Skip to content

පටුනට යන්න

අධ්‍යයනයෙන් ප්‍රීතිය හා ප්‍රයෝජන

අධ්‍යයනයෙන් ප්‍රීතිය හා ප්‍රයෝජන

අධ්‍යයනයෙන් ප්‍රීතිය හා ප්‍රයෝජන

බයිබලය අධ්‍යයනය කරන විට ඉන් ලැබෙන ප්‍රීතිය වැඩි කරගන්න පුළුවන් කොහොමද? ප්‍රයෝජන ලැබෙන ආකාරයට එය කරන්නේ කොහොමද? ඒ සඳහා උපකාරවත් වන වටිනා පියවර තුනක් කෙටියෙන් සලකා බලමු.

1 යාච්ඤා කරන්න: බයිබල් අධ්‍යයනය නමස්කාරයේ අංගයක්. ඒ නිසා ඊට කලින් අපේ මනස සූදානම් කර දෙන්න කියා දෙවිගෙන් ඉල්ලීම කොයි තරම් වැදගත්ද! (ගීතා. 42:8; ලූක් 11:13) මිෂනාරි සේවයේ යෙදෙන බාබ්රා මෙහෙම කියනවා. “බයිබලය කියවන්න කලින් මං නොවරදවාම යාච්ඤා කරනවා. එහෙම කළාම බයිබලය අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවි මා එක්ක ඉන්නවා කියලා මට දැනෙනවා.” අධ්‍යයනයට පෙර යාච්ඤා කිරීමෙන් අධ්‍යයනය කරන දේ මුළු හදින්ම පිළිගත හැකියි.

2 ගැඹුරින් කල්පනා කරන්න: වැඩ වැඩිකම නිසා සමහරු බයිබලය කියවන්නේ උඩින් පල්ලෙන්. නමුත් ප්‍රයෝජන ලබන්න නම් කියවන දේ ගැඹුරින් කල්පනා කිරීමට කාලය ගත යුතුයි. අවුරුදු 50කට වැඩි කාලයක් දෙවිට සේවය කරන කාර්ලොස් මෙහෙම කියනවා. “මම දැන් වතාවකට කියවන්නේ පිටුවක් දෙකක් විතරයි. එතකොට ඒ කොටස ගැන හොඳට කල්පනා කරන්න මට වෙලාව තියෙනවා.” (ගීතා. 77:12) බයිබලය ගැන දැනුම වැඩි කරගැනීමට හා දෙවිගේ අරමුණු ගැන පුළුල් අවබෝධයක් ලැබීමට ගැඹුරින් කල්පනා කළ යුතුමයි.—කොලො. 1:9-11.

3 අදාළ කරගන්න: බයිබලයේ ඇති වටිනා මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන අනන්තයි අප්‍රමාණයි. නිතිපතා බයිබලය අධ්‍යයනය කරන තරුණයෙකු වූ ගේබ්‍රියෙල්ගේ අද්දැකීමත් එයයි. ඔහු මෙහෙම කියනවා. “ප්‍රශ්න ගැටලු ජයගන්න බයිබල් අධ්‍යයනය මට හුඟක් උදව් වෙනවා. ඉගෙනගන්න දේ අදාළ කරගන්න මං ගොඩක් මහන්සි වෙනවා. එතකොට අනිත් අයට උදව් කරන්නත් පුළුවන්.” (ද්වි. 11:18; යොෂු. 1:8) බයිබලයේ ඇති උපදෙස් නිධානයක් වගෙයි. ජීවිතය සාර්ථක කරගැනීමට ඒවා අදාළ කරගනිමු.—හිතෝ. 2:1-5.

නැවත මතක් කරගනිමු: ප්‍රඥාවේ මුල යෙහෝවා දෙවි වුණත් ප්‍රඥාවන්ත අය වීමේ වරප්‍රසාදය ඔහු අපිටත් දී තිබෙනවා. (රෝම 11:33) ඒ ප්‍රඥාව ලැබෙන්නේ බයිබලයෙන්. ඒ නිසා බයිබලය අධ්‍යයනය කිරීමට කලින් යාච්ඤා කරන්න අමතක කරන්න එපා. ඉගෙනගන්නා දේ පිළිගන්න මනස සූදානම් කරගැනීමට දෙවි ඔහුගේ බලය ලබා දෙන්නේ එවිටයි. කියවන හෝ අධ්‍යයනය කරන අතරතුරේ මොහොතක් නැවතී ඉගෙනගත් දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒ වගේම ඒ දේවල් එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්න. ඔබ එම අත්‍යවශ්‍ය පියවර තුන අනුගමනය කරනවා නම් බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රීතිය හා ප්‍රයෝජන ලැබෙයි.