Skip to content

පටුනට යන්න

ජීවිතයේ කළ සකස් කිරීම් නිසා ආශීර්වාද ලැබුණා

ජීවිතයේ කළ සකස් කිරීම් නිසා ආශීර්වාද ලැබුණා

ජීවිතයේ කළ සකස් කිරීම් නිසා ආශීර්වාද ලැබුණා

ජේම්ස් ඒ. තොම්සන්

මම ඉපදුණේ 1928දී එක්සත් ජනපදයේ. ඒ කාලයේදී සුදු ජාතිකයන්ව හා කලු ජාතිකයන්ව වෙන් කරන නීති තිබුණා. ඒ නීති කඩ කරන අයට සිරදඬුවම් නියම කළා. සමහර අවස්ථාවලදී ඊටත් වඩා දරුණු දඬුවම් පවා දුන්නා.

ඒ කාලයේදී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් හා සුදු ජාතිකයන් සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා රැස්වීම්, චාරිකා එක්රැස්වීම් හා දිස්ත්‍රික් සමුළු පැවැත්තුවේ වෙන වෙනමයි. වර්ෂ 1937දී මගේ තාත්තා ටෙනසිවල තියෙන චැටනුගා සභාවේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක විදිහට වැඩ කළා. ඒ සභාවේ හිටියේ කලු ජාතිකයන් විතරයි. එහේ සුදු ජාතිකයන්ගේ සභාවේ සම්බන්ධීකාරක ලෙස සේවය කළේ සහෝදර හෙන්රි නිකල්ස්.

මගේ පොඩි කාලෙදී සිද්ධ වුණු හුඟක් දේවල් මට තාම මතකයි. සමහර දවස්වල රෑට තාත්තා සහෝදර නිකල්ස් එක්ක වත්තට ගිහිල්ලා හුඟක් වෙලා කතා කරකර ඉන්නවා. ඒ වෙලාවට මමත් තාත්තා ළඟට යනවා. ඒ දෙන්නා කතා කරපු හැම දෙයක්ම මට තේරුණේ නැති වුණත් දේශනා සේවය කරන්න පුළුවන් විදිහ ගැන ඒ දෙන්නා කතා වෙද්දී මම අහගෙන හිටියේ හරිම ආසාවෙන්.

මගේ අම්මා 1930දී හදිස්සියේම මැරුණා. එතකොට අම්මට වයස අවුරුදු 20යි. ඒ වෙද්දී මගේ අක්කාට (ලොරිස්) වයස අවුරුදු හතරයි. මගේ වයස අවුරුදු දෙකයි. මාවයි අක්කවයි තනිවම බලාගන්න තාත්තට සිද්ධ වුණා. ඒ වෙද්දී තාත්තා බව්තීස්ම වෙලා හිටියේ නැතත් ලොකු උනන්දුවකින් දෙවිට සේවය කළා.

හොඳ ආදර්ශයක්

තාත්තා 1933දී ආපහු විවාහ වුණා. කුඩම්මාගේ නම ලිලී ගුවෙන්ඩලින්. තාත්තා වගේම එයත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළා. ඒ දෙන්නා මටයි අක්කටයි හොඳ ආදර්ශයක් වුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 1938දී යම් වෙනසක් සිදු කළා. කලින් සාක්ෂිකරුවන් වැඩිමහල්ලන්ව පත් කළේ ඡන්ද ක්‍රමයකටයි. හැබැයි 1938 ඉඳන් ඒ අයව පත් කළේ නිව් යෝර්ක්වල තිබුණු සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයෙනුයි. සමහර සහෝදරයන් ඒ වෙනසට කැමති වුණේ නැහැ. හැබැයි තාත්තා නම් ඒක පිළි අරගෙන සම්පූර්ණ සහයෝගය දුන්නා. තාත්තා ඒ විදිහට දෙවිගේ සංවිධානයට පක්ෂපාතව වැඩ කරපු විදිහත් කුඩම්මා තාත්තට පූර්ණ සහයෝගය දුන්න විදිහත් නිසා මම හුඟක් ප්‍රයෝජන ලැබුවා.

බව්තීස්මය සහ පූර්ණකාලීන සේවය

අපේ සභාවේ අයත් එක්ක එකතු වෙලා අපි 1940දී මිචිගන්වල ඩිට්‍රෝයිට් නගරයේ පැවැත්වූ සමුළුවකට සහභාගි වුණා. ඒ සමුළුවේදී අපේ සභාවේ හිටිය කීපදෙනෙක් බව්තීස්ම වුණා. මම වයස අවුරුදු පහේ ඉඳන් දිගටම දේශනා සේවයේ හවුල් වෙලා තිබුණත් ඇයි තාම බව්තීස්ම වෙලා නැත්තේ කියලා සමහරු මගෙන් ඇහුවා.

“බව්තීස්ම වෙන්න මම මොනවද කරන්න ඕනේ කියලා හරියටම දන්නේ නැහැ” කියලා මං එයාලට කිව්වා. එතකොට තාත්තා හුඟක් පුදුම වුණා. ඊටපස්සේ බව්තීස්ම වෙනවා කියන්නේ මොකක්ද කියලත් බව්තීස්ම වෙන්න ඕනේ ඇයි කියලත් තාත්තා මට කියලා දුන්නා. ඉන් මාස හතරකට පස්සේ, ඒ කියන්නේ 1940 ඔක්තෝබර් 1වෙනිදා මම බව්තීස්ම වුණා.

මට වයස අවුරුදු 14 ඉඳන් ඉස්කෝලේ නිවාඩු කාලෙදී පුරෝගාමි සේවය කළා. මම දේශනා සේවය කළේ ටෙනසි හා ජෝර්ජියා ජනපදවලයි. මම උදෙන්ම නැඟිටලා දවල් කෑම හදාගත්තා. ඊටපස්සේ උදේ හය වෙනකොට බස් එකෙන් හරි කෝච්චියෙන් හරි දේවසේවය කරන තැනට ගියා. ගෙදර එද්දී හැන්දෑවේ හය විතර වුණා. සමහර දවස්වල දවල්ට ගෙනියන කෑම කලින්ම ඉවර වුණා. තව මොනවා හරි ගන්න සල්ලි තිබුණත් මම කලු ජාතිකයෙක් නිසා කඩේ මිනිස්සු මට කෑම දුන්නේ නැහැ. එක දවසක් මම අයිස් ක්‍රීම් එකක් ගන්න කඩේකට ගියාම මාව එතනින් එළෙව්වා. ඒක දැකපු සුදු ජාතික කාන්තාවක් මං ගැන දුක හිතිලා මට අයිස් ක්‍රීම් එකක් ගෙනල්ලා දුන්නා.

මම උසස් පෙළ හදාරන කාලෙදී සුදු කලු භේදය එන්න එන්නම වැඩි වුණා. ඒ නිසා සමහර කණ්ඩායම්වල හිටිය සාමාජිකයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින්න ඒ අයත් එක්ක හවුල් වෙන්න කියලා කිව්වා. කලු ජාතිකයන් ගිය හුඟක් ඉස්කෝලවල හිටපු ළමයින්ට ඒ වගේ කණ්ඩායම්වලට බැඳෙන්න කියලා කිව්වා. අපේ ඉස්කෝලෙත් ඒ දේම සිද්ධ වුණා. ඒ අය මට කිව්වා ‘ඔයා ජාතිය වෙනුවෙන් නැඟී සිටින්න’ ඕනේ කියලා. හැබැයි මම ඒකට කැමති වුණේ නැහැ. දෙවි කිසිම ජාතියක් උසස් කොට සලකන්නේ නැහැ කියලා මම ඒ අයට පැහැදිලි කළා. අද සිද්ධ වෙන හැම අසාධාරණයකටම විසඳුම ගේන්නේ දෙවි බව මම හොඳින්ම දැනගෙන හිටියා.—යොහ. 17:14; ක්‍රියා 10:34, 35.

උසස් පෙළ හැදෑරුවාට පස්සේ මම නිව් යෝර්ක් නගරයට යන්න තීරණය කළා. එහෙට යන අතරතුරේදී පෙන්සිල්වේනියාවේ ෆිලදෙල්ෆියාවල ඉන්න යාළුවෙකුගේ ගෙදර නැවතුණා. එහෙදි මම රැස්වීමකට ගියාමයි කලු ජාතිකයනුයි සුදු ජාතිකයනුයි එකට රැස් වෙනවා මුල් වතාවට දැක්කේ. මීට කලින් කවදාවත් මම ඒ වගේ රැස්වීමකට ගිහින් තිබුණේ නැහැ. ඒ සතියේ චාරිකා සේවක ඒ සභාවට ඇවිල්ලා හිටියා. එයා කිව්වා ඊළඟ රැස්වීමේදී මටත් පැවරුමක් දෙනවා කියලා. ඊටපස්සේ ෆිලදෙල්ෆියාවලම ඉඳලා සේවය කරන්න මම තීරණය කළා.

එහේ මට හිටිය යාළුවන් අතරේ ජෙරල්ඩීන් කියලා සහෝදරියකුත් හිටියා. එයාටත් බයිබලයේ ඉගැන්වීම් ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ වගේම එයා දේශනා සේවයේදී දක්ෂ විදිහට කතා කළා. මම වගේම එයත් පුරෝගාමි සේවය කරන්න ආශාවෙන් ඉන්නවා කියලා දැනගත්තාම මම හුඟක් සතුටු වුණා. අපි දෙන්නා 1949 අප්‍රියෙල් 23වෙනිදා විවාහ වුණා.

සුවිශේෂී ආරාධනාවක්

ගිලියද් පාසැලට ගිහිල්ලා මිෂනාරිවරුන් විදිහට වෙනත් රටක සේවය කරන්න අපිට ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා අපි ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩි අවශ්‍යතාවක් තියෙන ප්‍රදේශයක සේවය කරන්න පටන්ගත්තා. අපි නිව් ජර්සිවල ලෝන්සයිඩ් නගරයෙත් පෙන්සිල්වේනියාවේ චෙස්ටර් නගරයෙත් ආයෙත් නිව් ජර්සිවලට ඇවිල්ලා අත්ලන්තික් සිටි කියන ප්‍රදේශයෙත් සේවය කළා. ඒ වෙද්දී අපි විවාහ වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙලා තිබුණ නිසා ගිලියද් පාසැලට ඉල්ලුම් කළා. නමුත් තව ප්‍රශ්නයක් තිබුණා.

ඇමරිකාව, කොරියාව එක්ක යුද්ධ කළ නිසා 1950 ගණන්වල මුල් කාලයේදී තරුණයන්ට හමුදාවට බැඳෙන්න කියලා අණ කළා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හමුදාවට බැඳෙන්නේ නැති නිසා ෆිලදෙල්ෆියාවේ තිබුණ හමුදාවට බඳවාගැනීමේ කමිටුව සාක්ෂිකරුවන්ට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. මම හමුදාවට බැඳෙන්නේ නැහැ කියලා කිව්වාම එයාලා ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. නමුත් ඇමරිකාවේ රහස් පොලිසිය මගේ තොරතුරු හොයලා බැලුවා කියලත් සැක කරන්න කිසි දෙයක් හමු වුණේ නැහැ කියලත් විනිසුරුවරයෙක් මට කිව්වා. ඊටපස්සේ 1952 ජනවාරි 11වෙනිදා අභියාචනා මණ්ඩලය මං දේවගැතිවරයෙක් බව පිළිගෙන මගේ තීරණයට එකඟ වුණා.

ඒ අවුරුද්දේම සැප්තැම්බර් මාසයේ පටන්ගන්න 20වන ගිලියද් පාසැලට සහභාගි වෙන්න අපිට ආරාධනයක් ලැබුණා. ඒ වෙද්දී මගේ අක්කා සේවය කළේ බ්‍රසීලයෙයි. එයා 13වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙලා තිබුණා. අපි බලාපොරොත්තු වුණේ අපිටත් වෙන රටකට පැවරුමක් ලැබෙයි කියලයි. නමුත් අපිට ලැබුණේ ඇලබාමාවල කලු ජාතික සාක්ෂිකරුවන්ගේ සභාවල සංචාරක සේවකයෙක් විදිහට වැඩ කරන්නයි. මුල ඉඳලම අපේ ආශාව වුණේ වෙනත් රටක සේවය කරන්න නිසා ඒ වෙලාවේ අපිට ටිකක් දුක හිතුණා.

අපි චාරිකා සේවය පටන්ගත්තේ හන්ට්ස්විල් සභාවෙන්. නතර වුණේ සහෝදරියකගේ ගෙදරයි. අපේ බඩු ටික අරගෙන ගෙදරට ඇතුල් වෙද්දී ඒ සහෝදරිය තවත් කෙනෙකුට දුරකථනයෙන් කතා කරලා “ළමයි මේ දැන් ආවා” කියලා කියනවා අපිට ඇහුණා. ඒ වෙද්දී අපිට වයස අවුරුදු 24යි. ඒ විතරක් නෙවෙයි පෙනුමෙනුත් අපි ළමයි වගෙයි. ඒ චාරිකාවට අයිති සභාවල සේවය කරද්දී සහෝදරයන් අපිට ආදරේට කිව්වේ “ළමයි” කියලයි.

එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ හිටිය හුඟදෙනෙක් බයිබලයට ගරු කළා. ඒ ප්‍රදේශයට කිව්වේ බයිබල් කලාපය කියලයි. එහේ ජනයා එක්ක කතා කරද්දී අපේ සංවාදයට අපි කරුණු තුනක් ඇතුළත් කළා.

(1) ලෝකයේ තත්වය.

(2) ගැටලුවලට බයිබලයේ ඇති විසඳුම්.

(3) අපි කළ යුතු දේ ගැන බයිබලය කියන දේ.

ඊටපස්සේ අපි අපේ ප්‍රකාශනයක් දෙනවා. ඒ ක්‍රමය ගොඩක් සාර්ථක වුණ නිසා 1953දී නිව් යෝර්ක්වල තිබුණ එක්රැස්වීමකදී ඒක නිරූපණය කරන්න කියලා මට පැවරුමක් ලැබුණා.

මම 1953 ඉඳලා දකුණු පළාතේ කලු ජාතික සහෝදරයන්ගේ සභාවල දිස්ත්‍රික් සේවක විදිහට වැඩ කළා. අපි වර්ජිනියා ඉඳලා ෆ්ලෝරීඩාවල තියෙන සභාවලත් ඇලබාමා සහ ටෙනසි ජනපදවල තියෙන සභාවලත් සේවය කළා. අපිට ඕනෑම තත්වයකට හුරු වෙන්න සිද්ධ වුණා. බොහෝ වෙලාවට අපි නැවතුණේ ගේ ඇතුළේ නාන කාමර නැති නිවෙස්වලයි. අපිට නාන්න වුණේ කුස්සියේ ලිප ළඟ තිබුණු විශාල ටැංකියකට බැහැලයි.

ජාතිවාදය නිසා ප්‍රශ්න

අපි දකුණු පළාතේ සභාවල සේවය කරද්දී අපිට කල්පනාවෙන් වැඩ කරන්න සිද්ධ වුණා. එහේ මහජනයාට පොදුවේ පාවිච්චි කරන්න තියෙන රෙදි සෝදන යන්ත්‍රවලින් රෙදි හෝදන්න කලු ජාතිකයන්ට අවසර තිබුණේ නැහැ. ඒ නිසා ජෙරල්ඩීන් ඒ වගේ තැනකට ගියාම මෙහෙම කියනවා. “මේ ඇඳුම් තොම්සන් මහත්මියගේ.” හුඟදෙනෙක් හිතුවේ ජෙරල්ඩීන්, තොම්සන් කියන කෙනාගේ ගෙදර වැඩ කරන කෙනෙක් කියලයි. මමත් ඒ වගේ දෙයක් කළා. ඒ කාලයේදී දිස්ත්‍රික් සේවකයන් නව ලෝක සමාජය ක්‍රියාත්මක වෙයි කියන වීඩියෝ එක පෙන්නුවා. ඒක පෙන්නන්න විශාල තිරයක් පාවිච්චි කළා. මට ඒ වගේ තිරයක් අවශ්‍ය වුණාම ඒවා කුලියට දෙන තැනකට දුරකථනයෙන් කතා කරලා “තොම්සන් මහත්තයාට” තිරයක් ඕනේ කියලා කියනවා. පස්සේ මම ගිහිල්ලා ඒක අරගෙන එනවා. අපි සේවය කරනකොට කාරුණිකව කතා කරපු නිසා සේවය කරන එක එතරම් අමාරු වුණේ නැහැ.

දකුණු පළාතේ තවත් ප්‍රශ්නයක් තිබුණා. දකුණේ ඉන්න අය උතුරේ ඉන්න අයට කැමති නැහැ. දවසක් මට ඒ ප්‍රදේශයේ කතාවක් දෙන්න තිබුණා. ඒ ගැන පුවත්පතක දැන්වීමක් පළ කරලා තිබුණේ වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් සිට පැමිණි ජේම්ස් ඒ. තොම්සන් කතාවක් පවත්වනවා කියලයි. ඉතින් ගොඩක්දෙනෙක් හිතුවේ මම උතුරේ කෙනෙක් එනම් නිව් යෝර්ක්වල කෙනෙක් කියලයි. අපි රැස්වීම තියන්න හිටියේ පාසැලක ශාලාවෙයි. ඒත් එහි නිලධාරීන් දීලා තිබුණ අවසරය අවලංගු කළා. මම එයාලව මුණගැහිලා කිව්වා මම ගියේ චැටනුගාවල තියෙන පාසැලකට කියලා. එතකොට එයාලා රැස්වීම තියන්න අවසර දුන්නා.

ජාතිවාදී ප්‍රශ්න 1950 ගණන්වලදී උත්සන්න වුණා. මිනිස්සු එන්න එන්නම දරුණු වුණා. එක්දහස් නවසිය පනස්හතරේ පැවැත්වූ දිස්ත්‍රික් සමුළු කීපයකදී කලු ජාතික සහෝදරයන් කතා දුන්නේ නැති නිසා සමහර සහෝදරයන් ඒ ගැන ප්‍රශ්න කළා. අපි අපේ කලු ජාතික සහෝදරයන්ට ඉවසන්න කියලා දිරිගැන්නුවා. ඊටපස්සේ තිබුණු සමුළුවේ මටත් කතාවක් ලැබුණා. ඉන්පස්සේ දකුණේ හිටපු ගොඩක් කලු ජාතික සහෝදරයන්ට කතා ලැබුණා.

කාලයත් සමඟ දකුණු පළාතේ තිබුණු ජාතිවාදය අඩු වෙන්න පටන්ගත්තා. කලු සහ සුදු ජාතික සහෝදර සහෝදරියන් එකට රැස්වීම් පැවැත්තුවා. කලු සහ සුදු ජාතික සහෝදරයන්ට එකම සභාවේ රැස්වීම්වලට සහභාගි වෙන්න පුළුවන් වෙන විදිහට සභාවන් වෙනස් කරන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගැන්නුවා. ඒ වගේම සභාවලට අයත් ප්‍රදේශත් වෙනස් කළා. වැඩිමහල්ලන් සියලුම සහෝදර සහෝදරියන්ට එක හා සමානව සැලකිය යුතු වුණා. සමහර කලු සහ සුදු ජාතික සහෝදරයන් මේ අලුත් සැලැස්මට කැමති වුණේ නැහැ. නමුත් හුඟදෙනා යෙහෝවා දෙවිව අනුකරණය කරමින් කිසි භේදයක් ගැන සලකන්නේ නැතුව එම සැලැස්මට එකඟ වුණා. හුඟදෙනෙකුට ඔවුන්ගේ ජාතියට අයිති නැති යාළුවන් හිටියා.

අලුත් පැවරුමක්

අපිට 1969 ජනවාරි මාසයේදී දකුණු ඇමරිකාවේ ගයනාවලට පැවරුමක් ලැබුණා. ඒ ගැන අපි ගොඩක් සතුටු වුණා. ගයනාවල දේවසේවය හා සම්බන්ධ කටයුතු සැලසුම් කරන ආකාරය ගැන පුහුණුවක් ලබන්න අපි මුලින්ම බෘක්ලින්වලට ගියා. ඊටපස්සේ 1969 ජූලි මාසයේදී අපි ගයනාවලට ආවා. අවුරුදු 16ක් සංචාරක සේවයේ යෙදුණු අපිට එක තැනකට වෙලා වැඩ කරන එක ලේසි වුණේ නැහැ. ගයනාවලට ගියාට පස්සේ ජෙරල්ඩීන් වැඩි කාලයක් දේවසේවය කළා. මම ශාඛා කාර්යාලයේ විවිධ වැඩ කළා.

තණකොළ කපන එක, සභා 28කට ලියුම් යවන එක, මූලස්ථානය සමඟ ලිපි හුවමාරු කරන එක වගේ ගොඩක් වැඩ මම කළා. හැම දවසකම පැය 14ක් 15ක් විතර වැඩ කරන්න මට සිද්ධ වුණා. අපි දෙන්නටම වෙහෙස මහන්සි වෙලා සේවය කරන්න සිද්ධ වුණත් ඒකෙන් අපි ලොකු සතුටක් ලැබුවා. අපි එහේ යද්දී ප්‍රචාරකයන් හිටියේ 950ක් විතරයි. දැන් එහේ 2,500කට වඩා වැඩියෙන් ඉන්නවා.

ගයනාවල සෞම්‍ය දේශගුණයක් තියෙනවා. අපි ආස කරපු එළවළු, පලතුරු ගොඩක් එහේ තිබුණු නිසා අපි ගොඩක් සතුටු වුණා. නමුත් දෙවිගේ රාජ්‍යය ගැන බයිබලයේ තියෙන පණිවිඩය මිනිස්සු පිළිගනිද්දී අපි ඊටත් වඩා සතුටු වුණා. ජෙරල්ඩීන් සතියකට බයිබල් පාඩම් 20ක් පැවැත්තුවා. එයා එක්ක පාඩම් කරපු ගොඩක් අය බව්තීස්ම වුණා. සමහර අය පුරෝගාමීන්, වැඩිමහල්ලන්, මිෂනාරිවරුන් විදිහට සේවය කළා.

දුර්වල සෞඛ්‍යය සහ වෙනත් ප්‍රශ්න

එක්සත් ජනපදයේ හිටිය මගේ දෙමාපියන්ට 1983දී අපේ උපකාරය අවශ්‍ය වුණා. අක්කයි, ජෙරල්ඩිනුයි, මායි ඒ ගැන සාකච්ඡා කළා. ඒ වෙද්දී අවුරුදු 35ක් බ්‍රසීලයේ මිෂනාරි සේවය කරමින් හිටිය අක්කා අම්මවයි තාත්තවයි බලාගන්න එක්සත් ජනපදයට යන්න තීරණය කළා. එයා කිව්වේ දෙන්නෙක් මිෂනාරි පැවරුම නවත්වනවාට වඩා එක් කෙනෙක් නවත්වන එක හොඳයි කියලයි. අපේ දෙමාපියන් මිය ගියාට පස්සේ අක්කා චැටනුගාවල නතර වෙලා දිගටම විශේෂ පුරෝගාමි සේවය කළා.

මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්ත නිසා අපි 1995දී ආයෙත් එක්සත් ජනපදයට ගියා. ජෙරල්ඩීන්ගේ පවුලේ අය පදිංචි වෙලා ඉන්නේ පෙන්සිල්වේනියාවලයි. මගේ පවුලේ අය ඉන්නේ ටෙනසිවලයි. ඒ නිසා අපි ඒ දෙකට හරි මැද තිබෙන උතුරු කැරොලිනා ජනපදයේ පදිංචි වුණා. මම ගන්න බෙහෙත් නිසා මගේ පිළිකාව බොහෝදුරට හොඳ වෙලා තියෙනවා. අපි දැන් ගෝල්ඩ්ස්බෝරෝ සභාවේ විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරනවා.

මම අවුරුදු 65ක් පුරා පූර්ණකාලීන සේවය කළා. මටයි ජෙරල්ඩීන්ටයි හුඟක් සකස් කිරීම් කරන්න සිද්ධ වුණත් යෙහෝවා දෙවි අපිට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. යෙහෝවා දෙවිව ‘අත් නොහරින කෙනෙකුව ඔහුත් කිසි කලෙක අත්හරින්නේ නැහැ’ කියලා දාවිත් කිව්ව වදන් ඇත්ත බව අපි අද්දැකලා තියෙනවා.—2 සාමු. 22:26.

[3වන පිටුවේ පින්තූර]

තාත්තයි සහෝදර නිකලසුයි මට හොඳ ආදර්ශයක් තැබුවා

[4වන පිටුවේ පින්තූර]

ජෙරල්ඩීන් එක්ක ගිලියද් යන්න සූදානම්ව, 1952දී

[5වන පිටුවේ පින්තූර]

ගිලියද් පුහුණුවෙන් පස්සේ දකුණේ සංචාර සේවයට පැවරුමක් ලැබුණා

[6වන පිටුවේ පින්තූරය]

සංචාරක සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් 1966දී දිස්ත්‍රික් සමුළුවට සූදානම් වෙමින්

[7වන පිටුවේ පින්තූරය]

ගයනාවලදී මිෂනාරි සේවයෙන් ලොකු සතුටක් ලැබුවා