Skip to content

පටුනට යන්න

‘ආපසු හැරී බලන්න එපා’

‘ආපසු හැරී බලන්න එපා’

‘ආපසු හැරී බලන්න එපා’

“නඟුලකට අත තැබූ පසු ආපසු හැරී බලන කෙනෙක් දෙවිගේ රාජ්‍යයට සුදුසු කෙනෙක් නොවෙයි.”—ලූක් 9:62.

ඔබට මතකද?

‘ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක නොකළ’ යුත්තේ ඇයි?

ආපසු හැරී බැලීමට පෙලඹවිය හැකි කුමන දේවල් තුන ගැන සැලකිලිමත් විය යුතුද?

දෙවිගේ සංවිධානය සමඟ ඉදිරියට ගමන් කරන්න පුළුවන් කොහොමද?

1. යේසුස් දුන් අනතුරු ඇඟවීම මොකක්ද? මතු වන ප්‍රශ්නය මොකක්ද?

යේසුස් මෙසේ අනතුරු ඇඟෙව්වා. “ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක කරන්න එපා.” (ලූක් 17:32) ලොත්ගේ බිරිඳ සොදොම් නුවරෙන් පලා යන විට දෙවිට අකීකරු වී පිටුපස හැරී බැලුවා. ඒ මොහොතේම ඇය ලුණු කණුවක් වුණා. (උත්පත්ති 19:17, 26 කියවන්න.) එදා සිටි යුදෙව්වන් ඒ සිද්ධිය දැන සිටි නිසා ඔවුන්ට අමුතුවෙන් ඒ ගැන විස්තර කිරීමට අවශ්‍ය වුණේ නැහැ. නමුත් මතු වන ප්‍රශ්නය මෙයයි. යේසුස් පැවසූ දෙය අපට අදාළ වෙන්නේ කොහොමද?.

2. ලොත්ගේ බිරිඳ පිටුපස හැරී බැලීමට හේතුව මොකක් විය හැකිද? එහි ප්‍රතිඵලය මොකක්ද?

2 ලොත්ගේ බිරිඳ පිටුපස හැරී බැලුවේ ඇයි? කුතුහලය නිසාද? නැත්නම් දෙවි කෙරෙහි තිබූ විශ්වාසයේ අඩුකම නිසාද? එසේ නැත්නම් දාලා ආපු දේවලට තිබූ තණ්හාව නිසා නැවත හැරී යන්න ආශාවක් ඇති වූ නිසාද? (ලූක් 17:31) හේතුව මොකක් වුණත් ඇය අකීකරු වුණා. ඊට වන්දි ගෙවන්න සිදු වුණේ ඇගේ ජීවිතෙන්. මේ ගැනත් ටිකක් සිතන්න. සොදොම් හා ගොමෝරාවේ දූෂිත මිනිසුන්ව විනාශ කළ දවසේම ඇයවත් විනාශ කරන්න දෙවිට සිදු වුණා. “ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක කරන්න එපා” කියා යේසුස් කිව්වේ ඒ නිසයි. එය මොන තරම් බරපතළ අනතුරු ඇඟවීමක්ද!

3. අපි ආපසු හැරී නොබැලිය යුතු බව යේසුස් පහදා දුන්නේ කොහොමද?

3 මේ සියල්ල අපට බලපාන්නේ කොහොමද? අපි ජීවත් වෙන්නේ අවසාන දවස්වලයි. අපට තිබූ දේවල් ගැන හෝ අප අත්හැරිය දේවල් ගැන හෝ ළත වෙවී ඉන්න කාලයක් අපිට නැහැ! ඒ කාරණය තේරුම්ගැනීමට යේසුස් මෙහෙම කිව්වා. “නඟුලකට අත තැබූ පසු ආපසු හැරී බලන කෙනෙක් දෙවිගේ රාජ්‍යයට සුදුසු කෙනෙක් නොවෙයි.” (ලූක් 9:62) යේසුස් කී දේ අසාධාරණ හෝ පිළිපදින්න අමාරු දෙයක්ද? නැහැ. යේසුස්ගේ ගෝලයෙක් වෙන්න කෙනෙක් කැමති බව පැවසුවත් තම වගකීම් මඟහැරීම සඳහා නිදහසට කරුණු කියනවා නම් ඔහු ‘නඟුලට අත තැබූ පසු ආපසු හැරී බලන කෙනෙක්’ හා සමානයි කියා යේසුස් දැන සිටියා. ගොවියෙක් නඟුලෙන් හාන විට ඉස්සරහ බලාගෙන යන්නේ නැතුව විටින් විට පස්ස හැරී බලනවා නම් ඔහුට එම කාර්යය නිසි ලෙස අවසන් කරන්න බැරි වෙයි.

4. අපි අවධානය යොමු කළ යුත්තේ මොකකටද?

4 හිතෝපදේශ 4:25හි මෙසේ පවසනවා. “ඔබේ දෙනෙත් ඔබේ ගමන් මඟ දෙසම යොමු කර තබන්න. වටපිට නොබලා ඔබේ දීප්තිමත් දෙනෙත්වලින් ඉදිරියම බලා සිටින්න.” ඉන් පැහැදිලි වන්නේ අපි ආපසු හැරී බලනවා වෙනුවට අනාගතය වෙත අවධානය යොමු කළ යුතු බවයි.

5. ආපසු හැරී බැලීම නුවණට හුරු දෙයක් නොවන්නේ ඇයි?

5 ලොත්ගේ කාලයේදී දෙවි විනාශ කළේ නගර දෙකක් විතරයි. නමුත් ළඟදීම දෙවි මේ දුෂ්ට සමාජයම විනාශ කරනවා. අපි ජීවත් වන්නේ “අවසාන කාලයේ” විනාශය අද්දර නිසා අත්හැර ආ දේවල් දෙස ආපසු හැරී බැලීම නුවණට හුරු නැහැ. (2 තිමෝ. 3:1) ආපසු හැරී බැලීමෙන් වළකින්න නම් එසේ කිරීමට පොලඹවන දේවල් මොනවාද කියා අපි හඳුනාගත යුතුයි. (2 කොරි. 2:11) අපි දැන් ඉන් කිහිපයක් හඳුනාගනිමු.

“ඒ කාලෙ නම් නියමයි”

6. අතීතය මීට වඩා හොඳයි කියා සිතමින් කටයුතු කිරීම නැණවත් දෙයක් නොවන්නේ ඇයි?

6 සමහරවිට අපි අද්දකින ගැටලු නිසා අතීතය ගැන සිතමින් ‘ඒ කාලෙ නම් නියමයි. අද වගේ ප්‍රශ්න තිබුණෙ නැහැ’ කියා කල්පනා කරන්න ඉඩ තිබෙනවා. නමුත් එවැනි සිතුවිලිවලින් අපි අපවම රවටාගන්නවා. “‘අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි’ යයි නොකියන්න. මන්ද එලෙස කල්පනා කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ” කියා බයිබලයේ උපදෙස් දෙන්නේ ඒ නිසයි. (දේශ. 7:10) එසේ සිතමින් කටයුතු කළොත් මොනවා වෙන්න පුළුවන්ද?

7-9. (අ) ඊජිප්තුවේ සිටි කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ට සිදු වුණේ මොකක්ද? (ආ) ඔවුන්ට සතුටු වීමට තිබූ හේතු මොනවාද? (ඇ) ඔවුන් මැසිවිලි නඟන්න පටන්ගත්තේ මොනවා ගැනද?

7 ඊශ්‍රායෙල්වරුන්ට සිදු වූ දේ ගැන සිතන්න. ඔවුන් ඊජිප්තුවට ගියේ ආගන්තුකයන් ලෙසයි. නමුත් යෝසෙප් මිය ගිය පසු ‘ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලෙන් වැඩ ගන්නා පිණිසත් ඔවුන්ට හිංසා පීඩා කරන පිණිසත් ඊජිප්තුවරු ඔවුන් කෙරෙහි ප්‍රධානීන්ව පත් කළා.’ (නික්. 1:11) ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩි වීම වැළැක්වීම සඳහා ඊශ්‍රායෙල් ස්ත්‍රීන්ට ඉපදෙන ළදරුවන්ව මරන්න කියා පාරාවෝ අණ කළා. (නික්. 1:15, 16, 22) තම සෙනඟ විඳින දුක යෙහෝවා දෙවිට පවා මහත් වේදනාවක් වුණා. ඔහු මෝසෙස්ට මෙසේ පැවසුවා. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.”—නික්. 3:7.

8 දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් කළ විට ඔවුන් මොන තරම් සතුටු වෙන්න ඇද්ද! යෙහෝවා දෙවිගේ බලය කොතරම්ද කියා ඊජිප්තුවරුන්ට ගෙනා පීඩා දහයෙන් ඔවුන් දැක්කා. (නික්මයාම 6:1, 6, 7 කියවන්න.) පීඩා දහයෙන් පසු පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට යන්න හැරියා. ඒ විතරක් නෙවෙයි ඊජිප්තුවරු ඔවුන් සතු රන් හා රිදී ආභරණ විශාල ප්‍රමාණයක්ද ඊශ්‍රායෙල්වරුන්ට දී හැකි තාක් ඉක්මනින් ඔවුන්ව පිටත් කර හැරියා. ඊශ්‍රායෙල්වරු ‘ඊජිප්තුවරුන්ට කිසි දෙයක් ඉතුරු නොකර සියල්ල රැගෙන ගිය’ බව බයිබලයේ සඳහන් වෙනවා. (නික්. 12:33-36) යෙහෝවා දෙවි පාරාවෝ සහ ඔහුගේ හමුදාව රතු මුහුදේදී විනාශ කරනවා දකිද්දී ඊශ්‍රායෙල්වරුන් කොතරම් සතුටු වෙන්න ඇද්ද! (නික්. 14:30, 31) ඒ සියල්ල අද්දුටු ඔවුන්ගේ විශ්වාසය කොතරම් ශක්තිමත් වෙන්න ඇද්ද!

9 නමුත් වැඩි දවසක් යෑමට පෙර ඔවුන් ඒ සියල්ල අමතක කර ආහාර ගැන මැසිවිලි නඟන්න පටන්ගත්තා. ආශ්චර්යයවත් ලෙස ලබා දුන් ආහාර ගැන ස්තුතිවන්ත නොවී ඔවුන් මෙහෙම පැවසුවා. “ඊජිප්තුවේ ඉන්න කාලේ අපිට කොච්චර දේවල් කන්න තිබුණාද? අපි හිතේ හැටියට මාළු කෑවා! පිපිඤ්ඤා, කොමඩු, ලීක්ස්, ලූනු, සුදුලූනු කොයි තරම් කෑවාද? ඒත් දැන් අපිට කන්න තියෙන්නේ මන්නා විතරයි. ඒවා කාලා කාලා දැන් අපිට එපා වෙලා.” (ගණන්. 11:5, 6) ඔවුන් අමතක කළේ දෙවි ඒ වන විටත් ඔවුන් වෙනුවෙන් කර තිබූ දේවල් විතරක් නෙවෙයි. ඊජිප්තුවේදී වින්ද වහල් ජීවිතය පවා ඔවුන් අමතක කළා. එසේ ඔවුන් ඔවුන්වම රවටාගත්තා. ඔවුන් කොතරම් අඥාන වුණාද කියනවා නම් නැවත ඊජිප්තුවට හැරී යෑම ගැනත් කල්පනා කළා. (ගණන්. 14:2-4) ඔවුන්ට විරුද්ධව දෙවිගේ උදහස වැඩි වීම පුදුමයක්ද!—ගණන්. 11:10.

10. ඊශ්‍රායෙල්වරුන්ට සිදු වූ දෙයින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 ඉන් අපට ඉගෙනගත හැකි පාඩම මොකක්ද? ප්‍රශ්නවලට මුහුණ දෙද්දී අතීත සොඳුරු මතකයන් ගැන අනවශ්‍ය විදිහට සිතමින් ඒ ගැන ළත වෙවී සිටීම සුදුසු නැහැ. අතීතයෙන් ඉගෙනගත් පාඩම්, ලැබූ අද්දැකීම් වගේම සොඳුරු මතකයන් ගැන සිතීම වැරදි නැහැ. නමුත් අතීතයේදී ඉතාම අසීරු දේවලට මුහුණ දී තිබුණත් ඒවා අමතක කර කෙටි කාලයකට භුක්ති විඳපු සතුට ගැන විතරක් අවධානය යොමු කිරීම අනතුරුදායකයි. එම අනතුර නම් අපි අද ලබන ආශීර්වාද ගැන නොසලකා පරණ ජීවන රටාවට නැවත වැටෙන්න ඉඩ තිබීමයි.—2 පේතෘස් 2:20-22 කියවන්න.

“අපරාදෙ, මං කරගත්තු මෝඩකමක්”

11. අත්හැරපු දේවල් ගැන සමහරුන්ට හැඟෙන්නේ කොහොමද?

11 සමහරු සත්‍යය වෙනුවෙන් උසස් අධ්‍යාපනයක් ලැබීමට, විශාල වැටුප් ලබන රැකියා කිරීමට හෝ සමාජයේ ඉහළ තැනකට ඒමට තිබූ අවස්ථා අත්හැර තිබෙනවා. තවත් සමහර සහෝදර සහෝදරියන් සත්‍යය ඉගෙනගන්න කලින් සංගීත, චිත්‍රපට, ව්‍යාපාර, අධ්‍යාපන හෝ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල ඉහළ තැන්වල වැජඹුණා. ඔවුන් ඒ සියල්ල අත්හැර සත්‍යය පිළිගත්තා. නමුත් කාලයක් ගියත් විනාශය තවම පැමිණ නැති නිසා සමහරු සිතන්නේ “අපරාදෙ, මං කරගත්තු මෝඩකමක්” කියායි. අත්හැරපු දේවල් ගැන ඔබටත් එසේ හැඟී තිබෙනවාද?

12. තමන් අත්හැරිය දේවල් ගැන පාවුල්ට හැඟුණේ කොහොමද?

12 යේසුස්ගේ ගෝලයෙක් වීම සඳහා පාවුල් බොහෝ දේ අත්හැරියා. (ෆිලි. 3:4-6) ඔහු අත්හැරිය දේවල් ගැන ඔහුට හැඟුණේ කොහොමද? ඔහු මෙසේ කියනවා. “මට වාසියක් ලෙස සැලකිය හැකි ඒ දේවල් මම ක්‍රිස්තුස් වෙනුවෙන් කැමැත්තෙන්ම අත්හැර දැමුවෙමි.” ඔහු එසේ කළේ ඇයි? ඒ ගැන ඔහු පවසන්නේ මෙයයි. ‘ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ මා ලබාගත් දැනුම කොතරම් අනර්ඝද කිවහොත් මට තිබුණු සියල්ල මා සලකන්නේ කිසි වටිනාකමක් නැති දේවල් හැටියටයි. ඔහු වෙනුවෙන් මට සෑම දෙයක්ම අහිමි වුවත් ඒ ගැන මට කිසි දුකක් නොදැනෙන අතර එසේ අහිමි වූ දේවල් මා සලකන්නේ කුණු ගොඩක් ලෙසයි. * මා ඒ සියල්ල කළේ ක්‍රිස්තුස් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමටයි.’ (ෆිලි. 3:7, 8) සාමාන්‍යයෙන් කෙනෙක් යම් දෙයක් කුණුගොඩට දැම්මට පස්සේ, පසු කාලෙකදී ඒ ගැන දුක් වෙලා ආපහු එය කුණු ගොඩෙන් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ හා සමානව තමන් අත්හැරිය දේවල් ගැන පාවුල් කිසිදාක “අපරාදෙ, මං කරගත්තු මෝඩකමක්” කියා සිතුවේ නැහැ.

13, 14. පාවුල්ව අනුගමනය කරන්න අපට පුළුවන් කොහොමද?

13 අත්හැරපු දේවල් ගැන නිතරම මතක් වෙනවා නම් පාවුල්ව ආදර්ශයට ගන්න. ඔබට දැන් තිබෙන ආශීර්වාද ගැන සිතන්න. යෙහෝවා දෙවි සමඟ ඔබට තිබෙන බැඳීම වගේම ඔබ කළ කැප කිරීම් දෙවි අමතක නොකරන බවත් සිතේ තබාගන්න. (හෙබ්‍රෙ. 6:10) දෙවි සමඟ ඔබට තිබෙන මිත්‍රත්වය හා අනාගතයේදී ලැබෙන ආශීර්වාද සමඟ වෙන කිසිම දෙයක් සමාන කරන්න බැරි බවත් මතක තබාගන්න.—මාක් 10:28-30 කියවන්න.

14 පාවුල් තමා ගැන තවදුරටත් මෙවැනි දෙයක් පැවසුවා. “මා අත්හැර දැමූ දේවල් අමතක කර ඉදිරියේ තිබෙන දේවල් අත් කරගැනීමට මහත් වෑයමක් දරමින් සිටිමි.” (ෆිලි. 3:13) කළ යුතු අත්‍යවශ්‍ය දේවල් දෙකක් ගැන ඔහු කාවැද්දුවා. පළමුවැන්න නම් අත්හැරිය දේවල් අමතක කිරීමයි. එනම් ඒ දේවල් ගැන ළත වෙවී සිටීමට කාලය හා ශ්‍රමය නාස්ති නොකිරීමයි. දෙවැන්න නම් ඉදිරියේ තිබෙන දේවල් ගැන සිතීමයි. එනම් අනාගතයේදී අත් කරගැනීමට යන දේවල් වෙනුවෙන් කාලය හා ශ්‍රමය යෙදවීමයි.

15. බයිබලයේ ඇති ආදර්ශ ගැන කල්පනා කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

15 ආපසු හැරී නොබැලූ බොහෝදෙනෙකුගේ ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා. ආබ්‍රහම් සහ සාරා එවැනි යුවළක්. “ඔවුන් පිටත්ව ආ දේශය ගැන සිතමින් ළත වූවා නම්” දෙවි දීමට පොරොන්දු වූ දේශයට යන්නේ නැතුව ඔවුන් පැමිණි ඌර් දේශයට ආපසු යෑමට ඉඩ තිබුණා. (හෙබ්‍රෙ. 11:13-15) නමුත් ඔවුන් එසේ කළේ නැහැ. මෝසෙස් තවත් කෙනෙක්. ඊජිප්තුවෙන් පිට වෙද්දී මෝසෙස් තරම් දේවල් අත්හැරිය වෙන කිසිම ඊශ්‍රායෙල්වරයෙක් සිටියේ නැහැ. ඒ වුණත් තමන් අත්හැරිය දේවල් ගැන මෝසෙස් දුක් වුණේ නැහැ. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “ඔහු එසේ කළේ ඊජිප්තුවේ වස්තුවලට වඩා අභිෂේක ලැබූ කෙනෙකු ලෙස නින්දා අපහාස විඳීම උතුම් දෙයක් ලෙස සැලකූ නිසාය. මන්ද තමාට ලැබෙන ත්‍යාගය දෙස ඔහු ඕනෑකමින් බලා සිටියේය.”—හෙබ්‍රෙ. 11:26.

මුහුණ දුන් කටුක අද්දැකීම්

16. කලින් මුහුණ දුන් කටුක අද්දැකීමක් අපට බලපාන්න පුළුවන් කොහොමද?

16 සමහරවිට ඔබ අතීතයේදී කටුක අද්දැකීම්වලට මුහුණ දී ඇති. උදාහරණයකට කලින් කළ වරදක් නිසා ඔබේ සිත තවමත් වද දෙනවා ඇති. (ගීතා. 51:3) නැත්නම් ටිකක් තදින් ලැබුණු අවවාදයක් නිසා ඔබ තවම අමනාපයෙන් සිටිනවා විය හැකියි. (හෙබ්‍රෙ. 12:11) එසේත් නැත්නම් සිදු වූ අසාධාරණයක් නිසා වේදනාවෙන් සිටිනවා විය හැකියි. (ගීතා. 55:2) එවැනි දේවල් හේතුවක් කරගෙන ආපසු හැරී නොබැලීමට නම් ඔබ කුමක් කළ යුතුද?

17. (අ) ‘ශුද්ධ අයගෙන් සුළුම කෙනාටත් වඩා සුළු කෙනෙකු ලෙස’ පාවුල් තමන්ව විස්තර කළේ ඇයි? (ආ) කලින් කළ වැරදි ගැන සිත සිතා දුක් වීමෙන් වැළකීම සඳහා පාවුල්ට උපකාර වුණේ මොකක්ද?

17 අතීතයේදී කළ වරදක්. පාවුල් තමන්ව සැලකුවේ ‘ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු කෙනෙකු ලෙසයි.’ ඊට හේතුව ඔහු කලින් ‘දෙවිගේ සභාවට පීඩා කළ නිසයි.’ (එෆී. 3:8; 1 කොරි. 15:9) ඔහු පීඩා කළ සමහරුන්ව පසුව ඔහුට විටින් විට මුණගැහෙන්න ඇති. ඒ අවස්ථාවලදී ඔහුට මොනවා හිතෙන්න ඇද්ද! ඒත් කළ වැරදි ගැන දිගටම සිතමින් දුක් වෙවී ඉන්නවා වෙනුවට ඔහු දෙවිගේ මහත් කරුණාව ගැන දිගටම සිතුවා. (1 තිමෝ. 1:12-16) දෙවි පෙන්වූ දයාව ගැන වැඩි වැඩියෙන් සිතන විට සේවය කිරීමට ඔහු තුළ තිබූ පෙලඹීම තව තවත් වැඩි වුණා. ඊට අමතරව ඔහු කලින් කළ වැරදි අමතක කර දැමීමටත් අදිටන් කරගත්තා. අතීතයේදී කළ වැරදි ගැන ඕනෑවට වඩා සිතමින් දුක් වෙනවා නම් අපි දුර්වල වෙනවා. ඒ වෙනුවට පාවුල් මෙන් දෙවිගේ මහත් කරුණාව ගැන සිතනවා නම් ඉදිරියේදී කිරීමට තිබෙන දේවල් හොඳින් කිරීමට ශක්තිය ලැබෙනවා.

18. (අ) කාලයකට පෙර දුන් අවවාදයක් නිසා ඒ ගැන තවමත් අමනාපයෙන් සිටිනවා නම් කුමක් විය හැකිද? (ආ) උපදෙස් පිළිගැනීම ගැන සලමොන් පැවසුවේ මොකක්ද?

18 තදින් ලැබුණු අවවාදයක්. අපිට තදින් අවවාද කර තිබෙනවා නම් දිගටම ඒ ගැන සිතමින් අමනාපයෙන් සිටින්න ඉඩ තිබෙනවා. ‘කලකිරෙන්නත්’ ඉඩ තිබෙනවා. (හෙබ්‍රෙ. 12:5) හික්මවීමක් ලැබුණු විට එය ප්‍රතික්ෂේප කිරීමයි එය පිළිගත්තත් ඒ ගැන අමනාපයක් ඇති කරගැනීමයි අතර වෙනසක් නැහැ. එසේ කරනවා නම් එම හික්මවීමෙන් කිසි ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ. ඒ නිසා සලමොන් කී දේ සිතට ගැනීම වටිනවා. ඔහු කිව්වේ මෙසේයි. “ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන කිසිදා ඒවා අත් නොහරින්න. ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි.” (හිතෝ. 4:13) රියදුරෙක් මාර්ග සංඥාවලට කීකරු වන විට අනතුරකින් තොරව ගමන නිම කළ හැකියි. ඒ හා සමානව හික්මවීම් හිතට ගෙන ක්‍රියා කරනවා නම් ජීවිතය සාර්ථක කරගන්න අපට පුළුවන්.—හිතෝ. 4:26, 27; හෙබ්‍රෙව් 12:12, 13 කියවන්න.

19. හබක්කුක්ව හා යෙරෙමියාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

19 සිදු වූ අසාධාරණයක්. සමහරවිට අපි ඇත්තටම අසාධාරණයකට මුහුණ දී ඇති. තවත් සමහර අවස්ථාවලදී අසාධාරණයක් සිදු වී නැතත් එසේ වුණා කියා සිතිලා ඇති. එවැනි අවස්ථාවලදී දෙවි ඒ දේවල් සිදු වීමට ඉඩ දෙන්නේ ඇයි කියා සිතෙන්න ඉඩ තිබෙනවා. හබක්කුක් සිටියේ එවැනි තත්වයකයි. දෙවි යම් දේවලට ඉඩහැරීම අසාධාරණයි කියා ඔහු සිතුවා. (හබ. 1:2, 3) නමුත් ඔහු ඒ ගැන තැවි තැවී සිටියේ නැහැ. ඒ වෙනුවට මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි. මට ගැලවීම ලබා දෙන දෙවි කෙරෙහි ප්‍රීති වන්නෙමි.” (හබ. 3:18) යෙරෙමියාත් ඒ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක්. ඔහු මෙන් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ‘ඉවසිලිවන්තව බලා සිටින්න.’ අසාධාරණයක් සිදු වී තිබෙනවා නම් නියම වෙලාවට දෙවි අවශ්‍ය පියවර ගනියි.—විලා. 3:19-24.

20. ලොත්ගේ බිරිඳට සිදු වූ දෙය අපි අමතක නොකරන බව පෙන්වන්නේ කොහොමද?

20 අපි ජීවත් වෙන්නේ අනාවැකි බොහොමයක් ඉටු වන කාලයකයි. තවත් අනාවැකි රැසක් ඉදිරියේදී ඉටු වීමට නියමිතයි. ඒ වගේම දෙවිගේ සංවිධානයත් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා ආපසු හැරී බලන්නේ නැතුව දෙවි තම සංවිධානය මගින් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් සංවිධානය සමඟම ඉදිරියට යමු. එසේ කිරීමෙන් “ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක කරන්න එපා” කියා යේසුස් දුන් අනතුරු ඇඟවීම පිළිගන්නා බව පෙන්වමු.

[පාදසටහන]

^ 12 ඡේ. මුල් භාෂාවට අනුව “කුණු” යන වචනය අසූචිවලටත් යොදාගත්තා. “කෙනෙක් තමන් පිළිකුල් කරන කිසි වැදගැම්මකට නැති දෙයක් විසි කළ පසු එය නැවත කවදාවත් දකින්න කැමති නැහැ” යන අදහස පාවුල් යොදාගත් වචනයෙන් අදහස් වන බව එක් බයිබල් විශාරදයෙක් පැවසුවා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]