Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන් ගියේ ඉක්වදෝරයටයි

ඔවුන් කැමැත්තෙන් ගියේ ඉක්වදෝරයටයි

ඔවුන් කැමැත්තෙන් ගියේ ඉක්වදෝරයටයි

බෲනෝ ඉතාලියේ සිටි තරුණ සහෝදරයෙක්. ඔහු පාසැල් ජීවිතය අවසන් කළේ ඉහළින්ම සමත් වෙමින්. එවිට ඔහුගේ නෑදෑයන් සහ ගුරුවරුන් විශ්ව විද්‍යාලයට යන්න කියා ඔහුට උනන්දු කළා. ඔහු සිටියේ ජීවිතයේ වැදගත්ම තීරණයක් ගත යුතු අවස්ථාවක. ඊට හේතුව අවුරුදු කිහිපයකට කලින් ඔහු යෙහෝවා දෙවිට කැප වූ අවස්ථාවේදී පොරොන්දුවක් දී තිබීමයි. ඔහු පොරොන්දු වුණේ “ජීවිතයේ මුල් තැන යෙහෝවා දෙවිට දෙනවා” කියායි. නමුත් “හැමදාම එකම විදිහට සේවය කරනවාට වඩා සේවයේ විවිධ පැතිවලින් අද්දැකීම් ලබන්නත් මං ආසයි” කියා ඔහු යාච්ඤා කළා.

ඉන් අවුරුදු කිහිපයකට පසු බෲනෝ දකුණු ඇමරිකාවේ ඉක්වදෝරයට ගියා. ඒ ගැන ඔහු පැවසුවේ මෙහෙමයි. “මම හිතුවටත් වඩා යෙහෝවා දෙවි මට ආශීර්වාද කළා. මම එහෙට එද්දී මගේ වයසේ තවත් සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් යෙහෝවා දෙවිට වැඩිපුර සේවයක් කරන්න ඇවිත් හිටියා.”

යෙහෝවා දෙවිව විශ්වාස කළ තරුණ අය

අපි හැකි උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරනවා නම් “අහසේ කවුළු විවර කර ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි” කියා දෙවි අපිට පොරොන්දු වෙනවා. (මලා. 3:10) බෲනෝ මෙන් ලොව පුරා සිටින බොහෝ තරුණ තරුණියෝ එම පොරොන්දුව විශ්වාස කරමින් ප්‍රචාරකයන්ගේ වැඩි අවශ්‍යතාවක් තිබෙන රටවලට දේවසේවය සඳහා ගොස් තිබෙනවා. ඔවුන් දෙවිට ප්‍රේම කරන නිසා තම ශ්‍රමය, කාලය හා මුදල් පවා එම සේවයට වැය කරනවා.

එසේ ගිය අයට වැටහී තිබෙන්නේ ‘අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණක්’ බවයි. (මතෙ. 9:37) උදාහරණයකට ජර්මනියේ සිට පැමිණි ජැකලින් ඉක්වදෝරයේ ශාඛා කාර්යාලයට මෙසේ ලිව්වා. “මම ඉක්වදෝරයට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. මට දැන් බයිබල් පාඩම් 13ක්ම තියෙනවා. පාඩම් 4ක් දිගටම රැස්වීම්වලට එනවා. මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.” කැනඩාවෙන් පැමිණි ෂැන්ටෙල් පැවසුවේ “මම මෙහෙට ආවේ 2008දී. මුලින්ම සේවය කළේ වෙරළබඩ ප්‍රදේශයකයි. එතකොට එහෙ තිබුණේ එක සභාවයි. හැබැයි දැන් සභා තුනක් තියෙනවා. පුරෝගාමීන් 30කටත් වඩා ඉන්නවා. ඒ වගේ දියුණුවක් දැක්කාම ආස හිතෙනවා. මං දැන් සේවය කරන්නේ ඇන්ඩීස් කඳුකරයේ මීටර් 2,743ක උසකින් තියෙන නගරයකයි. එහේ 75,000කට වඩා වැඩි සෙනඟක් හිටියත් තියෙන්නේ එක සභාවයි. එහෙ ඉන්න හුඟදෙනෙක් බයිබලය ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.”

අභියෝග රැසක්

වෙනත් රටකට ගොස් සේවය කිරීමට තීරණයක් ගැනීම පහසු කාර්යයක් නෙවෙයි. එක්සත් ජනපදයෙන් පැමිණි කේලාගේ අද්දැකීම මෙයයි. “සේවය කරනවා නං ඉතින් වෙන රටකටම යන්න ඕනද? මෙහෙදිත් කරන්න පුළුවන්නේ කියලා මගේ සභාවේ හිටිය සමහරු කිව්වේ හොඳ චේතනාවකින් වුණත් ඒකෙන් මං හුඟක් අධෛර්යය වුණා. මං ගන්න යන්නේ වැරදි තීරණයක්ද කියලා එතකොට මට හිතුණා. ඉතින් මං ඒ ගැන දෙවිට යාච්ඤා කළා. අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන් එක්කත් කතා කළා. එතකොට මට තේරුණා දෙවි මගේ උත්සාහයට ආශීර්වාද කරයි කියලා. ඒ නිසා මං යන්න තීරණය කළා.”

තවත් අයට අලුත් භාෂාවක් ඉගෙනගන්න එක අභියෝගයක්. “කියන්න ඕන දේ කියාගන්න බැරි වෙද්දී හරිම අසරණකමක් දැනෙනවා. ඒත් මං ඉවසන්න පුරුදු වුණා. ටිකෙන් ටික භාෂාවත් ඉගෙනගත්තා. සමහර වෙලාවට වචන වැරදුණාම මටම හිනා ගියා” කියා අයර්ලන්තයෙන් පැමිණි ෂේබෝන් පැවසුවා. එස්ටෝනියාවේ සිට පැමිණි අන්නා පැවසුවේ මේ වගේ දෙයක්. “ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගන්න තියෙන අමාරුව ගැන හිතද්දී මෙහේ තියෙන රස්නෙයි දූවිල්ලයි ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි කියලත් හිතුණා. වෙලාවකට ඔක්කොම දමලා ගහලා යන්නත් හිතුණා. ඒත් මං කොහොම හරි භාෂාව ඉගෙනගත්තා.”

යාළුවන්ගෙන් හා පවුලේ අයගෙන් ඈත්ව සිටීම තවත් අභියෝගයක්. එක්සත් ජනපදයෙන් පැමිණි ජොනතන්ට මුලින් ලොකු පාළුවක් දැනුණා. නමුත් බයිබලය අධ්‍යයනය කිරීමටත් සේවයේ යෑමටත් කාලය වැය කළ නිසා වැඩි කල් නොගොස් සේවයෙන් ප්‍රීතිමත් අද්දැකීම් ලබන්නත් සභාවෙන් හොඳ යාළුවන්ව සොයාගන්නත් ඔහුට හැකි වුණා. එයින් ඔහුගේ පාළුව මැකී ගියා.

තවත් අභියෝගයක් නම් පහසුකම් අඩුකමයි. කැනඩාවෙන් පැමිණි බෝ ඒ ගැන මෙසේ කිව්වා. “මං ගෙදර හිටිය කාලේ විදුලිය, ජලය වගේ හැම පහසුකමක්ම තිබුණා. හැබැයි මෙහේ ඒ පහසුකම් නෑ.” ඊට අමතරව, සමහර රටවලදී දුප්පත්කම, ප්‍රවාහණ පහසුකම් නැතිකම හා හරි හැටි අධ්‍යාපනයක් නොලැබීම වැනි තත්වයන්වලට සමහර අයට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඒවා ගැටලුවක් කර නොගත් ඔස්ට්‍රියාවෙන් පැමිණි ඉනෙස් පැවසුවේ “කොහොමවුණත් මෙහෙ ඉන්නෙ ආගන්තුක සත්කාරයට හුඟක් ළැදි, යටහත්පහත්, ඕන වෙලාවක උදව් කරන්න කැමති කාරුණාවන්ත අයයි. ඒ හැම දේටම වඩා දෙවි ගැන ඉගෙනගන්න එයාලට ලොකු ආශාවකුත් තියෙනවා” කියායි.

නොසිතූ ආශීර්වාද!

ඉක්වදෝරයේ සේවය කරන මෙම තරුණ සහෝදර සහෝදරියන්ට බොහෝ කැප කිරීම් කරන්න සිදු වී තිබෙනවා. නමුත් ඒ හැම කෙනෙකුටම දැනෙන්නේ ඔවුන් සිතුවාටත් වඩා වැඩියෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කර තිබෙන බවයි. (එෆී. 3:20) යෙහෝවා දෙවි ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දී තිබෙනවා. (මලා. 3:10) ඔවුන් තම සේවය ගැන මෙසේ අදහස් පළ කරනවා.

බෲනෝ: “මං මුලින්ම සේවය කළේ ඇමසන් ප්‍රදේශයේ. ඊටපස්සේ ශාඛා කාර්යාල ඉදි කිරීම් කටයුතුවලට සහය වෙන්නත් මට අවස්ථාව ලැබුණා. දැන් සේවය කරන්නේ බෙතෙල් එකේ. ඉතාලියේදී මං තීරණය කළා දෙවිට මුල් තැන දෙන්න. ඒ නිසා සේවයේ විවිධ පැතිවල ඇති රසය විඳින්න යෙහෝවා දෙවි මට ආශීර්වාද කරලා තියෙනවා.”

බෝ: “ඉක්වදෝරයට ආවට පස්සේ මම සම්පූර්ණයෙන්ම කාලය යොදවන්නේ දේවසේවයට නිසා යෙහෝවා දෙවිත් එක්ක තියෙන මගේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා. ලස්සන තැන් බලන්න යන්නත් මං ආසාවෙන් හිටියා. ඒ අවස්ථාවත් දැන් මට තියෙනවා.”

අන්නා: “මං තනිකඩ සහෝදරියක් නිසා මිෂනාරිවරියක් හැටියට සේවය කරන්න පුළුවන් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඒත් දැන් මං කරන්නේ ඒ වගේ සේවයක්. යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන්නත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්නත් අලුත් යාළුවෝ ඇති කරගන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. මං දැන් ඉන්නේ ගොඩක් සතුටින්. ඒ ගැන මං දෙවිට ස්තුති කරනවා.”

එල්කි: ඔස්ට්‍රියාවේදී මට එක බයිබල් පාඩමක්වත් තිබුණේ නෑ. ඒ ගැන මං හුඟක් යාච්ඤා කළා. මෙහෙ මට බයිබල් පාඩම් 15ක්ම තියෙනවා. එයාලා සත්‍යය දැනගනිද්දී අද්දකින සතුට දැක්කම මටත් ලොකු සතුටක් දැනෙනවා.”

ජොයෙල්: “වෙන රටකට ගිහින් සේවය කරන්න ලැබුණු අද්දැකීම ගැන කියන්න මට වචන නැහැ. වැඩි වැඩියෙන් යෙහෝවා දෙවි මත රඳා ඉන්න මං ඉගෙනගත්තා. මම එක්සත් ජනපදයේ ඉඳලා මෙහෙ ආවට පස්සේ සේවය කළේ ප්‍රචාරකයෝ හයදෙනෙක් හිටිය කණ්ඩායමක් එක්කයි. අවුරුද්දක් ඇතුළත ප්‍රචාරකයෝ 21දෙනෙක් වුණා. යේසුස්ගේ මරණය සිහි කිරීමට 110දෙනෙක් ආවා. සේවය නිසා ඒ වගේ ආශීර්වාද ලැබෙන එක ඇත්තෙන්ම සතුටක්!”

ඔබේ තත්වය මොකක්ද?

තරුණ සහෝදර සහෝදරියෙනි, ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව ඇති ප්‍රදේශයකට හෝ රටකට ගිහින් සේවය කරන්න ඔබට පුළුවන්ද? එවැනි බැරෑරුම් තීරණයක් ගන්න නම් හොඳින් සැලසුම් කරන්න අවශ්‍යයි. සියල්ලටම වඩා යෙහෝවා දෙවි කෙරෙහිත් මිනිසුන් කෙරෙහිත් බලවත් ප්‍රේමයක් තිබෙන්න අවශ්‍යයි. ඒ ගැන යෙහෝවා දෙවිට ඉතා ඕනෑකමින් යාච්ඤා කරන්න. ඔබේ ආශාව ගැන දෙමාපියන් සහ සභාවේ වැඩිමහල්ලන් සමඟ කතා කරන්න. සමහරවිට සතුට ගෙනෙන මේ විශේෂ සේවයේ හවුල් වෙන්න ඔබටත් පුළුවන් කියා ඔබ තීරණය කරන්න ඉඩ තිබෙනවා.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“දෙවිට යාච්ඤා කළා. අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන් එක්කත් කතා කළා. එතකොට මට තේරුණා දෙවි මගේ උත්සාහයට ආශීර්වාද කරයි කියලා.”—එක්සත් ජනපදයෙන් පැමිණි කේලා

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වෙනත් රටකට යෑමට පෙර

• පෞද්ගලික අධ්‍යයනය පුරුද්දක් කරගන්න

• වර්ෂ 2011 අගෝස්තු රාජ්‍ය සේවාවේ 4-6වන පිටු බලන්න

• වෙනත් රටක සේවය කර තිබෙන අය සමඟ කතා කරන්න

• එම රටේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන සොයා බලන්න

• එහි කතාබහ කරන භාෂාව යම් දුරකට ඉගෙනගන්න

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වියදම පිරිමසාගැනීමට . . .

• හැම අවුරුද්දකම තමන්ගේම රටට ගොස් මාස කීපයකට රැකියාවක් කිරීම

• ඔබේ නිවස හෝ ව්‍යාපාරය කුලියට දීම

• අන්තර්ජාලය හරහා සේවාවන් සැපයීම

[4, 5 යන පිටුවල පින්තූර]

1 ජර්මනියෙන් ජැකලින්

2 ඉතාලියෙන් බෲනෝ

3 කැනඩාවෙන් බෝ

4 අයර්ලන්තයෙන් ෂේබෝන්

5 එක්සත් ජනපදයෙන් ජොයෙල්

6 එක්සත් ජනපදයෙන් ජොනතන්

7 එස්ටෝනියාවෙන් අන්නා

8 ඔස්ට්‍රියාවෙන් එල්කි

9 කැනඩාවෙන් ෂැන්ටෙල්

10 ඔස්ට්‍රියාවෙන් ඉනෙස්