Skip to content

පටුනට යන්න

“අපි දෙන්නගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද?”

“අපි දෙන්නගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද?”

“අපි දෙන්නගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද?”

හෝස්වේ මෙක්සිකෝවේ බෙතෙල් සේවකයෙක්. දිස්ත්‍රික් සමුළුවේ දෙවෙනි දවස අවසානයේදී කෙරටාරෝ නගරය හරහා යද්දී ඔහුට කොලොම්බියාවෙන් පැමිණි හාවිය හා මාරු යන යුවළව හමු වුණා. ඔවුන්ගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද කියා ඔවුන් හෝස්වේගෙන් ඇසුවා. හෝස්වේ හා ඔහුගේ මිතුරන් පිළිවෙළට ඇඳ සිටිනවාත් බැජ් කාඩ් ගසාගෙන සිටිනවාත් දුටු යුවළ ඔවුන් උපාධියක් ලබා පැමිණෙන අයද කියා ඇසුවා. තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට සහභාගි වන බව පැවසූ හෝස්වේ ඉරිදා වැඩසටහන සඳහා යුවළට ආරාධනා කළා.

එවැනි තැනකට අඳින්න සුදුසු ඇඳුම් නොතිබූ නිසා ඊට සහභාගි වෙන්න ඔවුන් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. කෙසේනමුත් හෝස්වේ ශාඛා කාර්යාලයේ දුරකථන අංකය ඔවුන්ට දුන්නා.

මාස හතරකට පසු හාවියගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු විට හෝස්වේ පුදුම වුණා. ඔවුන් සමුළුවට සහභාගි වී තිබුණා. ඔවුන්ව මුණගැසෙන්න සාක්ෂිකරුවන්ව එවන ලෙස ඔහු ඉල්ලා සිටියා. හාවිය හා මාරු බයිබල් පාඩමක් ආරම්භ කළා. ඉක්මනින්ම රැස්වීම් යන්නත් පටන්ගත්තා. ඉන් මාස දහයකට පසු ප්‍රචාරකයන් වුණා. පදිංචිය සඳහා කැනඩාවට යන්න සිදු වුණත් එහිදී හොඳ දියුණුවක් ලැබූ ඔවුන් බව්තීස්ම වුණා.

දිනක් හෝස්වේට හාවියගෙන් ලිපියක් ලැබුණා. තමන් සත්‍යය පිළිගන්න පෙලඹුණේ ඇයි කියා ඔහු එහි සඳහන් කළා. “සමුළුවට සහභාගි වෙන්න කලින් මාත් මගේ බිරිඳත් දෙවියන්ගේ මඟ පෙන්වීම් නැතුව ජීවිතයේ ඇති පලේ මොකක්ද කියලා කල්පනා කර කරයි හිටියේ. එදා ඔයාලා පිළිවෙළට ඇඳලා ඉන්නවා දැක්කාම අපි හිතුවා වැදගත් සම්මන්ත්‍රණයකට ගිහින් එනවා ඇති කියලා. පහුවදා සමුළුවේ හිටිය අය අපිට සලකපු විදිහත් අදහාගන්න බැරි වුණා. අපිට වාඩි වෙන්න ආසන දීලා බයිබල් පදත් පෙන්නුවා. එදා අපිළිවෙළට ඇඳගෙන ගියත් ඇඳුම් දිහා බලලා අපිව පහත් කරලා සැලකුවේ නෑ.”

හෝස්වේ කළ දෙයින් මේ බයිබල් උපදෙස සැබෑවක් බව ඔප්පු වුණා. “උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න. මන්ද ඒ කුමන බීජ පැළ වෙයිද කියා ඔබ දන්නේ නැත. සමහරවිට ඉන් එකක් හෝ දෙකක් හෝ ඒ සියල්ල වුවද පැළ වීමට ඉඩ තිබේ.” (දේශ. 11:6) ඉදිරියේදී තිබෙන සමුළුවක් හෝ ප්‍රසිද්ධ කථාවක් ගැන “බීජ වපුරන්න” නැතහොත් අන් අයට දන්වන්න ඔබත් කැමතිද? හාවිය හා මාරු වැනි දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමට පිපාසයෙන් සිටින තව බොහෝදෙනෙක් සිටිනවා. ඒ අයව තමන් වෙතට ළං කරන්න හෝස්වේව මෙන් ඔබවත් පාවිච්චි කරන්න යෙහෝවා දෙවිට හැකි බව අමතක කරන්න එපා.—යෙසා. 55:1.

[32වන පිටුවේ පින්තූරය]

වමේ සිට දකුණට: ඇලහැන්ඩ්‍රෝ වෝගියුලින්, මාරු පිනේඩා, ඇලහැන්ඩ්‍රෝ පිනේඩා, හාවිය පිනේඩා සහ හෝස්වේ රමීරෙස් මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයේදී