Skip to content

පටුනට යන්න

ද්‍රෝහි වීම අවසාන කාලයේ ලකුණක්!

ද්‍රෝහි වීම අවසාන කාලයේ ලකුණක්!

ද්‍රෝහි වීම අවසාන කාලයේ ලකුණක්!

“අප කොතරම් විශ්වාසවන්තව, ධර්මිෂ්ඨව සහ නිර්දෝෂීව කටයුතු කළාද?”—1 තෙස. 2:10.

මේ ප්‍රධාන කරුණු සොයන්න

ද්‍රෝහි වූ දෙලීලාගෙන්, අබ්සලොම්ගෙන් හා යූදස්ගෙන් ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

යොනාතාන්ගේ හා පේතෘස්ගේ විශ්වාසවන්තකම අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

සැමියාට හා බිරිඳට වගේම දෙවිට දිගටම විශ්වාසවන්තව සිටින්න පුළුවන් කොහොමද?

1-3. (අ) අපි අවසාන කාලයේ ජීවත් වන බවට ලකුණක් වන්නේ මොකක්ද? (ආ) අපි සලකා බලන්නේ මොන ප්‍රශ්න තුනද?

දෙලීලා තමාට ආදරය කළ සැම්සන්ව පාවා දුන්නා. අබ්සලොම් තමාගේම පියා වූ දාවිත්ට ද්‍රෝහි වුණා. යූදස් තම ස්වාමියා වූ යේසුස්ව පාවා දුන්නා. ඔවුන්ගේ ද්‍රෝහි ක්‍රියා නිසා අන් අයට ලොකු හානියක් සිදු වූ අතර විශාල වේදනාවක්ද ඇති වුණා. ඔවුන් කළ දේ ගැන සලකා බැලීමෙන් අපට ප්‍රයෝජනයක් ලැබෙනවාද?

2 අද දින ද්‍රෝහි වීම සාමාන්‍ය දෙයක්. ද්‍රෝහි වීම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? ඉන් අදහස් කරන්නේ අවිශ්වාසවන්ත වීමයි. ඊට කෙනෙකුව පාවා දීමත් ඇතුළත්. සමාජයේ වැඩි පිරිසක් එසේ ක්‍රියා කිරීම පුදුමයක් නෙවෙයි. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගත හැකි ලකුණ ගැන පවසන විට ‘බොහෝදෙනෙක් එකිනෙකාව පාවා දෙයි’ කියා යේසුස් පැවසුවා. (මතෙ. 24:3, 10) පසු කාලෙක පාවුල් පැවසුවේ ‘අවසාන කාලයේදී ද්‍රෝහිකම් කරන හා අනුන්ව පාවා දෙන අය සිටිනවා’ කියායි. (2 තිමෝ. 3:1, 2, 4) චිත්‍රපටිවල හා නවකතාවල ද්‍රෝහි වීම දක්වන්නේ වීර ක්‍රියාවක් ලෙසයි. නමුත් සැබෑ ජීවිතයේදී නම් එය ඉමහත් වේදනාවක් ගෙන දෙන දුෂ්ට ක්‍රියාවක්.

3 බයිබලයේ සඳහන් ද්‍රෝහි වූ අයගෙන් ඉගෙනගත හැකි පාඩම් මොනවාද? අනික් අතට විශ්වාසවන්තව සිටි අයගේ ආදර්ශ අනුකරණය කරන්න අපට පුළුවන් කොහොමද? අපි දිගටම විශ්වාසවන්තව සිටිය යුත්තේ කාටද? මේ වැදගත් ප්‍රශ්න තුනට අපි පිළිතුරු සොයමු.

ද්‍රෝහි වූ අයගේ අවාදර්ශ

4. දෙලීලා සැම්සන්ව පාවා දුන්නේ කොහොමද? එහෙම කළේ ඇයි?

4 මුලින්ම, දෙලීලා කළ දේ සලකා බලමු. සැම්සන් ඇයට හුඟක් ආදරේ කළත් ඇය ඇත්තටම සැම්සන්ට ආදරේ කළේ නැහැ. ඒ කාලයේ සැම්සන් යෙහෝවා දෙවිගේ සෙනඟ වෙනුවෙන් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වී සිටියා. දෙලීලා සැම්සන්ට ආදරේ නැති බව පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා දැනගත්තා. එවිට ඔවුන් ඇයට පැවසුවේ සැම්සන්ගේ ශක්තියට රහස සොයාගන්නා ලෙසයි. එසේ කළොත් ඇයට ලොකු මුදලක් දෙන බවටත් පොරොන්දු වුණා. ඇය තුන් වරක්ම රහස දැනගන්න උත්සාහ කළත් අසාර්ථක වුණා. ‘ඒ රහස තමන්ට හෙළි කරන්න කියා ඇය දිගින් දිගටම සැම්සන්ට කරදර කළා. ඔහුට එය මොන තරම් කරදරයක් වුණාද කියනවා නම් එය තවදුරටත් දරාගැනීමට හැකි වුණේ නැහැ.’ අවසානයේදී හිස බූ ගෑවොත් ශක්තිය නැති වෙනවා කියා සැම්සන් කිව්වා. * පසුව දෙලීලා කෙනෙකුව ගෙන්වාගෙන සැම්සන් නිදාගෙන සිටියදී ඔහු ලවා කොණ්ඩෙ කැප්පෙව්වා. ඉන්පසු සැම්සන්ව පිලිස්තිවරුන්ට භාර දුන්නා. (විනි. 16:4, 5, 15-21) මොන තරම් දුෂ්ටකමක්ද! ඇය සැම්සන්ව පාවා දුන්නේ මුදල්වලට තිබූ කෑදරකම නිසයි.

5. (අ) අබ්සලොම් දාවිත්ට ද්‍රෝහි වුණේ කොහොමද? එමගින් අබ්සලොම් ගැන හෙළි වුණේ මොකක්ද? (ආ) අහිතොෆෙල්ගේ ද්‍රෝහි වීම ගැන දාවිත්ට හැඟුණේ කොහොමද?

5 අපි ඊළඟට අබ්සලොම් ගැන බලමු. බල තණ්හාව නිසා පියාගේ රජකම බලෙන් ගැනීමට ඔහුට ඕන වුණා. ඔහු මුලින්ම කළේ ‘සූක්ෂ්ම ලෙස ඊශ්‍රායෙල් ජනයාගේ සිත් දිනාගැනීමයි.’ ඔහු ජනයාට ආදරේ බව පෙන්වීමට ඔවුන්ව සිප වැලඳගත්තා. ඔවුන් කෙරෙහි සැලකිලිමත් බව මවාපාමින් ඔවුන්ට බොරු පොරොන්දුත් දුන්නා. (2 සාමු. 15:2-6) අබ්සලොම් දාවිත්ගේ කිට්ටු මිතුරා වූ අහිතොෆෙල්ගේ හිත වෙනස් කර දාවිත්ට විරුද්ධ වීමට ඔහුව පෙලඹෙව්වා. (2 සාමු. 15:31) එම ද්‍රෝහිකම තමාට බලපෑ ආකාරය දාවිත් ගීතාවලියේ 3වන සහ 55වන පරිච්ඡේදවල සඳහන් කළා. (ගීතා. 3:1-8; ගීතාවලිය 55:12-14 කියවන්න.) අබ්සලොම් තම කුමන්ත්‍රණය මගින් පෙන්නුවේ දෙවි පත් කළ රජුව පිළි නොගන්නා බවයි. (1 ලේක. 28:5) අවසානයේදී අබ්සලොම්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වුණා. නමුත් දාවිත් දිගටම රජකම් කළා.

6. යූදස් යේසුස්ව පාවා දුන්නේ කොහොමද? යූදස් යන නම පටබැඳෙන්නේ මොන වගේ අයටද?

6 දැන් අපි බලමු යූදස් යේසුස්ට ද්‍රෝහි වූ ආකාරය ගැන. අන්තිම සන්ධ්‍යා භෝජනය පැවැත්වූ අවස්ථාවේ යේසුස් ගෝලයන් 12දෙනාට මෙසේ පැවසුවා. “මා ඔබට කියන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබ අතරෙන් එක් කෙනෙක් මාව පාවා දෙනවා.” (මතෙ. 26:21) එදින රාත්‍රියේ යේසුස් ගෙත්සෙමන උයනේදී පේතෘස්ට, යාකොබ්ට හා යොහන්ට පැවසුවේ “මෙන්න! මාව පාවා දෙන තැනැත්තා ළඟටම ඇවිත්” කියායි. එවිට යූදස් ‘කෙළින්ම යේසුස් වෙතට ගොස්, ගුරුතුමනි, සුබ දවසක් වේවා කියා පවසමින් මහත් ආදරයක් මවාපාමින් ඔහුව සිඹගත්තා.’ (මතෙ. 26:46-50; ලූක් 22:47, 52) එසේ යූදස් “ධර්මිෂ්ඨ කෙනෙක්” වූ යේසුස්ව සතුරන් අතට පාවා දුන්නා. ඔහු යේසුස්ට ද්‍රෝහි වුණේ රිදී කාසි 30ක් වැනි සුළු මුදලකට තිබූ තණ්හාව නිසයි. (මතෙ. 27:3-5) අදටත් යූදස් යන නම ඇසෙද්දී මතකයට එන්නේ මිතුරෙකුට ද්‍රෝහි වන කෙනෙකුවයි.

7. (අ) අබ්සලොම්ගෙන් හා යූදස්ගෙන්ද (ආ) දෙලීලාගෙන්ද අපි ඉගෙනගන්නේ මොනවාද?

7 අබ්සලොම් හා යූදස් යන දෙදෙනාම යෙහෝවා දෙවි පත් කළ අයට විරුද්ධ වුණ නිසා අවසානයේදී නින්දිත මරණයකට මුහුණ දුන්නා. (2 සාමු. 18:9, 14-17; ක්‍රියා 1:18-20) එමෙන්ම දෙලීලාගේ නම ඇසෙන විට අපට මතක් වෙන්නේ බොරු ආදරයක් මවාපාන කෙනෙක්වයි. (ගීතා. 119:158) මේ තිදෙනාගේ අවාදර්ශවලින් පෙන්වන්නේ ද්‍රෝහි වීම මොන තරම් පහත් කුරිරු දෙයක්ද කියායි. ඒ වගේම අප තුළ බල තණ්හාවක් හෝ මුදලට කෑදරකමක් තිබෙනවා නම් එය වහාම ඉවත් කරගැනීම අත්‍යවශ්‍ය බවත් ඉන් පෙන්වනවා. එවැනි ගුණාංග තිබුණොත් අපිට දෙවිගේ අනුමැතිය නැති වෙනවා.

විශ්වාසවන්ත අයව අනුකරණය කරමු

8, 9. (අ) යොනාතාන් දාවිත්ට පක්ෂව සිටියේ ඇයි? (ආ) යොනාතාන්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

8 විශ්වාසවන්තව සිටි අයගේ ආදර්ශ බොහොමයක් ගැනත් බයිබලයේ සඳහන්වෙනවා. යොනාතාන් හා පේතෘස් ඉන් දෙදෙනෙක්. මුලින්ම යොනාතාන් ගැන සලකා බලමු. ඔහු සාවුල්ගේ වැඩිමල් පුතා වූ නිසා අනාගත රජු වීමට සිටියා. නමුත් යෙහෝවා දෙවි රජු ලෙස තෝරාගත්තේ දාවිත්වයි. දාවිත්ට ඊර්ෂ්‍යා නොකර යොනාතාන් දෙවිගේ තීරණයට ගරු කළා. යොනාතාන් හා දාවිත් කිට්ටු මිතුරන්ව සිටියා. යොනාතාන් තමා ඇඳගෙන සිටි අත් නැති සළුව, කඩුව, දුන්න හා ඉණපටිය දාවිත්ට දී ඔහුව රජු ලෙස පිළිගත්තා. (1 සාමු. 18:1-4) තම පියාගෙන් දාවිත්ව බේරාගැනීමට යොනාතාන් තම ජීවිතය පවා පරදුවට තැබුවා. දාවිත්ගේ විශ්වාසය ශක්තිමත් කරමින් “ඔබ ඊශ්‍රායෙල්හි රජ වන බව ස්ථිරයි. මම කැමැත්තෙන්ම ඔබට යටත් වෙනවා” කියාත් පැවසුවා. (1 සාමු. 20:30-34; 23:16, 17) යොනාතාන්ගේ මරණය ගැන ආරංචි වූ විට දාවිත් තමාගේ වේදනාව සහ ප්‍රේමය ප්‍රකාශ කරමින් විලාප ගීයක් පවා ගායනා කිරීම පුදුමයක් නොවෙයි.—2 සාමු. 1:17, 26.

9 දාවිත්ට පක්ෂපාත වීමෙන් තමන් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිට පක්ෂපාත වෙන බව යොනාතාන් දැනගෙන සිටියා. අපටත් ඉන් යමක් ඉගෙනගත හැකියි. අපි සියලුදෙනාම සභාවේ පෙරමුණ ගැනීමට පත් කර සිටින සහෝදරයන්ට කැමැත්තෙන්ම පූර්ණ සහයෝගය දැක්විය යුතුයි.—1 තෙස. 5:12, 13; හෙබ්‍රෙ. 13:17, 24.

10, 11. (අ) පේතෘස් දිගටම යේසුස්ට විශ්වාසවන්තව සිටියේ ඇයි? (ආ) පේතෘස්ව අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද?

10 දැන් අපි පේතෘස්ගේ ආදර්ශය සලකා බලමු. ඔහු යේසුස්ට පක්ෂපාතව සිටියා. වරක් යේසුස් තම ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තැබීමේ වැදගත්කම පෙන්වීමට නිදර්ශනයක් පාවිච්චි කළා. එය තේරුම්ගැනීමට නොහැකි වූ ඔහුගේ ගෝලයන් බොහෝදෙනෙක් කලබල වී ඔහුව අත්හැර ගියා. (යොහ. 6:53-60, 66) එවිට “ඔබත් යන්න කැමතිද” කියා යේසුස් තම ගෝලයන් 12දෙනාගෙන් ඇසුවා. “ස්වාමීනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි. දෙවි එවා ඇති ශුද්ධ තැනැත්තා ඔබ බව අපි දන්නවා. එය අපට හොඳටම විශ්වාසයි” කියා පේතෘස් ඔහුට පිළිතුරු දුන්නා. (යොහ. 6:67-69) යේසුස් කලින් පැවසූ නිදර්ශනය සමහරවිට පේතෘස්ට වැටහුණේ නැතුව ඇති. නමුත් දෙවිගේ අභිෂේක ලත් පුත්‍රයා යේසුස් බව වටහාගෙන සිටි නිසා ඔහු යේසුස්ට විශ්වාසවන්තව සිටියා.

11 යේසුස් පැවසූ දේවල් පේතෘස්ට නොතේරුණු අවස්ථාවලදී යේසුස්ට තියෙන්නේ වැරදි අදහසක් කියා හෝ යේසුස් පසුව එය අවබෝධ කරගනියි කියා හෝ පේතෘස් සිතුවේ නැහැ. ඔහු යටහත්පහත් කෙනෙක් වූ නිසා යේසුස්ගේ වදන් සදාකාල ජීවනය ලැබීමට මඟ බව තේරුම්ගත්තා. අපිත් පේතෘස්ව අනුකරණය කරමු. විශ්වාසවන්ත දාසයා පවසන දෙයක් අපිට තේරෙන්නේ නැත්නම් හෝ අපි සිතන විදිහට වඩා එය වෙනස් නම් හෝ දාසයා පසුව එය වෙනස් කරයි කියා සිතන්නේ නැතුව අපි සිතන විදිහ වෙනස් කරගැනීමට උත්සාහ කරමු.—ලූක් 12:42 කියවන්න.

සැමියාට හෝ බිරිඳට ද්‍රෝහි නොවන්න

12, 13. බොහෝවිට කෙනෙක් තම සැමියාට හෝ බිරිඳට ද්‍රෝහි වෙන්නේ ඇයි? ද්‍රෝහි වීම සඳහා වයස නිදහසට හේතුවක් කරගැනීම සාධාරණද?

12 කෙනෙකුට ද්‍රෝහි වීම ඉතා දුෂ්ට දෙයක්. පවුලෙත් සභාවෙත් සාමයට හා එකමුතුකමට එය හානිකරයි. එසේනම් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට හා සැමියාට හෝ බිරිඳට ද්‍රෝහි නොවී සිටීමට පුළුවන් වෙන්නේ කොහොමද?

13 කෙනෙක් තම සැමියාට හෝ බිරිඳට අවිශ්වාසවන්ත වී වෙන කෙනෙකුට ආදරය කරන්න පටන්ගැනීම ඉතා දරුණු ද්‍රෝහි වීමක්. එවිට සැමියා හෝ බිරිඳ තනි වෙනවා පමණක් නොව ඔහුගේ හෝ ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. කාලයක් එකිනෙකාට බැඳී සිටි දෙදෙනෙකුගෙන් එක්කෙනෙක් එලෙස ද්‍රෝහි වෙන්නේ ඇයි? බොහෝවිට එවැනි දෙයක් සිදු වෙන්න පටන්ගන්නේ සැමියා හා බිරිඳ එකිනෙකාගේ හැඟීම් ගැන නොසලකාහැරීම නිසයි. විවාහක යුවළක් දෙදෙනා අතර තිබෙන බැඳීම ශක්තිමත් කරගන්න උත්සාහ කරන්නේ නැත්නම් එක්කෙනෙක් ද්‍රෝහි වීමට ඉඩ තිබෙන බව සමාජ විද්‍යාඥවරියක් වන ගැබ්රියෙලා ටර්නටූරි පැහැදිලි කළා. දිගු කාලයක් පුරා විවාහ වී සිටින අයට පවා එසේ විය හැකියි. උදාහරණයකට වයස අවුරුදු 50ක පුරුෂයෙක් වසර 25ක් පුරා විවාහ ජීවිතය ගත කළ තම බිරිඳව දික්කසාද කළේ වෙනත් කාන්තාවකට සිත ඇදී ගිය නිසයි. සමහරුන්ගේ මතය වී තිබෙන්නේ මැදිවියේ සිටින පුරුෂයන් එලෙස හැසිරීම සාමාන්‍ය දෙයක් කියායි. නමුත් මොන වයසේ සිටියත් එවැනි හැසිරීමක් සුදුසු නැහැ. එය ද්‍රෝහි වීමක්. *

14. (අ) සැමියාට හෝ බිරිඳට ද්‍රෝහි වීම දෙවි සලකන්නේ කොහොමද? (ආ) යේසුස් ඒ ගැන පැවසුවේ මොකක්ද?

14 ද්‍රෝහි වී තම සැමියාව හෝ බිරිඳව අත්හරින කෙනෙක්ව යෙහෝවා දෙවි සලකන්නේ කොහොමද? දික්කසාදය දෙවිට පිළිකුල් දෙයක් බවත් එසේ කරන අයව දෙවි හෙළාදකින බවත් බයිබලයේ පවසනවා. (මලාකි 2:13-16 කියවන්න.) යේසුස්ද එම ද්‍රෝහි වීම හෙළාදැක්කා. තම සැමියාව හෝ බිරිඳව අත්හැරීම සුදුසු නැහැ කියා ඔහු ඉගැන්නුවා.—මතෙව් 19:3-6, 9 කියවන්න.

15. එකිනෙකාට දිගටම විශ්වාසවන්තව සිටින්න පුළුවන් කොහොමද?

15 “ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ [හෝ සැමියා] සමඟ ප්‍රීති වන්න” කියාත් “ඔබ ආදරය කරන ඔබේ බිරිඳ [හෝ සැමියා] සමඟ සතුටින් කල් ගෙවන්න” කියාත් බයිබලයේ පවසනවා. (හිතෝ. 5:18; දේශ. 9:9) එසේනම් තම විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? කාලයක් පුරා විවාහ වී සිටින දෙදෙනෙකු වුණත් දිගටම තම බැඳීම ශක්තිමත් කරගැනීමට උත්සාහ කළ යුතුයි. තම පූර්ණ අවධානය දිය යුත්තේ තම සහකරුට හෝ සහකාරියට මිස විවාහයෙන් පිට කෙනෙකුට නොවෙයි. දෙදෙනාම එකිනෙකාගේ හැඟීම් හා අවශ්‍යතා ගැන සැලකිලිමත් විය යුතුයි. එකිනෙකා සමඟ කාලය ගත කළ යුතුයි. එකිනෙකාට තව තවත් ළං වීමත් අවශ්‍යයි. ඒ දේවල් සාර්ථකව කිරීමට නම් දෙදෙනාම එක් වී බයිබලය කියවිය යුතුයි. එක්ව සේවයේ යෑම අවශ්‍යයි. ඒ වගේම දෙවිගේ ආශීර්වාදය ඉල්ලා එක්ව යාච්ඤා කළ යුතුයි. එවිට විවාහ බැඳීම පමණක් නොව දෙවි සමඟ ඇති බැඳීමත් ශක්තිමත් වෙනවා.

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින්න

16, 17. (අ) පවුලේ කෙනෙකුව හෝ කිට්ටු මිතුරෙකුව සභාවෙන් ඉවත් කළ විට අපි කුමක් කිරීමට පෙලඹිය හැකිද? (ආ) දෙවිගේ අණට කීකරු වීමෙන් යහපතක් වන බව පෙන්වන්නේ මොන අද්දැකීමද?

16 සභාවේ සිටින කෙනෙක් බරපතළ වරදක් කළ විට ඔහුට “තදින් අවවාද කරන්න” සිදු වෙනවා. ‘එසේ කළොත් සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට කිසි තර්ජනයක් එල්ල වෙන්නේ නැහැ.’ (තීත. 1:13) සමහර අවස්ථාවලදී එවැනි කෙනෙකුව සභා සාමාජිකත්වයෙන් පවා ඉවත් කිරීමට සිදු වෙනවා. නමුත් බොහෝවිට “ඒ හික්මවීමෙන් පුහුණුව ලබන අයට” නැවතත් දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න පුළුවන්. (හෙබ්‍රෙ. 12:11) ඔබේ පවුලේ කෙනෙකුව හෝ කිට්ටු මිතුරෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවාද? දෙවි අපට පවසා තිබෙන්නේ සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ ඕනෑම කෙනෙක් සමඟ ආශ්‍රය නොකරන්න කියායි. (1 කොරින්ති 5:11-13 කියවන්න.) ඔබ දෙවිගේ අණට කීකරු වෙනවාද? නැත්නම් ද්‍රෝහි වෙනවාද? මේ කාරණයේදී අපි ක්‍රියා කරන ආකාරය දෙස යෙහෝවා දෙවි බලා සිටිනවා.

17 යෙහෝවා දෙවි දී තිබෙන අණට කීකරු වීමෙන් ඇති වූ යහපත ගැන අපි අද්දැකීමකින් සලකා බලමු. යෞවනයෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කර වසර දහයක් ගත වුණා. ඒ කාලය තුළ ඔහුගේ පියා, මව සහ සහෝදරයන් හතරදෙනා ‘ඔහු සමඟ ආශ්‍රය කළේ නැහැ.’ ඔවුන්ගේ වැඩකටයුතුවලට හවුල් වෙන්න ඔහු සමහර අවස්ථාවලදී උත්සාහ කළත් ඔහු සමඟ කිසි සම්බන්ධයක් තියා නොගන්න පවුලේ අනික් අය වගබලා ගත්තා. ඔහුව සභා සාමාජිකයෙක් ලෙස නැවත පිළිගත් පසු ඔහු පැවසුවේ පවුලේ අයගෙන් වෙන් වෙලා ඉන්න සිදු වීම ඔහුට දරාගන්න බැරි වුණ බවයි. විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී තනියම ඉන්න වෙලාවේදී ඒ පාළුව ඔහුට හුඟක් දැනී තිබෙනවා. පවුලේ අය තමා සමඟ යන්තම් හරි ඇසුරක් පැවැත්තුවා නම් ඔහුට ඒ පාළුව නොදැනෙන්න ඉඩ තිබුණා කියා ඔහු පැවසුවා. නමුත් ඔවුන් ඔහු සමඟ කතාබහ කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ නිසා ඔවුන් සමඟ ඇසුරු කිරීමේ ආශාව තවත් වැඩි වී තිබුණා. එය යෙහෝවා දෙවි සමඟ නැවත බැඳීමක් ඇති කරගැනීමට හේතුවක් වුණා. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පවුලේ සාමාජිකයෙකු ඇසුරු නොකරන්න යන අණ කැඩීමට පෙලඹීමක් ඇති වෙද්දී එම උදාහරණය මතකයට නඟාගන්න.

18. ඔබ උපරිමයෙන් උත්සාහ කරන්නේ මොන වගේ කෙනෙක් වීමටද?

18 අද සමාජයේ සිටින අය ද්‍රෝහිකම් කරන්න හෝ කෙනෙකුව පාවා දෙන්න දෙවතාවක් හිතන්නේ නැහැ. නමුත් අපිට අනුකරණය කරන්න පුළුවන් විශ්වාසවන්ත අය ඕන තරම් සභාවේ සිටිනවා. එවැනි අය ඇත්තටම ‘විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ සහ නිර්දෝෂ’ අය කියා පැවසිය හැකියි. (1 තෙස. 2:10) දෙවිටත් සෙසු සහෝදර සහෝදරියන්ටත් විශ්වාසවන්තව සිටීමට අපි උපරිම උත්සාහයක් දරමු.

[පාදසටහන්වල]

^ 4 ඡේ. සැම්සන් නසරීතවරයෙක් නිසා ඔහු හා දෙවි අතර විශේෂ බැඳීමක් තිබුණා. ඔහුගේ කොණ්ඩය ඔහුට තිබූ ශක්තියේ සංකේතයක් පමණයි. එම ශක්තිය ලැබුණේ දෙවිගෙන්.

^ 13 ඡේ. වැඩි විස්තර සඳහා 2010 ජූනි 15 මුරටැඹ සඟරාවේ 29-32වන පිටුවල ඇති “සහකරු හෝ සහකාරිය ඔබට ද්‍රෝහි වුණොත්?” යන ලිපිය බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

අනික් අය යේසුස්ව ප්‍රතික්ෂේප කළත් පේතෘස් ඔහුව ප්‍රතික්ෂේප කළේ නැහැ