Skip to content

පටුනට යන්න

දෙවිගේ මඟ පෙන්වීමට යටත් විය යුත්තේ ඇයි?

දෙවිගේ මඟ පෙන්වීමට යටත් විය යුත්තේ ඇයි?

දෙවිගේ මඟ පෙන්වීමට යටත් විය යුත්තේ ඇයි?

‘ඔබ මාගේ දෙවිය. ඔබේ මහත් බලය ඉතා අගනේය. එයින් මට මඟ පෙන්වීම ලැබේවා!’—ගීතා. 143:10.

1. අපට නොපෙනන දෙයකින් සාර්ථක මඟ පෙන්වීමක් ලබාගත හැකි අවස්ථාවක් සඳහන් කරන්න.

තමා ගමන් කරන්නේ නිවැරදි දිශාවටද කියා දැනගැනීම සඳහා සමහරු මාලිමා යන්ත්‍රයක් භාවිත කරනවා. එය ක්‍රියාත්මක වෙන්නේ චුම්බක හෙවත් කාන්දම් බලයෙන්. එම බලය අපේ ඇසට නොපෙනුණත් මාලිමා යන්ත්‍රයේ කටුව උතුරු දිශාවට නිතරම හැරී තිබීමට හේතු වන්නේ එම බලයයි. බොහෝ දේශ ගවේෂකයන්ගේ ගමන් සාර්ථක වී තිබෙන්නේ මාලිමා යන්ත්‍රය භාවිත කළ නිසයි.

2, 3. (අ) දෙවි සියල්ල නිර්මාණය කළේ කෙසේද? (ආ) අපට මඟ පෙන්වීමට දෙවි ඔහුගේ බලය පාවිච්චි කරයි කියා සිතීමට හේතුව කුමක්ද?

2 සාමාන්‍ය ගමනකට වගේම අපේ ජීවිත ගමනටත් නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යයි. අපට මඟ පෙන්වීම සඳහා චුම්බක බලය මෙන් බලයක්, එනම් අපේ ඇසට නොපෙනෙන නමුත් ඊට වඩා ප්‍රබල බලයක් තිබෙනවා. ඒ බලය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.” ඒ වගේම “දෙවිගේ බලය ජලය මතුපිට ක්‍රියාත්මක වෙමින් තිබුණේය” කියාත් එහි පවසනවා. (උත්. 1:1, 2) මිනිසා ඇතුළු සියල්ල නිර්මාණය කිරීමට දෙවි යොදාගත්තේ ඔහුගේ ඉමහත් බලයයි.—යෝබ් 33:4; ගීතා. 104:30.

3 දෙවි තම බලය යොදාගත්තේ සියල්ල නිර්මාණය කිරීමට පමණක්ද? එම බලයෙන් අපේ ජීවිතයට ප්‍රයෝජනයක් ලැබෙයිද? යේසුස් තම ගෝලයන්ට පැවසුවේ “දෙවිගේ බලය ලැබෙන විට සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගැනීමට ඔබට මඟ පෙන්වීම් ලැබෙයි” කියායි. (යොහ. 16:13) දෙවිගේ බලය කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් ලැබෙන මඟ පෙන්වීමට අප යටත් විය යුත්තේ ඇයි?

දෙවිගේ බලය යනු කුමක්ද?

4, 5. (අ) සමහරුන්ට දෙවිගේ බලය ගැන තිබෙන වැරදි වැටහීම කුමක්ද? (ආ) දෙවිගේ බලය කුමක්ද කියා සරලව විස්තර කරන්නේ කොහොමද?

4 ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ දෙවි ත්‍රිත්වයක් කියායි. එමෙන්ම ඔවුන් දෙවිගේ බලය හඳුන්වන්නේ ශුද්ධාත්මයාණන් ලෙසයි. ඔවුන් විශ්වාස කරන විදිහට ශුද්ධාත්මය ත්‍රිත්වයේ තුන්වන පුද්ගලයායි. නමුත් එවැනි දෙයක් බයිබලයේ උගන්වන්නේ නැහැ.—1 කොරි. 8:6.

5 එසේනම් දෙවිගේ බලය ගැන විස්තර කළ හැක්කේ කෙසේද? මෙසේ සිතන්න. සුළඟ අපේ ඇසට නොපෙනෙන දෙයක්. නමුත් එය ක්‍රියාත්මක වන විට එහි ප්‍රතිඵල අපට දැකගත හැකියි. ඒ හා සමානව දෙවිගේ බලය අපට නොපෙනුණත් දෙවි එය පාවිච්චි කළ විට එහි ප්‍රතිඵල අපට දැකගත හැකියි. ඒ අනුව දෙවිගේ බලය ලෙස හඳුන්වන්නේ යම් දෙයක් ඉටු කිරීමට හෝ පුද්ගලයෙක් තුළ යම් පෙලඹීමක් ඇති කිරීමට දෙවි යොදාගන්නා ශක්තියටයි. ඕනෑම දෙයක් කරන්න දෙවිට අතිවිශාල බලයක් තිබෙනවා කියා විශ්වාස කරන්න අමාරුද? කොහෙත්ම නැහැ.—යෙසායා 40:12, 13 කියවන්න.

6. දාවිත් දෙවිගෙන් ඉල්ලුවේ කුමක්ද?

6 අපේ ජීවිත ගමනේදී අපට නිවැරදි මඟ පෙන්වීමක් දීමට දෙවි ඔහුගේ බලය යොදාගන්නවාද? ඔව්. ඔහු දාවිත්ට මෙවැනි පොරොන්දුවක් දුන්නා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි.” (ගීතා. 32:8) දෙවි ලබා දුන් මඟ පෙන්වීම දාවිත් කැමැත්තෙන්ම පිළිගත්තා. ඔහු මෙවැනි ඉල්ලීමක් කළා. “ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න. මන්ද ඔබ මාගේ දෙවිය. ඔබේ මහත් බලය ඉතා අගනේය. . . . එයින් මට මඟ පෙන්වීම ලැබේවා!” (ගීතා. 143:10) දාවිත් මෙන් අපත් දෙවි ලබා දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම යටත් විය යුතුයි. ඒ සඳහා හේතු හතරක් දැන් අප සලකා බලමු.

තනිවම පියවර තීරණය කිරීමට අපට හැකියාව නැහැ

7, 8. (අ) තනිවම අපේ පියවර තීරණය කිරීමට අපට නොහැකි ඇයි? (ආ) නිවැරදි මඟ පෙන්වීමක් නැතුව අපට කුමක් සිදු වෙයිද?

7 දෙවිගේ මඟ පෙන්වීමට යටත් වීමට තිබෙන මුල්ම හේතුව වන්නේ ජීවන ගමනේ නිවැරදි මාර්ගය තීරණය කිරීමට අපට හැකියාවක් නැති වීමයි. ඒ හැකියාව දෙවි අපට ලබා දී නැහැ. ඒ වගේම අපි අසම්පූර්ණ නිසාත් හරි වැරැද්ද පිළිබඳ ප්‍රමිති තනිවම තීරණය කිරීමට නොහැකියි. එසේ කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ අපට වැරදීමයි. ඒ ගැන යෙරෙමියා මෙසේ ලිව්වා. “යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.” (යෙරෙ. 10:23) ඊට හේතුවත් යෙරෙමියා මාර්ගයෙන් දෙවි අපට හෙළි කළා. දෙවි පැවසුවේ “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය. ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද” කියායි.—යෙරෙ. 17:9; මතෙ. 15:19.

8 කිසිම කෙනෙකුගේ මඟ පෙන්වීමක් හෝ මාලිමා යන්ත්‍රයක්ද නැතුව කෙනෙකු තනිවම ඝන වනාන්තරයක් මැදින් හෝ කාන්තාරයක් හරහා යෑමට උත්සාහ කළොත් ඔහුගේ ගමන සාර්ථක වෙයිද? විය හැකි අනතුරු ගැන කිසිම අවබෝධයක් නැති නිසාත් යා යුතු මාර්ගය නොදන්නා නිසාත් ඔහුගේ ජීවිතය පවා නැති වීමට ඉඩ තිබෙනවා. ඒ හා සමානව අද අපි ජීවත් වන්නේ දෙවිගෙන් ඈත් වූ සමාජයකයි. ඒ නිසා දෙවි අපිට ලබා දෙන මඟ පෙන්වීම්වලට අප කීකරු වන්නේ නැත්නම් අපේ ජීවිතයට හානියක් විය හැකියි. දුෂ්ට සමාජයක සිටින විට අපේ ජීවිතය සාර්ථක කරගැනීමට අපිට නිවැරදි මඟ පෙන්වීම් අවශ්‍යයි. එය ලබාගැනීමට නම් දාවිත් මෙන් අපත් මෙසේ යාච්ඤා කළ යුතුයි. “ඔබ පෙන්වන මාර්ගයේ මම දිගටම ගමන් කරමි. එවිට මාගේ පය කිසිදා පැටලෙන්නේ නැත.”—ගීතා. 17:5; 23:3.

9. දාහත්වන පිටුවේ දක්වා ඇති ආකාරයට අපට මඟ පෙන්වන්න දෙවි ඔහුගේ බලය ලබා දෙන්නේ කොහොමද?

9 දෙවිගේ මඟ පෙන්වීම් පිළිගෙන ඔහු මත රඳා සිටිනවා නම් ඔහු තම බලය අපිට ලබා දෙනවා. දෙවිගේ බලයෙන් අපිට මඟ පෙන්වීම් ලැබෙන්නේ කොහොමද? යේසුස් ඊට පිළිතුරු දුන්නා. ඔහු පැවසුවේ මෙසේයි. “ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.” (යොහ. 14:26) යේසුස්ගේ ඉගැන්වීම් ඇතුළු බයිබලය අපි නිතිපතා අධ්‍යයනය කරනවා නම් එහි තිබෙන ගැඹුරු කාරණා පවා වටහාගැනීමට දෙවි අපට උපකාර කරනවා. ඒ වගේම දෙවිගේ කැමැත්ත කරන්නත් අපට පහසු වෙනවා. (1 කොරි. 2:10) ජීවිතයේ තීරණ ගන්න සිදු වන විට දෙවිගේ බලය අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් අපි ඉගෙනගත් බයිබල් ප්‍රතිපත්ති මතක් කරගෙන ඒවා අදාළ කරගන්නේ කොහොමද කියා වටහාගන්න හැකි වෙනවා.

දෙවිගේ මඟ පෙන්වීමට යේසුස් පවා යටත් වුණා

10, 11. මෙලොවට පැමිණීමට පෙර සිටම යේසුස් දැන සිටියේ කුමක්ද? දෙවිගේ බලය මාර්ගයෙන් යේසුස්ට ලැබුණු මඟ පෙන්වීම් මොනවාද?

10 දෙවිගේ පුත්‍රයා වන යේසුස් පවා මඟ පෙන්වීම් ලබාගත්තේ දෙවිගෙන්. අප දෙවිගේ මඟ පෙන්වීම් පිළිගත යුතු වීමට දෙවෙනි හේතුව එයයි. මෙලොවට පැමිණීමට පෙර සිටම තමා පිළිබඳව ලියවුණු මෙම අනාවැකිය ගැන යේසුස් දැන සිටියා. “ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි. එමගින් ඔහුට ප්‍රඥාවද දැනුමද තේරුම්ගැනීමේ හැකියාවද නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි.” (යෙසා. 11:2) එසේනම් ඔහු මෙලොවට පැමිණි පසු දෙවිගේ බලය හා මඟ පෙන්වීම් ලබාගැනීමට කොතරම් කැමැත්තෙන් සිටින්න ඇද්ද!

11 එම අනාවැකිය ඉටු වුණේ යේසුස්ගේ බව්තීස්මයත් සමඟයි. ඒ ගැන ලූක් පොතේ මෙසේ වාර්තා වෙනවා. “දෙවි තම බලයෙන් යේසුස්ට දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔහු යොර්දාන් ගඟ අසලින් පිටත් වී පාළුකරයට ගියේය. ඔහු තුළ දෙවිගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක විය.” (ලූක් 4:1) පාළුකරයේ නිරාහාරව සිට දෙවිට යාච්ඤා කරද්දී තමන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදු වන අභියෝග ගැන පූර්ණ අවබෝධයක් ලබාගන්න දෙවි යේසුස්ට උපකාර කළා. දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වූ නිසා දෙවි සිතන ආකාරයට සිතන්නත් සෑම අවස්ථාවකදීම නිවැරදි තීරණ ගන්නත් ඔහුට හැකි වුණා. ඒ වගේම දෙවිව සතුටු කරන්නත් ඔහුට හැකි වුණා.

12. දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කිරීම අවශ්‍ය ඇයි?

12 දෙවි ලබා දුන් මඟ පෙන්වීම් ඔහුට කොතරම් වටිනවාද කියා යේසුස් දැන සිටියා. ඒ නිසා තම ගෝලයන්ටත් නිතරම දෙවිගේ බලය හා ඉන් ලැබෙන මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කිරීමට ඔහු දිරිගැන්නුවා. (ලූක් 11:9-13 කියවන්න.) අපත් දෙවිගේ බලය හා මඟ පෙන්වීම් ඉල්ලා නිතර යාච්ඤා කරනවාද? දෙවිගේ බලය අපට ලැබෙන විට අප සිතන ආකාරය වෙනස් කරගන්න අපට පුළුවන්. එමෙන්ම ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක් ලබාගන්නත් පුළුවන්. (රෝම 12:2; 1 කොරි. 2:16) දෙවි ලබා දෙන මඟ පෙන්වීමට අපි යටත් වෙනවා නම් යේසුස් සිතූ විදිහට සිතන්නත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්නත් අපිට හැකි වෙනවා.—1 පේතෘ. 2:21.

දුෂ්ට සමාජයේ බලපෑම අපව නොමඟ යවයි

13. දුෂ්ට සමාජයෙන් මොන වගේ බලපෑමක් එල්ල විය හැකිද? එයින් ඇති විය හැකි භයානක ප්‍රතිඵල මොනවාද?

13 දෙවිගේ මඟ පෙන්වීම පැතීමට තිබෙන තුන්වන හේතුව වන්නේ දෙවිගෙන් ඈත් වී සිටින සමාජයේ බලපෑමට අපත් හසු වීමට ඉඩ තිබීමයි. අද ලෝකයේ සිටින බොහෝදෙනෙක් කටයුතු කරන්නේ දෙවිගේ මඟ පෙන්වීමට විරුද්ධවයි. යේසුස් සිතන විදිහට නොසිතා ඔවුන් සිතන්නේ සාතන් නමැති මේ ලෝකයේ පාලකයා සිතන ආකාරයටයි. ඔවුන් ක්‍රියා කරන්නෙත් සාතන් ක්‍රියා කරන විදිහටයි. (එෆීස 2:1-3; තීතස් 3:3 කියවන්න.) මෙවැනි අයගේ බලපෑම ඉතා ප්‍රබලයි. ඒ බලපෑමට හසු වී අප පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කිරීමට පටන්ගත්තොත් දෙවිගේ අනුමැතියත් දේවරාජ්‍යයත් අපට අහිමි වෙයි.—ගලා. 5:19-21.

14, 15. දුෂ්ට සමාජයේ බලපෑමට හසු නොවී සිටිය හැක්කේ කොහොමද?

14 එම නපුරු බලපෑමට විරුද්ධ වෙන්න අපට පුළුවන් කොහොමද? පාවුල් මෙවැනි පිළිතුරක් දුන්නා. “ස්වාමීන්ගෙන් දිගටම බලය ලබාගෙන ශක්තිමත් වන්න. . . . ඔබ එසේ කළොත් නපුරු දවස පැමිණෙන විට ඔවුන්ට විරුද්ධව සිටීමට ඔබට හැකි වේ.” (එෆී. 6:10, 13) සාතන් සැමවිටම වෑයම් කරන්නේ අපව නොමඟ යවන්නයි. (එළි. 12:9) නමුත් දෙවි ලබා දෙන බලය සාතන්ටත් ලෝකයටත් වඩා ප්‍රබලයි. ඒ නිසා දෙවිගේ බලය හා මඟ පෙන්වීම ලැබෙන විට ලෝකයෙන් ඇති වන බලපෑමට හසු නොවී සිටින්න අපට හැකි වෙයි.

15 මුල් සියවසේ සිටි සමහර ක්‍රිස්තියානීන් එම බලපෑමට හසු වුණා. ඒ අය ගැන පේතෘස් පැවසුවේ “ඔවුන් හරි මඟ අත්හැර නොමඟ ගොස් ඇත” කියායි. (2 පේතෘ. 2:15) නමුත් “අප මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී දෙවිගේ බලය ලබා ඇති නිසා” ඔහුට බොහෝ සේ ස්තුතිවන්ත විය යුතුයි. (1 කොරි. 2:12) ඒ වගේම අපේ ආරක්ෂාව සඳහා දෙවි දී තිබෙන සෑම සැපයුමකින්ම අපි පූර්ණ ප්‍රයෝජන ගන්නවා නම් දුෂ්ට ලෝකය මගින් සාතන් ඇති කරන බලපෑමට අපි හසු වන්නේ නැහැ. දිගටම දෙවි සමඟ මිත්‍රත්වයක් තබාගන්න අපිට හැකි වෙනවා.—ගලා. 5:16.

දෙවිගේ බලය නිසා යහපත් ගුණාංග ඇති වෙයි

16. දෙවිගේ බලය නිසා අප තුළ ඇති කරගැනීමට හැකි වන්නේ කුමන ගුණාංගද?

16 දෙවිගේ බලය හා මඟ පෙන්වීමට කීකරු විය යුතු හතරවන හේතුව වන්නේ එය අප තුළ යහපත් ගුණාංග ඇති කරගැනීමට උපකාර වන නිසයි. (ගලාති 5:22, 23 කියවන්න.) සාමයෙන් හා ප්‍රීතියෙන් සිටින්න අපි කවුරුත් කැමතියි. අපි හැමෝම උත්සාහ කරන්නේ ඉවසිලිවන්තව, කරුණාවන්තව හා යහපත්ව ක්‍රියා කරන්නයි. ඒ වගේම අපි අපවම පාලනය කරගෙන මෘදුකම හා විශ්වාසය වැඩි කරගත්තොත් එය අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට මෙම සියලු යහපත් ගුණාංග අප තුළ ඇති කරගැනීමට හැකි වෙනවා. ඒවා අපට මෙන්ම අන් අයටත් ප්‍රයෝජනවත් වෙයි.

17. යම් ගුණාංග දියුණු කරගත යුතු බව අපට වැටහෙනවා නම් කුමක් කළ හැකිද?

17 දෙවිගේ බලයේ උපකාරයෙන් අප තුළ යහපත් ගුණාංග වර්ධනය වී ඇද්ද කියා අපි කතා කරන හා ක්‍රියා කරන ආකාරයෙන් දැනගත හැකියි. (2 කොරි. 13:5අ; ගලා. 5:25) අපේ යම් ගුණාංග තවත් දියුණු කරගත යුතු බව වැටහෙනවා නම් කුමක් කළ හැකිද? බයිබලය හා බයිබලය මත පදනම් පොත් පත්වලින් දෙවිගේ මඟ පෙන්වීම සොයා බැලිය හැකියි. ඒ මඟ පෙන්වීමට අනුව දේවල් කරනවා නම් අවශ්‍ය ගුණාංග වර්ධනය කරගැනීමට අපට හැකි වෙනවා. * ඒ වගේම දෙවිගේ බලය හා මඟ පෙන්වීම ලැබෙන විට අපේ ජීවිතයේ ඇති වන යහපත් ප්‍රතිඵල හා අපේ සෙසු සහෝදර සහෝදරියන්ගේ යහපත් අද්දැකීම් දෙස බලන විට දෙවිගේ මඟ පෙන්වීම කොතරම් අත්‍යවශ්‍යද කියා අපට වැටහෙනවා.

දෙවිගේ මඟ පෙන්වීමට අප කීකරු වෙනවාද?

18. දෙවිගේ මඟ පෙන්වීමට යටත් වීම සම්බන්ධයෙන් යේසුස් අපට ආදර්ශයක් වන්නේ කෙසේද?

18 දෙවි විශ්වය නිර්මාණය කරන විට යේසුස් ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළ නිසා කාන්දම් බලය ගැනත් එය මිනිසුන්ට ප්‍රයෝජනවත් වන ආකාරය ගැනත් යේසුස් දැන සිටියා. (හිතෝ. 8:30; යොහ. 1:3) කොහොමනමුත් යේසුස් මේ පොළොවේ සිටිද්දී මඟ සොයාගැනීමට කාන්දම් බලයේ උපකාරය පැතුව බවක් නම් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. බයිබලයේ වාර්තා කර තිබෙන්නේ ඔහු මිනිසෙකුව සිටියදී දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වූ බවයි. ඔහු ඉතා ඕනෑකමින් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතූ අතර එම මඟ පෙන්වීම්වලට කීකරු වුණා. (මාක් 1:12, 13; ලූක් 4:14) ඔබත් ක්‍රියා කරන්නේ එලෙසද?

19. දෙවිගේ බලයේ මඟ පෙන්වීමට කීකරු වීමට අපි කුමක් කළ යුතුද?

19 එදා මෙන් අදත් දෙවිගේ මඟ පෙන්වීම් පතන අයට ඔහු තම බලය ලබා දෙනවා. එමනිසා නිරතුරුවම යාච්ඤා කර දෙවිගේ බලය හා මඟ පෙන්වීම ලබා දෙන්න කියා ඉල්ලන්න. (එෆීස 3:14-16 කියවන්න.) බයිබලය ලියා තිබෙන්නේ දෙවිගේ බලයේ උපකාරයෙන් නිසා එහි ඇති උපදෙස් අධ්‍යයනය කරන්න. (2 තිමෝ. 3:16, 17) දෙවි ලබා දෙන මඟ පෙන්වීමට කීකරු වෙමින් ඔහුගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට සලස්වන්න. මෙම දුෂ්ට ලෝකය තුළ වුවත් ඔබට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව සාර්ථක ජීවිතයක් ගත කරන්න හැකියාව දෙන්නේ ඔහු බව මතක තබාගන්න.

[පාදසටහන]

^ 17 ඡේ. දෙවිගේ බලයේ උපකාරයෙන් වර්ධනය කරගත හැකි යහපත් ගුණාංග ගැන සෑම වසරකම දෙසැම්බර් 15 මුරටැඹ කලාපයේ පළ වන “වසරේ පළ වූ මුරටැඹ ලිපි” බලන්න.

ඔබ ප්‍රධාන කරුණු වටහාගත්තාද?

• දෙවිගේ බලය අපේ ජීවිතයට බලපාන්නේ කෙසේද?

• දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට හේතු හතර මොනවාද?

• දෙවිගේ බලයෙන් මඟ පෙන්වීම් ලැබීමට නම් අප කුමක් කළ යුතුද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යේසුස් නිතරම දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා

[17වන පිටුවේ පින්තූරය]

දෙවිගේ මඟ පෙන්වීම් පතන අයට ඔහු තම බලය ලබා දෙනවා