Skip to content

පටුනට යන්න

“මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත”

“මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත”

“මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත”

‘සේනාවක් මට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියත් මාගේ විශ්වාසය බිඳෙන්නේ නැත.’—ගීතා. 27:3.

නොබියව සිටීමට මෙම බයිබල් පද උපකාර වෙන්නේ කොහොමද?

ගීතාවලිය 27:1

ගීතාවලිය 27:4

ගීතාවලිය 27:11

1. ගීතාවලිය 27වන පරිච්ඡේදය සලකා බැලීමෙන් අපිට වටහාගන්න පුළුවන් මොකක්ද?

ලෝකයේ ප්‍රශ්න ගැටලු එන්න එන්නම වැඩි වුණත් ශුභාරංචිය දේශනා කිරීම දවසෙන් දවස වේගවත් වෙනවා. ලොව පුරා ආර්ථිකය බිඳ වැටුණත් දෙවිගේ සේවකයන් දේවසේවය සඳහා ඔවුන්ගේ කාලය හා ශ්‍රමය සතුටින් වැය කරනවා. අද බොහෝදෙනෙක් අනාගතය ගැන බියෙන් සිටිද්දී අපි නොබියව සිටින්නේ කොහොමද? දාවිත් ගීතාවලිය 27වන පරිච්ඡේදයේ පැවසූ දේවල් සලකා බැලීමෙන් ඊට හේතු සොයාගන්න පුළුවන්.

2. භය වුණාම වෙන්නේ මොකක්ද? දෙවිව විශ්වාස කරන කෙනෙකු ගැන පවසන්න පුළුවන් මොනවාද?

2 දාවිත් මුලින්ම පැවසුවේ මෙසේයි. “යෙහෝවා දෙවි මාගේ ආලෝකයය. මාගේ ගැලවීමය. මම කිසිවෙකුටවත් භය නැත. යෙහෝවා දෙවි මාගේ බලකොටුවය. මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත.” (ගීතා. 27:1) සාමාන්‍යයෙන් කෙනෙක් හුඟක් භය වුණාම අසරණ වී කර කියාගත නොහැකි තත්වයට පත් වෙනවා. නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන කෙනෙකුට භය වෙන්නවත් කලබල වෙන්නවත් කිසිම හේතුවක් නැහැ. (1 පේතෘ. 3:14) දෙවිව අපේ බලකොටුව ලෙස සලකනවා නම් ‘කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වෙන්න’ අපිට පුළුවන්. (හිතෝ. 1:33; 3:25) ඒ කොහොමද?

‘යෙහෝවා දෙවි මාගේ ආලෝකය හා ගැලවීමය’

3. දෙවි “ආලෝකය” කියා පැවසීමෙන් අදහස් කරන්නේ මොකක්ද? අපි කරන්න ඕනේ මොනවාද?

3 යෙහෝවා දෙවි අපිට සත්‍යය වටහාගන්න උපකාර කරන නිසා ‘දෙවි ආලෝකයය’ කියා පවසන්න පුළුවන්. (ගීතා. 27:1) මේ ගැන සිතන්න. ආලෝකයකින් අනතුරුදායක දේවල් පහසුවෙන් දැකගන්න පුළුවන්. නමුත් ආලෝකය තිබූ පමණින් ඒ අනතුරුදායක දේවල් ඉවත් වෙන්නේ නැහැ. ඒවායින් බේරෙන්න නම් පියවර ගන්න ඕනේ අපිමයි. ඒ හා සමානව දෙවි ලබා දෙන ආලෝකය නිසා සාතන්ගේ අන්ධකාර ලෝකයේ තිබෙන අනතුරුදායක දේවල් වටහාගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ දේවල් සිදු වෙන්නේ ඇයි කියා තේරුම්ගන්නත් අපිට පුළුවන්. ඊට අමතරව ඕනෑම අවස්ථාවක අපිට ප්‍රයෝජනවත් වන උපදෙසුත් දෙවි දී තිබෙනවා. නමුත් එම උපදෙස් පිළිගෙන නැණවත් තීරණ ගන්න ඕනේ අපිමයි. එසේ කළොත් අපේ සතුරන්ට හා ලෝකයේ බුද්ධිමතුන් කියා සලකන අයට වඩා ඥානවන්ත ලෙස ක්‍රියා කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා.—ගීතා. 119:98, 99, 130.

4. (අ) ‘යෙහෝවා දෙවි මාගේ ගැලවීමය’ කියා දාවිත් පැවසුවේ ඇයි? (ආ) දෙවි අපිව ගලවාගන්නේ කොයි අවස්ථාවේදිද?

4 දෙවි ‘සිංහයෙකුගෙන් හා වලසෙකුගෙන් දාවිත්ව බේරාගත්තා.’ යෝධ ගොලියත්ව මරා දමන්නත් ඔහුට උදව් කළා. සාවුල් රජ හෙල්ලයෙන් ඇන දාවිත්ව මරන්න උත්සාහ කළ අවස්ථාවලදිත් දෙවි ඔහුව බේරාගත්තා. (1 සාමු. 17:37, 49, 50; 18:11, 12; 19:10) එම සිද්ධීන් දාවිත්ට අමතක වී තිබුණේ නැති බව ගීතාවලිය 27:1 කියවද්දී අපිට පේනවා. ‘යෙහෝවා දෙවි මාගේ ගැලවීමය’ කියා දාවිත් පැවසූ හේතුව දැන් අපිට තේරුම්ගන්න පුළුවන්. එදා දාවිත්ව ගලවාගත්තා වගේ අනාගතයේදී දෙවි තම සෙනඟව “මහත් පීඩාවෙන්” ගලවාගන්නවා.—එළි. 7:14; 2 පේතෘ. 2:9.

දෙවිගෙන් ලැබූ උපකාර අමතක නොකරන්න

5, 6. (අ) දෙවි ඔබට උපකාර කළ අවස්ථා මතකයට නඟාගැනීමෙන් ධෛර්යය වැඩි කරගන්න පුළුවන් කොහොමද? (ආ) දෙවි තම සෙනඟව ආරක්ෂා කර ඇති ආකාරය කල්පනා කර බැලීම ප්‍රයෝජනවත් ඇයි?

5 ගීතාවලිය 27:2, 3 කියවන්න. නොබියව සිටීම සඳහා අප කළ යුතු දෙයක් ගැන එහි සඳහන් වෙනවා. දෙවි තමාව ගලවාගත් අවස්ථා දාවිත් විටින් විට මතකයට නැඟූ නිසා වෙනත් දුෂ්කර අවස්ථාවලට හොඳින් මුහුණ දෙන්න ඔහුට ධෛර්යය ලැබුණා. (1 සාමු. 17:34-37) ඔබටත් ඒ හා සමාන දෙයක් කරන්න පුළුවන්ද? උදාහරණයකට ඔබට වේදනාවක් ගෙන දුන් ගැටලුවක් ගැන දෙවිට යාච්ඤා කළ පසු ඊට හොඳින් මුහුණ දීමට ප්‍රඥාව හා ශක්තිය දුන් අවස්ථාවක් ඔබට මතකද? එසේත් නැත්නම් දේවසේවය කිරීමට තිබූ බාධාවක් නැති කරගැනීමට හෝ ඔබේ දේවසේවය වැඩි කරගැනීමට දෙවි ඔබට ප්‍රස්තාව විවෘත කර දුන් අවස්ථා ඔබට මතකද? (1 කොරි. 16:9) දෙවි ඔබට දැනටමත් උපකාර කර ඇති අවස්ථා විටින් විට මතකයට නඟන්න. එවිට දෙවි කෙරෙහි ඇති ඔබේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා.—රෝම 5:3-5.

6 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය නැත්තටම නැති කර දැමීමට ආණ්ඩුවකින් නියෝග කළොත් අපි කරන්නේ මොකක්ද? මෑත කාලයේදී සමහර ආණ්ඩු එහෙම කරන්න උත්සාහ කර තිබුණත් ඔවුන් සාර්ථක වී නැහැ. යෙහෝවා දෙවි තම සෙනඟව ගලවාගෙන ඇති ආකාරය මතකයට නැඟීමෙන් ඉදිරියේදී මොන බාධාවක් හෝ පීඩාවක් ආවත් ඒවා ජය ගන්න අපිට ධෛර්යය ලැබෙනවා.—දානි. 3:28.

සැබෑ නමස්කාරයට ඇලුම් කරන්න

7, 8. (අ) ගීතාවලිය 27:4ට අනුව දාවිත් දෙවිගෙන් ඉල්ලුවේ මොකක්ද? (ආ) නමස්කාරය සඳහා දෙවි කළ වෙනස මොකක්ද? අපේ නමස්කාරයට ඇතුළත් වෙන්නේ මොනවාද?

7 කෙනෙක් සැබෑ නමස්කාරයට ඇලුම් කරනවා නම් නොබියව ක්‍රියා කිරීම ඔහුට අමාරු දෙයක් නෙවෙයි. (ගීතාවලිය 27:4 කියවන්න.) දාවිත්ගේ කාලයේදී ‘දෙවිගේ ගෘහය’ වුණේ ශුද්ධ කූඩාරමයි. දාවිත්ගේ පුත් සලමොන් ඒ වෙනුවට සැබෑ නමස්කාරය සඳහා අලංකාර මාලිගාවක් සෑදුවා. නමුත් සියවස් ගණනාවකට පසු යේසුස් පැවසුවේ සැබෑ නමස්කාරය සඳහා විශේෂ ගොඩනැඟිල්ලක් අවශ්‍ය නැති බවයි. (යොහ. 4:21-23) ඒ සඳහා දෙවි අලුත් සැලැස්මක් පිහිටෙවූ බව පාවුල් හෙබ්‍රෙව් 8 සිට 10 දක්වා පරිච්ඡේදවල සඳහන් කළා. එම සැලැස්ම ක්‍රියාත්මක වීමට පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් බව්තීස්ම වූ අවස්ථාවෙයි. (හෙබ්‍රෙ. 10:10) අපි යේසුස්ගේ ජීවිත පූජාව පිළිගන්නවා නම් මේ අලුත් සැලැස්මට අනුව යෙහෝවා දෙවි අපේ නමස්කාරය පිළිගන්නවා. ඒ නමස්කාරයට ඇතුළත් වෙන්නේ මොනවාද? “අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින්” යාච්ඤා කිරීම, නිර්භීතව දේශනා කිරීම, රැස්වීම්වලට සහභාගි වීම හා පවුලේ නමස්කාරය වැනි දේවල්. (හෙබ්‍රෙ. 10:22-25) සැබෑ නමස්කාරයට අපි ඇලුම් කරනවා නම් අසීරු කාලවලදී නොබියව කටයුතු කරන්න අපිට ශක්තිය ලැබෙනවා.

8 ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තම සේවය වඩාත් හොඳින් කිරීම සඳහා දේවසේවයට වැඩි කාලයක් යොදවනවා. අලුත් භාෂා ඉගෙනගන්නවා. අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලට ගොස් සේවය කරනවා. දාවිත් මෙන් ඔවුන්ගෙත් ආශාව වෙන්නේ දෙවිගේ යහපත දිනෙන් දින දකින්න හා මොන දුෂ්කරතා ආවත් සෑමදාම සතුටෙන් දෙවිට සේවය කරන්නයි.—ගීතාවලිය 27:6 කියවන්න.

දෙවි අත්හරින්නේ නැහැ

9, 10. ගීතාවලිය 27:10 දී ඇති සහතිකය මොකක්ද?

9 දාවිත් පැවසුවේ මෙසේයි. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.” (ගීතා. 27:10) ඉන් පෙනී යන්නේ දෙවි තමන්ව අත්හරින්නේ නැහැ යන කාරණය දාවිත් තදින් විශ්වාස කළ බවයි. දාවිත්ගේ දෙමාපියන් ඔහුව අත්හැරියේ නැති බව 1 සාමුවෙල් 22වෙනි පරිච්ඡේදය කියවද්දී පැහැදිලියි. නමුත් අද සත්‍යය ඉගෙනගන්න බොහෝදෙනෙකුගේ පවුල්වල අය ඔවුන්ව පවුලෙන් අයින් කරනවා. නමුත් යෙහෝවා දෙවි ඔවුන්ව අත් නොහැර සභාවේ අය මාර්ගයෙන් ඔවුන්ට උපකාරය හා රැකවරණය ලබා දෙනවා.

10 අනික් අතට පවුලේ අයගේ මූලික අවශ්‍යතා සැපයීම වැනි දෙයක් ඔබට අභියෝගයක් නම් තත්වය මොකක්ද? තමන්ට නමස්කාර කරන කිසි කෙනෙකුට අසරණ වෙන්න දෙන්නේ නැහැ කියා දෙවි පොරොන්දු වෙනවා. (හෙබ්‍රෙ. 13:5, 6) ඔබ සිටින තත්වය හා ඔබ මුහුණ දෙන ගැටලු දෙවිට හොඳින් තේරෙනවා.

11. දෙවිව විශ්වාස කරන නිසා සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ වී තිබෙන්නේ කවුරුන් ලෙසද? උදාහරණයක් දෙන්න.

11 ලයිබීරියාවේ ජීවත් වන වික්ටෝරියාගේ අද්දැකීමෙන් එය ඔප්පු වෙනවා. බයිබලය පාඩම් කළ කාලයේදී විවාහ නොවී ඇය සමඟ එකට ජීවත් වෙමින් සිටි පුරුෂයා ඇයව දාලා ගියා. ඇය රස්සාවක්වත් ඉන්න හිටින්න තැනක්වත් නැතුව දරුවන් තුන්දෙනා එක්ක තනි වුණා. නමුත් ඇය පාඩම නතර කළේ නැහැ. පසුව ඇය බව්තීස්ම වුණා. එක දවසක් ඇගේ 13න් හැවිරිදි දියණියට බෑග් එකක් හම්බුණා. ඒක සල්ලිවලින් පිරිලා තිබුණා. සල්ලි ගන්න පෙලඹීමක් ඇති වෙයි කියා සිතූ නිසා වික්ටෝරියාත් දියණියත් ඒකෙ තිබුණ සල්ලි ගණන් කළේ නැහැ. ඒ වෙනුවට කොහොමහරි අයිතිකාරයාව හොයාගෙන ඒ බෑග් එක භාර දුන්නා. හමුදා භටයෙක් වූ ඔහු පැවසුවේ හැමෝම සාක්ෂිකරුවන් වගේ අවංක වෙනවා නම් මේ ලෝකයේ මෙච්චර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියායි. ඒ අවස්ථාවේදී වික්ටෝරියා ඇගේ බයිබලයෙන් පාරාදීස පොළොව ගැන සාක්ෂි දැරුවා. ඔවුන්ගේ අවංකකම විතරක් නෙවෙයි ඔවුන්ගේ විශ්වාසයත් අගය කළ එම පුද්ගලයා ඒ විශාල මුදලින් සෑහෙන ප්‍රමාණයක් වික්ටෝරියාට තෑගි කළා. ලොව පුරා සිටින මිනිසුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවංක සෙනඟක් කියා පිළිගන්නවා. ඔවුන් අවංක වීමට හේතුව වන්නේ දෙවි ඔවුන්ගේ අවශ්‍යතා සපයනවා යන විශ්වාසය ඔවුන්ට තිබීමයි.

12. රස්සාව නැති වී පාඩුවක් විඳින්න සිදු වුණත් අපි දිගටම දෙවිට සේවය කරන්නේ ඇයි? උදාහරණයක් දෙන්න.

12 තෝමස්ගේ අද්දැකීමත් බලමු. සියෙරා ලියොන් රටේ ජීවත් වන බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වන ඔහු ගුරුවරයෙක් ලෙස රස්සාවක් කරන්න පටන්ගත්තා. එහි විදුහල්පති පූජකයෙක්. යම් ලියකියවිලි සකස් කරන තුරු අවුරුද්දක විතර කාලයක් තෝමස්ට පඩි ලැබුණේ නැහැ. අවසානයේදී ඒ මුදල් ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබෙද්දී විදුහල්පති තෝමස්ට පැවසුවේ සාක්ෂිකරුවෙක් ලෙස ඔහු විශ්වාස කරන දේවල් එම පාසැලේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නිසා පඩිය ගන්න ඕන නම් ආගම අත්හරින්න කියායි. තෝමස් මොකද කළේ? පාඩුව විඳගෙන රස්සාවෙන් අස් වුණා. පසුව ඔහු රේඩියෝ හා ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නෙක් විදිහට රස්සාවක් කරන්න පටන්ගත්තා. තෝමස් වගේ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන බොහෝදෙනෙක් අදත් සිටිනවා. අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අපේ සියලු අවශ්‍යතා බලාගන්නා බවට පූර්ණ විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා පාඩු වෙයි, අගහිඟකම්වලට මුහුණ දෙන්න වෙයි කියා දෙවිට සේවය නොකරන අය තුළ තිබෙන භය අපිට නැහැ.

13. දිලිඳු රටවල දේශනා සේවය සඳහා වැඩි කාලයක් යොදවන්න පුළුවන් වී තිබෙන්නේ කොහොමද?

13 දිලිඳු රටවල පවා සාක්ෂිකරුවන් දේශනා සේවයේ වැඩි කාලයක් ගත කරනවා. ඔවුන්ට එසේ කිරීමට පුළුවන් වී තිබෙන්නේ කොහොමද? සෑම ප්‍රචාරකයෙකුටම බයිබල් පාඩම් තුනකට වඩා තිබෙන රටක අවුරුදු 12කට වැඩි කාලයක් පුරා සේවය කළ මිෂනාරිවරයෙක් පැවසුවේ මෙසේයි. “අපේ සහෝදරයන් සරල ජීවිතයක් ගත කරන නිසා එයාලට දේවසේවයේ යන්නත් බයිබල් පාඩම් කරන්නත් වැඩි කාලයක් තියෙනවා.” වෙනත් රටක ශාඛා කාර්යාලයක් මෙවැනි දෙයක් සඳහන් කළා. “බයිබල් පාඩම්වලට කැමති වන බොහෝදෙනෙකුට රැකියා නැති නිසා බයිබලය පාඩම් කරන්න ඔවුන්ට කාලය තිබෙනවා. සහෝදරයනුත් ජීවිතය සරල කරගෙන තිබෙන නිසා ඔවුන්ටත් කාල වේලාව තිබෙනවා. මිනිසුන් දුක් ගැහැට විඳින නිසා අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල කියලා තේරුම් කරලා දෙන එක අමාරු දෙයක් නෙවෙයි.”

14. යෙහෝවා දෙවි මහත් සමූහයව ආරක්ෂා කරන්නේ කොහොමද?

14 තම සෙනඟට උපකාර කර ඔවුන්ව ආරක්ෂා කරන බවට වූ යෙහෝවා දෙවිගේ පොරොන්දුව අපි තදින් විශ්වාස කරනවා. (ගීතා. 37:28; 91:1-3) “මහත් පීඩාවෙන්” මහත් සමූහයක් ගැලවෙන බව බයිබලයේ සඳහන් වීමෙන් පැහැදිලි වෙන්නේ දෙවි තම සෙනඟව සමූහයක් ලෙස විනාශ වීමට ඉඩ දෙන්නේ නැති බවයි. (එළි. 7:9, 14) දෙවි අපිට පීඩා දරාගැනීමට ශක්තිය දීමෙනුත් ඔහු සමඟ තිබෙන මිත්‍රත්වය රැකගැනීමට උපකාර කිරීමෙනුත් අපිට ආරක්ෂාව ලබා දෙනවා. අවසානයේදී හර්–මගෙදොන් යුද්ධයෙන් බේරී පාරාදීස පොළොවට ඇතුල් වෙන්නත් දෙවි අපිට අවස්ථාව ලබා දෙනවා.

“දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න”

15, 16. දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? අද්දැකීමක් සඳහන් කරන්න.

15 දාවිත් මෙසේ යාච්ඤා කළා. “යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න. මාගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කර ධර්මිෂ්ඨ මාවතේ මා ගෙන යන්න.” (ගීතා. 27:11) දිගටම භය නැතුව සිටීමට නම් අපිත් එසේ යාච්ඤා කර දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලන්න අවශ්‍යයි. ඒ වගේම දෙවිගේ සංවිධානය මගින් අපිට යම් උපදෙසක් හෝ මඟ පෙන්වීමක් දෙන විට එය ඉක්මනින්ම අදාළ කරගන්නත් අවශ්‍යයි. උදාහරණයක් හැටියට ජීවිතය සරල කරගන්න කියා ලබා දුන් උපදෙසට කීකරු වූ අය ඉක්මනින් ණයතුරුස් බේරලා ඉන් නිදහස් වුණා. එසේ කළ නිසා ආර්ථික බිඳ වැටීම ඔවුන්ට එතරම් බලපෑවේ නැහැ. දේවසේවයේ යෙදෙන්නත් වැඩිපුර කාලයක් ඔවුන්ට ඉතුරු වුණා. ඒ නිසා අපි අපෙන්ම මෙසේ අසාගනිමු. ‘බයිබලයෙන් හරි විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මගින් හරි ලබා දෙන මඟ පෙන්වීම් මම ඉක්මනින්ම පිළිපදිනවාද? එසේ කිරීම අමාරුයි කියා සිතුණත් එහෙම කරනවාද?’—මතෙ. 24:45.

16 අපිට මඟ පෙන්වීමට අපි දෙවිට ඉඩ දෙනවා නම් කිසිම දෙයකට භය වෙන්න අවශ්‍ය නැහැ. එක්සත් ජනපදයේ සිටින ස්ථාවර පුරෝගාමියෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඔහු ඇතුළු පවුලේ අයට දිගටම පුරෝගාමී සේවයේ යෙදෙන්න ඕන නිසා ඔහු රස්සාවේ සුළු උසස් වීමක් ඉල්ලා සිටියා. ඔහු ඒ ගැන පැවසූ විට ඔහුගේ වැඩ බලන නිලධාරියා කිව්වේ ‘උපාධියක් නැතුව ඒ උසස් වීම කොහොමටවත් දෙන්න බැහැ’ කියායි. ඔබ ඔහුගේ තත්වයේ සිටියා නම් විශ්ව විද්‍යාලයට නොයෑම ගැන හෝ පුරෝගාමී සේවය තෝරාගැනීම ගැන දුක් වෙයිද? ඉන් සති දෙකකට පසු හිටපු නිලධාරියාව අස් කළ අතර අලුත් නිලධාරියෙක් පත් වුණා. ‘උසස් වීමක් ඉල්ලුවේ ඇයි’ කියා ඔහු සහෝදරයාගෙන් ඇසුවා. තමන් හා බිරිඳ සාක්ෂිකරුවන් බවත් දෙවිගේ සේවයට වැඩි කාලයක් යොදවන එක දිගටම කරගෙන යන්න කැමති බවත් ඔහු පැහැදිලි කළා. ඔහු ඊට වඩා දෙයක් කියන්න කලින් නිලධාරියා පැවසුවේ ‘මං ඔයා ගැන හිතුවා හරි. මගේ තාත්තා මරණාසන්නව ඉද්දී ඔයාලගේ දෙන්නෙක් හැමදාම ඇවිල්ලා බයිබලයෙන් කොටසක් කියෙව්වා. ඒක තාත්තට වගේම අපිටත් ලොකු සහනයක් වුණා. ඒ දවස්වල මං හිතාගත්තා කවදාහරි දවසක සාක්ෂිකාරයෙකුට උදව්වක් කරන්න ලැබුණොත් මං ඒක කරනවා කියලා.’ ඊළඟ දවසේදීම සහෝදරයාට ඔහු ඉල්ලූ උසස් වීම ලැබුණා. ඉන් පැහැදිලි වෙන්නේ දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන විට දෙවි පොරොන්දු වූ ලෙසම අපේ අවශ්‍යතා ලබා දෙන බවයි.—මතෙ. 6:33.

විශ්වාසය හා බලාපොරොත්තුව අත්‍යවශ්‍යයි

17. අනාගතය ගැන භය නොවී සිටීමට අපට උපකාරවත් වෙන්නේ මොනවාද?

17 අප තුළ විශ්වාසය හා බලාපොරොත්තුව තිබීම කොතරම් අවශ්‍යද කියා දාවිත් මෙසේ කාවැද්දුවා. “මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස බලද්දී යෙහෝවා දෙවිගේ යහපත්කම දැකගැනීමට මට හැකියි යන විශ්වාසය නොතිබුණේ නම්, අද මාගේ තත්වය කුමක් වේද?” (ගීතා. 27:13) දෙවි අපිට බලාපොරොත්තුවක් දී තිබෙන නිසා අනාගතය ගැන අපිට කිසිම භයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම ගීතාවලිය 27වන පරිච්ඡේදයේ සලකා බැලූ තොරතුරුවලින් ඒ බලාපොරොත්තුව තවත් ශක්තිමත් වෙනවා. දෙවිගේ මහත් දවසේ යුද්ධය ඉතා ළඟ නිසා ඒ දක්වා නොබියව සිටීමට ශක්තිය ඉල්ලා අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරමු.—ගීතාවලිය 27:14 කියවන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

දෙවි තමන්ව ගලවාගත් අවස්ථා මතක් කරගැනීමෙන් දාවිත් ධෛර්යය ලැබුවා

[25වන පිටුවේ පින්තූරය]

ආර්ථික බිඳ වැටීම අපේ සේවය වැඩි කරගැනීමට අවස්ථාවක් ලෙස සලකනවාද?