ඔවුන් නිර්භීතව දේශනා කළා
ඔවුන් නිර්භීතව දේශනා කළා
විරෝධතා මැද සැබෑ ක්‍රිස්තියානීන් ධෛර්යයෙන් හා නිර්භීතව ක්‍රියා කළ ආකාරය ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්’ දෙමු යන පොතෙත් යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ යන DVD තැටිවලත් පැහැදිලි කර තිබෙනවා. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් වගේ යාච්ඤා කර දෙවිගේ බලය ඉල්ලනවා නම් නිර්භීතව සාක්ෂි දරන්න අපිටත් පුළුවන්.—ක්‍රියා 4:23-31.
පළවෙනි ලෝක මහා යුධ සමයේදී දේශනා කළ ආකාරය ගැන සහෝදරයෙක් මෙසේ ලිව්වා. “අපි ගොඩාක් උනන්දුවෙන් ‘ද ෆිනිෂ්ඩ් මිස්ට්‍රි’ කියන පොත බෙදාහැරියා. පොත් හුඟක් බෙදාහරින්න පුළුවන් වුණා. වර්ෂ 1918දී රාජ්‍ය ආරංචි අංක 1 පත්‍රිකාව මුදාහැරියා. ඊටපස්සේ ‘ද ෆිනිෂ්ඩ් මිස්ට්‍රි’ පොත බලධාරීන් තහනම් කළ හේතුව පැහැදිලි කරමින් රාජ්‍ය ආරංචි අංක 2ත් පස්සෙ රාජ්‍ය ආරංචි අංක 3ත් මුදාහැරියා. අභිෂේක ලත් අය අස්සක් මුල්ලක් නෑර ඒවා බෙදාහැරියා. එහෙම කරන්න ඒ අයට දෙවි කෙරෙහි ලොකු විශ්වාසයක් වගේම නිර්භීතකමක් අවශ්‍ය වුණා.”
අද දින නවක ප්‍රචාරකයන්ට දේවසේවයේ යෑම සඳහා පුහුණුව ලැබුණත් ඒ කාලයේ එසේ ලැබුණේ නැහැ. ඇමරිකාවේ ඉන්න පෝලන්ත ජාතික සහෝදරයෙක් 1922දී ඔහු මුලින්ම දේශනා සේවයේ ගිය ආකාරය ගැන මෙසේ ලිව්වා. “පොත් පත් බෙදාහරින විදිහ ගැන මට හරි අවබෝධයක් තිබුණේ නැහැ. ඉංග්‍රීසියෙන් කතා කරන්නත් හරියට දැනං හිටියේ නැහැ. සේවයේ ගියෙත් තනියම. එදා ඩිස්පෙන්සරියක දොරට තට්ටු කළාම හෙදියක් දොර ඇරියා. මං හිටියේ ටිකක් ගැහි ගැහී. බෑග් එකෙන් පොතක් එළියට ගන්න හදනකොට ඔක්කොම පොත් ටික බිම වැටුණා. ඒ වෙලාවේ කිව්වේ මොනවද කියලා නම් මට මතක නැහැ. හැබැයි කොහොමහරි ඇයට පොතකුත් දුන්නා. ඒ දවසේ මං ව්‍යාපාරික ස්ථානවලදී කුඩා පොත් හුඟක් බෙදා දුන්නා. එහෙම කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවිගේ උපකාරයෙන් නිර්භීත වුණ හින්දයි.”
එක් සහෝදරියක් පැවසුවේ “1933 වෙද්දී හුඟක් සහෝදරයන් ශබ්දවාහිනි සවි කළ කාර් යොදාගෙන සාක්ෂි දැරුව” බවයි. දවසක් ඇය සහ තවත් යුවළක් කැලිෆෝනියාවේ කඳුකරයේ දේශනා කළා. ඔවුන් සේවය කළ ආකාරය ගැන ඇය මෙසේ පවසනවා. “සහෝදරයා ශබ්දවාහිනි සවි කරපු කාර් එකෙන් කන්දක් මුදුනට ගියා. ඔහුගේ බිරිඳයි මමයි පහළ හිටියා. ඔහු ශබ්දවාහිනිය පණගැන්නුවාම ඒ හඬ හැම තැනම පැතුරුණා. දැනුණෙ හරියට ස්වර්ගෙන් හඬක් එනවා වගෙයි. ඒ හඬ එන්නේ කොහෙන්ද කියලා දැනගන්න මිනිස්සු සෑහෙන වෑයමක් දැරුවත් එයාලට සහෝදරයාව දකින්න ලැබුණෙ නෑ. ඒක නතර වුණාට පස්සේ අපි ගිහින් ඒ නගරයේ හිටිය අයට දේශනා කළා. ඒ විදිහට තවත් අවස්ථා දෙකකදී ශබ්දවාහිනි සවි කරපු කාර්වලින් ගිහින් මිනිස්සුන්ට පණිවිඩය අහන්න සලස්වන්න මම හවුල් වුණා. සවන් දෙන්න අකමැති වුණ හුඟදෙනෙකුට
අහගෙන ඉන්නම සිද්ධ වුණා. යෙහෝවා දෙවි හරි වෙලාවට හරි ක්‍රමය පාවිච්චි කරන විදිහ අපි දැක්කා. නිර්භීතකම ඇති කරගන්න සිද්ධ වුණත් අපේ මහන්සිය වතුරේ ගියේ නෑ. දැරුව වෑයම නිසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න අපිට පුළුවන් වුණා.”දේවසේවය සඳහා 1930 ගණන්වල හා 40 ගණන්වල මුල් කාලයේදී බයිබලය මත පදනම් කතා ඇතුළත් තැටිත් ඒවා වාදනය කළ යන්ත්‍රත් යොදාගත්තා. සහෝදරියක් ඒ ගැන මෙසේ පැවසුවා. “තරුණ සහෝදරියක් තැටි වාදන යන්ත්‍රයක් අරගෙන ගෙයින් ගෙට සේවයේ යෙදුණා. එක ගෙදරකදී ඒක වාදනය කළාම ඒ ගෙදර හිටිය කෙනාට කේන්ති ගිහිල්ලා යන්ත්‍රයට පයින් ගැහුවා. ඒක වීසි වෙලා ගියත් එක තැටියක්වත් කැඩුණෙ නෑ. ඒ කිට්ටුව නවත්තලා තිබුණ ලොරියක හිටපු අය සිද්ධ වුණ දේ දැක්කා. යන්ත්‍රය වාදනය කරන්න කියලා ඒ අය සහෝදරියට කිව්වා. ඊටපස්සේ එයාලා සහෝදරියගෙන් පොත් ගත්තා. කලින් සැලකුව විදිහයි පස්සේ සලකපු විදිහයි මොන තරම් වෙනස්ද!” ඒ වගේ පීඩා විඳදරාගන්න ඇත්තෙන්ම ධෛර්යය අවශ්‍යයි.
ඇය තවදුරටත් මෙසේ පැවසුවා. “මට තාම මතකයි 1940දී අපි වීදි සේවය කරපු හැටි. ඊට කලින් නම් අපි කළේ විශේෂ පණිවිඩයි නිවේදනයි ඇතුළත් පුවරු එල්ලගෙන වීදිවල යන එකයි. ‘ආගම මලපතක් හා ප්‍රයෝගයක්’ සහ ‘දෙවිට හා රජු වන ක්‍රිස්තුස්ට සේවය කරන්න’ යන පාඨ ඒවාවල ලියලා තිබුණා. ළඟින් ගිය අයට අපි පත්‍රිකාත් දුන්නා. ඒ වගේ දෙයක් කරන්න සෑහෙන ධෛර්යයක් ඕනේ. කොහොමහරි ඒකෙන් දෙවිගේ නම ගැනත් ඔහුගේ සෙනඟ ගැනත් ජනයාට දැනගන්න ලැබුණා.”
තවත් සහෝදරියක් මෙසේ පැවසුවා. “අපිට විරුද්ධ අය ඉන්න පුංචි නගරවල වීදි සේවය කරන එක පහසු වුණේ නෑ. . . . හන්දිවල හිටගෙන සඟරා පේන්න තියාගෙන හඬ නඟලා ඒවා හඳුන්වලා දෙන්න ඇත්තටම නිර්භීතකම ඕන වුණා. ඒ වුණත් අපි හැම සෙනසුරාදාම නොවරදවා සේවයේ ගියා. සමහර අය අපිත් එක්ක සුහදව කතා කළා. ඒත් සමහර වෙලාවට කට්ටිය එකතු වෙලා ප්‍රශ්නයක් ඇති කරන්න හදනකොට අපි හිමීට එතනින් ගියා.”
දෙවෙනි ලෝක මහා යුධ සමයේදිත් සාක්ෂිකරුවන් පීඩා මැද නිර්භීතව දේශනා කළා. ඇමරිකාවේ 50,000ක් පමණ ප්‍රචාරකයන් 1940 දෙසැම්බර් 1වෙනිදා සිට 1941 ජනවාරි 12වෙනිදා දක්වා දවස් 43ක් පුරා කුඩා පොතක් බෙදාහැරීමට විශේෂ වැඩසටහනක් දියත් කළා. එම වැඩසටහන නිසා පොත් 80,00,000ක් බෙදාහරින්න පුළුවන් වුණා.
අතීතයේදී තමන්ට නිර්භීතකම උපදවාගන්න සිදු වූ අවස්ථාවන් ගැන දෙවිගේ සංවිධානයේ සිටින බොහෝ මහලු අයට තවමත් මතකයි. නිර්භීතව සේවය කිරීම සඳහා ‘සටන අත් නොහරින්න’ වැනි කියමන් භාවිත කළ ආකාරය ඔවුන්ට තාම මතකයි. මේ දුෂ්ට සමාජය අවසන් වීමට පෙර දෙවිගේ පණිවිඩය තව කොයි ආකාරවලින් ප්‍රකාශ කරන්න සිදු වෙයිද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් දෙවිගේ උපකාරයෙන් අපි දෙවිගේ පණිවිඩය විශ්වාසයෙන් හා නිර්භීතකමින් යුතුව දිගටම ප්‍රකාශ කරමු!
[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දේශනා කිරීමට නිර්භීතකම අවශ්‍යයි