පරිසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න
පරිසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න
යේසුස් පරිසිවරුන් ගැන මෙසේ අනතුරු ඇඟෙව්වා. “පරිසිවරුන්ගේ කුහකකම්වලින් පරෙස්සම් වන්න. එය හරියට මුහුන් වගෙයි.” (ලූක් 12:1) යේසුස් ඉන් අදහස් කළේ පරිසිවරුන්ගේ ‘ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම’ ගැනයි.—මතෙ. 16:12.
කෙනෙකුට නරක බලපෑමක් ඇති කරන දෙයක් බොහෝවිට බයිබලයේ විස්තර කරන්නේ “මුහුන්” ලෙසයි. පරිසිවරුන්ගේ ඉගැන්වීම් හා ආකල්ප එදා සිටි මිනිසුන්ට හොඳ බලපෑමක් වුණේ නැහැ. ඔවුන්ගේ ඉගැන්වීම්වල තිබූ භයානකකම මොකක්ද?
1 තමන් අනික් අයට වඩා හොඳයි කියා සිතූ පරිසිවරු ජනයාට සැලකුවේ පහත් විදිහටයි.
පරිසිවරුන්ගේ උඩඟුකමේ තරම යේසුස් උපමාවකින් පෙන්නුවා. පරිසිවරයෙක් මෙසේ යාච්ඤා කළා. ‘දෙවියනි, අන් අය වගේ මම පව්කාරයෙක් නොවෙයි. මේ බදු එකතු කරන්නාට වඩා මම කොතරම් වෙනස්ද! මම කවදාවත් අන් අයගේ දේවල් අයුතු ලෙස ගන්නේ නැහැ. අධර්මිෂ්ඨකම් කරන්නේ නැහැ. අනාචාරයේ යෙදිලා නැහැ. මම සතියට දෙවතාවක් නිරාහාරව සිටිනවා. දහයෙන් කොටස අනිවාර්යයෙන්ම දෙනවා.’ නමුත් ඔහුට තරමක් දුරින් සිටි බදු එකතු කරන්නා අහස දෙස බලන්නවත් අකමැතිව තම පපුවට ගසාගනිමින් පැවසුවේ, ‘අනේ දෙවියනි, පව්කාරයෙක් වන මට අනුකම්පා කරන්න’ කියායි.—ලූක් 18:11-13.
යේසුස් බදු එකතු කරන්නාගේ නිහතමානිකම අගය කළා. ඔහු පැවසුවේ මෙසේයි. ‘මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට බව මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.’ (ලූක් 18:14) එදා බදු එකතු කරන්නන්ව සැලකුවේ වංක අය ලෙස වුණත් ඔවුන්ට පවා උදව් කරන්න යේසුස් කැමති වුණා. ඔහුගේ අනුගාමිකයන් වූ මතෙව් හා සකෙවුස් කලින් බදු එකතු කළ අයයි.
අන් අයට නැති සහජ හැකියාවන් සමහරවිට අපිට ඇති. දෙවිගේ සංවිධානයෙන් බොහෝ වගකීම්ද ලැබී ඇති. අනික් අය තරම් අපි වැරදි කරන්නෙත් නැතුව ඇති. එම හේතු නිසා අපි අනික් අයට වඩා උසස් කියා සිතෙනවා නම් කළ යුත්තේ මොකක්ද? එවැනි සිතුවිල්ලක් ඇති වූ වහාම එය ඉවත් කරගත යුතුයි. එසේ සිතීම ප්‍රේමණීය නැහැ. ප්‍රේමණීය කෙනෙක් ක්‍රියා කරන්නේ ඉවසීමෙන් හා කරුණාවෙන්. එවැනි කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේවත් තමා ගැන පුරසාරම් දොඩන්නේවත් නැහැ. අහංකාර නැහැ. තමාගේම වාසිය සොයන්නේ නැහැ. තව කෙනෙක් වරදක් කළොත් ඒ ගැන සතුටු වෙන්නෙත් නැහැ.—1 කොරි. 13:4-6.
පාවුල් පැවසුවේ මෙසේයි. ‘යේසුස් මෙලොවට ආවේ පව්කාරයන්ව ගලවාගන්නයි. ඒ පව්කාරයන් අතරින් ප්‍රධානතම පව්කාරයා මමයි.’ (1 තිමෝ. 1:15) අපිත් පාවුල් මෙන් හිතන්න පුරුදු විය යුතුයි.
මේ ගැන ගැඹුරින් සිතන්න.
මම පව්කාරයෙක්, මට ගැලවීම ලැබෙන්නේ දෙවිගේ මහත් කරුණාව නිසා කියා මම තේරුම් අරන් තියෙනවාද? එහෙම නැත්නම් කාලයක් පුරා සත්‍යයේ සිටින නිසා හෝ ගොඩක් වගකීම් දරන නිසා හෝ යම් හැකියාවන් තියෙන නිසා හෝ මම අනික් අයට වඩා උසස් කියා සිතනවාද?
2 ප්‍රසිද්ධියටත් තනතුරුවලටත් කැමති වූ පරිසිවරුන් හැම දෙයක්ම කළේ අනික් අයට පෙනෙන්නයි.
යේසුස් පරිසිවරුන් ගැන මෙසේ කිව්වා. “ඔවුන් සෑම දෙයක්ම කරන්නේ මිනිසුන්ට පෙනෙන්නයි. ඔවුන් තම ආරක්ෂාවට කුඩා පෙට්ටි සාදා ශුද්ධ ලියවිල්ලේ කොටස් ඒවාට දමා ඒවා තම නළල්වල පළඳිනවා. ඒ විතරක් නොවෙයි, ඔවුන් ඒ පෙට්ටි තව තවත් විශාල කරනවා. ඔවුන් තම වස්ත්‍රවල වාටි තවත් පළල් කරනවා. සන්ධ්‍යා භෝජනවලදී ප්‍රධානතම ස්ථානයටත් සිනගෝගවලදී ඉදිරි ආසනවල අසුන්ගන්නත් ඔවුන් කැමතියි. වෙළඳපොළවලදී ඔවුන්ව ගෞරවයෙන් පිළිගන්නවාටත් මිනිසුන් ඔවුන්ට රබ්බි කියා අමතනවාටත් ඔවුන් කැමතියි.” (මතෙ. 23:5-7) නමුත් යේසුස් පරිසිවරුන්ට වඩා හුඟක් වෙනස්. ඔහු හරිම නිහතමානියි. දවසක් කෙනෙක් යේසුස්ව යහපත් ගුරුතුමනි කියා ඇමතූ විට යේසුස් ඔහුට මෙසේ කිව්වා. “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි? යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.” (මාක් 10:18) තවත් අවස්ථාවකදී යේසුස් තම ගෝලයන්ගේ පාද සේදුවා. යේසුස් තම ගෝලයන්ට තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද!—යොහ. 13:1-15.
යේසුස්ගේ ගෝලයන් වෙහෙස මහන්සි වී ප්‍රේමණීයව එකිනෙකා වෙනුවෙන් සේවය කරනවා. (ගලා. 5:13) විශේෂයෙන්ම වැඩිමහල්ලන් එසේ කළ යුතුයි. යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට කැමති නම් ඒක හොඳ දෙයක්. නමුත් ඔහු එසේ කළ යුතු වන්නේ අන් අයට සේවය කරන්න මිස තනතුරක් ගන්න හෝ අධිකාරියක් හොබවන්න නොවෙයි. ඔවුන් යේසුස් මෙන් නිහතමානී වෙන්න අවශ්‍යයි.—1 තිමෝ. 3:1, 6; මතෙ. 11:29.
මේ ගැන ගැඹුරින් සිතන්න.
වැඩිපුර වගකීම් ලැබෙයි යන බලාපොරොත්තුවෙන් මම සභාවේ වගකීම් දරන අයට අනිත් අයට වඩා විශේෂ සැලකිල්ලක් දක්වනවාද? සභාවේ කැපිලා පේන වැඩ විතරද මම කරන්න කැමති? හැම වෙලාවෙම මම අනිත් අයට වැඩිය දක්ෂයි කියලා පෙන්නන්න උත්සාහ කරනවාද?
3 පරිසිවරු දැඩි නීති රීති පැනෙවූ නිසා දෙවිට සේවය කරන්න ජනයාට අමාරු වුණා.
දෙවි මෝසෙස් මගින් ඊශ්‍රායෙල්වරුන්ට නමස්කාරය සඳහා මඟ පෙන්වීම් දුන්නත් නීති මගින් ඔවුන්ගේ ජීවිතේ හැම දෙයක්ම පාලනය කරන්න උත්සාහ කළේ නැහැ. උදාහරණයකට සබත් දවසේ වැඩ කරන්න එපා කියලා නීතියක් දුන්නත් කළ යුතු හා නොකළ යුතු හැම දෙයක් ගැනම ලැයිස්තුවක් දුන්නේ නැහැ. (නික්. 20:10) පරිසිවරු සිතුවේ දෙවි ප්‍රමාණවත් නීති රීති දීලා නැහැ කියායි. ඒ නිසා ඔවුන් හිතේ හැටියට නීති එකතු කළා. දෙවි දුන් නීතියට යේසුස් කීකරු වුණත් පරිසිවරුන් එකතු කළ නීතිවලට ඔහු කීකරු වුණේ නැහැ. (මතෙ. 5:17, 18; 23:23) දෙවි ඊශ්‍රායෙල්වරුන්ට නීතියක් දුන්නේ මොන හේතුව නිසාද කියා යේසුස් වටහාගෙන සිටියා. එමෙන්ම මිනිසුන් එකිනෙකාට දයාව හා කරුණාව පෙන්වයි කියා දෙවි බලාපොරොත්තු වන බවත් යේසුස් දැන සිටියා. ඒ නිසා යේසුස් දැඩි ලෙස ක්‍රියා කළේ නැහැ. උදාහරණයකට ඔහු අන්තිම රාත්‍රියේදී අවදිව ඉන්න කියා තම ගෝලයන්ට පැවසුවත් ඔවුන් එසේ නොසිටි අවස්ථාවේදී දැඩි ලෙස ක්‍රියා නොකර ඔවුන්ට දයාව පෙන්නුවා. නමුත් යේසුස් කාරුණිකව මෙසේ පැවසුවා. “[හරි දේ කිරීමට] සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.”—මාක් 14:34-42.
මේ ගැන ගැඹුරින් සිතන්න.
මම හුඟක් දැඩි කෙනෙක්ද? මම හිතුමතේට නීති දානවාද? ඒ නීතිවලට අනුව ක්‍රියා කරන්න කියා අනිත් අයට බල කරනවාද? ඔවුන්ට කරන්න බැරි දේවල් මම ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවාද?
යේසුස් ඉගැන්වූ දේවල් හා පරිසිවරුන් ඉගැන්වූ දේවල් අතර තිබෙන වෙනස ගැන කල්පනා කර බලන්න. යේසුස්ව අනුකරණය කිරීමට ඔබ දියුණු කරගත යුතු පැති තිබෙනවාද? ඒවා දියුණු කරගැනීමට දැඩි අධිෂ්ඨානයක් ගන්න.
[28වන පිටුවේ පින්තූරය]
පරිසිවරු කුඩා පෙට්ටි සාදා ශුද්ධ ලියවිල්ලේ කොටස් ඒවාට දමා ඒවා තම නළල්වල පැළඳගත්තා.—මතෙ. 23:2, 5.
[29වන පිටුවේ පින්තූර]
උඩඟු පරිසිවරුන් මෙන් නොව වැඩිමහල්ලන් නිහතමානීව අන් අයට සේවය කරනවා
[30වන පිටුවේ පින්තූරය]
යේසුස් මෙන් අන් අයගෙන් බලාපොරොත්තු වන දේ ගැන ඔබත් සාධාරණද?