Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• ඔලිවාටාන් යනු කවුද? ඔහු ගැන අපි උනන්දු වෙන්නේ ඇයි?

ඔහු ප්‍රංශ ජාතිකයෙක්. ඔහුගේ නම පියේ රොබේ. දහසය වන සියවසේදී ඔහු බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළා. ඔහු “බිෂොප්” යන වචනය වෙනුවට “සභාව රැකබලා ගන්නා” කියාද “පල්ලිය” වෙනුවට “සභාව” යන වචනයද යෙදුවා. සමහර ස්ථානවල “යෙහෝවා” යන දෙවිගේ නමද ඇතුළත් කළා.—9/1, 18-20 පිටු.

• ‘ඔබේ උරුමය මම වෙමි’ කියා පැවසීමෙන් දෙවි අදහස් කළේ කුමක්ද?

ඊශ්‍රායෙල්හි සෑම ගෝත්‍රයකටම පොරොන්දු දේශයෙන් කොටසක් ලැබුණත් ලෙවීවරුන්ගේ “උරුමය” වූයේ යෙහෝවා දෙවියි. (ගණන්. 18:20) ඔවුන්ට දේශයෙන් කොටසක් නොලැබුණත් ඔවුන්ට විශේෂ සේවා වරප්‍රසාදයක් ලැබුණා. දෙවි ඔවුන්ගේ මූලික අවශ්‍යතා රැකබලා ගත්තා. අද දින සිටින පූර්ණකාලීන සේවකයන්ටත් දෙවි තම අවශ්‍යතා සපයන බවට ස්ථිර විය හැකියි.—9/15, 7-8, 13 පිටු.

• බැබිලෝනිවරුන් යෙරුසලම ආක්‍රමණය කළේ කවදාද?

බැබිලෝනියේ රජවරුන් හා ඔවුන් පාලනය කළ කාල වකවානු ගැන ඉතිහාසඥයන් විවිධ අදහස් පළ කරනවා. නමුත් දෙවන සයිරස් රජු ක්‍රි.පූ. 539දී බැබිලෝනිය යටත් කරගත් බව ඔවුන් සියලුදෙනාම පිළිගන්නවා. යුදෙව්වන් නිදහස් වී නැවත තම මව්බිමට ගියේ ක්‍රි.පූ. 537දියි. ඔවුන් අවුරුදු 70ක් වහල්භාවයේ සිටි බව බයිබලයේ පවසනවා. ඒ අනුව අවුරුදු 70ක් ආපස්සට ගණන් බලන විට යෙරුසලමේ විනාශය සිදු විය යුතු වන්නේ ක්‍රි.පූ. 607දියි. (2 ලේක. 36:21, 22; යෙරෙ. 29:10; දානි. 9:1, 2)—10/1, 26-31 පිටු.

• විනෝදය සඳහා සුදුසු දේවල් තෝරාගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

විනෝද වීමට අප කරන දේවල් යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට එකඟ විය යුතුයි. ඒ නිසා මේ ගැන සිතීම අවශ්‍යයි. අප විනෝදයට කරන දේවලට ඇතුළත් වන්නේ කුමක්ද, ඒ සඳහා කොපමණ කාලයක් වැය වෙනවාද සහ ඊට හවුල් කරගන්නේ කවුරුන්වද යන්න ගැන සලකා බැලීම ප්‍රයෝජනවත්.—10/15, 9-12 පිටු.

• ගබ්සා කිරීම වැරදි ඇයි?

යෙහෝවා දෙවි ජීවිතය ඉතා අනර්ඝ දෙයක් ලෙස සලකනවා. එමනිසා මව් කුසේ දරුවෙකු පිළිසිඳගත් මොහොතේ සිට දෙවි එම කලලය සලකන්නේ ජීවිතයක් ලෙසයි. (ගීතා. 139:16) පුද්ගලයෙකු අතින් නූපන් දරුවෙකුගේ ජීවිතයට අනතුරක් වුණොත් ඔහු ඊට වන්දි ගෙවිය යුතුයි කියා දෙවි පවසා තිබෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ ගබ්සා කිරීම මිනී මැරීමක් බවයි. (නික්. 21:22, 23)—11/1, 6 පිටුව.

• කාමුක දර්ශන නැරඹීමෙන් වැළකීමට හිතෝපදේශ 7:6-23හි සඳහන් දේ උපකාර වන්නේ කෙසේද?

එම වාර්තාවේ සඳහන් තරුණයා වීථියක ඇවිදගෙන ගියේ එහි ගණිකාවක් සිටින බව දැන දැනමයි. ඉන්පසු ඇය ඔහුව අනාචාරයට පොලඹවාගත්තා. අදත් ඒ හා සමානව අන්තර්ජාලයේ කාමුක දර්ශන තිබෙන වෙබ් අඩවි බොහොමයක් ඇති බැවින් පරෙස්සම් විය යුතුයි. අනතුරකට වැටීමට පෙර යාච්ඤා කිරීම ඉතාම වැදගත්.—11/15, 9-10 පිටු.

• වර්ෂ 2012දී පොළොව විනාශ වෙයිද?

මායාවරුන්ගේ දිනදර්ශනයට අනුව 2012දී පොළොව විනාශ වෙයි කියා සමහරු සිතනවා. නමුත් යෙහෝවා දෙවි පොළොව සෑදුවේ මිනිසුන්ගේ වාසය සඳහායි. එමනිසා එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ පොළොව සදහටම පවතින බවයි. (දේශ. 1:4; යෙසා. 45:18)—12/1, 10 පිටුව.

• ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී බයිබලය ලියූ ලේඛකයන් කීදෙනෙක් සිටියාද?

පෙනෙන විදිහට එදින ග්‍රීක ලියවිල්ල ලියූ ලේඛකයන් හයදෙනෙක් ඉඳලා තියෙනවා. මතෙව්, යොහන්, පේතෘස්ද යේසුස්ගේ අර්ධ සහෝදරයන් වන යාකොබ් හා යූද්ද එහි සිටියා. ඊට අමතරව මාක්ද එහි සිටියා කියා සිතිය හැකියි.—12/1, 22 පිටුව.