Skip to content

පටුනට යන්න

දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි

දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි

දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි

“ඒ සියලු දේවල් සිදු වන්නේ එකම බලය විවිධාකාරව ක්‍රියාත්මක වන නිසාය.”—1 කොරි. 12:11.

1. මෙම ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ මොනවාද?

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේදී විශේෂ දෙයක් සිදු වුණා. එදින ක්‍රිස්තියානි සභාව පිහිටුවා දෙවි තම සේවකයන්ව තම බලයෙන් අභිෂේක කළා. (ක්‍රියා 2:1-4) පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට දෙවිගේ බලයේ උපකාරය ලැබුණු ආකාරය කලින් ලිපියෙන් අපි ඉගෙනගත්තා. ක්‍රිස්තු වර්ෂ 33ට කලින් සහ පසුව දෙවි තම සේවකයන්ට බලය ලබා දුන් ආකාරයේ වෙනසක් තිබෙනවාද? අද දින දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලැබෙන්නේ කොහොමද? මෙම ලිපියෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සොයමු.

“මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි”

2. දෙවිගේ බලය ගැන මරියා දැන සිටියේ කුමක්ද?

2 පෙන්තකොස්ත දිනයේ දෙවි තම සේවකයන්ව අභිෂේක කළ අවස්ථාවේදී මරියාත් එතන සිටියා. (ක්‍රියා 1:13, 14) නමුත් දෙවිගේ බලය ක්‍රියාත්මක වන ආකාරය ඇය ඊට පෙර සිටම දැන සිටියා. එනම් වසර 30කටත් කලින් ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා’ කන්‍යාවකව සිටි ඇයට ඇගේ කුස තුළ යේසුස්ව පිළිසිඳගැනීමේ ප්‍රස්තාව ලැබුණා.—මතෙ. 1:20.

3, 4. මරියාට තිබුණේ මොන වගේ ආකල්පයක්ද? ඇගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

3 යෙහෝවා දෙවි මරියාව තෝරාගත්තේ මොන හේතුවක් නිසාද? ඉදිරියේදී සිදු වන දේවල් ගැන දේවදූතයා ඇයට පැහැදිලි කළ විට ඇය පැවසුවේ, “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි. නමුත් ඔබ පැවසූ දේ එලෙසම සිදු වේවා” කියායි. (ලූක් 1:38) ඇය පැවසූ දෙයින් දෙවිගේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කරන්න ඇය සූදානම්ව සිටි බව පැහැදිලියි. ඇය කන්‍යාවක් නිසා සමාජයෙන් ඇයව කොන් වෙයිද යෝසෙප් ඇයව අත්හරියිද කියා ඇය සිත සිතා සිටියේ නැහැ. මම දෙවිගේ දාසියක් පමණයි කියා පැවසීමෙන් පෙන්නුම් කළේ දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇයට තිබුණු බවයි.

4 සමහර අවස්ථාවලදී දෙවිගේ සේවයට ඇතුළත් වගකීම් ඉටු කරන්න අමාරු බව ඔබට දැනෙනවාද? එලෙස හැඟෙන විට අපට මෙසේ කල්පනා කළ හැකියි. ‘දෙවි මගෙන් බලාපොරොත්තු වන දේවල් කිරීමට මම සූදානමින් හා කැමැත්තෙන් ඉන්නවාද? දෙවිගේ සේවය තුළ කිරීමට තිබෙන වැඩ කොටස ඉටු කිරීමට දෙවි මට උපකාර කරන බවට පූර්ණ විශ්වාසයක් මට තියෙනවාද?’ පාලකයාණන් වන දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා ඔහුට කීකරු වන අයට ඔහු තම බලය ලබා දෙන බවට නිසැක වන්න.—ක්‍රියා 5:32.

පේතෘස්ට දෙවිගේ බලයේ උපකාරය ලැබුණා

5. පෙන්තකොස්ත දිනයට පෙර දෙවිගේ බලයේ උපකාරයෙන් පේතෘස්ට කරන්න පුළුවන් වුණේ මොනවාද?

5 මරියාට මෙන් පේතෘස්ටත් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයට පෙර දෙවිගේ බලයේ උපකාරය ලැබුණා. ඔහුටත් අනික් නියෝජිතයන්ටත් භූතයන් දුරු කිරීමේ බලය යේසුස් දී තිබුණා. (මාක් 3:14-16) බයිබලයේ ඒ ගැන වැඩි යමක් පවසා නොතිබුණත් පේතෘස් ඒ බලයේ උපකාරයෙන් බොහෝ දේවල් කර තිබෙනවා. එක් අවස්ථාවකදී මුහුද පිට ඇවිදගෙන එන්න කියා යේසුස් පැවසූ විට ඔහු ඇවිදගෙන ගියේ දෙවිගේ බලය ලැබුණු නිසයි. (මතෙව් 14:25-29 කියවන්න.) දෙවිගේ බලයේ උපකාරයෙන් බොහෝ බලවත් ක්‍රියා කරන්න පේතෘස්ට පුළුවන් වුණේ දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසයි.

6. පෙන්තකොස්ත දිනයේත් ඉන්පසුවත් දෙවිගේ බලය මගින් කුමක් කිරීමට පේතෘස්ට හැකි වුණාද?

6 පෙන්තකොස්ත උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී යෙරුසලමට පැමිණි විවිධ ජාතීන්ට අයත් ජනයාට ඔවුන්ගේම භාෂාවලින් කතා කරන්න පේතෘස්ට හා අනික් අයට හැකි වුණේ දෙවිගේ බලය ලැබුණු නිසයි. පේතෘස් එහි රැස්ව සිටි සියලුදෙනාටම කතාවක් දුන්නා. (ක්‍රියා 2:14-36) සමහර අවස්ථාවලදී පේතෘස් බියෙන් හෝ කලබලෙන් ක්‍රියා කළත් දෙවිගේ බලය ලැබුණු විට පීඩා හා තර්ජන මැද නිර්භීතව දේශනා කළා. (ක්‍රියා 4:18-20, 31) යම් දේවල් හෙළි කරගැනීමට දෙවි ඔහුට බලය ලබා දුන්නා. (ක්‍රියා 5:8, 9) එම බලයේ උපකාරයෙන් මිය ගිය කෙනෙකුව නැවත නැඟිටුවන්නත් ඔහුට හැකි වුණා.—ක්‍රියා 9:40.

7. දෙවිගේ බලයෙන් අභිෂේක ලැබූ පසුව පේතෘස්ට වටහාගන්න හැකි වුණේ යේසුස්ගේ මොන ඉගැන්වීම්ද?

7 පෙන්තකොස්ත දිනයට පෙර යේසුස් ඉගැන්වූ බොහෝ දේවල් පේතෘස් අවබෝධ කරගෙන සිටියා. (මතෙ. 16:16, 17; යොහ. 6:68) නමුත් සමහර දේවල් ඔහු වටහාගෙන තිබුණේ නැහැ. උදාහරණයකට යේසුස් දින තුනකින් නැවත නැඟිට ස්වර්ගයට යන බවත් දෙවිගේ රාජ්‍යය පිහිටුවන්නේ ස්වර්ගයේ බවත් ඔහු තේරුම්ගෙන සිටියේ නැහැ. (යොහ. 20:6-10; ක්‍රියා 1:6) එමෙන්ම මිනිසුන්ට ස්වර්ග රාජ්‍යයේ පාලනයට හවුල් වෙන්න ලැබෙන බවත් ඔහු වටහාගත්තේ නැහැ. නමුත් පෙන්තකොස්ත දිනයේදී දෙවිගේ බලයෙන් අභිෂේක කර ස්වර්ගයේ ජීවත් වීමට අවස්ථාව විවෘත කළ පසු කලින් වටහාගෙන නොතිබූ දේවල් වටහාගන්න ඔහුට හැකි වුණා.

8. අභිෂේක ලත් අයට මෙන්ම ‘වෙනත් බැටළුවන්ටද’ ලැබී තිබෙන්නේ කුමන අවබෝධයක්ද?

8 යේසුස්ගේ අනික් නියෝජිතයන්ටත් දෙවිගේ බලයෙන් අභිෂේක ලැබූ පසු පූර්ණ අවබෝධයක් ලැබුණා. ඒ වගේම දෙවිගේ අරමුණට සම්බන්ධ බොහෝ දේවල් ග්‍රීක් ලියවිල්ල පුරාම ලියන්න ඔවුන්ට හැකි වුණෙත් දෙවිගේ බලයේ උපකාරය ලැබුණු නිසයි. (එෆී. 3:8-11, 18) ඔවුන් එදා ලියූ දේවල් අද දින සිටින අභිෂේක ලත් අයට මෙන්ම ‘වෙනත් බැටළුවන්ටද’ එක හා සමානව අවබෝධ කරගැනීමට හැකි වී තිබෙනවා. (යොහ. 10:16) බයිබලයේ ඇති දේ අවබෝධ කරගැනීමට දෙවිගේ බලයේ උපකාරයෙන් අපටත් හැකි වෙනවා. ඒ ගැන අපි අගය කළ යුතු නැද්ද?

පාවුල් තුළ ‘දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියා කළා’

9. දෙවිගේ බලයේ උපකාරයෙන් පාවුල් කළේ මොනවාද?

9 පාවුල්ව දෙවිගේ බලයෙන් අභිෂේක කළේ පෙන්තකොස්ත දිනයෙන් වසරකට පමණ පසුවයි. එම බලයේ උපකාරයෙන් ඔහු කළ දේවල් අපට අද දින ප්‍රයෝජනවත් වෙනවා. ඔහුට බයිබලයේ පොත් 14ක්ම ලියන්න ප්‍රස්තාව ලැබුණා. ඒ වගේම පේතෘස් මෙන් ඔහුටත් ස්වර්ගයේදී ලැබෙන අමරණීය ජීවිතය ගැන වටහාගැනීමටත් ඒ ගැන පැහැදිලි කර දීමටත් හැකි වුණා. ඊට අමතරව එම බලයේ උපකාරයෙන් රෝගීන්ව සුව කරන්න, භූතයන්ව දුරු කරන්න හා මිය ගිය අයව නැවත නැඟිටුවන්න ඔහුට හැකි වුණා. නමුත් ඊටත් වඩා වැදගත් දෙයක් කිරීමට පාවුල්ට දෙවිගේ බලය ලැබුණා. අද දින දෙවිගේ සේවකයන්ටත් ආශ්චර්යයන් කිරීමට බලය නොලැබුණත් දෙවිගේ බලයේ උපකාරයෙන් වැදගත් කාර්යයක් ඉටු කිරීමට හැකි වෙනවා.

10. දෙවිගේ බලය ලැබීම පාවුල්ගේ කතා කිරීමේ හැකියාවට බලපෑවේ කොහොමද?

10 “දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියා කරන්න පටන්ගත් විට” පාවුල් මන්තර ගුරුකම් කළ කෙනෙකුගේ බොරුව හෙළි කිරීමට භය වුණේ නැහැ. ඒ අවස්ථාවේදී පාවුල් පැවසූ දේවලට සවන් දුන් සයිප්‍රසයේ ආණ්ඩුකාරයා, “යෙහෝවා දෙවි ගැන ඉගෙනගත් දේවලින් පුදුමයට පත් වී” යේසුස්ගේ අනුගාමිකයෙක් බවට පත් වුණා. (ක්‍රියා 13:8-12) නිර්භීතව සත්‍යය කතා කිරීමට දෙවිගේ බලය අවශ්‍ය බව පාවුල් දැන සිටියා. (මතෙ. 10:20) එමනිසා කිසිම බියක් සැකක් නැතුව තමාට “කතා කිරීමට හැකියාව” ලැබීම සඳහා දෙවිට කන්නලව් කරන්න කියා පාවුල් එෆීස සභාවෙන් ඉල්ලා සිටියා.—එෆී. 6:18-20.

11. දේශනා සේවය සම්බන්ධයෙන් පාවුල්ට ලැබුණු මඟ පෙන්වීම මොකක්ද?

11 දෙවිගේ බලයේ උපකාරයෙන් පාවුල්ට නිර්භීතව කතා කිරීමට හැකියාව ලැබුණා වගේම සමහරවිට යම් ප්‍රදේශවලදී කතා නොකර සිටීමටත් එම බලය ඔහුට මඟ පෙන්නුවා. (ක්‍රියා 13:2; ක්‍රියා 16:6-10 කියවන්න.) අද දිනත් දේශනා සේවය කෙරෙන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුවයි. පාවුල් මෙන් අද සිටින දෙවිගේ සේවකයන් උපරිම උත්සාහයක් දරන්නේ සත්‍ය ඉගැන්වීම් අන් අයට ප්‍රකාශ කිරීමටයි. දෙවි අද අපට මඟ පෙන්වන්නේ පාවුල්ට මඟ පෙන්වූ ආකාරයටම නොවුණත් සත්‍යය කෙරෙහි අවංක ආශාවක් ඇති අයට දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් සත්‍යය දැනගැනීමට සලස්වනවා.—යොහ. 6:44.

“විවිධාකාර වැඩකටයුතු”

12-14. දෙවිගේ සෑම සේවකයෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන්නේ එක සමානවද? දෙවිගේ බලය ක්‍රියාත්මක වන ආකාරයන් මොනවාද?

12 මුල් සියවසේ සිටි අභිෂේක ලත් අය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ ආකාරය දැනගැනීම අපට ඉමහත් දිරිගැන්වීමක්. දෙවිගේ බලය ගැනත් එහි ක්‍රියාකාරිත්වය ගැනත් පාවුල් කොරින්ති සභාවට පැවසූ දෙය අප මතක තබාගත යුතුයි. ඔහු පැවසුවේ මෙයයි. “විවිධාකාර දීමනා තිබුණත් ඒ සියල්ල ලැබෙන්නේ දෙවිගේ බලයෙනි. සියලුදෙනා විවිධාකාර සේවාවන් ඉටු කළත් සිටින්නේ එකම ස්වාමීන්ය. සියලුදෙනා විවිධාකාර වැඩකටයුතු ඉටු කළත් ඒ සියල්ල එසේ සිදු වීමට සලස්වන්නේ එකම දෙවිය. නමුත් ඒ සියලු දේවල් සිදු වන්නේ එකම බලය විවිධාකාරව ක්‍රියාත්මක වන නිසාය. එලෙස දෙවිගේ කැමැත්තට එකඟව සෑම කෙනෙකුටම එම දීමනා නිසියාකාරව බෙදා දෙනු ලැබේ.” (1 කොරි. 12:4-6, 11) යම් අරමුණක් සඳහා දෙවි තම සේවකයන්ට අවශ්‍ය බලය ලබා දෙනවා. ඒ වගේම ක්‍රිස්තුස් සඳහන් කළ ‘කුඩා රැළට’ මෙන්ම ‘වෙනත් බැටළුවන්ටත්’ දෙවි තම බලය ලබා දෙනවා. (ලූක් 12:32; යොහ. 10:16) නමුත් සභාවේ සිටින සෑම කෙනෙකු තුළම එම බලය ක්‍රියාත්මක වෙන්නේ විවිධාකාරයෙනුයි.

13 උදාහරණයකට වැඩිමහල්ලෙකුව පත් කරන්නේ දෙවිගේ බලයෙනුයි. (ක්‍රියා 20:28) නමුත් දෙවිගේ බලයෙන් අභිෂේක කරන සෑම කෙනෙකුවම සභාවේ වැඩිමහල්ලෙක් ලෙස පත් කරන්නේ නැහැ. ඉන් අපට පැහැදිලි වන්නේ සභාවේ සිටින විවිධ සාමාජිකයන් තුළ දෙවිගේ බලය විවිධාකාර ලෙසින් ක්‍රියාත්මක වන බවයි.

14 යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිටුවා ස්වර්ගයේ අමරණීය ජීවිතය ලබා දුන්නෙත් 1,44,000දෙනෙකුව අභිෂේක කර තම පුත්‍රයන් ලෙස පිළිගත්තෙත් තම බලය යොදාගෙනයි. (රෝම 8:11, 15 කියවන්න.) මේ මුළු විශ්වයම නිර්මාණය කරන්නත් දෙවි යොදාගත්තේ එම බලයයි. (උත්. 1:1-3) එමෙන්ම බෙසලෙල් අභිෂේක ලත් කෙනෙක් නොවුණත් ශුද්ධ කූඩාරමට අවශ්‍ය දේවල් සෑදීමට ඔහුට හැකි වුණේ දෙවිගේ බලය ලැබුණු නිසයි. ඒ වගේම අභිෂේක ලත් කෙනෙක් නොවුණත් සැම්සන්ට පුදුමාකාර කාය ශක්තියක් ලැබුණෙත් දෙවිගේ බලයෙනුයි. දෙවි පේතෘස්ව අභිෂේක කිරීමට පෙර පේතෘස් මුහුද පිට පයින් ගියෙත් දෙවිගේ බලය ලැබුණ නිසයි. ඒ අනුව දෙවිගේ සේවය තුළ විවිධ දේවල් ඉටු කිරීමට කෙනෙකුට බලය ලබා දීමයි කෙනෙකුව දෙවි තම බලයෙන් අභිෂේක කිරීමයි අතර වෙනසක් තිබෙනවා. කෙනෙකුව අභිෂේක කිරීමට දෙවි තම බලය යොදාගැනීම එක් ආකාරයක් පමණයි. අභිෂේක කරනවාද නැද්ද කියා තීරණය කරන්නේ දෙවි විසින්මයි.

15. අභිෂේක කිරීම සදහටම පවතින දෙයක්ද?

15 දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් තුළ ඔහුගේ බලය බොහෝ ආකාරවලින් ක්‍රියාත්මක වී තිබෙනවා. දෙවි ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයේදී තම සේවකයන්ව අභිෂේක කිරීමට පටන්ගත්තා. නමුත් ඊට වසර දහස් ගණනකට පෙර සිටම ඔහුගේ බලය ඔහුගේ සේවකයන් තුළ ක්‍රියාත්මක වුණා. අභිෂේක කිරීම යෙහෝවා දෙවි කරන්නේ යම් අරමුණක් ඉටු කිරීම සඳහා නිශ්චිත කාලයකට පමණයි. නමුත් තම කැමැත්ත ඉටු කිරීම සඳහා තම සේවකයන්ට බලය ලබා දීම සදහටම සිදු කෙරෙන දෙයක්.

16. දෙවිගේ සෙනඟට ඔහුගේ බලයේ උපකාරයෙන් කුමක් කිරීමට හැකි වී තිබෙනවාද?

16 එසේනම් අද දින දෙවි තම බලය මාර්ගයෙන් ඉටු කරන්නේ කුමක්ද? එළිදරව් 22:17හි මෙසේ පවසනවා. “දෙවිගේ බලය හා මනාලිය මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න” කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි. කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.” අද දින සිටින දෙවිගේ සෙනඟ තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන නිසා ඔවුන් ජීවනදායක වතුර ලබාගන්න කියා සියලුදෙනාට ආරාධනා කරනවා. මෙම වැඩයට අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පෙරමුණ ගත්තත් වෙනත් බැටළුවන්ද ඔවුන්ට සහාය වෙනවා. දෙගොල්ලන්ටම මඟ පෙන්වන්නේ එකම දෙවියි. ඔවුන් සියල්ලෝම තම ජීවිත දෙවිට කැප කර ‘පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගෙන බව්තීස්ම වී සිටිනවා.’ (මතෙ. 28:19) ඔවුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන නිසා යහපත් ගුණාංග වර්ධනය කරගැනීමටද හැකි වී තිබෙනවා. (ගලා. 5:22, 23) එම බලයේ උපකාරය මගින් දෙවිව සතුටු වන ආකාරයෙන් පවිත්‍ර ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට පුළුවන්.—2 කොරි. 7:1; එළි. 7:9, 14.

නොකඩවා දෙවිගේ බලය ඉල්ලන්න

17. දෙවිගේ බලය අපට ලැබී තිබෙන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

17 ඔබේ බලාපොරොත්තුව ස්වර්ගයට යෑම හෝ පාරාදීස පොළොවේ ජීවත් වීම හෝ වේවා දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට දෙවි ඔබට ‘සාමාන්‍යය ඉක්මවූ බලය’ ලබා දෙනවා. (2 කොරි. 4:7) අත් නෑර දේශනා සේවයේ යෙදෙන විට නින්දා අපහාස විඳින්න සිදු විය හැකියි. නමුත් මෙය මතක තබාගන්න. “ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳීමට ඔබට සිදු වේ නම් ඒ ගැන සතුටු වන්න. මන්ද දෙවිගේ තේජවත් බලය ඔබට ලැබී ඇති බව ඉන් පැහැදිලි වේ.”—1 පේතෘ. 4:14.

18, 19. දෙවිගේ බලයෙන් ඔබට ලැබෙන්නේ කුමන උපකාරයද? ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

18 දෙවිගේ කැමැත්ත කිරීමට උත්සාහ කරන සෑම කෙනෙකුටම දෙවි තම බලය ලබා දෙන්නේ වටිනා තෑග්ගක් ලෙසයි. දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ඔහුට සේවය කිරීමේ ආශාව හා හැකියාව වැඩි කරගත හැකියි. “ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය. ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. “දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්න” අපි උත්සාහ කරන විට හා ඔහුගේ බලය අපට ලැබෙන විට ‘දේවගරුබියක් ඇතුව අප ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් අපේ ගැලවීම ස්ථිර කරගැනීමට හැකි වෙනවා.’—ෆිලි. 2:12, 13, 16.

19 යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න. ඔබට ඇති හැකියාවන් ප්‍රගුණ කරගනිමින් ඔබේ සේවය හොඳින් කිරීමට වෑයම් කරන්න. ඒ සඳහා දෙවිගේ උපකාරයද දිගටම ඉල්ලන්න. (යාකො. 1:5) බයිබලයේ ඇති දේ වටහාගැනීමටත් ගැටලු විසඳාගැනීමටත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමටත් දෙවි තම බලය ඔබට ලබා දෙයි. දෙවිගේ බලය ඉල්ලන විට මෙය මතකයේ තබාගත හැකියි. “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි. නොකඩවා සොයන්න. එවිට ඔබටත් අවශ්‍ය දේ සම්බ වෙයි. නොකඩවා දොරට තට්ටු කරන්න. එවිට ඔබටත් එය විවෘත කරනු ලැබෙයි.” (ලූක් 11:9, 13) නොකඩවා දෙවිගේ බලය ඉල්ලන්න. එවිට දෙවිගේ බලය හා මඟ පෙන්වීම ලැබූ විශ්වාසවන්ත සේවකයන්ගෙන් කෙනෙක් වීමට ඔබටත් හැකියි.

ඔබට පැහැදිලි කළ හැකිද?

• මරියා මෙන් අපටත් මොන වගේ ආකල්පයක් ඇතුව සිටිය හැකිද?

• පාවුල්ට දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් කුමක් කිරීමට හැකි වුණාද?

• අද දින දෙවිගේ සේවකයන්ට දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලැබෙන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ පින්තූරය]

දෙවිගේ බලයෙන් පාවුල් භූත බලපෑම් හමුවේ නිර්භීතව සිටියා

[26වන පිටුවේ පින්තූරය]

අභිෂේක ලත් අයටත් වෙනත් බැටළුවන්ටත් දෙවිගේ බලයේ උපකාරය ලැබෙනවා