Skip to content

පටුනට යන්න

ඔබ දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද?

ඔබ දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද?

ඔබ දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද?

‘අපි යෙහෝවා දෙවිගේ තේජස පිළිබිඹු කරන කැඩපත් හා සමානයි.’—2 කොරි. 3:18.

ඔබේ පිළිතුර මොකක්ද?

අපි පව්කාරයන් වුණත් දෙවි අපිට ලබාදී ඇති බලාපොරොත්තුව හා ආශීර්වාද මොනවාද?

යාච්ඤාව හා රැස්වීම් දෙවිගේ තේජස පිළිබිඹු කරන්න අපට උපකාරවත් වෙන්නේ කොහොමද?

දිගටම දෙවිව ගෞරවයට පත් කරන්න අපට උපකාර වෙන්නේ මොනවාද?

1, 2. මිනිසාට දෙවිගේ ගුණාංග අනුකරණය කරන්න පුළුවන් ඇයි?

‘පුතා නම් තාත්තමයි!’ ‘දුව අම්මම තමයි!’ එහෙම කියනවා අපි කවුරුත් අහලා තියෙනවා. ඊට හේතුව අපි හැමෝටම අපේ දෙමාපියන්ගේ ගතිගුණ පිහිටලා තිබීමයි. ඒ වගේම පුංචි දරුවෝ හරි කැමැතියි අම්මව හෝ තාත්තව අනුකරණය කරන්න. ඒ හා සමානව අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිගේ ආදර්ශය අනුකරණය කරන්න අපිත් උත්සාහ කරනවාද? කිසිම මිනිසෙක් දෙවිව දැක නැති බව ඇත්තයි. නමුත් ඔහුගේ නිර්මාණවලින් හා බයිබලය අධ්‍යයනය කර ඔහුගේම පුත්‍රයා වූ යේසුස් කළ කී දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් ඔහුගේ ගුණාංග ගැන අවබෝධයක් ලබාගන්න අපිට පුළුවන්.—යොහ. 1:18; රෝම 1:20.

2 මිනිසුන්ට යෙහෝවා දෙවිව අනුකරණය කරමින් ඔහුගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන්ද? ඔව්. දෙවි මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නේ ඒ හැකියාව ඇතුවයි. (උත්පත්ති 1:26, 27 කියවන්න.) ඒ නිසා දෙවිගේ සේවකයන් වන අපේ අධ්‍යාපනය, සංස්කෘතිය හා පසුබිම මොකක් වුණත් දෙවිගේ ගුණාංග අනුකරණය කිරීමෙන් ඔහුගේ තේජස පිළිබිඹු කරන්න අපි වෑයමක් දැරිය යුතුයි. අපි එසේ කරනවා දකින්න දෙවි හුඟක් කැමතියි. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි.—ක්‍රියා 10:34, 35.

3. දෙවිට සේවය කරන විට ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙනවාද?

3 අභිෂේක ලත් අය දෙවිගේ තේජස පිළිබිඹු කරන ආකාරය ගැන පාවුල් පැවසුවා. “අප කිසිවෙකුගේ මුහුණුවල වැස්මක් නැති නිසා යෙහෝවා දෙවිගේ තේජස පිළිබිඹු කරන කැඩපත් හා සමාන වීමට අපට හැකි වී තිබේ. එසේ කරන විට අප තව තවත් ඔහුගේ ස්වරූපයට අනුව හැඩගැසෙන අතර අපගෙන් පිළිබිඹු වන තේජසද තව තවත් වැඩි වේ.” (2 කොරි. 3:18) පාවුල් පැවසුවේ මෝසෙස්ට දසපනත ලැබුණු අවස්ථාවේදී දෙවි ඔහු සමඟ කතා කළ නිසා ඔහුගේ මුහුණ දීප්තියෙන් බැබළෙමින් තිබූ සිද්ධිය ගැනයි. (නික්. 34:29, 30) මිනිසුන් අප දෙස බලන විට අපේ මුහුණෙන් එවැනි දීප්තියක් බැබළෙන්නේ නැතත් යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ ගුණාංග හා අරමුණු ගැනත් කතා කරන විට අපි ප්‍රීතියෙන් ඉන්න බව ඔවුන් දකිනවා. අභිෂේක ලත් අයටත් වෙනත් බැටළුවන්ටත් තමන් ජීවත් වෙන ආකාරයෙන් හා දේවසේවය මගින් දෙවිගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන්. (2 කොරි. 4:1) ඔබ එසේ කරනවාද?

දෙවිගේ තේජස පිළිබිඹු කරමු

4, 5. (අ) පාවුල්ට මෙන් අපට තිබෙන නැඹුරුවාව මොකක්ද? (ආ) පාපය අපට බලපාන්නේ කොහොමද?

4 දෙවිගේ තේජස පිළිබිඹු කරන්න මොන තරම් කැමැත්තක් තිබුණත් බොහෝවිට අපේ අතින් සිදු වෙන්නේ වැරදි දේවල්. පාවුල්ටත් ඒ නැඹුරුවාව තිබුණා. (රෝම 7:21-25 කියවන්න.) වැරදි කිරීමේ නැඹුරුවාවට එරෙහිව සටන් කිරීම අපහසු දෙයක් වෙන්නේ ඇයි කියලත් පාවුල් පැහැදිලි කළා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.” (රෝම 3:23) පව්කාර ස්වභාවය කුරිරු රජෙකු මෙන් සෑම මිනිසෙකුවම පාලනය කරනවා.—රෝම 5:12; 6:12.

5 දෙවිගේ ගුණාංගවලට, උසස් ප්‍රමිතිවලට හා ඔහුගේ කැමැත්තට වගේම අරමුණට විරුද්ධ ඕනෑම දෙයක් පාපය ලෙස සඳහන් කළ හැකියි. සමහර අවස්ථාවලදී අපි අතින් නොදැනුවත්ව වැරදි සිදු වන අතර තවත් සමහර අවස්ථාවලදී අප එසේ කරන්නේ හිතාමතාමයි. (ගණන්. 15:27-31) පාපය අපිට උරුම වුණු දෙයක් නිසා දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට එය අපට බාධාවක්. (ගීතා. 51:5; යෙසා. 59:2; කොලො. 1:21) වැරදි කිරීමට නැඹුරු මිනිසුන් හැටියට අපි සාමාන්‍යයෙන් දේවල් කරන්නේ දෙවිගේ කැමැත්තට අනුව නෙවෙයි. ඒ නිසා දෙවිගේ තේජස පිළිබිඹු කිරීම ඉතා අසීරු දෙයක්.

6. අපි පව්කාරයන් වුණත් දෙවි අපිට ලබාදී ඇති බලාපොරොත්තුව හා ආශීර්වාද මොනවාද?

6 අපි පාපයට නැඹුරු අය වුණත් ‘දෙවි අපිට බලාපොරොත්තුවක් දී තිබෙනවා.’ (රෝම 15:13) එසේ කළේ යේසුස්ගේ ජීවිත පූජාව මගින් පාපය නැති කිරීමට මාර්ගයක් විවෘත කිරීමෙනුයි. ඒ ජීවිත පූජාව නිසා දිගටම ‘පාපයට වහල් වී සිටින්න’ අපට සිදු වෙන්නේ නැහැ. (රෝම 5:19; 6:6; යොහ. 3:16) අපි දිගටම දෙවිට ළං වෙන්න උත්සාහ කරනවා නම් දෙවි අපිව ඔහුගේ මිත්‍රයන් ලෙස පිළිගන්නවා. ඊට අමතරව අනාගතයේදී අපිව පාපයෙන් නිදහස් කර සදාකාල ජීවනය ලබා දෙනවා. අපි පව්කාරයන් වුණත් අපිට දෙවිගේ තේජස පිළිබිඹු කරන්නත් අවස්ථාව ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!

දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට උපකාර

7. දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට නම් අපි මුලින්ම කළ යුත්තේ මොකක්ද?

7 දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට නම් අපි එක් එක් කෙනා තම තමාගේ දුර්වලකම් මොනවාද කියා මුලින්ම හඳුනාගත යුතුයි. (2 ලේක. 6:36) ඒවා හඳුනාගත් පසු ඒවා හදාගැනීමට අපි වෑයම් කළ යුතුයි. උදාහරණයකට කෙනෙක් කාමුක දර්ශන නැරඹීමට පුරුදු වී සිටිනවා නම් තමන්ගේ දුර්වලකම එය බව ඔහු මුලින්ම තේරුම්ගත යුතුයි. ඉන්පසු ඔහු වැඩිමහල්ලන්ගේ උපකාරය පැතිය යුතුයි. (යාකො. 5:14, 15) අපි ජීවත් වෙන්නේ දෙවි කැමති ආකාරයටද කියා අපි නිතරම සෝදිසි කර බැලීම අවශ්‍යයි. (හිතෝ. 28:18; 1 කොරි. 10:12) අපේ දුර්වලකම හෝ පව්කාර ආශාව මොකක් වුණත් අපි නිතරම ඊට විරුද්ධව සටන් කළ යුතුයි. එවිට දෙවිගේ තේජස පිළිබිඹු කරන්න අපිට හැකි වෙයි.

8. අපි අසම්පූර්ණ අය වුණත් කළ යුත්තේ මොකක්ද?

8 පරිපූර්ණ මිනිසෙක් වූ යේසුස් කිසිම අඩුවක් නැතුව දෙවිගේ තේජස පිළිබිඹු කරමින් අවසාන මොහොත වන තුරු දෙවිව සතුටු කළා. අපි අසම්පූර්ණ අය බව ඇත්තයි. නමුත් අපි ඔහුගේ ආදර්ශය අනුකරණය කරන්න උපරිම උත්සාහයක් දැරිය යුතුයි. (1 පේතෘ. 2:21) එසේ කරමින් දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට අපි දරන වෙහෙස යෙහෝවා දෙවි අගය කරන බව අමතක කරන්න එපා.

9. බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම අපට උපකාරවත් වෙන්නේ කොහොමද?

9 දිනපතා බයිබලය කියවීම හා කියවන දේ ගැන ගැඹුරින් කල්පනා කිරීම දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට උපකාරයක්. (ගීතා. 1:1-3) ඒ වගේම දෙවිගේ ප්‍රතිපත්ති වඩා හොඳින් පිළිපදින්නත් අඩුපාඩු හදාගන්නත් එය උපකාරයක්. (යාකොබ් 1:22-25 කියවන්න.) ඊට අමතරව අපේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් පව්කාර ආශාවන් සමඟ සටන් කර ඒවා පරාජය කරන්නත් එය අපට උදව් වෙනවා.—ගීතා. 119:11, 47, 48.

10. දෙවිට වඩාත් හොඳින් සේවය කිරීම සඳහා යාච්ඤාව උපකාරවත් වෙන්නේ කොහොමද?

10 දෙවිගේ තේජස පිළිබිඹු කරන්න ‘නොකඩවා යාච්ඤා කිරීම’ අපට උපකාරවත් වෙනවා. (රෝම 12:12) දෙවිගේ බලය ලබා දෙන්න කියාත් අපේ විශ්වාසය වැඩි කරගන්න උපකාර කරන්න කියාත් වැරදි පෙලඹීම් මඟහැරීමට ශක්තිය දෙන්න කියාත් යාච්ඤා කරන්න අපට පුළුවන්. ඒ වගේම ‘සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙක්’ වීමට උපකාරයත් ඉල්ලන්න අපට පුළුවන්. (2 තිමෝ. 2:15; මතෙ. 6:13; ලූක් 11:13; 17:5) කුඩා දරුවෙක් තම පියාව විශ්වාස කරනවා හා සමානව අපිත් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය යුතුයි. දෙවිට වඩාත් හොඳින් සේවය කිරීමට තිබෙන අපේ ආශාව අපි දෙවිට කිව්වොත් ඔහු අනිවාර්යෙන්ම උදව් කරනවා. අපේ යාච්ඤා දෙවිට කරදරයක් කියා කිසිම විටක සිතන්න එපා. ඒ වෙනුවට දෙවිට ස්තුති ප්‍රශංසා කරමින් ඔහුගේ මඟ පෙන්වීම් පතමින් යාච්ඤා කරමු. දෙවිගේ තේජස පිළිබිඹු කරන්න උදව් කරන්න කියාත් ඉල්ලමු.—ගීතා. 86:12; යාකො. 1:5-7.

11. දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට රැස්වීම් අපිට උපකාර කරන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවි ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ විශාල වගකීමක් භාර දී තිබෙනවා. එය නම් දෙවිගේ රැළ රැකබලා ගැනීමේ වගකීමයි. (මතෙ. 24:45-47; ගීතා. 100:3) දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට උපකාරයක් ලෙස දාසයා අපිට සභා රැස්වීම් සූදානම් කර තිබෙනවා. වඩාත් හොඳ දේවසේවකයන් වීමටත් අපි තුළ යහපත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කිරීමටත් එම රැස්වීම් දායක වෙනවා. (හෙබ්‍රෙ. 10:24, 25) අපි පුරුද්දක් ලෙස රැස්වීම්වලට ප්‍රමාද වී පැමිණෙනවා නම් ඉන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න අපිට බැරි වෙයි. ඒ නිසා කල් වේලා ඇතුව රැස්වීමට පැමිණීමට උත්සාහ කරමු.

දෙවිව අනුකරණය කරමු

12. දෙවිව අනුකරණය කරන්න පුළුවන් එක් ආකාරයක් මොකක්ද?

12 දෙවිගේ තේජස පිළිබිඹු කරන්න අපිට පුළුවන් වෙන්නේ අපි යෙහෝවා ‘දෙවිව අනුකරණය කරනවා’ නම් විතරයි. (එෆී. 5:1) එසේ කළ හැකි එක් ආකාරයක් වන්නේ දෙවි සිතන ආකාරයට සිතන්න පුරුදු වීමයි. එසේ නොකර හැම දෙයක්ම අපිට හිතෙන විදිහට කිරීමෙන් පෙන්වන්නේ අපි දෙවිට ගරු කරන්නේ නැති බවයි. ප්‍රතිඵලයක් ලෙස අපි කරදරවල පැටලෙන්නත් ඉඩ තිබෙනවා. මේ දුෂ්ට සමාජය පාලනය කරන්නේ සාතන් නිසා යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවල් අපිත් ද්වේෂ කළ යුතුයි. ඒ වගේම දෙවි ඇලුම් කරන දේවලට අපිත් ඇලුම් කළ යුතුයි. (ගීතා. 97:10; 1 යොහ. 5:19) අපි කරන සෑම දෙයක්ම දෙවිට ගෞරවයක් ගෙනෙන විදිහට කිරීම ඥානවන්තම දෙය බව අප විශ්වාස කළ යුතුයි.—1 කොරින්ති 10:31 කියවන්න.

13. අපි වැරදි දේවල් ද්වේෂ කරන්න අවශ්‍ය ඇයි? එහෙම කරන්න පුළුවන් කොහොමද?

13 දෙවි පව්කාර දේවලට ද්වේෂ කරනවා. අපිත් ඒ විදිහටම කරනවා නම් අපිව වරදට පොලඹවන හැම දෙයකටම අපිත් ද්වේෂ කරනවා. උදාහරණයකට කලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙලා හිටපු සමහර අය දැන් සත්‍ය නමස්කාරය අත්හැර තිබෙනවා. ඒ අය තවදුරටත් දෙවිගේ තේජස පිළිබිඹු කරන්නේ නැහැ. (ද්වි. 13:6-9) එවැනි කෙනෙක් අපේ පවුලේ සාමාජිකයෙක් වුණත් අපි ඔහු සමඟ ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතුයි. (1 කොරි. 5:11) එවැනි අය සමඟ අපි කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ අදහස් පළ කරන පොත් පත් කියවන්නේ හෝ වෙබ් අඩවිවලට පිවිසෙන්නේ හෝ නැහැ. එහෙම කළොත් අපිවත් වැරදි දේවල් කිරීමට පෙලඹී දෙවිගෙන් ඈත් වෙන්න ඉඩ තිබෙනවා.—යෙසායා 5:20; මතෙව් 7:6 කියවන්න.

14. දෙවිව අනුකරණය කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද? ප්‍රේමය පෙන්වීම එතරම් වැදගත් ඇයි?

14 අන් අයට ප්‍රේමය පෙන්වීම මගිනුත් දෙවිව අනුකරණය කරන්න අපිට පුළුවන්. (1 යොහ. 4:16-19) අපි එකිනෙකාට ප්‍රේම කරනවා නම් පෙන්වන්නේ අපි යේසුස්ගේ අනුගාමිකයන් බවයි. (යොහ. 13:34, 35) අපේ අසම්පූර්ණකම නිසා හැම වෙලාවෙම ප්‍රේමයෙන් දේවල් කරන්න ලෙහෙසි නැහැ. ඒත් සෑමවිටම එහෙම කරන්න අපි උත්සාහ කරන්න අවශ්‍යයි. අපි ප්‍රේමය ඇතුළු අනිකුත් ගුණාංග පෙන්වනවා නම් වැරදි දේවල් කරන්න තිබෙන පෙලඹීම ගොඩක් අඩු වෙනවා.—2 පේතෘ. 1:5-7.

15. අපි ප්‍රේමයෙන් කටයුතු කරන අය නම් අන් අය සමඟ කටයුතු කරන්නේ කොහොමද?

15 අපි ප්‍රේමයෙන් කටයුතු කරන අය නම් අපි නිතරම අන් අයට යහපත් දේවල් කරනවා. (රෝම 13:8-10) උදාහරණයකට සැමියා හා බිරිඳ ප්‍රේමයෙන් කටයුතු කරනවා නම් දෙදෙනා හැමදාම එකිනෙකාට විශ්වාසවන්තව සිටිනවා. අපි වැඩිමහල්ලන් කරන සේවය අගය කරමින් ඔවුන්ට ප්‍රේම කරනවා නම් අපි කැමැත්තෙන්ම ඔවුන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වී ඔවුන්ට යටත් වෙනවා. දරුවන් දෙමාපියන්ට ප්‍රේම කරනවා නම් ඔවුන්ට කීකරු වී ඔවුන්ට ගෞරව කරනවා. ඔවුන් ගැන වැරදි තොරතුරු පතුරන්නේ නැහැ. අපි අනික් මිනිසුන්ට ප්‍රේම කරනවා නම් ඔවුන්ව පහත් කරන්නේ හෝ ඔවුන්ට අගෞරව වන ආකාරයෙන් කතා කරන්නේ හෝ නැහැ. (යාකො. 3:9) වැඩිමහල්ලන් සභාවේ අයට ප්‍රේම කරනවා නම් ඔවුන්ට ඉතා මුදු මොළොක් විදිහට සලකනවා.—ක්‍රියා 20:28, 29.

16. අප තුළ ඇති ප්‍රේමය දේවසේවය සාර්ථක කරගැනීමට උපකාරයක් වෙන්නේ කොහොමද?

16 අපි දේවසේවයේදීත් ප්‍රේමණීය ලෙස කටයුතු කරන්න අවශ්‍යයි. අපි දෙවිට බොහෝ ප්‍රේම කරන නිසා අපේ ප්‍රදේශයේ සිටින මිනිසුන් පණිවිඩයට සවන් නොදුන්නත් අධෛර්යයට පත් නොවී දිගටම සේවය කරනවා. අනික් අතට අපි ප්‍රදේශයේ සිටින මිනිසුන්ට ප්‍රේම කරන නිසා පණිවිඩය ඔවුන්ට ප්‍රයෝජනවත් ආකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා හොඳින් සූදානම් වෙනවා. අපි ප්‍රේමයෙන් ක්‍රියා කරන අය නම් කරන්නන් වාලේ සේවය නොකර එය වරප්‍රසාදයක් ලෙස සලකා එය ප්‍රීතියෙන් කරනවා.—මතෙ. 10:7.

දිගටම දෙවිව ගෞරවයට පත් කරමු

17. වැරදි කිරීමේ නැඹුරුවාව කොතරම් බරපතළද කියා දන්න නිසා අපි කළ යුත්තේ මොකක්ද?

17 වැරදි කිරීමේ නැඹුරුවාව කොතරම් බරපතළද කියා අද බොහෝදෙනෙකුට වැටහෙන්නේ නැහැ. නමුත් අපිට ඒ ගැන වැටහීමක් තිබෙන නිසයි නිතරම අපේ පව්කාර නැඹුරුවාවන්ට විරුද්ධව සටන් කරන්නේ. අපි නිතරම උත්සාහ කරන්නේ හරි වැරැද්ද සම්බන්ධයෙන් අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරන්නයි. එසේ කිරීම වැරදි දේවල් කිරීමෙන් අපව ආරක්ෂා කරනවා. (රෝම 7:22, 23) අපි දුර්වල අය බව ඇත්තයි. නමුත් ඕනෑම අවස්ථාවක හරි දේ කිරීමට අවශ්‍ය ශක්තිය දෙවි අපට ලබා දෙනවා.—2 කොරි. 12:10.

18, 19. (අ) සාතන් හා භූතයන්ට විරුද්ධව සටන් කරන්න අපට අවශ්‍ය මොනවාද? (ආ) අපේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?

18 දෙවිට ගෞරවය ගෙන දීමට කැමති නිසා අපි නිතරම සාතන්ටත් භූතයන්ටත් විරුද්ධව සිටින්න අවශ්‍යයි. එය සාර්ථකව කිරීම සඳහා දෙවි අපිට යුද්ධායුධ කට්ටලයක් දී තිබෙනවා. (එෆී. 6:11-13) සාතන්ට වුවමනා කරන්නේ දෙවිට අයිති ගෞරවය උදුරගන්නයි. ඒ වගේම දෙවි සමඟ ඇති අපේ බැඳීම නැති කරන්නයි. නමුත් දෙවිගේ සේවකයන් වන අපි අසම්පූර්ණ වුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිට ඔහුට ගෞරව කිරීම සාතන්ට ලොකු පහරක්. ඒ නිසා දිගටම එසේ කිරීමට අපි අදිටන් කරගනිමු. එවිට අපටත් දේවදූතයන් මෙන් “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය” කියා කියන්න හැකි වෙයි.—එළි. 4:11.

19 තම සේවකයන් ඔහුව අනුකරණය කරමින් ඔහුගේ තේජස පිළිබිඹු කරන්න උත්සාහ කරනවා දකින විට දෙවි බොහෝ සේ සතුටු වෙනවා. (හිතෝ. 27:11) අපි දිගටම යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න උත්සාහ කරමු. දාවිත් වගේ “යෙහෝවා, මාගේ දෙවියනි, මාගේ මුළු සිතින්ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. සැමදා ඔබේ නාමය ගෞරවයට පත් කරන්නෙමි” කියා අපිත් දෙවිට ගායනා කරමු. (ගීතා. 86:12) දෙවිගේ සේවකයන් වන අපේ බලාපොරොත්තුව වන්නේ දැන් පමණක් නොව පාරාදීස පොළොවේදීත් සදහටම දෙවිගේ තේජස පිළිබිඹු කරන්නයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ පින්තූර]

ඔබත් මේ ආකාරයට දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද?