Skip to content

පටුනට යන්න

සැබෑ නමස්කාරය වෙනුවෙන් සටන් කළ යේහු

සැබෑ නමස්කාරය වෙනුවෙන් සටන් කළ යේහු

සැබෑ නමස්කාරය වෙනුවෙන් සටන් කළ යේහු

සැබෑ නමස්කාරය රැකගැනීමට යේහු නිර්භීතව කටයුතු කළා. ඔහුට දෙවිගෙන් පැවරුමක් ලැබුණු විට ඔහු එය වහාම ක්‍රියාත්මක කළා. එය අවසන් කරන තෙක්ම ඔහු පසු බැස්සේ නැහැ. යේහුගේ ආදර්ශයෙන් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. දැන් අපි ඒ ගැන සලකා බලමු.

ඒ කාලයේ ඊශ්‍රායෙලයේ රජකම් කළේ යෙහෝරම් රජයි. ඒ වන විට ඔහුගේ පියා වූ ආහබ් මිය ගොස් තිබූ අතර මුළු ඊශ්‍රායෙලයම ඔහුගේ මව වූ යෙසබෙල්ගේ බලපෑමට හසු වී තිබුණා. යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ජනයාව දිරිගන්වනවා වෙනුවට බාල් නමස්කාරයේ යෙදෙන්න ඇය ඔවුන්ව පෙලඹෙව්වා. ඇය දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දැමූ අතර ‘වේශ්‍යාකමෙන් හා මන්ත්‍ර ගුරුකම්වලින්’ මුළු දේශයම පිරෙව්වා. (2 රාජා. 9:22; 1 රාජා. 18:4, 13) ඒ නිසා ආහබ්ගේ පවුලේ සියලුදෙනාව විනාශ කිරීමට දෙවි තීරණය කළා. ඒ සඳහා දෙවි තෝරාගත්තේ යේහුවයි.

බයිබලයේ මුල් වතාවට යේහු ගැන සඳහන් කරන්නේ ඔහු ඊශ්‍රායෙලයේ හමුදාපති ලෙස සිරියාවට විරුද්ධව රාමොත්-ගිලියද්හි සටන් කරමින් සිටි අවස්ථාවේදියි. ඒ අවස්ථාවේදී යේහුව ඊශ්‍රායෙල්හි රජ ලෙස අභිෂේක කිරීමටත් දෙවිව ප්‍රතික්ෂේප කළ ආහබ්ගේ පවුලේ සියලුම පිරිමින්ව සහමුලින්ම විනාශ කර දැමීමට උපදෙස් දීමටත් අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෙකුව එලීෂා එහි යැව්වා.—2 රාජා. 8:28; 9:1-10.

අනිකුත් හමුදා නිලධාරීන් ඒ ගැන යේහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු මුලින්ම කිසිවක් පැවසුවේ නැහැ. නමුත් ඔවුන්ගේ බල කිරීම නිසා යේහු සියල්ල හෙළි කළා. එවිට ඒ නිලධාරීන් යේහු සමඟ එකතු වී යෙහෝරම්ව මරා දැමීමට කුමන්ත්‍රණය කළා. (2 රාජා. 9:11-14) පෙනෙන විදිහට ඒ වන විටත් බොහෝ හමුදා නිලධාරීන් සිටියේ යෙසබෙල් ඇතුළු මුළු රජ පවුල සමඟ දැඩි අමනාපයකින්. කොහොමවුණත් යේහු ඊළඟ පියවර හොඳින් සැලසුම් කළා.

යෙහෝරම් රජ සටනේදී තුවාල ලබා නැවත සුව වන තුරු යෙෂ්‍රෙයෙල් නුවරට ගොස් තිබුණා. තමන්ගේ සැලසුම අකුරටම ක්‍රියාත්මක කරන්න නම් ඒ ගැන වචනයක්වත් රජුගේ කනට වැටෙන්න හොඳ නැති බව යේහු තේරුම්ගත්තා. හමුදාවේ පිරිසක් රජුට පක්ෂව සිටින බව දැන සිටි යේහු ‘යෙෂ්‍රෙයෙල් නුවරේ සිටින අය මේ කාරණය ගැන දැනගත යුතු නැහැ. කාටවත් නුවරින් පිටතට ගිහින් එය දැනුම් දෙන්න ඉඩ තියන්න එපා’ කියා පැවසුවා.—2 රාජා. 9:14, 15.

යේහු නිර්භීතව ක්‍රියා කළා

තමාගේ සැලසුමට විරුද්ධව කිසි දෙයක් කිරීමට යෙහෝරම්ට ඉඩක් නොලැබෙන ආකාරයට යේහු වහාම ක්‍රියාත්මක වුණා. ඔහු රාමොත්-ගිලියද් සිට යෙෂ්‍රෙයෙල් දක්වා ඉතා වේගයෙන් තම අශ්ව රථය පදවාගෙන ගියා. එය කිලෝමීටර් 72ක ගමනක්. යේහු යෙෂ්‍රෙයෙල් වෙත ළඟා වන විට මුරපළේ සිටි මුරකරු ‘ඔහුගේ විශාල සේනාව පැමිණෙනවා’ දුටුවා. (2 රාජා. 9:17) ඔහු එතරම් පිරිසක් සමඟ පැමිණියේ තම අරමුණ කෙසේ හෝ ඉටු කරගැනීමටයි.

පැමිණෙන රථ පෙළ දෙස බලා ඉන් එකක් පදවන්නේ යේහු බව රථය පදවාගෙන එන විදිහෙන් හඳුනාගත් මුරකරු ‘ඔහු අශ්ව රථය පදවන්නේ හරිම වේගයෙන්’ කියා පැවසුවා. (2 රාජා. 9:20) යේහු තම පැවරුම ඉටු කරන්න මොන තරම් වේගයෙන් රථය පදවන්න ඇද්ද කියා සිතන්න!

යෙහෝරම් රජු යේහුව මුණගැසීමට පණිවිඩකරුවන් දෙදෙනෙකු යැව්වා. නමුත් යේහු ඔවුන් සමඟ වචනයක්වත් කතා කළේ නැහැ. එවිට යෙහෝරම් හා යූදාහි රජු වූ අහසියා ඔහුව මුණගැසීමට අශ්ව රථ දෙකකින් ගියා. “යේහු, ඔබ අපේ මිත්‍රයෙක් නේද” කියා යෙහෝරම් අසද්දී යේහු පැවසුවේ “ඔබේ මව වන යෙසබෙල් මේ තරම් වේශ්‍යාකම් හා මන්ත්‍ර ගුරුකම් කරද්දී මම කොහොමද ඔබ සමඟ මිතුරුකම් පවත්වන්නේ” කියායි. ඒ වචනවලින් තැති ගත් යෙහෝරම් එතැනින් පලා යද්දී වහා ක්‍රියාත්මක වූ යේහු දුන්නක් ගෙන යෙහෝරම්ට ඊතලයක් විද්දා. ඊතලය ඔහුගේ හදවත පසාරු කරගෙන ගොස් ඔහු රථය තුළදීම මිය ගියා. අහසියා එම අවස්ථාවේදී පලා ගියත් පසුව යේහුගේ පිරිස ඔහුව ලුහුබැඳ ඔහුවත් මරා දැමුවා.—2 රාජා. 9:22-24, 27.

යේහුගේ ඊළඟ පියවර වුණේ ආහබ්ගේ බිරිඳ වූ දුෂ්ට යෙසබෙල් රැජිණව මරා දැමීමයි. යේහු යෙසබෙල්ව හැඳින්නුවේ “ශාප ලත් තැනැත්තියක්” කියායි. ඔහු යෙෂ්‍රෙයෙල් නගරයට පැමිණි විට මාලිගාවේ ජනේලයෙන් පිටත බලමින් සිටි යෙසබෙල්ව දැක ඇයව ජනේලයෙන් එළියට තල්ලු කරන්න කියා එහි සිටි නිලධාරීන්ට අණ කළා. ඉන්පසු ඔහුගේ අශ්වයන් යෙසබෙල්ව පාගා දැමුවා. යේහු එතැනින් පිට වී ආහබ්ගේ පවුලේ ඉතුරු අයවත් මරා දැමුවා.—2 රාජා. 9:30-34; 10:1-14.

අපි මතක තබාගත යුතු කාරණය වන්නේ ඒ කාලයේදී සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවි තම විනිශ්චය ඉටු කිරීමට විවිධ අයව පත් කළ බවයි. යේහු ඉන් එක්කෙනෙක්. ඔහු ගැන බයිබලයේ මෙසේ පවසනවා. “දෙවි මෙම අවස්ථාව අහසියාව විනාශ කර දැමීමට යොදාගත්තේය. මන්ද යෙහෝවා දෙවි නිම්ෂිගේ මුනුපුරා වූ යේහුව අභිෂේක කර තිබුණේ ආහබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටය.” (2 ලේක. 22:7) නාබොත්ව මරා දැමීම ගැන ආහබ්ට යෙහෝවා දෙවි පැවසූ දේ ඉටු වූ බව යෙහෝරම්ව මරා දැමූ අවස්ථාවේදී යේහු තේරුම්ගත්තා. ‘දෙවිගේ සේවකයන්ගේ ලේ වැගිරවූ යෙසබෙල්ට දඬුවම් කරන්න’ දෙවි පත් කළෙත් යේහුවයි.—2 රාජා. 9:7, 25, 26; 1 රාජා. 21:17-19.

අද දින දෙවි තම විනිශ්චය ඉටු කිරීමට දෙවිගේ සේවකයන්ව පත් කර නැහැ. ඒ නිසා සැබෑ නමස්කාරයට විරුද්ධ වෙන අය සමඟ දෙවිගේ සේවකයන් සටන් කරන්නේ නැහැ. (හෙබ්‍රෙ. 10:30) නමුත් සභාවට හානියක් විය හැකි ආකල්ප හෝ පුද්ගලයන්ව ඉවත් කිරීමට සභාවේ සිටින වැඩිමහල්ලන් යේහු මෙන් නිර්භීතව කටයුතු කළ යුතුයි. (1 කොරි. 5:9-13) ඒ වගේම සභාවේ සිටින සියලුදෙනාම සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ අයව ඇසුරු කිරීමෙන් වැළකී සිටිය යුතුයි.—2 යොහ. 9-11.

යෙහෝවා දෙවිට විරුද්ධව කළ ද්‍රෝහිකම් ඉවසුවේ නැහැ

සැබෑ නමස්කාරය සඳහා යේහුට තිබූ ආකල්පය ඔහු යෙහොනාදාබ්ට පැවසූ දෙයින් හෙළි වෙනවා. “දැන් ඔබ මා සමඟ එන්න. යෙහෝවා දෙවිට විරුද්ධව කරන මේ ද්‍රෝහිකම්වලට මම තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ.” එම ආරාධනය පිළිගත් යෙහොනාදාබ් යේහුගේ රථයට නැඟ සමාරියට ගියා. යේහුගේ අරමුණ වුණේ ‘බාල්ට නමස්කාර කරන සියලුදෙනාව විනාශ කර දැමීමයි.’—2 රාජා. 10:15-17, 19.

බාල්ට “මහා පූජාවක්” ඔප්පු කරන්න යන බව යේහු සමාරියේදී නිවේදනය කළා. (2 රාජා. 10:18, 19) එමගින් යේහුට වුවමනා කළේ බාල් නමස්කාරකයන්ව එක තැනකට රැස් කිරීමයි. එය සූක්ෂ්ම උපායක්. විශාරදයෙක් පවසන ආකාරයට “පූජාවක් යන වචනයට කෙනෙකුව ‘මරා දැමීම’ යන අදහසත් ගැබ්ව තිබෙනවා.” ඔවුන්ගෙන් එක් කෙනෙක් නෑර සියලුදෙනාව ගෙන්වාගැනීමට ඔහුට අවශ්‍ය වූ නිසා ඔහු ඒ පූජාව ඔප්පු කරන්න සැලැස්සුවේ බාල්ගේ දේවාලයෙයි. බාල් නමස්කාරකයන්ට ඇඳගැනීමට විශේෂ වස්ත්‍රයක්ද ලබා දුන්නා. ඉන්පසුව “දවන පූජාව ඔප්පු කර අවසන් වූ විගස” යේහු පත් කළ 80දෙනෙක් ඇවිත් බාල්ට නමස්කාර කරමින් සිටි සියලුදෙනා මරා දමා දේවාලයද විනාශ කර ඒ ස්ථානය වැසිකිළියක් බවට පත් කළා.—2 රාජා. 10:20-27.

යේහු බොහෝදෙනෙක් මැරූ බව ඇත්තයි. නමුත් ඔහු එය කළේ දෙවිගේ අනුමැතිය ඇතුවයි. බයිබලයේ ඔහුව විස්තර කරන්නේ නිර්භීත කෙනෙක් ලෙසයි. ඔහු යෙසබෙල්ගේ හා ඇගේ පවුලේ දරුණු පාලනයෙන් ඊශ්‍රායෙල් සෙනඟව මුදාගත්තා. ඊශ්‍රායෙලයේ ඕනෑම නායකයෙකුට එවැනි ජයග්‍රහණයක් ලබාගන්න නම් නිර්භීතකම, අධිෂ්ඨානය හා උද්‍යෝගය අවශ්‍ය වුණා. එක් බයිබල් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “යේහු කළ දෙය ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. නමුත් ඔහු පටන්ගත් කාර්යය නියම විදිහට ඉටු කර අවසන් කළා. එවැනි දැඩි පියවරක් ගත්තේ නැත්නම් බාල් නමස්කාරය සම්පූර්ණයෙන්ම නැති කරන්න ඔහුට හැකි වන්නේ නැහැ.”

යේහුගේ මෙවැනි ගුණාංග අද සිටින ක්‍රිස්තියානීන්ද වර්ධනය කරගත යුතුයි. යෙහෝවා දෙවි ප්‍රතික්ෂේප කරන යමක් කිරීමට පෙලඹීමක් ඇති වුණොත් අප කළ යුත්තේ කුමක්ද? යේහු මෙන් නොබියව කල් නොදමා ක්‍රියා කළ යුතුයි. යෙහෝවා දෙවිට විරුද්ධව කරන ද්‍රෝහිකම්වලට ඉඩ නොදීම සඳහා දැඩි පියවරක් පවා ගැනීමට සූදානම් විය යුතුයි.

යෙහෝවා දෙවි දුන් නීතියට මුළු හදවතින්ම කීකරු වීමට වගබලා ගන්න

කලින් ආදර්ශවත්ව ක්‍රියා කළ යේහු අවසානයේදී කළ දෙය අපට අනතුරු ඇඟවීමක් වෙනවා. යේහු ‘බෙතෙල් සහ දාන් නුවරෙහි රන් වස්සන් තබා එම රන් වස්සන්ට නමස්කාර කළා.’ (2 රාජා. 10:29) සැබෑ නමස්කාරය වෙනුවෙන් එතරම් උද්‍යෝගයෙන් ක්‍රියා කළ කෙනෙක් අවසානයේදී මෙවැනි ද්‍රෝහිකමක් කරන්න පෙලඹුණේ කොහොමද?

ඊශ්‍රායෙල් රාජ්‍යය හා යූදා රාජ්‍යය වෙන වෙනම පවත්වාගෙන යෑමට නම් නමස්කාර ක්‍රම පවා වෙනස් විය යුතුයි කියා සමහරවිට යේහු සිතන්න ඇති. ඒ නිසා ඔහුට කලින් සිටි ඊශ්‍රායෙල් රජවරුන් මෙන් ඔහුත් වසු නමස්කාරයට දිරි දුන්නා. නමුත් යේහුව රජ ලෙස පත් කළේ යෙහෝවා දෙවි නිසා එය යෙහෝවා දෙවිට විරුද්ධව කළ ද්‍රෝහිකමක්.

‘යේහු දෙවි යහපත් ලෙස සලකන දේවල් කළා.’ යෙහෝවා දෙවි ඒ ගැන බොහෝ සේ සතුටු වුණා. නමුත් අවසානයේදී ‘යෙහෝවා දෙවි දුන් නීතියට මුළු හදවතින්ම කීකරු වීමට යේහු වගබලා ගත්තේ නැහැ.’ (2 රාජා. 10:30, 31) මෙය කනගාටුදායක දෙයක් වුණත් මින් අපටත් පාඩමක් ඉගෙනගත හැකියි. යෙහෝවා දෙවි සමඟ ඇති අපේ මිත්‍රත්වය කවදාවත් සැහැල්ලුවට නොගනිමු. දිනපතා බයිබලය අධ්‍යයනය කිරීමෙන්, ඒ ගැන හොඳින් සිතා බැලීමෙන් හා යාච්ඤා කිරීමෙන් දෙවිට තව තවත් ළං වෙමු. යෙහෝවා දෙවිගේ නීතියට මුළු හදවතින්ම කීකරු වීමට අපේ උපරිම උත්සාහය දරමු.—1 කොරි. 10:12.

[4වන පිටුවේ කොටුව]

යේහු සැබෑ පුද්ගලයෙක්ද?

බයිබලයේ සඳහන් චරිත සැබෑද කියා සමහර විවේචකයන් ප්‍රශ්න කරනවා. ඒ නිසා යේහු කියා පුද්ගලයෙක් සිටි බවට සාක්ෂි තිබෙනවාද කියා සොයා බලමු.

පුරාණ ඇසිරියාවේ කළ කැනීම්වලින් ඊශ්‍රායෙලයේ සිටි යේහු නමැති රජෙක් ගැන සොයාගෙන තිබෙනවා. ඉන් එකක යේහු හෝ ඔහුගේ රාජ දූතයන් ඇසිරියාවේ IIIවන ෂල්මනෙසෙර් රජුට වැඳ වැටී කප්පම් ගෙවන ආකාරය පෙන්වා තිබෙනවා. එහි සටහන් කර තිබෙන්නේ මෙසේයි. ‘ඔම්රිගේ පුත් වන යේහු මට දුන් කප්පම මම භාරගත්තා. ඊට රන්, රිදී, රනින් සෑදූ මල් බඳුන්, කෝප්ප, බාල්දි, ටින් නමැති ලෝහ වර්ගය, රාජ යෂ්ටිය හා ලීයෙන් සෑදූ වටිනා භාණ්ඩ අයත්ව තිබෙනවා.’ යේහු ඔම්රිගේ පුතෙක් නොවුණත් ඔහුව “ඔම්රිගේ පුත්” ලෙස හඳුන්වන්නේ ඔහු සමාරි නගරය ගොඩනැඟූ ප්‍රසිද්ධ රජෙක් වූ ඔම්රිගෙන් පසුව රජකම් කළ නිසයි.

යේහු ඇසිරියාවේ රජුට කප්පම් ගෙව්වාද නැද්ද කියා අප හරියටම දන්නේ නැහැ. නමුත් ඇසිරියාවෙන් සොයාගත් ගල් පුවරුවක, ෂල්මනෙසෙර්ගේ පිළිරුවක හා ඇසිරියාවේ රාජකීය ලියවිල්ලක යේහුව තුන් වතාවක්ම නමින් සඳහන් කර තිබෙනවා. ඒවායින් අපට පැහැදිලි වන්නේ යේහු සැබෑ පුද්ගලයෙක් බවයි.