Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

සලමොන්ගේ අවාදර්ශයෙන් ඉගෙනගත්තේ මොකක්ද?

දෙවි සලමොන්ට බොහෝ ආශීර්වාද කළත් පසු කාලයේදී ඔහු දෙවිගෙන් දුරස් වුණා. පාරාවෝගේ දුවවත් බොරු දෙවිවරුන්ට වන්දනා කළ බොහෝ ස්ත්‍රීන්වත් විවාහ කරගත්තා. ඔවුන් නිසා ඔහු ටිකෙන් ටික බොරු නමස්කාරයේ යෙදෙන්න පටන්ගත්තා. අපේ සිතට වැරදි ආකල්ප ටිකෙන් ටික රිංගාගැනීමට අපි ඉඩ නොදිය යුතුයි. (ද්වි. 7:1-4; 17:17; 1 රාජා. 11:4-8)—12/15, 10-12 පිටු.

සාරා දේවගරුබියැති යහපත් බිරිඳක් කියා පැවසිය හැක්කේ ඇයි?

ඌර් දේශය අත්හැර නොදන්නා දේශයකට යන විට නෑදෑ හිතවතුන් හා සැපවත් ජීවිතය අත්හැර යන්න සිදු වූ විට දෙවි ආශීර්වාද කරයි යන ස්ථිර විශ්වාසයෙන් සාරා ඊට පූර්ණ සහයෝගය දුන්නා. ආබ්‍රහම්ට ගරු කළ ඇය තුළ බිරිඳකට තිබිය යුතු හොඳ ගුණාංග තිබුණා.—1/1, 8වන පිටුව.

දෙවි ආබ්‍රහම්ට ඊසාක්ව පූජා කරන්න කිව්වේ ඇයි?

එසේ කළේ තම පුතා වන යේසුස්ව පූජා කිරීමට තමා මොන තරම් පරිත්‍යාගයක් කරනවාද කියා පෙන්නුම් කිරීමටයි. නමුත් ඊසාක්ව පූජා කිරීමට දෙවි ඉඩ දුන්නේ නැති බව මතක තබාගන්න.—1/1, 23වන පිටුව.

මුල් සියවසේ සිට සෑම කාලයකදීම අභිෂේක ලත් අය පොළොවේ සිටි බව නිගමනය කරන්න පුළුවන් කොහොමද?

තිරිඟු හා කිරිඳි පිළිබඳ උපමාවේ හොඳ බීජවලින් නියෝජනය කළේ අභිෂේක ලත් අයවයි. (මතෙ. 13:24-30, 38) කපන කාලය වන තුරු තිරිඟු අතරේ කිරිඳි වැඩෙන්න ඉඩහරින බව එහි පවසනවා. අභිෂේක ලත් අය කවුද කියා නිශ්චිතව කියන්න බැරි වුණත් මුල් සියවසේ සිට සෑම කාලයකදීම ඔවුන්ගෙන් කීපදෙනෙක් හෝ පොළොවේ සිට ඇති බව උපමාවෙන් තේරුම්ගත හැකියි.—1/15, 7වන පිටුව.

හර්–මගෙදොන් යුද්ධයට පෙර සිද්ධීන් පෙළගැසෙන්නේ කොහොමද?

ලොව පුරා “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා ලෝක නායකයන් ප්‍රකාශ කරයි. (1 තෙස. 5:3) ඊළඟට බොහෝ ආණ්ඩු මගින් ආගම්වලට එරෙහිව පියවර ගැනීමට නියමිතයි. (එළි. 17:15-18) ඉන්පසු ඔවුන් දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. එවිට අවසානය පැමිණෙයි.—2/1, 9වන පිටුව.

ඊර්ෂ්‍යා කිරීමෙන් වළකින්න පුළුවන් කොහොමද?

ප්‍රේමය හා සහෝදර ස්නේහය වර්ධනය කරගන්න. දෙවිට ගරුබිය ඇති අයව ඇසුරු කරන්න. යහපත් ක්‍රියා කිරීමට උත්සාහ කරන්න. “ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න.” (රෝම 12:15)—2/15, 16-17 පිටු.

නහුවාට්ල් භාෂාව කතා කරන්නේ කවුද? ඔවුන් සඳහා කර තිබෙන්නේ මොනවාද?

එය පුරාණ ඇස්ටෙක්වරුන්ගේ භාෂාවයි. මෙක්සිකෝවේ සිටින ලක්ෂ 15ක් පමණ කතා කරන්නේ නහුවාට්ල් භාෂාවයි. සාක්ෂිකරුවන් එම භාෂාවෙන් දේශනා කරනවා. එම භාෂාවෙන් සමහර ප්‍රකාශන පවා පළ කර තිබෙනවා.—3/1, 13-14 පිටු.

උපදෙස් දෙන විට මතක තබාගත යුතු ප්‍රතිපත්ති මොනවාද?

පුද්ගලයාගේ අවශ්‍යතාව වටහාගන්න. හදිස්සි වී පිළිතුරු දීමෙන් වළකින්න. පදනම ලෙස බයිබලය භාවිත කරන්න. සංවිධානයේ ප්‍රකාශන යොදාගන්න. අනුන් වෙනුවෙන් තීරණ ගැනීමෙන් වළකින්න.—3/15, 7-9 පිටු.

සැතපුමක් යන්න කියා අණ කළොත් සැතපුම් දෙකක් යන්න කියා යේසුස් කිව්වේ ඇයි? (මතෙ. 5:41)

යේසුස්ගේ කාලයේ ඊශ්‍රායෙල් දේශය පාලනය කළ රෝමවරුන් ඇතැම්විට ජනයාගෙන් බලෙන් වැඩ ගත්තා. යේසුස් කී දෙයින් ඔහු අදහස් කළේ දෙවිගේ ප්‍රමිතිවලට විරුද්ධ නැති දෙයක් කිරීමට බලධාරීන් අපිට බල කළොත් කෝප නොවී එම කාර්යය කිරීම ගැනයි.—4/1, 9වන පිටුව.