Skip to content

පටුනට යන්න

කාල වකවානු තීරණය කරන දෙවිව විශ්වාස කරන්න

කාල වකවානු තීරණය කරන දෙවිව විශ්වාස කරන්න

කාල වකවානු තීරණය කරන දෙවිව විශ්වාස කරන්න

“ඔබ නියමිත කාල වකවානු වෙනස් කරනවා. රජුන්ව පත් කරන්නෙත් ඔවුන්ව රජකමෙන් පහ කරන්නෙත් ඔබයි.”—දානි. 2:21.

ඔබේ පිළිතුර මොකක්ද?

කාල වකවානු තීරණය කරන තැනැත්තා දෙවි බව ඔහුගේ නිර්මාණවලින් හා ඉටු වූ අනාවැකිවලින් ඔප්පු වෙන්නේ කොහොමද?

යෙහෝවා කාල වකවානු නියම කරන දෙවි බව දන්නා නිසා අප කළ යුත්තේ මොකක්ද?

මිනිසුන් මොනවා කළත් තමන් අරමුණු කළ දේ ඉටු කිරීමට නියම කළ දවස දෙවි වෙනස් නොකරන්නේ ඇයි?

1, 2. කාල වකවානු ගැන දෙවිට පූර්ණ අවබෝධයක් තිබෙනවා කියා පැවසිය හැක්කේ ඇයි?

යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කිරීමට පෙර කාලය හා වේලාව මැනීම සඳහා ක්‍රමයක් සැලසුම් කළා. හතරවන දවසේදී දෙවි කළ දේ ගැන බයිබලයේ මෙසේ වාර්තා වෙනවා. “දවාලත් රාත්‍රියත් වෙන් කරන පිණිස මම අහස්තලයෙහි ආලෝක වස්තූන් තබමි. ඒවා ඍතු, දවස් හා අවුරුදු වෙන් කර හඳුනාගැනීම සඳහා ලකුණු ලෙස ක්‍රියා කරන්නේය.”—උත්. 1:14, 19, 26.

2 “කාලය හා වේලාව ගැන සම්පූර්ණයෙන් තේරුම්ගන්නත් එය පැහැදිලිව විස්තර කරන්නත් කාටවත් බැහැ” කියා විශ්වකෝෂයක සඳහන් වෙනවා. නමුත් යෙහෝවා දෙවි ‘අහස හා පොළොව නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙවූ’ තැනැත්තා නිසා ඒ ගැන නොදන්නා දෙයක් නැහැ. අවශ්‍ය නම් අනාගතයේ සිදු වන දේවල් පවා දැනගන්න දෙවිට හැකියි. “අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි. මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි” කියා දෙවි පවසන්නේ ඒ නිසයි. (යෙසා. 45:18; 46:10) කාල වකවානු තීරණය කරන්නේ යෙහෝවා දෙවි නිසා ඔහු අරමුණු කරන දේ ඔහු නියම කරන කාලයට ඉටු කරනවා. (1) දෙවි නිර්මාණය කර තිබෙන දේවලින් හා (2) ඉටු වූ අනාවැකිවලින් ඒ බව තහවුරු වෙනවා. එමගින් දෙවි කෙරෙහිත් බයිබලය කෙරෙහිත් අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා.

දෙවිගේ නිර්මාණ අපේ විශ්වාසය වැඩි කරයි

3. දෙවි නිර්මාණය කළ අජීවි දේවල් නිවැරදිව හා නියමිත වෙලාවට වැඩ කරනවා කියා පවසන්න පුළුවන් ඇයි?

3 නිවැරදිව කාලය දක්වන ඉතා කුඩා දේවල් වගේම අතිවිශාල දේවලුත් දෙවි නිර්මාණය කර තිබෙනවා. ඒ සියල්ල තිතට වැඩ කරනවා. උදාහරණයකට, ඉතාම කුඩා පරමාණු නිශ්චිත රිද්මයකට චලනය වෙනවා. ඒ රිද්මය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා පරමාණු යොදාගෙන මිනිස්සු විශේෂ ඔරලෝසු නිපදවා තිබෙනවා. ඒවා කොතරම් නිවැරදිද කියනවා නම් වෙලාව තත්පරයක් හෝ වෙනස් වෙන්න අවුරුදු මිලියන 80ක්වත් ගත වෙයි. අනික් අතට අතිවිශාල ග්‍රහ තාරකා නියමිත වෙලාවට වගේම ඉතා නිවැරදිව ගමන් කරනවා. ඒ නිසා එම ග්‍රහ තාරකා හරියටම පිහිටන්නේ කොතැනද කියා අපට කල් ඇතුව සොයාගන්න පුළුවන්. ඒ ග්‍රහ තාරකා දිහා බලලා ගමන් මාර්ගයක් නියම කරන්න හැකි වෙන්නෙත් ඒවා ඒ තරමටම නිවැරදි නිසයි. ඒ සියල්ල දෙවි නිර්මාණය කළේ තම අතිමහත් බලය හා ශක්තිය යොදාගෙනයි.—යෙසායා 40:26 කියවන්න.

4. ජීවීන්ව නිර්මාණය කර තිබෙන ආකාරයෙන් දෙවි ප්‍රඥාවන්ත කෙනෙක් බව පැහැදිලි වෙන්නේ කොහොමද?

4 ජීවීන්ටත් කාලය ගැන සහජ අවබෝධයක් තියෙනවා. උදාහරණයකට කුරුල්ලන් ළඟ ඔරලෝසු නැතත් ප්‍රමාද නොවී සංක්‍රමණය කළ යුතු කාලය උන් හරියටම දන්නවා. (යෙරෙ. 8:7) යෙහෝවා දෙවි උන්ව නිර්මාණය කර තිබෙන්නේ ඒ හැකියාව ඇතුවයි. මිනිසාටත් එවැනිම හැකියාවක් තිබෙනවා. උදාහරණයකට කෙනෙකුට ඉර හඳ නොපෙනුණත් තමා ඉන්නේ දහවල් කාලයේද රාත්‍රි කාලයේද කියා ඔහුට දැනෙනවා. එසේ දැනෙන්නේ කාලය හා වේලාව ගැන සහජ අවබෝධයක් අපිට තිබෙන නිසයි. දෙවි නිර්මාණය කළ ජීවි හා අජීවි දේවලින් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවි ඇත්තටම “කාල වකවානු” තීරණය කරන දෙවි බවයි. කාලය හා වෙලාව පාලනය කිරීමට ඔහුට හැකියාව තිබෙනවා. ඔහුගේ බලය හා ප්‍රඥාව එයින් පැහැදිලි වෙනවා. (ගීතාවලිය 104:24 කියවන්න.) එවැනි දෙවි කෙනෙකුට තමන් අරමුණු කළ දේ ඉටු කරන්න පුළුවන් බව විශ්වාස කරන්න අපිට හැකියි.

නියමිත කාලයේදී ඉටු වූ අනාවැකි

5. (අ) මිනිසාගේ අනාගතය ගැන දැනගන්න පුළුවන් කොහොමද? (ආ) අනාගතයේ සිදු වන දේවල් නිවැරදිව පැවසීමට හැකියාව තිබෙන්නේ දෙවිට විතරයි කියා පවසන්න පුළුවන් ඇයි?

5 “දෙවිව අපිට නොපෙනුණත්” ඔහු නිර්මාණය කර තිබෙන දේවලින් ඔහුගේ “ගුණාංග ගැන” අවබෝධ කරගන්න පුළුවන්. (රෝම 1:20) නමුත් අනාගතයේදී සිදු වන්නේ මොකක්ද යන ප්‍රශ්නයට දෙවිගේ නිර්මාණවලින් පිළිතුරු ලැබෙන්නේ නැහැ. පිළිතුරු ලබාගැනීමට නම් අපි බයිබලය අධ්‍යයනය කරන්න අවශ්‍යයි. බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වී තිබෙන්නේ යෙහෝවා දෙවි අරමුණු කළ නියමිත කාලයේදියි. අනාගතයේ සිදු වීමට නියමිත දේ දැකීමට හැකිකම තිබෙන නිසා අනාවැකි නිවැරදිව පවසන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි. බයිබලයේ සඳහන් අනාවැකි නියමිත වෙලාවට නිවැරදිව ඉටු වෙන්නේ තමා නියම කර ඇති කාලයට තම අරමුණ ඉටු කිරීමට දෙවිට හැකියාව තිබෙන නිසයි. ඊට හරස් වෙන්න කිසිවෙකුට බැහැ.

6. බයිබලයේ සඳහන් අනාවැකි අපි තේරුම්ගන්නවාට දෙවි කැමතියි කියා කියන්න පුළුවන් ඇයි?

6 වෙලාව හා කාලය ගැන පූර්ණ අවබෝධයක් තිබෙන්නෙත් එය පාලනය කළ හැක්කෙත් දෙවිට පමණයි. නමුත් අනාවැකිවල නිශ්චිත කාලයන් ගැන දෙවි පවසන විට එය අපිට තේරුම්ගත හැකි ආකාරයට විස්තර කරනවා. (ගීතාවලිය 90:4 කියවන්න.) උදාහරණයකට, යම් කාර්යයක් කිරීමට නියමිත ‘අවුරුද්ද, මාසය, දවස සහ පැය සඳහා සූදානම් කරනු ලැබූ දේවදූතයන් හතරදෙනෙකු’ ගැන එළිදරව් පොතේ සඳහන් වෙනවා. (එළි. 9:14, 15) ‘අවුරුද්ද, මාසය, දවස සහ පැය’ කියද්දී එය අපිට තේරුම්ගන්න අමාරු නැහැ. පැවසූ ලෙසම අනාවැකි ඉටු වී ඇති ආකාරය ගැන බලන විට කාල වකවානු තීරණය කරන දෙවි කෙරෙහි අපි තුළ ඇති විශ්වාසය තවත් වැඩි වෙනවා. එවැනි අනාවැකි කිහිපයක් ගැන අපි දැන් බලමු.

7. යෙරෙමියා මගින් දුන් අනාවැකිය ඉටු වීමෙන් දෙවි නියම වෙලාවට තම අරමුණ ඉටු කරන බව පැහැදිලි වෙන්නේ කොහොමද?

7 ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේදී සිදු වූ දෙයක් ගැන අපි බලමු. ඒ වන විට යූදාහි රජකම් කළේ යෙහෝයාකිම් රජයි. ඒ කාලයේදී යූදාහි වැසියන්ට සිදු වන දේ පිළිබඳව යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් අනාවැකියක් පැවසුවා. (යෙරෙ. 25:1) බැබිලෝනිවරුන් ඇවිත් යෙරුසලම විනාශ කර යුදෙව්වන්ව වහලුන් ලෙස බැබිලෝනියට ගෙන යන බවත් යුදෙව්වන්ට “වසර හැත්තෑවක් පුරා බැබිලෝනියේ රජුට සේවය කිරීමට” සිදු වන බවත් දෙවි පැවසුවා. කිවූ විදිහටම ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරුන් පැමිණ යෙරුසලම විනාශ කර යුදෙව්වන්ව වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියා. නමුත් ‘අවුරුදු 70 සම්පූර්ණ වූ විට ඔවුන්ව නැවත මව්බිමට රැගෙන එනවා’ කිවූ අනාවැකිය ඉටු වුණාද? (යෙරෙ. 25:11, 12; 29:10) ඔව්. හරියටම අවුරුදු 70කට පසුව ඒ කියන්නේ ක්‍රි.පූ. 537දී මේදිය හා පර්සියානු හමුදාව ඇවිත් යුදෙව්වන්ව බැබිලෝනියෙන් නිදහස් කර යෙරුසලමට යැව්වා.

8, 9. මෙසියස්ව පත් කිරීම ගැනත් දේවරාජ්‍යය පිහිටුවීම ගැනත් දානියෙල් පැවසූ දෙයින් දෙවි කාල වකවානු තීරණය කරන දෙවි බව පැහැදිලි වෙන්නේ කොහොමද?

8 යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයේ සිටි කාලයේදීම ඔවුන්ට බලපාන තවත් අනාවැකියක් යෙහෝවා දෙවි දානියෙල්ට හෙළි කළා. අනාවැකියේ සඳහන් වුණේ යෙරුසලම නැවත ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට අවුරුදු 483කට පසු මෙසියස් හෙවත් ගැලවුම්කරු පැමිණෙන බවයි. මේදියාවේ හා පර්සියාවේ රජු යෙරුසලම නැවත ගොඩනඟන්න කියා නියෝග කළේ ක්‍රි.පූ. 455දියි. එතැන් සිට හරියටම අවුරුදු 483කට පසුව, එනම් ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් බව්තීස්ම වූ අතර ඔහුව දෙවිගේ බලයෙන් ගැලවුම්කරු ලෙස අභිෂේක කළා. දෙවි පැවසූ විදිහටම එය සිදු වුණා. *නෙහෙ. 2:1, 5-8; දානි. 9:24, 25; ලූක් 3:1, 2, 21, 22.

9 දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවීමට නියමිතව තිබුණේ 1914දී කියා බයිබල් අනාවැකිවලින් නිශ්චය කරගත හැකියි. යේසුස් රජ බවට පත් වීමට නියමිතව තිබුණේ ‘ජාතීන් සඳහා නියමිත වූ කාලය නිම වීමත්’ සමඟයි. (ලූක් 21:24; දානි. 4:10-17) යේසුස් පැමිණ සිටින කාලයේ ආරම්භය සනිටුහන් කරන ‘ලකුණක්’ ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (මතෙ. 24:3-14) යේසුස් රජ වීමත් සමඟ සාතන්ව පොළොවට හෙළන නිසා මිනිසුන් බොහෝ දුක් ගැහැටවලට මුහුණ දෙන බවත් එහි සඳහන් වෙනවා. (එළි. 12:9, 12) මේ අනාවැකි සියල්ල ඉටු වුණේ 1914දියි. *

10. අනාගතයේදී නිසි වෙලාවට ඉටු වීමට නියමිතව තිබෙන්නේ මොනවාද?

10 අනාගතයේදී පැමිණෙන “මහත් පීඩාව” ගැන යේසුස් කලින්ම පැවසුවා. එය අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඉන්පසු යේසුස් අවුරුදු දහසකට රජකම් කිරීමට නියමිතයි. ඒ සිදුවීම් දෙවි නියම කළ වෙලාවටම ඉටු වන බවට කිසිම සැකයක් නැහැ. ඇත්තෙන්ම යේසුස් පොළොවේ සිටිද්දීම දෙවි එය සිදු වන “දවස හා වේලාව” නියම කරලයි තිබුණේ.—මතෙ. 24:21, 36; එළි. 20:6.

කාලය නැණවත් ලෙස භාවිත කරමු

11. අපි ජීවත් වෙන්නේ මේ දූෂිත සමාජයේ විනාශය අද්දර කියලා විශ්වාස කරනවා නම් අපි කළ යුත්තේ මොකක්ද?

11 යේසුස් දැනටමත් රජකම් කරන බවත් අපි ජීවත් වන්නේ ‘අවසාන කාලයේ’ බවත් අපි දන්නවා. (දානි. 12:4) ඒ නිසා අපි කළ යුත්තේ මොකක්ද? ප්‍රශ්න ගැටලු දවසින් දවස උග්‍ර වෙනවා මිනිස්සු දැක්කත් එහෙම වෙන්නේ බයිබල් අනාවැකි ඉටු වන නිසයි කියා ඔවුන් දන්නේ නැහැ. කවදා හෝ දවසක මිනිසා විසින් මිනිසාවම විනාශ කර දමයි කියා සමහරු සිතනවා. තවත් සමහරු සිතන්නේ ළඟදීම ‘සාමය හා සුරක්ෂිතභාවය උදා වෙයි’ කියලයි. (1 තෙස. 5:3) නමුත් අපි විශ්වාස කරන්නේ මොකක්ද? අපි ජීවත් වෙන්නේ මේ දූෂිත සමාජයේ විනාශය අද්දර කියලා අපි විශ්වාස කරනවාද? එසේ කරනවා නම් අනික් අයට දෙවි ගැන දැන්වීම සඳහා අපේ උපරිමයෙන් දේවසේවයේ හවුල් විය යුතුයි. (2 තිමෝ. 3:1) ලැබෙන සෑම අවස්ථාවකින්ම අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි.—එෆීස 5:15-17 කියවන්න.

12. නෝවාගේ කාලය ගැන යේසුස් කී දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

12 අප වටා තිබෙන්නේ අපේ අවධානය වෙනතකට යොමු කරන දේවල්. ඒ නිසා අපේ ජීවිතය ඥානවන්තව ගත කරන එක පහසු දෙයක් නෙවෙයි. යේසුස් මෙසේ අනතුරු ඇඟෙව්වා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි.” නෝවාගේ කාලයේ පැවති දුෂ්ට සමාජය විනාශ කරන බවට දෙවි පැවසුවා. ජලගැල්මකින් දුෂ්ටයන් විනාශ වන බව එදා සිටි සෙනඟට නෝවා ‘දේශනා කළා.’ (මතෙ. 24:37; 2 පේතෘ. 2:5) නමුත් ඒ මිනිසුන් ‘කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඒ ගැන කිසි තැකීමක් කළේ නැහැ.’ ඒ නිසයි යේසුස් මෙවැනි දෙයක් පැවසුවේ. ‘ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මොකද, මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි.’ (මතෙ. 24:38, 39, 44) කිසි තැකීමක් නොකළ එම මිනිසුන් වගේ අපි නොවිය යුතුයි. ඒ වෙනුවට නෝවා වගේ ‘සූදානමින් සිටින බව පෙන්වීමට’ අපිට පුළුවන් කොහොමද?

13, 14. දිගටම දෙවිට සේවය කිරීම සඳහා කුමක් දැන සිටීම උපකාරවත් වෙයිද?

13 විනාශය අපි නොසිතන වෙලාවක සිදු වන බව ඇත්තයි. නමුත් ඒ වෙලාව දෙවි දැනටමත් තීරණය කරලයි තිබෙන්නේ. එදාට දෙවි එය ඉටු කරනවා ඉටු කරනවාමයි. දෙවිගේ අරමුණ වෙනස් කරන්න කාටවත් බැහැ. කාල වකවානු තීරණය කරන තැනැත්තාණන් වන දෙවි තම අරමුණ ඉටු කරන්නේ කවදාද, එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වෙන්නේ මොනවාද කියා දන්නවා. (දානියෙල් 2:21 කියවන්න.) දෙවිගේ හැකියාව ගැන හිතෝපදේශ 21:1 මෙසේ පවසනවා. “රජෙකුගේ සිත යෙහෝවා දෙවිගේ අතේ තිබෙන දිය පහරක් මෙනි. ඔහු කැමති කැමති අතට එය හරවන්නේය.”

14 නියමිත අවස්ථාවේදී තම අරමුණ ඉටු කිරීම සඳහා සිදුවීම් පාලනය කරන්න දෙවිට හැකියි. ඊට අදාළ සිද්ධීන් හසුරුවන්න දෙවිට හැකියි. උදාහරණයකට ලොව පුරා ශුභාරංචිය දේශනා කළ යුතුයි කියා බයිබලයේ කලින්ම කියා තිබෙනවා. ලෝකයේ සිදු වී තිබෙන ප්‍රබල වෙනස්කම්වල ප්‍රතිඵලයක් හැටියට ඒ අනාවැකිය ඉටු වෙමින් පවතිනවා. සෝවියට් සංගමයේ බිඳ වැටීම ගැනත් ඉන්පසු සිදු වූ දේවල් ගැනත් සිතන්න. එතරම් ඉක්මනට ඒ වගේ විශාල දේශපාලනික වෙනසක් සිදු වෙයි කියා කිසිවෙක් සිතුවේ නැහැ. නමුත් එම වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස කලින් ශුභාරංචිය දේශනා කිරීම තහනම් කර තිබූ රටවල නිදහසේ දේශනා කිරීමට හැකි වුණා. ඒ නිසා නියම වෙලාවට තම අරමුණු ඉටු කරන දෙවි ගැන දන්වන්න අපි අපේ කාලය නැණවත් ලෙස භාවිත කරමු.

දෙවි නියමිත වෙලාවට අරමුණ ඉටු කරන බව විශ්වාස කරන්න

15. දෙවිගේ සංවිධානයේ යම් වෙනස්කම් සිදු කරන විට අපි කළ යුත්තේ මොකක්ද? ඒ ඇයි?

15 අවසාන කාලයේදී දිගටම දේශනා කරන්න අපි පෙලඹෙන්නේ දෙවි නියමිත වෙලාවට ඔහුගේ අරමුණ ඉටු කරයි කියන විශ්වාසය අපිට තිබුණොත් විතරයි. ලෝකයේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ නිසා අපි දේශනා කරන ක්‍රම විටින් විට වෙනස් කරන්න සිදු වෙනවා. ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයෙන් දේශනා කිරීම සඳහා යෙහෝවා දෙවිගේ සංවිධානය විටින් විට යම් සකස් කිරීම් කරනවා. එවැනි අවස්ථාවල අපි ඒවාට පූර්ණ සහයෝගය දක්වනවාද? කාල වකවානු තීරණය කරන දෙවිව විශ්වාසය කරන බවත් ‘සභාවේ හිස’ වන යේසුස්ට කීකරු වන බවත් එසේ කිරීමෙන් අපි පෙන්වනවා.—එෆී. 5:23.

16. නිසි වෙලාවට දෙවි අපිට උපකාර කරයි කියා විශ්වාස කළ හැක්කේ ඇයි?

16 අපි ඕනෑම වේලාවක යාච්ඤා කරනවාට දෙවි කැමතියි. අපිට “උපකාර අවශ්‍ය වේලාවේදීම” ඔහු එය ලබා දෙන බව අපි විශ්වාස කළ යුතුයි. (හෙබ්‍රෙ. 4:16) දෙවි අපිට කොතරම් ආදරේද කියාත් අපි ගැන කොතරම් සැලකිලිමත්ද කියාත් ඉන් අපිට පැහැදිලි වෙනවා. (මතෙ. 6:8; 10:29-31) අපි දිගටම යාච්ඤා කර ඔහුගේ උපදෙස් පිළිපදින විට අපි ඔහුව විශ්වාස කරන බව පෙන්වනවා. අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යාච්ඤා කරන්නත් අපි අමතක නොකළ යුතුයි.

17, 18. (අ) දෙවි ළඟදීම කරන්නේ මොකක්ද? (ආ) අපට නොතිබිය යුත්තේ මොන ආකල්පයද?

17 දැන් දෙවිගෙන් ඈත් වෙන්න කාලය නෙවෙයි. ධෛර්යවත් වී අපේ විශ්වාසය ශක්තිමත් කරගත යුතුයි. (රෝම 4:20) යේසුස් අපිට පැවරූ කාර්යය කිරීමෙන් අපිව වළක්වන්න සාතන් හා ඔහුගේ පැත්තේ සිටින අය උත්සාහ කරනවා. (මතෙ. 28:19, 20) සාතන් අපිට විරුද්ධව ප්‍රහාර එල්ල කළත් ‘සියලු ආකාරයේ මිනිසුන්ට ගැලවීම සලසා දෙන්නේ ජීවමාන දෙවි’ වන යෙහෝවා බවත් ‘තමාට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා’ ඔහු දන්නා බවත් අපි විශ්වාස කරනවා.—1 තිමෝ. 4:10; 2 පේතෘ. 2:9.

18 ළඟදීම දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරනවා. එය සිදු වන්නේ කොහොමද, කවදාද කියා අපි දන්නේ නැහැ. නමුත් දෙවි අරමුණු කළ වෙලාවටම එය සිදු කරන බව අපට විශ්වාසයි. විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම හා සුදුසුම කෙනා යෙහෝවා දෙවි බව එදාට හැමෝම තේරුම්ගනියි. ඒ නිසා අපි දැන් ජීවත් වෙන්නේ ඉතාමත්ම තීරණාත්මක කාල වකවානුවක බව අපි මතක තබාගනිමු. “මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත” කියන ආකල්පය කිසි විටෙක අප තුළ නොතිබිය යුතුයි.—1 තෙස. 5:1; 2 පේතෘ. 3:3, 4.

‘ඉවසිල්ලෙන් බලා සිටිමු’

19, 20. දෙවි ක්‍රියා කරන තුරු ඉවසිල්ලෙන් බලා සිටිය යුත්තේ ඇයි?

19 දෙවි ගැන දේශනාකාරයා 3:11 පවසන්නේ මෙසේයි. “ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි. ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත. එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.” මිනිසා යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පුදුමාකාර නිර්මාණ ගැනත් ඉගෙනගනිමින් සදාකාලයටම ජීවත් වෙනවා දකින්නයි දෙවි කැමති.

20 මිනිසා හා පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ වෙනස් වෙලා නැහැ! (මලා. 3:6) දෙවි ගැන බයිබලයේ මෙසේද පවසනවා. “සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.” (යාකො. 1:17) ‘සදාකාලික දෙවිට’ කාලය ගැටලුවක් නෙවෙයි. (1 තිමෝ. 1:17) එමනිසා අපට ‘ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු ඉවසිල්ලෙන් බලා සිටිමු.’ (මීකා 7:7) බයිබලයේ අපට දිරිගන්වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි, ධෛර්යවත්ව සිටින්න. කිසි දෙයකට භය නොවන්න.”—ගීතා. 31:24.

[පාදසටහන්වල]

^ 8 ඡේ. දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න නමැති පොතේ 186-195 පිටු බලන්න.

^ 9 ඡේ. දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න නමැති පොතේ 94-97 පිටු බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ පින්තූරය]

දෙවිගේ අනාවැකි ඉටු වන බව දානියෙල් විශ්වාස කළා

[21වන පිටුවේ පින්තූරය]

දෙවිගේ කැමැත්ත කිරීමට ඔබ කාලය නැණවත් ලෙස භාවිත කරනවාද?