Skip to content

පටුනට යන්න

දෙවිගේ බලය ලැබූ පුරාණ සේවකයෝ

දෙවිගේ බලය ලැබූ පුරාණ සේවකයෝ

දෙවිගේ බලය ලැබූ පුරාණ සේවකයෝ

“විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම බලයෙන් මාව ශක්තිමත් කර එව්වේය.”—යෙසා. 48:16.

1, 2. විශ්වාසය ගොඩනඟා ගැනීමට අවශ්‍ය කුමක්ද? පුරාණ විශ්වාසවන්ත අය ගැන අධ්‍යයනය කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

සියලුදෙනා තුළ විශ්වාසය නැහැ කියා බයිබලයේ පවසනවා. (2 තෙස. 3:2) නමුත් ආබෙල්ගේ කාලයේ සිට විශ්වාසවන්ත අය ඉඳලා තියෙනවා. ඒ කොහොමද? ‘විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණයි’ කියා බයිබලයේ පැහැදිලි කරනවා. (රෝම 10:17) විශ්වාසය දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංගයක්. (ගලා. 5:22, 23) එමනිසා විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා අපට දෙවිගේ බලය අවශ්‍යයි.

2 විශ්වාසය යන ගුණාංගය උපතින් ලැබෙන එකක් නොවෙයි. පුරාණයේ දෙවිට විශ්වාසවන්තව සිටි අය “අප හා සමාන හැඟීම් ඇති” අයයි. (යාකො. 5:17) ඔවුන් තුළත් වැරදි කිරීමේ නැඹුරුවාවක් තිබුණා. දුර්වල වූ අවස්ථාත් තිබුණා. නමුත් ඒ අභියෝගවලට මුහුණ දීමට ඔවුන් ‘බලවත් වුණේ’ දෙවිගේ බලය නිසයි. (හෙබ්‍රෙ. 11:34) අද දිනත් විශ්වාසවන්තව සිටීම පහසු දෙයක් නෙවෙයි. එමනිසා පුරාණයේ සිටි විශ්වාසවන්ත අයට දෙවිගේ බලයේ උපකාරය ලැබුණු ආකාරය අධ්‍යයනය කිරීම විශ්වාසවන්තව සිටීමට අපට දිරිගැන්වීමක්.

දෙවිගේ බලයෙන් මෝසෙස් ශක්තිමත් වුණා

3-5. (අ) මෝසෙස් දෙවිගේ බලයෙන් ශක්තිමත් වූ බව අප දන්නේ කෙසේද? (ආ) දෙවි තම බලය අපටත් නොඅඩුව ලබා දෙන බව මෝසෙස්ගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් කොහොමද?

3 ක්‍රිස්තු පූර්ව 1513දී ජීවත් වූ සියලු මිනිසුන්ට වඩා මෝසෙස් ‘මෘදු ගුණැති කෙනෙක්ව’ සිටියා. (ගණන්. 12:3) ඔහුට ඊශ්‍රායල් සෙනඟව බලාගැනීමේ භාරදූර වගකීම තිබුණා. දෙවිගේ බලය ලැබුණු නිසා අනාවැකි කීමට, විනිශ්චය කිරීමට, බයිබලයේ පොත් ලිවීමට හා ආශ්චර්යයන් කිරීමට ඔහුට හැකියාව ලැබුණා. (යෙසායා 63:11-14 කියවන්න.) කොහොමවුණත් මෝසෙස් පැවසුවේ ඒ වගකීම් සියල්ලම උසුලන්න ඔහුට බැහැ කියායි. (ගණන්. 11:14, 15) ඒ නිසා යෙහෝවා දෙවි මෝසෙස්ට උපකාර කිරීම සඳහා තවත් 70දෙනෙකුව පත් කළා. ඉන්පසු මෝසෙස්ට දුන් “බලයෙන් කොටසක් ගෙන” ඔවුන්ට දුන්නා. (ගණන්. 11:16, 17) වගකීම් සියල්ල උසුලන්න අපහසුයි කියා මෝසෙස් සිතුවත් ඔහුටවත් අනික් 70දෙනාටවත් තමන්ගේම ශක්තියෙන් වගකීම් උසුලන්න සිදු වුණේ නැහැ.

4 මෝසෙස්ට තම කාර්යය ඉටු කිරීමට දෙවි ප්‍රමාණවත් ලෙස බලය ලබා දුන්නා. දෙවි එම 70දෙනාට බලය ලබා දුන්නත් මෝසෙස් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීම අඩු වුණේ නැහැ. ඒ හා සමානව අප එක් එක් කෙනාගේ තත්වය අනුව දෙවි අපටත් බලය ලබා දෙනවා. දෙවි ‘තම බලය නොඅඩුව ලබා දෙන්නේ මහත් කරුණාවෙන් පිරී සිටින’ නිසයි.—යොහ. 1:16; 3:34.

5 ඔබේ තත්වය කුමක්ද? පීඩා විඳිමින් සිටිනවාද? නැත්නම් වගකීම් වැඩි වන නිසා කාලය මදියි කියා හැඟෙනවාද? වියහියදම් වැඩි වෙන අතරතුරේ පවුලේ අයව නඩත්තු කරන්නත් නමස්කාර කටයුතු සඳහා ඔවුන්ට උපකාර කරන්නත් ඔබ මහන්සි වෙනවාද? නැත්නම් ඒ සියල්ල ඔබට කරන්න සිදු වී තිබෙන්නේ යම් සෞඛ්‍ය ගැටලුවක් තිබියදීද? සභාවේ වගකීම් රැසක් තිබෙනවාද? ඔබ මොන වගේ තත්වයක සිටියත් ඊට මුහුණ දීමට දෙවි ඔහුගේ බලය ලබා දෙමින් ඔබව ශක්තිමත් කරයි.—රෝම 15:13.

දෙවිගේ බලයෙන් බෙසලෙල් දැනුවත් වුණා

6-8. (අ) දෙවිගේ බලයේ උපකාරයෙන් බෙසලෙල්ට හා ඔහොලියාබ්ට කුමක් කිරීමට හැකි වුණාද? (ආ) එය දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් සිදු වුණ දෙයක් බව අප දන්නේ කොහොමද? (ඇ) බෙසලෙල්ගේ අද්දැකීම අපට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?

6 බෙසලෙල් මෝසෙස්ගේ කාලයේ දෙවිට විශ්වාසවන්තව සිටි තවත් කෙනෙක්. දෙවිගේ බලය ක්‍රියාත්මක වන තවත් ආකාරයක් ගැන ඔහුගේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැකියි. (නික්මයාම 35:30-35 කියවන්න.) මණ්ඩපයට අවශ්‍ය සියලුම භාණ්ඩ සෑදීමට බෙසලෙල්ව පත් කළා. ඒ සියල්ල සෑදීම සඳහා ඔහුට යම් දැනුමක් තිබුණාද? සමහරවිට තිබෙන්න ඇති. නමුත් ඔහු අවසන් වරට කළේ ඊජිප්තුවරුන්ට ගඩොල් සෑදීමයි. (නික්. 1:13, 14) එසේනම් ඔහුගේ අලුත් පැවරුම ඔහු ඉටු කළේ කොහොමද? යෙහෝවා දෙවි ‘ඔහුට ප්‍රඥාව, දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව ලැබෙන පිණිසත් සියලු ශිල්ප ක්‍රමවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකි වන පිණිසත් තම බලය නොඅඩුව දී තිබුණා.’ ඉන් ඔහුට ‘වැඩ සැලසුම් කිරීමටත් සියලු කර්මාන්ත කිරීමටත් අවශ්‍ය දක්ෂතාව’ ලැබුණා. දෙවිගේ බලය නිසා මෙම කර්මාන්ත ගැන ඔහුට තිබුණ හැකියාව තවත් ප්‍රගුණ කරගන්න හැකි වුණා. යෙහෝවා දෙවි ඒ ආකාරයෙන්ම ඔහොලියාබ්ටත් බලය ලබා දුන්නා. ඒ දෙදෙනා දක්ෂ ලෙස තමන්ගේ කාර්යය කළා පමණක් නොව අන් අයටත් එසේ කිරීමට ඉගැන්නුවා.

7 බෙසලෙල් හා ඔහොලියාබ් සෑදූ භාණ්ඩ වසර 500කට වඩා වැඩි කාලයක් පැවතුණ නිසා ඔවුන් ඒවා සෑදුවේ දෙවිගේ බලයේ උපකාරයෙන් බව පැහැදිලියි. (2 ලේක. 1:2-6) අද දින සිටින භාණ්ඩ නිෂ්පාදකයන් තමන්ගේ නම හා වෙළෙඳ ලාංඡනය සඳහන් කරන්න කැමතියි. නමුත් බෙසලෙල් හා ඔහොලියාබ් එසේ කළේ නැහැ. ඔවුන් ඒ සියල්ල කළේ දෙවිගේ බලයෙන් කියා ඔවුන් පිළිගත්තා.—නික්. 36:1, 2.

8 සමහර කාර්යයන් කිරීමට විශේෂ හැකියාවන් තිබිය යුතුයි. උදාහරණයකට ගොඩනැඟිලි ඉදි කිරීම, මුද්‍රණය කිරීම, සමුළු සංවිධානය කිරීම, විපත්වලට මුහුණ දුන් සහෝදරයන්ට උදව් කිරීම හා රුධිරය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් දේ වෛද්‍යවරුන්ට හා රෝහල් සේවකයන්ට පැහැදිලි කිරීම වැනි දේ සඳහා විශේෂ දක්ෂකමක් අවශ්‍යයි. නමුත් බොහෝවිට මෙවැනි දේවල් සිදු කරන්නේ ඒ සඳහා විශේෂ දක්ෂකමක් නැති ස්වේච්ඡා සේවකයන් විසිනුයි. ඔවුන්ට ඒවා කිරීමට හැකි වෙන්නේ දෙවිගේ බලයේ උපකාරය නිසයි. ඒ නිසා යෙහෝවා දෙවිට සේවය කිරීමේදී ලැබෙන ඕනෑම පැවරුමක් ඉටු කිරීමට අදි මදි කරන්න එපා. තමන් දක්ෂ නැහැ කියා සිතමින් පැවරුම භාර නොගෙන සිටින්න එපා. එම පැවරුම ඉටු කිරීමට අවශ්‍ය ප්‍රඥාව හා දැනුම යෙහෝවා දෙවි ඔබට ලබා දෙන බව මතක තබාගන්න.

යොෂුවාට දෙවිගේ බලයේ උපකාරය ලැබුණා

9. නිදහස ලැබූ ඊශ්‍රායෙල්වරුන්ට මුහුණ දෙන්න සිදු වුණේ කුමකටද? ඒ නිසා මතු වුණේ කුමන ප්‍රශ්නයද?

9 මෝසෙස් හා බෙසලෙල්ගේ කාලයේ සිටි තවත් කෙනෙකුට දෙවිගේ බලයේ උපකාරය ලැබුණා. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වී වැඩි කලක් යන්න පෙර අමලෙක්වරුන් ඔවුන් සමඟ යුද්ධ කරන්න ආවා. යුද්ධයට පුහුණු වී නොසිටියත් ඊශ්‍රායෙල්වරුන්ට සිදු වුණා සටන් කරන්න. (නික්. 13:17; 17:8) නමුත් යුද්ධයේ පෙරමුණ ගැනීමට කෙනෙකු අවශ්‍ය වුණා.

10. යොෂුවාගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල්වරුන් සටන ජය ගත්තේ කුමන හේතුව නිසාද?

10 ඒ සඳහා යෙහෝවා දෙවි යොෂුවාව තෝරාගත්තා. එසේ කළේ ඔහුට යුධ පුහුණුවක් තිබූ නිසා නොවෙයි. ඇත්තෙන්ම ඔහුත් කලින් කළේ ඊජිප්තුවරුන්ට ගඩොල් සෑදීමයි. ඉෆ්‍රායිම් ගෝත්‍රයේ අධිපතියා වූ යොෂුවාගේ සීයා වන එලිෂාමා යටතේ නම් 1,08,100ක විශාල සේනාවක් සිටි බව ඇත්තයි. (ගණන්. 2:18, 24; 1 ලේක. 7:26, 27) නමුත් එලිෂාමාව හෝ ඔහුගේ පුත්‍රයා වූ නූන්ව හෝ තෝරාගන්න කියා දෙවි මෝසෙස්ට පැවසුවේ නැහැ. ඒ වෙනුවට යොෂුවාවයි තෝරාගත්තේ. දෙවි යොෂුවාට පැවසුවේ හමුදාව මෙහෙයවා අමලෙක්වරුන් සමඟ සටන් කරන්න කියායි. ඒ සටන දවස පුරාම පැවතුණා. යොෂුවා දෙවිට කීකරුව ඔහුගේ බලයේ මඟ පෙන්වීම පිළිගත් නිසා සතුරන්ව පරාජය කරන්න ඊශ්‍රායෙල්වරුන්ට හැකි වුණා.—නික්. 17:9-13.

11. යොෂුවා මෙන් දෙවිගේ සේවය තුළ සාර්ථක වෙන්න අපිට පුළුවන් කොහොමද?

11 “යොෂුවා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා” මෝසෙස්ගෙන් පසු ඔහු ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා වුණා. (ද්වි. 34:9) මෝසෙස් මෙන් යොෂුවාට අනාවැකි කීමට හෝ ආශ්චර්යයන් කිරීමට හැකි වුණේ නැහැ. නමුත් දෙවිගේ බලයේ උපකාරයෙන් යොෂුවාට හැකි වුණා සාර්ථක යුධ මෙහෙයුම් දියත් කර කානාන් දේශය අත් පත් කරගන්න. අද දින අපි දෙවිට පිරිනමන සේවය හා සම්බන්ධ යම් දේවල් කිරීමට දැනුමක් හෝ හැකියාවක් අපට නැහැ කියා සිතෙන්න පුළුවන්. නමුත් යොෂුවා මෙන් දෙවිගේ මඟ පෙන්වීම පිළිගන්නවා නම් අපි සාර්ථක වෙනවා.—යොෂු. 1:7-9.

‘දෙවිගේ බලය ගිඩියොන් තුළ ක්‍රියාත්මක වුණා’

12-14. (අ) විශාල හමුදාවක් පරාජය කරන්න 300දෙනෙකුට පුළුවන් වුණේ කොහොමද? (ආ) දෙවි ගිඩියොන්ගේ විශ්වාසය ශක්තිමත් කළේ කෙසේද? (ඇ) අද දින දෙවි අපිව ශක්තිමත් කරන්නේ කොහොමද?

12 යොෂුවා මිය ගියායින් පසුවත් විශ්වාසවන්තව සිටි වෙනත් අයට දෙවි බලය ලබා දුන්නා. “දුර්වලව සිටියත් බලවත් වූ” අය ගැන විනිශ්චයකරුවෝ යන පොතේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙ. 11:34) දෙවිගේ බලයේ උපකාරයෙන් ගිඩියොන්ට දෙවිගේ සෙනඟ වෙනුවෙන් සටන් කරන්න හැකි වුණා. (විනි. 6:34) නමුත් ගිඩියොන්ට එතරම් විශාල හමුදාවක් සිටියේ නැහැ. සෑම මිදියන් සෙබළුන් හතරදෙනෙකුටම සිටියේ එක් ඊශ්‍රායෙල් සෙබළෙක් පමණයි. ඒත් දෙවතාවක්ම දෙවි ගිඩියොන්ට පැවසුවේ ඔහුගේ හමුදාව තව අඩු කරන්න කියායි. අවසානයේදී මිදියන් සෙබළුන් 450කට එක් ඊශ්‍රායෙල් සෙබළෙක් වන සේ ඊශ්‍රායෙල් හමුදාව අඩු කළා. (විනි. 7:2-8; 8:10) යෙහෝවා දෙවි එසේ කළේ ජයග්‍රහණය අත් කර ගත් පසු ඔවුන්ගේ බලයෙන් එය කළා කියා නොපැවසීමටයි.

13 ඔබත් එම කණ්ඩායමේ සිටියා නම් ඔබට කෙසේ හැඟෙයිද? මේ පුංචි කණ්ඩායමේ සිටින්නේ නිර්භීත අය කියා සිතමින් ඔබ තුළ නිර්භීතකමක් ඇති වෙයිද? එහෙම නැත්නම් මොනවා වෙයිද කියා සිතමින් ඔබ තුළ භයක් ඇති වෙයිද? ගිඩියොන් තුළත් යම් භයක් ඇති වෙන්න ඇති. නමුත් දෙවි කෙරෙහි විශ්වාසය තබා කරන්න කිවූ දේ ඔහු කළා. (විනිශ්චයකරුවෝ 7:9-14 කියවන්න.) ඒ වගේම ඔහු දෙවිගේ උපකාරය ලැබෙන බව සහතික කරගැනීමට පරීක්ෂණයක් කරන්න පුළුවන්ද කියා දෙවිගෙන් ඇසූ විට දෙවි ඊට ඉඩ දුන්නා. (විනි. 6:36-40) ඔහු ඇසූ දේ ගැන කෝප වෙනවා වෙනුවට දෙවි ගිඩියොන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් කළා.

14 තම සෙනඟව ඕනෑම භයානක තත්වයකින් බේරාගැනීමට යෙහෝවා දෙවිට හැකියි. ඒ සඳහා දුර්වල හෝ අසරණ අයව පවා යොදාගන්න ඔහුට හැකියි. දෙවිගේ බලයට සීමාවක් නැහැ. සමහරවිට අපිත් දුර්වල වෙන හෝ අසරණ වෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල බයිබලයෙන් හා සභාව මාර්ගයෙන් අපිට මඟ පෙන්වීම, දිරිගැන්වීම හා ශක්තිය ලබාගන්න පුළුවන්. (රෝම 8:31, 32) යෙහෝවා දෙවි දී තිබෙන පොරොන්දුවලින් අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් වන අතර ඔහු අපට උපකාර කරන බවට එය සහතිකයක් වෙනවා.

‘යෙහෝවා දෙවිගේ බලය යෙප්තා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තා’

15, 16. යෙප්තාගේ දියණියට හොඳ ආකල්පයක් තිබුණේ ඇයි? දෙමාපියන්ට එයින් ඉගෙනගත හැක්කේ කුමක්ද?

15 යෙහෝවා දෙවිගේ බලය ක්‍රියාත්මක වූ තවත් අවස්ථාවක් අපි සලකා බලමු. අම්මොන්වරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධයට පැමිණි විට යෙප්තා දෙවිගේ උදව් උපකාර පැතුවා. ඔහුට වුවමනා වුණේ යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙන දීමටයි. ඒ වගේම සටනේදී තමාට ජය ලබා දුන්නොත් නැවත නිවසට යන විට තමාව පිළිගැනීමට මුලින්ම පැමිණෙන කෙනාව යෙහෝවා දෙවිට භාර දෙනවා කියා යෙප්තා දෙවිට පොරොන්දු වුණා. ‘යෙහෝවා දෙවිගේ බලය යෙප්තා තුළ ක්‍රියාත්මක වී’ ඔහු සටනින් ජය ගත්තා. ඉන්පසු නැවත නිවසට ගිය විට ඔහුව හමු වීමට මුලින්ම පැමිණියේ ඔහුගේ දියණියයි. (විනි. 11:29-31, 34) ඔහුට සිටියේ එක දරුවෙක් නිසා ඇය ඔහුව හමු වීමට පැමිණීම පුදුමයක් නොවෙයි. යෙප්තා තම පොරොන්දුව ඉටු කරමින් ෂීලෝ නුවර පිහිටි දෙවිගේ මණ්ඩපයේ පූර්ණකාලීනව සේවය කිරීමට දියණියව භාර දුන්නා. ඇයත් තම පියාගේ පොරොන්දුව ඉටු කිරීමට එකඟ වුණා. (විනිශ්චයකරුවෝ 11:36 කියවන්න.) යෙහෝවා දෙවි ඔවුන් දෙදෙනාවම තම බලය මගින් ශක්තිමත් කළා.

16 යෙප්තාගේ පොරොන්දුව ඉටු කිරීමට ඔහුගේ දියණියට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න පුළුවන් වුණේ කොහොමද? යෙප්තාගේ ආදර්ශය ඊට හේතුවක් වුණා. තම පියාගේ දේවභක්තිය දැකීමෙන් දෙවි කෙරෙහි ඇයට තිබූ විශ්වාසය තවත් වැඩි වුණා. දෙමාපියෙනි ඔබ කරන හැම දෙයක්ම ඔබේ දරුවන් දකිනවා. ඔබ කියන දේ ඔබ කරනවාද නැද්ද කියා ඔවුන්ට පෙනෙනවා. ඔබ මුළු හදවතින් කරන යාච්ඤාවලට සවන් දීමෙන්, ඔබ උගන්වන දේවල් සිතට ගැනීමෙන් හා දෙවිට සේවය කිරීමට ඔබ දරන වෑයම නිරීක්ෂණය කිරීමෙන් යෙහෝවා දෙවිට සේවය කිරීමට දරුවන් තුළ ලොකු ආශාවක් ඇති වෙනවා. එය ඔබට විශාල සතුටක් නොවෙයිද?

සැම්සන්ට “යෙහෝවා දෙවිගේ බලය” ලැබුණා

17. දෙවිගේ බලයේ උපකාරයෙන් සැම්සන් කළේ මොනවාද?

17 පිලිස්තිවරුන්ගෙන් ඊශ්‍රායෙල් ජාතියව ගලවාගැනීමට ‘යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා.’ (විනි. 13:24, 25) ඒ බලය නිසා වෙන කිසි මිනිසෙකුට වඩා සැම්සන්ට ශක්තිය තිබුණා. සැම්සන්ව අල්ලාගැනීමට පිලිස්තිවරුන් සමහර ඊශ්‍රායෙල්වරුන්ව පෙලඹවූ විට ‘යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක වුණා. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවා. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවයි.’ (විනි. 15:14) පසු කලෙක සැම්සන් වැරදි තීරණ ගත් නිසා ඔහුගේ ශක්තිය හීන වුණා. නමුත් එවිට පවා සැම්සන් තුළ තිබූ විශ්වාසය නිසා දෙවි තම බලය මගින් ඔහුව අන්තිම වරට ශක්තිමත් කළා. (හෙබ්‍රෙ. 11:32-34; විනි. 16:18-21, 28-30) සැම්සන්ට මෙන් දෙවි අපිට පුදුමාකාර කාය ශක්තියක් ලබා නොදෙන බව ඇත්තයි. නමුත් ඔහු ගැන බයිබලයේ වාර්තා කර තිබෙන දෙයින් අපිට දිරිගැන්වීමක් ලබාගත හැකියි.

18, 19. (අ) සැම්සන්ගේ ආදර්ශය අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (ආ) මෙම ලිපියේ සඳහන් විවිධ චරිත ගැන අධ්‍යයනය කිරීම ඔබට උපකාර වී තිබෙන්නේ කෙසේද?

18 දෙවි සැම්සන්ව ශක්තිමත් කළේ ඔහුගේ බලයෙන්. එම බලය ඔහු අපටත් ලබා දෙනවා. ‘ජනයාට දේශනා කර සම්පූර්ණ සාක්ෂියක් දරන්න’ කියා යේසුස් දුන් පැවරුම ඉටු කිරීමට දෙවිගේ බලය අපට අවශ්‍යයි. (ක්‍රියා 10:42) එම පැවරුම ඉටු කිරීමට අපට සහජ හැකියාවක් නැහැ. ඒ නිසා දෙවිගේ සේවය තුළ අපට කිරීමට තිබෙන සියල්ල කිරීම සඳහා දෙවිගේ බලය හා මඟ පෙන්වීම ලබා දෙන විට අපි බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා. යොසායා මෙන් “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම බලයෙන් මාව ශක්තිමත් කර එව්වේය” කියා පැවසීමට අපටත් හැකියි. (යෙසා. 48:16) අප සේවයේ යෙදෙන විට යෙහෝවා දෙවි මෝසෙස්ට, බෙසලෙල්ට හා යොෂුවාට උපකාර කළාක් මෙන් අපටත් දැනුම ලබා දෙයි. ඒ වගේම ගිඩියොන්, යෙප්තා හා සැම්සන්ව ශක්තිමත් කළාක් මෙන් “දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව” හොඳින් හැසිරවීමට දෙවි අපවත් ශක්තිමත් කරනවා. (එෆී. 6:17, 18) යෙහෝවා දෙවිගේ සේවය හරියාකාරව ඉටු කරන්න ඔහු අපට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.

19 දෙවිට නිර්භීතව සේවය කරන අයට ඔහු බොහෝ සේ ආශීර්වාද කරනවා. දෙවිගේ බලය ලබාගෙන ඔහුගේ මඟ පෙන්වීම පිළිගන්නා විට අපේ විශ්වාසය තව තවත් වැඩි වෙනවා. ඈත අතීතයේ මෙන් පළවෙනි සියවසේ සිටි අයටත් දෙවි තම බලය ලබා දුන්නා. එවැනි අය ගැන ග්‍රීක ලියවිල්ලෙන් දැනගත හැකියි. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයට පෙර හා පසුව දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ට බලය ලබා දුන් ආකාරය එහි සඳහන් වෙනවා. එවැනි අය ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

පහත සඳහන් අය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ ආකාරය දැනගැනීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

• මෝසෙස්

• බෙසලෙල්

• යොෂුවා

• ගිඩියොන්

• යෙප්තා

• සැම්සන්

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිගේ බලයෙන් අපටත් අවශ්‍ය ශක්තිය ලැබෙනවා

[21වන පිටුවේ පින්තූරය]

දෙමාපියෙනි දේවසේවයේදී ඔබ තබන ආදර්ශය ඔබේ දරුවන් අනුගමනය කරයි