනවාට වඩා දෙවිට යාච්ඤා කරන එක හුඟක් ලේසියි. හිතින් කියන දේ වුණත් දෙවිට තේරෙනවා කියලා මම දන්නවා. ඒ වගේම යාච්ඤා කරද්දි වචන පැටලුණත් දෙවිට ඒවා තේරෙනවා. ඒක මට ලොකු හයියක්.—ගීතා. 65:2.

මුහුණ දුන් ගැටලු

මට අවුරුදු පහ වෙද්දී මගේ ආබාධය තවත් දරුණු වුණ නිසා විශේෂ යකඩ ආධාරකයක් පැළඳගෙනයි මට ඇවිදින්න පුළුවන් වුණේ. ඒත් ඇවිද්දෙත් බැරි බැරි ගාතෙයි. අවුරුදු 11 වෙද්දී ඇවිදින්නම බැරුව ගියා. ටික දවසකට පස්සේ විදුලි බලයෙන් ක්‍රියා කරන ආධාරකයක් නැතුව ඇඳට නඟින්නවත් ඇඳෙන් බහින්නවත් බැරි වුණා. ඒ වගේම එහා මෙහා ගියෙත් මෝටරයක් සවි කළ රෝද පුටුවකිනුයි.

මගේ ආබාධිත තත්වේ නිසා විටින් විට මම මානසිකව වැටෙනවා. එතකොට මට අම්මා නිතරම කියන දෙයක් මතක් වෙනවා. “ඔයාට කරන්න බැරි දේවල් ගැන ලත නොවී කරන්න පුළුවන් දේවල් කරන්න.” ඒ නිසා අශ්වයා පිටේ යෑම, ඔරුවක් පැදීම, කට්ටියත් එක්ක ගිහින් කූඩාරම් ගහගෙන ඉඳීම වගේ දේවල් අත්හදා බලන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වාහන නැති පාරවල වාහනයක් එළවන්නත් මම පුරුදු වුණා. ඉඳලා හිටලා ඒ දේවල් කළත් නිතරම කරන දේවලුත් තියෙනවා. චිත්‍ර ඇඳීම, මැහුම් ගෙතුම් කිරීම, පිඟන් බඩු සෑදීම වගේ දේවලුත් මං ආසාවෙන් කරනවා.

මගේ ආබාධය නිසා බුද්ධිමත් විදිහට හිතලා දෙවිට නමස්කාර කරන්න තීරණයක් ගන්න මට බැහැ කියලා සමහරු හිතුවා. එක අවස්ථාවක මට වයස අවුරුදු 18දී මගේ පාසැල් ගුරුවරිය කිව්වා අම්මගේ ආගමෙන් ගැලවෙන්න නම් ගෙදරින් ගිහින් වෙන තැනක නවතින්න කියලා. එයා මට තැනක් හොයලා දෙන්නත් හැදුවා. එතකොට මම ඇයට කෙළින්ම කිව්වා මගේ විශ්වාසය මම කවදාවත් අත්හරින්නේ නෑ කියලා. තනිවම ජීවත් වෙන්න පුළුවන් වුණහමයි ගෙදරින් යන්නේ කියලාත් මම කිව්වා.

ඊට ටික කලකට පස්සේ මම බව්තීස්ම වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වුණා. ඉන් අවුරුදු දෙකකට පස්සේ මම තට්ටු නිවාස සංකීර්ණයක පුංචි නිවසක පදිංචි වුණා. මෙහෙදී මට අවශ්‍ය උපකාර ලැබෙනවා වගේම නිදහසේ ඉන්නත් පුළුවන්.

නොසිතූ සිදුවීමක්

මාව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්න පොලඹවන දේවලුත් ඉඳලා හිටලා සිද්ධ වුණා. එක දවසක් මං වගේ ආබාධයක් තියෙන මාව අඳුරන පිරිමි ළමයෙක් මාව විවාහ කරගන්න කැමතියි කියලා කිව්වා. මුලින් මට ආසාවකුත් ඇති වුණා. මොකද විවාහ වෙලා සතුටින් ඉන්න මමත් ආසයි. ඒත් අපි දෙන්නටම එක වගේ ආබාධයන් තියෙන නිසාම අපේ පවුල් ජීවිතය සාර්ථක වෙයි කියලා සහතික වෙන්නේ කොහොමද? ඊටත් වඩා එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුත් නෙවෙයි. ඒ නිසා අපේ බලාපොරොත්තු හා විශ්වාසයන් හාත්පසින්ම වෙනස්. කලින්ම තීරණය කරලා තිබුණා දෙවිගේ කැමැත්තට අනුව මං විවාහ වෙන්නේ මගේ ආගමේ කෙනෙක් විතරයි කියලා. (1 කොරි. 7:39) ඒ නිසා මං එයාගේ යෝජනාවට කැමති නැති බව එයාගේ හිත රිද්දන්නේ නැතුව පහදලා දුන්නා.

එදා මං ගත්තේ හරි තීරණයක් කියලා මම දන්නවා. ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. ඒ වගේම මම දන්නවා අනාගතේදී පාරාදීස පොළොවේ යෙහෝවා දෙවි මගේ හැම ආශාවක්ම ඉටු කරන බව. (ගීතා. 145:16; 2 පේතෘ. 3:13) නමුත් ඒ වෙන තුරු දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නයි මගේ තීරණය. දැනට මම ඉන්න තත්වය මට ලේසි නැතත් ඉවසිලිවන්තව දරාගෙන ඉන්නවා.

මං හුඟක් ආසාවෙන් ඉන්නේ පාරාදීසය එනකම්. එදාට මට දුවන්නත් පනින්නත් පුළුවන්. මගේ ආබාධිත තත්වය සදහටම නැති වෙනවා. එදාට මම රෝද පුටුවට ආයුබෝවන් කියනවා.