Skip to content

පටුනට යන්න

මුළු හදවතින්ම දෙවිට නමස්කාර කරන්න

මුළු හදවතින්ම දෙවිට නමස්කාර කරන්න

මුළු හදවතින්ම දෙවිට නමස්කාර කරන්න

‘දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඔබේ මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න.’—1 ලේක. 28:9.

පිළිතුරු මොනවාද?

හදවත හෝ සිත කියා සඳහන් වෙද්දී ඉන් අදහස් කරන්නේ මොකක්ද?

සිත සෝදිසි කර බැලිය හැකි ක්‍රමයක් සඳහන් කරන්න

මුළු හදවතින් දෙවිට නමස්කාර කරන්නේ කොහොමද?

1, 2. (අ) බයිබලයේ වැඩියෙන්ම සඳහන් වෙන්නේ ශරීරයේ මොන අංගය ගැනද? (ආ) සිත හෙවත් හදවත යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියා වටහාගැනීම අවශ්‍ය ඇයි?

බයිබලයේ සමහර අවස්ථාවලදී ශරීරයේ විවිධ අංග ගැන සඳහන් කරන්නේ අපිට යම් දේවල් අවබෝධ කර දීමටයි. උදාහරණයකට යෙහෝවා දෙවි එසකියෙල්ට මෙසේ පැවසුවා. “මම ඔබේ නළල ගිනිගලකටත් වඩා ශක්තිමත් වූ දියමන්තියක් මෙන් වීමට සලස්වන්නෙමි.” ගීතිකාකරුද පැවසුවේ “මාගේ ඇස් යෙහෝවා දෙවි දෙසටම යොමු කර ඇත. මන්ද එළා තිබෙන දැලෙන් මාගේ දෙපා මුදාගන්නේ ඔහුය” කියායි. ඒ වගේම ‘යහපත් පුවතක් ඇටකටු පුෂ්ටිමත් කරයි’ කියාත් සලමොන් පැවසුවා.—එස. 3:9; ගීතා. 25:15; හිතෝ. 15:30, පාදසටහන.

2 නමුත් වෙන කිසිම අංගයකට වඩා බයිබලයේ වැඩියෙන් සඳහන් වෙන්නේ සිත හෙවත් හදවත ගැනයි. උදාහරණයකට හන්නා මෙසේ යාච්ඤා කළා. “යෙහෝවා දෙවියනි, ඔබ නිසා මගේ සිත ප්‍රීතියෙන් ඉපිල යන්නේය.” (1 සාමු. 2:1) බයිබලයේ සිත හෙවත් හදවත කියා සඳහන් වන විට එයින් අදහස් කරන්නේ මොකක්ද කියා වටහාගැනීම අවශ්‍යයි. ඊට හේතුව සිත ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය දෙයක් කියා බයිබලයේ පවසා තිබීමයි.—හිතෝපදේශ 4:23 කියවන්න.

සිත හෙවත් හදවත

3. සිත හෝ හදවත කියා පවසන විට ඉන් අදහස් කරන්නේ මොකක්ද කියා අපි වටහාගන්නේ කොහොමද?

3 බයිබලය ශබ්දකෝෂයක් නෙවෙයි. එහි ඇති සෑම වචනයකම අර්ථය අපිට පැහැදිලි කර දී නැහැ. එසේනම් සිත හෝ හදවත කියා පවසන විට ඉන් අදහස් කරන්නේ මොකක්ද? එය වටහාගැනීමට ඒ වචන දෙක බයිබලයේ විවිධ තැන්වල භාවිත කර තිබෙන්නේ කුමක් විස්තර කිරීමටද කියා අපි සෝදිසි කර බැලිය යුතුයි.

4. (අ) බයිබලයේ සිත හෝ හදවත යන වචන මගින් විස්තර කරන්නේ මොකක්ද? (ආ) මතෙව් 22:37 ඇති වදන්වලින් යේසුස් අදහස් කළේ මොකක්ද?

4 සිත හෝ හදවත යන වචන භාවිත කර තිබෙන්නේ පුද්ගලයෙකුගේ ඇතුළාන්තය විස්තර කිරීමටයි. එනම් කෙනෙකුගේ ආශාවන්, සිතුවිලි, රුචි අරුචිකම්, ආකල්ප, හැකියාවන්, චේතනාවන්, නැඹුරුවාවන් හා ඉලක්ක වැනි දේ විස්තර කිරීමටයි. (ද්විතීය කතාව 2:30; හිතෝපදේශ 16:1; ක්‍රියා 2:26 කියවන්න.) යේසුස් වරක් මෙසේ කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙ. 22:37) ‘හදවත’ කීමෙන් යේසුස් අදහස් කළේ කෙනෙකුගේ සැබෑ හැඟීම් හා ආශාවන් ගැනයි. ඔහු ජීවිතය හා මනස ගැනත් සඳහන් කළා. එමගින් ඔහු කාවැද්දුවේ දෙවිට තිබෙන අපේ ප්‍රේමය හැඟීමකට පමණක් සීමා නොවී එය අපේ ආකල්පවලින් හා ජීවත් වෙන ආකාරයෙන් පිළිබිඹු විය යුතු බවයි.—යොහ. 17:3; එෆී. 6:6.

සිත ආරක්ෂා කරගන්න

5. මුළු හදවතින්ම දෙවිට සේවය කිරීමට උත්සාහ කළ යුත්තේ ඇයි?

5 දාවිත් රජ තම පුතාට මෙවැනි දෙයක් මතක් කර දුන්නා. “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම, ප්‍රීතියෙන් ඔහුට සේවය කරන්න. යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා. සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.” (1 ලේක. 28:9) සෑමදෙනාගේ සිත් සෝදිසි කරන යෙහෝවා දෙවි අපේ සිත් සෝදිසි කරන විට ඔහුව සතුටු කරන දේවල් ඔහු අප තුළ දකිනවා නම් අපව ඔහුගේ මිතුරන් ලෙස පිළිගෙන අපට ආශීර්වාද කරනවා. (හිතෝ. 17:3; 21:2) ඒ නිසා මුළු හදවතින්ම එනම් පූර්ණ සිතකින් ඔහුට සේවය කරන්න අපි උත්සාහ කරමු.

6. දෙවිට කරන සේවය සම්බන්ධයෙන් අපි මතක තබාගත යුත්තේ මොකක්ද?

6 දේවසේවයේ හා නමස්කාරයට සම්බන්ධ වෙනත් කටයුතුවල උනන්දුවෙන් යෙදෙනවා නම් අප පෙන්වන්නේ මුළු සිතින් දෙවිට සේවය කරන්න කැමති බවයි. නමුත් සාතන්ගේ දුෂ්ට ලෝකය හා අපේ පව්කාර ආශාවන් මගින් අපේ සිත වෙනතකට යොමු කර අපේ සේවය අඩපණ කළ හැකි බව අපි මතක තබාගත යුතුයි. (යෙරෙ. 17:9; එෆී. 2:2) එසේ නොවීමට නම් අපි විටින් විට අපේ සිත සෝදිසි කිරීම ඉතා වැදගත්.

7. අපේ සිතේ තිබෙන දේ හෙළි වෙන්නේ කොහොමද?

7 කෙනෙකුගේ සිත නොපෙනෙන දෙයක් නිසා එය සෝදිසි කරන්නේ කොහොමද? යේසුස් දුන් නිදසුනක් ගැන සිතමු. ගසක හොඳ පල හටගන්නවා නම් ඒ ගස සරු ගසක් බවත් නරක පල හටගන්නවා නම් එය කපා දැමිය යුතු බවත් යේසුස් පැවසුවා. (මතෙ. 7:17-20) ඉන් පැහැදිලි වෙන්නේ ගසේ පල අනුව ගසේ තත්වය තේරුම්ගත හැකි බවයි. ඒ හා සමානව කෙනෙක් කරන දේවලින් ඔහුගේ සිතේ තිබෙන දෙය දැනගන්න පුළුවන්. දැන් අපි සිතේ තිබෙන දේ ක්‍රියාවලින් හෙළි වන එක් පැත්තක් සලකා බලමු.

සිත සෝදිසි කළ හැකි ක්‍රමයක්

8. මතෙව් 6:33හි ඇති වදන්වලින් යේසුස් අදහස් කළේ මොකක්ද?

8 පූර්ණ සිතකින් දෙවිට සේවය කිරීමට ආශාවක් තිබෙනවා නම් කළ යුතු දේ ගැන යේසුස් තම ගෝලයන්ට පැවසුවේ මෙසේයි. “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.” (මතෙ. 6:33) යේසුස් ඉන් අදහස් කළේ කෙනෙක් තම ජීවිතයේ මුල් තැන දෙන දේවල් මගින් ඔහු ආශා කරන්නේ, සිතන්නේ හා සැලසුම් කරන්නේ මොනවද කියා පැහැදිලි වෙන බවයි. ඔබ, ඔබේ ජීවිතයේ මුල් තැන දෙන්නේ මොනවටද?

9. යේසුස් කළ ආරාධනාව මොකක්ද? ඔහුට හමු වූ අයගේ ප්‍රතිචාරයෙන් හෙළි වුණේ මොනවාද?

9 ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ කියා යේසුස් කී පසු සිදු වූ දෙයක් දැන් අපි බලමු. එයින් පෙන්වන්නේ කෙනෙක් තම ජීවිතයේ මුල් තැනට දමන දෙයින් ඔහුගේ සිතේ තිබෙන දෙය දැනගත හැකි බවයි. තමන් දුක් විඳින බව දැන දැනත් යේසුස් යෙරුසලමට යන්න ස්ථිර අධිෂ්ඨානයක් ගත්තා. යෙරුසලමට යන අතරමඟදී හමු වූ සමහරෙකුට යේසුස් පැවසුවේ ‘මගේ අනුගාමිකයන් වෙන්න’ කියායි. එවිට එක්කෙනෙක් මෙහෙම කිව්වා. “මගේ පියාව තැන්පත් කරන තුරු මට කල් දෙන්න.” තව එක්කෙනෙක් “ස්වාමීනි, මම කැමතියි ඔබව අනුගමනය කරන්න. නමුත් මුලින්ම මගේ නිවසේ සාමාජිකයන්ගෙන් සමුගන්න මට අවසර දෙනවාද” කියා ඇසුවා. (ලූක් 9:51, 57-61) ඒ දෙදෙනාම යේසුස්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් ඔවුන් තමන්ගේ ආශාවන්ට මුල් තැන දුන් නිසා ඔවුන් පෙන්නුවේ මුළු හදවතින්ම සේවය කරන්න තමන් කැමති නැති බවයි. අනික් අතට යේසුස් තමා ගැනවත් නොසිතා දෙවිගේ කැමැත්තට මුල් තැන දීමට ස්ථිර අධිෂ්ඨානයක් ගත්තා.

10. (අ) යේසුස්ගේ ආරාධනාවට අපි දක්වා තිබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද? (ආ) යේසුස් පැවසූ නිදර්ශනය මොකක්ද?

10 අපි ඒ මිනිසුන් දෙදෙනාට වඩා වෙනස්. අපි යේසුස්ගේ ආරාධනාව පිළිගත්තා. අදටත් අපි දෙවිට සේවය කරන්නේ ඒ නිසයි. ඒ වගේම අපේ සේවයෙන් අපි යෙහෝවා දෙවි ගැන සිතන ආකාරය පැහැදිලි වෙනවා. හැබැයි අපි වෙහෙස මහන්සි වී දෙවිට සේවය කළත් දිගටම අපේ සිත ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍යයි. ඒ ගැන යේසුස් අනතුරු ඇඟෙව්වේ මෙලෙසයි. “නඟුලකට අත තැබූ පසු ආපසු හැරී බලන කෙනෙක් දෙවිගේ රාජ්‍යයට සුදුසු කෙනෙක් නොවෙයි.” (ලූක් 9:62) යේසුස් පැවසූ නිදර්ශනයේ අර්ථය මොකක්ද?

දිගටම ‘යහපත් දේවලට ඇලුම් වන්න’

11. යේසුස් දුන් නිදර්ශනයේ ගොවියා කළේ මොකක්ද? ප්‍රතිඵලය මොකක්ද?

11 යේසුස් දුන් නිදර්ශනය ගැන අපි විස්තරාත්මකව බලමු. ගොවියෙක් කුඹුරක් හානවා කියා සිතන්න. නඟුල අතට ගෙන ටික වේලාවක් වැඩ කරමින් සිටින අතරේ ඔහු පවුලේ අය හා මිතුරන් ගැනත් සිතන්න පටන්ගන්නවා. ගෙදර සිටියා නම් සංගීතයට සවන් දීලා, කාලා බීලා විවේක ගන්නත් පුළුවන් කියා ඔහු සිතනවා. ඒ ගැන වැඩි වැඩියෙන් සිතන විට ඒ දේවල යෙදෙන්න ඔහුට ලොකු ආශාවක් ඇති වෙනවා. ඔහුගේ සිත වෙනතකට යොමු වන නිසා කිරීමට තව බොහෝ වැඩ තිබුණත් ඒවා හරියාකාරව කිරීමට බැරි වෙනවා. එය හරියට ‘නඟුලට අත තබා ආපසු හැරී බලනවා’ හා සමානයි. ඔහු කුලියට වැඩ කරන ගොවියෙක් නම් කුඹුරේ අයිතිකරු ඒ ගැන සතුටු වෙන්නේ නැහැ.

12. යේසුස් දුන් නිදර්ශනය අපිට අදාළ වෙන්නේ කොහොමද?

12 ඒ නිදර්ශනය අපිට අදාළ වෙන්නේ කොහොමද? කෙනෙක් බැලූ බැල්මට දෙවිට හොඳින් සේවය කරනවා වගේ පෙනෙන්න තිබුණත් එසේ කරන්නේ මුළු හදවතින් නොවෙන්න පුළුවන්. මෙහෙම හිතන්න. සහෝදරයෙක් නිතිපතා රැස්වීම්වලට එනවා. සතිපතා දේවසේවයෙත් හවුල් වෙනවා. සමහරවිට බයිබල් පාඩම් හා නැවත බැලීම්ද කරනවා. නමුත් එසේ කරන අතරතුරේ සාතන්ගේ ලෝකයේ තිබෙන සමහර දේවලටත් ඔහුගේ සිත ඇදී යනවා. කාලයක් පුරා ඔහු දෙවිට සේවය කළත් ලෝකයේ තිබෙන දේවල් ගැන දිගින් දිගටම සිතන නිසා ඔහුගේ අවධානය වෙනතකට යොමු වෙනවා. එවැනි කෙනෙක් ‘නඟුලට අත තබා ආපසු හැරී බලන’ ගොවියාට සමානයි. ඉතුරුව ඇති කෙටි කාලයේ දේවසේවය තුළ බොහෝ දේ කිරීමට තිබුණත් ‘දිගටම දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්නේ’ නැති නිසා ඒ සහෝදරයාගේ සේවය අඩපණ වෙනවා. (ෆිලි. 2:16) තම සේවකයෙක් තමාට කරන සේවය අඩපණ කරගන්නා විට “අස්වැන්නේ ස්වාමියා” වන යෙහෝවා දෙවි දුක් වෙනවා.—ලූක් 10:2.

13. මුළු හදවතින්ම දෙවිට සේවය කිරීම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද?

13 රැස්වීම්වලට සහභාගි වීම හා දේවසේවයේ හවුල් වීම හොඳ දෙයක්. නමුත් එසේ කළ පමණින් මුළු හදවතින්ම දෙවිට නමස්කාර කරනවා කියා කිව නොහැකියි. (2 ලේක. 25:1, 2, 27) ලෝකයේ තිබෙන දේවලට තිබෙන ඇල්ම නිසා එවැනි කෙනෙක් අත්හැර දැමූ දේවල් දෙස ‘ආපසු හැරී බැලුවොත්’ ඔහුට දෙවිගේ අනුමැතිය නැති විය හැකියි. (ලූක් 17:32) ‘දුෂ්ට දේවල් පිළිකුල් කර යහපත් දේවලට ඇලුම් වුණේ’ නැත්නම් ඔහු ‘දෙවිගේ රාජ්‍යයට සුදුසු කෙනෙක් වෙන්නේ’ නැහැ. (රෝම 12:9; ලූක් 9:62) සාතන්ගේ ලෝකයේ තිබෙන සමහර දේවල් ප්‍රයෝජනවත් බව ඇත්තයි. නමුත් දේවරාජ්‍යයට මුල් තැන දීමෙන් අපිව වළක්වන්න ඒ කිසිවකට ඉඩ නොදෙමු.—2 කොරි. 11:14; ෆිලිප්පි 3:13, 14 කියවන්න.

සාතන්ගේ උගුලක්!

14, 15. (අ) සාතන්ගේ උත්සාහය මොකක්ද? (ආ) ඔහු එය කරන ආකාරය නිදසුනකින් පැහැදිලි කරන්න.

14 දෙවිට ඇති ප්‍රේමය නිසා අපි අපේ ජීවිත දෙවිට කැප කළා. එදා සිට අපි මුළු හදවතින්ම ඔහුට සේවය කරමින් සිටිනවා. නමුත් සාතන් අපි හැමෝවම උගුලකට හසු කරගැනීමට මාන බලමින් සිටින බව අමතක නොකරමු. අපේ සිත වෙනතකට යොමු කර අපව වරදට පොලඹවාගැනීම ඔහුගේ එකම ඉලක්කයයි. (එෆී. 6:12) අපි එකපාරටම යෙහෝවා දෙවිව අත්හරින්නේ නැති බව ඔහු හොඳින් දන්නවා. ඒ නිසා මේ ලෝකයේ තිබෙන විවිධ දේවල් යොදාගෙන ටිකෙන් ටික අපව දෙවිගෙන් ඈත් කරන්න ඔහු උත්සාහ කරනවා.—මාක් 4:18, 19 කියවන්න.

15 එය තේරුම්ගැනීමට අපි උදාහරණයක් සලකා බලමු. ඔබේ කාමරයේ වොට් 100 විදුලි බල්බයක් දීප්තිමත්ව දැල්වෙමින් තිබෙනවා. එකපාරටම එය පිච්චෙනවා. එවිට ආලෝකය නැති වූ බව ඔබට දැනෙනවා. ඔබ නැවතත් වොට් 100 බල්බයක් දානවා. නමුත් කෙනෙක් ඔබට නොදැනුවත්ව එය මාරු කර වොට් 95 බල්බයක් දානවා. ආලෝකය අඩු වූ බව ඔබට බොහෝවිට දැනෙන්නේ නැහැ. ඊළඟ දවසේ ඒ කෙනා නැවතත් ඔබට නොදැනුවත්ව ඊටත් වඩා ටිකක් අඩු ආලෝකයක් ඇති බල්බයක් දානවා. එවිටත් ආලෝකය අඩු වී ඇති බව ඔබට දැනෙන්නේ නැහැ. එසේ වුණේ ආලෝකය ටිකෙන් ටික අඩු කළ නිසයි. සාතන්ද උත්සාහ කරන්නේ අපව දෙවිගෙන් එකපාරටම ඈත් කරන්න නොවෙයි. කාලයක් පුරා ටිකෙන් ටික ඈත් කරන්නයි. සිහිකල්පනාව ඇතුව සෝදිසියෙන් සිටියේ නැත්නම් අපිටත් නොදැනිම නමස්කාර කටයුතුවලට තිබෙන අපේ උනන්දුව ක්‍රමානුකූලව දුර්වල වී යයි.—මතෙ. 24:42; 1 පේතෘ. 5:8.

යාච්ඤා කරන්න

16. අපේ සිත සාතන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

16 අපේ සිත සාතන්ගෙන් ආරක්ෂා කරගෙන මුළු හදවතින් දෙවිට සේවය කරන්න නම් යාච්ඤා කරන්න අවශ්‍යයි. (2 කොරි. 2:11) පාවුල් අපිට දිරිගැන්නුවේ ‘යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටින්න’ කියායි. ඒ සඳහා ‘සෑම අවස්ථාවකදීම හැකි සෑම ආකාරයකින්ම යාච්ඤා කිරීමටත් කන්නලව් කිරීමටත් වගබලා ගන්න’ කියාත් ඔහු උනන්දු කළා.—එෆී. 6:11, 18; 1 පේතෘ. 4:7.

17. යේසුස් යාච්ඤා කළ ආකාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

17 යාච්ඤා කිරීම සම්බන්ධයෙන් යේසුස් අපිට කදිම ආදර්ශයක් තැබුවා. ඔහුගේ මරණයට පෙර දා රාත්‍රියේදී ‘ඔහුගේ සිතට දැනුණු මහත් වේදනාව නිසා ඔහු වඩාත් ඕනෑකමින් යාච්ඤා කළා.’ (ලූක් 22:44) යේසුස් ඊට පෙරත් ඕනෑකමින් යාච්ඤා කර තිබුණා. නමුත් විඳදරාගැනීමට සිදු වූ දරුණුම අවස්ථාව මෙය වූ නිසා ඔහු “වඩාත් ඕනෑකමින්” යාච්ඤා කළා. දෙවි ඊට පිළිතුරු දුන්නා. එයින් අපට පැහැදිලි වන්නේ සමහර යාච්ඤා අනික් යාච්ඤාවලට වඩා ප්‍රබල ලෙස හැඟීම් ප්‍රකාශ කරන ඒවා බවයි. සාතන් අපව වරදට හසු කරගැනීමට දරන වෑයම් වැඩි කරද්දී දෙවිගේ ආරක්ෂාව පතා “වඩාත් ඕනෑකමින්” යාච්ඤා කිරීම අත්‍යවශ්‍යයි.

18. (අ) අපේ යාච්ඤා ගැන අපි අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද? එසේ ඇසිය යුත්තේ ඇයි? (ආ) අපේ හදවතට බලපාන දේවල් මොනවාද? ඒවා බලපාන්නේ කොහොමද? ( 16වන පිටුවේ කොටුව බලන්න.)

18 මහත් ඕනෑකමින් කරන යාච්ඤාවලට ලැබෙන ප්‍රතිඵල ගැන පාවුල් පැවසුවේ මෙසේයි. ‘යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’ (ෆිලි. 4:6, 7) මුළු හදින් දෙවිට නමස්කාර කරන්න අවශ්‍ය නම් අපි නිතරම මහත් ඕනෑකමින් දෙවිට යාච්ඤා කළ යුතුයි. (ලූක් 6:12) මෙසේ සිතන්න. ‘යේසුස් මෙන් මමත් ඉතා ඕනෑකමින් දෙවිට යාච්ඤා කරනවාද? මම කී වරක් යාච්ඤා කරනවාද?’ (මතෙ. 7:7; රෝම 12:12) ඔබේ පිළිතුරුවලින් දෙවිට නමස්කාර කරන්න ඔබට කොතරම් ආශාවක් තිබෙනවාද කියා හෙළි වෙයි.

19. මුළු හදවතින් දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට ඔබ කරන්නේ මොනවාද?

19 අපේ ජීවිතයේ අපි මුල් තැන දෙන දේවලින් අපේ සිතේ තිබෙන දේ පැහැදිලි වෙන බව අපි සලකා බැලුවා. ඒ නිසා අපි අත්හැර ආ දේවල් ගැන නොසිතන්නත් අපේ සිත වෙනතකට යොමු කිරීමට සාතන් භාවිත කරන දේවලට අවධානය නොදෙන්නත් ස්ථිර ලෙස අධිෂ්ඨාන කරගත යුතුයි. අපි මුළු හදවතින්ම දෙවිට කරන නමස්කාරයට බාධා කරන්න කිසිම දේකට ඉඩ නොදෙමු. (ලූක් 21:19, 34-36 කියවන්න.) දාවිත් මෙන් අපිත් “මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න” කියා දෙවිගෙන් ඉල්ලමු.—ගීතා. 86:11.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ කොටුව]

සිත රැකගැනීමට

හෘදයාබාධයක් වළක්වාගැනීමට නම් කල් ඇතුව කළ යුතු දේවල් තිබෙනවා. ඒ හා සමානව අපේ සිත රැකගැනීමට අපි කළ යුතු වැදගත් දේවල් තුනක් සලකා බලමු.

1 නිසි පෝෂණය. හෘදය රැකගැනීමට පෝෂ්‍යදායී ආහාර ගැනීම අවශ්‍යයි. ඒ හා සමානව, අපේ සිත රැකගැනීමට පෞද්ගලික අධ්‍යයනය, අධ්‍යයනය කරන දේවල් ගැඹුරින් කල්පනා කිරීම හා රැස්වීම්වලට සහභාගි වීම අවශ්‍යයි. එසේ කරමින් අපි නිතිපතා දෙවි දෙන පෝෂණය ලබාගත යුතුයි.—ගීතා. 1:1, 2; හිතෝ. 15:28; හෙබ්‍රෙ. 10:24, 25.

 2 ව්‍යායාම් කිරීම. හෘදය වස්තුව හොඳින් ක්‍රියා කිරීමට නම් එහි ශක්තිය තිබිය යුතුයි. ඒ සඳහා ව්‍යායාම් කිරීම අවශ්‍යයි. අපි වෙහෙස මහන්සිය නොබලා උද්‍යෝගයෙන් දේවසේවයේ යෙදෙනවා නම් එය අපේ සිත හෙවත් හදවතට ව්‍යායාමයක් ලබා දෙනවා හා සමානයි. එයින් අපේ සිත ශක්තිමත් වෙනවා.—ලූක් 13:24; ෆිලි. 3:12.

3 සුදුසු පරිසරය. මානසික පීඩනය හෘදයාබාධවලට ප්‍රධාන හේතුවක්. සාතන් මේ දුෂ්ට සමාජය යොදාගෙන අපේ සිතට පීඩනයක් එල්ල කරනවා. එය අවම කරගැනීමට අපි ගැන සැලකිලිමත් මෙන්ම දෙවිට මුළු හදවතින් සේවය කරන සහෝදර සහෝදරියන් ඇසුරු කිරීම අවශ්‍යයි.—ගීතා. 119:63; හිතෝ. 13:20.