Skip to content

පටුනට යන්න

සහෝදරයන්ව වගකීම් දැරීමට පුහුණු කරන්න

සහෝදරයන්ව වගකීම් දැරීමට පුහුණු කරන්න

සහෝදරයන්ව වගකීම් දැරීමට පුහුණු කරන්න

“යම් කෙනෙකුට හොඳින් උගන්වා තිබුණොත් ඒ ගෝලයා තමාගේ ගුරුවරයාට සමාන වෙයි.”—ලූක් 6:40.

1. දේවසේවකයන්ව පුහුණු කිරීමට හා සංවිධානය කිරීමට යේසුස් කළේ කුමක්ද?

යේසුස්ගේ ජීවිත කතාව ගැන වාර්තා කළ යොහන් අවසානයේදී ලිව්වේ මෙයයි. “යේසුස් කළ තවත් බොහෝ දේ ඇත. ඒ පිළිබඳ සෑම විස්තරයක්ම ලිවීමට උත්සාහ කළොත් ඒ ලියවිලි ගබඩා කිරීමට මුළු ලෝකයම ප්‍රමාණවත් නොවන බව සිතමි.” (යොහ. 21:25) යේසුස් දේවසේවයේ යෙදුණු කෙටි කාලය තුළ ඔහු කොතරම් වෙහෙස වී සේවය කළාද කියා ඉන් පැහැදිලි වෙනවා. ඒ කාලය තුළ තමන් පටන්ගත් සේවය දිගටම කරගෙන යෑම සඳහා ඔහු පුරුෂයන්ව පුහුණු කළා. ඔහු මිය යන විට කුඩා පිරිසක් පුහුණු කර තිබුණත් වැඩි කල් නොගොස් දේවසේවකයන් දහස් ගණනකින් යුත් සභාවක් බවට ඔවුන් පත් වුණා.—ක්‍රියා 2:41, 42; 4:4; 6:7.

2, 3. (අ) සභාවන්වල තිබෙන්නේ කුමන අවශ්‍යතාවද? (ආ) මේ ලිපියෙන් අපි සලකා බලන්නේ කුමක්ද?

2 ලොව පුරා සභාවන් 1,00,000කට වඩා වැඩි ගණනක සේවය කරන දේවසේවකයන්ගේ ගණන මේ වන විට ලක්ෂ 70 ඉක්මවා තිබෙනවා. එම සභාවල පෙරමුණ ගෙන සේවය කිරීමට සහෝදරයන්ගේ විශාල අවශ්‍යතාවක් තිබෙනවා. උදාහරණයකට සභාවන් රැකබලා ගැනීමට තව බොහෝ වැඩිමහල්ලන් අවශ්‍යයි. සභාව වෙනුවෙන් වැඩි සේවයක් කිරීමට ‘වෑයම් කරමින්’ සිටින සහෝදරයන් ඇත්තටම ‘කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීමටයි.’—1 තිමෝ. 3:1.

3 අධ්‍යාපනය, පළපුරුද්ද හා කුසලතා සභාවේ වගකීම් දැරීමට අවශ්‍ය සුදුසුකම් නොවුණත් වගකීම් දැරීමට පෙර යම් දේවල් කළ යුතුයි. බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් විය යුතුයි. එසේනම් සහෝදරයන්ට සත්‍යය තුළ දියුණුවක් ලැබීමට හා සුදුසුකම් අත් කරගැනීමට උපකාර කරන්න අපට පුළුවන් කොහොමද? යේසුස් පැවසුවේ “යම් කෙනෙකුට හොඳින් උගන්වා තිබුණොත් ඒ ගෝලයා තමාගේ ගුරුවරයාට සමාන වෙයි” කියායි. (ලූක් 6:40) යේසුස් තම ගෝලයන්ව පුහුණු කළ ආකාරය ගැනත් එයින් අපට ඉගෙනගත හැකි දේ ගැනත් මේ ලිපියෙන් අපි සලකා බලමු.

“මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි”

4. යේසුස් ඔහුගේ ගෝලයන්ට හොඳ මිතුරෙක් වුණේ කොහොමද?

4 යේසුස් ඔහුගේ ගෝලයන්ව සැලකුවේ මිතුරන් ලෙසයි. ඔහු ඔවුන්ව පහත් කොට සැලකුවේ නැහැ. ඔවුන් සමඟ කාලය ගත කරන්නත් කැමති වුණා. එමෙන්ම ඔවුන්ව විශ්වාස කළ ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. ‘මගේ පියාණන් මට කියා දුන් සෑම දෙයක්ම මම ඔබට කියා දුන්නා.’ (යොහන් 15:15 කියවන්න.) උදාහරණයකට, “ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද” කියා ඔවුන් ඇසූ ප්‍රශ්නයට යේසුස් කිසිවක් නොසඟවා පිළිතුරු දුන් විට ඔවුන් කෙතරම් සතුටු වෙන්න ඇද්ද? (මතෙ. 24:3, 4) එමෙන්ම තමන්ට හැඟෙන ආකාරය ගෝලයන් දැනගන්නවාට කැමති වූ යේසුස් තමාව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී පේතෘස්, යාකොබ් හා යොහන් සමඟ යාච්ඤා කිරීම සඳහා ගෙත්සෙමන උයනට ගියා. යේසුස් කළ යාච්ඤාව ඒ තිදෙනාට ඇසුණේ නැතත් ඔහු කොතරම් වේදනාවකින් සිටිනවාද කියා ඔවුන්ට තේරුණා. (මාක් 14:33-38) තවත් අවස්ථාවකදී, ඔවුන් ඉදිරියේදී “ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස්” වූ විට බියට පත් වූ ඔවුන්ව ඔහු ධෛර්යවත් කළා. (මාක් 9:2-8; 2 පේතෘ. 1:16-18) යේසුස් හා ගෝලයන් අතර තිබූ සමීප මිත්‍රත්වය නොකඩවා ශුභාරංචිය දේශනා කිරීමට ඔවුන්ට උපකාරයක් වුණා.

5. අන් අයට උපකාර කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

5 යේසුස් මෙන් අද සිටින වැඩිමහල්ලන්ද සභාවේ සහෝදර සහෝදරියන්ට උපකාර කරනවා. ඔවුන්ව මිත්‍රයන් ලෙස සලකන්න ඔවුන් කැමතියි. වැඩිමහල්ලන් ඔවුන්ට ප්‍රේම කරනවා. ඔවුන් කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වනවා. සමහර දේවල් ගැන වැඩිමහල්ලන් ඔවුන් සමඟ කතා නොකළත් බයිබලයෙන් තමන් ඉගෙනගන්නා දේවල් ගැන ඔවුන් සමඟ කතා කරනවා. වැඩිමහල්ලන් සභාවේ සහෝදරයන්ව විශ්වාස කරනවා. සභාවේ සිටින වයසින් අඩු සහායක සේවකයන්ට වඩා තමන් උසස් කියා ඔවුන් සිතන්නේ නැහැ. එම සහායක සේවකයන් සත්‍යය තුළ දියුණුවක් ලබා තිබෙන බවත් ඔවුන්ට තවත් දියුණු විය හැකි බවත් වැඩිමහල්ලන් තේරුම්ගන්නවා. එම පුරුෂයන්ද යෙහෝවා දෙවිට ප්‍රේම කරන අතර සභාව රැකබලා ගැනීමට දායක වෙන බව වැඩිමහල්ලන් තේරුම්ගන්නවා.

‘ඔබට අනුගමනය කරන්න මම ආදර්ශයක් තැබුවා’

6, 7. යේසුස් තම ගෝලයන්ට ආදර්ශයක් තැබුවේ කෙසේද? එය ඔවුන්ට උපකාර වුණේ කොහොමද?

6 යේසුස්ගේ ගෝලයන් දේවවචනයට ඇලුම් කළත් ඔවුන් හැදී වැඩුණු පරිසරය හා ඔවුන් ඉගෙනගෙන තිබුණු දේවල් ඔවුන්ගේ සිතුවිලිවලට බලපෑවා. (මතෙ. 19:9, 10; ලූක් 9:46-48; යොහ. 4:27) නමුත් ඔහු ඔවුන්ව විවේචනය කළේ හෝ ඔවුන් සමඟ කෝප වුණේ නැහැ. ඒ වගේම ඔවුන්ට කළ නොහැකි දේවල් කිරීමට ඔහු ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණෙත් නැහැ. ඔහු කරන්න අකමැති දෙයක් කිරීමට ඔහු ගෝලයන්ට කිසිවිටක පැවසුවෙත් නැහැ. ඒ වෙනුවට ඔහු තම ආදර්ශයෙන් ඔවුන්ට ඉගැන්නුවා.—යොහන් 13:15 කියවන්න.

7 යේසුස් ඔහුගේ ගෝලයන්ට ආදර්ශයක් තැබුවේ කෙසේද? (1 පේතෘ. 2:21) අන් අයට සේවය කිරීමට කාලය ඉතුරු කරගැනීම සඳහා ඔහු සරල ජීවිතයක් ගත කළා. (ලූක් 9:58) ඔහු අන් අයට ඉගැන්නුවේ දෙවිගෙන් ඉගෙනගෙන තිබූ දේවල් මිස ඔහුගේම අදහස් නොවෙයි. (යොහ. 5:19; 17:14, 17) ඔහු කාරුණික කෙනෙක් වූ නිසා ඔහු සමඟ කතා කිරීමට අන් අයට පහසු වුණා. ඔහුගේ ක්‍රියාකලාපයෙන් ඔහු අන් අයට ප්‍රේම කරන බව පැහැදිලි වුණා. (මතෙ. 19:13-15; යොහ. 15:12) යේසුස්ගේ ආදර්ශය ගෝලයන්ට උපකාරවත් වුණා. උදාහරණයකට, යාකොබ්ව මරණයට පත් කරන තෙක්ම ධෛර්යවත්ව සිටීමට ඔහුට හැකි වුණේ යේසුස් තැබූ ආදර්ශය නිසයි. (ක්‍රියා 12:1, 2) ඒ වගේම යොහන්ට වසර 60කට වඩා වැඩි කාලයක් විශ්වාසවන්තව දෙවිට සේවය කිරීමට ශක්තිය ලැබුණෙත් ඒ ආදර්ශය නිසයි.—එළි. 1:1, 2, 9.

8. තමන්ට වඩා වයසින් අඩු පුරුෂයන්ට හා අන් අයට හොඳ ආදර්ශයක් වෙන්න වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?

8 යටහත්පහත් වීමෙන්, ප්‍රේමය පෙන්වීමෙන් හා අන් අයට උපකාර කිරීමට තම කාලය හා ශක්තිය වැය කිරීමෙන් තමන්ට වඩා වයසින් අඩු පුරුෂයන්ට ආදර්ශයක් වීමට වැඩිමහල්ලන්ට හැකියි. (1 පේතෘ. 5:2, 3) වැඩිමහල්ලන් තමන් උගන්වන ආකාරයෙන්, ජීවත් වන විදිහෙන් හා දේශනා කරන ආකාරයෙන් ආදර්ශයක් තබනවා නම් අන් අයට එය අනුගමනය කළ හැකියි.—හෙබ්‍රෙ. 13:7.

උපදෙස් දී දේශනා කිරීමට පිටත් කළා

9. දේශනා සේවය සඳහා යේසුස් තම ගෝලයන්ව පුහුණු කළ බව අපි දන්නේ කොහොමද?

9 වසර දෙකක් පමණ දේශනා කිරීමෙන් පසු යේසුස් තම නියෝජිතයන් දොළොස්දෙනාව දේශනා කිරීමට පිටත් කර යැව්වේ අවශ්‍ය උපදෙස් ලබා දුන් පසුවයි. (මතෙ. 10:5-14) තවත් අවස්ථාවක ආහාර ස්වල්පයකින් දහස් ගණනකට කන්න දීමට පෙර සෑම දෙයක්ම පිළිවෙළකට කිරීම සඳහා යේසුස් තම ගෝලයන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. (ලූක් 9:12-17) යේසුස් තම ගෝලයන්ව පුහුණු කළේ ඔවුන් කළ යුත්තේ මොකක්ද එය කරන්නේ කොහොමද කියා නිශ්චිතව පැවසීමෙනුයි. ලැබූ එම පුහුණුව හා දෙවිගේ බලයේ උපකාරය නිසා ක්‍රිස්තු වර්ෂ 33න් පසුවත් දැවැන්ත සේවයක් කිරීමට ගෝලයන් සංවිධානය වුණා.

10, 11. අන් අයට සේවය කිරීම සඳහා පුරුෂයන්ව පුහුණු කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

10 අපි කෙනෙකු සමඟ බයිබලය පාඩම් කරද්දී ඔහුට උගන්වන්න පටන්ගන්නවා. සමහරවිට ඔහුට හොඳින් කියවීමට උගන්වන්නත් සිදු විය හැකියි. දිගටම ඔහු සමඟ පාඩම් කරද්දී අපි වෙනත් ආකාරවලිනුත් ඔහුට උපකාර කරනවා. ඔහු රැස්වීම්වලට පැමිණීමට පටන්ගනිද්දී සේවා පාසැලට සහභාගි වීමට හා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වීමට කළ යුතු දේ ගැන ඉගෙනගන්නවා. ඔහු බව්තීස්ම වූ පසු සහෝදරයන් ඔහුව වෙනත් පැතිවලින්ද පුහුණු කරනවා. උදාහරණයකට, නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කිරීමට ඔහුව පුහුණු කරන්න ඔවුන්ට හැකියි. එමෙන්ම සහායක සේවකයෙකු වීම සඳහා කළ යුතු දේ තේරුම්ගැනීමට උපකාර කරන්නත් වැඩිමහල්ලන්ට හැකියි.

11 බව්තීස්ම ලත් සහෝදරයෙකුට වගකීමක් දුන් විට එම කාර්යය කළ යුතු ආකාරය පැහැදිලි කර ඉන්පසු එය කරන ආකාරයත් වැඩිමහල්ලන් ඔහුට පෙන්වයි. ඔහුට එම කාර්යය කිරීමට අමාරු වුණොත් ඔහුට එය කළ නොහැකියි කියා ඉක්මන් වී තීරණය කරන්නේ නැහැ. ඒ වෙනුවට එය කාරුණිකව නැවතත් පෙන්වා දෙයි. සභාවේ අන් අයට සේවය කිරීමෙන් ප්‍රීතියක් ලැබෙන බව වැඩිමහල්ලන් දන්න නිසා වගකීම් දැරීමට සහෝදරයන්ව පුහුණු කිරීමෙන් ඔවුන් සතුටක් ලබනවා.—ක්‍රියා 20:35.

“උපදෙස්වලට සවන් දෙන්නා ප්‍රඥාවන්තයෙකි”

12. යේසුස් ලබා දුන් උපදෙස් ප්‍රයෝජනවත් වුණේ ඇයි?

12 යේසුස් තම ගෝලයන්ට උපදෙස් දුන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවට අනුවයි. උදාහරණයකට සමරිතානුවරුන්ව විනාශ කිරීමට ස්වර්ගයෙන් ගින්නක් එවන්නද කියා යාකොබ් හා යොහන් ඇසූ විට එසේ කිරීම කොතරම් වැරදිද කියා යේසුස් ඔවුන්ට අවවාද කළා. (ලූක් 9:52-55) තවත් අවස්ථාවක තම පුතුන්ට ස්වර්ග රාජ්‍යයේ උසස් තනතුරු ලබාගැනීමට අවස්ථාවක් ලබා දෙන්න කියා යාකොබ්ගේ හා යොහන්ගේ මව යේසුස්ගෙන් ඉල්ලීමක් කළා. නමුත් ඒ තනතුරු ඕනෑ වුණේ යාකොබ්ට හා යොහන්ට බව දැන සිටි යේසුස් ඔවුන්ට මෙසේ කිව්වා. “මගේ දකුණු පැත්තේද මගේ වම් පැත්තේද ඉඳගන්න ලැබීමේ වරප්‍රසාදය ලබා දෙන්නේ කාටද කියා තීරණය කරන්න මට අයිතියක් නැහැ. එය හිමි වන්නේ මගේ පියාණන් ඒ සඳහා සූදානම් කර තිබෙන අයටයි.” (මතෙ. 20:20-23) යේසුස් සැමවිටම දේවවචනය පදනම් කරගෙන පැහැදිලි උපදෙස් ලබා දුන්නා. ගෝලයන්ට එහි ඇති ප්‍රතිපත්තිය තේරුම්ගැනීමට උපකාර කළා. (මතෙ. 17:24-27) තම ගෝලයන් අසම්පූර්ණ අය බව සැමවිටම මතකයේ තබාගත් යේසුස් ඔවුන්ට කරන්න බැරි සමහර දේවල්ද තිබෙන බව තේරුම්ගත්තා. ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේ ඉතා ප්‍රේමණීයවයි.—යොහ. 13:1.

13, 14. (අ) උපදෙස් අවශ්‍ය කාටද? (ආ) වැඩිමහල්ලෙක් සහෝදරයෙකුට උපදෙස් ලබා දිය යුත්තේ මොන වගේ අවස්ථාවලදීද?

13 සභාවේ සිටින අයට උපකාර කිරීමට කැමති ඕනෑම සහෝදරයෙකුට යම් දිනක බයිබලයේ උපදෙස් අවශ්‍ය වෙනවා. හිතෝපදේශ 12:15හි පවසන්නේ මෙසේයි. “උපදෙස්වලට සවන් දෙන්නා ප්‍රඥාවන්තයෙකි.” එක් සහෝදරයෙක් සිතුවේ වගකීම් දැරීමට ඔහු සුදුසු නැහැ කියායි. නමුත් වගකීම් දැරීමට අපි පරිපූර්ණ අය විය යුතු නැහැ කියා වැඩිමහල්ලෙක් කාරුණිකව ඔහුට පැහැදිලි කළා.

14 යම් සහෝදරයෙකුගේ හැසිරීම හා ආකල්ප ඔහුගේ දියුණුවට බාධාවක් බව දුටුවොත් මෘදුකමින් යුතුව ඔහුව නිවැරදි කිරීමට වැඩිමහල්ලන් උත්සාහ කළ යුතුයි. (ගලා. 6:1) උදාහරණයකට වෙහෙසී වැඩ කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන සහෝදරයෙකුට යේසුස් වෙහෙස මහන්සි වී උද්‍යෝගයෙන් කළ සේවය ආදර්ශයට ගන්න කියා දිරිගන්වන්න වැඩිමහල්ලන්ට පුළුවන්. (මතෙ. 28:19, 20; ලූක් 8:1) තමා අනිත් අයට වඩා උසස් කියා සිතීමට නැඹුරුවාවක් ඇති සහෝදරයෙකු සිටිනවා නම් එසේ සිතීමේ ඇති අනතුර ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට කී දේ යොදාගෙන උපදෙස් දෙන්න වැඩිමහල්ලන්ට හැකියි. (ලූක් 22:24-27) අනිත් අයගේ වැරදිවලට සමාව දීමට පසුබට වන කෙනෙක් සිටිනවා නම් තමාට සමාව ලැබුණත් අන් අයට සමාව දීමට අදිමදි කළ දාසයාගේ උපමාව යොදාගෙන ඔහුට උපකාර කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්. (මතෙ. 18:21-35) සහෝදරයෙකුට යම් උපදෙස් අවශ්‍ය නම් කල් නොදමා එසේ කිරීමට වැඩිමහල්ලන් වග බලා ගත යුතුයි.—හිතෝපදේශ 27:9 කියන්න.

“පුහුණු වන්න”

15. සහෝදරයෙකුට උපකාර කිරීමට ඔහුගේ පවුලේ අයට හැක්කේ කෙසේද?

15 සහෝදරයෙක් සභාවේ වගකීම් දැරීමට උත්සාහ කරන විට ඔහුට පවුලේ අයගෙන් ලැබෙන උපකාරය බොහෝ සේ වටිනවා. දැනටමත් වැඩිමහල්ලෙකුව සිටින කෙනෙක් නම් සභාවේ කටයුතු සඳහා ඔහු යම් කාලයක් හා ශක්තියක් වැය කළ යුතුයි කියා ඔහුගේ බිරිඳ හා දරුවන් තේරුම්ගන්නවා. එම වගකීම් සාර්ථකව ඉටු කිරීමට ඔවුන් දෙන සහයෝගය ඔහුට මහත් උපකාරයක්. එවිට තම වගකීම් ප්‍රීතියෙන් ඉටු කිරීමට ඔහුට හැකි වෙනවා. වැඩිමහල්ලන්ගේ පවුල්වල සාමාජිකයෙනි, ඔබ කරන කැප කිරීම් අප බොහෝ සෙයින් අගය කරනවා.—හිතෝ. 15:20; 31:10, 23.

16. (අ) අන් අයට සේවය කිරීමේ ආශාවක් තිබිය යුත්තේ කාටද? (ආ) සහායක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් වීමට ආශාවක් ඇති කෙනෙක් කළ යුත්තේ කුමක්ද?

16 සහායක සේවකයෙකු හෝ වැඩිමහල්ලෙකු වීමට සහෝදරයෙකුට අන් අයගේ උපකාරය බොහෝ සේ වටිනවා වුණත් ඒ සහෝදරයා තුළම ඒ සඳහා ආශාවක් තිබිය යුතුයි. (ගලාති 6:5 කියවන්න.) අන් අයට උපකාර කරන්න හා දේවසේවය හොඳින් ඉටු කරන්න කෙනෙක් සහායක සේවකයෙකු හෝ වැඩිමහල්ලෙකු වීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් සහායක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් වීමට ආශාවක් තිබෙනවා නම් ඔහු ඒ සඳහා සුදුසුකම් අත් කරගත යුතුයි. ඔහු මොන වගේ කෙනෙක් විය යුතුද කියා බයිබලයේ පැහැදිලි කර තිබෙනවා. (1 තිමෝ. 3:1-13; තීත. 1:5-9; 1 පේතෘ. 5:1-3) ඔහු මේ දේවල් ගැනත් හොඳින් සිතා බැලිය යුතුයි. නිතිපතා බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම, බයිබලයේ තිබෙන දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීම, යාච්ඤා කිරීම හා දේශනා සේවයේ උද්‍යෝගයෙන් යෙදීම අත්‍යවශ්‍යයි. ඔහු එසේ කරනවා නම් ‘දෙවි සඳහා ඔහුට තිබෙන භක්තිය වැඩි කරගැනීමේ අරමුණින් ඔහු පුහුණු වෙනවා’ කියා පැවසිය හැකියි.—1 තිමෝ. 4:7.

17, 18. සහෝදරයෙකුට තමන් වටින්නේ නැහැ කියා හැඟෙනවා නම් හෝ සභාවට සේවය කිරීමට ආශාවක් නැත්නම් කුමක් කළ හැකිද?

17 සහායක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් ලෙස සේවය කිරීමට තරම් තමන් වටින්නේ නැහැ කියා කෙනෙකුට හැඟෙනවා නම් යෙහෝවා දෙවි හා යේසුස් උපකාර කිරීමට සූදානමින් සිටින බව ඔහුට මතක් කර දෙන්න. යෙහෝවා දෙවි “දිනපතා අපේ බර උසුලාගෙන” යන බවට පොරොන්දු වී තිබෙනවා. (ගීතා. 68:19) ඒ වගේම සභාවන් රැකබලා ගැනීමට සහායක සේවකයන්ගේ හා වැඩිමහල්ලන්ගේ විශාල අවශ්‍යතාවක් තිබෙන බවත් මතක් කර දෙන්න. අනික් අතට දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කිරීමෙන් තමා තුළ ඇති බිය සැක දුරු කරගැනීමටත් ඔහුට හැකියි. (ලූක් 11:13; ගලා. 5:22, 23) එසේ පරාර්ථකාමි ලෙස අන් අයට සේවය කිරීමට වෑයම් කරන අයට යෙහෝවා දෙවි උපකාර කරන බව නිසැකයි.

18 සභාවට සේවය කිරීමට ආශාවක් සහෝදරයෙක් තුළ නැත්නම් ඔහුට කුමක් උපකාර වෙයිද? පාවුල් පැවසුවේ මෙසේයි. “ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය. ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.” (ෆිලි. 2:13) අන් අයට සේවය කිරීමටත් දෙවිගේ කැමැත්ත කිරීමටත් කෙනෙක් තුළ ආශාවක් ඇති කරන්නේ යෙහෝවා දෙවියි. (ෆිලි. 4:13) එමනිසා හරි දේ කිරීමට උපකාර ඉල්ලා යාච්ඤා කරන්න ඔහුට හැකියි.—ගීතා. 25:4, 5.

19. ‘එඬේරුන් සත්දෙනෙකුව හා අධිපතීන් අටදෙනෙකුව පත් කරන’ බව පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

19 අන් අයව පුහුණු කරන වැඩිමහල්ලන්ගේ වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා. සභාවේ අන් අයට සේවය කිරීමට ආශාවක් දක්වන සහෝදරයන්ටත් ඔහු ආශීර්වාද කරනවා. සභාවන් රැකබලා ගැනීමට ප්‍රමාණවත් ලෙස සහෝදරයන් ලබා දෙන බවට දෙවි පොරොන්දු වෙනවා. ඒ ගැන මීකා 5:5හි පවසන්නේ මෙසේයි. “එඬේරුන් සත්දෙනෙකුව පත් කරන්නෙමු. අධිපතීන් අටදෙනෙකුව පත් කරන්නෙමු.” අන් අයට සේවය කිරීමට කැමති නිහතමානී සහෝදරයන් බොහෝදෙනෙක් අද සිටින අතර දැනටමත් ඔවුන්ට පුහුණුව ලැබී තිබෙනවා. මෙය යෙහෝවා දෙවිගේ ගෞරවයටත් ඔහුගේ ආශීර්වාද බහුලව ලැබීමටත් හේතුවක් වී තිබෙනවා.

ඔබේ පිළිතුර කුමක්ද?

• වගකීම් දැරීමට යේසුස් ගෝලයන්ව පුහුණු කළේ කුමන ආකාරයෙන්ද?

• සභාවේ අන් අයට සේවය කරන විට වැඩිමහල්ලන්ට යේසුස්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

• සභාවට සේවය කිරීම සඳහා කෙනෙකුට උපකාර කිරීමට ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හැක්කේ කෙසේද?

• සභාවට සේවය කිරීමට ආශාවක් ඇති කෙනෙක් කළ යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[31වන පිටුවේ පින්තූර]

බයිබල් ශිෂ්‍යයෙක් දියුණුවක් ලබමින් සිටින විට ඔහුව පුහුණු කළ හැක්කේ කෙසේද?

[32වන පිටුවේ පින්තූරය]

වගකීම් දැරීමට වෑයම් කරන බව පෙන්වන්න පුරුෂයෙකුට පුළුවන් කොහොමද?