Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

‘හැරිලා නොබලපු කෙනෙක් නැහැ’

‘හැරිලා නොබලපු කෙනෙක් නැහැ’

පුරෝගාමී සහෝදරියක් වූ චාලට් වයිට් ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුවිස්විල් නගරයට රෝද සවි කළ සූට් කේස් එකක් රැගෙන ආ විට හැමෝගෙම අවධානය ඒ වෙත යොමු වුණා.

වර්ෂ 1908දී එවැනි දෙයක් දැකීම කාගෙත් පුදුමයට හේතු වුණා. සහෝදරී වයිට් ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඒක දිහා හැරිලා නොබලපු කෙනෙක් නැහැ. හැමෝම ඒ ගැන කතා කරන්න පටන්ගත්තා.”

එදා සිටි බයිබල් ශිෂ්‍යයන් * බයිබලය ගැන පුළුල් අවබෝධයක් ලබාගත්තේ වෙළුම් හයකින් යුත් “මිලෙනියල් ඩෝන්” නමැති පොත් කාණ්ඩය ගැඹුරින් අධ්‍යයනය කළාට පසුවයි. පසුව එය “ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස්” ලෙස හැඳින්නුවා. එහි ඇති සත්‍යයන් අන් අය සමඟ බෙදාගන්න ඔවුන්ට ලොකු වුවමනාවක් තිබුණා. ඒ නිසා හැකියාව තිබූ අය දුර ඈත ගම්වලට පවා ගොස් කියවන්න කැමති අයට ඒවා ලබා දුන්නා.

වර්ෂ 1908දී රෙදි ආවරණයකින් යුත් පිට කවරයක් සහිත පොත් හයම බෙදාහැරියේ ඩොලර් 1.65ක් වැනි සුළු මුදලකටයි. එම පොත් එතරම් අඩුවට විකිණීම ගැන එක් පුද්ගලයෙක් විරෝධය පෑවා. නමුත් එසේ කිරීමට හැකි වුණේ මුද්‍රණ ගාස්තුව පමණක් අය කළ නිසයි. සාමාන්‍යයෙන් සාක්ෂිකරුවන් කළේ පොත්වලට ඇණවුම් ලබාගෙන එසේ ඇණවුම් කළ අයගේ වැටුප් දිනයේදී ගොස් එම පොත් දීමයි.

සතියකට පොත් දෙතුන් සීයක ඇණවුම් ලබාගත් අවස්ථාත් තිබුණු බව සහෝදරී මෙලින්ඩා කීෆ පැවසුවා. නමුත් එම පොත් මිනිසුන් වෙත ගෙන යෑමේදී පොත්වල බර නිසා ඔවුන් ලොකු ගැටලුවකට මුහුණ දුන්නා. උදාහරණයකට හයවන වෙළුමේ පමණක් පිටු 740ක් තිබුණා! මුරටැඹ සඟරාවක වරක් සඳහන් වූ විදිහට “පොත් 50ක් රාත්තල් 40ක් (කිලෝග්‍රෑම් 18ක්) බරයි.” ඇත්තෙන්ම සහෝදරියන්ට නම් “ඒක බර වැඩියි.”

සහෝදර ජේම්ස් කෝල් එයට විසඳුමක් ලෙස මෙහි දැක්වෙන ආකාරයට සූට් කේස් එකක් සවි කළ හැකි රෝද දෙකක් සහිත රාමුවක් නිර්මාණය කළා. ඉන්පසුව බර පොත් පෙට්ටි කරගහගෙන යන්න අවශ්‍ය වුණේ නැහැ. “දැන් මට කොන්ද කඩාගෙන පොත් උස්සං යන්න ඕන්නෑ” කියා සහෝදර කෝල්ම පැවසුවා. ඔහු එම නිර්මාණය 1908දී ඔහියෝ ප්‍රාන්තයේ පැවැත්වූ සමුළුවකදී සහෝදරයන්ට හඳුන්වා දුන්නා. එය විශේෂයෙන්ම නිර්මාණය කර තිබුණේ මිලෙනියල් ඩෝන් නමැති පොත් සහිත සූට් කේස් රැගෙන යෑමට නිසා එය නම් කළේ “ඩෝන් මොබීල්” ලෙසයි. එම නම එහි කොටා තිබුණා. එක් එක්කෙනාගේ උසට අනුව සකස් කළ හැකි වූ එය තාර නොදැමූ පාරක වුණත් තල්ලු කරගෙන යා හැකි වුණා. දවස අවසානයේදී හිස් වූ සූට් කේස් එක සවි කළ එම රාමුවේ රෝද අකුළා පහසුවෙන් බස් එකේ දමාගෙන යන්න පුළුවන් වුණා. එය හසුරුවන්න හොඳින් පුරුදු වුණාම පොත් පුරවාගත් පසුවත් කෙනෙකුට එය තනි අතින් වුණත් ගෙන යන්න හැකි වුණා.

“ඩෝන් මොබීල්” එකක් දුන්නේ ඩොලර් 2.50කටයි. නමුත් පුරෝගාමී සහෝදරියන්ට ඒවා දුන්නේ නොමිලෙයි. සහෝදරී කීෆ “ඩෝන් මොබීල්” එකට කොතරම් හුරු වුණාද කියනවා නම් එක අතකින් එය හසුරුවමින් අනිත් අතේ තවත් පොත් බෑගයක් රැගෙන ගියා. එක් නගරයක කොතරම් පිරිසක් පොත් ගැනීමට කැමති වුණාද කියනවා නම් වැටුප් දිනවලදී නගරයේ පාලම හරහා තුන් හතර පාරක් එය තල්ලු කරගෙන ගියා.

අද හැම තැනම දකින්න තිබෙන කුඩා රෝද සවි කළ ගමන්මලු හැදුවේ 1980 ගණන්වලයි. එය නිර්මාණය කළේ ගුවන් නියමුවෙක්. නමුත් දැනට අවුරුදු 100කට පෙර බයිබල් ශිෂ්‍යයන් සත්‍යය බෙදාහැරීමට පාරවල් දිගේ තමන්ගේ “ඩෝන් මොබීල්” තල්ලු කරගෙන යද්දී මිනිසුන් පුදුම වූ බවට නම් කිසිම සැකයක් නැහැ.

[පාදසටහන]

^ 5 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව කලින් හැඳින්නුවේ එලෙසයි.

[32වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මෙහි දැක්වෙන සහෝදරී කීෆ වැටුප් දිනවලදී නගරයේ පාලම හරහා තුන් හතර පාරක් එය තල්ලු කරගෙන ගියා

[32වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පොත් බෙදාහැරීමේ ගැටලුවට විසඳුම