Skip to content

පටුනට යන්න

බිඳුණු බැඳීම ශක්තිමත් කරගන්න

බිඳුණු බැඳීම ශක්තිමත් කරගන්න

බිඳුණු බැඳීම ශක්තිමත් කරගන්න

‘විවාහක අයට උපදෙස් කිහිපයක් දීමට කැමැත්තෙමි. නමුත් මෙම උපදෙස් සැලකිය යුත්තේ මගෙන් නොව ස්වාමීන්ගෙන් ලැබුණු ඒවා ලෙසය.’—1 කොරි. 7:10.

ඔබට විස්තර කළ හැකිද?

දෙවි දෙදෙනෙකුව එක් කරනවා යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද?

විවාහ ගැටලු විසඳාගැනීමට වැඩිමහල්ලන්ගෙන් මොන වගේ උපකාර ලබාගන්න පුළුවන්ද?

අපි විවාහ බැඳීම සැලකිය යුත්තේ කොහොමද?

1. දෙවිගේ සේවකයන් විවාහය සැලකිය යුත්තේ කොහොමද? ඔවුන් එසේ සලකන්නේ ඇයි?

විවාහයේ නිර්මාතෘ යෙහෝවා දෙවි නිසා දෙදෙනෙකුව ‘එක් කරන්නේ’ ඔහුයි. (මාක් 10:9) විවාහය බැරෑරුම් වගකීමක්. දෙවිගේ සේවකයන් විවාහ වෙද්දී ඔවුන් පොරොන්දු දෙන්නේ දෙවි ඉදිරියෙයි. (දේශ. 5:4-6) දෙදෙනෙක් විවාහ වන විට ඔවුන් කුමන රටක කුමන ආගමක සිටියත් එම විවාහ බැඳීම දෙවි සලකන්නේ බැරෑරුම් දෙයක් ලෙසයි.

2. මේ ලිපියෙන් අපි සලකා බලන්නේ මොන ප්‍රශ්නද?

2 සාර්ථක විවාහයකින් යුවළකට මහත් සතුටක් ලැබෙයි. නමුත් යුග දිවියේ සතුට නැත්නම් කරන්න පුළුවන් මොනවාද? දෙදරා ගිය බැඳීමක් නැවත ගොඩගන්න පුළුවන්ද? දෙදෙනා අතර සමඟිය ඇති කරගන්න උපකාර ලබාගන්න පුළුවන් කොහෙන්ද?

සතුට රඳන්නේ ඔබේ තීරණය මතයි

3, 4. විවාහ වන කෙනාව තේරීමේදී අනුවණ තීරණයක් ගත්තොත් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද?

3 සාර්ථක යුග දිවියක් ගත කරන යුවළක් සැබෑ සතුටක් ලබනවා වගේම දෙවිටත් ගෞරවයක් ගෙනෙනවා. නමුත් විවාහය අසාර්ථක නම් දෙදෙනාටම එය ඉමහත් වේදනාවක්. විවාහ වීමට බලාපොරොත්තු වන අය දෙවි දී ඇති මඟ පෙන්වීම් පිළිපදිනවා නම් සාර්ථක යුග දිවියකට පා තබන්න ඔවුන්ට හැකියි. නමුත් විවාහ වන පුද්ගලයා සම්බන්ධයෙන් වැරදි තේරීමක් කළොත් දුක සහ සිත් වේදනා විඳින්න සිදු වෙයි. උදාහරණයකට සමහර තරුණ තරුණියන් විවාහයේ බැරෑරුම්කම වටහා නොගෙන ප්‍රේම සම්බන්ධකම්වල පැටලෙනවා. තවත් සමහර අය අන්තර්ජාලය හරහා කෙනෙක්ව තෝරාගෙන කඩිමුඩියේ විවාහ වෙනවා. නමුත් පසුව ඒ ගැන පසුතැවෙනවා. වෙනත් අය විවාහයට පෙර ඇසුරේදී ඉතා නොහොබිනා ක්‍රියාවල යෙදෙනවා. ඒ දෙදෙනා විවාහ වුණත් එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය හා විශ්වාසය ගිලිහී යනවා.

4 විවාහ වන කෙනා “අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි” කියා බයිබලයේ පවසනවා. (1 කොරි. 7:39) නමුත් සමහර අය දෙවිට අකීකරු වී දෙවිට නමස්කාර නොකරන අයව විවාහ කරගෙන විවිධ අසීරුතාවලට මුහුණ දෙනවා. ඔබ එවැනි කෙනෙක් නම් යාච්ඤා කර දෙවිගෙන් සමාව ඉල්ලන්න. ඔහුගේ උපකාර පතන්න. ඔබේ තීරණය නිසා ඇති වන ප්‍රතිඵල දෙවි ඉවත් කරන්නේ නැහැ. නමුත් ඔබ අවංකව වරද පිළිගන්නවා නම් ඒ තත්වයට මුහුණ දෙන්න දෙවි ඔබට ශක්තිය ලබා දෙයි. (ගීතා. 130:1-4) ඒ නිසා දෙවිව සතුටු කිරීම සඳහා ඔබට කළ හැකි හැම දෙයක්ම කරන්න. එවිට “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය” දුක දරාගන්න ඔබට ශක්තියක් වෙයි.—නෙහෙ. 8:10.

වැරදුණේ කොතැනද?

5. යුග දිවිය තුළ සතුට අද්දකින්නේ නැති වුණත් කොහොම සිතීමෙන් වැළකිය යුතුද?

5 ‘තවත් මෙහෙම ඉඳලා වැඩක් තියෙනවාද?’ ‘මීට වඩා හොඳයි වෙන කෙනෙක්ව බඳින්න තියෙනවා නම්!’ ‘දික්කසාද වෙලා මෙයාගෙන් නිදහස් වෙන්න තියෙනවා නම්!’ ‘බයිබලයට එකඟව දික්කසාද වෙන්න බැරි වුණත් අඩුම ගානෙ වෙන් වෙලා හරි ඉන්න තියෙනවා නම්!’ යුග දිවියේ සතුට අද්දකින්නේ නැති කෙනෙකුට එසේ සිතෙන්න ඉඩ තිබෙනවා. නමුත් එහෙම සිතන එක වැරදියි. ඒ වෙනුවට දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව දේවල් කරමින් ඔබ සිටින තත්වයට මුහුණ දෙන්න උපරිම වෑයමක් දරන්න.

6. මතෙව් 19:9හි යේසුස් පැවසූ දේ විස්තර කරන්න.

6 ක්‍රිස්තියානියෙක් නීත්‍යනුකූලව දික්කසාද වූ පමණින් නැවත විවාහ වීමට නිදහස නැති බව මතක තබාගන්න. ඊට හේතුව දික්කසාදය පිළිබඳව යේසුස් මෙසේ පැවසීමයි. “වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙන බවයි.” (මතෙ. 19:9) ‘වේශ්‍යාකම’ යන්නට අනාචාරය හා වෙනත් බරපතළ ලිංගික ක්‍රියාවන් ඇතුළත්. සැමියා හෝ බිරිඳ වේශ්‍යාකමක් කර නැත්නම් දික්කසාද වීමට හෝ වෙන් වීමට ඉක්මන් නොවී දෙවිගේ උපකාර පැතීම සුදුසුයි.

7. සාක්ෂිකාර යුවළක් තම විවාහය රැකගන්න උත්සාහ කරන්නේ නැත්නම් අන් අය මොනවා හිතයිද?

7 විවාහය අසාර්ථක නම් ඉන් අදහස් කරන්නේ එක් කෙනෙකුට හෝ සමහරවිට දෙදෙනාටම දෙවි සමඟ තිබෙන බැඳීම අඩු වී ඇති බවයි. පාවුල් මෙවැනි බැරෑරුම් ප්‍රශ්නයක් ඇසුවා. “ඇත්තටම තමාගේම නිවසේ සිටින අයව රැකබලා ගන්න යමෙකු දන්නේ නැත්නම් ඔහු දෙවිගේ සභාව රැකබලා ගන්නේ කෙසේද?” (1 තිමෝ. 3:5) සාක්ෂිකාර යුවළක් තම යුග දිවිය රැකගන්න උත්සාහ කරන්නේ නැත්නම් ‘එයාලා කියන්නේ එකක් හැබැයි කරන්නේ තව එකක්’ කියා එය දකින අනික් අය සිතන්න ඉඩ තිබෙනවා.—රෝම 2:21-24.

8. යුවළක් වෙන් වීමට හෝ දික්කසාද වීමට තීරණය කරනවා නම් ඉන් අදහස් කරන්නේ මොකක්ද?

8 බයිබල් පදනමක් නැතුව සාක්ෂිකාර යුවළක් වෙන් වීමට හෝ දික්කසාද වීමට තීරණය කරනවා නම් ඉන් අදහස් කරන්නේ ඔවුන්ගෙන් එක් කෙනෙක් එහෙම නැත්නම් දෙදෙනාම විවාහයේ නිර්මාතෘ දෙන බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන නැති බවයි. නමුත් ඔවුන් ප්‍රතිපත්ති අදාළ කරගෙන ‘දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබනවා නම්’ බිඳී ගිය බැඳීම නැවත ශක්තිමත් කරගන්න බොහෝවිට ඔවුන්ට හැකි වෙනවා.—හිතෝපදේශ 3:5, 6 කියවන්න.

9. අසීරුතා මැද වුණත් වෙන් නොවී ඉන්න තීරණය කළ යුවළයන් ලබා ඇති ආශීර්වාද මොනවාද?

9 විවාහ ජීවිතයේ මොන අසීරුතා තිබුණත් වෙන් නොවී ඉන්න සමහර අය තීරණය කරනවා. බොහෝවිට එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ විවාහය බේරගන්න ඔවුන්ට හැකි වීමයි. උදාහරණයකට සැමියා සත්‍යයේ නැති විට බිරිඳට කළ හැකි දේ ගැන පේතෘස් මෙසේ කිව්වා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත.” (1 පේතෘ. 3:1, 2) සත්‍යයේ සිටින බිරිඳගේ යහපත් හැසිරීම නිසා සැමියා සත්‍යය පිළිගැනීමට ඉඩ තිබෙනවා. අසීරුතා මැද වෙන් නොවී සිටි විවාහක යුවළයන් දෙවිට ගෞරවය ගෙනැවිත් තිබෙන අතර එය ඔවුන් දෙදෙනාට වගේම දරුවන්ටත් ආශීර්වාදයක් වී තිබෙනවා.

10, 11. නොසිතූ ලෙස විවාහය තුළ මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ක්‍රිස්තියානියෙකුට නිසැක වෙන්න පුළුවන් මොන උපකාරය ලැබෙන බවටද?

10 දෙවිව සතුටු කිරීමට කැමති බොහෝ ක්‍රිස්තියානීන් විවාහ වෙන්නේ බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් සමඟයි. එසේ කළත් සමහරවිට බලාපොරොත්තු නොවූ ගැටලු පසු කාලයකදී මතු විය හැකියි. උදාහරණයකට එක්කෙනෙක් බරපතළ මානසික රෝගයකට ගොදුරු වීමට හෝ දෙවිට සේවය කිරීම නතර කිරීමට හෝ ඉඩ තිබෙනවා. උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන ලින්ඩා එවැනි තත්වයකට මුහුණ දුන්නා. * ඇගේ සැමියා බරපතළ වැරදි ක්‍රියාවල යෙදුණා. පසුතැවිලි නොවූ නිසා ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා. හීනෙකින්වත් නොහිතපු දෙයක් සිදු වූ නිසා ඇය කරකියා ගත නොහැකි තත්වයකට පත් වුණා. එවැනි තත්වයක සිටින ක්‍රිස්තියානියෙකුට කරන්න පුළුවන් මොකක්ද?

11 එවැනි කෙනෙක් මෙසේ සිතන්න ඉඩ තිබෙනවා. ‘ඉස්සරහට ලොකු ලොකු ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා මේ විවාහය රැකගන්න දරන වෑයමෙන් පලක් තියෙනවද?’ එවැනි තත්වයකදී කරන්නේ මොකක්ද කියා තීරණය කළ යුත්තේ ඒ පුද්ගලයායි. ඊට බලපෑම් කිරීමට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. නමුත් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් රැකගන්න ඕන නිසා මොන ප්‍රශ්නයක් ආවත් විඳදරාගන්න උත්සාහ කරන විට දෙවි ඔබව බොහෝ සේ අගය කරන බව මතක තබාගන්න. (1 පේතෘස් 2:19, 20 කියවන්න.) ඒ වගේම අසීරු තත්වයකට මුහුණ දෙන විට පවා විවාහ බැඳීම ශක්තිමත් කරගන්න උත්සාහ කරන අයට දෙවි තම වචනයෙන් හා බලයෙන් උපකාර කරනවා.

අත දෙන්න බලා සිටියි

12. වැඩිමහල්ලන්ගේ උපකාරය පතන විට ඔවුන්ට අප ගැන කොහොම හැඟෙයිද?

12 ඔබට විවාහ ගැටලු තිබෙනවා නම් ඒ ගැන වැඩිමහල්ලන් සමඟ කතා කරන්න. ඔවුන් ඔබට උපකාර කිරීමට කැමැත්තෙන් සිටිනවා. ඔබේ ප්‍රශ්නයට අදාළ බයිබල් ප්‍රතිපත්ති ඔවුන් ඔබට පහදා දෙයි. (ක්‍රියා 20:28; යාකො. 5:14, 15) විවාහයේ ඇති බරපතළ ගැටලුවක් ගැන ඔවුන්ට පවසා ඔවුන්ගේ උපකාරය ඉල්ලනවා නම් ඔබ ගැන ඔවුන්ට තියෙන ප්‍රේමය හා ගෞරවය අඩු වෙන්නේ නැහැ. අනික් අතට දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින්න ඔබ උත්සාහ කරනවා දකින විට ඔබ කෙරෙහි ඇති ඔවුන්ගේ ගෞරවය හා ප්‍රේමය තවත් වැඩි වෙයි.

13. පළවෙනි කොරින්ති 7:10-16හි ඇති උපදෙස් මොනවාද?

13 දෙවිට නමස්කාර නොකරන සැමියෙක් හෝ බිරිඳක් සිටින කෙනෙකුට උපදෙස් දෙන විට වැඩිමහල්ලන් බොහෝවිට පාවුල් පැවසූ මේ වදන් යොදාගන්නවා. “විවාහක අයටද උපදෙස් කිහිපයක් දීමට කැමැත්තෙමි. නමුත් මෙම උපදෙස් සැලකිය යුත්තේ මගෙන් නොව ස්වාමීන්ගෙන් ලැබුණු ඒවා ලෙසය. භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි. නමුත් ඇය ඔහුව අත්හරියි නම් ඇය වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ නැවත සමඟි විය යුතුයි. ස්වාමිපුරුෂයෙක්ද ඔහුගේ භාර්යාවව අත් නොහැරිය යුතුයි. . . . දෙවිට නමස්කාර කරන භාර්යාවක් තම ස්වාමිපුරුෂයා සමඟ සිටීමෙන් සමහරවිට ඒ පුරුෂයාට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ. එලෙසම දෙවිට නමස්කාර කරන පුරුෂයෙක් තම භාර්යාව සමඟ සිටීමෙන් සමහරවිට ඇයට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.” (1 කොරි. 7:10-16) යෙහෝවා දෙවිට නමස්කාර නොකරන සැමියෙක් හෝ බිරිඳක් සත්‍ය නමස්කාරයට හැරුණොත් එය මොන තරම් ආශීර්වාදයක් වේවිද!

14, 15. වෙන් වෙනවාද නැද්ද කියා බිරිඳකට සිතන්න පුළුවන් කොයි අවස්ථාවේද? නමුත් එවැනි තීරණයක් ගැනීමට පෙර යාච්ඤා කර ඒ ගැන හොඳින් සිතා බැලිය යුත්තේ ඇයි?

14 එසේනම් අත්හැරීමට එනම් වෙන් වීමට හේතු මතු වෙන්න පුළුවන්ද? සමහර භාර්යාවන් වෙන් වීමට තීරණය කරන්නේ ස්වාමිපුරුෂයාට හැකියාව තිබෙද්දිත් තම පවුලේ අයව නඩත්තු කරන්නේ නැති නිසයි. වෙනත් අය වෙන් වීමට තීරණය කරන්නේ ඔහු හෝ ඇය දරුණු පහර කෑම්වලට ලක් වීම හෝ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය හානියට ලක් වීම යන කාරණා නිසයි.

15 වෙන් වෙනවාද නැද්ද යන කාරණය එකිනෙකා ගත යුතු පෞද්ගලික තීරණයක්. නමුත් ක්‍රිස්තියානි කෙනෙක් එවැනි තීරණයක් ගැනීමට පෙර යාච්ඤා කර ඒ ගැන හොඳින් සිතා බැලිය යුතුයි. උදාහරණයකට දෙවිට නමස්කාර කිරීමෙන් වැළකෙන තත්වයක් තමාට උදා වී තිබෙන්නේ අනික් තැනැත්තා නිසාමද? නැත්නම් පෞද්ගලික අධ්‍යයනය, රැස්වීම්වලට යෑම හා දේශනා සේවය වැනි දේවල් අතපසු කිරීමට හේතුව තමාමද කියා දෙවිට සේවය කරන කෙනා කල්පනා කර බැලිය යුතුයි.

16. දෙවිගේ සේවකයන් දික්කසාද වීමට හදිසි නොවිය යුත්තේ ඇයි?

16 දෙවි සමඟ තිබෙන අපේ බැඳීම වගේම විවාහය නමැති තෑග්ගත් අපි අගය කරනවා. ඒ නිසා දික්කසාද වීමට අපි හදිස්සි නොවිය යුතුයි. දෙවිගේ සේවකයන් වන අපි නිතරම උත්සාහ කරන්නේ දෙවිගේ නම ගෞරවයට පත් කිරීමටයි. නමුත් හදිස්සි වී අපි තීරණ ගන්නා විට අන් අය දෙවිගේ නමට නින්දා කිරීමට ඉඩ තිබෙනවා. එමනිසා තව කෙනෙකුව විවාහ කරගැනීමේ අදහසින් ද්‍රෝහි වී සැමියාව හෝ බිරිඳව අපි අත්හරින්නේ නැහැ.—යෙරෙ. 17:9; මලා. 2:13-16.

17. දෙවිගේ සමාදානය හිමි වන්නේ කොයි අවස්ථාවේද?

17 තම සැමියා හෝ බිරිඳ සාක්ෂිකරුවෙක් නොවුණත් තම විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට උපරිම වෑයමක් දැරිය යුතුයි. විවාහය රැකගැනීමට කළ හැකි සෑම දෙයක්ම කළ පසුත් සත්‍යයේ නැති සහකරුවා වෙන් වීමට හෝ දික්කසාද වීමට තීරණය කළොත් එය තමාගේ අතින් වූ වරදක් කියා සාක්ෂිකරුවා සිතන්න අවශ්‍ය නැහැ. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “දෙවිට නමස්කාර නොකරන පුද්ගලයා දෙවිට නමස්කාර කරන භාර්යාව හෝ ස්වාමිපුරුෂයාව අත්හරින්න තීරණය කළොත් ඒ සඳහා ඉඩ දෙන්න. දෙවිට නමස්කාර කරන පුද්ගලයා ඔහු හෝ ඇය සමඟ සමාදාන වීමට බැඳී නැත. නමුත් එම පුද්ගලයාට දෙවිගෙන් සමාදානය හිමි වේ.”—1 කොරි. 7:15. *

දෙවි මත රඳා සිටින්න

18. විවාහය රැකගන්න බැරි වුණත් ඒ සඳහා දරන වෑයමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද?

18 විවාහයේ ප්‍රශ්න ගැටලු මතු වන විට සැමවිටම දෙවි මත රඳා සිටින්න. ධෛර්යය ඉල්ලා යාච්ඤා කරන්න. (ගීතාවලිය 27:14 කියවන්න.) කලින් සඳහන් කළ ලින්ඩා බිඳුණු බැඳීම ශක්තිමත් කරගන්න වසර ගණනාවක් තිස්සේ උත්සාහ කළා. නමුත් අවසානයේදී විවාහය දික්කසාදයෙන් කෙළවර වුණා. ඇය දැරූ වෑයම වතුරේ ගියා කියා ඇය සිතුවාද? “නැහැ. මගේ උත්සාහය අනිත් අයට හොඳ සාක්ෂියක් වුණා. කරන්න තියෙන හැම දෙයක්ම කළ හින්දා මගේ හිත මට වද දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මම හරි දේ කරපු හින්දා සත්‍යයේ ස්ථිරව ඉන්න මගේ දුවට ඒක උදව් වුණා. එයා දැන් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන සාක්ෂිකාරියක්.”

19. විවාහය බේරාගැනීමට උත්සාහ දරන විට ලැබිය හැකි හොඳ ප්‍රතිඵල මොනවාද?

19 සාක්ෂිකාරියක් වන මැරිලින්ගේ සැමියා ඇයව නඩත්තු කිරීමේ වගකීම ප්‍රතික්ෂේප කර තිබූ අතර දෙවි සමඟ ඇයට තිබෙන මිත්‍රත්වයට හානි වන ආකාරයෙන්ද කටයුතු කර තිබුණා. ඒ නිසා ඔහුගෙන් වෙන් වෙනවාමයි කියා ඇය සිතුවා. ඇගේ සැමියා කලින් වැඩිමහල්ලෙක්. නමුත් ඔහු අනුවණ ලෙස ව්‍යාපාර කටයුතුවල යෙදුණා. ටිකෙන් ටික ඔහු රැස්වීම් අතපසු කළා. දෙදෙනා අතර කතාබහද නැවතුණා. ඔවුන් සිටි නගරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා මැරිලින් හුඟක් භය වුණා. පසුව ඇය කා එක්කවත් ආශ්‍රය කරන්න කැමති වුණේ නැහැ. නමුත් විවාහ ගැටලුවට තමාද යම් ප්‍රමාණයකට වග කිව යුතුයි කියා ඇය වටහාගත්තා. ඒ නිසා ඇය දෙවි කෙරෙහි විශ්වාසය තබා තමන්ගේ විවාහය රැකගන්න අමතර වෑයමක් දැරුවා. ඇය නැවතත් සැමියා සමඟ කතා කරන්න පටන්ගත්තා. ඉන්පසු ඔවුන් නිතිපතා රැස්වීම්වලට යන්න පටන්ගත්තා විතරක් නෙවෙයි පවුලේ පාඩමත් පටන්ගත්තා. සභාවේ වැඩිමහල්ලන් ඔවුන්ට හුඟක් උපකාර කළා. පසුව ඇගේ සැමියාට නැවත වගකීම් පවා ලැබුණා. විවාහය රැකගන්න ඇය දැරූ උත්සාහය අපතේ ගියේ නැහැ.

20, 21. අපේ අධිෂ්ඨානය මොකක් විය යුතුද?

20 තනිකඩයෙක් වුණත් විවාහකයෙක් වුණත් දෙවිගේ මඟ පෙන්වීම් විශ්වාස කළ යුතුයි. විවාහයේදී ප්‍රශ්න ඇති වුණොත් ඒවා විසඳගන්න උපරිම උත්සාහයක් දරන්න අවශ්‍යයි. විවාහක යුවළක් “දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන්” සිටිය යුතු බව මතක තබාගන්න. (මතෙ. 19:6) ඔබේ සැමියා හෝ බිරිඳ දෙවිට සේවය නොකරනවා වුණත් දිගටම ඔහු හෝ ඇය සමඟ සිටීමෙන් සමහරවිට ඔහු හෝ ඇය දෙවිට සේවය කිරීමට පටන්ගන්න ඉඩ තිබෙනවා. එය ඔබට මොන තරම් ප්‍රීතියක්ද!

21 අපේ තත්වය මොකක් වුණත් අන් අයට වැරදි සොයන්න ඉඩ නොතබා දෙවිට ගෞරවය ගෙනෙන ආකාරයෙන් කටයුතු කරමු. විවාහය බිඳෙන්න තරම් බරපතළ ගැටලු ඇති වුණොත් හදිසි නොවී අපේම චේතනා සෝදිසි කර බලමු. බයිබලයේ ඇති මඟ පෙන්වීම් ගැඹුරින් අධ්‍යයනය කරමු. වැඩිමහල්ලන්ගේ උපදෙස් පතමු. අපි මොන තීරණයක් ගත්තත් යෙහෝවා දෙවිව සතුටු කරන්නත් විවාහය නමැති දෙවිගේ තෑග්ග අගය කරන්නත් ඊට ගරු කරන්නත් අධිෂ්ඨාන කරගමු.

[පාදසටහන්වල]

^ 10 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 17 ඡේ. “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” නමැති පොතේ 251-253 පිටු බලන්න. වර්ෂ 1988 නොවැම්බර් 1 මුරටැඹ 26-27 පිටු සහ 1975 සැප්තැම්බර් 15 මුරටැඹ 575 පිටුව බලන්න (සිංහලෙන් නැහැ).

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වෙන් වීමට ඉක්මන් නොවන අයට හොඳ ප්‍රතිඵල ලැබෙයි

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

නිතරම යෙහෝවා දෙවිගෙන් ධෛර්යය ඉල්ලන්න

[9වන පිටුවේ පින්තූරය]

බිඳුණු බැඳීම ශක්තිමත් කරගන්න වෑයම් කරන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා

[11වන පිටුවේ පින්තූරය]

සභාවේ අය අපට සැනසීම හා ශක්තිය ලබා දෙයි