Skip to content

පටුනට යන්න

ෆිලිප්පියේ සහෝදරයන් මෙන් පරිත්‍යාගශීලී වෙමු

ෆිලිප්පියේ සහෝදරයන් මෙන් පරිත්‍යාගශීලී වෙමු

ෆිලිප්පියේ සහෝදරයන් මෙන් පරිත්‍යාගශීලී වෙමු

ෆිලිප්පියේ ක්‍රිස්තියානීන් සැබෑ නමස්කාරය වෙනුවෙන් පරිත්‍යාග කිරීම ගැන මුල සිටම ප්‍රසිද්ධ වී සිටියා. “මට ඔබව සිහි වන සෑම මොහොතකම මම මගේ දෙවිට ස්තුති කරමි. ඔබ සියලුදෙනා උදෙසා මා දෙවිට කන්නලව් කරන සෑම අවස්ථාවකදීම මම එසේ කරමි. මා ප්‍රීතියෙන් මගේ කන්නලව් ඔප්පු කරන අතර, ඔබ ශුභාරංචිය පිළිගත් මුල් දවසේ පටන් මේ මොහොත වන තුරු ඒ වෙනුවෙන් ඔබ කළ දේවල් ගැන දෙවිට ස්තුතිවන්ත වෙමි” කියා පාවුල් ලිව්වේ ඒ නිසයි. (ෆිලි. 1:3-5) එසේ ලියද්දී ලිදියා ඔහුටත් අන් අයටත් තම නිවසට ඇවිත් නතර වෙන්න කියා පෙරැත්ත කළ ආකාරයත් පාවුල්ගේ මතකයේ තිබෙන්න ඇති.—ක්‍රියා 16:14, 15.

ෆිලිප්පි සභාව පිහිටුවා වැඩි කලක් යන්න කලින් තෙසලෝනිකයේ සිටි සහෝදරයන්ට උපකාර කිරීමට දෙවරක් යන්න පාවුල්ට සිදු වුණා. ඒ දෙවතාවේදීම ෆිලිප්පියේ සහෝදරයන් ඔහුගේ සෑම අවශ්‍යතාවක්ම පිරිමැසුවා. ඔවුන් කිලෝමීටර් 160ක් පමණ දුරින් සිටියත් එසේ කළා. (ෆිලි. 4:15, 16) වසර කිහිපයකට පසු ෆිලිප්පියේ හා මැසිඩෝනියාවේ සිටි සහෝදරයන් “කොතරම් දුගී තත්වයක සිටියත්” යෙරුසලමේ සහෝදරයන්ට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. එවිට ෆිලිප්පියේ සහෝදරයන් ‘තමන්ට කළ හැකි දේටත් වඩා උපරිමයෙන් කළ බව’ පාවුල් පැවසුවා. ආර්ථික ප්‍රශ්න තිබුණත් ඔවුන් ‘මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේ යම් දේවල් පරිත්‍යාග කරන්න ඔවුන්ටත් අවස්ථාවක් ලබා දෙන්න’ කියායි.—2 කොරි. 8:1-4; රෝම 15:26.

සභාව පිහිටුවා වසර දහයක් පමණ ගත වී තිබුණත් එම සහෝදරයන්ගේ ත්‍යාගශීලීකම අඩු වී තිබුණේ නැහැ. පාවුල් රෝමයේ සිර භාරයේ සිටින බව ආරංචි වූ විගස ඔහුට අවශ්‍ය දේවල් ගෙන යෑමට ඔවුන් එපෆ්‍රොදිතස්ව පත් කළා. ඒ සඳහා ඔහුට කිලෝමීටර් 1,287ක දුෂ්කර ගමනක් යෑමට සිදු වුණා. එසේ කළේ සිර භාරයේ සිටියත් දිගටම ඔහුගේ පැවරුම ඉටු කිරීමට පාවුල්ට අවස්ථාව ලබා දීමටයි.—ෆිලි. 1:12-14; 2:25-30; 4:18.

දේශනා කිරීමේ හා ගෝලයන් වෙන්න උපකාර කිරීමේ කාර්යය සැබෑ ක්‍රිස්තියානීන් සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. (මතෙ. 28:19, 20) තම කාලය, ශ්‍රමය හා මුදල් පරිත්‍යාග කිරීමෙන් ඔවුන් එම කාර්යයට සහයෝගය දක්වනවා. ඊට දායක වීමට ඔබටත් හැකි ආකාරයන් පහත දැක්වෙයි.

[22, 23වන පිටුවල කොටුව]

සමහරුන් පරිත්‍යාග කිරීමට තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත සේවය සඳහා සම්මාදම්

“ලෝක ව්‍යාප්ත සේවය” යනුවෙන් සඳහන් කර ඇති සම්මාදම් පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් වෙන් කරනවා.

සෑම මසකම සභාවන් මෙම මුදල ඒ රටේ ඇති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යවනවා. ස්වේච්ඡාවෙන් මුදල් සම්මාදම් කරන්න කැමති නම් කෙළින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට එවිය හැකියි. ඔබ වෙනත් රටක ජීවත් වෙනවා නම් ඒ රටේ පිහිටි ශාඛා කාර්යාලයට යැවිය හැකියි. චෙක් පතකින් සම්මාදමක් කරනවා නම් එහි පැහැදිලිව ඉංග්‍රීසි අකුරෙන් “Watchtower Bible & Tract Society Of Lanka” කියා ලියන්න. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැකියි. ඒවා තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද එම සම්මාදම සමඟ එවිය යුතුයි.

කොන්දේසි සහිත විශ්වාස භාරය

කෙනෙක් කැමති නම් ඔහුගේ මුදල් කොන්දේසි සහිතව ලෝක ව්‍යාප්ත වැඩකටයුතු සඳහා වොච්ටවර් සමිතියට භාර දිය හැකියි. නමුත් අවශ්‍ය වූ විටෙක ඒ මුදල් නැවත ඔහුට ලබාගත හැකියි. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට කැමති නම් වොච්ටවර් සමිතියෙන් විමසන්න.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට මුදල් ප්‍රදානය කරනවාට අමතරව ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රමද තිබෙනවා. ඊට පහත සඳහන් දේවල් ඇතුළත්.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච්ටවර් සමිතිය නම් කළ හැකියි.

බැංකු ගිණුම්: රටේ පවතින නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච්ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන්න සැලැස්වීමට හෝ හැකියි.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච්ටවර් සමිතියට ප්‍රදානය කළ හැකියි.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළක් තෑග්ගක් හැටියට වොච්ටවර් සමිතියට දීමට හැකියි. අයිතිකරු කැමති නම් තමා පදිංචිව සිටින නිවස හා ඉඩම ජීවිත භුක්තිය තබාගෙන වොච්ටවර් සමිතියට පැවරීමටත් හැකියි. නිශ්චල දේපොළ පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුයි.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය කියන්නේ යමෙක් තමා සතු මුදල් හෝ සුරැකුම්, වොච්ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලැස්මක්. ඒ සඳහා ඔහුට හෝ ඔහු විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච්ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට පුළුවන්. ඒ වගේම විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියටද වොච්ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට ඉහත සඳහන් ලිපිනයට එසේත් නැත්නම් ඔබ වෙසෙන රටෙහි තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දන්වන්න පුළුවන්. එම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.