අසනීපය නිසා සතුට නැති කරගන්න එපා
අසනීපය නිසා සතුට නැති කරගන්න එපා
උදෑසන අවදි වෙන විට ඇඟ පත කඩා දාලා වගේ වේදනාවක් ඔබට දැනෙනවා කියලා හිතන්න. එතකොට ඔබට ජීවිතෙත් එපා වෙනවා කියලා සමහරවිට හිතෙයි. යෝබ්ටත් එවැනි හැඟීමක් ඇති වුණා. ඔහු කිව්වේ ‘ජීවත් වෙනවාට වඩා මාගේ දිවි කෙළවර වෙනවා නම් හොඳයි’ කියලයි. (යෝබ් 7:15) ඔබට තිබෙන්නේ දවසෙන් දෙකෙන් හොඳ වෙන්නේ නැති රෝගයක් නම් තත්වය කුමක්ද?
මෙෆිබොෂෙත් සිටියෙත් එවැනි තත්වයකයි. ඔහු දාවිත්ගේ මිතුරා වූ යොනාතාන්ගේ පුත්‍රයායි. වයස අවුරුදු පහේදී ‘වැටී ඔහුගේ පාද කොර වුණා.’ (2 සාමු. 4:4) පසුව රජුට ද්‍රෝහි වුණා කියා නැඟූ බොරු චෝදනාව නිසා හා ඉඩකඩම් අහිමි වීම නිසා ඔහු මානසිකවත් පීඩා වින්දා. ඒ සියල්ල හමුවේ ඔහු සතුට නැති කරගත්තේ නැහැ.—2 සාමු. 9:6-10; 16:1-4; 19:24-30.
ඒ සම්බන්ධයෙන් ආදර්ශයක් තැබූ තවත් කෙනෙක් පාවුල්. වරක් ඔහු පැවසුවේ “ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවකට” මුහුණ දෙන්න සිදු වී තිබෙනවා කියායි. (2 කොරි. 12:7) එම පීඩාව සමහරවිට දිගු කාලයක් පුරා පැවති රෝගයක් විය හැකියි. නැත්නම් එය යේසුස් ඔහුට දුන් පැවරුම ඉටු කරන විට ඔහුට බාධා කළ අය නිසා වින්ද මානසික පීඩනයක් විය හැකියි. කොහොමවුණත් ඔහුට දිගු කලක් පුරා වේදනා විඳින්න සිදු වුණා.—2 කොරි. 12:9, 10.
අද දින දෙවිගේ සේවකයන්ටත් බරපතළ රෝගවලට හෝ මානසික පීඩනවලට මුහුණ දෙන්න සිදු වෙනවා. උදාහරණයකට මැග්ඩලිනාට වයස අවුරුදු 18දී දරුණු රෝගයක් හැදුණා. එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉන්ද්‍රියයන්වලට හානි කරන රෝගයක්. “ඒක හැදුණාම මම හොඳටම භය වුණා. කල් යද්දී මගේ තත්වය දරුණු අතට හැරුණා. ආහාර දිරවීමේ අක්‍රමිකතාවත්, කටේ තුවාලත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නත් ඇති වුණා” කියා ඇය පැවසුවා. ඉසබෙලාගේ රෝගය ඊට වඩා වෙනස්. ඇය විඳින වේදනාව ගැන ඇය මෙසේ පැහැදිලි කළා. “පුංචි කාලේ ඉඳලා මට මානසික අවපීඩනය තියෙනවා. මම ඉක්මනින් භය වෙනවා, සමහර වෙලාවට හුස්ම හිර වෙනවා, බඩ කොර වෙනවා. ඒ වෙලාවට දැනෙන්නේ පුදුම මහන්සියක්.”
තත්වය තේරුම්ගන්න
අසනීපයක් හෝ ආබාධයක් නිසා කලකිරෙන්න ඉඩ තිබෙනවා. නමුත් සන්සුන්ව ඔබේ තත්වය ගැන කල්පනා කර බලන්න. හිතේ හැටියට දේවල් කරන්න බැරි බව පිළිගන්න. මැග්ඩලිනා ඇගේ තත්වය ගැන මෙසේ පවසනවා. “මගේ අසනීපය දිනෙන් දින දරුණු වෙනවා. සමහර වෙලාවට දැනෙන මහන්සිය නිසා ඇඳෙන් බහින්නවත් හිතෙන්නෑ. මේ තත්වය නිසා කිසි දෙයක් කලින් සැලසුම් කරන්න විදිහක් නැහැ. ඒත් ගොඩක්ම කලකිරෙන්නේ ඉස්සර වගේ දෙවිට සේවය කරන්න බැහැනේ කියලා හිතෙනකොටයි.”
ස්බීග්නියු මෙසේ පැහැදිලි කරනවා. “හන්දිපත් රුදාව නිසා මට දැන් කලින් කරපු දේවල් කරන්න බැහැ. සමහර වෙලාවට සන්ධි කොයි තරම් ඉදිමෙනවාද කියනවා නම් පුංචි වැඩක්වත් කරගන්න මට බැරි වෙනවා. එතකොට මම හොඳටම මානසිකව වැටෙනවා.”
එමෙන්ම වසර කිහිපයකට පෙර බාබ්රාට ඇගේ මොළයේ පුංචි ගෙඩියක් තියෙන බවත් එය ටිකෙන් ටික ලොකු වෙන බවත් දැනගන්න ලැබුණා. ඇය මෙසේ පවසනවා. “මගේ ඇඟ කඩා දාලා වගෙයි. කිසි වැඩක් කරන්න හිතෙන්නෑ. නිතරම හිස රදේ. එක දේකට හුඟ වෙලාවක් අවධානය දෙන්නත් අමාරුයි. මට දැන් සිද්ධ වෙලා තියෙන්නේ මගේ තත්වය තේරුම් අරගෙන ඒ විදිහට හැඩගැහෙන්නයි.”
ඉහත සඳහන් සියලුදෙනාම දෙවිට කැප වූ සේවකයන්. ඔවුන් මුල් තැන දෙන්නේ දෙවිගේ කැමැත්ත කිරීමටයි. ඔවුන් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඔහු මත රඳා සිටිනවා.—හිතෝ. 3:5, 6.
දෙවිගේ උපකාරය ලැබෙන අයුරු
අසනීපයක් හෝ ආබාධයක් දෙවි දුන් දඬුවමක් කියා සිතන්න එපා. (විලා. 3:33) යෝබ් ‘අවංක, නිර්දෝෂව හැසිරුණ’ කෙනෙක් වුණත් ඔහුට විඳින්න සිදු වූ දේවල් ගැන සිතා බලන්න. (යෝබ් 1:8) දෙවි කාටවත් නපුරක් කරන්නේ නැහැ. (යාකො. 1:13) බරපතළ රෝග හෝ මානසික අවපීඩනය ඇතුළු ඕනෑම අසනීපයක් ඇති වීමට හේතුව ආදම් සහ ඒව අපට පාපය උරුම කර දීමයි.—රෝම 5:12.
නමුත් යෙහෝවා දෙවි හා යේසුස් ධර්මිෂ්ඨ අයට උපකාර නොකර සිටින්නේ නැහැ. (ගීතා. 34:15) විශේෂයෙන්ම අපි අසීරු තත්වයකට වැටී සිටින විට දෙවි ‘අපේ රැකවරණය හා බලකොටුව’ වෙන බව ස්ථිරයි. (ගීතා. 91:2) එමනිසා අසීරු තත්වයන්වලදී ඔබේ සතුට නැති කරගන්න එපා. ඒ සඳහා ඔබට උපකාරවත් වන්නේ මොනවාද?
යාච්ඤාව: පුරාණයේ දෙවිට විශ්වාසවන්තව සිටි අයව ආදර්ශයට ගනිමින් යාච්ඤා කර ඔබේ සියලු බර දෙවිට භාර දිය හැකියි. (ගීතා. 55:22) එසේ කිරීමෙන් ‘දෙවි ලබා දෙන සමාදානය’ අද්දැකීමට ඔබට පුළුවන්. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්. එය “ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක්.” (ෆිලි. 4:6, 7) යාච්ඤා කරමින් දෙවි මත රඳා සිටින මැග්ඩලිනා රෝගී තත්වයේදී සතුට නැති කරගෙන නැහැ. ඇය පවසන්නේ මෙයයි. “යෙහෝවා දෙවිට මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන හින්දා සහනයක් දැනෙනවා. ඒ නිසා සතුටෙන් ඉන්න පුළුවන් වෙලා තියෙනවා. හැම දවසකම දෙවි මත රඳා සිටිය යුතුයි කියන එක දැන් මට හොඳටම තේරෙනවා.”—2 කොරි. 1:3, 4.
යෙහෝවා දෙවි ආශ්චර්යයකින් ඔබේ අසනීප හිතෝ. 2:7) “සාමාන්‍යය ඉක්මවූ බලයක්” දෙමින් ඔබව ශක්තිමත් කරන්න ඔහුට හැකියි.—2 කොරි. 4:7.
සුව කරන්නේ නැති බව ඇත්තයි. නමුත් ඔබේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන් ඔහු තම බලය, වචනය හා සහෝදර සහෝදරියන් මාර්ගයෙන් ඔබව ශක්තිමත් කරනවා. ඒ වගේම එම තත්වයට මුහුණ දෙන්න අවශ්‍ය දැනුමත් ඔහු ඔබට ලබා දෙනවා. (පවුලේ අය: ඔබ අසනීපෙන් සිටින විට ඔබේ පවුලේ අයටත් අසරණබවක් දැනෙයි. නමුත් ඔවුන් පෙන්වන ආදරය හා අනුකම්පාව අසනීපය දරාගන්න ඔබට විශාල උපකාරයක්. නිරතුරුවම ඔවුන් ඔබේ උපකාරයට සිටිනවා. ඒ වගේම හැමෝම එකතු වී යාච්ඤා කිරීම හැමෝගේම සිත් සන්සුන් කරගන්නත් උපකාරයක් වේවි.—හිතෝ. 14:30.
බාබ්රා ඇගේ දියණිය ගැනත් සභාවේ සිටින යෞවන සහෝදරියන් ගැනත් මෙසේ පවසනවා. “දේවසේවයේදී දුවලා මට උපකාර කරනවා. ඒගොල්ලන්ගේ උද්‍යෝගය මටත් ලොකු හයියක්.” ස්බිග්නියු තම බිරිඳ දෙන සහයෝගය අගය කරමින් මෙසේ පැවසුවා. “ගෙදර දොරේ හුඟක් වැඩකටයුතු වෙන්නේ ඇගේ අතින්. රැස්වීම්වලටයි දේවසේවයෙයි යන්න මට ඇඳගන්නත් උපකාර කරනවා. මගේ බෑග් එක ගෙනියන්නෙත් ඇයයි.”
සභාවේ අය: අපේ සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරද්දී අපිව දිරිගැන්වෙනවා. සැනසීමක් ලැබෙනවා. නමුත් අසනීපය නිසා රැස්වීම්වලට යන්න බැරි නම් තත්වය මොකක්ද? මැග්ඩලිනා පැවසුවේ මෙයයි. “සභාවේ අය රැස්වීම්වල කොටස් තැටිගත කරලා මට දෙනවා. මට උදව්වක් ඕනෙද කියලා නිතර මගෙන් අහනවා. මාව දිරිගන්වලා ලියුම් එවනවා. ඒගොල්ලන් මාව අමතක කරලා නැහැ, මා ගැන දිගටම සැලකිලිමත් වෙනවා කියලා හිතද්දී මට මගේ අසනීපේ දරාගන්න ශක්තිය ලැබෙනවා.”
මානසික අවපීඩනයෙන් පෙළෙන ඉසබෙලා කියන්නේ මේ විදිහටයි. “සභාවේ මට ‘අම්මලා තාත්තලා’ හුඟදෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මට ඇහුම්කන් දෙනවා විතරක් නෙවෙයි මාව තේරුම්ගන්නත් උත්සාහ කරනවා. සභාවේ ඉන්න අය මගේ පවුලෙම අය වගෙයි. සභාවේදී මට සතුටත් සැනසීමත් ලැබෙනවා.”
පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන අය ‘අන් අයගෙන් වෙන්ව සිටීම’ සුදුසු නැහැ. ඔවුන් සභාව සමඟ ඇසුරු කළ යුතුයි. (හිතෝ. 18:1) එවිට ඔවුන් අන් අයව දිරිගන්වන්නන් බවට පත් වෙනවා. ඔබට අවශ්‍ය දේවල් ගැන සහෝදර සහෝදරියන්ට කියන්න ඔබ ටිකක් අදිමදි කරයි. නමුත් ඔබට අවශ්‍ය දේවල් ගැන පැවසුවොත් ඔවුන් එය අගය කරයි. එවිට “අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක්” දක්වන්න ඔවුන්ටද ප්‍රස්තාවක් ලැබෙයි. (1 පේතෘ. 1:22) ඔබට රැස්වීමට හා දේවසේවයේ යන්න ප්‍රවාහණ පහසුකම් අවශ්‍යද? පාලුව මකන්න ඔබ සමඟ ටිකක් කතා කරනවාට කැමතිද? ඒ බව ඔවුන්ට පවසන්න. නමුත් එසේ කිරීම ඔවුන්ගේ යුතුකමක් කියා නොසිතන්න. ඒ වෙනුවට ඔවුන් කරන උදව් උපකාර අගය කරන්න.
හරි ආකල්පයක් තබාගන්න: අසනීපයෙන් සිටිද්දී සතුට පවත්වාගන්න බොහෝවිට පුළුවන් වෙන්නේ ඔබටමයි. නිතරම අසනීපය ගැන සිත සිතා සිටීමෙන් ඔබ මානසිකව වැටෙයි. බයිබලයේ පවසන්නේ මෙසේයි. “දරුණු රෝගයක් පවා දරාගැනීමට මිනිසෙකුට සිතේ සවිය තිබුණත් බිඳුණු සිතක් දරාගත හැක්කේ කාටද?”—හිතෝ. 18:14.
මැග්ඩලිනාගේ අදහස මෙයයි. “මගේ ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව ඉන්න මම හුඟක් වෑයම් කරනවා. ඇඟේ අමාරුව වැඩිය දැනෙන්නේ නැති දවස්වලදී ප්‍රීතියෙන් දවස ගත කරන්න මම උත්සාහ කරනවා. දරුණු රෝග තිබුණත් විශ්වාසවන්තව සිටි අයගේ ජීවිත කතා කියවීමෙන් මම දිරිගැන්වීමක් ලබාගන්නවා.” යෙහෝවා දෙවි ඇයට ප්‍රේම කරනවා ඇයව අගය කරනවා කියා සිතීමෙන්ම ඉසබෙලා ශක්තිය උපදවාගන්නවා. ඇය මෙසේ පවසයි. “දෙවිට මාව වටිනවා කියලා හැඟෙනකොට ඔහු වෙනුවෙන් මම ජීවත් වෙන්න ඕන කියලා හිතෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතය ගැනත් මට හොඳ බලාපොරොත්තුවක් තියෙනවා.”
ස්බිග්නියු පවසන්නේ මෙයයි. “මගේ අසනීපය නිසා නිහතමානි වෙන්නත් කීකරු වෙන්නත් මම ඉගෙනගන්නවා. අවබෝධයෙන් කටයුතු කරන්නත් කළ යුතු දේ හා නොකළ යුතු දේ තීරණය කරන්නත් හදවතින්ම සමාව දෙන්නත් මම ඉගෙනගන්නවා. මා ගැනම අනුකම්පාවෙන් බලන්නේ නැතුව දෙවිගේ සේවය ප්‍රීතියෙන් කරන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සේවය තුළ දියුණුවක් ලබන්න ඕන කියලත් මට හැඟෙනවා.”
ඔබ විඳදරාගනිමින් සිටින ආකාරය දෙවි දකින බව මතක තබාගන්න. ඔබේ වේදනාව ඔහුට දැනෙනවා. ඔහු ‘ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි පෙන්වූ ප්‍රේමය අමතක කරන්නේ’ නැහැ. (හෙබ්‍රෙ. 6:10) ඔහුට භය පක්ෂව සිටින සියල්ලන්ට ඔහු පොරොන්දු වී තිබෙන්නේ “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියායි.—හෙබ්‍රෙ. 13:5.
ඔබ අධෛර්යයට පත් වෙන අවස්ථාවලදී පාරාදීස පොළොවේදී ලැබෙන මවිතාකාර ආශීර්වාද ගැන කල්පනා කරන්න. දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද ලැබෙන ඒ දිනය වැඩි ඈතක නොවෙයි.
[28, 29 යන පිටුවල කොටුව⁄පින්තූර]
බරපතළ රෝගයක් තිබුණත් දේශනා සේවයේ යෙදෙනවා
“මට තනියම ඇවිදින්න වාරු නැහැ. ඒ නිසා මගේ නෝනා හරි සභාවේ සහෝදර සහෝදරියන් හරි මාත් එක්ක සේවයේ යන්න එනවා. සේවයේදී කියන්න ඕන දේත් බයිබල් පදත් මම කටපාඩම් කරගන්නවා.”—දෘශ්‍යාබාධයකින් පෙළෙන ජර්සි.
“දුරකථනයෙන් සාක්ෂි දරනවාට අමතරව උනන්දුව දක්වන කීපදෙනෙක් එක්ක මං නිතරම ලිපි හුවමාරු කරගන්නවා. ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ ඇඳ ළඟ බයිබලයකුයි අපේ පොත් පත් සඟරායි තියාගන්නවා. ඒක හොඳ සාකච්ඡා පටන්ගන්න උදව් වෙනවා.”—ඉන්ද්‍රියයන්වලට හානි කරන රෝගයකින් පෙළෙන මැග්ඩලිනා.
“ගෙයින් ගෙට සේවයේ යන්න මං හරි ආසයි. ඒත් එහෙම කරන්න අමාරු දවස්වලදී දුරකථනයෙන් සාක්ෂි දරනවා.”—මානසික අවපීඩනයෙන් පෙළෙන ඉසබෙලා.
“නැවත බැලීම් කිරීමෙනුයි බයිබල් පාඩම්වලට යෑමෙනුයි මං සතුටක් ලබනවා. අසනීපයක් නැති දවස්වලදී මම ගෙයින් ගෙට සේවයේ යනවා.”—මොළයේ ගෙඩියක් තියෙන බාබ්රා.
“මං ගෙනියන්නේ බර නැති බෑග් එකක්. හන්දිපත් රිදෙන්න ගන්නකොට මං සේවය නවත්තනවා.”—හන්දිපත් රුදාවෙන් පීඩා විඳින ස්බිග්නියු.
[30වන පිටුවේ පින්තූරය]
බාල මහලු සැමට හැකියි දිරිගන්වන්න