Skip to content

පටුනට යන්න

එකමුතුව සමඟියෙන් සිටිමු

එකමුතුව සමඟියෙන් සිටිමු

එකමුතුව සමඟියෙන් සිටිමු

‘යහපත් ආකල්පයක් ඇතුව සිටින ඔබට යේසුස්ගේ මහත් කරුණාව ලැබේවා!’—ෆිලි. 4:23.

සභාවේ එකමුතුකමට හා සමඟියට දායක වීමට . . .

සහෝදර ඇසුර උපකාර වෙන්නේ කොහොමද?

උද්‍යෝගයෙන් සේවය කිරීම අවශ්‍ය ඇයි?

බරපතළ වැරදි වැඩිමහල්ලන්ගේ අවධානයට ලක් කිරීමට නිසි පියවර ගත යුත්තේ ඇයි?

1. ෆිලිප්පි සහ තියතීරා සභාවන් නමක් දිනාගෙන තිබුණේ මොකක් සඳහාද?

ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන් දිලිඳුව සිටියත් තම සහෝදරයන්ට ත්‍යාගශීලී වීම හා ප්‍රේමය පෙන්වීම අතින් කදිම ආදර්ශයක් තැබුවා. (ෆිලි. 1:3-5, 9; 4:15, 16) ඒ නිසා ඔවුන්ට ලියූ ලිපිය පාවුල් අවසන් කළේ මෙලෙසයි. “යහපත් ආකල්පයක් ඇතුව සිටින ඔබට ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා!” (ෆිලි. 4:23) තියතීරා සභාවේ සිටි ක්‍රිස්තියානීන්ටත් එවැනිම ආකල්පයක් තිබූ නිසා යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබේ ක්‍රියාද ඔබේ ප්‍රේමයද ඔබ තුළ තිබෙන විශ්වාසයද ඔබ කරන සේවයද ඔබ විඳදරාගන්නා ආකාරයද දනිමි. එලෙසම මෑතක සිට ඔබේ ක්‍රියා පෙරට වඩා හොඳ තත්වයක පවතින බවද දනිමි.”—එළි. 2:19.

2. ඔබේ ආකල්පය මුළු සභාවටම බලපාන්නේ කොහොමද?

2 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමහර සභාවන් ප්‍රේමය පෙන්වීම අතින්ද තවත් සමහර සභාවන් උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වීම වගේම පුරෝගාමි සේවයට මුල් තැන දීම සම්බන්ධයෙන්ද හොඳ නමක් දිනාගෙන තිබෙනවා. සභාවේ සිටින එක් එක් කෙනා යහපත් ආකල්පයක් ඇතුව සිටිනවා නම් සභාවේ එකමුතුකමටත් එහි දියුණුවටත් එය දායක වෙනවා. (1 කොරි. 1:10) අනික් අතට එවැනි ආකල්පයක් නැත්නම් අන් අයටත් එය බලපානවා. අවසානයේදී ඔවුන් තුළ දේවසේවයට තිබෙන උද්‍යෝගය නැති වී ගොස් බරපතළ පාප ගණන් නොගෙන සිටීමට පවා ඉඩ තිබෙනවා. (1 කොරි. 5:1; එළි. 3:15, 16) ඔබ සිටින සභාව මොන වගේද? සභාවේ දියුණුවටත් එහි සමඟිය පවත්වාගැනීමටත් ඔබට දායක වෙන්න පුළුවන් කොහොමද?

එකිනෙකාව දිරිගන්වමු

3, 4. ‘රැස්ව සිටින සමූහය මැදදී දෙවිව පසසන්න’ අපට පුළුවන් කොහොමද?

3 දාවිත් යෙහෝවා දෙවිට මෙසේ ගායනා කළා. “රැස්ව සිටින සමූහය මැදදී මම ඔබව පසසන්නෙමි. බොහෝ සෙනඟ අතරේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.” (ගීතා. 35:18) දාවිත් මෙන් අපටත් සභාවේදී දෙවිට ප්‍රශංසා කරන්න අවස්ථාව ලැබෙනවා. එය අන් අයටත් දිරිගැන්වීමක්. සතිපතා පවත්වන මුරටැඹ පාඩම ඇතුළු අනිත් රැස්වීම්වලදී අපි දෙන පිළිතුරුවලින් අපේ විශ්වාසය හා උද්‍යෝගය අන් අය දකිනවා. ඒ නිසා අපි මෙසේ අසාගත යුතුයි. ‘මම පිළිතුරු දීම සඳහා හොඳින් සූදානම් වෙනවාද? හැකි උපරිමයෙන් පිළිතුරු දෙනවාද? මගේ දරුවන්ටත් කල් ඇතුව හොඳින් සූදානම් වී ඔවුන්ගේම වචනවලින් පිළිතුරු දීමට උපකාර කරනවාද?’

4 දාවිත් මෙසේද කිව්වා. “දෙවියනි, මාගේ සිත වෙනස් වී නැත. එසේය, මාගේ සිත ස්ථිරව තිබේ. මම ගී ගයමින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.” (ගීතා. 57:7) සභා රැස්වීම්වලදී ගීතිකා ගායනා කර ‘දෙවිට ප්‍රශංසා කරන්න’ අපිට අවස්ථාව ලැබෙනවා. අලුත් ගීතිකාවලට අපි තවමත් හුරු වී නැත්නම් පවුලේ නමස්කාරයේදී ඒවා පුහුණු වෙන්න පුළුවන්. ගීතිකාකරු මෙන් ‘දිවි ඇති තුරා යෙහෝවා දෙවිට ගී ගයන්නත් ජීවත්ව සිටින තාක් කල් දෙවිට ප්‍රශංසා ගී ගයන්නත්’ අපි අදිටන් කරගනිමු.—ගීතා. 104:33.

5, 6. ආගන්තුක සත්කාරය පෙන්වන්න හා ත්‍යාගශීලී වෙන්න පුළුවන් කොහොමද? එසේ කිරීමෙන් අන් අයව දිරිගැන්වෙන්නේ කුමක් කිරීමටද?

5 සහෝදර සහෝදරියන්ට ආගන්තුක සත්කාරය දැක්වීමෙන් එකිනෙකාව දිරිගැන්වෙන අතර සභාවේ එකමුතුකමටත් එය දායක වෙනවා. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියද්දී මෙසේද උනන්දු කළා. “දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න. ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න.” (හෙබ්‍රෙ. 13:1, 2) සංචාරක සේවකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට හෝ පූර්ණකාලීන සේවකයන්ට ආහාර වේලක් දීම ආගන්තුක සත්කාරය පෙන්වීමට හොඳ අවස්ථාවක්. පියා හෝ මව විතරක් සිටින පවුල්වල අයටත්, වැන්දඹුවන්ටත්, වෙනත් අයටත් විටින් විට කෑම වේලකට හෝ පවුලේ නමස්කාරයට හවුල් වෙන්න කියා ආරාධනා කරන්න අපිට හැකියි.

6 පාවුල් තිමෝතිට පැවසුවේ ‘යහපත් දේවල් කිරීමටත් යහපත් ක්‍රියාවලින් පොහොසත් වීමටත් ත්‍යාගශීලී වීමටත් අනුන් සමඟ බෙදාගැනීමට සූදානම් වී සිටීමටත් අන් අයට අවවාද කරන්න’ කියායි. “එසේ කිරීමෙන් අනාගතය සඳහා ස්ථිර අඩිතාලමක් ගොඩනැඟීමේ කාර්යය වස්තුවක් ලෙස සලකා එය රැකගැනීමට ඔවුන්ට හැකි වන අතර සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමටත් ඔවුන් සමත් වනු ඇත.” (1 තිමෝ. 6:17-19) අපටත් ත්‍යාගශීලී වෙන්න පුළුවන්ද? අපි ජීවත් වෙන්නේ ආර්ථික ගැටලු තිබෙන කාලයක බව ඇත්තයි. නමුත් අපි ත්‍යාගශීලී වෙනවා නම් සභාවේ අනිත් අයටත් ඒක හොඳ ආදර්ශයක්. උදාහරණයකට රැස්වීමට හෝ දේවසේවයේ යෑමට අන් අයට ප්‍රවාහණ පහසුකම් ලබා දෙන්න ඔබට පුළුවන්ද? අනික් අතට ඔබ ප්‍රවාහණ පහසුකම් ලබන කෙනෙක් නම් ඒ ගැන ස්තුතිවන්ත වන බව පෙන්වමින් ඉන්ධන වියදම පිරිමසාගැනීමට යම් විදිහකින් දායක වෙන්න පුළුවන්ද? අන් අයව අගය කරන බව පෙන්වන්න පුළුවන් තවත් ආකාරයක් නම් ඔවුන් සමඟ කාලය ගත කිරීමයි. එසේ කිරීමට සැලසුම් කරන්න ඔබට පුළුවන්ද? එසේ යහපත් දේවල් කිරීමෙන් එකිනෙකා අතර තිබෙන ප්‍රේමය තවත් වැඩි වෙන අතර මුළු සභාවේම එකමුතුකම රැකගන්න අපිට හැකි වෙනවා.—ගලා. 6:10.

7. සභාවේ බැඳීම පවත්වාගැනීමට අන් අයගේ පෞද්ගලික කාරණා හෙළි නොකිරීම දායක වෙන්නේ කොහොමද?

7 සහෝදරයන් අතර තිබෙන බැඳීම ශක්තිමත් කරන තවත් දෙයක් වෙන්නේ එකිනෙකාට විශ්වාසවන්තව සිටීමයි. (හිතෝපදේශ 18:24 කියවන්න.) සහෝදරයෙක් අපට ඔහුගේ පෞද්ගලික කාරණයක් හෝ ඔහුගේ හැඟීම් හෝ පැවසූ විට ඒවා අන් අයට පැවසීමෙන් වැළකිය යුතුයි. එසේ වැළකී සිටිනවා නම් අපි විශ්වාසවන්ත මිතුරන් වන අතර එක පවුලක් සේ බැඳී සිටීමට එය දායක වෙනවා.—හිතෝ. 20:19.

උද්‍යෝගයෙන් සේවය කරමු

8. ලවෝදිසියේ පිහිටි සභාවේ අයට ලැබුණු උපදෙස් මොනවාද? ඊට හේතුව මොකක්ද?

8 ලවෝදිසියේ පිහිටි සභාවේ සිටි අයට යේසුස් මෙසේ කිව්වා. “‘මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ තුළ සිසිලසක්වත් උණුසුමක්වත් නැති බව දනිමි. ඔබ තුළ සිසිලසක් තිබුණා නම් හෝ උණුසුමක් තිබුණා නම් හෝ මම ඒ ගැන සතුටු වන්නෙමි. නමුත් ඔබ තුළ සිසිලසක්වත් උණුසුමක්වත් නොමැත. ඒ වෙනුවට ඔබ ඇල්මැරී සිටින නිසා මම ඔබව වමාරන්නෙමි.” (එළි. 3:15, 16) ඔවුන් තුළ දේවසේවයේ යෙදීමට කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. ඒ ඇල්මැරුණු ස්වභාවය ඔවුන් එකිනෙකා සමඟ තිබූ ඇසුරටත් බලපාන්න ඇති. ඒ නිසා යේසුස් ඔවුන්ට මෙවැනි උපදෙසක් දුන්නා. “මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන සියලුදෙනාටය. එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.”—එළි. 3:19.

9. දේවසේවය සඳහා අපට තිබෙන උද්‍යෝගය සභාවේ එක්සත්කමට දායක වෙන්නේ කොහොමද?

9 ක්‍රිස්තියානි සභාව පිහිටුවා තිබෙන්නේ දෙවි ගැන සත්‍යය දැනගැනීමට කැමති අයව සොයා දෙවිට ළං වෙන්න ඔවුන්ට උපකාර කිරීමටයි. එසේ කිරීමට සභාවේ සාමාජිකයන් හැටියට අපි යේසුස්ව ආදර්ශයට ගෙන උද්‍යෝගයෙන් දේශනා කරමින් ඔහුගේ අනුගාමිකයන් වීමට අන් අයට උපකාර කරන්න අවශ්‍යයි. (මතෙ. 28:19, 20; ලූක් 4:43) අපි උද්‍යෝගයෙන් සේවය කරන තරමටම “දෙවිගේ හවුල් වැඩකරුවන්” ලෙස අප එකිනෙකා අතර තිබෙන බැඳීමද තවත් වැඩි වෙනවා. (1 කොරි. 3:9) අනික් අතට අපේ සහෝදරයන් සේවයේ හවුල් වී යෙහෝවා දෙවි කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වමින් ඔවුන්ගේ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට ඔවුන් කෙරෙහි ඇති අපේ ප්‍රේමය තවත් වැඩි වෙනවා. එය සභාවේ ‘එක්සත්කමට’ බොහෝ සේ දායක වෙනවා.—ශෙපනියා 3:9 කියවන්න.

10. දේවසේවයේ ගුණාත්මකභාවය වැඩි කරගැනීමට අප වෙහෙසෙනවා නම් සභාවේ අයට ඉන් ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

10 සේවයේදී හමු වන අය ගැන සැලකිලිමත් වී ඔවුන්ව දෙවිට ළං කිරීමට අප වෙහෙසෙන විට දේවසේවය සඳහා අපට තිබෙන උනන්දුව තවත් වැඩි වෙනවා. (මතෙ. 9:36, 37) අපේ උද්‍යෝගය අන් අය දකින විට ඔවුනුත් උද්‍යෝගයෙන් සේවය කිරීමට පෙලඹෙනවා. මේ ගැන සිතන්න. යේසුස් තම ගෝලයන්ව දේශනා කිරීමට යැව්වේ දෙදෙනා බැගින්. (ලූක් 10:1) එසේ කළේ ඔවුන්ට පුහුණුවක් ලබා දීමට පමණක් නොව සේවය කරන විට එකිනෙකා සේවය කරන ආකාරය දෙස බලා සේවයට තිබෙන ඔවුන්ගේ උනන්දුව වැඩි කිරීමටයි. උද්‍යෝගයෙන් සේවයේ යෙදෙන ප්‍රචාරකයන් සමඟ සේවය කරන විට අපේ උනන්දුවත් වැඩි වෙන්නේ නැද්ද?—රෝම 1:12.

මැසිවිලි නඟන්න හෝ බරපතළ වැරදි සඟවන්න එපා

11. ඊශ්‍රායෙල්වරුන් කිරීමට පටන්ගත්තේ මොකක්ද? ඉන් ඇති වූ ප්‍රතිඵලය මොකක්ද?

11 දෙවි තම සෙනඟ ලෙස ඊශ්‍රායෙල්වරුන්ව තෝරාගෙන සති කිහිපයක් ගත වීමට පෙර ඔවුන් මැසිවිලි නඟන්න පටන්ගත්තා. අවසානයේදී යෙහෝවා දෙවිටත් ඔහු පත් කළ නියෝජිතයන්ටත් විරුද්ධව ඔවුන් කැරලිගැසුවා. (නික්. 16:1, 2) ඊශ්‍රායෙල් සෙනඟ මැසිවිලි නැඟූ විට මෝසෙස් ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා පොරොන්දු දේශයට ඇතුල් වීමට ඔහුටත් දෙවිගේ අවසරය නැති වුණා. අවසානයේදී පොරොන්දු දේශයට ඇතුල් වීමට දෙවි අවසර දුන්නේ ඉතා සුළු පිරිසකට විතරයි. (ද්වි. 32:48-52) මැසිවිලි නැඟීමෙන් වැළකී සිටීම සඳහා අපි කුමක් කළ යුතුද?

12. මැසිවිලි නැඟීමෙන් වැළකී සිටීම සඳහා අප කළ යුත්තේ මොනවාද?

12 මැසිවිලි නැඟීමෙන් වැළකී සිටීම සඳහා අප නිහතමානි විය යුතුයි. සභාවේ පෙරමුණ ගැනීමට දෙවි පත් කළ අයට යටත් වෙන්නත් අවශ්‍යයි. ඊට අමතරව අපි ඇසුරු කරන අය ගැනත් සැලකිලිමත් විය යුතුයි. පාසැලේදී හෝ රැකියා ස්ථානයේදී දෙවිගේ ප්‍රමිති ගැන නොසලකන මිතුරන් සමඟ ඇසුරු කිරීමට වැඩි කාලයක් ගත කිරීම හානිකරයි. එමෙන්ම විනෝදයට කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟ නැත්නම් එයද අපේ සිතුවිලිවලට හානියක් වෙයි. එමනිසා සභාවේ එක්සත්කමට හා සාමයට බාධා කරන සිතුවිලිවලින් හා ස්වාධීනව කටයුතු කිරීමට අපව පොලඹවන අයව ඇසුරු කිරීමෙන් වැළකී සිටීම කොතරම් ඥානවන්තද!—හිතෝ. 13:20.

13. මැසිවිලි නැඟීම නිසා සභාවට විහ හැකි හානි මොනවාද?

13 සභාව තුළ වුණත් මැසිවිලි නැඟීමේ ආකල්පයක් ඇති වීමට පුළුවන්. එය භයානකයි. එමගින් සභාවේ සාමය හා එක්සත්කම නැති විය හැකියි. අපි සහෝදරයන්ට විරුද්ධව මැසිවිලි නඟන්න පටන්ගත්තොත් ඔවුන්ට එය වේදනාවක් විය හැකියි. ඒ වගේම අපි අපහාස හා නින්දා කිරීම යන බරපතළ වැරදිවලටත් හසු විය හැකියි. (ලෙවී. 19:16; 1 කොරි. 5:11) මුල් සියවසේදී මැසිවිලි නැඟූ සමහර අය ‘යම් තේජසක් හිමි වී ඇති අය ගැන නින්දාසහගතව කතා කළා.’ (යූද් 8, 16) සභාවේ වගකීම් දරන අයට විරුද්ධව එසේ මැසිවිලි නැඟූ අයට දෙවිගේ අනුමැතිය ලැබුණේ නැහැ.

14, 15. (අ) කෙනෙකුගේ බරපතළ වරදක් නොසලකාහැරියොත් එය සභාවට බලපාන්නේ කොහොමද? (ආ) කෙනෙක් බරපතළ වරදක් කර ඇති බව දැනගත්තොත් අපි කළ යුත්තේ මොකක්ද?

14 සභාවේ සාමාජිකයෙක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීම, කාමුක දර්ශන නැරඹීම හෝ අනාචාර ජීවිතයක් ගත කිරීම වැනි බරපතළ වරදක් කර ඇති බව දැනගත්තොත් අපි කළ යුත්තේ මොකක්ද? (එෆී. 5:11, 12) එවැනි බරපතළ වැරදි අප නොසලකාහැරියොත් මුළු සභාවටම දෙවිගේ බලය අහිමි වීමට ඉඩ තිබෙනවා. එමගින් සභාවේ තිබෙන එකමුතුකම හා සාමය නැති වී යනවා. (ගලා. 5:19-23) කොරින්ති සභාවේ නරක බලපෑම් ඇති කරමින් සිටි අයව ඉවත් කරන්න කියා පාවුල් උපදෙස් දුන්නා. අපත් නරක බලපෑම් සභාවට ඇතුල් වීමට ඉඩ නොදී සභාව පවිත්‍රව හා එකමුතුව තබාගැනීමට වගබලා ගත යුතුයි. අපට එය කළ හැක්කේ කොහොමද?

15 කලින් සඳහන් කළා වගේ අපි විශ්වාසවන්ත මිතුරන් විය යුතුයි. සමහර තොරතුරු රහසිගතව තබාගත යුතුයි. අනුන්ගේ පෞද්ගලික කාරණා හෙළි කිරීම ප්‍රේමණීය දෙයක් නොවෙයි. නමුත් කෙනෙක් බරපතළ වරදක් කර ඇති බව අපි දැනගත්තොත් වැඩිමහල්ලන් ඒ ගැන දැනගත යුතුයි. (ලෙවී කතාව 5:1 කියවන්න.) එවැනි බරපතළ කාරණා හැසිරවීමට දෙවි පත් කර තිබෙන්නේ වැඩිමහල්ලන්වයි. එමනිසා වරද ගැන වැඩිමහල්ලන්ට පවසා ඔවුන්ගෙන් උපකාර ලබාගන්න කියා අපි වරදකරුට දිරිගැන්විය යුතුයි. (යාකො. 5:13-15) එසේ කිරීමට සාධාරණ කාලයක් දුන්නත් වරදකරු එසේ කරන්නේ නැත්නම් අපි ඒ වරද ගැන වැඩිමහල්ලන්ට දැන්විය යුතුයි.

16. බරපතළ වරදක් ගැන දැනගත් විට එය වැඩිමහල්ලන්ගේ අවධානයට ලක් කිරීම සඳහා නිසි පියවර ගැනීම මුළු සභාවටම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

16 ක්‍රිස්තියානි සභාව තමන්ට රැකවරණයක් කියා සෑම කෙනෙකුටම දැනෙන්න අවශ්‍යයි. එම රැකවරණය දිගටම පවත්වාගැනීමට නම් කෙනෙක් බරපතළ වරදක් කරන බව දැනගත් විට එය වැඩිමහල්ලන්ගේ අවධානයට ලක් කිරීම සඳහා නිසි පියවර ගත යුතුයි. වැඩිමහල්ලන්ගෙන් හික්මවීම් ලැබුවායින් පසු වරදකරු තම වරද පිළිගෙන එය නැවත නොකිරීමට වගබලා ගන්නා විට මුළු සභාවටම දෙවිගේ බලය ලැබෙන අතර සභාවේ සියලුදෙනාටම රැකවරණයක් තිබෙන බව නැවතත් දැනෙන්න පටන්ගනියි. අනික් අතට වරදකරු වැඩිමහල්ලන් ලබා දෙන ප්‍රේමණීය හික්මවීම් පිළිගන්නේ නැත්නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා. එසේ කරන්නේ ඔහුගේ “පව්කාර බලපෑම” නැති කර සභාවේ යහපත් වාතාවරණයක් පවත්වාගන්නයි. (1 කොරින්ති 5:5 කියවන්න.) ඒ අනුව අපි සියලුදෙනාම සභාව පවිත්‍රව තබාගැනීම සඳහා පියවර ගෙන වැඩිමහල්ලන්ට සහයෝගය දිය යුතු අතර අපේ සහෝදර සහෝදරියන්ගේ යහපත ගැනත් සැලකිලිමත් විය යුතුයි.

‘එක්සත්කම රැකගැනීමට’ දායක වෙමු

17, 18. සභාවේ ‘එක්සත්කම රැකගන්න’ අපට කළ හැක්කේ මොනවාද?

17 යේසුස්ගේ ‘නියෝජිතයන් ඉගැන්වූ දේවල් අගය කර’ ඔවුන්ගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කළ නිසා සභාවේ එක්සත්කම රැකගැනීමට මුල් අනුගාමිකයන්ට හැකි වුණා. (ක්‍රියා 2:42) අද සිටින වැඩිමහල්ලන්ද විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට සහයෝගය දක්වන අතර සභාවේ සියලුදෙනාටත් එසේ කිරීමට දිරිගන්වනවා. (1 කොරි. 1:10) දෙවිගේ සංවිධානය බයිබලයෙන් ලබා දෙන උපදෙස්වලට අප යටත් වන විට හා වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම් අනුගමනය කරන විට ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වීම මගින් අද්දකින එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත් මහත් වෑයමක් දරන’ බව අපි ඔප්පු කරනවා.—එෆී. 4:3.

18 සභාවේ එකමුතුකම හා සාමය රැකගැනීමට හැකි උපරිමයෙන් වෙහෙසෙමු. අපි එසේ කරනවා නම් ‘යහපත් ආකල්පයක් ඇතුව සිටින්නත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලබන්නත්’ අපට හැකි වෙනවා.—ෆිලි. 4:23.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ පින්තූරය]

දිරිගැන්වෙන පිළිතුරු දීම සභාවේ එකමුතුකමට දායක වෙයි

[20වන පිටුවේ පින්තූරය]

අලුත් ගීතිකා පුහුණු වීමෙන් එකිනෙකාව දිරිගන්වන්න පුළුවන්