Skip to content

පටුනට යන්න

මිනිසුන්ට ආශීර්වාද ගෙනෙන රජවරුන් හා පූජකයන්

මිනිසුන්ට ආශීර්වාද ගෙනෙන රජවරුන් හා පූජකයන්

“ඔබ, තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක් සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක් වන්නහුය.”—1 පේතෘ. 2:9.

1. “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය,” සිහි කිරීම ලෙස හඳුන්වන්නේ ඇයි? එය පවත්වන්නේ කුමක් සිහි කරන්නද?

ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් 14වෙනිදා යේසුස් තම නියෝජිතයන් 12දෙනා සමඟ අවසන් වතාවට පාස්කුව සැමරුවා. ඉන්පසු ඔහු යූදස්ව පිටත් කර අලුත් දෙයක් පිහිටෙව්වා. එය පසු කාලයේදී හැඳින්නුවේ “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” ලෙසයි. (1 කොරි. 11:20) ඒ අවස්ථාවේදී දෙවතාවක්ම “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියා යේසුස් කී නිසා එය ‘සිහි කිරීම’ ලෙසත් හඳුන්වනවා. (1 කොරි. 11:24, 25) යේසුස් අණ කළ ලෙස අපි සෑම වසරකම ඔහුගේ මරණය සිහි කරනවා. ඒ දිනය යේසුස්ගේ ජීවිත පූජාව ගැඹුරින් සිහි කිරීමට අවස්ථාවක්. නීසාන් 14වෙනිදා මේ වසරේදී යෙදී තිබෙන්නේ අප්‍රියෙල් 5වෙනි බ්‍රහස්පතින්දාටයි.

2. රොටි ගැනත් වයින් ගැනත් යේසුස් පැවසුවේ මොකක්ද?

2 ඒ අවස්ථාවේදී “යේසුස් රොටියක් ගෙන දෙවිට ස්තුති කර, එය කඩා ඔවුන්ට දෙමින් මෙසේ කීවේය. ‘මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන්න යන මගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.’ ඊළඟට . . . ඔහු කුසලානයක් ගෙන ඔවුන් අතට දෙමින් මෙසේ කීවේය. ‘මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.’” (ලූක් 22:19, 20) යේසුස් පැවසූ දේ ඔවුන් නිවැරදිව තේරුම්ගත්තාද?

3. යේසුස් තම ශරීරය හා රුධිරය ගැන කී දේ ගෝලයන් තේරුම්ගත්තේ කොහොමද?

3 එදා සිටි යුදෙව්වන් සත්ව පූජා ගැන හොඳින් දැන සිටියා. එම පූජා ඔප්පු කළේ පාපවලට සමාව හා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට බව ඔවුන් වටහාගෙන සිටියා. (ලෙවී. 1:4; 22:17-29) ඒ නිසා යේසුස් තම ශරීරය හා රුධිරය ‘ඔවුන් වෙනුවෙන් පූජා කරනවා’ කියා කී දේ ගෝලයන් තේරුම්ගත්තා. යේසුස්ගේ පරිපූර්ණ ජීවිත පූජාව සියලුම සත්ව පූජාවලට වඩා උතුම් පූජාවක් බවත් ඔවුන් දැන සිටියා.

4. ‘අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙන්’ කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ මොකක්ද?

4 යේසුස් මෙසේද පැවසුවා. “අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.” එහි අර්ථය මොකක්ද? අලුත් ගිවිසුමක් ගැන යෙරෙමියා කලින් පවසා තිබුණා. (යෙරෙමියා 31:31-33 කියවන්න.) යේසුස් අදහස් කළේ යෙරෙමියා පැවසූ අලුත් ගිවිසුම ඔහු ස්ථිර කරන බවයි. එම අලුත් ගිවිසුම මගින් දෙවි ඊට පෙර ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුම අහෝසි වීමට නියමිතව තිබුණා. ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුම, මෝසෙස් මගින් දුන් නීතිය ලෙසත් හඳුන්වනවා. එම ගිවිසුමයි අලුත් ගිවිසුමයි අතර සම්බන්ධයක් තිබෙනවාද?

5. ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුම නිසා උදා වූ ප්‍රස්තාව මොකක්ද?

5 දෙවි මුලින්ම ඊශ්‍රායෙල්වරුන් සමඟ ගිවිසුමක් ඇති කරගත් අවස්ථාවේදී මෙසේ පැවසුවා. “ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම් සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි. මන්ද මේ පොළොවේ අයිතිකරු මමය. ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.” (නික්. 19:5, 6) එදා පැවසූ දෙය සම්පූර්ණයෙන්ම ඉටු වුණේ අලුත් ගිවිසුම පිහිටුවීමෙන් පසුවයි. ඒ නිසා එම ගිවිසුම් දෙක අතර සම්බන්ධයක් තිබෙන බව පැවසිය හැකියි.

රාජකීය පූජක පන්තියක් ගැන පොරොන්දුව

6. මෝසෙස් මගින් දුන් නීතිය උපකාර වුණේ කුමන පොරොන්දුව ඉටු කිරීමටද?

6 නෝවා, ආබ්‍රහම් වැනි අය සමඟ දෙවි ගිවිසුම් ඇති කරගෙන තිබූ නිසා “ගිවිසුමක්” කීමෙන් අදහස් කළ දේ ඊශ්‍රායෙල්වරුන් දැන සිටියා. (උත්. 6:18; 9:8-17; 15:18; 17:1-9) දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගත් විට “ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය” කියා පොරොන්දු වුණා. (උත්. 22:18) ආබ්‍රහම්ට දුන් එම පොරොන්දුව දෙවි මෝසෙස්ට දුන් නීතිය මගින් යම් දුරකට ඉටු වුණා. ‘සියලු ජාතීන් අතරින් තෝරාගත් දෙවිගේ විශේෂ සෙනඟ’ වීමේ ප්‍රස්තාව ඊශ්‍රායෙල්වරුන්ට ලැබුණේ දෙවි මෝසෙස් මගින් දුන් නීතිය නිසයි. දෙවි ඔවුන්ව තෝරාගත්තේ ‘ඔහුට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්’ වීමටයි.

7. “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” යන යෙදුමේ අර්ථය මොකක්ද?

7 ඊශ්‍රායෙල්වරුන් අතරේ රජවරුන් හා පූජකයන් සිටියත් පූජකයෙක් හා රජ කෙනෙක් යන පදවි දෙකම කිසිවෙක් දැරුවේ නැහැ. දෙවිගේ අනුමැතිය ඇතුව එවැනි පදවියක් දැරුවේ පුරාණයේ සිටි මෙල්කිසදෙක් පමණයි. (උත්. 14:18) නමුත් දෙවි දුන් නීතියට අනුව පූජකයන්ගෙන් යුත් රාජ්‍යයට අයත් අයව තෝරාගන්නේ ඊශ්‍රායෙල්වරුන් අතරින් පමණයි. එසේ තෝරාගන්නා අයව පේතෘස් හැඳින්නුවේ “රාජකීය පූජක පන්තියක්” ලෙසයි. ඉන් අදහස් කළේ පූජකයන් ලෙස සේවය කරන රජවරුන්ගෙන් යුත් කණ්ඩායමක් යන්නයි.—1 පේතෘ. 2:9.

8. දෙවි පූජකයන්ව පත් කළේ කුමක් සඳහාද?

8 රජෙක් පාලනය කළත් පූජකයෙක් කරන්නේ මොකක්ද? ඊට පිළිතුර හෙබ්‍රෙව් 5:1හි සඳහන් වෙනවා. “උත්තම පූජකයා ලෙස මිනිසුන් අතරින් කෙනෙකුව තෝරාගන්නේ මිනිසුන් වෙනුවෙන් දෙවිට සේවය කිරීම සඳහාය. ඔහු පරිත්‍යාග සහ පව් වෙනුවෙන් පූජා දෙවිට ඔප්පු කරයි.” දෙවි පූජකයන්ව පත් කළේ තමාව නියෝජනය කරමින් තමා පිළිබඳ දැනුම මිනිසුන්ට ලබා දීමටයි. (ලෙවී. 10:8-11; මලා. 2:7) අනික් අතට මිනිසුන්ව නියෝජනය කරමින් ඔවුන්ගේ පාප වෙනුවෙන් දෙවිට පූජා ඔප්පු කිරීමත් ඔවුන් වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීමත් පූජකයන්ගේ වගකීම වුණා. ඒ අනුව මිනිසා හා දෙවි අතර නැවත මිත්‍රත්වයක් ඇති කිරීමට දායක වුණේ පූජකයනුයි.

9. (අ) “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වීමට නම් ඊශ්‍රායෙල්වරුන් කුමක් කළ යුතු වුණාද? (ආ) දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින්ම පූජකයන්ව පත් කළේ ඇයි? (ඇ) නීතිය යටතේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් වීමට නොහැකි වුණේ ඇයි?

9 ‘සියලු ජාතීන්’ වෙනුවෙන් රජවරුන් හා පූජකයන් ලෙස කටයුතු කිරීමට දෙවි නීතිය මගින් ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රස්තාව උදා කළා. නමුත් එසේ කළේ ‘දෙවිගේ සෑම වචනයකටම කීකරු වී දෙවි ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම රක්ෂා කළා නම්’ පමණයි. ‘සෑම වචනයකටම කීකරු වෙන්න’ ඊශ්‍රායෙල්වරුන්ට හැකි වුණාද? යම් තාක් දුරකට කීකරු වීමට හැකි වුණත් ඔවුන් පාපය උරුම කරගෙන සිටි නිසා සම්පූර්ණයෙන්ම එසේ කිරීමට හැකි වුණේ නැහැ. (රෝම 3:19, 20) ඒ නිසා ඔවුන්ගේ පාප වෙනුවෙන් පූජා ඔප්පු කිරීමට දෙවි ඔවුන් අතරින්ම පූජකයන්ව පත් කළා. (ලෙවී. 4:1–6:7) අන් අයගේ විතරක් නෙවෙයි තමන්ගේ පාප වෙනුවෙනුත් පූජා ඔප්පු කරන්න පූජකයන්ට සිදු වුණා. (හෙබ්‍රෙ. 5:1-3; 8:3) දෙවි එම පූජා පිළිගෙන වරදකරුට සමාව දුන්නා. නමුත් වරදකරු කොතරම් පූජා ඔප්පු කළත් කොතරම් අවංක වුණත් ඔහුගේ පව්කාර ස්වභාවය නැති කිරීමට පූජාවලටවත් පූජකයන්ටවත් හැකි වුණේ නැහැ. ඒ ගැන පාවුල් සඳහන් කළේ “ගවයන්ගේ සහ එළුවන්ගේ ලේවලින් අපගේ පාප ඉවත් කිරීමට හැකියාවක් නැති බව පැහැදිලිය” කියායි. (හෙබ්‍රෙ. 10:1-4) නමුත් ගිවිසුම කඩ කළ නිසා ඊශ්‍රායෙල් ජාතිය ශාප ලත් සෙනඟක් බවට පත් වුණා. (ගලා. 3:10) ඒ නිසා “සියලු ජාතීන්” වෙනුවෙන් රාජකීය පූජක පන්තියක් වීමට ඔවුන්ට හැකි වුණේ නැහැ.

10. දෙවි නීතිය දුන්නේ ඇයි?

10 ඉන් අදහස් කරන්නේ දෙවි පොරොන්දු වූ ලෙස ඔවුන්ට “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වීමට නොහැකි බවද? නැහැ. නමුත් මෝසෙස් මගින් දුන් නීතිය යටතේ සිටියදී එසේ විය නොහැකියි. ඊට හේතුව දැන් අපි බලමු. (ගලාති 3:19-25 කියවන්න.) එම නීතිය දුන්නේ ඇයි කියා මුලින්ම අපි තේරුම්ගත යුතුයි. එය දුන්නේ ඊශ්‍රායෙල්වරුන්ව බොරු නමස්කාරයෙන් ආරක්ෂා කිරීමටයි. ඒ වගේම ඔවුන් අසම්පූර්ණ බවත් උත්තම පූජකයා ඔප්පු කරන පූජාවලට වඩා උතුම් පූජාවක් ඔවුන්ට අවශ්‍ය බවත් මතක් කර දීමටයි. ඒ අනුව නීතිය ඊශ්‍රායෙල්වරුන්ව ක්‍රිස්තුස් ළඟට ගෙන යන උපදේශකයෙක් වුණා. නමුත් ක්‍රිස්තුස් පැමිණි විට අලුත් ගිවිසුම ස්ථිර වීමට නියමිතව තිබුණා. දෙවි පොරොන්දු වූ සෑම දෙයක්ම ඉටු වන්නේ ක්‍රිස්තුස් මගින් කියා පිළිගන්නා සෑම කෙනෙකුටම එම අලුත් ගිවිසුමට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබුණා. ඒ අයට “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වීමට හැකි වුණා. එසේ වුණේ කොහොමද කියා සලකා බලමු.

අලුත් ගිවිසුම හා රාජකීය පූජක පන්තියක්

11. රාජකීය පූජක පන්තියේ මුල්ම සාමාජිකයා යේසුස් කියා පවසන්නේ ඇයි?

11 යේසුස් බව්තීස්ම වුණේ ක්‍රි.ව. 29දියි. ඒ අවස්ථාවේදී දෙවි තම බලයෙන් යේසුස්ව අභිෂේක කළා. යේසුස්, මෙසියස් හෝ ක්‍රිස්තුස් බවට පත් වුණේ එවිටයි. දෙවි ඔහුව අභිෂේක කළ විට “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියා හඬක් ස්වර්ගයෙන් නික්මුණා. (මතෙ. 3:13-17; ක්‍රියා 10:38) යේසුස්ව අභිෂේක කළේ විශ්වාසවන්ත මිනිස් වර්ගයාගේ උත්තම පූජකයා වීමට හා අනාගතයේදී රජ ලෙස කටයුතු කිරීමටයි. (හෙබ්‍රෙ. 1:8, 9; 5:5, 6) ඇත්තෙන්ම රාජකීය පූජක පන්තියේ මුල්ම සාමාජිකයා ඔහුයි.

12. යේසුස්ගේ ජීවිත පූජාව මගින් ඉටු වුණේ මොකක්ද?

12 මිනිසාගේ පාපවලට සම්පූර්ණයෙන්ම සමාව දීමට තරම් වටිනා පූජාවක් ඔප්පු කරන්න උත්තම පූජකයා වූ යේසුස්ට හැකි වුණාද? ඔව්. ඔහු තම පරිපූර්ණ ජීවිතය පූජාවක් ලෙස ඔප්පු කළා. (හෙබ්‍රෙව් 9:11, 12 කියවන්න.) ඔහු බව්තීස්ම වූ දා සිට ඔහුගේ මරණය දක්වා දුක් පීඩාවලට මුහුණ දෙමින් උත්තම පූජකයා ලෙස සේවය කිරීමට පුහුණුවක් ලැබුවා. (හෙබ්‍රෙ. 4:15; 5:7-10) නැවත නැඟිටීමෙන් පසු ඔහු ස්වර්ගයට ගොස් දෙවි ඉදිරියේ පෙනී සිටීමෙන් පෙන්නුම් කළේ මිනිසාව පාපයෙන් මුදාගැනීමට තම පරිපූර්ණ ජීවිතය වන්දියක් ලෙස ගෙවූ බවයි. (හෙබ්‍රෙ. 9:24) එවිට තම ජීවිත පූජාව පිළිගෙන තමා කෙරෙහි විශ්වාසය තබන සියල්ලන් වෙනුවෙන් දෙවිට කන්නලව් කරන්න ඔහුට හැකි වුණා. ඔවුන්ට සදාකාල ජීවනය ලබාගැනීමටත් ඔහු උපකාර කරනවා. (හෙබ්‍රෙ. 7:25) ඔහුගේ පූජාවෙන් තවත් දෙයක් සිදු වුණා. ඔහු වැගිරෙවූ රුධිරය මගින් අලුත් ගිවිසුම වලංගු වුණා.—හෙබ්‍රෙ. 8:6; 9:15.

13. අලුත් ගිවිසුමට අයිති අයට අපේක්ෂා කළ හැක්කේ මොනවාද?

13 අලුත් ගිවිසුමට ඇතුළත් වන්නේ යුදෙව්වන් හා වෙනත් ජාතීන්ට අයිති අයයි. (එෆී. 3:5, 6) ඔවුන් සියලුදෙනාවම දෙවි තම බලයෙන් අභිෂේක කරනවා. (2 කොරි. 1:21) ඉන්පසුව දෙවි ඔවුන්ගේ පාපවලට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා. ඒ ගැන දෙවි පොරොන්දු වෙන්නේ “මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි” කියායි. (යෙරෙ. 31:34) ඒ නිසා ‘පූජකයන්ගෙන් යුත් රාජ්‍යයේ’ සාමාජිකයන් වීමට ඔවුන්ට හැකි වෙනවා. එම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන පේතෘස් මෙසේ පැවසුවා. “ඔබ, ‘තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක් සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්’ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ, ‘ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම’ සඳහාය.” (1 පේතෘ. 2:9) පේතෘස් මෙහි උපුටා දක්වන්නේ නීතිය දුන් අවස්ථාවේදී දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ දෙයයි. නමුත් ඔහු එය අදාළ කළේ අලුත් ගිවිසුමට ඇතුළත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි.—නික්. 19:5, 6.

මිනිස් වර්ගයාට ආශීර්වාද ගෙනෙයි

14. රාජකීය පූජකයන් සේවය කරන්නේ කොහේ සිටද?

14 අලුත් ගිවිසුමට අයත් සාමාජිකයන් සේවය කරන්නේ කොහේ සිටද? මුලින්ම ඔවුන් සේවය කරන්නේ පොළොවේදියි. කණ්ඩායමක් ලෙස ගත් විට අභිෂේක ලත් අය පූජක පන්තියක්. ඔවුන් පොළොවේ සිටින විට දෙවිව නියෝජනය කරමින් ඔහුගේ ‘ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කරනවා.’ ඒ වගේම දෙවිගේ සෙනඟට නියම වේලාවට ආහාර නැතහොත් පෝෂණය ලබා දෙනවා. (මතෙ. 24:45; 1 පේතෘ. 2:4, 5) නැවත නැඟිටීමෙන් පසුව ඔවුන් යේසුස් සමඟ එකතු වී පූජකයන් හා රජවරුන් ලෙස තම කාර්යය මුළුමනින්ම ඉටු කරන්නේ ස්වර්ගයේදියි. (ලූක් 22:29; 1 පේතෘ. 1:3-5; එළි. 1:6) ස්වර්ගයෙහි යෙහෝවා දෙවිගේ සිංහාසනය ඉදිරිපිට සිදු වන දෙයක් යොහන් දර්ශනයකින් දුටුවා. එහි සිටි අය ‘බැටළු පැටවාට අලුත් ගීතිකාවක්’ ගයමින් මෙසේ කිව්වා. “ඔබේ රුධිරයෙන් ඔබ සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන් මිල දී ගත්තෙහිය. ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද අපගේ දෙවි සඳහා පූජකයන් ලෙසද සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම ඔවුන්ට භාර දීමට නියමිතය.” (එළි. 5:8-10) එම අභිෂේක ලත් අය පිළිබඳව තමා දුටු වෙනත් දර්ශනයක් ගැන යොහන් වාර්තා කරන්නේ මේ ආකාරයටයි. “ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.” (එළි. 20:6) මෙම රාජකීය පූජක පන්තියට අයත් වන්නේ යේසුස් හා 1,44,000දෙනායි. ඔවුන් මුළු මිනිස් වර්ගයාටම ආශීර්වාද ගෙනෙයි.

15, 16. රාජකීය පූජක පන්තියෙන් මිනිස් වර්ගයා ලබන ආශීර්වාද මොනවාද?

15 මිනිස් වර්ගයාට ලැබෙන ආශීර්වාද ගැන එළිදරව් 21වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එළිදරව් 21:2-4හි මෙසේ පවසනවා. “ශුද්ධ නුවර වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ මනාලියක් සේ සූදානම් වී දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය. ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. ‘බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.’” මෙහි “ශුද්ධ නුවර වන නව යෙරුසලම” හා “බැටළු පැටවාගේ භාර්යාව” ලෙස හඳුන්වා තිබෙන්නේ 1,44,000දෙනාවයි. (එළි. 21:9) ඔවුන් යේසුස් සමඟ එක් වී ලබා දෙන ආශීර්වාද ගැන මොහොතකට සිතා බලන්න. ප්‍රධාන සතුරා වන මරණය නැති නිසා වැලපීමද හැඬීමද වේදනාවද පහ වෙනවා. මිනිසුන්ට දෙවි සමඟ සමාදාන වීමට එනම් දෙවි සමඟ සැබෑ මිත්‍රත්වයක් ඇති කරගැනීමට හා මිනිසුන්ව පරිපූර්ණත්වයට ගෙන ඒමටද ඔවුන් දායක වෙනවා.

16 එළිදරව් 22:1, 2හි තවත් ආශීර්වාද ගැන සඳහන් කරනවා. “පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය. එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්, [නව යෙරුසලෙම්] නුවරේ ප්‍රධාන වීථිය මැදින් ගලා ගියේය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද සෑම මසකම පල දරන, පල වර්ග දොළොසක් දෙන ජීවන වෘක්ෂ තිබිණ. ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ට සුවයක් ගෙන දීම සඳහාය.” මෙහි ‘ජාතීන්ට සුවය ගෙන දෙනවා’ කීමෙන් අදහස් කරන්නේ ආදම්ගෙන් උරුම වූ පාපය සම්පූර්ණයෙන්ම නැති කර මිනිස් වර්ගයා පරිපූර්ණත්වයට පැමිණෙනවා කියන එකයි. “කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත” කියා කීමට එදාට ඇත්තටම හැකි වෙයි.

රාජකීය පූජක පන්තිය තම කාර්යය නිම කරයි

17. රාජකීය පූජක පන්තිය තම කාර්යය නිම කරන්නේ කොහොමද?

17 අවුරුදු 1,000 අවසාන වෙද්දී රාජකීය පූජක පන්තිය මිනිස් වර්ගයාට පරිපූර්ණත්වයට ඒමට උපකාර කර තිබෙයි. ඉන්පසුව රජ හා උත්තම පූජකයා වන යේසුස් පරිපූර්ණත්වයට පත් මිනිස් පවුල යෙහෝවා දෙවිට භාර දෙයි. (1 කොරින්ති 15:22-26 කියවන්න.) එවිට රාජකීය පූජක පන්තිය තම කාර්යය නිම කර හමාරයි.

18. දහස් අවුරුදු පාලනයෙන් පසුව දෙවි යේසුස්ගේ හවුල් පාලකයන්ව කුමක් සඳහා යොදාගනියිද?

18 දහස් අවුරුදු පාලනයෙන් පසුව දෙවි රාජකීය පූජක පන්තිය කුමක් සඳහා යොදාගනියිද? එළිදරව් 22:5හි සඳහන් වෙන්නේ මෙසේයි. “ඔවුහු සදහටම රජකම් කරන්නෝය.” රජවරුන් ලෙස ඔවුන් පාලනය කරන්නේ කාවද? ඒ ගැන බයිබලයේ පවසා නැහැ. නමුත් ඔවුන්ට අමරණීය ජීවිතයක් තිබෙන නිසාත් මිනිස් වර්ගයාට පරිපූර්ණත්වයට ඒමට ඔවුන් උපකාර කළ නිසාත් යෙහෝවා දෙවි ඔවුන්ව ඉතා වටිනා අය ලෙස සලකනවා. එමනිසා සදාකාලයටම දෙවිගේ අරමුණ ඉටු කිරීමට ඔවුන් සුදුසු තත්වයක සිටිනවා.

19. සිහි කිරීමට පැමිණෙන අයට එම අවස්ථාවේදී මතක් වෙන්නේ මොනවාද?

19 මේ වසරේ අප්‍රියෙල් 5වන බ්‍රහස්පතින්දා යේසුස්ගේ මරණය සිහි කරන විට මේ පාඩමෙන් සාකච්ඡා කළ කරුණු අපට නැවත මතක් වෙයි. පොළොවේ ඉතිරි වී සිටින අභිෂේක ලත් අය එදාට මුහුන් නොදැමූ රොටි අනුභව කර රතු වයින් පානය කරනවා. එයින් ඔවුන් පෙන්වන්නේ තමන් අලුත් ගිවිසුමේ කොටස්කාරයන් බවයි. දෙවි ලබා දෙන සුවිශේෂ වරප්‍රසාදය ඒ අවස්ථාවේදී ඔවුන්ට මතක් වෙයි. අප එම සංකේතවලට පංගුකාරයන් නොවුණත් එම අවස්ථාවට සහභාගි වෙන්න අපට පුළුවන්. එවිට අපි යේසුස්ගේ ජීවිත පූජාවත් මිනිස් වර්ගයා වෙනුවෙන් රාජකීය පූජක පන්තිය ඉටු කරන කාර්යයත් බොහෝ සේ අගය කරන බව පෙන්වනවා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

රාජකීය පූජක පන්තිය මිනිස් වර්ගයාට ආශීර්වාද ගෙනෙයි