Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

‘ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙනවා’

‘ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙනවා’

ලොයිස් ඩීඩ

‘අපරාදේ මං ඒ වගේ තීරණයක් ගත්තේ.’ අපි කොයි තරම් එහෙම හිතලා ඇද්ද! ඒත් අවුරුදු 50කට වැඩි කාලයක් පුරා කරන පූර්ණකාලීන සේවය ගැන මට කවදාවත් එහෙම හිතිලා නෑ. මං දැන් ඒකට හේතුව කියන්නම්.

මම ඉපදුණේ 1939දියි. කැනඩාවේ සස්කැචුවාන් ප්‍රදේශයේ. මගේ සහෝදරියන් හතරදෙනයි සහෝදරයයි මායි හැදුණේ වැඩුණේ තැනිතලා ප්‍රදේශයක පිහිටි ගොවිපොළකයි. දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආවා අපේ තාත්තව හම්බ වෙන්න. මම ඒ අයගෙන් ඇහුවා දෙවිට නමක් තියෙනවද කියලා. ගීතාවලිය 83:18 තියෙන යෙහෝවා කියන නම එයාලා මට පෙන්නුවා. එතකොට මට හිතුණා දෙවි ගැනත් බයිබලය ගැනත් තව දැනගන්න ඕන කියලා.

අපේ ගමේ ඉස්කෝලෙට තිබුණේ එක පන්ති කාමරයක් විතරයි. ඉගැන්නුවෙත් අටේ පන්තියට විතරයි. එතන්ට හැතැප්ම ගානක් පයින් හරි අශ්වයන් පිටේ හරි යන්න සිද්ධ වුණා. ගුරුවරයාට මාරුවෙන් මාරුවට නවාතැන් දුන්නේ ගමේම අයයි. එක අවුරුද්දක අලුතෙන් ආව තරුණ ගුරුවරයාව නවත්තගන්න සිද්ධ වුණේ අපේ ගෙදර. එයාගේ නම ජෝන් ඩීඩ.

තාත්තා වගේම මාත් කොමියුනිස්ට්වාදයයි සමාජවාදයයි වර්ණනා කරද්දී ඒ තරුණ ගුරුවරයා සන්සුන්ව කිව්වා “මිනිස්සුන්ව පාලනය කරන්න මිනිස්සුන්ට අයිතියක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයි” කියලා. එතකොටයි මං දැනගත්තේ එයත් බයිබලය ගැන උනන්දු කෙනෙක් බව. එදා ඉඳලා අපි ඒ ගැන නිතරම කතාබහ කළා.

ජෝන් ඉපදුණේ 1931දියි. ඒ නිසා ලෝක යුද්දෙන් ඇති වුණ දරුණු තත්වය ගැන එයා අහලා තිබුණා. වර්ෂ 1950දී කොරියානු යුද්දේ ඇති වුණා. එතකොට එයා පල්ලි යන අයගෙන් ඇහුවා ක්‍රිස්තියානීන් වෙලත් ඇයි යුද්දෙට බැඳුණේ කියලා. ඒකෙ ඇති වරදක් නෑ කියලා එයාලා කිව්වා. ජෝන් ඒ ප්‍රශ්නෙම සාක්ෂිකරුවන්ගෙනුත් ඇහුවා. එතකොට ඒ අය මුල් ක්‍රිස්තියානීන් යුද්දේ ගැන දැරුව අදහස බයිබලෙන් පෙන්නුවා. ජෝන් 1955දී බව්තීස්ම වුණා. ඊළඟ අවුරුද්දේ මාත් බව්තීස්ම වුණා. අපේ මුළු ශක්තියෙන් දෙවිට සේවය කරන්න ඕන බව අපි දෙන්නම දැනගෙන හිටියා. (ගීතා. 37:3, 4) අපි 1957 ජූලි මාසයේදී විවාහ වුණා.

අපේ විවාහ සංවත්සරය හුඟක් වෙලාවට වැටුණේ සමුළු දවසකයි. ඒ වුණත් විවාහය ගෞරවයෙන් සලකන දහස් ගණනක් මැද ඒ දවස ගත කරන්න ලැබීම ගැන අපි සතුටු වුණා. අපි මුලින්ම ජාත්‍යන්තර සමුළුවකට ගියේ 1958දියි. අපි පස්දෙනෙක් සස්කැචුවාන්වල ඉඳලා නිව් යෝර්ක් නගරයට වාහනයකින් ගිය ඒ ගමනට සතියක් ගත වුණා. දවල් කාලෙදී ගමන් කරලා රාත්‍රියේදී කූඩාරමක් ගහගෙන නිදාගත්තා. අන්තිමට පෙන්සිල්වේනියාවේ බෙත්ලෙහෙම්වලදී අහම්බෙන් වගේ සහෝදරයෙක්ව මුණගැහුණා. අපිට ඔහුගේ නිවසේ නවාතැන් දුන්න නිසා පිළිවෙළකට ඇඳ පැළඳගෙන නිව් යෝර්ක්වලට යන්න පුළුවන් වුණා. ඒ විශාල සමුළුවේදී ගීතිකාකරු කිව්ව විදිහට ‘ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙනවා’ කියන එක අපි අද්දැක්කා.—ගීතා. 16:11.

පුරෝගාමි සේවය

ඊළඟ අවුරුද්දේ අපි පුරෝගාමි සේවය කළේ සස්කැචුවාන්වල කඳුකර ප්‍රදේශයකයි. අපි හිටියේ නිවසකට අවශ්‍ය සියලුම උපාංග සවි කළ රථයකයි. ඒක නතර කරලා තිබුණේ උස් බිමකයි. එතන ඉඳලා ගව් ගානක් ඈත පෙනුණා.

දවසක් අපිට සතුටුදායක ආරංචියක් තියෙන ලියුමක් ශාඛා කාර්යාලයෙන් ලැබුණා. ඒකෙ අහලා තිබුණේ ඔන්ටාරියෝ රෙඩ් විල ප්‍රදේශයේ විශේෂ පුරෝගාමීන් හැටියට යන්න කැමතිද කියලයි. කැනඩාවෙම නගරයක් වුණත් ඒක තියෙන්නේ කොහෙද කියලා දැනගෙන හිටියේ නැති නිසා අපි ඉක්මනටම සිතියම බැලුවා.

අපි හිටිය පළාතට වඩා එහෙ හුඟක් වෙනස්. එහෙ වැඩිපුර තිබුණේ විශාල වනාන්තර. ළඟින් ළඟ පිහිටි රන් ආකරත් ඒ අවට පුංචි නගරත් එහෙ තිබුණා. එහෙ ගිය මුල් දවසේ කෙනෙකුගෙන් නවාතැන් ගැන අහනකොට පුංචි දැරියක් ඒක අහං ඉඳලා ඉක්මනින් දුවලා ගිහින් අම්මට ඒ ගැන කිව්වා. එදා රෑ එයාලට පුළුවන් විදිහට අපිට නවාතැන් දුන්නා. ඒක පොළොව යට හාරපු කාමරයක්. බිමත් වටේටත් තිබුණේ පස් විතරයි. ඊළඟ දවසේ කාමර දෙකේ ගෙයක් හොයාගන්න අපිට පුළුවන් වුණා. කොටවලින් හදලා තිබුණ ඒකෙ වතුර තිබුණෙ නෑ. දරාගන්න බැරි සීතල ප්‍රදේශයක් වුණත් හරි හමං උදුනක්වත් තිබුණෙ නෑ. අපි ළඟ බඩු මුට්ටු මුකුත් නැති හින්දා පාවිච්චි කරපු බඩු විකුණන තැනකින් අපි අවශ්‍ය බඩු ටිකක් ගත්තා. ඒ ටික අපිට හොඳටම ඇති වුණා.

ළඟම සභාව තිබුණේ කිලෝමීටර් 200කටත් එහායින්. යුරෝපයෙන් ඇවිත් රන් ආකරවල වැඩ කරපු හුඟදෙනෙක් එයාලගේ භාෂාවෙන් තියෙන බයිබල් අපෙන් ඉල්ලුවා. වැඩි කල් යන්න කලින් අපි බයිබල් පාඩම් 30ක් පැවැත්තුවා. පුංචි සභාවක් හැදෙන්න මාස හයක්වත් ගියේ නෑ.

දවසක් අපිත් එක්ක පාඩම් කරපු කාන්තාවකගේ මහත්තයා පූජකයාට කියලා තියෙනවා අපි ඉන්න වෙලාවක එන්න කියලා. පූජකයා ආවා. ඔහු අපිට කිව්වා ත්‍රිත්වය ගැනත් උගන්වන්න කියලා. එතකොට ඒ කාන්තාව එයාගේ කතෝලික බයිබලය පූජකයාගේ අතට දීලා කිව්වා ඔහු කියන දේ බයිබලෙන්ම පෙන්නන්න කියලා. ‘එහෙම අවශ්‍ය නෑ’ කිව්ව පූජකයා බයිබලය මේසේ උඩට විසි කරලා ආයි කවදාවත් මෙයාලව ගෙට වැද්දගන්න එපා කියලා යුක්රේන් භාෂාවෙන් කිව්වා. ජෝන් යුක්රේන් භාෂාව දන්නවා කියලා පූජකයා දැනං හිටියේ නෑ.

ඊට ටික කාලෙකට පස්සේ ජෝන්ට චාරිකා සේවයට පුහුණු වෙන්න තිබුණ නිසා අපි රෙඩ් විල ප්‍රදේශයෙන් ගියා. අවුරුද්දකට විතර පස්සේ දිස්ත්‍රික් සමුළුවක ජෝන් බව්තීස්ම කතාව දෙද්දී අර කාන්තාවගේ මහත්තයත් බව්තීස්ම වෙන අය අතරේ හිටියා. එදා පූජකයා හැසිරුණු විදිහ නිසා එයා බයිබලය පාඩම් කරන්න පටන් අරන් තිබුණා.

සංචාරක සේවයේ ගියා

චාරිකා සේවයේදී අපිට නොයෙක් පවුල් එක්ක නවතින්න අවස්ථාව ලැබුණා. ඒ අය එක්ක අපි ගොඩක් කිට්ටු වුණා. ශීත ඍතුවේ එක දවසක නිවස උණුසුම් කරන උදුනක් නැති උඩුමහල් කාමරයක අපි නැවතිලා ඉන්නකොට ඒ නිවසේ හිටිය වයසක සහෝදරිය උදේ පාන්දරම හෙමින් සීරුවේ ඇවිත් පුංචි උදුනක් තියලා ගියා. ටික වෙලාවකට පස්සේ අපිට මූණ කට සෝදන්න උණු වතුර බේසමකුත් අරං ආවා. අපි වෙනුවෙන් එයා වුණ මහන්සියෙන් එයා පෙන්නපු ආදරෙන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා.

යෙහෝවා දෙවි අපිට කොච්චර ආදරේද කියලා සංචාරක සේවයේදී අපි අද්දැක්කා. උදාහරණෙකට ඇල්බර්ටාවල එක චාරිකාවක් තිබුණේ හුඟක් උතුරට වෙන්නයි. එහෙ හිටියේ එක සහෝදරියක් විතරයි. ඒ වගේ තනි වුණ අය ගැන යෙහෝවා දෙවිගේ සංවිධානය සැලකුවේ කොහොමද? මාස හයකට සැරයක් අපි ගුවන් යානයෙන් එහෙ ගිහින් සතියක් පුරා ඇය එක්ක සේවය කළා. රැස්වීම් පැවැත්තුවා. යෙහෝවා දෙවි ඒ වගේ තනි බැටළුවෙකුව වුණත් බලාගන්න විදිහ මගේ හිතට තදින් කාවැදුණා.

අපිට නවාතැන් දුන්න අයට අපි දිගටම ලියුම් ලිව්වා. ඒ ගැන කියද්දී මට මතක් වෙන්නේ ජෝන් මට මුලින්ම දුන්න තෑගිවලින් එකක්. ඒක ලියුම් ලියන කොළ තිබුණ ලස්සන පෙට්ටියක්. ඒ කොළවල තමයි ලියුම් ලිව්වේ. තාමත් ඒ පෙට්ටිය මා ළඟ තියෙනවා.

දවසක් අපි ටොරොන්ටොවල චාරිකා සේවයේ යද්දී කැනඩාවේ බෙතෙල් එකේ සහෝදරයෙක් දුරකථන ඇමතුමක් දීලා බෙතෙල් සේවයට එන්න කැමතිද කියලා ඇහුවා. කවදද කියන්න ඕන කියලා ඇහුවම හෙටම කියලා ඔහු කිව්වා. පහුවෙනිදා අපි කැමති බව ඔහුට කිව්වා.

බෙතෙල් සේවය

යෙහෝවා දෙවිගේ දකුණු පැත්තේ ඉන්නකොට අපිට සතුට ලැබෙන විදිහ අපේ සෑම පැවරුමකදීම අපි අද්දැක්කා. බෙතෙල් ජීවිතය 1977 ඉඳලා පටන්ගත්තට පස්සෙත් ඒක අද්දැක්කා. අභිෂේක ලත් අය කීපදෙනෙකුව ආශ්‍රය කරන්න ලැබීමෙන් ඔවුන්ගේ ගතිගුණ ගැන විතරක් නෙවෙයි ඔවුන්ට දෙවිගේ වචනය ගැන කොයි තරම් ගැඹුරු ගෞරවයක් තියෙනවාද කියලත් දැකගන්න පුළුවන් වුණා.

බෙතෙල් එකේ අලුත් දිනචර්යාවත් හොඳයි කියලා දැනුණා. එක දෙයක් කියනවා නම් අපේ ඇඳුම් වෙනදා වගේ සූට්කේස් එකේ නෙවෙයි ලාච්චුවලම තියාගන්න පුළුවන් වුණා. ඒ වගේ දේවල් නිසා මට දැනුණෙ මගේම ගෙදර ඉන්නවා වගෙයි. මට පැවරුණු වැඩ කොටසට අමතරව බෙතෙල් බලන්න එන අයව ඒක පෙන්නන්න එක්කගෙන යන එකත් ප්‍රීතියක් වුණා. බෙතෙල් එකේ වැඩකටයුතු ගැන පැහැදිලි කිරීමෙනුත් ඒ අය අහන ප්‍රශ්නවලට පිළිතුරු දීමෙනුත් මං සතුටක් ලැබුවා.

ටික කාලෙකට පස්සේ 1997දී නිව් යෝර්ක්, පැටසන්වල ශාඛා කමිටු සාමාජිකයන් සඳහා පැවැත්තුව පාසැලට සහභාගි වෙන්න කියලා ජෝන්ට ආරාධනාවක් ලැබුණා. ඊටපස්සේ යුක්රේනයට යන්න කැමති නම් යාච්ඤාපූර්වකව හිතලා බලලා කියන්න කියලා අපිට කිව්වා. එදාම හවස අපි කැමතියි කියලා කිව්වා.

යුක්රේනයට ලැබුණු පැවරුම

අපිට 1992දී රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්වල පැවැත්තුව විශාල ජාත්‍යන්තර සමුළුවටත් 1993දී යුක්රේනයේ කීව් නගරයේ පැවැත්තුව සමුළුවටත් යන්න පුළුවන් වුණා. ඒක නැඟෙනහිර යුරෝපයේ ඉන්න සහෝදරයන්ට ප්‍රේමය පෙන්වන්න හොඳ අවස්ථාවක් වුණා. අපේ අලුත් නවාතැන තිබුණේ යුක්රේනයේ ලිවිව්වල පරණ ගෙයක දෙවෙනි තට්ටුවෙයි. ඒ ගෙදර අපි 12දෙනෙක් පදිංචි වෙලා හිටියා. අපි හැම දවසකම පාන්දරින් බෙතෙල් සේවෙට ගියා. අපි හිටිය ගෙයි ජනේලෙන් එළිය බලද්දී පුංචි මිදුලයි ලොකු රතු කුකුළෙක් එක්ක හිටිය කිකිළි රංචුවයි දැක්කාම අපිට මතක් වුණේ අපේ සස්කැචුවාන් ගොවිපොළයි.

යුක්රේනයේ ගත කරපු ජීවිතය ගැන අපේ හැඟීම මොකක්ද? පීඩා, තහංචි හා සිරගත වීම් වින්ද හුඟදෙනෙක් නොසැලෙන විශ්වාසයකින් ඉඳලා තියෙන බව දැනගත්තම අපි මොනවද විඳලා තියෙන්නේ කියලා අපිට හිතුණා. ඒ අයව අගේ කරද්දී ඒ අය අපිට කිව්වේ ‘අපි එහෙම කළේ යෙහෝවා දෙවි වෙනුවෙන්’ කියලයි. තනි වෙලා කියලා ඒ අයට හැඟුණෙ නෑ. දැන් වුණත් අපි ඒ අයට ස්තුති කරනකොට යහපත් දේවල උල්පත වන ‘යෙහෝවා දෙවිට තමයි ස්තුති කරන්න ඕනෙ’ කියලා ඒ අය කියනවා.

යුක්රේනයේ වැඩිදෙනෙක් රැස්වීම් යන්නෙ එන්නෙ පයින්. සමහරවිට පැයක් හරි ඊට වැඩි වෙලාවක් හරි ඇවිදගෙන යන හින්දා එකිනෙකාව දිරිගන්වන්න වෙලාව තියෙනවා. ලිවිව්වල සභා 50කට වඩා තියෙනවා. ඒවායින් 21ක්ම රැස්වීම් පවත්වන්නේ ශාලා කීපයක් තියෙන ගොඩනැඟිලිවලයි. ඉරිදට සහෝදරයන් වැල නොකැඩී රැස්වීම්වලට එනවා දකින්න ලැබීම බලන්න ලස්සනයි.

අනිත් අය ගැන හුඟක් සැලකිලිමත් සහෝදර සහෝදරියන් අතරේ ඉන්නකොට අපිට කිසිම අපහසුවක් දැනුණෙ නෑ. මං යුක්රේන් භාෂාව හරියට කතා නොකළත් ඒ අය ඉවසිලිවන්ත වුණා. ඒ අයගේ මුහුණේ ඉරියව්වලින් එයාලා කියන්න හැදුව දේ තේරුම්ගන්න පුළුවන් වුණා.

අපේ සහෝදරයන් අතරේ දැඩි විශ්වාසයක් තියෙන බව 2003දී කීව්වල පැවැත්තුව ජාත්‍යන්තර සමුළුවේදී දැක්කා. දුම්රියපොළක අපි ඉන්නකොට චූටි ගෑනු ළමයෙක් අපි ළඟට ඇවිත් “මට මගේ ආච්චිඅම්මව හොයලා දෙන්න” කියලා කිව්වා. අපි සාක්ෂිකරුවන් බව එයා දැනගෙන තියෙන්නේ අපේ බැජ් කාඩ්වලින්. අපිට පුදුම හිතුණා එයා අඬන්නැතුව එහෙම කියපු එක ගැන. ඒ වෙලාවේ අපි එක්ක හිටිය චාරිකා සේවකගේ භාර්යාව ඇයව සනසලා සමුළුව පවත්වන ස්ථානයේ බඩු භාර අංශයට ගිහින් ඒ ගැන කිව්වා. වැඩි වෙලාවක් යන්න කලින් ආච්චිඅම්මා එතන්ට ආවා. දහස් ගණනක් අතරේ හිටියත් මේ පුංචි දැරිය තුළ තිබුණු විශ්වාසය ගැන මට පුදුම හිතුණා.

යුක්රේනයේ අලුත් ශාඛා කාර්යාලය කැප කළේ 2001 මැයි මාසෙදියි. හුඟක් රටවල සහෝදර සහෝදරියන් ඒකට සහභාගි වෙන්න ආවා. ඉරිදා උදේ ක්‍රීඩාංගණයේ පැවැත්තුව විශේෂ කතාවෙන් පස්සේ අලුත් බෙතෙල් එක බලන්න සහෝදර සහෝදරියන් වැල නොකැඩී ආවා. ඒ අය කෑකෝ නොගහ පිළිවෙළකට ආව විදිහ මට අද වගේ මතකයි! ඒක මට දෙවිට සේවය කිරීමෙන් ලැබෙන සතුට වැඩි කරගන්න හොඳ අවස්ථාවක් වුණා.

ජීවිතයේ ලොකු වෙනසක්

වර්ෂ 2004දී ජෝන්ට පිළිකාවක් තියෙන බව දැනගත්තාම මට ලොකු දුකක් දැනුණා. ප්‍රතිකාර ගන්න අපි ආපහු කැනඩාවට ගියා. රසායනික චිකිත්සාවේ (කීමතෙරපිවල) සැරට එයාගේ සිහිකල්පනාව නැති වුණ හින්දා සති කීපයක් දැඩි සත්කාර ඒකකයේ හිටියා. ඊටපස්සේ සිහිකල්පනාව ආවත් කතා කරන්න බැරි වුණා. ඒත් එයාව බලන්න ආව අයව එයා අගය කරන බව එයාගේ ඇස් දෙකෙන් පෙනෙන්න තිබුණා.

මාස කීපෙකට පස්සේ එයා මැරුණා. මට දැනුණේ මගේ ඇඟෙන් භාගයක් පණ නැති වුණා වගෙයි. අපි දෙන්නා යෙහෝවා දෙවිට සේවය කළේ හරිම සතුටෙන්. ඒත් තනි වුණාට පස්සේ මං ආපහු යුක්රේනයට ආවා. බෙතෙල් පවුලේ අයත් සභාවේ අයත් මට හුඟක් ආදරෙන් සැලකුවා. ඇත්තෙන්ම මං ඒ අයට ස්තුතිවන්ත වෙනවා.

අපි ගත්ත තීරණ ගැන අපි කවදාවත් පසුතැවුණේ නෑ. හොඳ අයව ආශ්‍රය කරන්න ලැබුණු එක ලොකු සතුටක්. යෙහෝවා දෙවිගේ යහපත්කම ගැන ඉගෙනගන්න තව හුඟක් දේවල් තියෙනවා. මගේ බලාපොරොත්තුව සදහටම දෙවිට සේවය කරන්නයි. ඇත්තටම ‘දෙවිගේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබිලා’ තියෙනවා.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අපි ගත්ත තීරණ ගැන අපි කවදාවත් පසුතැවුණෙ නෑ”

[3වන පිටුවේ පින්තූරය]

ජෝන් එක්ක විවාහ වුණ දවස

[4වන පිටුවේ පින්තූරය]

ඔන්ටාරියෝ රෙඩ් විල ප්‍රදේශයේ විශේෂ පුරෝගාමි සේවය කරද්දී

[5වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2002 ජෝනුයි මමයි යුක්රේනයේදී