Skip to content

පටුනට යන්න

ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්

ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්

ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්

‘යාකොබ්ගේ දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.’—යෙසා. 2:3.

1, 2. බයිබල් චරිත ගැන ඉගෙනගනිද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

බයිබලයේ සඳහන් චරිත ගැන ඉගෙනගැනීම අපට බොහෝ සේ ප්‍රයෝජනවත් වෙනවා. එහි සඳහන් විශ්වාසවන්ත අයගේ ආදර්ශ අපි අනුගමනය කළ යුතුයි. (හෙබ්‍රෙ. 11:32-34) අනික් අතට සමහර චරිත ගැන වාර්තා වී ඇති දේවලින් අපට පාඩම්ද ඉගෙනගත හැකියි. එවැනි අය ගැන කියවන විට අපි වැළකිය යුතු දේවල් ගැන ඉගෙනගන්න පුළුවන්.

2 තවත් සමහර චරිත ආදර්ශයක් මෙන්ම අවාදර්ශයක් වූ අවස්ථාත් තිබෙනවා. ඉන් එක් උදාහරණයක් දාවිත්. මුලින් එඬේරෙකුව සිටි ඔහු පසු කලක බලවත් රජ කෙනෙක් වුණා. දෙවි මත රඳා සිටීම හා සත්‍යය දැනගැනීමට දැක්වූ කැමැත්ත මගින් ඔහු ආදර්ශයක් තැබුවා. නමුත් ඔහු බැත්-ෂෙබා සමඟ අනාචාරයේ යෙදුණා පමණක් නොව උරියාවත් මරා දැමුවා. ඊට අමතරව ඔහු දෙවිට අකීකරු වෙමින් සෙනඟ ගණන් කළා. ඔහුගේ එම ක්‍රියාවලින් අපට පාඩමක් ඉගෙනගත හැකියි. නමුත් මෙම ලිපියෙන් අපි සලකා බලන්නේ ඔහුගේ පුතා වූ සලමොන් ගැනයි. ඔහුගේ ජීවිතය ගැන ඉගෙනගනිද්දී ඔහුගේ ආදර්ශයෙන් හා අවාදර්ශයෙන් පාඩම් ඉගෙනගත හැකියි. මුලින්ම ඔහු ආදර්ශයක් තැබූ පැති දෙකක් සලකා බලමු.

“සලමොන්ගේ ප්‍රඥාව”

3. සලමොන් අපට ආදර්ශයක් වුණේ කොහොමද?

3 සලමොන්ව ආදර්ශයට ගත හැකි ආකාරය ගැන උතුම් සලමොන් වන යේසුස් යුදෙව්වන්ට මෙසේ පැවසුවා. “විනිශ්චයේදී දකුණු දිශාවේ රැජින නැඟිට, මේ පරම්පරාව කොතරම් දුෂ්ටද කියා පැහැදිලි කර දෙයි. මන්ද සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට ඇය පැමිණියේ පොළොවේ ඈත කෙළවරක සිටයි. නමුත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් ඔබ අතරේම සිටියි.” (මතෙ. 12:42) ඉතා ප්‍රඥාවන්තව ක්‍රියා කළ සලමොන් අපටත් දිරිගැන්නුවේ ප්‍රඥාවන්ත වෙන්න කියායි.

4, 5. සලමොන්ට ප්‍රඥාව ලැබුණේ කෙසේද? ඊට වෙනස්ව අපට ප්‍රඥාව ලබාගත හැක්කේ කෙසේද?

4 සලමොන් රජකම් කරන්න පටන්ගත් විට දෙවි ඔහුට සිහිනයකින් පෙනී කැමති දෙයක් ඉල්ලන්න කියා පැවසුවා. එවිට සලමොන් ප්‍රඥාව ලබා දෙන්න කියා දෙවිගෙන් ඉල්ලුවා. (1 රාජාවලිය 3:5-9 කියවන්න.) සලමොන් ධනයවත් ගෞරවයවත් නොඉල්ලා ප්‍රඥාව ඉල්ලූ නිසා දෙවි ඒ ගැන බොහෝ සේ සතුටු වුණා. අවසානයේදී දෙවි සලමොන්ට “ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද” ලබා දුන්නා. ඊට අමතරව දෙවි ඔහුට මහත් ධන සම්භාරයක්ද ලබා දුන්නා. (1 රාජා. 3:10-14) සලමොන්ගේ ප්‍රඥාව කොතරම්ද කියනවා නම් ඈත දේශයක සිටි ෂෙබාහි රැජිනට ඒ ගැන ආරංචි වී ඇය සලමොන්ව හමු වීමට ආවා.—1 රාජා. 10:1, 4-9.

5 සලමොන්ට දෙවි ආශ්චර්යවත් ලෙස ප්‍රඥාව ලබා දුන්නත් අපට ආශ්චර්යවත් ලෙස ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත වීමට නම් අපි වෑයමක් දරන්න අවශ්‍යයි. සලමොන් ඒ ගැන පැවසුවේ “ප්‍රඥාවට ඔබේ සවන් යොමු කර වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමට අදිටන් කරගන්න” කියායි. ඒ වගේම ප්‍රඥාව ‘අයැදින්න’ කියාත් ‘දිගටම සොයන්න’ කියාත් ඔහු පැවසුවා. (හිතෝ. 2:1-6) ඉන් පැහැදිලි වෙන්නේ ප්‍රඥාව ලබාගැනීමට අප උත්සාහ කළ යුතු බවයි.

6. අපිට සලමොන්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද?

6 සලමොන් ප්‍රඥාව සැලකුවේ වස්තුවක් ලෙසයි. අපිට ඔහුගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද? මේ ගැන සිතන්න. අද දින ආර්ථිකය බිඳ වැටී ඇති නිසා බොහෝදෙනෙක් මුල් තැන දෙන්නේ රැකියාවට හා මුදල් ඉපයීමටයි. ඒ වගේම උසස් අධ්‍යාපනයක් ලබාගෙන තමන්ට ගෞරවය ලබාගැනීමටත් අද බොහෝ අය වෙහෙසෙනවා. ඔබ හා ඔබේ පවුලේ අය ගැන කුමක් කිව හැකිද? ඔබ දෙවිව හඳුනාගෙන බයිබලයේ තිබෙන ඉගැන්වීම් අවබෝධ කරගැනීමට මුල් තැන දෙනවාද? එසේ කරනවා නම් ඔබටත් සලමොන් පැවසූ ආකාරයේ ප්‍රඥාවක් ලැබෙයි. එවැනි ප්‍රඥාවක් ලබාගැනීමට ජීවිතයේ යම් වෙනස්කම් කිරීමට අවශ්‍යද? අපි ප්‍රඥාව ලබාගන්නවා නම් සදහටම එය අපට ප්‍රයෝජනවත් වෙයි. සලමොන් මෙසේද පැවසුවා. “ඔබ එලෙස හැසිරෙන්නේ නම් යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල එනම්, ධර්මිෂ්ඨකම, යුක්තිය සහ අවංකකම ගැන ඔබට හොඳ අවබෝධයක් ලැබෙනු ඇත.”—හිතෝ. 2:9.

සැබෑ නමස්කාරයට මුල් තැන දීම

7. සැබෑ නමස්කාරය සඳහා අලංකාර දේවමාලිගාවක් ලැබුණේ කෙසේද?

7 සලමොන් රජ වී වැඩි කල් නොගොස් ඔහු සැබෑ නමස්කාරය සඳහා තිබූ කූඩාරම වෙනුවට දෙවිට කැප කරන ලද තේජාන්විත මාලිගාවක් ගොඩ නැඟීමට පියවර ගත්තා. (1 රාජා. 6:1) සලමොන් දේවමාලිගාව සෑදුවේ තමන්ට කීර්තිය ලබාගැනීමට නොවෙයි. ඇත්තෙන්ම කියනවා නම් එය සෑදීමට මුලින් අදහස් කළේ ඔහුගේ පියා වන දාවිත්. ඔහු ඒ සඳහා විශාල මුදලක්ද පරිත්‍යාග කළා. (2 සාමු. 7:2, 12, 13; 1 ලේක. 22:14-16) ඊට අමතරව එය සෑදීමට නියමිත සැලැස්ම ලබා දුන්නේ දෙවි විසින්මයි. නමුත් අවසානයේදී එය ගොඩ නැඟුවේ සලමොන්. ඒ සඳහා වසර හතහාමාරක් ගත වුණා.—1 රාජා. 6:37, 38; 7:51.

8, 9. (අ) නිතරම යහපත් දේවල් කිරීමේදී සලමොන් තැබූ ආදර්ශය කුමක්ද? (ආ) සැබෑ නමස්කාරයට මුල් තැන දීමෙන් ලැබූ ප්‍රතිඵල මොනවාද?

8 නිතරම යහපත් දේවල් කිරීම හා සැබෑ නමස්කාරයට මුල් තැන දීම සම්බන්ධයෙන් සලමොන් තැබුවේ ඉතා හොඳ ආදර්ශයක්. දේවමාලිගාව සාදා නිම කර ගිවිසුම් පෙට්ටිය එහි තැබූ පසු සලමොන් සෙනඟ රැස් කර ප්‍රසිද්ධියේ යාච්ඤා කළා. එවිට ඔහු දෙවිගෙන් ඉල්ලුවේ “මේ ගෘහය දෙසට දිවා රෑ දෙකෙහිම ඔබේ දෙනෙත් යොමු කර, ඔබේ සේවකයා මේ ගෘහය දෙසට හැරී කරන යාච්ඤාවට සවන් දෙන්න” කියායි. (1 රාජා. 8:6, 29) ඊශ්‍රායෙල්වරුන්ට මෙන්ම විදේශිකයන්ටත් එම ගෘහය දෙසට හැරී යාච්ඤා කිරීමේ ප්‍රස්තාව තිබුණා.—1 රාජා. 8:30, 41-43, 60.

9 සලමොන් සැබෑ නමස්කාරයට මුල් තැන දුන් නිසා මුළු ජාතියටම යහපත් ප්‍රතිඵල ලැබුණා. දේවමාලිගාව කැප කර අවසන් වූ විට සෙනඟ “යෙහෝවා දෙවි තම සේවක දාවිත් වෙනුවෙන්ද ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන්ද කළ සෑම යහපත් දෙයක් ගැනම බොහෝ සෙයින් සන්තෝෂ” වුණා. (1 රාජා. 8:65, 66) ඒ වගේම සලමොන් පාලනය කළ අවුරුදු 40 පුරාම මුළු දේශයේම සාමය පැතිර තිබූ අතර එය සමෘද්ධිමත්ව තිබුණා. (1 රාජාවලිය 4:20, 21, 25 කියවන්න.) ඒ ගැන ගීතාවලිය 72හිත් විස්තර කරනවා. ඊට අමතරව උතුම් සලමොන් වන යේසුස්ගේ පාලන සමයේදී අප ලබන ආශීර්වාද ගැනත් අවබෝධ කරගන්න අපිට හැකි වෙනවා.—ගීතා. 72, 6-8, 16.

සලමොන්ගේ අවාදර්ශය

10. සලමොන්ගේ අවාදර්ශය ගැන සිතන විට ඔබේ මනසට නැඟෙන්නේ කුමක්ද?

10 පසු කාලයකදී සලමොන් අපට අවාදර්ශයක් වුණා. එය අනතුරු ඇඟවීමක්ද වෙනවා. මුලින්ම ඔබේ මනසට නැඟෙන්නේ ඔහු වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන්ව විවාහ කරගත් ආකාරයයි. බයිබලයේ ඒ ගැන පවසන්නේ ‘වයස්ගත වෙද්දී සලමොන් රජ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය. යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැහැ’ කියායි. (1 රාජා. 11:1-6) සලමොන් මෙන් අනුවණ තීරණ ගැනීමට අපි කවුරුත් කැමති නැහැ. නමුත් ඔහු ගත් අනුවණ තීරණ සම්බන්ධයෙන් අප නොදකින පැතිත් තිබෙනවා. ඔහුගේ අවාදර්ශය අපිට අනතුරු ඇඟවීමක් වෙන ආකාරය සලකා බලමු.

11. සලමොන්ගේ මුල් විවාහය ගැන කිව හැක්කේ කුමක්ද?

11 සලමොන් අවුරුදු 40ක් රජ වී සිටියා. (2 ලේක. 9:30) ඔහු මිය ගිය පසු සිදු වූ දේ 1 රාජාවලිය 14:21හි සඳහන් වෙනවා. (කියවන්න.) සලමොන්ගේ පුත් රෙහබෝවම් රජ වන විට ඔහුගේ වයස අවුරුදු 41ක් වීමෙන් පැහැදිලි වන්නේ සලමොන් රජ වීමට කලින් වෙනත් දෙවිවරුන්ට සේවය කළ සතුරු ජාතියක ස්ත්‍රියක් වන නයමාව විවාහ කරගෙන සිටි බවයි. (විනි. 10:6; 2 සාමු. 10:6) රාහබ් හා රූත් මෙන් එම ස්ත්‍රිය පසු කලක යෙහෝවා දෙවිට නමස්කාර කළාද නැද්ද කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. (රූත් 1:16; 4:13-17; මතෙ. 1:5, 6) කොහොමවුණත් දෙවිට සේවය නොකරන අම්මොන් ජාතියට අයත් නෑදෑ පිරිසක් සලමොන්ට සිටි බව ඉන් පැහැදිලියි.

12, 13. සලමොන් රජ වූ පසු කළ වරද කුමක්ද? ඔහු මොන වගේ හේතු ඉදිරිපත් කරන්න ඇද්ද?

12 සලමොන් රජ වූ පසු ඔහු තවත් නරක අතට හැරුණා. ඔහු ‘ඊජිප්තුවේ රජ්ජුරුවන් වන පාරාවෝ සමඟ එකඟත්වයකට පැමිණ ඔහුගේ දුවව විවාහ කරගත්තා. ඔහු ඇයව දාවිත්ගේ නුවරට රැගෙන ගියා.’ (1 රාජා. 3:1) ඊජිප්තු ජාතික මෙම ස්ත්‍රිය පසු කලකදී දෙවිට සේවය කළා කියා බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැහැ. මෙම ස්ත්‍රියටත් ඇගේ සේවිකාවන්ටත් දාවිත්ගේ නගරයෙන් පිටත සලමොන් මාලිගාවක් සෑදුවා. ඊට හේතුව වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන කෙනෙක් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තිබූ නගරයේ ජීවත් වීම සුදුසු නොවීමයි.—2 ලේක. 8:11.

13 ඊජිප්තු ජාතික කුමාරිකාවක් විවාහ කරගැනීම වාසියක් කියා සලමොන් සිතන්න ඇති. නමුත් එසේ සිතීම සාධාරණද? ඊට බොහෝ කලකට පෙර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන ජාතීන්ව විවාහ කරගැනීම දෙවි තහනම් කර තිබුණා. එවැනි ජාතීන්ගේ නම් ලැයිස්තුවක් පවා යෙහෝවා දෙවි ලබා දුන්නා. (නික්. 34:11-16) ඊජිප්තුව මෙම ලැයිස්තුවට ඇතුළත් නොවූ නිසා තමා වරදක් කළේ නැහැ කියා සලමොන් සිතන්න ඇති. නමුත් ඔහු කළ දෙයින් පැහැදිලි වන්නේ දෙවිට සේවය නොකරන කෙනෙක් සමඟ විවාහ වීමේ ඇති අනතුර ඔහු නොසලකාහැරිය බවයි.—ද්විතීය කතාව 7:1-4 කියවන්න.

14. සලමොන්ගේ අවාදර්ශයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

14 සලමොන්ගේ අවාදර්ශයෙන් අපට ගත හැකි පාඩම කුමක්ද? මෙසේ සිතමු. “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” පමණක් විවාහ කරගන්න කියා දෙවි පවසා තිබුණත් සාක්ෂිකරුවෙකු නොවන කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීම ගැන සහෝදරියක් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙනවා. (1 කොරි. 7:39) සමහරු පාසැල් කාල වේලාවෙන් පසුව ඕනෑවට වඩා ක්‍රීඩාවලට කාලය ගත කරනවා. තවත් අය ආදායම් බදු ගෙවීමේදී වංචා කරනවා. එසේත් නැත්නම් යම් දේවලින් ගැලවීමට බොරු කියනවා. එවැනි අය තමන් කරන්නේ වරදක් නොවන බව පෙන්වීම සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. නමුත් එසේ කිරීම වැරදියි.

15. යෙහෝවා දෙවි සලමොන්ට දයාව පෙන්නුවේ කෙසේද? නමුත් අපි මතක තබාගත යුත්තේ කුමක්ද?

15 යෙහෝවා දෙවි සලමොන්ට ප්‍රඥාව මෙන්ම ධනය ලබා දුන්නේ දෙවිට සේවය නොකළ ස්ත්‍රීන්ව විවාහ කරගත් පසුවයි. (1 රාජා. 3:10-13) ඉන් පැහැදිලි වෙන්නේ සලමොන් අකීකරු වුණත් දෙවි විගස ඔහුව රජකමින් පහ කරන්නේ හෝ දඬුවම් කරන්නේ හෝ නැතුව ඔහුට දයාව පෙන්වූ බවයි. ඊට හේතුව වුණේ අපි සියල්ලන් අසම්පූර්ණ බව දෙවි දැන සිටීමයි. (ගීතා. 103:10, 13, 14) කොහොමනමුත් අපේ ක්‍රියාවලට කවදා හෝ ප්‍රතිඵල විඳින්න සිදු වන බව අප සියලුදෙනාම මතක තබාගත යුතුයි.

බොහෝ භාර්යාවන්!

16. සලමොන් බොහෝ ස්ත්‍රීන්ව විවාහ කරගැනීම වරදක් වුණේ ඇයි?

16 වරක් සලමොන් තරුණියකට පැවසුවේ ඇය බිසෝවරු 60දෙනෙකුටත් උපභාර්යාවන් 80දෙනෙකුටත් වඩා රුවැත්තියක් කියායි. (සල. 6:1, 8-10) සමහරවිට සලමොන් මෙය පැවසූ අවස්ථාවේදී ඔහුට භාර්යාවන් එතරම් ප්‍රමාණයක් සිටින්න ඇති. නමුත් අපි මොහොතකට සිතමු සලමොන් විවාහ කරගත්තේ දෙවිට සේවය කළ අයයි කියා. එය එසේ වුණත් සලමොන් කළේ හරි දෙයක් කියා පැවසිය නොහැකියි. දෙවි මෝසෙස්ට පැවසුවේ රජ කෙනෙක් “බොහෝ ස්ත්‍රීන්ව විවාහ කර නොගත යුතුයි. එසේ කළොත් ඔහුගේ සිත දෙවිගෙන් දුරස් වී ඔහු මුළා වීමට ඉඩ තිබෙනවා” කියායි. (ද්වි. 17:17) කොහොමවුණත් යෙහෝවා දෙවි සලමොන්ගේ ගීතිකාව නමැති බයිබල් පොත ලියන්නත් සලමොන්ට අවස්ථාව ලබා දුන්නා.

17. අපි මතක තබාගත යුත්තේ කුමක්ද?

17 කිසි විපාකයක් අද්දකිනේනේ නැතුව දෙවිගේ අණපනත් නොසලකාහරිමින් සිටීමට සලමොන්ට හැකි වුණාද? අපත් දිගටම දෙවිගේ ප්‍රමිති නොසලකාහැරියොත් හානියක් සිදු වෙන්නේ නැහැ කියා පැවසිය හැකිද? දෙවි බොහෝ ඉවසිලිවන්ත නිසා කෙනෙක් දෙවිට අකීකරු වුණත් එසැනින් නරක ප්‍රතිඵල අද්දකින්නේ නැති වෙන්න ඉඩ තිබෙනවා. නමුත් පසු කලකදී හෝ එහි විපාක අද්දකින්න ඔහුට සිද්ධ වෙනවා. සලමොන් මෙවැනි දෙයක් පැවසුවා. ‘වරදකට නිසි දඬුවම වහාම නොදෙන විට ජනයා කිසි බියක් සැකක් නොමැතිව දුෂ්ටකම් කිරීමට පෙලඹෙති. නමුත් සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇති අයට යහපතක් සිදු වන බව මට විශ්වාසය. ඔවුන්ට හොඳ ප්‍රතිඵල අත් වන්නේ දෙවි කෙරෙහි ඔවුන්ට ගරුබියක් ඇති නිසාය.’—දේශ. 8:11, 12.

18. ගලාති 6:7හි ඇති දේ සලමොන් අද්දැක්කේ කෙසේද?

18 සලමොන් බොහෝ යහපත් දේ කළ අතර ඔහුට ආශීර්වාදත් ලැබුණා. නමුත් පසුව ඔහු එක පිට එක වැරදි කරන්න පටන්ගත්තා. දෙවිගේ අණපනත් නොසලකාහැරීම පුරුද්දක් කරගත්තා. පාවුල් පැවසූ මේ දේ සලමොන්ට අද්දකින්න සිදු වුණා. “මුළා නොවන්න. දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන. මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.” (ගලා. 6:7) දෙවිට අකීකරු වීමෙන් ඔහු ලැබූ විපාක ගැන මෙසේ සඳහන් වෙනවා. “සලමොන් රජ වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන් බොහෝදෙනෙකුට ආදරය කළේය. ඔහු පාරාවෝගේ දියණියව පමණක් නොව මෝවබ්, අම්මොන්, ඒදොම්, සීදොන් හා හිත්තී ජාතික ස්ත්‍රීන්වද විවාහ කරගත්තේය.” (1 රාජා. 11:1) ඔවුන්ගෙන් වැඩිදෙනෙක් යෙහෝවා දෙවිට නමස්කාර නොකළ නිසා සලමොන්ව ටිකෙන් ටික දෙවිගෙන් ඈත් කළා. මුලින් දෙවි ඔහුට දයාව පෙන්නුවත් අවසානයේදී සලමොන්ට දෙවිගේ අනුමැතිය නැති වී ගියා.—1 රාජාවලිය 11:4-8 කියවන්න.

අපට ගත හැකි පාඩම්

19. බයිබලයේ සඳහන් වෙන්නේ මොන වගේ යහපත් ආදර්ශ ගැනද?

19 යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ඇතුව පාවුල් මෙසේ ලිව්වා. ‘අතීතයේ ශුද්ධ ලියවිලිවල ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.’ (රෝම 15:4) ලියා තිබෙන දේට දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තැබූ පුරුෂයන් හා ස්ත්‍රීන් රැසකගේ ආදර්ශයන් ඇතුළත් වෙනවා. එවැනි අය ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “මා තව කුමක් කියන්නද? මන්ද ගිඩියොන්ද බාරාක්ද සැම්සන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල් සහ අනිකුත් අනාගතවක්තෘවරුන්ද ගැන කීමට පටන්ගත්තොත් මට කාලය මදි වෙයි. ඔවුන් තුළ තිබූ විශ්වාසය කොතරම්ද කිවහොත් ඔවුහු රාජ්‍යයන් පවා පරාජය කළෝය. ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළෝය. පොරොන්දු ලැබුවෝය. එලෙසම දුර්වලව සිටියත් [බලවත් දේවල් කළෝය.]” (හෙබ්‍රෙ. 11:32-34) එවැනි අය ගැන ඉගෙනගෙන අපි ඔවුන්ගේ ආදර්ශ අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.

20, 21. බයිබලයේ සඳහන් අවාදර්ශ ගැන අපි දිගටම අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

20 අනික් අතට බයිබලයේ සඳහන් වී තිබෙන සමහර චරිත අපට අනතුරු ඇඟවීමක් වෙනවා. එවැනි අය කලින් දෙවිට විශ්වාසවන්තව සේවය කළත් පසු කාලයේදී ඔවුන්ට දෙවිගේ අනුමැතිය නැතුව ගියා. ඔවුන් ගැන කියවන විට ඔවුන් ටිකෙන් ටික වැරදි විදිහට සිතන්න පටන්ගෙන අවසානයේදී නෙළාගත් ප්‍රතිඵල ගැන අපට දැනගත හැකියි. එවැනි අවාදර්ශවලින් අපි පාඩමක් ඉගෙනගත යුතුයි. ඒ සඳහා අප මෙසේ සිතා බලමු. ‘ඔහු වැරදි විදිහට සිතන්න පටන්ගත්තේ ඇයි? මමත් ඒ විදිහට හිතන්න පටන්ගනියිද? ඒ හා සමාන වරදක් නොකර ඉන්න එම අවාදර්ශයෙන් මට පාඩමක් ඉගෙනගන්න පුළුවන්ද?’

21 බයිබලයේ තිබෙන අවාදර්ශ අධ්‍යයනය කිරීමට හොඳ හේතුවක් තිබෙනවා. ඒ ගැන පාවුල් පැවසුවේ මෙයයි. “ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට අනතුරු ඇඟවීමක් ලෙසය.”—1 කොරි. 10:11.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• බයිබලයේ ආදර්ශ හා අවාදර්ශ සඳහන් වී තිබෙන්නේ ඇයි?

• වැරදි කිරීම සලමොන්ගේ පුරුද්දක් බවට පත් වුණේ කොහොමද?

• සලමොන්ගේ අවාදර්ශයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

දෙවි දුන් ප්‍රඥාව සලමොන්ට ප්‍රයෝජනවත් වුණා

[12වන පිටුවේ පින්තූර]

සලමොන්ගේ අවාදර්ශයෙන් ඔබ පාඩමක් ඉගෙනගත්තාද?