Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

නැණවත් වයසක අය මට සෙවණක් වුණා

නැණවත් වයසක අය මට සෙවණක් වුණා

එල්වා ෂර්ඩි

දැනට අවුරුදු 70කට විතර කලින් අපේ ගෙදරට ආපු අමුත්තෙක් තාත්තට කිව්ව දෙයක් හින්දා මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිද්ධ වුණා. එදා ඉඳලා මගේ ජීවිතයට සෙවණක් වුණු මිතුරන් කීපදෙනෙක්ම හිටියා. ඒ අතරේ කිසිවෙකුට සම කරන්න බැරි හොඳ මිතුරෙකුවත් මට හම්බුණා. දැන් මං ඒ ගැන කියන්නම්.

මං ඉපදුණේ 1932දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ. මගේ අම්මයි තාත්තයි දෙවි කෙනෙක්ව විශ්වාස කළත් පල්ලි ගියේ නෑ. පුංචි කාලෙදී අම්මා කිව්වා දඟ කළොත් දෙවියන් මට දඬුවම් කරයි කියලා. ඒ හින්දා දෙවියන් ගැන මට ලොකු භයක් ඇති වුණා. හැබැයි හැම සති අන්තෙම පුංචි අම්මා එනකං මං බලාගෙන හිටියේ එයා ලස්සන බයිබල් කතන්දර මට කියලා දුන්නු හින්දයි.

මට වයස අවුරුදු 13ක් විතර වෙද්දී වයසක සාක්ෂිකාරියකගෙන් අම්මා පොත් කීපයක් අරගත්තා. තාත්තා ඒ පොත් කියෙව්වට පස්සේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න කැමති වුණා. දවසක් රෑ තාත්තා පාඩම කර කර ඉද්දි මම හොරෙන් අහගෙන හිටියා. මාව දැක්ක තාත්තා ‘යන්න ගිහින් නිදාගන්න’ කියලා කියද්දිම පාඩම පවත්තපු සහෝදරයා කිව්වා කමක් නෑ එල්වාටත් පාඩමට ඉන්න කියන්න කියලා. එදා ඉඳලයි මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිද්ධ වෙන්නත් යෙහෝවා දෙවිව මගේ හොඳම මිතුරා කරගන්නත් පටන්ගත්තේ.

වැඩි කල් යන්න කලින් තාත්තයි මායි සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඉගෙනගත්ත දේවල් නිසා තාත්තා එයාගේ ජීවිතේ වෙනස් කළා. කේන්ති යන එකත් පාලනය කරගත්තා. ඒ වෙනස දැක්ක අම්මයි අයියයි රැස්වීම් යන්න පෙලඹුණා. * අපි හතරදෙනාම උනන්දුවෙන් පාඩම් කරලා බව්තීස්ම වුණා. මගේ ජීවිතේ සමහර කාලවලදී අද්දැක්ක දේවලට මුහුණ දෙන්න කාලයක් පුරා සත්‍යයේ හිටපු වයසින් වැඩි අය මට හුඟක් උදව් කරලා තියෙනවා.

වෘත්තියක් තෝරාගැනීම

තරුණ කාලෙදී සභාවේ හිටිය මගේ යාළුවන්ගෙන් වැඩිදෙනෙක් වයසක අය. ඒ එක්කෙනෙක් තමයි අපේ ගෙදරට මුලින්ම ආව සහෝදරී ඇලිස් ප්ලේස්. එයා මට උදව් කළේ මගේම ආච්චි අම්මා වගෙයි. දේවසේවයට මාව පුහුණු කළෙත් බව්තීස්ම වෙන්න මට උනන්දු කළෙත් එයයි. ඒ නිසා වයස අවුරුදු 15දී බව්තීස්ම වෙන්න මට පුළුවන් වුණා.

පර්සි සහ මාග්‍රට් ඩනම් කියන වයසක ජෝඩුවත් මගේ හොඳ යාළුවෝ. එයාලා 1930 ගණන්වලදී මිෂනාරිවරුන් හැටියට ලැට්වියාවේ සේවය කරලා තිබුණා. දෙවෙනි ලෝක මහා යුද්දෙ පටන්ගත්ත දවස්වලම ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල බෙතෙල් නිවසේ සේවයට එයාලට ආරාධනාවක් ලැබුණා. ඒ දෙන්නා මා ගැන හුඟක් සැලකිලිමත් වුණා. හොඳ වෘත්තියක් තෝරගන්න ඒ ආශ්‍රය මට හුඟක් බලපෑවා. මං ආස කළේ ගණිත ගුරුවරියක් වෙන්න. ඒත් සේවෙදී ඒ දෙන්නා අද්දැක්ක දේවල් ගැන අහනකොට මිෂනාරිවරියක් වෙන්න මටත් ලොකු ආසාවක් ඇති වුණා. ගණිතය උගන්නනවාට වඩා ඒකෙන් මට සතුටක් ලැබෙයි කියලා මට තේරුණා.

පුරෝගාමි සේවය මිෂනාරි සේවයට හොඳ පුහුණුවක් කියලා ඩනම් යුවළ මට කිව්වා. ඒ නිසා 1948දී මම පුරෝගාමි සේවය පටන්ගත්තා. එතකොට මට වයස අවුරුදු 16යි. සිඩ්නිවල අපේ සභාවේ තවත් යෞවන පුරෝගාමීන් දහදෙනෙක් හිටියා.

අවුරුදු හතරක් මං ක්වීන්ස්ලන්ත හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල නගර හතරක පුරෝගාමි සේවයේ යෙදුණා. මම මුල්ම බයිබල් පාඩම කළේ බෙටී ලෝ එක්කයි. එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. පස්සෙ කාලෙකදී එයත් පුරෝගාමියෙක් වුණා. අපි දෙන්නා ටික කාලෙකට කවුරා නගරේ සේවය කළා. කවුරා තියෙන්නේ සිඩ්නිවල ඉඳලා කිලෝමීටර් 230ක් බටහිරට වෙන්නයි. අපි දෙන්නා තාමත් හොඳ යාළුවෝ.

මාව විශේෂ පුරෝගාමියෙක් හැටියට පත් කරලා නරෙන්ද්‍රා නගරයට යැව්වා. ඒක තියෙන්නේ කවුරා නගරේ ඉඳලා කිලෝමීටර් 220ක් ඈතින්. මගේ අලුත් පුරෝගාමි සහකාරිය වුණේ ජෝයි ලෙනොක්ස්. එයත් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. ඒ නගරයේ සාක්ෂිකරුවන්ට හිටියේ අපි දෙන්නා විතරයි. අපි නවාතැන් ගත්තේ ආගන්තුක සත්කාරයට ලැදි අයන්ස් යුවළගේ ගෙදර. රේ සහ එස්තර් අයන්ස් හා එයාලගේ පුතයි දුවලා තුන්දෙනයි සත්‍යයට ලොකු උනන්දුවක් දැක්කුවා. එයාලා කාමර කුලියට දීලා තිබුණා. අම්මයි දුවලා තුන්දෙනයි ඒ වැඩකටයුතු බලාගත්තා. තාත්තයි පුතයි ගමෙන් එපිට තිබුණ බැටළු ගොවිපොළක වැඩ කළා. හැම ඉරිදම ඒ පවුලේ අයටයි කාමරවල හිටිය අයටයි කෑම උයලා දෙන්න මටයි ජෝයිටයි පුළුවන් වුණා. එහෙම කළ නිසා අපේ ගෙවල් කුලියත් ටිකක් අඩු කළා. කෑම කාලා අස් පස් කළාට පස්සේ අපි අයන්ස් පවුලේ අයත් එක්ක මුරටැඹ පාඩම සාකච්ඡා කළා. පවුලේ හැමෝම සත්‍යයට ආවා. නරෙන්ද්‍රා සභාවේ මුල්ම සාමාජිකයන් වුණේ එයාලයි.

මම 1951දී සිඩ්නිවල පැවැත්තුව සමුළුවකට සහභාගි වුණා. ඒකෙදී මිෂනාරි සේවයට ඉල්ලුම් කරන්න කැමති පුරෝගාමීන්ට විශේෂ රැස්වීමක් පැවැත්තුවා. ඒකට 300කට වඩා වැඩිදෙනෙක් සහභාගි වුණා. ලොව පුරා අස්සක් මුල්ලක් නෑර ඉක්මනින්ම දේශනා කරන්න අත්‍යවශ්‍යයි කියලා සහෝදර නේදන් නෝර් රැස් වෙලා හිටිය හැමෝටම කාවැද්දුවා. එයා කියපු දේවල් අපි අහං හිටියේ පුදුම ආසාවකින්. එදා හිටපු අයගෙන් හුඟදෙනෙක් පැසිෆික් දූපත්වලත් වෙන දිහාවලත් සේවය ආරම්භ කළා. ඒත් 1952දී ගිලියද් පාසැලේ 19වෙනි පන්තියට සහභාගි වෙන්න කියලා 17දෙනෙකුට ආරාධනා කළා. මමත් ඉන් එක්කෙනෙක්. වයස අවුරුදු 20දී මගේ ඒ සිහිනය සැබෑ වුණා.

ආකල්ප හදාගත්තා

ගිලියද් පාසැලේදී ලැබුණ උපදෙසුයි ආශ්‍රයයි නිසා බයිබලය ගැන මගේ දැනුමත් දෙවි කෙරෙහි තිබුණු විශ්වාසයත් වැඩි වුණා. මම හිතන විදිහ වෙනස් කරගන්නත් පාසැල ගොඩක් උදව් වුණා. තරුණ කාලේ මට ඕන වුණේ හැම දෙයක්ම මට ඕන විදිහට කරන්නයි. අකුරටම කරන්නයි. ඒ විදිහටම අනිත් අයත් කරන්න ඕන කියලා මං බලාපොරොත්තු වුණා. ඒ නිසා වැරදි නැති සමහර දේවල් පවා වැරදියි කියලා හිතපු අවස්ථාත් තිබුණා. උදාහරණෙකට, දවසක් සහෝදර නෝර් තරුණ බෙතෙල් සේවකයන් එක්ක සෙල්ලම් කරනවා දැකලා මාව උඩ ගියා! මම හිතුවෙ ඒක සුදුසු දෙයක් නෙමේ කියලා.

ගිලියද් පාසැලේ ඉගැන්නුවේ අද්දැකීම් බහුල වයසින් වැඩි සහෝදරයන්. ඒ අය තේරුම්ගත්තා මං මගේ ආකල්ප වෙනස් කරගන්න ඕනෙ කියලා. එයාලා ගොඩක් ආදරෙන් මට උදව් කළා. යෙහෝවා කියන්නේ ආදරණීය තාත්තා කෙනෙක් මිසක් දරදඬු කෙනෙක් නෙවෙයි කියලා තේරුම් කරලා දුන්නා. පාසැලේ හිටපු අනික් සහෝදර සහෝදරියනුත් මට හුඟක් උදව් කළා. දවසක් සහෝදරියක් මට මෙහෙම කිව්වා. “එල්වා, යෙහෝවා දෙවි අපිට කසේකින් තලන්න බලං ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ හින්දා හැම දේම අකුරටම කරන්න ඕනේ කියලා හිතන්න එපා.” එයා කියපු දේ මගේ හිතට ගොඩක් කාවැදුණා.

ගිලියද් පාසැලෙන් පස්සේ මටයි තව හතරදෙනෙකුටයි අප්‍රිකාවේ නැමීබියාවේ මිෂනාරි සේවයට පැවරුමක් ලැබුණා. වැඩි කල් යන්න කලින් අපි හතරදෙනාට බයිබල් පාඩම් 80ක් විතර හම්බුණා. මං මිෂනාරි සේවය කළේ ගොඩක් ආසාවෙන්. ඒත් ඒ වෙනකොට ගිලියද් පාසැලේදී මුණගැහුණ සහෝදරයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගෙනයි තිබුණේ. එයාට පැවරුම ලැබිලා තිබුණේ ස්විට්සර්ලන්තයටයි. ඒ නිසා අවුරුද්දකට පස්සේ මම ස්විට්සර්ලන්තයට ගිහින් එයත් එක්ක විවාහ වුණා. ඊටපස්සේ මගේ ස්වාමිපුරුෂයාට චාරිකා සේවකයෙක් හැටියට පැවරුමක් ලැබුණා.

කටුක අද්දැකීමක්

අපි සතුටින් අවුරුදු පහක් චාරිකා සේවය කළා. ඊටපස්සේ අපිට ස්විට්සර්ලන්තයේ බෙතෙල් සේවයට එන්න කිව්වා. බෙතෙල් එකේදී අද්දැකීම් බහුල වයසක සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ව ආශ්‍රය කරන්න ලැබුණ එක ලොකු සතුටක්.

බෙතෙල් එකට ඇවිත් වැඩි කල් යන්න කලින් මගේ සැමියා වෙන කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව මං දැනගත්තා. ඊටපස්සේ එයා මාවත් යෙහෝවා දෙවිවත් අත් ඇරලා ගියා. ඒ කටුක අද්දැකීම දරාගන්න පුළුවන් වුණේ බෙතෙල් එකේ හිටිය වයසක සහෝදර සහෝදරියන් දුන්න උපකාරය නිසයි. මගේ හිතේ තියෙන වේදනාව ගැන කියපු ඕන වෙලාවක එයාලා මට ඇහුම්කන් දුන්නා. අනිත් අතට, තනියම ඉන්න ඕන වෙලාවට තනියම ඉන්නත් විවේක ගන්න ඕන වෙලාවට විවේක ගන්නත් මට ඉඩහැරියා. ඒ කාලෙදී මං යෙහෝවා දෙවිටත් හුඟක් ළං වුණා.

විවිධ පීඩාවලට මුහුණ දීලා ඒවායින් පන්නරයක් ලබපු අය කිව්ව දේවල් මට ලොකු සහනයක් වුණා. දවසක් මාග්‍රට් මෙහෙම දෙයක් කිව්වා මට තාම මතකයි. “එල්වා, ඔයා යෙහෝවා දෙවිට සේවය කරද්දී හුඟක් පීඩා එයි. හැබැයි දරාගන්න අමාරුම පීඩා එන්නේ පවුලේ අයගෙන්. ඒ වෙලාවලදී යෙහෝවාට තවත් ළං වෙන්න. ඔයා සේවය කරන්නේ දෙවිට මිසක් මිනිස්සුන්ට නෙවෙයි කියලා මතක තියාගන්න.” ඒ උපදෙස් මට මොන තරම් හයියක් වුණාද! ඒ නිසා මාව දෙවිගෙන් ඈත් කරන්න සැමියාගේ වැරදි හේතුවක් කරගන්නේ නැහැ කියලා මම අධිෂ්ඨාන කරගත්තා.

මගේ පවුලෙ අය ඕස්ට්‍රේලියාවේ හිටපු නිසා මම තීරණය කළා එහෙ ගිහින් පුරෝගාමි සේවය කරන්න. මම නැවෙන් යන අතරමඟදි විවිධ අය එක්ක බයිබලේ ගැන කතා කළා. ඒ අය අතර නෝර්වේ ජාතික ආනි ෂර්ඩි කියලා කෙනෙකුත් හිටියා. එයා හරිම නිහඬ කෙනෙක්. නමුත් එයාට බයිබලය ගැන ඉගෙනගන්න ලොකු ආසාවක් තිබුණා. මං ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ එයා අපේ ගෙදරත් ආවා. එයා ඉක්මනටම සාක්ෂිකාරයෙක් වුණා. අපි 1963දී විවාහ වුණා. අවුරුදු දෙකකට පස්සේ අපිට පුතෙක් හම්බුණා. පුතාගේ නම ගැරි.

තවත් කටුක දෙයක්

අපි තුන්දෙනා ජීවත් වුණේ ගොඩක් සතුටෙන්. ටික කාලෙකට පස්සේ මගේ අම්මයි තාත්තයි අපිත් එක්ක පදිංචියට ආවා. හැබැයි අපි බැඳලා අවුරුදු හයකට පස්සේ තවත් කටුක දේකට මූණ දුන්නා. ආනිගේ මොළේ පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තා. මොනවා කරන්නද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. කාලයක් පුරා එයාට කිරණ චිකිත්සාව ලබාගන්න සිදු වුණ නිසා එයාව බලන්න මම හැමදාම ඉස්පිරිතාලෙට ගියා. ප්‍රතිකාර නිසා යම් සුවයක් ලැබුවත් ආයෙත් තත්වෙ නරක අතට හැරුණා. ඊට පස්සේ එයාට අංශභාගෙ හැදුණා. දොස්තරලා කිව්වේ එයා සති කීපයකට වඩා ඉන්නැහැ කියලයි. ඒත් ආනිට එහෙම වුණේ නැහැ. එයාට ගෙදර එන්න පුළුවන් වුණා. මම ගෙදර ඉඳන් එයාට සාත්තු සප්පායම් කළා. කල් යද්දී එයාට ඇවිදින්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි ආයෙත් සභාවේ වැඩිමහල්ලෙක් විදිහට වැඩ කරන්න අවස්ථාවත් ලැබුණා. එයා ලෙඩේ ගැන හිත හිතා දුක් වුණු කෙනෙක් නෙවෙයි. නිතරම හිටියේ සතුටින්. ඉක්මනින් සුව වෙන්න ඒක හේතුවක් වුණා. ඒ වගේම සාත්තු කරන්නත් මට ලේසි වුණා.

කාලයක් හොඳට හිටියත් 1986දී ආනිගේ රෝගය දරුණු වුණා. ඒ වෙද්දී මගේ අම්මයි තාත්තයි මිය ගිහින්. ඒ නිසා අපි සිඩ්නිවලින් එපිට තිබුණු බ්ලූ මවුන්ටන් කියන ලස්සන කඳුකර ප්‍රදේශයක පදිංචියට ගියා. එහෙ අපේ යාළුවෝ හුඟදෙනෙක් හිටියා. එහෙදී අපේ පුතා කැරන් එක්ක විවාහ වුණා. එයා හොඳ සහෝදරියක්. ගැරි කැමති වුණා ආනියි මමයි එයාලා එක්ක පදිංචි වෙනවට. ඒ නිසා අපි ආයෙත් පදිංචිය මාරු කරලා පුතාලගේ ගෙදරට ගියා.

ආනිගේ ජීවිතේ අන්තිම අවුරුදු එකහමාරේදී එයා ඇඳටම වුණා. එයාගේ වැඩකටයුතු ඔක්කොම කළේ මමයි. මට ගෙදරටම වෙලා ඉන්න වුණ නිසා මට පුළුවන් වුණා දවසට පැය දෙකක් විතර බයිබලයයි අපේ පොත් පතුයි අධ්‍යයනය කරන්න. ඒ නිසා මං වින්ද තත්වයට හොඳින් මුහුණ දෙන්න ගොඩක් තොරතුරු ලැබුණා. ඊට අමතරව සභාවේ හිටපු වයසක අයත් මාව බලන්න ආවා. එයාලගෙන් සමහර අයත් ඒ තත්වෙට මුහුණ දීලා තිබුණු නිසා ඒ අයගෙන් මට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. වර්ෂ 2003 අප්‍රියෙල් මාසෙදි ආනි මිය ගියා. ආනි දිගටම දෙවිට විශ්වාසවන්තව හිටපු නිසා එයා නැවත නැඟිටියි කියලා මට විශ්වාසයි.

මාව ඉසිලූ තැනැත්තා

ජීවිත කාලය පුරා මං ගොඩාක් කටුක දේවලට මුහුණ දුන්නා. තරුණ කාලෙ මං හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ වගේ දේවලට මුහුණ දෙන්න වෙයි කියලා. කලින් පුරුෂයා මාව දාලා ගියා. දෙවෙනි පුරුෂයා අසනීපෙන් මිය ගියා. නමුත් ඒ කාලය තුළ මම ආශීර්වාද හුඟක් භුක්ති වින්දා. වැඩිහිටි අය මට සැනසිල්ල වගේම මඟ පෙන්වීමත් ලබා දුන්නා. නමුත් වැඩියෙන්ම මට මඟ පෙන්වීම් ලැබුණේ මේ සියල්ලේදී මාව ඉසිලූ “පුරාතන තැනැත්තා” වන යෙහෝවා දෙවිගෙනුයි. (දානි. 7:9) මගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න විතරක් නෙවෙයි මිෂනාරි සේවයෙන් විශාල ප්‍රීතියක් ලබන්නත් ඔහු මට උපකාර කළා. කටුක අවස්ථාවලදී ‘දෙවි මට වැටෙන්න ඉඩ දුන්නේ නෑ. ඔහුගේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් වුණා.’ (ගීතා. 94:18, 19) ඊට අමතරව පවුලේ අයගෙත් ‘විපතේදී උපකාර කරන සැබෑ මිතුරන්ගෙත්’ ආදරය හා සහයෝගය මට ලොකු අස්වැසිල්ලක් වුණා. (හිතෝ. 17:17) ඒ මිතුරන්ගෙන් බොහෝදෙනෙක් දෙවිට ආදරේ කළ නැණවත් වයසක අයයි.

“වයසින් මුහුකුරා ගිය අය ප්‍රඥාව අත් කරගෙන සිටිනවා නොවේද? බොහෝ කල් ජීවත් වූ විට තේරුම්ගැනීමේ හැකියාව තියුණු වන්නේ නැද්ද” කියා යෝබ් කියපු දේ ඇත්තක් බව මගේ අද්දැකීම්වලින් කියන්න පුළුවන්. (යෝබ් 12:12) වයසක අය මට පෙන්නපු සැලකිල්ලත්, දුන්න උපදෙස් වගේම ඔවුන්ගේ මිත්‍රත්වයත් මම හුඟක් අගය කරනවා. ඒ අයගේ අද්දැකීම් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

මාත් දැන් මහලු කෙනෙක්. මට දැන් අවුරුදු 80ක්. තරුණ කාලෙ ඉඳලම වයසක අයව ආශ්‍රය කරපු නිසා එයාලගේ තත්වෙ හොඳින් තේරුම්ගන්න මට පුළුවන්. මම තවමත් ආසයි මහලු අයව මුණගැහිලා එයාලට උදව් කරන්න. ඒත් තරුණ අය එක්ක කාලෙ ගත කරන්නත් මං හරි කැමතියි. එයාලගේ තරුණ ජවය වගේම උද්‍යෝගය දැක්කාම මටත් ප්‍රාණවත් බවක් දැනෙනවා. ඒ වගේම මගේ උපදෙස්, මගේ සහයෝගය පතනකොට එයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම කරන්නත් මට ලොකු ආශාවකුත් ඇති වෙනවා.

[පාදසටහන]

^ 7 ඡේ. එල්වගේ අයියා වූ ෆ්‍රෑන්ක් ලැම්බර්ට් ඕස්ට්‍රේලියාවේ දුෂ්කර පළාත්වල පුරෝගාමි සේවය කළා. ඔහුගේ අද්දැකීමක් 1983 Yearbook of Jehovah’s Witnesses පොතේ 110-112 පිටුවල තිබෙනවා.

[14වන පිටුවේ පින්තූරය]

නරෙන්ද්‍රා නගරයේ ජෝයි ලෙනොක්ස් එක්ක පුරෝගාමි සේවය කරමින්

[15වන පිටුවේ පින්තූරය]

ස්විට්සර්ලන්තයේ බෙතෙල් සේවකයන් කීපදෙනෙක් එක්ක 1960දී

[16වන පිටුවේ පින්තූරය]

ආනි අසනීපෙන් ඉද්දී මං එයාට සාත්තු කළා