Skip to content

පටුනට යන්න

‘නින්දෙන් අවදි වීමට’ ජනයාට උපකාර කරන්න

‘නින්දෙන් අවදි වීමට’ ජනයාට උපකාර කරන්න

‘නින්දෙන් අවදි වීමට’ ජනයාට උපකාර කරන්න

“දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි.”—රෝම 13:11.

ඔබට පැහැදිලි කළ හැකිද?

ක්‍රිස්තියානීන් අවදිව සිටිය යුත්තේ මොකක් ගැනද?

දේවසේවයේදී හොඳ සවන් දෙන්නෙක් හා නිරීක්ෂකයෙක් වීම අවශ්‍ය ඇයි?

සිත නොරිදා කාරුණික වීම සේවයට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

1, 2. ජනයා අවදිව සිටිය යුත්තේ මොකක් ගැනද?

රිය පදවන විට රියදුරන්ට නින්ද යෑම නිසා සෑම වසරකම ජීවිත හානි බොහොමයක් සිදු වෙනවා. තවත් අයට හරි වෙලාවට අවදි වෙන්න බැරි වීම නිසා රැකියා අහිමි වෙනවා. මින් පැහැදිලි වෙන්නේ අවදිව සිටිය යුතු වෙලාවලදී නිදා සිටීම හානිදායක බවයි. නමුත් ඊටත් වඩා හානිදායක නින්දක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එහි ඇති භයානකකම නිසා බයිබලයේ දිරිගන්වන්නේ අවදියෙන් නැතහොත් ‘සෝදිසියෙන් සිටින්න’ කියායි.—එළි. 16:14-16.

2 දෙවිගේ මහත් දවස ළඟ බවට අවබෝධයක් නැති නිසා බොහෝදෙනෙක් සිටින්නේ නිදාගෙනයි කියා පැවසිය හැකියි. සමහර ක්‍රිස්තියානි ආගමික නායකයන් තම සාමාජිකයන්ව හඳුන්වන්නේ ‘නිදා සිටින සෙනඟක්’ හැටියටයි. ජනයා එම නින්දෙන් අවදි විය යුතුයි. එම නින්ද මොකක්ද? අපිත් අවදිව සිටිය යුත්තේ ඇයි? නින්දෙන් අවදි වීමට ජනයාට උපකාර කරන්නේ කොහොමද?

ජනයා අවදි විය යුතු නින්ද මොකක්ද?

3. දෙවිගේ මහත් දවස ගැන අවබෝධයක් නැති අය ක්‍රියා කරන්නේ කොහොමද?

3 අද හුඟදෙනෙක් මුදල් ඉපැයීමට, විනෝද වීමට වගේම ජීවිතයේ විවිධ කරදර විසඳාගැනීමට වෙහෙසෙනවා. ඔවුන් එසේ කාර්යබහුලව සිටියත් බයිබලයේ පවසන ආකාරයට ඔවුන් සිටින්නේ නිදාගෙනයි. ඊට හේතුව ළඟදී පැමිණෙන දෙවිගේ මහත් දවස ගැන ඔවුන්ට අවබෝධයක් නොතිබීමයි. ඒ වගේම ඉන් බේරීමට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍ය බවත් ඔවුන් දන්නේ නැහැ. අනික් අතට අවදිව සිටින අය තමන් ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” බව හොඳින් වටහාගෙන දෙවිගේ කැමැත්ත කිරීම සඳහා උපරිම වෑයමක් දරනවා.—2 පේතෘ. 3:3, 4; ලූක් 21:34-36.

4. සෙසු අය මෙන් නිදා නොගන්න යන උපදෙස බැරෑරුම් ලෙස සැලකිය යුත්තේ ඇයි?

4 පළමුවෙනි තෙසලෝනික 5:4-8 කියවන්න. පාවුල් අපට දිරිගැන්නුවේ සෙසු අය මෙන් නිදා නොගන්න කියායි. ඔහු අදහස් කළේ මොකක්ද? අපි නිදාගැනීමට ඉඩ ඇති එක් ආකාරයක් නම් දෙවිගේ උසස් ප්‍රමිති නොසලකාහැරීමයි. තවත් ආකාරයක් නම් දෙවිගේ විනිශ්චය අත ළඟ බව ගණනකට නොගැනීමයි. මේ ලෝකයේ මිනිසුන්ගේ සිතුවිලිවලට හා ආකල්පවලට හසු නොවී අවදිව සිටීමට අපි වගබලා ගත යුතුයි.

5. අද බොහෝ අය සිතන්නේ කොහොමද?

5 සමහර අය සිතන්නේ දෙවි කෙනෙක් නැති නිසා තමන්ගේ ක්‍රියා ගැන කාටවත් ගණන් දිය යුතු නැහැ කියායි. (ගීතා. 53:1) දෙවියන් මිනිස්සු ගැන බලන්නෙ නැති නිසා අපිත් දෙවියන් ගැන හොයලා වැඩක් නැහැ කියා තවත් අය සිතනවා. ‘මට ආගමක් තිබුණොත් ඇති, ඉන් එහාට මුකුත් කරන්න අවශ්‍ය නෑ’ කියා සිතන අයත් සිටිනවා. එසේ සිතන අය සිටින්නේ නිදාගෙනයි. අපි ඔවුන්ව අවදි කළ යුතුයි. එසේ කිරීමට අපට පුළුවන් කොහොමද?

අපිත් අවදිව සිටිය යුතුයි

6. අපි අවදිව සිටිය යුත්තේ ඇයි?

6 නිදා සිටින අය ‘අන්ධකාරයට සම්බන්ධ ක්‍රියාවල’ යෙදෙන බව බයිබලයේ සඳහන් වෙනවා. එම ක්‍රියාවලට ඝෝෂාකාරී උත්සව, බේබදුකම, අනාචාරය, නින්දිත ක්‍රියා, අඬදබර සහ ඊර්ෂ්‍යාව ඇතුළත්. (රෝම 13:11-14 කියවන්න.) අන්ධකාරයට සම්බන්ධ එවැනි ක්‍රියාවලින් වැළකී සිටීම පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා අප සැමවිටම සෝදිසියෙන් සිටිමු. එසේ නොකළොත් අපිට විශාල හානියක් සිදු විය හැකියි.

7. ජනයා ගැන තිබෙන වැරදි අදහස් අපට කොහොම බලපාන්න පුළුවන්ද?

7 උදාහරණයකට, ‘අපේ පැත්තෙ ඉන්න මිනිස්සු නං ශුභාරංචියට කිසිම උනන්දුවක් නෑ’ කියා කෙනෙකුට සිතෙන්න ඉඩ තිබෙනවා. (හිතෝ. 6:10, 11) ‘කවුරුත් ශුභාරංචිය පිළිගන්නැත්තං මෙච්චර මහන්සි වෙන්නේ මොකටද’ කියාත් ඔහු සිතන්න ඉඩ තිබෙනවා. නමුත් මුලින් ශුභාරංචිය පිළිනොගන්නා කෙනෙක් පසු කාලයකදී තමාගේ තත්වයන් හෝ ආකල්ප වෙනස් වන විට ශුභාරංචිය පිළිගැනීමට ඉඩ තිබෙන බව මතක තබාගන්න. ඒ වගේම උනන්දුව ඇති වන ආකාරයට ශුභාරංචිය ප්‍රකාශ කරනවා නම් අපට අවදිව සිටීමටත් අන් අයව අවදි කරවීමටත් එය උපකාරයක්. දේවසේවය වැදගත් මෙන්ම වටිනා කාර්යයක් බව අපි මතක තබාගත යුතුයි. එය අවදිව සිටීමට උපකාරයක්.

දේවසේවය මෙතරම් වැදගත් ඇයි?

8. දේවසේවය කොතරම් වැදගත්ද?

8 ශුභාරංචියට කෙනෙක් මොන වගේ ප්‍රතිචාරයක් දැක්වුවත් දේවසේවය මගින් අපි දෙවිව ගෞරවයට පත් කරන අතර දෙවිගේ අරමුණ ඉටු කිරීමට යම් ආකාරයකින් දායක වෙනවා. “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින” බව අපි දන්න නිසා වෙහෙස මහන්සි වී සේවය කිරීම අවශ්‍ය නෑ කියා සිතීම සුදුසු නැහැ. (ක්‍රියා 24:15) බයිබලයේ පවසන්නේ “එළුවන්” ලෙස දෙවිගේ විනිශ්චය ලබන අයට “හිමි වන්නේ සදාකාල මරණය” කියායි. නමුත් දෙවි එම විනිශ්චය කරන්නේ කෙනෙක් ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය අනුවයි. දේවසේවය ජනයාට දෙවිගේ දයාව පෙන්වන එක් ආකාරයක්. එමගින් ඔවුන්ට සදාකාල ජීවනය උරුම කරගන්න අවස්ථාව උදා වෙනවා. (2 තෙස. 1:8, 9; මතෙ. 25:32, 41, 46; රෝම 10:13-15) දේශනා සේවය කොතරම් වැදගත්ද කියනවා නම් අපි දේශනා නොකළොත් ජනයාට සදාකාල ජීවනය ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

9. දේවසේවයේ යෙදීම අන් අයටත් අපටත් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

9 ශුභාරංචිය දේශනා කිරීමෙන් අපටත් ප්‍රයෝජන ලැබෙනවා. (1 තිමෝති 4:16 කියවන්න.) යෙහෝවා දෙවි ගැනත් දේවරාජ්‍යය ගැනත් අන් අය සමඟ කතා කිරීමෙන් දෙවි කෙරෙහි ඇති විශ්වාසය හා ප්‍රේමය වැඩි වෙනවා. ඊට අමතරව යහපත් ගතිගුණ ඇති කරගැනීමටත් එය උපකාර වෙනවා. ඒ වගේම දේවසේවයේ යෙදීමෙන් අපේ සන්තෝෂයද වැඩි වෙනවා. කෙනෙකුට දෙවි ගැන උගන්වා එම පුද්ගලයා දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවිතය වෙනස් කරගත් විට ඔහුටත් අපටත් විශාල සතුටක් අද්දකින්න පුළුවන්.

හොඳ නිරීක්ෂකයෙක් වන්න

10, 11. (අ) යේසුස් හා පාවුල් හොඳ නිරීක්ෂකයන් වුණේ කොහොමද? (ආ) දේවසේවයේදී ඔවුන්ව අනුකරණය කළ හැක්කේ කොහොමද? ඉන් ඇති විය හැකි ප්‍රයෝජන මොනවාද?

10 කෙනෙක් තුළ ශුභාරංචිය කෙරෙහි ආශාවක් පුබුදුවන්න නම් අපි විවිධ ක්‍රම භාවිත කරන්න අවශ්‍යයි. ඒ නිසා දේශනා සේවයේ යෙදෙන විට අපි හොඳ නිරීක්ෂකයන් විය යුතුයි. ඒ සඳහා හොඳම ආදර්ශය වන්නේ යේසුස්. එක් අවස්ථාවක යුදෙව් ආගමික නායකයෙකු කතා කළේ නැහැ. නමුත් ඔහුගේ සිතේ තිබූ කෝපය යේසුස් වටහාගත්තා. පව්කාර ස්ත්‍රියක් තුළ තිබූ සැබෑ පසුතැවිල්ලත් යේසුස් තේරුම්ගත්තා. වැන්දඹුවක් තුළ තිබූ ආත්ම පරිත්‍යාගශීලී ආකල්පයත් යේසුස් දැක්කා. (ලූක් 7:37-50; 21:1-4) ඒ නිසා ඒ එක් එක් කෙනාගේ අවශ්‍යතාව අනුව කටයුතු කරන්න යේසුස්ට හැකි වුණා. අපි යේසුස් මෙන් පරිපූර්ණ නැතත් හොඳ නිරීක්ෂකයන් වෙන්න අපිට පුළුවන්. පාවුල් එසේ කළ නිසා විවිධ අවස්ථාවලදී එක් එක් කෙනාට ගැළපෙන විදිහට දේශනා කළා.—ක්‍රියා 17:22, 23, 34; 1 කොරි. 9:19-23.

11 යේසුස්ව හා පාවුල්ව ආදර්ශයට ගත හැක්කේ කොහොමද? උදාහරණයකට සේවයේ යෙදෙන විට නිවැසියාගේ ආගම, සංස්කෘතිය හෝ පසුබිම අඟවන යමක් තිබෙනවාද කියා නිරීක්ෂණය කරන්න. ඒ වගේම ඔහුගේ පවුලේ අය ගැන හෝ ඔහුගේ සිතුවිලි ගැන අඟවන යමක් තිබෙනවාද කියාත් බලන්න. නිවැසියා කරමින් සිටින දෙය නිරීක්ෂණය කර හොඳ සංවාදයක් ආරම්භ කිරීමට එම කරුණ යොදාගන්න පුළුවන්ද කියා සිතා බලන්න. එසේ කළොත් ශුභාරංචියට සවන් දීමට ඔහු තුළ ආශාවක් ඇති විය හැකියි.

12. ගෙයින් ගෙට සේවයේ හවුල් වන විට අපි කුමක් ගැන සැලකිලිමත් විය යුතුද?

12 හොඳ නිරීක්ෂකයෙක් බාධාවට හේතු වන දේවල් මඟහරිනවා. ගෙයින් ගෙට සේවයේ හවුල් වෙද්දී අනික් ප්‍රචාරකයා සමඟ දිරිගැන්වෙන යමක් කතා කිරීම වැරදි නැහැ. නමුත් දේවසේවයේ අරමුණ වන්නේ ජනයාට ශුභාරංචිය ප්‍රකාශ කිරීම බව අමතක කරන්න එපා. (දේශ. 3:1, 7) එවැනි අවස්ථාවලදී නිවැසියන් සමඟ කතා කිරීමට සුදුසු විෂයන් ගැන ප්‍රචාරකයා සමඟ කතා කිරීම වඩාත් ප්‍රයෝජනවත් විය හැකියි. ජංගම දුරකථනය ප්‍රයෝජනවත් වුණත් එමගින් නිවැසියා සමඟ කරන සංවාදයට බාධාවක් ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි.

නිවැසියා ගැන සැලකිලිමත් වන්න

13, 14. (අ) කෙනෙක් උනන්දු වෙන්නේ මොකක් ගැනද කියා අපි දැනගන්නේ කොහොමද? (ආ) දෙවි ගැන සොයා බලන්න උනන්දුවක් ඇති කිරීමට මොන වගේ ප්‍රශ්න අහන්න පුළුවන්ද?

13 අවදියෙන් හා සෝදිසියෙන් සිටින දේවසේවකයෙක් නිවැසියන් පවසන දෙයට හොඳින් සවන් දෙනවා. නිවැසියා සිතන ආකාරය තේරුම්ගැනීමට මොන වගේ ප්‍රශ්න ඇසුවොත් හොඳයිද? අද තිබෙන ආගම් ගැන, ප්‍රදේශයේ සිදු වූ අපරාධයක් ගැන හෝ දේශපාලනයේ තිබෙන දුර්වලකම් ගැන කතා කිරීමට සමහරු කැමතියි. අවට ලෝකයේ ඇති පුදුමාකාර නිර්මාණ හෝ බයිබලයේ ඇති මඟ පෙන්වීම් ජීවිතයට කොතරම් ප්‍රයෝජනවත්ද යන කාරණා සමහරුන්ගේ සිත්ගන්න ඉඩ තිබෙනවා. යාච්ඤාව ගැන කතා කරන්න තවත් සමහරු කැමතියි. ඔවුන් ඒ ගැන මෙවැනි ප්‍රශ්න අසනවා. යාච්ඤා අහන කෙනෙක් ඉන්නවාද? දෙවියන් හැම යාච්ඤාවකටම උත්තර දෙනවාද? එහෙම නැත්නම් දෙවියන් උත්තර දෙන්නේ කොහොම යාච්ඤා කළොත්ද?

14 අද්දැකීම් ලත් ප්‍රචාරකයන්ගෙන් අපිට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. ඔවුන් සාර්ථක ලෙස සංවාදයක් පටන්ගන්නා ආකාරය දෙස බලන්න. නිවැසියන්ගෙන් ප්‍රශ්න කරන්නේ හෝ ඔවුන්ගේ පෞද්ගලික කාරණා හාරවුස්සන්නේ හෝ නැතුව දක්ෂ ලෙස අදහස් විමසන ආකාරයත් නිරීක්ෂණය කරන්න. ඔවුන් නිවැසියන් සමඟ කතා කරන විට ඔවුන්ගේ කට හඬේ ස්වරය හා සවන් දෙන විට ඔවුන්ගේ මුහුණේ ඉරියව් නිරීක්ෂණය කරන්න.—හිතෝ. 15:13.

කරුණාව හා දක්ෂකම

15. දේශනා කරන විට අපි කාරුණික වෙන්න ඕන ඇයි?

15 තද නින්දේ සිටින විට කවුරු හරි ඔබව කීද්දුවොත් ඔබට දැනෙන්නේ කොහොමද? කලබල කර කූද්දනවාට කිසිම කෙනෙක් කැමති නැහැ. එසේ නොකර කූද්දනවාටයි කවුරුත් කැමති. විනාශය අත ළඟ බව දැන්වීමට ජනයාව පුබුදුවන විටත් කළ යුත්තේ එයයි. උදාහරණයකට ඔබ දේශනා කරන විට ඔබට කවුරු හරි බැන්නොත් ඔබ මොන වගේ ප්‍රතිචාරයක් දැක්විය යුතුද? එකට එක කීමෙන් වළකින්න. කලබල නොවී සන්සුන්ව එතනින් පිට වී යන්න. අවස්ථාවක් ලැබුණොත් කාරුණිකව පහදා දෙන්න. (හිතෝ. 15:1; 17:14; 2 තිමෝ. 2:24) ඔබේ සන්සුන්කම දකින නිවැසියා ඊළඟ වතාවේදී සාක්ෂිකරුවන් සමඟ කතා කිරීමට ඉඩ තිබෙනවා.

16, 17. දේවසේවයේදී අවස්ථාවට අනුව අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් කොහොමද?

16 සමහර අය “අපිට අපේ ආගම හොඳයි” නැත්නම් “අපිට ඕවා ඕන්නෑ” කියලා කියනවා. ඔවුන් එලෙස පවසන්නේ සංවාදයක් අරඹන්න අකමැති නිසයි. එවැනි අවස්ථාවකදී කාරුණිකව දක්ෂ ලෙස ප්‍රශ්නයක් ඇසුවොත් ඒ පුද්ගලයා තුළ උනන්දුවක් ඇති වීමට ඉඩ තිබෙනවා.—කොලොස්සි 4:6 කියවන්න.

17 තවත් අවස්ථාවලදී “මට දැන් වෙලාවක් නෑ” කියා කෙනෙක් පැවසිය හැකියි. පුද්ගලයා ඇත්තටම කාර්යබහුල බව ඔබට පෙනේ නම් එතනින් පිට වෙන්න. නමුත් සමහරවිට කෙනෙක් එසේ පැවසුවත් කෙටියෙන් යමක් කියන්න ඔබට අවස්ථාව උදා වෙයි. එවැනි අවස්ථාවක සමහර සහෝදරයන් කෙටි බයිබල් පදයක් කියවා සිතන්න පොලඹවන ප්‍රශ්නයක් අසනවා. ඒ සියල්ල කරන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකින්. සුදුසු අවස්ථාවලදී ඉතා කෙටියෙන් කතා කිරීමෙන් සමහරුන් පණිවිඩයට සවන් දීමට පෙලඹී තිබෙනවා. අපටත් එසේ කළ හැකිද?

18. අවිධිමත් ලෙස සාක්ෂි දැරීම සඳහා කරන්න පුළුවන් මොකක්ද?

18 මිනිසුන්ව අවදි කළ හැක්කේ ගෙයින් ගෙට සේවයේදී පමණක් නෙවෙයි. අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට සූදානමින් සිටිනවා නම් අපට අන් අයගේ උනන්දුව අවදි කිරීමට පුළුවන්. බොහෝ සහෝදර සහෝදරියන් පත්‍රිකා හෝ සඟරා තමන්ගේ සාක්කුවේ හෝ අත්බෑගයේ දමාගෙන යනවා. අවස්ථාව උදා වන විට කතා කිරීම සඳහා ඔවුන් බයිබල් පදයක් මනසේ තබාගෙන සිටිනවා. ඔබත් එසේ සූදානම්ව සිටීමට කැමති නම් ඔබේ සභාවේ සේවා සංවිධායක සහෝදරයාගෙන් හෝ පුරෝගාමීන්ගෙන් හෝ ඒ ගැන විමසන්න.

නෑදෑයන්වත් අවදි කරමු

19. අපේ නෑදෑයන්ව අවදි කිරීම අතපසු නොකළ යුත්තේ ඇයි?

19 අපේ පවුලේ අය ගැලවීම ලබනවා දකින්න අපි කැමතියි. (යොෂු. 2:13; ක්‍රියා 10:24, 48; 16:31, 32) ඔවුන් මීට කලින් සත්‍යය ප්‍රතික්ෂේප කර තිබුණා නම් නැවත ඔවුන්ට සාක්ෂි දැරීමට අප පසුබට විය හැකියි. අපි කොච්චර කිව්වත් ඔවුන් වෙනස් වෙන්නේ නැහැ කියා අපිට හැඟෙන්න ඉඩ තිබෙනවා. නමුත් ඔවුන් සිතූ ආකාරය හෝ තත්වයන් මෑත කාලයේදී වෙනස් වී තිබෙන්න පුළුවන්. ඒ වගේම ඔබත් පෙරට වඩා ඉගැන්වීමේ දක්ෂතා වර්ධනය කරගෙන ඇති.

20. නෑදෑයන්ගේ සිත නොරිදා සාක්ෂි දරන්න පුළුවන් කොහොමද?

20 නෑදෑයන්ගේ හැඟීම් තේරුම්ගන්න. (රෝම 2:4) සේවයේදී හමු වන අයට සාක්ෂි දරන ආකාරයටම නෑදෑයන්ටත් ආදරෙන් හා කරුණාවෙන් සාක්ෂි දැරිය යුතුයි. ඔවුන්ගේ හැම වැරදි අදහසක්ම නිවැරදි කරන්න උත්සාහ කරනවා වෙනුවට සත්‍යය නිසා ඔබේ ජීවිතය වෙනස් කරගෙන තිබෙන ආකාරය නෑදෑයන්ට දකින්න සලස්වන්න. (එෆී. 4:23, 24) ‘ඔබේම ප්‍රයෝජනය සඳහා යෙහෝවා දෙවි ඔබට උගන්වා’ ඇති ආකාරය පැහැදිලි කරන්න. (යෙසා. 48:17) ඔබ ජීවත් වෙන ආකාරයෙන් ඔබේ නෑදෑයන්ට ආදර්ශයක් වන්න.

21, 22. අත් නෑර නෑදෑයන්ව අවදි කිරීමට වෑයම් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය ගැන තිබෙන අද්දැකීම මොකක්ද?

21 එක් සහෝදරියකගේ අද්දැකීම සලකා බලමු. “මට සහෝදර සහෝදරියන් 13දෙනෙක් ඉන්නවා. කතාවෙන් හා හැසිරීමෙන් මම නිතරම ඔවුන්ට සාක්ෂි දරන්න උත්සාහ කරනවා. ඒ අයට යෙහෝවා දෙවි ගැන කියලා නොවරදවාම ලිපි ලියන්න මම එක අවුරුද්දක්වත් අතපසු කළේ නෑ. අවුරුදු 30ක් තිස්සෙ මං එහෙම කළත් කවුරුත් සත්‍යයට ආවෙ නෑ.”

22 “දවසක් මගේ අක්කලාගෙන් එක්කෙනෙක්ට මං දුරකතනයෙන් කතා කළා. එයා ඉන්නෙ ගොඩාක් ඈත. බයිබලය ගැන ඉගෙනගන්න කැමති නිසා ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද කියලා අක්කා එයාගේ පල්ලියේ පූජකයාගෙන් අහලා තිබුණා. ඒත් පූජකයා ඒ ගැන කිසිම උනන්දුවක් දක්වලා තිබුණෙ නෑ. එතකොට මම කිව්වා ‘මම ඔයාට කියලා දෙන්නම් කියලා. එයා මට කිව්වා ‘කියලා දුන්නට කමක් නෑ. හැබැයි මං සාක්ෂිකාරයෙක් නම් වෙන්නෙ නෑ’ කියලා. මම අක්කට බයිබලයේ ඉගැන්වීම් පොත තැපැල් කළා. ඊටපස්සේ දවස් දෙක තුනකට සැරයක් එයාට කතා කළත් එයා පොත කියවලා තිබුණෙ නෑ. අන්තිමේදී මම එයාට කිව්වා පොත අරන් එන්න කියලා. ඊටපස්සේ විනාඩි 15ක් විතර අපි සාකච්ඡා කළා. ඒ වගේ කීප සැරයක්ම කළාට පස්සේ විනාඩි 15කට වඩා වැඩි කාලයක් සාකච්ඡා කරන්න අපි පටන්ගත්තා. ඊටපස්සේ එයාම කතා කරලා පාඩම කරමු කිව්වා. සමහර දවස්වලට පාන්දරින්ම මාව ඇහැරුවා පාඩම කරන්න. එහෙමත් නැත්නම් දවසකට දෙපාරක් කතා කළා. අවුරුද්දකින් විතර එයා බව්තීස්ම වුණා. ඊට අවුරුද්දකට විතර පස්සේ පුරෝගාමි සේවයත් පටන්ගත්තා.”

23. දෙවිගේ මහත් දවස ළඟ බව අවබෝධ කර දීමට ඉමහත් වෙහෙසක් දැරිය යුත්තේ ඇයි?

23 යෙහෝවා දෙවිගේ මහත් දවස ළඟ බව අවබෝධ කර දීමට අපි ඉමහත් වෙහෙසක් දැරිය යුතුයි. එසේ කිරීමට අපි ඉගෙනගත යුතුයි. නමුත් ශුභාරංචිය පිළිගෙන අවදි වෙන අය සිටිනවා. සෑම මසකම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස 20,000ක් පමණ බව්තීස්ම වෙනවා. පාවුල් ආකිපස්ට දුන් උපදෙස අපත් සිතට ගනිමු. ඔහු පැවසුවේ මෙසේයි. “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස ඔබ භාරගත් සේවය නිසියාකාරව ඉටු කිරීමට වගබලා ගන්න.” (කොලො. 4:17) අපේ දේවසේවය කොතරම් හදිස්සියෙන් ඉටු කළ යුතු කාර්යයක්ද කියා ඊළඟ ලිපියෙන් අපි සලකා බලමු.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ කොටුව]

අවදිව සිටීමට නම්. . .

▪ වෙහෙස මහන්සිය නොබලා දෙවිගේ කැමැත්ත කරන්න

▪ අන්ධකාරයට සම්බන්ධ ක්‍රියාවලින් වළකින්න

▪ නිදිබර වීම හානිදායක බව තේරුම්ගන්න

▪ ප්‍රදේශයේ සිටින ජනයා කවදා හෝ සත්‍යය පිළිගනියි යන බලාපොරොත්තුව අත් නොහරින්න

▪ දේශනා කිරීමට විවිධ ක්‍රම අත්හදා බලන්න

▪ දේවසේවයේ ඇති වැදගත්කම මතක තබාගන්න