Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

කැප වීමෙන් වැඩ කළ කෝල්පෝටර්වරු

කැප වීමෙන් වැඩ කළ කෝල්පෝටර්වරු

“මිලෙනියල් ඩෝන්” නමැති පොතේ මුල් කාණ්ඩයේ පිටපත් 100ක් සහෝදර සී. ටී. රසල් ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ සිට චිකාගෝ වෙත යැව්වා. ඔහුට ඕන වුණේ ඒවා පොත් සාප්පුවල තබා බෙදාහරින්නයි. එවකට ඇමරිකාවේ තිබූ ආගමික පොත් බෙදාහරින විශාලතම සමාගම මගින් ඒ පොත් ටික භාරගත්තා. නමුත් සති දෙකකට පසු ඔවුන් ඒ පොත් ටික නැවතත් පෙන්සිල්වේනියාවට එව්වා. මෙය සිදු වුණේ 1886දියි.

පෙනෙන විදිහට ප්‍රසිද්ධ පූජකයෙක් තමාගේ පොත්, “මිලෙනියල් ඩෝන්” නමැති පොත් සමඟ ප්‍රදර්ශනය කිරීම ගැන කෝප වී තිබෙනවා. එම පොත් ඉවත් නොකළොත් තමාගේ හා තමාට හිතවත් පූජකයන්ගේ පොත් ඔක්කොම සමාගමෙන් ඉවත් කරගන්නා බවට ඔහු තර්ජනය කළා. පාඩු විඳින්න සිදු වෙයි කියා සිතූ සමාගමේ නිලධාරීන් පොත් ටික නැවත පෙන්සිල්වේනියාවට එව්වා. ඊට අමතරව “මිලෙනියල් ඩෝන්” ගැන පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට සැලසුම් කර තිබුණත් විරුද්ධවාදීන් ඒවා පළ කිරීමට ඉඩ දුන්නේ නැහැ. එහෙමනම් ඒ පොත් බෙදාහැරියේ කොහොමද?

ඒවා බෙදාහැරියේ කැප වීමෙන් වැඩ කළ කෝල්පෝටර්වරුයි. * දේශනා කිරීමට හා පොත් පත් බෙදාහැරීමට කෝල්පෝටර්වරුන් 1,000ක් අවශ්‍යයි කියා 1881දී සයන්ස් වොච්ටවර් සඟරාවේ පළ කර තිබුණා. කෝල්පෝටර්වරුන් සිටියේ දෙතුන් සීයක් වුණත් ඔවුන් ගිය ගිය තැන පොත් පත් බෙදාහැරියා. වර්ෂ 1897 වන විට “මිලෙනියල් ඩෝන්” පිටපත් ලක්ෂ 10ක් පමණ බෙදාහැර තිබුණා. ඉන් වැඩි ප්‍රමාණයක් බෙදාහැර තිබුණේ කෝල්පෝටර්වරුන් විසිනුයි. ස්වේච්ඡාවෙන් සේවය කළ ඔවුන්ගේ වියදම් පිරිමසාගැනීම සඳහා ඔවුන්ට තමන් බෙදාහැරිය පොත් පත්වලින් සුළු ගානක් ලැබුණා.

කෝල්පෝටර්වරුන් ලෙස සේවය කළේ කවුද? පාසැල් යන යෞවන යෞවනියන්, තනිකඩයන්, දරුවන් නැති යුවළයන් වගේම පවුල් පිටින් සෑහෙන පිරිසක්ද එම සේවයේ යෙදුණා. සාමාන්‍යයෙන් කෝල්පෝටර්වරයෙක් සෑම දිනකම සේවය සඳහා පැය ගණනාවක් ගත කළා. ඊට අමතරව දවසකට පැයක් හෝ දෙකක් සේවය කළ කෝල්පෝටර්වරුනුත් සිටියා. කෝල්පෝටර්වරයෙක් වෙන්න හැකියාවක් නැහැ කියා සිතූ අයත් සිටියා. නමුත් ඒ සඳහා “විශේෂ උගත්කමක් හා හැකියාවක් තිබීම හෝ දක්ෂ කථිකයෙක් වීම අවශ්‍ය නැහැ” කියා 1906දී පැවැත්වූ සමුළුවකදී කාවැද්දුවා.

කෝල්පෝටර්වරුන් සාමාන්‍ය මිනිසුන් වුණත් ලෝකයේ කොතැනකට ගියත් අසාමාන්‍ය වැඩ කොටසක් ඉටු කළා. ඔවුන් ගිය ගිය තැන්වල සත්‍යය දේශනා කළ අතර බොහෝදෙනෙක් බයිබලය පාඩම් කරන්න කැමති වුණා. අවුරුදු හතක් ඇතුළත තමා පොත් 15,000ක් බෙදාහැරිය බව එක් සහෝදරයෙක් පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ මෙසේයි. “මම කෝල්පෝටර්වරයෙක් වුණේ පොත් විකුණන්න නෙවෙයි. යෙහෝවා දෙවි ගැනත් සත්‍යය ගැනත් සාක්ෂි දරන්නයි.”

නමුත් පූජකයන් කෝල්පෝටර්වරුන්ව සැලකුවේ පොත් වෙළෙන්දන් හැටියටයි. වර්ෂ 1892 මුරටැඹ සඟරාවේ මෙවැනි අදහසක් පළ වුණා. “කෝල්පෝටර්වරුන් අපේ ස්වාමීන්ව නියෝජනය කරන බව බොහෝදෙනෙක් දන්නෑ. ඔවුන් කරන කැප කිරීම් වගේම ඔවුන්ගේ නිහතමානි සේවය අපේ ස්වාමීන් අගය කරන බව හුඟදෙනෙක් වටහාගෙනත් නෑ.” කෝල්පෝටර්වරුන් ගත කළේ සැපපහසු ජීවිතයක් නෙවෙයි. ඔවුන් ගමන් බිමන් ගියේ පයින් හෝ පාපැදිවලිනුයි. මුදල් හිඟ අවස්ථාවේදී ඔවුන් ආහාර ලබාගත්තේ පොත් පත් දීලයි. ඔවුන් බොහෝදෙනෙක් ජීවත් වුණේ කූඩාරම්වල හෝ කුලියට ගත් කාමරවලයි. පසු කලකදී කෝල්පෝටර්වරුන්ට තමන් වෙනුවෙන්ම සකස් කළ අශ්ව කරත්ත පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා ඔවුන්ගේ කාලය හා මුදල් ඉතුරු වුණා. *

වර්ෂ 1893දී චිකාගෝහි පැවැත්වූ සමුළුවේ පටන් කෝල්පෝටර්වරුන්ගේ ප්‍රයෝජනය සඳහා වැඩසටහනේ කොටස් වෙන් කර තිබුණා. සේවයේදී ලැබුණු හොඳ අද්දැකීම්, දේශනා කිරීමේ ක්‍රම හා ප්‍රායෝගික උපදෙස් එම කොටස්වලට ඇතුළත් කර තිබුණා. සහෝදර රසල් වෙහෙස මහන්සි වී වැඩ කරන කෝල්පෝටර්වරුන්ට වරක් පැවසුවේ උදේට හොඳට කන්න, පුළුවන් නම් උදේ දහයට විතර කිරි වීදුරුවක් බොන්න, හුඟක් රස්නේ දවස්වලට සිසිල් බීමක් බොන්න කියායි.

ඒ දවස්වල තමන් සමඟ සේවයේ යෙදෙන්න කෙනෙක්ව සොයමින් සිටි කෝල්පෝටර්වරුන් ඒ බව දැන්වීමට කහපාට පටියක් අතේ බැඳගෙන සිටියා. බොහෝවිට අලුත් අය අද්දැකීම් ලත් අය සමඟ එකතු වී සේවයේ යෙදුණා. දවසක් අලුතෙන් කෝල්පෝටර් සේවයට බැඳුණු කෙනෙක් නිවැසියෙකුට මෙසේ පැවසුවා. “ඔයාට මේ පොත ඕන්නෑ නේද?” ඉන් පැහැදිලි වුණේ අලුත් අයට පුහුණුවක් අවශ්‍ය වූ බවයි. නමුත් නිවැසියා පොත කියවන්න ආශාවක් දැක්වුව නිසා පොත ගත්තා. පසුව ඇය සහෝදරියක් වුණා.

එක සහෝදරයෙක් මෙසේ ඇසුවා. “මම හොඳ රස්සාවක් කරලා හැම අවුරුද්දෙම ඩොලර් 1,000ක් සම්මාදම් කරන එකද හොඳ නැත්නම් කෝල්පෝටර්වරයෙක් වෙන එකද හොඳ?” එවිට ඔහුට ලැබුණ පිළිතුර මෙයයි. “අපේ ස්වාමීන් ඒ දෙකම අගය කරනවා. ඒත් ඔයාගේ කාලයයි ශ්‍රමයයි දුන්නොත් ඔයාට ලැබෙන ආශීර්වාද වැඩියි.” සහෝදරි මේරි හයින්ඩ්ස් පැවසුවේ “දේවසේවයෙන් වැඩි පිරිසකට ලොකු යහපතක් කරන්න මට පුළුවන් වෙයි” කියායි. ඇලබර්ටා ක්‍රොස්බී ටිකක් ලැජ්ජාශීලී සහෝදරියක්. නමුත් එයා පැවසුවේ “දේවසේවයට තියෙන ආශාව දවසින් දවස වැඩි වෙනවා කියලා මට දැනෙනවා” කියායි.

එම කෝල්පෝටර්වරුන්ගෙන් සත්‍යය ඉගෙනගත් සමහර අය වගේම කෝල්පෝටර්වරුන්ගේම දරුවන්ගෙන් සමහරෙකුත් තවමත් පුරෝගාමී සේවයේ යෙදෙනවා. ඔවුන් මෙන් ඔබත් පුරෝගාමී සේවයේ යෙදෙන්න උත්සාහ නොකරන්නේ ඇයි? ඔබත් පුරෝගාමී සේවයේ යෙදුණොත් ඒ සඳහා ඔබේ ආශාව දිනෙන් දින වැඩි වෙයි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. වර්ෂ 1931දී පූර්ණකාලීන සේවයේ යෙදුණු කෝල්පෝටර්වරුන්ව පුරෝගාමීන් ලෙස හඳුන්වන්න පටන්ගත්තා.

^ 8 ඡේ. එම වාහන ගැන වැඩි විස්තර ඉදිරි කලාපයකින් දැනගත හැකියි.

[32වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කෝල්පෝටර්වරයෙක් වෙන්න “විශේෂ උගත්කමක් හා හැකියාවක් තිබීම හෝ දක්ෂ කථිකයෙක් වීම අවශ්‍ය නැහැ”

[31වන පිටුවේ පින්තූරය]

සහෝදර ඒ. ඩබ්. ඔසේ 1930දී පමණ

[32වන පිටුවේ පින්තූර]

කෝල්පෝටර්වරුන්: (ඉහළ) එංගලන්තයේ ඊඩිත් කීන්, ගර්ටෘඩ් මොරිස් 1918දී පමණ (පහළ) එක්සත් ජනපදයේ ස්ටැන්ලි කොසබූම් සහ හෙන්රි නොංකීස් ඔවුන් බෙදාහැරිය පොත් තිබුණු හිස් පෙට්ටි සමඟ