Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි දෙන නිදහස

යෙහෝවා දෙවි දෙන නිදහස

යෙහෝවා දෙවි දෙන නිදහස

‘කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලන්න.’—යාකො. 1:25.

ඔබට පැහැදිලි කළ හැකිද?

සැබෑ නිදහස ලැබෙන්නේ මොන නීතියෙන්ද? එම නීතියෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?

සම්පූර්ණ නිදහසක් ලැබීමට අපි කළ යුත්තේ මොනවාද?

යෙහෝවා දෙවිට කීකරු වන අයට ලැබෙන්නේ මොන වගේ නිදහසක්ද?

1, 2. (අ) මිනිසුන්ගේ නිදහසට සිදු වෙමින් තිබෙන්නේ මොකක්ද? ඒ ඇයි? (ආ) දෙවිගේ සෙනඟ බලා සිටින්නේ මොන වගේ නිදහසක් ලැබීමටද?

තණ්හාව, ප්‍රචණ්ඩත්වය හා නීති කඩ කිරීම දිනෙන් දින වැඩි වෙනවා. (2 තිමෝ. 3:1-5) ඒවා මර්දනය කිරීමට ආණ්ඩු මගින් තව තවත් නීති පනවනවා. පොලිස් හා හමුදා බලයත් ශක්තිමත් කරනවා. මිනිසුන්ගේ හොරමැරකම් ඇල්ලීමට කැමරාත් සවි කර තිබෙනවා. සමහර රටවල මිනිසුන් සොර සතුරු බිය නිසා තමන්ගේ නිවෙස්වල ආරක්ෂාව වැඩි කර තිබෙනවා. ඒ සඳහා තාප්ප උසට හදන්නත්, සංඥා සීනු හා විදුලි වැටවල් සවි කරන්නත් පෙලඹෙනවා. ආරක්ෂාව නැති නිසා රෑට ගමන් බිමන් යන්නේ නැහැ. දෙමාපියන් දවාලේ පවා තම දරුවන්ව සෙල්ලම් කරන්න තනියම එළියට යවන්නේ නැහැ. එයින් පැහැදිලි වෙන්නේ දවසින් දවස මිනිසුන්ගේ නිදහස අඩු වෙන බවයි. මේ තත්වය හොඳ අතට හැරෙන ලකුණු පෙනෙන්න නැහැ.

2 සාතන් ඒදන් උයනේදී ඒවට කිව්වේ නියම නිදහස ලබාගන්න නම් දෙවිගෙන් ඈත් වී තමන් කැමති විදිහට තීරණ ගන්න කියායි. නමුත් ඉතිහාසය දෙස බලද්දී පෙනී යන්නේ සාතන් පැවසූ දේ අමූලික බොරුවක් බවයි. මිනිසුන් දෙවිට කීකරු නොවී හිතුමතේ ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ සෙනඟ ඇතුළු හැමෝම දුක් විඳිනවා. නමුත් දෙවිගේ සෙනඟ වන අපේ බලාපොරොත්තුව නම් පාපයෙන් සහ මරණයෙන් නිදහස් වී ‘දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමයි.’ (රෝම 8:21) යෙහෝවා දෙවි දැනටමත් ඒ නිදහස ලබා දීමට තම සෙනඟව සූදානම් කරනවා. ඔහු ඒක කරන්නේ කොහොමද?

3. යෙහෝවා දෙවි තම සෙනඟට දී තිබෙන නීතිය මොකක්ද? අපි සලකා බලන්නේ මොන ප්‍රශ්නද?

3 නියම නිදහස ලබාගැනීමට සූදානම් කිරීම සඳහා දෙවි තම සෙනඟට “කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය” දී තිබෙනවා. (යාකොබ් 1:25 කියවන්න.) නීති රීති දැමීමෙන් සිදු වෙන්නේ තියෙන නිදහසත් නැති වෙන එකයි කියා බොහෝ අය සිතනවා. එහෙමනම් යාකොබ් සඳහන් කරන ‘නිදහස ගෙන දෙන නීතිය’ මොකක්ද? ඒ නීතිය අපිව නිදහස් කරන්නේ කොහොමද?

නිදහස ගෙන දෙන නීතිය

4. ‘කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතියට’ ඇතුළත් වෙන්නේ මොනවාද? එයින් ප්‍රයෝජන ගන්නේ කවුද?

4 යාකොබ් කතා කළේ යෙහෝවා දෙවි මෝසෙස්ට දුන් නීති මාලාව ගැන නෙවෙයි. මෝසෙස්ට දුන් නීතියෙන් ඊශ්‍රායෙල්වරුන් පව්කාරයන් බව කාවැද්දූ අතර ක්‍රිස්තුස් එම නීතිය සම්පූර්ණ කළා. (මතෙ. 5:17; ගලා. 3:19) එහෙමනම් යාකොබ් සඳහන් කරන “කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය” මොකක්ද? එය “ක්‍රිස්තුස්ගේ නීතිය,” “විශ්වාසය මත පදනම් වූ නීතිය” සහ “නිදහස ගෙන දෙන අලුත් නීතිය” කියාත් හඳුන්වනවා. (ගලා. 6:2; රෝම 3:27; යාකො. 2:12) යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මේ ‘පරිපූර්ණ නීතියට’ ඇතුළත් කර තිබෙනවා. එම නීතියෙන් අභිෂේක ලත් අයත් වෙනත් බැටළුවනුත් ප්‍රයෝජන ලබනවා.—යොහ. 10:16.

5. නිදහස ගෙන දෙන නීතිය පිළිපදින්න අමාරු එකක් නොවන්නේ ඇයි?

5 එම පරිපූර්ණ නීතිය මිනිසුන් පනවන නීති මාලාවන්ට වඩා හුඟක් වෙනස්. එය සකස් කර තිබෙන්නේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් අරගෙන පිළිපදින්න පුළුවන් ආඥා සහ මූලික ප්‍රතිපත්තිවලින්. (1 යොහ. 5:3) යේසුස් පැවසුවේ “මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි” කියායි. (මතෙ. 11:29, 30) මේ “පරිපූර්ණ නීතියට” දීර්ඝ රෙගුලාසි ලැයිස්තුවක් හෝ කොන්දේසි මාලාවක් අවශ්‍ය නැහැ. ඊට හේතුව එය ප්‍රේමය මත පදනම්ව තිබීමයි. එය ලියා තිබෙන්නේ නීති පොත්වල නොව මිනිසුන්ගේ සිත්වලයි.හෙබ්‍රෙව් 8:6, 10 කියවන්න.

‘පරිපූර්ණ නීතිය’ අපිව නිදහස් කරන ආකාරය

6, 7. දෙවිගේ නීති ගැන කියන්න පුළුවන් මොකක්ද? දෙවි දී තිබෙන නීතියෙන් අපිට ලැබෙන්නේ මොන වගේ නිදහසක්ද?

6 යෙහෝවා දෙවි මිනිසුන්ට යම් සීමාවන් පනවා තිබෙන්නේ ඔවුන්ගේම යහපතටයි. දෙවි පිහිටුවා තිබෙන භෞතික නීති ගැන ටිකක් සිතන්න. ඒවා අපේ පැවැත්මට අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගන්නවා. ඒ නිසා කිසිම කෙනෙක් ඒවා කරදරයක් ලෙස සලකන්නේ නැහැ. දැන් නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන සිතන්න. එහි අඩංගු වී තිබෙන්නේ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රමිතියි. ඒවා පිළිපැදීමෙන් ආරක්ෂාව ලැබෙන්නේ අපිටමයි.

7 ඊට අමතරව අනික් අයට හානියක් නොකර හෝ ඒ අයගේ අයිතිවාසිකම් උල්ලංගනය නොකර අපේ ආශාවන් තෘප්තිමත් කරගන්න එම නීතියෙන් අපිට ඉඩකඩ ලැබෙනවා. නමුත් ඒවා සුදුසු ආශාවන් වෙන්න අවශ්‍යයි. එයින් අදහස් කරන්නේ අපේ ආශාවන් දෙවිගේ කැමැත්තට එකඟ විය යුතු බවයි. දෙවි කැමති දේවලට ඇලුම් කරන්නත් දෙවි අකමැති දේවල් පිළිකුල් කරන්නත් දෙවි සිතන ආකාරයට සිතන්නත් “නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය” අපිට උපකාරවත් වෙනවා.—ආමො. 5:15.

8, 9. නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතියට කීකරු වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? උදාහරණයකින් පැහැදිලි කරන්න.

8 අපි අසම්පූර්ණ නිසා වැරදි ආශාවන් පාලනය කිරීම පහසු දෙයක් නෙවෙයි. ඒත් දෙවි කැමති විදිහට දේවල් කරමින් ඒ පරිපූර්ණ නීතියට යටත් වීමෙන් අපිට දැන් වුණත් නිදහසක් ලබන්න පුළුවන්. උදාහරණයකට, ජේ නමැති තැනැත්තා දුම්පානයට වහල් වෙලයි හිටියේ. වෑයම් කළත් එය අත්හරින්න ඔහුට බැරි වුණා. නමුත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාම ඔහු දැනගත්තේ යෙහෝවා දෙවි මේ නරක පුරුද්ද පිළිකුල් කරන බවයි. එවිට දිගටම දුම්පානය කරනවාද නැත්නම් දෙවිව සතුටු කරනවාද කියා තීරණයක් ගන්න ඔහුට සිදු වුණා. අවසානයේදී ඔහු අමාරුවෙන් හරි දුම්පානය නතර කර දෙවිට සේවය කිරීමට තීරණය කළා. එම පුරුද්දෙන් මිදීම ගැන දැන් ඔහුට දැනෙන්නේ කොහොමද? “දැනෙන නිදහස ගැන කියලා නිම කරන්න බැහැ” කියා ඔහු පවසනවා.

9 මේ දුෂ්ට සමාජය මිනිසුන්ට ඕනෑම ආශාවක් ඉටු කරගන්න ඉඩ දෙනවා. නමුත් ජේගේ අද්දැකීමෙන් පේන්නේ, වැරදි ආශාවන් තෘප්තිමත් කරගන්න උත්සාහ කිරීමෙන් අපි පාපයේ වහලුන් බවට පත් වෙන බවයි. නමුත් දෙවි ප්‍රිය කරන දේවල් කිරීමට තෝරාගන්නා අය තමන්ව පාලනය කිරීමට දෙවිගේ බලයට ඉඩහරින අතර ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සැබෑ නිදහස ලැබෙනවා. ‘ජීවනය හා සමාදානයත්’ ඔවුන්ට අත් වෙනවා. (රෝම 8:5, 6) නරක පුරුද්ද අත්හරින්න ජේට පුළුවන් වුණේ ඔහුගේම හැකියාවෙන් නොව ඔහුට දෙවිගේ බලය ලැබුණ නිසයි. “මම දිගටම බයිබලය පාඩම් කළා. දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කළා. සභාවේ සහෝදර සහෝදරියන් දුන්නු මඟ පෙන්වීම් පිළිගත්තා” කියා ඔහු පැවසුවා. ඒ දේවල් කිරීමෙන් අපිටත් දෙවි දෙන නිදහස ලබාගන්න පුළුවන්. ඒ කොහොමද කියා දැන් අපි බලමු.

දෙවිගේ වචනය සෝදිසි කරන්න

10. පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලන්න කීමෙන් අදහස් කරන්නේ මොකක්ද?

10 ‘කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා දිගටම ඒ අනුව ජීවත් වෙන්න. ඒවා පිළිපදින කෙනා මහත් සන්තෝෂයක් අද්දකියි’ කියා යාකොබ් 1:25 සඳහන් වෙනවා. එම නීතිය අපේ හිතේ රඳවගන්න නම් අපි මහන්සි වෙන්න ඕන. නිතිපතා උනන්දුවෙන් බයිබලය කියවා එහි සඳහන් දේ ගැඹුරෙන් කල්පනා කරන්නත් අවශ්‍යයි.—1 තිමෝ. 4:15.

11, 12. (අ) සත්‍ය ඉගැන්වීම්වලට අනුව ජීවත් වීම ගැන යේසුස් කිව්වේ මොනවාද? (ආ) විශේෂයෙන්ම තරුණ අය පරෙස්සම් වෙන්න ඕන මොකක් ගැනද?

11 අපි කරන්න ඕන තව දෙයක් නම් ඉගෙනගන්න දේවල් පිළිපැදීමයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේ මෙසේයි. “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහ. 8:31, 32) දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල් ක්‍රියාවට නංවනවා නම් දෙවිගේ වචනය ගැන අපිට හොඳ ‘අවබෝධයක් තිබෙනවා’ කියා පවසන්න පුළුවන්. ඒ නිසා ‘දෙවිගේ වචනය අපේ හදවත් තුළ ක්‍රියා කිරීමට’ ඉඩ දෙමු. කල් නොදමා අපේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගනිමු. එහෙම කිරීමෙන් අපිට යෙහෝවා දෙවිව හොඳින් අනුකරණය කරන්නන් වෙන්න අපිට පුළුවන්.—1 තෙස. 2:13.

12 මේ ගැන සිතන්න. ‘මට සත්‍යය ගැන හොඳ අවබෝධයක් තියෙනවාද? ඉගෙනගන්න දේවල් පිළිපදින්න මං උත්සාහ කරනවාද? එහෙමත් නැත්නම් මේ දුෂ්ට සමාජයෙන් ඉදිරිපත් කරන දේවලට තවමත් මං වශී වෙලා ඉන්නවාද?’ තරුණ සහෝදර සහෝදරියන් ඒ ප්‍රශ්න ගැන වැඩියෙන් හිතන්න ඕනෙ. එක් සහෝදරියක් තම තරුණ කාලය ගැන මෙහෙම කිව්වා. “පුංචි කාලේ ඉඳලා මම සත්‍යයේ. යෞවන කාලේදී මම දෙවිව විශ්වාස කළාට ඔහුව යාළුවෙක් විදිහට සැලකුවේ නැහැ. දෙවි පිළිකුල් කරන දේවල් නරකයි කියලත් මං කරන දේවල් දෙවි ඒ තරම් ගණන් ගන්නේ නෑ කියලත් මං හිතුවා. ප්‍රශ්නවල පැටලෙද්දී මගේම උත්සාහයෙන් ඒවා විසඳගන්න හැදුවා. දෙවි ගැන හිතුවේ නැහැ. ඒ කාලේ මං කොච්චර මෝඩ වැඩ කළාද කියලා දැන් තමයි මට තේරෙන්නේ.” පසු කාලයේදී ඇය තම ජීවිතයේ වෙනස්කම් කරගෙන ස්ථාවර පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා.

දෙවිගේ බලය ඔබව නිදහස් කරයි

13. අපව නිදහස් කරන්න දෙවිගේ බලය උදව් වෙන්නේ කොහොමද?

13 “යෙහෝවා දෙවිගේ බලය ඇති තැන නිදහස ඇත” කියා 2 කොරින්ති 3:17 පවසනවා. අපව නිදහස් කරන්න දෙවිගේ බලය උදව් වෙන්නේ කොහොමද? “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම” යන ගුණාංග අප තුළ වර්ධනය කරගන්න දෙවිගේ බලය අපිට උපකාර කරනවා. (ගලා. 5:22, 23) සම්පූර්ණ නිදහසක් ලබන්න නම් මිනිසුන් තුළ ප්‍රේමය ඇතුළු එම ගුණාංග තිබිය යුතුයි. නමුත් මේ ලෝකයේ සිදු වන දේවල් දකිද්දී මිනිසුන් තුළ එම ගුණාංග නැති බව පැහැදිලියි. පාවුල් මෙසේද පැවසුවා. “එවැනි දේවල් වැරදියි කියා කිසි නීතියක සඳහන් වී නැත.” ඉන් අදහස් කරන්නේ මොකක්ද? එම ගුණාංගවලට ඉහළින් යන්න පුළුවන් කිසි නීතියක් නැති බවයි. (ගලා. 5:18) යෙහෝවා දෙවි කැමති අපි වැඩි වැඩියෙන් එම ගුණාංග පිළිබිඹු කරනවා දකින්නයි.

14. මේ දුෂ්ට සමාජය මිනිසුන්ව වහලුන් කරගන්නේ කොහොමද?

14 ඕනෑම ආශාවක් තෘප්තිමත් කරගන්න තමන්ට ඉඩ තිබෙනවා නම් එය තමයි නියම නිදහස කියා සිතන අය ඉන්නේ රැවටිලයි. (2 පේතෘස් 2:18, 19 කියවන්න.) කොතරම් රැවටිලා ඉන්නවාද කියනවා නම් ඔවුන් මේ දුෂ්ට සමාජයේ වහලුන් බවට පත් වෙලා ඉන්න බව ඔවුන්ටම තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ හැසිරීම් හා පුරුදු පාලනය කිරීම සඳහා විවිධ නීති පනවන්න ආණ්ඩුවලට සිදු වෙලා තිබෙනවා. පාවුල් ඒ කාරණය කාවැද්දුවේ මෙලෙසයි. ‘නීතිය දෙනු ලැබුවේ ධර්මිෂ්ඨ මිනිසුන් උදෙසා නොවෙයි. එය තිබෙන්නේ නීතිය නොතකන, නොහික්මුණු තැනැත්තන්ටයි.’ (1 තිමෝ. 1:9, 10) මීපැණිවලට ඇදී එන කූඹියෙක් මීපැණි කා මීපැණිවලම ඇළෙනවා වගේ එවැනි අය තමන්ගේ ‘වැරදි ආශාවන් පිනවාගෙන’ අවසානයේදී පාපයේ වහලුන් බවට පත් වී තමන්ටම හානි කරගන්නවා.—එෆී. 2:1-3; යාකො. 1:14, 15.

ක්‍රිස්තියානි සභාව තුළ ඇති නිදහස

15, 16. සභාවට එන්න පටන්ගත් දා සිට ඔබට ලැබී තිබෙන ප්‍රයෝජන මොනවාද? එහිදී ඔබට ලැබී තිබෙන්නේ මොන වගේ නිදහසක්ද?

15 ඔබ ක්‍රිස්තියානි සභාවට එන්න පටන්ගත්තේ යෙහෝවා දෙවි ඒ සඳහා ඔබ තුළ ආශාවක් ඇති කළ නිසයි. (යොහ. 6:44) එසේ කළේ ඔබ අන් අයට වඩා ධර්මිෂ්ඨ දේවගරුබිය ඇති කෙනෙක් නිසාද? නැහැ. ඒ වෙනුවට දෙවිගේ නීතියට කැමැත්තෙන් කීකරු වී ඔහුගේ මඟ පෙන්වීම් පිළිගන්න ඔබ තුළ තිබුණු කැමැත්ත දෙවි දුටු නිසයි. ඔබ සභාව සමඟ ඇසුරු කරන්න පටන්ගත් දා සිට යෙහෝවා දෙවි ඔහුගේ වචනයෙන් ඔබට ඉගැන්නුවා. අසත්‍ය ආගමික විශ්වාසයන් හා මිථ්‍යා මතවලින් ඔබව නිදහස් කළා. යේසුස්ව කිට්ටුවෙන් අනුගමනය කරන විදිහ ඔබට ඉගැන්නුවා. (එෆීස 4:22-24 කියවන්න.) එහි ප්‍රතිඵලයක් ලෙස මිහිපිට සිටින එකම “නිදහස් ජනතාව” සමඟ ඇසුරු කිරීමේ වරප්‍රසාදය දැන් ඔබට ලැබී තිබෙනවා.—යාකො. 2:12.

16 දැන් මෙසේ සිතන්න. යෙහෝවා දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කරන මේ සෙනඟ සමඟ ඇසුරු කරන්න ඔබට භයක් දැනෙනවාද? නමස්කාර මධ්‍යස්ථානයේදී සහෝදර සහෝදරියන් සමඟ කතා කරමින් සිටින විට කවුරුහරි ඔබේ බඩු හොරකම් කරයි කියා සැකයක් ඇති වෙනවාද? එතරම් ආරක්ෂාවක් හා නිදහසක් ඔබට වෙන කිසිම තැනකින් ලැබෙයිද? කොහෙත්ම නැහැ. ඔබ දැන් යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ භුක්ති විඳින්නේ අනාගතයේදී පාරාදීසයේදී ඔබ භුක්ති විඳින නිදහසේ අල්ප මාත්‍රයක් විතරයි.

“දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්”

17. නිදහස ලබාගැනීම හා අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “ස්වර්ගීය තේජසින් එළිදරව්” වීම අතර තිබෙන සම්බන්ධය මොකක්ද?

17 මිනිසුන්ට යෙහෝවා දෙවි ලබා දෙන නිදහස ගැන පාවුල් මෙසේ සඳහන් කළා. ‘දෙවි සෑදූ සියල්ල [පාරාදීස පොළොවේ ජීවත් වීමට බලාපොරොත්තුව ඇති අය] මහත් ආශාවකින් බලා සිටින්නේ දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීමට නියමිත අවස්ථාව පැමිණෙන තුරුය. පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත.’ (රෝම 8:19-21) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “ස්වර්ගීය තේජසින් එළිදරව්” වන තුරු ඔවුන් බලා සිටිනවා. එම එළිදරව් වීම ආරම්භ වෙන්නේ ස්වර්ගයේ සිටින අභිෂේක ලත් අය යේසුස් සමඟ එක් වී දුෂ්ට මිනිසුන්ව විනාශ කර ‘මහත් සමූහයට’ පාරාදීස පොළොවේ ජීවත් වීමට සලස්වන අවස්ථාවේදියි.—එළි. 7:9, 14.

18. කීකරු මිනිස්වර්ගයාට ලැබෙන නිදහස තවත් වැඩි වෙන්නේ කොහොමද? අවසානයේදී ඔවුන් අද්දකින්නේ මොන වගේ නිදහසක්ද?

18 එදාට මිනිසුන් අද්දකින නිදහස ගැන මොහොතකට සිතන්න. සාතන්ගේ හා භූතයන්ගේ බලපෑම්වලින් ඔවුන් නිදහස්. (එළි. 20:1-3) එය මොන තරම් සැනසිල්ලක්ද! එතැන් සිට රජවරුන් හා පූජකයන් ලෙස කටයුතු කරන 1,44,000දෙනා යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන මිනිස්වර්ගයාව පාපයෙන් නිදහස් කර පරිපූර්ණත්වයට ගෙනෙනවා. (එළි. 5:9, 10) අවුරුදු දහස අවසානයේදී කීකරු මිනිස්වර්ගයා තමන්ගේ විශ්වාසය සම්බන්ධයෙන් අවසාන පරීක්ෂණයට මුහුණ දී යෙහෝවා දෙවි මුලින් අරමුණු කළ ආකාරයට “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්” භුක්ති විඳිනවා. එදාට ඔබ හැම අතින්ම පරිපූර්ණව සිටින නිසා යෙහෝවා දෙවි හරියි කියා කියන දේ පහසුවෙන්ම කරන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔහුගේ ගුණාංග සියයට සියයක්ම අනුකරණය කරන්නත් ඔබට හැකි වෙයි.

19. “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්” ලබන්න නම් අපි දිගටම කරන්න ඕන මොනවාද?

19 “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්” ලබන්න ඔබත් කැමතිද? එහෙමනම් “නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය” ඔබේ සිතේ රඳවා තබාගන්න. මහත් උනන්දුවකින් බයිබලය අධ්‍යයනය කරන්න. සත්‍යය අවබෝධ කරගෙන එය පිළිපදින්න. දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරන්න. ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරමින් දෙවි ලබා දෙන පෝෂණය උපරිමයෙන් භුක්ති විඳින්න. සාතන් ඒවව රැවටූ නිසා ඇය සිතුවේ දෙවි සීමා තහංචි පනවා තමන්ව කොටු කර තිබෙනවා කියායි. ඒ උගුලට අසු වෙන්න එපා. සාතන් කපටි වුණත් ඔහු ක්‍රියා කරන ආකාරය අපි හොඳින් දන්නා නිසා ඔහුට අසු නොවී සිටින්න අපිට පුළුවන්. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.—2 කොරි. 2:11.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

මේ දුෂ්ට සමාජයෙන් ඉදිරිපත් කරන ‘නිදහසට’ මම තවමත් ඇලුම් කරනවාද?

[9වන පිටුවේ පින්තූර]

සත්‍ය ඉගැන්වීම්වලට අනුව මම ජීවත් වෙනවාද?