Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

මම යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන සිටියා

මම යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන සිටියා

ලෙනාඩ් ස්මිත්

පුංචි සන්දියේ මගේ හිතට තදින්ම කාවැදුණු බයිබල් වාර්තා දෙකක් තිබුණා. එකක් තියන්නේ සෙකරියා 8:23. එතන කියන්නේ ‘යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන ඉන්න මිනිසුන් දහදෙනෙක් ගැනයි. ඔවුන් ඒ යුදෙව්වාට කිව්වේ දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි වූ නිසා ඔබ සමඟ යන්න අපි සතුටුයි’ කියලයි. ඒකෙ තේරුම මං හරියටම වටහාගත්තේ දැනට අවුරුදු 70කට කලින්.

යුදෙව් ජාතිකයාගෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වත් ‘මිනිසුන් දහදෙනාගෙන්’ ‘වෙනත් බැටළුවන්වත්’ නියෝජනය වෙනවා. ඒ දවස්වල වෙනත් බැටළුවන්ට කිව්වේ “යෙහොනාදාබ් පන්තිය” කියලායි. * (යොහ. 10:16) යෙහොනාදාබ් යේහුට දක්වපු සහයෝගය ගැන හොඳට අධ්‍යයනය කළාම මට තේරුණා සදාකල් ජීවත් වෙන්න ඕනෙ නම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පූර්ණ සහයෝගය දක්වන්න අවශ්‍යයි කියලා.

හිතට කාවැදුණු අනික් වාර්තාව තියෙන්නේ මතෙව් 25:31-46 දක්වා. විනාශයෙන් ගැලවෙන දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව එතන හඳුන්වලා තියෙන්නේ “බැටළුවන්” විදිහට. ඒ අය ගැලවෙන්නේ පොළොවේ ඉන්න අභිෂේක ලත් අයට සහයෝගය දෙන නිසයි. ඉතින් ‘යේසුස් මාවත් බැටළුවෙක් විදිහට සලකන්න නම් මං අභිෂේක ලත් අයට සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනෙ. දෙවි එයාලත් එක්ක ඉන්න නිසා එයාලගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඕනෙ’ කියලා මම කල්පනා කළා. ඒ වාර්තා දෙක අවුරුදු 70කට වඩා වැඩි කාලයක් මේ ගමන එන්න මට උදව් වුණා.

‘මට හිමි තැන මොකක්ද?’

මගේ අම්මා බව්තීස්ම වුණේ 1925දී. මං ඉපදුණේ 1926 ඔක්තෝබර් 15වෙනිදා. මං බව්තීස්ම වුණේ 1940 මාර්තු මාසයේ එංගලන්තයේ ඩෝවර් කියන නගරයේ පවත්වපු එක්රැස්වීමකදියි. අපි රැස්වීම්වලට ගියේ ගිලිංහැම් සභාවටයි. ඒකෙ වැඩිපුර හිටියේ අභිෂේක ලත් අය. අම්මා අභිෂේක ලත් කෙනෙක් නිසා මම මුලින්ම ‘වස්ත්‍රය අල්ලාගත්ත යුදෙව්වා’ වුණේ මගේ අම්මා කියලා කියන්නත් පුළුවන්. අම්මා ගොඩක් මහන්සි වෙලා දේවසේවයේ යෙදුණා.

වර්ෂ 1941 සැප්තැම්බර් මාසයේදී ලයිසෙස්ටර් නගරයේ පවත්වපු සමුළුවේදී “විශ්වාසවන්ත වෙමු” කියන මාතෘකාව යටතේ දෙවිගේ පාලන අයිතිය ගැන කතාවක් දුන්නා. යෙහෝවා දෙවිට සාතන් එල්ල කළ චෝදනාවට අපිත් සම්බන්ධයි කියලා මං මුලින්ම තේරුම්ගත්තේ එදයි. දෙවි විශ්වයේ පාලකයා බව පිළි අරං දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න මම තීරණය කළා.

ඒ සමුළුවේදී පුරෝගාමි සේවය කරන්න ඉලක්කයක් තියාගන්න කියලා යෞවනයන්ව ගොඩක් දිරිගැන්නුවා. “යෙහෝවා දෙවිගේ සංවිධානයේ පුරෝගාමීන්ට හිමි තැන” කියන කතාවට ඇහුම්කන් දුන්නාම ‘මට හිමි තැන මොකක්ද’ කියලා මං කල්පනා කළා. වෙනත් බැටළුවෙක් හැටියට මගේ උපරිම ශක්තියෙන් ශුභාරංචිය දේශනා කිරීම මට පැවරුණු වගකීමක් කියලා සමුළුව ඉවර වෙද්දී මට තේරුණා. පුරෝගාමි සේවය කරන්න අයැදුම්පතක් පුරවලා මම එදාම භාර දුන්නා.

යුධ සමයේදී පුරෝගාමී සේවය

මම විශේෂ පුරෝගාමී සේවය පටන්ගත්තේ 1941 දෙසැම්බර් 1වෙනිදා. එතකොට මට වයස අවුරුදු 15යි. මම මුලින්ම සේවය කළේ අම්මත් එක්ක. අවුරුද්දකට විතර පස්සේ අම්මා අසනීප වුණු හින්දා එයාට පුරෝගාමී සේවය නතර කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මාත් එක්ක පුරෝගාමී සේවය කළේ සහෝදර රොන් පාකින්. ඔහු දැන් පෝටෝ රිකෝ රටේ ශාඛා කමිටු සාමාජිකයෙක්.

අපිව කෙන්ට් ප්‍රාන්තයේ වෙරළබඩ නගරයකට යැව්වා සේවය කරන්න. ඒ කාලේ විශේෂ පුරෝගාමියෙකුට මාසෙකට ලැබුණේ සුළු මුදලක්. කාමරේ කුලිය ගෙව්වාම අත්‍යවශ්‍ය අනිත් දේවල් ගන්න තරම් මුදලක් ඉතුරු වුණේ නැහැ. අපේ ඊළඟ කෑම වේල කොහොම ලැබෙයිද කියලා අපිවත් දැනං හිටියේ නැහැ. ඒත් මොනවා හරි ක්‍රමයකින් දෙවි අපිට අවශ්‍ය හැම දෙයක්ම සැපෙව්වා.

අපි සේවෙ ගියේ බයිසිකල්වලින්. පොත් පත් බැඳගෙන මුහුදු හුළං කපාගෙන බයිසිකල් පදින එක ලේසි වුණේ නැහැ. ඒ දවස්වල ජර්මානු හමුදාව අහස්යාත්‍රාවලින් නිතරම ඇවිත් ලන්ඩනයට බෝම්බ දැම්මා. දවසක් එහෙම දාපු මිසයිලයක් කොච්චර පහතින් ගියාද කියනවා නම් මං බයිසිකලෙත් දාලා කාණුවකට පැනලයි අනූනමයෙන් පණ බේරගත්තේ. ඒක ළඟ පාත තැනකට වැටිලා පුපුරලා ගියා. යුද්දෙ කාලේ කොච්චර අමාරුකම් තිබුණත් අපි පුරෝගාමි සේවය කළේ හරිම සතුටින්!

බෙතෙල් සේවය

“දවසක පුතාත් බෙතෙල් සේවකයෙක් වෙනවා නම් මං හරිම කැමතියි” කියලා අම්මා හැම වෙලේම වගේ කිව්වා. ඉතින් සති තුනකට වැඩවලට උදව් කරන්න එන්න කියලා 1946 ජනවාරි මාසයේදී ලන්ඩන් බෙතෙල් එකෙන් මට ආරාධනාවක් ලැබුණාම මං ගොඩක් සතුටු වුණා. ඒ සති තුන ඉවර වුණාම බෙතෙල් එකේ වැඩ භාරව හිටපු සහෝදර ප්‍රයිස් හියුස් මට කිව්වා දිගටම නවතින්න කියලා. බෙතෙල් එකෙන් ලැබුණු පුහුණුව මේ දිගු ගමන එන්න මට ලොකු පන්නරයක් වුණා.

ඒ දවස්වල බෙතෙල් එකේ 30දෙනෙක් විතර හිටියා. වැඩිදෙනෙක් තරුණයෝ. ඒ වගේම ප්‍රයිස් හියුස්, එඩ්ගා ක්ලේ හා පසු කාලයේදී පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු ජැක් බාර් වගේ අභිෂේක ලත් සහෝදරයොත් හිටියා. සභාවේ “කණු” හා සමාන යේසුස්ගේ සහෝදරයන්ගේ මඟ පෙන්වීම යටතේ සේවය කරන්න ලැබුණු ප්‍රස්තාව තරුණයෙක් විදිහට මං සැලකුවේ පුදුමාකාර වරප්‍රසාදයක් හැටියටයි.—ගලා. 2:9.

දවසක් බෙතෙල් එකේ වැඩ කරද්දී සහෝදරයෙක් මට කිව්වා ‘ඔයාව හම්බ වෙන්න කවුද ඇවිල්ලා’ කියලා. ඇවිල්ලා හිටියේ මගේ අම්මා. වැඩවලට බාධා කරන්න කැමති නැති හින්දා ගෙනාපු පාර්සලය දීලා අම්මා ගියා. ඒකෙ තිබුණේ ශීත කබායක්. අම්මා ආදරෙන් ගෙනත් දුන්නු ඒ කබාය දැක්කාම මට මතක් වුණේ පුංචි සාමුවෙල් දේවමාලිගාවේ සේවය කරද්දී එයාගේ අම්මා හැම අවුරුද්දකම වස්ත්‍රයක් ගානේ ගෙනත් දුන්න සිද්ධියයි.—1 සාමු. 2:18, 19.

ගිලියද් පුහුණුව

ගිලියද් පාසැලේ 11වෙනි පන්තියට සහභාගි වෙන්න කියලා 1947දී මටත් ආරාධනාවක් ලැබුණා. නිව් යෝක්වල ශීත කාලය පටන් අරන් තිබුණු නිසා අම්මා දීපු කබාය මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.

මාස හයක් පුරා ගිලියද් පාසැලේ ගත කළ කාලය මට තාම මතකයි. රටවල් 16කින් සහභාගි වුණ විවිධ අයගේ ඇසුර නිසා සමහර පටු ආකල්ප අයින් කරගෙන පුළුල් විදිහට හිතන්න මට පුළුවන් වුණා. ඉගෙනගත්ත දේවලට අමතරව දැනුම් තේරුම් ඇති අභිෂේක ලත් අයව ඇසුරු කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ අය අතර මා එක්ක ගිලියද් පාසැලේ එකට ඉගෙනගත්ත ලොයිඩ් බැරි වගේම අපිට ඉගැන්නුව ඇල්බට් ෂ්‍රෝඩ සහ ජෝන් බූත් යන සහෝදරයොත් හිටියා. ඒ අය පසු කාලේදී පාලක මණ්ඩලයේ සාමාජිකයන් වුණා. එයාලගේ ප්‍රේමණීය උපදෙස් වගේම දෙවිට හා ඔහුගේ සංවිධානයට ඔවුන් දැක්වූ පක්ෂපාතකම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

චාරිකා සේවය හා නැවත බෙතෙල් සේවය

ගිලියද් පුහුණුවෙන් පස්සේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ චාරිකා සේවයේ යෙදෙන්න මට පැවරුමක් ලැබුණා. එතකොට මගේ වයස අවුරුදු 21ක් වුණත් මගේ තරුණ ජවය සහෝදරයන්ට ශක්තියක් වුණා. චාරිකා සේවයේදී පළපුරුදු සහෝදරයන්ගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා.

මාස කීපයකට පස්සේ මට ආපහු බෘක්ලින්වලින් ආරාධනාවක් ලැබුණා. ඒ බෙතෙල් සේවයට පුහුණුවක් ලබා දෙන්නයි. ඒ කාලේදී සභාවේ කණු වගේ හිටිය අයව දැන හඳුනා ගන්න මට පුළුවන් වුණා. මිල්ටන් හෙන්ෂල්, කාල් ක්ලයින්, නේදන් නෝර්, ටී. ජේ. සලිවන් හා ලයිමන් ස්විංගල් ඒ අයගෙන් කීපදෙනෙක්. ඒ හැමෝම පාලක මණ්ඩලයේ සේවය කළ අයයි. ඔවුන් වැඩ කරපු විදිහත් ක්‍රිස්තියානි ගුණාංග පිළිබිඹු කරපු විදිහත් මං දැක්කා. යෙහෝවා දෙවිගේ සංවිධානය කෙරෙහි තිබුණු මගේ විශ්වාසය දෙගුණ තෙගුණ වෙන්න ඒක හේතු වුණා. ඒ පුහුණුවෙන් පස්සේ මාව ආපහු යුරෝපයේ සේවය කරන්න යැව්වා.

මගේ අම්මා 1950දී මිය ගියා. ඒ වෙනකොටත් තාත්තයි අක්කයි (ඩෝරා) යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෝ වෙලා හිටියේ නැහැ. මළ ගෙදර වැඩකටයුතු ඉවර වුණාම සත්‍යය ඉගෙනගැනීමේ වටිනාකම ගැන තාත්තයි අක්කයි එක්ක මං කතා කළා. අභිෂේක ලත් වයසක සහෝදරයෙක් වූ හැරී බ්‍රව්නිං එක්ක බයිබලය පාඩම් කරන්න එයාලා කැමති වුණා. අවුරුද්දක් යන්න කලින් තාත්තයි අක්කයි බව්තීස්ම වුණා. කාලෙකට පස්සේ තාත්ත ගිලිංහැම් සභාවේ වගකීම් දරන්න පටන්ගත්තා. තාත්තගේ මරණෙන් පස්සේ අක්කා රෝයි මෝට්න් කියන වැඩිමහල්ලත් එක්ක විවාහ වුණා. අක්කා 2010දී මිය යන තුරුම විශ්වාසවන්තව දෙවිට සේවය කළා.

ප්‍රංශයේදී කළ සේවය

ඉස්කෝලේ යන කාලේ ප්‍රංශ, ජර්මන් හා ලතින් භාෂා ඉගෙනගත්තත් මට අමාරුම වුණේ ප්‍රංශ භාෂාවයි. ඒ නිසා ප්‍රංශයේ බෙතෙල් සේවයට ආරාධනාවක් ලැබුණාම ආසාවත් එක්ක පොඩි භයකුත් දැනුණා. එහෙදී මං සහෝදර හෙන්රි ජීජ එක්ක වැඩ කළා. ඔහු වයසක අභිෂේක ලත් සහෝදරයෙක්. මගේ වැඩ කොටස හැම වෙලේම පහසු වුණේ නැහැ. ඒ නිසා වැරදුණු අවස්ථා එමටයි. ඒත් අනිත් අය එක්ක පෑහිලා ඉන්න ඒ පැවරුමේදී මං ඉගෙනගත්තා.

වර්ෂ 1951දී ප්‍රංශයේ පැවැත්වූ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරන්න මාත් හවුල් වුණා. තරුණ සංචාරක සේවකයෙක් වූ ලියපෝල්ඩ් ෂොන්තේ බෙතෙල් එකට ඇවිත් මට උදව් කළා. පස්සේ කාලෙක ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක ලෙස ඔහුව පත් කළා. සමුළුව පැවැත්තුවේ අයිෆල් කුලුන කිට්ටුව තිබුණ ක්‍රීඩාංගණයක. සමුළුවේ අන්තිම දවසේදී 10,456දෙනෙක් ආවා. ඊට ප්‍රංශ සාක්ෂිකරුවන් 6,000දෙනාත් රටවල් 28කින් පැමිණි සාක්ෂිකරුවනුත් ඇතුළත් වුණා.

ප්‍රංශෙට යද්දී ප්‍රංශ භාෂාව හොඳට කතා කරන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ. හැබැයි එහෙදි කරපු ලොකුම මෝඩකම තමයි වැරදෙයි කියන භයට ප්‍රංශ භාෂාව කතා නොකරපු එක. වරද්ද වරද්ද හරි කතා කළේ නැත්නම් කවදාවත් භාෂාවක් කතා කරන්න ඉගෙනගන්න බෑ!

අන්තිමේදී භාෂාව ඉගෙනගන්න මං තීරණය කළා. රැස්වීම් නැති හවස්වරුවල ප්‍රංශ භාෂාව උගන්වන පන්තියකට ගියා. ඊට පස්සේ ප්‍රංශ භාෂාව කතා කරන්න ආශාවක් ඇති වුණා. පස්සේ කාලෙකදී ප්‍රංශයේ ශාඛා කාර්යාලයේ පරිවර්තන අංශයේ පරිවර්තකයෙක් විදිහට සේවය කරන්නත් මට පුළුවන් වුණා. ලොව පුරා ප්‍රංශ භාෂාව කතා කරන අයට දාස පන්තිය සපයන දැනුම ඔවුන්ගේම භාෂාවෙන් ලබා දෙන්න පුළුවන් වීම වරප්‍රසාදයක්.—මතෙ. 24:45-47.

විවාහය සහ අමතර වරප්‍රසාද

මම 1956දී එස්තර් එක්ක විවාහ වුණා. ඇය ඊට අවුරුදු කීපයකට කලින් ස්විට්සර්ලන්තයෙන් ආව පුරෝගාමි සහෝදරියක්. අපි විවාහ වුණේ ලන්ඩනයේ බෙතෙල් නිවසට යාබදව තිබුණු නමස්කාර මධ්‍යස්ථානයේදියි. විවාහ කතාව ඉදිරිපත් කළේ සහෝදර ප්‍රයිස් හියුස්. මගේ විවාහය ප්‍රීතිමත් එකක් වෙන්න ලොකුම හේතුව මට ලැබුණු හොඳ, විශ්වාසවන්ත මිතුරිය වන මගේ බිරිඳයි. මගේ අම්මා වගේම එස්තර්ගේ අම්මත් අභිෂේක ලත් කෙනෙක්. ඕනෑම කාරණයක් ගැන දෙවි හිතන විදිහට හිතපු නැන්දම්මා කෙනෙක් ලැබීමත් මට ලොකු ආශීර්වාදයක් වුණා. ඒත් 2000දී නැන්දම්මා පොළොවේ ගත කළ ජීවිතය අවසන් කළා.

බැන්දට පස්සේ අපි පදිංචි වෙලා හිටියේ ප්‍රංශ බෙතෙල් එකෙන් පිට. මම දිගටම බෙතෙල් එකේ පරිවර්තන වැඩවලට ගියා. එස්තර් දිගටම පැරිසියේ විශේෂ පුරෝගාමී සේවය කළා. කීපදෙනෙකුට සත්‍යය වැලඳගන්න ඇය උදව් කළා. වර්ෂ 1964දී බෙතෙල් එකේ නැවතිලා වැඩ කරන්න අපිට ආරාධනා කළා. වර්ෂ 1976දී මුල් වතාවට ලොව පුරා ශාඛා කමිටු පිහිටුවද්දී මාවත් ප්‍රංශ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් ලෙස පත් කළා. අද වන තුරු වැඩකටයුතු ඉටු කරන්න එස්තර් මට නොමසුරු සහයෝගයක් දීලා තියෙනවා.

මම ඔබ සමඟ සැමදා සිටින්නේ නැහැ”

විටින් විට ලෝක මූලස්ථානයට ගිය අවස්ථාවලදී පාලක මණ්ඩලයේ හිටිය විවිධ සහෝදරයන්ගෙන් වටිනා උපදෙස් මට ලැබුණා. උදාහරණයකට, යම් වැඩක් නියමිත දවසට අවසන් කිරීම කොතරම් අමාරුද කියලා මම සහෝදර නෝර්ට කියද්දී ඔහු හිනා වෙලා කිව්වේ “ඉවර කරන්න ඕන දවස ගැන අනවශ්‍ය විදිහට කරදර වෙන්නැතුව වැඩේ හරියට කරන්න” කියලයි. එදා ඉඳලා කරන්න බැරි තරමට වැඩ වැඩි වෙද්දී කලබල නොවී වතාවකට එක වැඩේ ගානෙ කරලා ඉවර කරනවා. ඇත්තටම එහෙම කරද්දී නියම වෙලාවටත් වැඩේ ඉවර කරන්න පුළුවන් වෙනවා.

යේසුස් මැරෙන්න ටික වෙලාවකට කලින් කිව්වේ ‘මම ඔබ සමඟ හැමදාම ඉන්නේ නැහැ’ කියලයි. (මතෙ. 26:11) අභිෂේක ලත් ක්‍රිස්තියානීනුත් හැමදාම අපිත් එක්ක මේ පොළොවේ ඉන්නේ නැහැ කියලා වෙනත් බැටළුවන් වන අපි හැමෝම දන්නවා. ඒ නිසා අභිෂේක ලත් අයත් එක්ක සමීපව ඇසුරු කරන්න ලැබුණු අවස්ථාව මම සලකන්නේ ලොකු වරප්‍රසාදයක් විදිහටයි. ඇත්තටම ‘අවුරුදු 70කට වැඩි කාලයක් පුරා මම යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන සිටියා’ කියලා මට කියන්න පුළුවන්.

[පාදසටහන]

^ 5 ඡේ. “යෙහොනාදාබ් පන්තිය” ගැන දැනගැනීමට Jehovah’s Witnesses​—Proclaimers of God’s Kingdom පොතේ 83, 165 හා 166 පිටු බලන්න.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සහෝදර නෝර් හිනා වෙලා මෙහෙම කිව්වා. “ඉවර කරන්න ඕන දවස ගැන අනවශ්‍ය විදිහට කරදර වෙන්නැතුව වැඩේ හරියට කරන්න.”

[19වන පිටුවේ පින්තූර]

(වම) මගේ අම්මයි තාත්තයි

(දකුණ) ගිලියද් පාසැලේදී අම්මා දුන්නු ශීත කබාය ඇඳගෙන, 1948දී

[20වන පිටුවේ පින්තූරය]

ප්‍රංශයේ ශාඛා කාර්යාලය කැප කළ දා සහෝදර ලොයිඩ් බැරිගේ කතාව ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරමින්, 1997දී

[21වන පිටුවේ පින්තූර]

(වම) එස්තර් එක්ක විවාහ වූ දා

(දකුණ) අපි දේවසේවයේ යෙදෙමින්