Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි මට ඉගැන්නුවා

යෙහෝවා දෙවි මට ඉගැන්නුවා

ජීවිත කතාව

යෙහෝවා දෙවි මට ඉගැන්නුවා

මැක්ස් ලොයිඩ්

දවසක් දා රෑ කට්ටියක් ඇවිත් අපි හිටපු ගේ වට කරලා “අපේ දෙයියන්ට සුද්දන්ගේ ලේ බොන්න ඕනේ” කියලා කෑගගහා හිටියා. එතකොට මමයි තවත් මිෂනාරි සහෝදරයෙකුයි විතරයි ඒ ගෙදර සුද්දෝ හැටියට හිටියේ. මේ සිද්ධිය වුණේ 1955දී අපි දකුණු ඇමරිකාවේ පැරගුවේවල සේවය කරනකොටයි.

මම හැදුණෙ වැඩුණෙත් යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න ඉගෙනගත්තෙත් ඕස්ට්‍රේලියාවේදියි. සාක්ෂිකරුවන් 1938දී මගේ තාත්තට පොතක් දීලා තිබුණා. පූජකයන් ගැන කලකිරිලා හිටිය තාත්තයි අම්මයි ඊට අවුරුද්දකට විතර පස්සේ යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා. ඒ කාලේ ඉඳන් අපි හැමෝම යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම අපේ ජීවිතේ මුල් තැනට දාන්න පටන්ගත්තා. මගේ අක්කා, ලෙස්ලි මට වඩා අවුරුදු පහක් වැඩිමල්. එයා 1939දිත් මම 1940දිත් බව්තීස්ම වුණා. එතකොට මට වයස අවුරුදු නවයයි.

දෙවෙනි ලෝක මහා යුද්දෙ පටන් අරන් වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් මුද්‍රණය කිරීම හා බෙදාහැරීම තහනම් කළා. ඉතින් බයිබලය විතරක් පාවිච්චි කරලා මගේ විශ්වාසය ගැන පැහැදිලි කරන්න මං පොඩි කාලෙදිම ඉගෙනගත්තා. කොඩියට ආචාර කරන්නෙවත් යුද්ධවලට සහයෝගය දෙන්නෙවත් නැත්තේ ඇයි කියලා පැහැදිලි කරන්න හැමදාම ඉස්කෝලෙට බයිබලේ ගෙනියන්න මම පුරුදු වුණා.—නික්. 20:4, 5; මතෙ. 4:10; යොහ. 17:16; 1 යොහ. 5:21.

ඉස්කෝලේ ළමයි “ජර්මන් ඔත්තුකාරයෙක්” කියලා මට නමක් පටබැඳලා මාව කොන් කළා. ඒ දවස්වල නිතරම යුද්දෙට දිරිගන්වන චිත්‍රපටි ඉස්කෝලෙදී පෙන්නුවා. ඒවා පටන්ගන්න කලින් හැමෝම නැඟිටලා ජාතික ගීය ගායනා කරන එක අනිවාර්යය කරලා තිබුණා. ඒත් මං නැඟිටින්නේ නැතුව ඉඳගෙනම ඉද්දී ළමයි දෙතුන්දෙනෙක් එකතු වෙලා මගේ කොණ්ඩෙං ඇදලා මාව හිටවන්න උත්සාහ කරපු අවස්ථාත් තිබුණා. මම මගේ විශ්වාසයන්ට ඇලිලා හිටිය හින්දා මාව ඉස්කෝලෙන් අස් කළා. හැබැයි ඉතින් කොහොමහරි ගෙදර ඉඳලා තැපෑලෙන් පාඨමාලාවක් කරලා ඉගෙනගත්තා.

මගේ ආසාව ඉටු වුණා

අවුරුදු 14ක් වුණාම පුරෝගාමි සේවය කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒත් අම්මයි තාත්තයි කිව්වේ ඊට කලින් රස්සාවක් කරන්න කියලයි. ඒ මදිවට හම්බෙන පඩියෙන් කාමරේටයි කෑම බීමවලටයි ගෙවන්න කියලත් අවුරුදු 18ක් වුණාට පස්සේ පුරෝගාමි සේවය පටන්ගන්න පුළුවන් කියලත් කිව්වා. මට ඕන වුණේ පුරෝගාමී සේවය කරන්න කීයක් හරි ඉතුරු කරගන්න හින්දා මං නිතරම ඒ ගැන එයාලා එක්ක වාද කළා.

වයස හරි ගියාට පස්සේ දවසක් එයාලා මට අඬගහලා එහෙම කළේ ඇයි කියලා පැහැදිලි කළා. කාමර කුලිය හැටියට ගත්ත සල්ලි මං වෙනුවෙන් බැංකුවේ තැන්පත් කළා කියලත් කිව්වා. ඊටපස්සේ පුරෝගාමී සේවයට අවශ්‍ය දේවල් ගන්නත් ඇඳුම් පැළඳුම් ගන්නත් ඒ සල්ලි ඔක්කොම ආපහු මට දුන්නා. අනිත් අයගෙන් යැපෙන්නැතුව මා ගැන බලාගන්න එයාලා මාව පුහුණු කළේ ඒ විදිහටයි. ඒ පුහුණුව නං ආයෙ කියලා වැඩක් නැහැ.

අපි පොඩි කාලේ පුරෝගාමීන් ගොඩක් වෙලාවට අපේ ගෙදර නැවතුණා. එයාලා එක්ක සේවෙ යන්න අපිට අවස්ථාව ලැබුණා. හැම සති අන්තෙම වැඩිහරියක් අපේ කාලය ගත වුණේ ගෙයින් ගෙට සේවයෙයි, වීදි සේවයෙයි යන්නයි, බයිබල් පාඩම් පවත්වන්නයි. ඒ දවස්වල සාමාන්‍යයෙන් ප්‍රචාරකයෙකුගෙන් හැම මාසෙම පැය 60ක් සේවේ වාර්තා කිරීම බලාපොරොත්තු වුණා. අම්මා නිතරම පැය 60ක් වාර්තා කළ නිසා ඒක අක්කටත් මටත් හොඳ ආදර්ශයක් වුණා.

තස්මේනියාවේ පුරෝගාමී සේවය

මං මුලින්ම පුරෝගාමී සේවය කළේ අක්කයි එයාගේ මහත්තයයි එක්ක තස්මේනියාවෙයි. ඒ දූපත තියෙන්නේ ඕස්ට්‍රේලියාවට පහළින්. වැඩි කල් යන්න කලින් ඒ දෙන්නා 15වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න ගියා. ඊට කලින් කවදාවත් මං තනියෙන් ඉඳලා නැති හින්දත් ලැජ්ජාශීලී කෙනෙක් හින්දත් මාස තුනකට වඩා එහෙ ඉන්න එකක් නැහැ කියලා සමහරු හිතුවා. ඒත් අවුරුද්දක් යන්න කලින්, ඒ කියන්නේ 1950දී මාව සභාවේ සම්බන්ධීකාරක හැටියට පත් කළා. ඊටපස්සේ මාව විශේෂ පුරෝගාමියෙක් හැටියට පත් කරලා මාත් එක්ක සේවය කරන්න සහෝදරයෙකුවත් එව්වා.

අපිට මුල්ම පැවරුම ලැබුණේ තඹ ආකර තිබුණු දුරබැහැර පුංචි ගම්මානයක සේවය කරන්නයි. එහෙ එක සාක්ෂිකාරයෙක්වත් හිටියේ නෑ. අපි ඒ ගමට යද්දී කළුවර වැටීගෙන ඇවිත් තිබුණු හින්දා එදා රෑ නැවතුණේ පරණ හෝටල් කාමරේකයි. ඊළඟ දවසේ ගෙයින් ගෙට සේවේ යද්දී හැම ගෙදරකින්ම වගේ නවාතැනක් තියෙනවාද කියලා අපි ඇහුවා. ප්‍රෙස්බිටේරියන් පල්ලියට යාබදව තිබුණු ලැගුම් ගෙයි පූජකයා පදිංචි වෙලා හිටියේ නැති නිසා එහෙ නවතින්න පුළුවන් වෙයි කියලා කෙනෙක් අපිට කිව්වා. ඉතින් අපි පූජකයාව හම්බ වෙන්න ගියා. පූජකයා හුඟක් මිත්‍රශීලී කෙනෙක්. අපිට ගේ දෙන්නත් කැමති වුණා. අපි මේ සේවේ යන්නේ ලැගුම් ගෙදර ඉඳගෙනනේ කියලා හිතනකොට අපිටම හිනා ගියා!

හැමෝම අපිට ඇහුම්කන් දුන්නා. ගොඩක් බයිබල් පාඩම් පටන්ගන්නත් පුළුවන් වුණා. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෝ ලැගුම් ගෙයි ඉඳගෙන මේ වගේ වැඩක් කරනවා කියලා ආරංචි වුණාම අගනුවර හිටපු පූජකයන්ට හොඳටම කේන්ති ගියා. අපිව වහාම ගෙයින් දොට්ට දාන්න කියලා ගමේ පූජකයාට බල කළා. ආයෙත් අපිට ඉන්න තැනක් නැති වුණා.

ඊළඟ දවසේ දවල් වෙනකං සේවය කරලා රෑට නවතින්න තැනක් නැති නිසා අපි තීරණය කළා එදා රෑ ක්‍රීඩාංගණයක ප්‍රේක්ෂකාගාරයේ නිදාගන්න. ඉතින් අපි එතන සූට් කේස් ටික හංගලා සේවෙ ගියා. හොඳටම කරුවල වැටිලා තිබුණත් ඉතුරු ගෙවල් දෙක තුනත් කරන්න අපි තීරණය කළා. අපි අන්තිමටම ගිය ගෙදරක හිටපු කෙනෙක් එයාගෙම වත්තේ තිබුණු කාමර දෙකේ පුංචි ගෙදර නවතින්න පුළුවන් කියලා අපිට කිව්වා.

චාරිකා සේවය හා ගිලියද් පාසැල

තස්මේනියාවේ මාස අටක් සේවය කළාට පස්සේ චාරිකා සේවයේ යෙදෙන්න කියලා ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයෙන් මට ආරාධනා කළා. ඒ ගැන මං පුදුම වුණා. ඒකට හේතුව ඒ වෙනකොට මගේ වයස අවුරුදු 20ක් නිසයි. සති දෙකක විතර පුහුණුවෙන් පස්සේ සතිපතා සභාවල් දිරිගන්වන්න යන්න මං පටන්ගත්තා. වැඩිහිටි අය මාව සුළු කරන්නැතුව මගේ පැවරුම ඉටු කරන්න සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා.

සභාවලට එක සතියක බස් එකෙනුත් තව සතියක ට්‍රෑම් රථයෙනුත් කාර් එකෙනුත් ගියා. මෝටර් සයිකලයේ නැඟලා යද්දී සූට්කේස් එකයි පොත් බෑග් එකයි අරගෙන ගියේ හරිම අමාරුවෙන්. ඒත් සහෝදර සහෝදරියන්ගේ ගෙවල්වල නැවතුණාම මට දැනුණේ පුදුම සතුටක්. එක සභාවක වැඩිමහල්ලෙක් එයාගේ ගේ භාගෙට හදලා තිබුණත් එහෙ නවතින්න කියලා මට පෙරැත්ත කළා. ඒ සතියේ මං නිදාගත්තේ ඇඳක් හැටියට සකස් කරපු නාන ටැංකියකයි. පොඩි පොඩි අමාරුකම් තිබුණත් ඒ සතියේදී ඒ සහෝදරයයි මමයි ලොකු දිරිගැන්වීමක් ලැබුවා.

වර්ෂ 1953දී හිතාගන්න බැරි තවත් දෙයක් සිද්ධ වුණා. ඒ 22වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න අයදුම්පතක් ලැබීමයි. ඒක සතුටක් වුණත් පොඩි භයකුත් දැනුණා. ඒකට හේතුව අක්කගේ මරණයයි. අක්කවයි එයාගේ මහත්තයාවයි මිෂනාරිවරුන් හැටියට 1950දී පකිස්තානයට යවලා අවුරුද්දක්වත් යන්න කලින් අක්කා අසනීප වෙලා එහෙදිම මැරුණා. ඒක වෙලා වැඩි කල් යන්න කලින් මාවත් ඈත රටකට යැව්වොත් ඒක අම්මලාට කොහොම බලපායිද කියලා මං කල්පනා කළා. ඒත් අම්මයි තාත්තයි මට කිව්වේ “යෙහෝවා දෙවි කැමති දිහාකට ගිහින් පුතා සේවය කරන්න” කියලයි. මට තාත්තව ආයි දකින්න ලැබුන්නෑ. මොකද 1957දී තාත්තා නැති වුණා.

මායි ඕස්ට්‍රේලියාවේ තවත් පස්දෙනෙකුයි 1953දී නිව් යෝර්ක් නගරයට යන්න නැව් නැග්ගා. ඒක මාස එකහමාරක ගමනක්. බයිබලය කියවන්න, අධ්‍යයනය කරන්න, මඟීන්ට දේශනා කරන්න අපි ඒ කාලය ප්‍රයෝජනයට ගත්තා. ගිලියද් පාසැලට සහභාගි වෙන්න කලින් අපි 1953 ජූලි මාසයේදී යැංකි ක්‍රීඩාංගණයේ පවත්වපු ජාත්‍යන්තර සමුළුවට සහභාගි වුණා. ඒකට 1,65,829දෙනෙක් සහභාගි වුණා.

ලෝකේ හැම රටකින්ම වගේ ආපු ශිෂ්‍යයන් 120දෙනෙක් අපේ පන්තියේ හිටියා. අපිට පැවරුම ලැබෙන තුරු අපිව කොයි රටටද යවන්නේ කියලා දැනං හිටියේ නෑ. දැනගත්තු ගමන්ම එහෙ තිබුණ පුස්තකාලයට ගිහින් ඒ රට ගැන ටිකක් හොයලා බැලුවා. මට පැවරුම ලැබිලා තිබුණේ දකුණු ඇමරිකාවේ පැරගුවේවලටයි. පැරගුවේ අතීතයේ ඉඳලම දේශපාලන විප්ලවවලට නම් දරාපු රටක්. එහෙ ගිහින් වැඩි දවසක් යන්න කලින් දවසක් දා රෑ රතිඤ්ඤා ගහන සද්දයක් ඇහුණා. උදේ මං අනිත් මිෂනාරිවරුන්ගෙන් ඒ ගැන අහද්දී එයාලා “ඒක සාමාන්‍ය දෙයක්. ආණ්ඩුව පෙරළුණා” කියලා කිව්වා. මම දොර ඇරලා බලද්දී අස්සක් මුල්ලක් නෑර හැම තැනම හමුදා භටයෝ හිටියා.

අමතක නොවන අද්දැකීමක්

දවසක් මං චාරිකා සේවකයෙක් එක්ක දුරබැහැර තිබුණු සභාවකට ගියා. අපි ලෑස්ති වෙලා හිටියේ ද නිව් වර්ල්ඩ් සොසයටි ඉන් ඇක්ෂන් කියන චිත්‍රපටිය පෙන්වන්නයි. ඒ සභාවට යන්න පැය නමයක් විතර ගියා. අපිට මුලින්ම කෝච්චියෙත් ඊටපස්සේ අශ්ව කරත්තෙකත් ගොන් කරත්තෙකත් යන්න සිද්ධ වුණා. අපි ජෙනරේටරේකුත් ප්‍රොජෙක්ටරේකුත් ගෙනිච්චා. ඒ ගමට ගිහින් ඊළඟ දවසේ අපි කළේ රෑ පෙන්වන චිත්‍රපටිය බලන්න අවට තියෙන ගොවිපොළවල හිටපු අයට ආරාධනා කරන එකයි. පහළොස්දෙනෙක් ඒක බලන්න ආවා.

ඒක පටන් අරං විනාඩි 20ක් විතර ගියාට පස්සේ ඉක්මනට ගෙට යන්න කියලා එතන හිටපු කෙනෙක් අපිට කිව්වා. අපි ප්‍රොජෙක්ටරෙත් අරගෙන ගෙට ගියා විතරයි කට්ටියක් ගේ වට කරගෙන අහසට වෙඩි තිය තිය “අපේ දෙයියන්ට සුද්දන්ගේ ලේ බොන්න ඕනේ” කියලා කෑගහන්න පටන්ගත්තා. අපිට පොඩි භයකුත් දැනුණා. මොකද එතන හිටියේ සුද්දො දෙන්නයි. දෙන්නගෙන් එක්කෙනෙක් මම! කොහොම හරි චිත්‍රපටිය බලන්න ආපු අය ඒ කලහකාරි මිනිස්සුන්ට ගෙට එන්න ඉඩ දුන්නේ නැහැ. ඊටපස්සේ ඒ මිනිස්සු යන්න ගියා. පාන්දර තුනට විතර ඒ මිනිස්සු ආයෙ ඇවිත් අහසට වෙඩි තියලා, ගෙදර යද්දි අපිව මගදි අල්ලගන්නවා කියලා යන්න ගියා.

සහෝදරයෝ ඒ ගමේ හිටපු ආරක්ෂක නිලධාරියාට ඒ ගැන කිව්වා. ටිකක් දවල් වෙලා එයා අශ්වයෝ දෙන්නෙකුත් අරගෙන අශ්වයා පිටින් ආවා. එයත් එක්ක අපිත් පිට වුණා. ගස් හරි පඳුරු හරි තිබුණු තැනක් දැක්කාම එයා තුවක්කුව අතට අරන් ටිකක් ඉස්සරහට ගිහින් කවුරු හරි ඉන්නවද කියලා බැලුවා. අපිට හිරිහැර කරන කවුරුත් නැත්තං අපිට එන්න කිව්වා. ඒ විදිහට අපි නගරය වෙනකං ගියා. ඒ පිටිසරබද පළාත්වල ගමන්බිමන්වලට අශ්වයෙක් ඉන්න එක ගොඩක් වටිනවා කියලා මට තේරුණා. ඉතිං මාත් අශ්වයෙක්ව ගත්තා.

තව මිෂනාරිවරුන් ආවා

පූජකයන් අපිට විටින් විට ප්‍රශ්න ඇති කළත් අපේ දේශනා සේවය ගොඩක් සාර්ථක වුණා. වර්ෂ 1955දී තව මිෂනාරිවරු පස්දෙනෙක් පැරගුවේවල සේවය කරන්න ආවා. එයාලා අතරේ 25වෙනි ගිලියද් පාසැලෙන් ආපු කැනඩාවේ එල්සි ස්වොන්සන් කියන සහෝදරිය හිටියා. එල්සිගේ දෙමාපියන් කවදාවත් සත්‍යය පිළි අරං තිබුණේ නැතත් එයා දෙවිට මුල් තැන දීලා පූර්ණකාලීනව සේවේ කළා. මට එයා එක්ක ටික දවසක් ශාඛා කාර්යාලයේ වැඩ කරන්න ලැබුණා. ඊටපස්සේ එයාට අලුත් පැවරුමක් ලැබුණා තව නගරයක සේවය කරන්න. වර්ෂ 1957 දෙසැම්බර් 31වෙනිදා අපි දෙන්නා විවාහ වුණා. අපි නැවතිලා හිටියේ පැරගුවේවල දකුණු පළාතේ මිෂනාරි නිවසකයි.

ඒ නිවසේ නල ජල පහසුකම් තිබුන්නැති හින්දා නෑවේ ළිඳෙන්. වැසිකිළිය තිබුණෙත් ගෙදරට යාබදව නෙමෙයි. ඒ විතරක් නෙමෙයි රෙදි සෝදන යන්ත්‍රයක්වත් ශීතකරණයක්වත් තිබුණෙත් නෑ. එළවළු, මස්, මාළු වගේ දේවල් හැමදාම කඩෙන් ගන්න සිද්ධ වුණා. ඒ වගේ සරල ජීවිතයක් ගත කිරීමත් සභාවේ ඉන්න සහෝදර සහෝදරියන් පෙන්නුව ප්‍රේමයත් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

වර්ෂ 1963දී මගේ අම්මව බලන්න අපි ඕස්ට්‍රේලියාවට ගියා. වැඩි දවසක් යන්න කලින් අම්මට හෘදයාබාධයක් හැදුණා. සමහරවිට ඒක වෙන්න ඇත්තේ අවුරුදු දහයකට පස්සේ මාව දැකපු සතුටට ඇති වුණ කම්පනය නිසා වෙන්නත් ඇති. ඉතින් අම්මව බලාගන්න වෙන කෙනෙකුට පවරනවාද නැත්නම් අපි ඉඳලා එයාව බලාගන්නවාද කියලා අපිට තීරණය කරන්න සිද්ධ වුණා. එල්සියි මායි ඒ ගැන හුඟක් යාච්ඤා කරලා 1966දී අම්මා නැති වෙන තුරුම අම්මා ළඟ හිටියා. කොහොමවුණත් අපි ඕස්ට්‍රේලියාවේදී දිගටම පුරෝගාමී සේවය කළා.

ඕස්ට්‍රේලියාවේදී මට සේවා වරප්‍රසාද කීපයක්ම ලැබුණා. චාරිකා සේවයේ වගේම දිස්ත්‍රික් සේවයේ යෙදෙන්නත් වැඩිමහල්ලන් සඳහා පවත්තපු පාසැලේ උපදේශකයෙක් හැටියට සේවය කරන්නත් අවස්ථාව ලැබුණා. මුල් වතාවට ශාඛා කමිටුවක් පිහිටවපු වෙලාවේ කමිටු සාමාජිකයෙක් හැටියටත් මාව පත් කළා. ඕස්ට්‍රේලියාවේ අලුත් ශාඛා කාර්යාලයක් ඉදි කරන්න තීරණය කළ අවස්ථාවේදී ඉදි කිරීම් කමිටුවේ සභාපති හැටියටත් මං සේවය කළා. අද්දැකීම්වලින් පිරුණු සහයෝගයෙන් වැඩ කළ සහෝදරයන්ගේ උදව්වෙන් ලස්සන ශාඛා කාර්යාලයක් ඉදි කරන්න අපිට පුළුවන් වුණා.

මගේ ඊළඟ පැවරුම වුණේ සේවා අංශයේ සේවය කිරීමයි. එම අංශයෙන් කෙරුණේ රටේ සියලුම දේශනා කටයුතු සැලසුම් කිරීමයි. කලාපීය සේවකයෙක් විදිහට සේවය කිරීමේ වරප්‍රසාදයත් මට ලැබුණා. අපි ගිය රටවල හිටපු අයව දිරිගන්වන්නත් අපිට පුළුවන් වුණා. ඒ හමු වුණු අය අතර යෙහෝවා දෙවිට තියෙන ආදරය හා කීකරුකම නිසා සමහරවිට දශක ගණනාවක් හිරබත් කන්න සිද්ධ වුණු සහෝදර සහෝදරියන් හිටියා. ඒ අය නිසා මගේ විශ්වාසයත් ගොඩක් වැඩි වුණා.

දැන් අපේ පැවරුම

අපි 2001දී කලාපීය සේවයේ යෙදිලා ආයෙත් ශාඛා කාර්යාලයට ආවම බෘක්ලින්වලට එන්න කියලා අපිට ආරාධනාවක් ලැබිලා තිබුණා. ඒ එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ අලුතින් පිහිටවපු ශාඛා කමිටුවේ සාමාජිකයෙක් විදිහට සේවය කරන්නයි. මමත් එල්සිත් ඒ ගැන හුඟක් යාච්ඤා කරලා සතුටින් ඒ පැවරුම භාරගත්තා. අපි තවමත් සේවය කරන්නේ බෘක්ලින්වලයි.

දෙවිගෙන් ලැබුණු සෑම පැවරුමක්ම එල්සිත් සතුටින් භාරගත්තා. ඒක මට ලොකු උපකාරයක් වුණා. අපි දෙන්නටම දැන් වයස අවුරුදු 80 පැනලා. දැනට අපි දෙන්නම හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා. යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන අයට ඔහුගෙන් සදහටම ඉගෙනගන්නත් ඔහුගේ ආශීර්වාද ලබාගන්නත් අවස්ථාව ලැබෙනවා. අපේ ආසාවත් දිගටම ඔහුගේ කැමැත්ත කරලා ඒ ආශීර්වාද භුක්ති විඳින්නයි.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එක සතියක බස් එකෙනුත් තව සතියක කාර් එකෙනුත් ගියා. මෝටර් සයිකලයේ යද්දී සූට්කේස් එකයි පොත් බෑග් එකයි අරගෙන ගියේ හරිම අමාරුවෙන්

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපේ ආසාව සදහටම දෙවිගෙන් ඉගෙනගන්නයි

[18වන පිටුවේ පින්තූර]

වම: ඕස්ට්‍රේලියාවේ චාරිකා සේවයේ යෙදෙද්දී

දකුණ: තාත්තයි අම්මයි මායි

[20වන පිටුවේ පින්තූරය]

අපි බැඳපු දවස, 1957 දෙසැම්බර් 31වෙනිදා