Skip to content

පටුනට යන්න

ඉතිරි වී තිබෙන්නේ තව කෙටි කාලයයි!

ඉතිරි වී තිබෙන්නේ තව කෙටි කාලයයි!

ඉතිරි වී තිබෙන්නේ තව කෙටි කාලයයි!

‘දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න. එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න.’—2 තිමෝ. 4:2.

ඔබට පැහැදිලි කළ හැකිද?

මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් දේශනා කිරීම හදිසි කාර්යයක් ලෙස සැලකුවේ ඇයි?

උදාසීන නොවී දේවසේවයේ යෙදීමට අපට උපකාර වෙන්නේ මොනවාද?

වෙන කවරදාකටත් වඩා දේශනා සේවය හදිස්සියෙන් කළ යුතු කාර්යයක් වෙන්නේ ඇයි?

1, 2. අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

හදිසි ගින්නකදී මිනිසුන්ගේ ජීවිත තිබෙන්නේ අනතුරේ! ගිනි නිවන හමුදාව වහාම එතනට පැමිණ මොහොතක්වත් නාස්ති නොකර ඒ මිනිසුන්ගේ ජීවිත බේරාගන්න උත්සාහ කරයි.

2 ඒ හා සමානව දෙවි අපට පවරා තිබෙන සේවය මගිනුත් ජීවිත ගලවාගැනීමට අප අන් අයට උපකාර කරනවා. කල් නොදමා එම කාර්යය ඉටු කිරීම අත්‍යවශ්‍යයි. පාවුල් පැවසුවේ “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න. හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න” කියායි. (2 තිමෝ. 4:2) ඔහු ඉන් අදහස් කළේ මොකක්ද? අපේ සේවය එතරම් වැදගත් ඇයි? එය කල් නොදමා කරන්නේ කොහොමද?

සේවය කල් නොදැමිය යුත්තේ ඇයි?

3. දේවසේවයෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

3 දේවසේවයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ටිකක් සිතන්න. දෙවි මෙසේ පවසනවා. “මා දුෂ්ටයෙකුට, ‘ඔබ සැබවින්ම මිය යන්නෙහිය’ කියා පැවසූ පසු ඔහු තමාගේ පව්කාර ක්‍රියා අත්හැර යුක්තිගරුක, ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න පටන්ගන්නවා නම් ඔහු මිය යන්නේ නැත. . . . ඔහු විනාශ නොවී දිගටම ජීවත් වනු ඇත. මම අතීතයේ ඔහු අතින් සිදු වූ වැරදි දේවල් නැවත මතක් කර ඔහුට විරුද්ධව පියවර ගන්නේ නැත. ඔහු දැන් යුක්තිගරුක, ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන නිසා ඔහු සැබවින්ම ජීවත් වනු ඇත.’” (එස. 33:14-16) දේවසේවයේ යෙදෙන අය ගැන බයිබලයේ මෙසේද පැවසුවා. “ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.” (1 තිමෝ. 4:16; එස. 3:17-21) නොපමාව මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරන්න එම හේතු ඔබව පොලඹවන්නේ නැද්ද?—රෝම 10:13, 14.

4. මුල් සියවසේදී දේශනා කිරීම එතරම් හදිසි කාර්යයක් වුණේ ඇයි?

4 තේමා බයිබල් පදයේ සඳහන් දේ තේරුම්ගැනීමට එහි අවට පද අපි දැන් සලකා බලමු. පාවුල් තිමෝතිට මෙසේ පැවසුවා. “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න. හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න. බොහෝ ඉවසිලිවන්තකමින් හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද, ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න. මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි. ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය. ඔවුහු සත්‍ය ඉගැන්වීම්වලට කන් [නොදෙනු] ඇත.” (2 තිමෝ. 4:2-4) සමහරු සත්‍යය ඉගැන්වීම් අත්හැර බොරු දේවල් උගන්වන්න පටන්ගන්නවා කියා යේසුස්ද කලින්ම පවසා තිබුණා. (මතෙ. 13:24, 25, 38) පාවුල්ගේ කාලයේ ක්‍රිස්තියානීන් සිටියේ අනතුරේ! බොරු ඉගැන්වීම්වලින් මුළා වෙන්න නොදී ඔවුන්ව බේරාගැනීම සඳහා අප්‍රමාදව ඒ අයට සත්‍යය පහදා දීම තිමෝතිගේ වගකීම බව පාවුල් තිමෝතිට පැවසුවා.

5, 6. සමහර ජනප්‍රිය ඉගැන්වීම් මොනවාද?

5 අද තත්වය මොකක්ද? බොරු ඉගැන්වීම් ලොව පුරා දසත පැතිර තිබෙනවා. (2 තෙස. 2:3, 8) ඉන් එක් ඉගැන්වීමක් වන්නේ පරිණාමවාදයයි. තවත් එකක් වන්නේ දෙවියන් අපි ගැන සැලකිලිමත් නැති නිසා අපිත් දෙවියන් ගැන සොයා බැලිය යුතු නැහැ යන්නයි. මේ ඉගැන්වීම් බොහෝ අයගේ කන්වලට මිහිරි වුණත් එහි ඇති භයානකකම මොකක්ද? මෙවැනි ඉගැන්වීම්වලින් ‘මං කැමති දේ කරන්න මට අයිතියක් තියෙනවා. මං කාටවත් වග කියන්න ඕන්නෑ’ යන ස්වාධීන ආකල්පය ඇති වෙයි.—ගීතාවලිය 10:4 කියවන්න.

6 තවත් බොරු ඉගැන්වීමක් වන්නේ ‘ඔයා මොනවා කළත් දෙවියන් ඔයාට ආදරෙයි’ කියන ඉගැන්වීමයි. සමහර පල්ලිවල උගන්වන්නේ පල්ලියේ මංගල්‍යවලින් හා එහි ඇති රූපවලින් දේවාසිරි ලබාගත හැකි බවයි. මෙම ඉගැන්වීම් වැරදි බවත් තමන් සිටින්නේ අනතුරේ බවත් මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. (ගීතා. 115:4-8) එම හානිකර ඉගැන්වීම්වලින් මිදෙන්න ඔවුන්ට උපකාර කළ යුතුයි.

ඉතා හදිසි කාර්යයක්

7. අපේ සේවය හදිස්සියෙන් කළ යුතු කාර්යයක් කියා වටහාගෙන සිටිනවා නම් අපි කරන්නේ මොකක්ද?

7 ඔබ ශල්‍ය වෛද්‍යවරයෙක් කියා සිතන්න. හදිසි ශල්‍ය කර්මයක් කරන්න සිදු වුණොත් ලෙඩාගේ ජීවිතය අනතුරේ නිසා ඔබ මොහොතකටවත් මනස වෙනතකට යොමු නොකර ලෙඩා ගැනම සැලකිලිමත් වෙනවා. එලෙසම දේවසේවයත් හදිසි කාර්යයක් කියා අපි වටහාගෙන තිබෙනවා නම් අපි ඊට පූර්ණ අවධානය දෙනවා. එසේ කරන්නේ මිනිසුන් සිතන දේවල් ගැන හා ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන සැලකිලිමත් වීමටත් ඔවුන්ට පහසු වෙලාවක ඔවුන්ව මුණගැසීමටත් නිතරම උත්සාහ කිරීමෙනුයි.—රෝම 1:15, 16; 1 තිමෝ. 4:16.

8. අප මතක තබාගත යුතු වැදගත් දෙය මොකක්ද?

8 දැන් ඔබ ලෙඩෙක් කියා සිතන්න. ‘තත්වෙ නම් එච්චර හොඳ නෑ. කල් දාන්න බෑ. කොහොමහරි මාසයක් ඇතුළත මොනවහරි කරන්න වෙයි’ කියා ඔබේ වෛද්‍යවරයා ඔබට පැවසුවොත් ඔබ මොකද කරන්නේ? වෛද්‍යවරයාගෙන් තවදුරටත් ඒ ගැන විස්තර අහයි. ගෙදර ගොස් ඒ ගැන හොඳින් කල්පනා කර බලයි. වඩා වැදගත් දේවල් මොනවාද කියා තීරණය කර මුල් තැන දිය යුතු දේවලට මුල් තැන දෙයි. ඒ හා සමානව දේවසේවය හදිසි කාරණයක් කියා අප තේරුම්ගෙන තිබෙනවා නම් වඩා වැදගත් දේවලට අප මුල් තැන දෙනවා.—උත්පත්ති 19:15 කියවන්න.

9. කල් නොදමා දේශනා කිරීම සම්බන්ධයෙන් පාවුල් හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?

9 කල් නොදමා දේශනා කිරීම පාවුල් කොතරම් වැදගත් ලෙස සැලකුවාද කියා ඔහු එෆීසයේ වැඩිමහල්ලන්ට කී දෙයින් පැහැදිලියි. (ක්‍රියා 20:18-21 කියවන්න.) පෙනෙන විදිහට ඔහු ආසියා ප්‍රදේශයට පැමිණි මුල් දවසේ පටන් ගෙයින් ගෙට ගොස් දේශනා කර තිබෙනවා. ඊට අමතරව අවුරුදු දෙකක් පුරා ඔහු ‘තිරනස්ගේ සම්මන්ත්‍රණ ශාලාවේ දිනපතා කතා ඉදිරිපත් කළා.’ (ක්‍රියා 19:1, 8-10) පාවුල් එසේ කළේ දේවසේවය හදිසි කාර්යයක් බව වටහාගෙන තිබූ නිසයි. කල් නොදමා දේශනා කරන්න කියා අපට පවසා තිබෙන්නේ අපිව කලබල කරන්න නෙවෙයි. ඒ වෙනුවට එය හදිසි කාර්යයක් බව වටහාගෙන එයට මුල් තැන දිය යුතු බව පෙන්වීමටයි.

10. වර්ෂ 1914ට පෙර සිටි ක්‍රිස්තියානීන් ඉතා උද්‍යෝගයෙන් දේශනා කළ නිසා ඇති වූ ප්‍රතිඵල මොනවාද?

10 දේවසේවය ඉතාම හදිසි කාර්යයක් කියා පිළිගත් බයිබල් ශිෂ්‍යයන් පිරිසක් 1914ට පෙර සිටියා. ඔවුන් සුළු පිරිසක් වුණත් දේශනා කිරීමේ දැවැන්ත කාර්යය කරට ගත්තා. ඒ වගේම බයිබල් දේශන පුවත්පත්වල පළ කළ අතර “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” නමැති චිත්‍රපට දර්ශන හා අචල කාච දර්ශනවලින් සකස් කළ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහනක් ආධාරයෙන් මිලියන ගණනකට පණිවිඩය ප්‍රකාශ කළා. ඒ සහෝදරයන් කල් නොදමා එම කාර්යය නොකළා නම් අප ඇතුළු අද සිටින දසලක්ෂ ගණන්දෙනාට සත්‍යය ලැබෙන්නේ නැහැ.—ගීතාවලිය 119:60 කියවන්න.

උදාසීන නොවන්න

11. සමහරු අවධානය වෙනතකට යොමු කළේ ඇයි?

11 සාතන් උත්සාහ කරන්නේ අපේ අවධානය වෙනතකට යොමු කරවන්නයි. ඔහු මෙම සමාජය නිර්මාණය කර තිබෙන්නේ අපේම ආශාවන් පිනවාගැනීමට අපව පොලඹවන්නයි. දේවසේවය වැදගත් නැහැ කියා අප සිතනවාට ඔහු කැමතියි. (1 පේතෘ. 5:8; 1 යොහ. 2:15-17) සමහර අය කලින් දේවසේවයට මුල් තැන දුන්නත් පසු කාලයකදී එය එතරම් වැදගත් නැහැ කියා සිතුවා. මුල් සියවසේ සිටි දේමස් ඉන් කෙනෙක්. ඔහු කාලයක් පාවුල් සමඟ සේවය කළත් පසු කාලයේදී සාතන්ගේ ලෝකයේ දේවලට ඇලුම් වී ඔහුගේ අවධානය වෙනතකට යොමු කළා. දේවසේවයට මුල් තැන දී අවශ්‍ය වෙලාවේදී පාවුල්ට උපකාර කරනවා වෙනුවට ඔහු පාවුල්ව අත්හැර ගියා.—ෆිලෙ. 23, 24; 2 තිමෝ. 4:10.

12. අනාගතයේදී අප අද්දකින්නේ මොනවාද? දැන් අපට තිබෙන ප්‍රස්තාව මොකක්ද?

12 සාතන්ගේ ලෝකයේ තිබෙන දේවලට රැවටුණොත් අප උදාසීන වෙනවා. ඒ නිසා “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” අප වෙහෙස විය යුතුයි. (1 තිමෝ. 6:18, 19) පාරාදීස පොළොවේදී සැබෑ සතුට අද්දකින්න අපට අවස්ථාව ලැබෙනවා. නමුත් ඊට පෙර දෙවිගේ මහත් දවසෙන් බේරෙන්න ජනයාට උපකාර කළ යුතුයි. එම අවස්ථාව නැවත කිසිදාක අපට ලැබෙන්නේ නැහැ.

13. “නපුරු කාලයක” ජීවත් වන නිසා අපි කළ යුත්තේ මොකක්ද?

13 අපි යෙහෝවා දෙවිව නොදැන සිටි කාලයක් තිබුණා. ඒ කාලයේදී අපි සිටියේ අන්ධකාරයේ නිදා සිටින තත්වයකයි. නමුත් ක්‍රිස්තුස් අපට ආලෝකය ලබා දුන්නා. දැන් අන් අයව පුබුදුවන්න අපට අවස්ථාව ලැබී තිබෙනවා. (එෆීස 5:14 කියවන්න.) පාවුල් මෙසේද පැවසුවා. “ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. අප නපුරු කාලයක ජීවත් වන නිසා ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.” (එෆී. 5:15, 16) අප ජීවත් වන්නේ “නපුරු කාලයක” නිසා උදාසීන නොවී ජනයාට අවදි වීමට උපකාර කරමු.

තීරණාත්මක කාලයක්!

14-16. වෙන කවරදාකටත් වඩා දේශනා සේවය හදිස්සියෙන් කළ යුතු කාර්යයක් වන්නේ ඇයි?

14 ඉතිරි වී තිබෙන කාලය ඉතා කෙටියි. ඒ නිසා වෙන කවරදාකටත් වඩා දැන් අපි ඉතා කඩිසරව දේවසේවයේ යෙදීම අවශ්‍යයි. යේසුස් සඳහන් කළ ලකුණේ විවිධ අංග 1914 සිට අපට පැහැදිලිව දැකගත හැකි වී තිබෙනවා. (මතෙ. 24:3-51) වෙන කවරදාකටත් වඩා මිනිසුන්ගේ ජීවිත තිබෙන්නේ අනතුරේ. ලෝකයේ මහා බලවතුන් මෑත කාලයේදී සාමය උදෙසා විවිධ එකඟතාවලට පැමිණියත් ඕනෑම අවස්ථාවකදී භාවිත කළ හැකි න්‍යෂ්ටික බෝම්බ 2,000ක් පමණ ඔවුන් සතුව තිබෙනවා. ඊට අමතරව භයානක න්‍යෂ්ටික අවි සෑහෙන ප්‍රමාණයක් “අතුරුදහන් වී” තිබෙන බව බලධාරීන් වාර්තා කරනවා. ඒවා සොරකම් කර තිබෙන්නේ ත්‍රස්තවාදීන් නම් මුළු මිනිස් සංහතියම විනාශ කිරීමට තරම් හැකියාවක් ඔවුන් සතුයි කියා සමහරුන් පවසනවා.

15 මිනිසාගේ ජීවිතය අනතුරේ හෙළා තිබෙන්නේ යුද්ධය පමණක්ම නෙවෙයි. “දේශගුණික වෙනස්කම් ඊළඟ දශක කිහිපයේදී සෑම මිනිසෙකුටම බලපායි. විසිඑක්වන සියවසේදී මිනිසාගේ සෞඛ්‍යයට හානි කරන විශාලම තර්ජනය වන්නේ දේශගුණික වෙනස් වීම්” කියා 2009දී පළ වූ බ්‍රිතාන්‍ය වාර්තාවක සඳහන් වුණා. (The Lancet and University College London) මුහුදු මට්ටම ඉහළ යෑම, නියඟ, ජලගැලීම්, වසංගත, සුළි කුණාටු වැඩි වීම හා ස්වාභාවික සම්පත් අඩු වීම වැනි සියල්ල මිනිසාට තර්ජනයක් වී තිබෙනවා. ඇත්තෙන්ම යුද්ධ හා ස්වාභාවික විපත් මිනිසාගේ පැවැත්මට විශාල තර්ජනයක්.

16 යේසුස් සඳහන් කළ “ලකුණ” ඉටු වීමට පටන්ගන්නේ න්‍යෂ්ටික යුද්ධයක් හටගත්තොත් කියා සමහරු සිතනවා. නමුත් එසේ සිතීම වැරදියි. ඊට හේතුව යේසුස් දුන් ලකුණේ විවිධ අංග දශක කිහිපයකට කලින් සිටම පැහැදිලිව දකින්න තිබීමයි. යේසුස් ස්වර්ගයේ රජ බවත් මේ සමාජයේ අවසානය අත ළඟ බවත් එමගින් ඔප්පු වෙනවා. (මතෙ. 24:3) එම අංග මිනිසුන් අද්දැක්කත් එහි වැදගත්කම ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන්ට ඒ බව අවබෝධ කර දිය හැකි එකම ක්‍රමය ශුභාරංචිය දේශනා කිරීමයි. දේශනා සේවය එතරම් හදිස්සියෙන් කළ යුතු කාර්යයක් වන්නේ ඒ නිසයි.

17, 18. (අ) අප සිටින්නේ කවර අන්දමේ කාලයකද? ඊට හේතුව මොකක්ද? (ආ) ශුභාරංචිය පිළිගැනීමට සමහරු පෙලඹෙන්නේ මොන හේතු නිසාද?

17 දෙවිට ප්‍රේමය පෙන්වමින් අපට පවරා තිබෙන දේශනා සේවය නිම කිරීමට ඉතිරි වී තිබෙන්නේ තව කෙටි කාලයයි. පාවුල් එදා සිටි ක්‍රිස්තියානීන්ට පැවසූ දෙය විශේෂයෙන්ම අදාළ වෙන්නේ අපේ කාලයටයි. ඔහු පැවසුවේ මෙසේයි. “අප සිටින්නේ කවර අන්දමේ කාලයකද කියා ඔබ සියලුදෙනාම දන්නවාට සැකයක් නැත. දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි. මන්ද අප යේසුස්ව විශ්වාස කිරීමට පටන්ගත් කාලයට වඩා දැන් අපි අපගේ ගැලවීමට වඩාත් ළඟා වී සිටිමු.”—රෝම 13:11.

18 ලකුණේ අංග ලක්ෂණ ඉටු වෙනවා දකිද්දී තමන්ට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍ය බව සමහරු තේරුම්ගන්නවා. ආර්ථික හා දේශපාලන අර්බුද, ප්‍රචණ්ඩ ක්‍රියා, යුද්ධ හා පරිසර විනාශය වැනි දේවල් දකින විට මිනිස් වර්ගයාට කාගේ හෝ පිහිටක් අවශ්‍ය බව තවත් සමහරු වටහාගන්නවා. වෙනත් අය සෞඛ්‍ය ගැටලු, දික්කසාදය හෝ පවුලේ කෙනෙකුගේ මරණය වැනි දේවලට මුහුණ දෙන විට දෙවිගේ මඟ පෙන්වීම් පතනවා. අපේ දේවසේවය මගින් එවැනි අයට උපකාර කරන්න පුළුවන්.

කල් දමන්න කාලයක් නැහැ

19, 20. කල් නොදමා දේවසේවය කළ යුතු බව තේරුම්ගත් බොහෝ අය ගත් පියවර මොනවාද?

19 ඉතිරි වී තිබෙන්නේ කෙටි කාලයක් නිසා බොහෝ සාක්ෂිකරුවන් ඔවුන්ගේ සේවය තවත් වැඩි කරගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට ඉක්වදෝරයේ සිටින යුවළක් 2006දී පැවැත්වූ “ඔබේ ඇස සරලව තබාගන්න” යන විශේෂ එක්දින එක්රැස්වීමෙන් පසු තම ජීවිතය සරල කරගැනීමට උත්සාහ කළා. ඔවුන් මාස තුනක් ඇතුළත තමන් සතු වැඩිපුර බඩු මුට්ටු විකුණා ණය සියල්ලම පියවා දැමුවා. ඉන්පසු නිදන කාමර තුනක් සහිත විශාල නිවසේ සිටිනවා වෙනුවට තනි නිදන කාමරයක් සහිත කුඩා නිවසක පදිංචියට ගියා. උපකාරික පුරෝගාමී සේවය කරන්න පටන්ගත් ඔවුන් චාරිකා සේවකගේ යෝජනාවකට අනුව සාක්ෂිකරුවන්ගේ අවශ්‍යතාව වැඩි සභාවකට ගොස් දැන් සේවය කරනවා.

20 උතුරු ඇමරිකාවේ ජීවත් වන සහෝදරයෙක් මෙසේ ලිව්වා. “වර්ෂ 2006දී පැවැත්වූ එක්රැස්වීමකට සහභාගි වෙලා ගෙදර යද්දී ජීවිතය සරල කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා මමයි බිරිඳයි කතා වුණා. (මතෙ. 6:19-22) ඒ වෙද්දී අපි බව්තීස්ම වෙලා අවුරුදු 30ක් ගත වෙලයි තිබුණේ. අපිට ගෙවල් තුනක් තිබුණා. ඉඩකඩම්, සුඛෝපභෝගී කාර් කීපයක්, බෝට්ටුවක් සහ නිවසකට අවශ්‍ය සියලුම උපාංග සවි කරපු නවීන පන්නයේ රථයක් අපිට තිබුණා. අපි කරමින් සිටිය යුතු දේවල් ගැන එක්රැස්වීමෙන් පහදලා දුන්නාම පුරෝගාමී සේවය කරන්න අපි තීරණය කළා. අපේ දුව වගේම අපිත් 2008දී ස්ථාවර පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා ඉස්සරට වඩා වැඩියෙන් සේවයේ යන එක අපිට ලොකු සතුටක්. සාක්ෂිකරුවන්ගේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලට ගිහින් සේවය කරන්නත් අපිට පුළුවන් වුණා. අපි යෙහෝවා දෙවිටත් ගොඩාක් ළං වුණා. ඒ වගේම ශුභාරංචිය පිළිගන්න අයගේ සතුට දකිද්දී අපිට දැනෙන සතුටත් වචනවලින් කියලා නිම කරන්න බැහැ.”

21. උදාසීන නොවී උද්‍යෝගයෙන් සේවය කරන්න අපව පොලඹවන්නේ මොකක්ද?

21 ඉතාම ළඟදී ‘දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්වත්’ මේ දුෂ්ට සමාජයත් දෙවි විනාශ කරන බව අපි දන්නවා. (2 පේතෘ. 3:7) විනාශය පැමිණීමට කලින් මහත් පීඩාව ගැනත් ඉන්පසු දෙවි ලබා දෙන පාරාදීස පොළොව ගැනත් ජනයාට ඉක්මනින්ම දැනුම් දිය යුතුයි. අපේ පණිවිඩය නිසා බලාපොරොත්තුවක් ඇතුව සිටින්න ජනයාට හැකි වෙනවා. අපි උදාසීන නොවී උද්‍යෝගයෙන් සේවය කරනවා නම් ජනයාට වගේම යෙහෝවා දෙවිටත් ඇත්තටම ප්‍රේම කරන බව අපිට පෙන්වන්න පුළුවන්.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]